මම අවුරුදු හතරකින් චිත්‍රපටයක නෑ. දාසයකින් ටෙලිනාට්‍යයක නෑ

ප්‍රවීණ රංගවේදී කමල් අද්දරආරච්චි
ඔක්තෝබර් 14, 2021

 

 

කමල් අද්දරආරච්චි නම් ප්‍රවීණ රංගවේදියා මට 'කමල් අය්යා' වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ අග්නිදාහය චිත්‍රපටයයි. ඔහු එහි උඳුගොව්වන් කෑ මුඩු හිසකින් සහ විකෘති හැඟීම්වලින් යුතු 'සොබනා' ය. මම එහි නිෂ්පාදන කළමනාකාරිනිය වීමි. එය ඔහුට සුවිශේෂී වන්නේ 2002 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවා සම්මානය හිමි කරදුන් චරිතය එය බැවිනි. ඊට පෙර හා පසුව ඔහුට ජනාධිපති, සුමති සම්මාන හිමි වූ බව ඇත්තය. එහෙත් සොබනා යනු එක්තරා ආකාරයක අපූර්ව චරිතයක් බව සාගරයක් මැද කෘතියෙන් අරඹා ගින්නෙන් උපන් සීතල දක්වා වන ඔහුගේ හතළිහක‌‌ට ආසන්න සිනමා චරිතාංග රංගනයන් දෙස බලන විට පැහැදිලි වේ. ඔහු ඊට පෙර හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ ලොකුදුව චිත්‍රපටය වෙනුවෙන් ස්වර්ණ සංඛ සිනමා උලෙළේ 1997 වසරේදීය. ඒ සඳහා ඔහුට සරසවිය සහ ජනාධිපති සම්මාන උලෙළවලදී හොඳම සහාය නළුවාට හිමි සම්මාන පිරිනැමිණ. ඊටත් පෙර සප්ත කන්‍යා චිත්‍රපටය වෙනුවෙන් ඔහු හොඳම නළුවා ලෙස සරසවිය සම්මාන ලැබූ අතර එහි දමයන්ති ජයසූරිය ප්‍රවීණ ශිල්පිනිය සමඟ ගයන උන්මාද වූ ප්‍රේමාදරේ ගීතය සඳහා හොඳම ගායකයාට හිමි ජනාධිපති සම්මානය හිමිකර ගන්නට සමත් විය. එසේම පුංචි තිරයේ ඔහු වෙද හාමිනේ, හිරුට මුවාවෙන්, රතුරෝස ආදී නිර්මාණ විස්සකට පමණ දායක වී දඬු බස්නාමානය වෙනුවෙන් පළමු සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා මෙන්ම ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ද්විත්වයක් හිමි කරගන්නට සමත් විය. වේදිකාව ඔහුගේ රංගයේ තිඹිරි ගෙයයි. එහෙත් අනේ අබ්ලික් නාට්‍යයෙන් ඇරඹූ එය නිර්මාණ හයකට පමණ සීමා විණි. දශක හතරහමාරක පමණ රංගන අතදැකීම් සමඟ ගායන, සම්ප්‍රවේශන, නිවේදන ආදී විසිරුණු හැකියාවන් රැසක් සමඟ තාරුණ්‍යය කුල්මත් කළ ඔහු බොහෝ කලකින් රිදී තිරයේ හෝ පුංචි තිරයේ දක්නට ලැබුණේ නැත. අපි විමසමු ඔහු කොහෙද කියා....

 

"මම මේ කරුවලගස් වැව යන ගමන් නංගී...." මගේ ඇමතුමට ඔහුගේ පිළිතුරයි.

 

"අපෝ... වාහනය පදින ගමන් නම් පස්සේ කතා කරමු." මම කීවෙමි.

 

"නෑ... මේ වෙලාවට තමයි ටිකක් විවේක. අනෙක් වෙලාවට කුඹුරුවලයි, ෆැක්ටරිවලයිනේ"

 

එතැන් සිට කතාව දිගු විය.

 

කොහොමද කමල් අය්යේ කොවිඩ් කාලේ එහෙම ගෙවුණේ?

"කොවිඩ් කාලේ වුණත් ගෙදරට කොටුවෙලා නම් ඉන්න ලැබුණේ නෑ. මොකද අපි ඉන්නේ වගා සංග්‍රාමයක සහ නිෂ්පාදන ක්‍රියාවලියකනෙ. අපි අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනයක සෑහෙන කාලෙක ඉඳන් යෙදෙනවා දන්නවානෙ. ඒ කියන්නේ ටින්මාළු කර්මාන්තය. ඉතින් ඊට අමතරව කෘෂි කර්මාන්තයෙත් විශාල රික්තයක් තිබෙනවා, ගොඩක් දේවල් කරන්න පුළුවන් බව පේනවා. ඒ නිසා මගේ තවත් මිතුරු හවුල්කරුවන් දෙන්නෙකුත් සමඟ, පුත්තලම් දිස්ත්‍රික්කයේ ගොවීන් එක්ක දේශීය වී වගාවකට නැඹුරු වෙලා ඉන්නවා. බාස්මතී වී ආදේශකයක් අපි ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒ වෙනුවෙන් කරුවලගස් වැව, තබ්බෝව පැත්තට නිතර කොළඹ සිට යන්න වුණා. අලි නම් එමටයි ඒත් තාම අපට අලියෙක් මුණ ගැහුණෙ නෑ. (සිනාසෙමින්) අපි ප්‍රාර්ථනා කරන්නෙත් ජීවිතේටම අලි මුණ නොගැසේවා කියලා. අලි ඉන්න තැන්වලටම වෙලා විශේෂයෙන් සිරිකොතටම වෙලා හිටපුදෙන්. මේ ජීවිතේ හරහාට එන්නේ නැතිව කියලයි ඇත්තෙන්ම ප්‍රාර්ථනා කරන්නේ.

ඔය කියන්නේ කකුල් දෙකේ අලින්ටද ?

කකුල් දෙකේ අලින්ට නම් මගේ ජීවිතේ හරහාට ආයෙ යන්න නොලැබේවා! මේ යන ගමන බොහොම හෙමින් යන්න ඕනෙ එකක්.

 

ඒ කියන්නේ අලි පැටවුනුත් එපාද?

අපිම තමයිනෙ අලි පැටවුණුත් හදාගන්නෙ. අපේම කියලා පැටියෙක් නැතිව අනුන්ගේ පැටවු නම් හරියන්නෙම නෑ.

 

සරසවිය කලා පුවත්පතක් කියලා මේ ප්‍රශ්නය නොඅසා බෑ. ඔබ ගොවිකමට එද්දි මේ ගෙවෙන්නේ පොහොර පිළිබඳ රටම කතා කරන අවධියක්?

රසායනික පොහොර ප්‍රශ්නයක්නෙ මේ ලොකුවට ගැටලුවක් කරගෙන තියෙන්නෙ. ඒ්ත් තවමත් තියෙනවා අතගහලාවත් නැති කුඹුරු ඔය ප්‍රශ්නය නැති. වෙලා තියෙන්නේ අද ගොවීන් කම්මැළි වෙලා. අනෙක ගොවීන් අතර තිබෙන සදාචාරාත්මක ගනුදෙනුව, බැඳීම ගිලිහිලා. පාරම්පරික අපේ ගොවිතැන් ක්‍රමවේදයත් එක්ක ගොවීන් හිටියා නම් මේ කෘමිනාශක, වල් නාශක අවශ්‍ය වෙන්නේ නෑ. ඒත් අපේ අධිරාජ්‍යවාදී බඩගැත්තර සිතිවිලි නිසා නැත්නම්, වෙනත් වාණිජ පරමාර්ථ මුල් කරගත් කරුණු මත රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ගෙන්වන්න ගත්තට පස්සේ තමයි මේ අර්බුදය මේ ලංකාවට ඇති වුණේ. ප්‍රමාණාත්මකව බලද්දි යන වියදමත් එක්ක ඒවායින් ලැබෙන අස්වැන්න බොහොම සුළුවෙනුයි වැඩි වෙන්නේ. හැබැයි ඊට වඩා විශාල හානියක් මහපොළොවටත්, මිනිසුන්ගේ ජීවිතවලටත් කරලා රටේම ප්‍රශ්නයක් බවට අද පත්වෙලා තිබෙනවා. ඒකට කරන්න වෙලා තිබෙන වියදම බැලුවාම මහ ව්‍යසනයක් මේක. අනෙක ලෝකෙම අද බැලුවාම කාබනික පොහොර සහ ආහාරවලට නැඹුරු වෙලා තිබෙන කාලයක්. මෙය පරිවර්තනය කළ යුතු ආකාරය කුමක්ද කියලා මට අවංකවම කියලා දෙන්න බැහැ ගැටලු ගොඩක් ඇති වන නිසා. ඒත් ඒ පරිවර්තනය ලෝක අවශ්‍යතාවක්.

ඕනෙ නම් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන් කුඹුරක් ආපහු කාබනික කරන්න නම් පළමුවෙන්ම රසායනික පොහොරවලින් ඉවත් වෙන්න ඕනෙ. ඊළඟට හරි කාබනික පොහොර අපි හොයා ගන්න ඕනෙ. තුන්වැනුව වගා කරන ක්‍රමවේදය හරියට කරන්න ඕනෙ. ඒ කියන්නේ ඉස්සර අපේ මිනිස්සු වතුර බැන්දා. පැළ හිටෙව්වා. දැන් වතුර බඳීනවා කියන දේ හරියට කරන්නේ නෑ. කෙළින්ම මඩ කළා, වී ඉහගෙන ගියා. ඒක නෙවෙයි හරි විදිහ. අපේ ගොවීන් ඉස්සර එකිනෙකාට ලොකු අන්‍යෝන්‍ය බැඳීමක් තිබුණා. පවුල් අතරෙත් ගොවි සම්ප්‍රදායක් තිබුණා. ඒත් අද ගොවීන් කවුද කියලා බැලුවොත් දියවන්නාවේ වගේම 'හැටපැනපු නාකි සෙට් එකක්' ඉන්නේ. ඒ අයට මහන්සි වෙන්නත් ඇඟට අමාරුයි වගේ. (කොක් හඬලා සිනාසෙයි)

අනෙක වී ඉහින්නේ නැතිව පැළ හිටවනවා නම් වල් නෙළන්න යන්න කුඹුරේ ඉඩක් තිබෙනවා. ගොයම් ගහට හැදෙන්න පරතරයක් තිබෙනවා. ජපානයේ වුණත් කරන්නේ ඒ ක්‍රමය. අපේ බිත්තර වී ගත්තාම ඒවා කලවම්. ඒ ප්‍රශ්නය පැළ හිටවද්දි එන්නේ නෑ. අපි බිත්තර වී නිෂ්පාදනයටත් දැන් කටයුතු කරගෙන යන්නේ මේ හේතු නිසා.

 

කමල් අය්යාගේ වගා සංග්‍රාමය කෙරෙන්නෙත් කාබනික ක්‍රමයටද?

අම්මේ මම මේ ගොවි තැනට බැස්සේ හා පුරා කියලා ගිය කන්නෙ. මේ ගෙවෙන්නේ දෙවැනි කන්නය. මුලින් කළේ අක්කර දොළහක් විතර. මේ කන්නේ අක්කර 400ක් විතර කළා. ඒත් අපට අස්වැන්න ගන්න පුළුවන් වුණේ අක්කර තුන්සියයක වගේ තමයි. මොකද හිටපු ගමන් ගොවීනුත් ශත පනහට රුපියලට පවා වෙනස් වෙනවා. පසුගිය කන්නයේ අපට කරන්න වුණෙත් රටේ හැමතැනම කෙරෙන විදිහට. ඒත් මේ කන්නයේ අපටත් පොහොර ප්‍රශ්නය එනවා. ඒත් කවුරුහරි ගොවියෙක් පැළ හිටවන යන්ත්‍රයක් හෝ භාවිත කරලා වගා කළොත් බිත්තර වී නාස්තියත් වැළැක්වෙනවා, වල්පැළෑටි ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා, අස්වැන්නත් හොඳයි.

ඒත් ඉතින් ගොවි පවුල්වල ළමයින් ඉන්නේත් මේ තරම් වටින ගෞරවනීය රැකියාවක් අතහැරලා කම්පියුටර් මත්තේ යන 'වයිට් කොලර් ජොබ්ස් (සුදු කරපටි රැකියා) ගැන හිතමින්. මොකද අද ඉතින් මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුද? කියන ප්‍රශ්නය තියෙන නිසා. (ඔහු කියන්නේ සෝපහාසය මුසු හඬකිනි). මේක හිනාවෙන්න දෙයකුත් නෙවෙයි ඇත්තටම ඔවුන්ට තිබෙන ප්‍රශ්නත් එක්ක ඒ තත්ත්වයට පත්වෙලා නිසා, කුලියට මිනිසුන් දාලා වැඩකරන්න ගොවියන්ටත් සිදු වෙලා. ඒවගේම ඉතින් කාබනික පොහොර ප්‍රශ්නය අපටත් මේ කන්නයේ බලපානවා. මොකද ඒකට තවම හරිම ක්‍රමවේදයක් යෙදී නැති නිසා. හැබැයි සමස්ත කෘෂි කර්මාන්තයේ තව කන්නයක් දෙකක් ඉවසාගෙන හිටියොත් යම්කිසි ආකාරයකින් අපට ගොඩනඟා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ දක්වා, සියල්ල වසා නොදමා විකල්ප ක්‍රමවේදයකුත් ගොවීන්ට දෙන්න ඕනෙ.

ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවානේ නේද? කොහොමත් ඔබත් කෑම බීම ගැන බොහොම පරිස්සම් නිසා වගාවත් ඒ ආකාරයට කරන එක හොඳයිනේ?

මම මේ ගැන කියන්නම ඕනෙ. සරසවිය වුණාට කමක් නෑ අරුණි මේක ලියන්න. මම ටින්මාළු කර්මාන්තයේ ඉන්න නිසා කියන්‌නෙ. අද තත්ත්ව පරීක්ෂණ ආයතනවලින් අපට දාන්නේ මේ ලෝකෙත් නැති නීති. ඔවුන් කියනවා ටින්මාළුවල ආසනික් තිබෙනවා කියලා. ටින්මාළු හදන ක්‍රමවේදයේදී අමුතුවෙන් ආසනික් ඇතුළත් වන්නේ නෑ. මාළු වෙළෙඳපොළෙන් දැන් ඔයා ගිහින් ගේන මාළුවලත් ආසනික් තියෙනවා. මොකද අද ලෝකයේ හැම මුහුදක්ම අපිරිසුදු වෙලා. එය ලංකාවටත් බලපානවා. ලෝකෙ කොහේවත් මාළුන්ගේ තිබෙන ආසනික් භයානක එකක් හැටියට සලකන්නේ නෑ. හේතුව ආසනික් වර්ග දෙකක් තිබෙනවා. එකක් කාබනික ආසනික්. අනෙක අකාබනික ආසනික්. කර්මාන්තශාලා ආදියෙන් පිටකරන බැරලෝහ ආදි රසායනික ද්‍රව්‍ය කාලයක් යද්දි ජලජ පැළෑටි ආදිය උරා ගන්නවා. මාළු යැපෙන්නේ ඒවා කාලා. ඒ තැන්පත්වන ආසනික් අයත් වන්නේ කාබනික ගණයට. මාළුන්ගේ ඇඟේ තිබෙන සම්පූර්ණ ආසනික් ප්‍රමාණයෙන් සියයට අසූවක්ම තිබෙන්නේ කාබනික ආසනික්. අපේ නීති රීති හදන්නේ සම්පූර්ණ ආසනික් ප්‍රතිශතයට. ඒ නිසා අපි ටින්මාළු අපනයනය කරද්දි ලෝකෙ කොහෙන්වත් අහන්නෙ නැහැ ආසනික් වාර්තාව. මොකද අප කන කෑමවලින් මාළු ස්වල්පයයි ආහාරයට ගන්නේ. ඊට වඩා ආසනික් පුරවගෙන කනවා බත්වල. මේ ආයතනවල අනම්‍ය ක්‍රමවේද නිසා සහ ප්‍රශ්න විසඳීමට නැතුව ප්‍රශ්න ඇති කිරීමට ගන්න ක්‍රමවේද නිසා විශාල හිර වීමක් ඇති වෙනා. අපි හැමදාම කියනවා වගේ මේ රටේ නිෂ්පාදකයන් ඇත්තටම රට වෙනුවෙන් කරන කාර්යය අති මහත්. අපි විදේශ විනිමය පිටරටට ගලා යෑම වළක්වන පිරිසක්. ලංකාවේ මාළු වෙනුවෙන් තරග කරන්න බැරි නිසා පිටරටින් මාළු ගෙනැත් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරද්දි ඒවාට බදු අය කළාට කමක් නෑ, ඒත් මේ නිෂ්පාදනවලට නීති රීති යෙදිය යුත්තේ ලෝක සම්මතයට අනුව මිසක් අපටම විශේෂිත ක්‍රමවලට නෙවෙයි. එයින් අපට බලවත් අසාධාරණයක් වන්නේ. මේ රට යන්න ඕනේ ප්‍රශ්න ගොඩගහගෙන නෙවෙයි. ප්‍රශ්න විසඳගෙන. ඒකට මඟ අහුරන නිලධාරීන්ගේ ආකල්පවල ප්‍රශ්නයක් තිබෙන්නේ. ඒ අය එක්කෝ දැඩි මානසික අසහනයකින් පෙළෙනවා, නැත්නම් ඔවුන්ට ලැබී තිබෙන මේ අවස්ථාව ලොකුවට හිතාගෙන ඉන්න අධිමානසික තත්ත්වයකින් පෙළෙනවා.

 

ඔහු දිගින් දිගටම වගාවන් හා ටින්මාළු ගැන කියද්දී මම බාධා කළෙමි.

මේ නිෂ්පාදකයාගේ භූමිකාව නිසා රංගවේදියාගේ භූමිකාව යටපත් වෙලා වගේ?

රංගවේදියාගේ භූමිකාව ඊට වඩා අනාථයි. මොකද රංගවේදියාට තත්ත්ව පාලනය කරගන්න පුළුවන්නෙ තනිවම. එහෙම කරනකොට රංගවේදියාට හමුවන්නේ නෑ තමන්ගේ රංගන තත්ත්වයට, නළුකමට ගැළපෙන කිසිම 'මඟුලක්!...' ඉතින් ඒවා ප්‍රතික්ෂේප කර-කර යනවා. පහුගිය කාලේ මට ආරාධනා ලැබුණු ඒවායේ හැටියට මට තිබුණේ නෑ හොඳ දෙයක් කරන්න. හොඳ රංගනයක් නොකර මගේ කාලය කාගන්නවාට වඩා හොඳයි ඒ කාලය ප්‍රයෝජනයට අරගෙන මට ජීවත් වෙන්න සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කරන එක. රංගවේදියා පැත්තකට වෙලා හිටියාට නිෂ්පාදනයක් වගේ රංගනය පුස් කන්නේ නෑනේ. එන්න එන්නම ඒක අලුත් වෙනවා. යටි හිතෙන් හෝ මොනවා හරි එකතු වෙනවා. අවුරුදු ගාණකට පස්සෙ මම රඟපෑවා 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේ. අනෙක් සියල්ලට වඩා ඒක කරන්න ගත්තා. මම අවුරුදු හතරකින් විතර චිත්‍රපටයක රඟපාලා නෑ. අවුරුදු දාසයකින් දාහතකින් විතර ටෙලිනාට්‍යයක රඟපාලා නෑ. මොනවා කරන්නද? (මහා සිනාවක් අතරින් වචන පිට කරමින් ...)කවදා හරි ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන තරුණ වයසට ගිහින් හරි කරන්න බැරි වුණ දේවල් කරනවා! හැබැයි ඒකටත් ඉතින් සල්ලි තියෙන්න එපැයි. ඒ නිසා සල්ලි ටිකක් හම්බ කරගන්න තමයි මේ මහන්සි වෙන්නේ.

 

එසැණින් ඔහු ගැඹුරු හඬක්, හැඟීමක් සහ සුසුමක් සමඟින් කියයි.

ඒක මහ පිස්සු කතාවක් නේද? මම කීවේ විහිළුවට වුණත්.... මොකද ජීවිතය කියන්නේ සල්ලි, ප්‍රසිද්ධිය වගේ ඕවා පස්සේ හෝ අනුන්ට දේවල් කර-කර ඒවා පස්සේ දුව - දුව ඉන්න එක නෙවෙයි. අපි බෞද්ධයෝ හැටියට මේ ජීවිතයේ දුකින් මිදෙන්නේ කොහොමද? ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ කරගැනීමයි අවශ්‍ය අවසානයේ. නැතුව හැමදාම ආශාවන් පොදි බැඳගෙන, ප්‍රාර්ථනා පුරවාගෙන වයසට ගිහින් ඇවිදගන්නත් බෑ, පොතක් කියවගන්නත් බැරි තත්ත්වයට ආවාම ඒ කිසි දෙයක් කරගන්න බැරිව දුකේම තමයි. ඒ නිසා දුක නැතිකරගන්නා මාර්ගය අවබෝධ කරගෙන ජීවත් වන එක තමයි කෙනෙකු ජීවිතයේ අවසාන කාලයේ හෝ කළ යුත්තේ. ඒ නිසා ඕනෙ නම් තව සුළු කාලයක් මේ ව්‍යාපාර, මේ කලාව කරගෙන යයි. ඊට පස්සේ මම ඒ මාර්ගය සඳහා වෙලාව හොයාගන්නවා.

 

ඒත් ඔබ රංගවේදියකු ලෙස මේ කාලය පුරා චිත්‍රපට කලාවට, කර්මාන්තයට සිදු වුණ දේ ගැන යම් අවබෝධයක ඉන්න ඇතිනේ?

 

අන්තර්ජාලයේ තිබුණු ඒවා හැර චිත්‍රපට නම් බලන්න වුණේ නෑ ඇත්තටම. හැබැයි මම පිළිගන්නවා චිත්‍රපට කර්මාන්තය යම් පරිහානියකට පත් වුණා කියලා. මොකද චිත්‍රපට කියලා අපට තිබෙන්නේ මේ ලංකාව තුළ තිබෙන කර්මාන්තයක් පමණයි. මේ ලංකාව තුළ කෙරෙන කලාවට සම්බන්ධ කර්මාන්තවලින් යම් හෝ සශ්‍රීකත්වයක් තිබෙන්නේ ගායනයට නැත්නම් සංගීතයට පමණයි කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය. කලාවට තිබෙන අනුග්‍රහය, දියුණුව ගැන සලකද්දි පුවත්පත් කලාව සම්පූර්ණ අනාථ වුණා. ඒ වගේ තමයි චිත්‍රපටත්. සංගීතය රේඩියෝවකින් හෝ අහන්න කරන්න සැලස්වෙන නිසා පැවතුණාට එය ඉතාම පහළටම ගිහින් පිරිහිලා. මොකද හරිහමන් වාදන ශිල්පීන් නෑ, ගීත රචකයන් නෑ, ගායකයන් නෑ. ඒ නිසා රසාස්වාදය සඳහා සුදුසු තත්ත්වයක නෑ අද. නිසි රසාස්වාදය අගය කරන මිනිස්සුත් නෑ. චිත්‍රපට ගැන කතා කරද්දි ඒකත් සංගීතය වගේ විශ්වීය කලාවක්. ඒ නිසා අප හිතන්න ඕනෙ ලෝකයට චිත්‍රපට හදන්න. එහෙම හිතන කෙනෙකුට යම් කිසි දැක්මක් තිබෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ වගේම අනාගතයකුත් තියෙයි.

 

මේ රටේ මිනිසුන්ගේ රසාස්වාදය, චින්තනය, අධ්‍යාත්මික ගුණය වැනි සියල්ල නංවාලන්න පුළුවන් ප්‍රධානම දේ සාහිත්‍යය. සාහිත්‍යය තමයි කලාවේ න්‍යෂ්ටිය. ඒ ගැන කිසිම අවබෝධයක් දැනුමක් පාසල් මට්ටමේ සිට ලබා නොදෙන නිසාම අපේ රටේ ජනතාවම සාහිත්‍යයෙන් බොල් වූ පිරිසක් බවට පත්වෙලා. එතකොට හැදෙන්නෙම ජරා සින්දුයි, කතායි මිස හොඳ රචනාවක්, මම කියන්නේ කෙටි කතාවක්, නවකතාවක්, ගීතයක්, චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය තිරපිටපතක් ඒ කිසිවක් බිහිවන්නේ නෑ. හොඳ දෙයක් කළත් රස විඳීන්න කෙනෙක් නැති වුණාම මොකද කරන්නේ. හැබැයි ලෝකයේ තවම ඒ වින්දනය තිබෙන අය ඉන්නවා. අපි තමයි 'කලාවට කෙළවගැනීම' හොඳටම කරලා තියෙන්නේ.

 

කොහොමද 'ලෝකෙට' චිත්‍රපට හදන්නේ?

ලෝකෙට චිත්‍රපට හදන්න එක අතකින් හරිම ලේසියි. එක අතකින් ලෝකය බෙදී වෙන්වෙලා තිබෙන්නේ. මිථ්‍යාවන්ට හසුවෙලා තිබෙන්නේ. ඒ විෂයයන් ඕනෙ තරම් කතා කරන්න පුළුවන්. අපේ රටේ විතරක් නෙවෙයි ඒවා තිබෙන්නේ.

ඇත්තටම ඒවා නොකෙරුණේ කොවිඩ් නිසා නෙවෙයි. අපේ සිනමා තාක්ෂණය, ඒ කියන්නේ රංගනය, අධ්‍යක්ෂණය, තිර රචනය ආදි සියලු දේ හරියට ගැළපුණේ නැති නිසා. ඒ වගේම අපේ අයට මේ නිර්මාණශීලී වීම අරඹන තිර රචනය කියන දේ හරියට කරගන්න බැරිව ගියා. හොඳ නිර්මාණයක් බිහිවන්නේ නෑ හොඳ තිරරචනයක් නැතිව. එදා සිට අද දක්වාම කිසිම රජයක හරි මඟ පෙන්වීමක් තිබුණේ නෑ කලාවට. ඒක තමයි ප්‍රධාන ගැටලුව.

 

කොහොමද ගොඩ එන්නේ?

මේක ගොඩ ගන්න නම් නායකත්වය මෙය අවබෝධ කරගන්න ඕනෙ. මොකද කලාව කියන්‌නේ පිටි අනලා පාං හදනවා වගේ දෙයක් නෙවෙයි. අපේ දරුපරපුරට හරි වින්දනය පිළිබඳ හුරුවක් ඇති කරන්න ඕනෙ. ඒ තත්ත්වය උදා වෙනකල් අධ්‍යාපනයේ වෙනසක් ඇති කරන්න ඕනෙ. අද බහුතරයක් ඉන්නේ පාදඩ සංස්කෘතියක. පාරට බැස්සාම වාහන එළවද්දි පේනවා මිනිස්සුන්ගේ තරම. පොඩි ළමයෙක් එක්ක කතා කළොත් තේරුම් ගන්න පුළුවන් ඔවුන්ගේ දැනුම හා සදාචාරාත්මක ගොඩනැඟීමේ තරම. වැඩිහිටියන්ට ගරු කරන, රටට ආදරය කරන කිසි මිනිහෙක් නෑ හොයාගන්න. අපිත් කොච්චර කතා කළත් අපේ අතිනුත් සමහර වෙලාවට ඒ හැඟීම නැති වැඩ කෙරෙනවා. නීතිගත නොවුණට හොරකම සිදුවෙනවා. පගාවක් දෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. හොඳ මිනිසුන් කවුද හොරු කවුද කියලා හොයාගන්න බැරි වෙලා. මෙහෙම සමාජයක් යළි යථා තත්ත්වයට ගොඩ නඟන්න කලාවෙන් කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද? කලාව කොයි තරම් මිනිසුන්ගේ චින්තනයට විඥානයට කතා කරන දෙයක්ද? දේශපාලනඥයෙක්, පූජකයෙක්, ගුරුවරයෙක් පැය ගණන් දේශනය කරන දෙයක් ගීතයකින්, චිත්‍රපටයකින් සුළු කාලයක් ඇතුළත මිනිහෙකුගේ හදවත පතුලටම කිඳා බහින්න දෙන්න පුළුවන්. කෝ එහෙම දේවල් වෙන්නෙ නෑනේ.

 

ඔබ ඔය චෝදනාව කරගෙන යන්නේ කාටද?

ඒක කරන්න ඕනෙ එක්තරා ප්‍රමාණයකින් කලාකරුවන්ම තමයි. හැබැයි කලාකරුවන් කියලා බිහිවෙන පිරිස අවුරුදු ගාණක් විශ්වවිද්‍යාලවල තැපලා-තැපලා අන්තිමට එළියට ආවාම රස්සා නෑ. ඒ අය අන්තිමට කාලය කන පිරිසක් වෙනවා. ඒ නිසා අපි බලය දෙන නායකයන් තමයි මුලින්ම මෙයට අතගැසිය යුත්තේ. මිනිස්සු එදා වේල හම්බකරගන්න කළ හැකි ඕනෙම දෙයක්කරනවා මිසක නිසි රැකියා පුහුණුවක් ලබා දෙන්නේ නෑ. ජපානය වගේ රටවල ළමයි පන්ති කාමර, වැසිකිළි පවා පවිත්‍ර කරලා තමයි වැඩ පටන් ගන්නෙ. ඒ සඳහා සුළුසේවකයන් නැති තරම්. ඒ ළමයින්ට පාං හදන්න ඉගැන්නුවත් එයට විධිමත් ක්‍රමවේදයක් තිබෙනවා. එතකොට විද්‍යා පාඩම අතර පාං හැදීමේ කර්මාන්තය, ගුණාත්මක පාංගෙඩියක් හදන්නේ කොහොමද විතරක් නෙවෙයි, පාං කන්න හොඳද නැද්ද කියලත් දැනගන්නවා. අපේ ඔක්කෝම එකට ඕලෙවල් ඒලෙවල් කරනවා. අමාරුවෙන් විභාගේ පාස් කරන එකා මොකක් හරි පීඨයකට ගිහින් යන්තම් එළියට ඇවිත් ආණ්ඩුවෙන් රස්සාවල් ඉල්ලනවා. අනෙක් උන් ටික කෝස් එකක් කරයි, ඒවත් නැති උන් මොහොකට හරි පැනගන්නවා රස්සාව කරද්දි තමයි හැමෝම රස්සාව මොකක්ද කියලා ඉගෙන ගන්නේ. ඉගෙන ගත්ත එක දෙයක්වත් ප්‍රායෝගික වෙලා නෑ. කිසිම වෘත්තියභාවයක් නෑ, ඒ නිසා ප්‍රායෝගික දැනුම දෙන අධ්‍යාපන ක්‍රමයක් අපට ඕනෙ. අඩුම ගානෙ ස්වයං රැකියාවක්වත් කරගන්න පුළුවන් නම් ආණ්ඩුවෙන් රස්සාවල් දෙනකල් කෑගගහ ඉන්න ඕනෙ නෑනෙ කවුරුවත්. එහෙම සංස්කෘතියක් නෑනේ ලංකාවෙ. කලාවටත් වෙලා තියෙන්නේ ඒකමයි.

මම ආයෙත් අහන්නේ කලින් ප්‍රශ්නයමයි. ඔබත් ප්‍රවීණ කලාකරුවෙක්, ඔබට ජ්‍යෙෂ්ඨ පිරිසකුත් ඉන්නවා. කලාව අද යම් තැනක තිබෙනවා නම් එයට ඔබ කාටද චෝදනා කරන්නේ?

 

මම දන්නවා ඔය හැමෝම කරන චෝදනාවක් තිබෙනවා 'උඹලා සක්‍රිය නෑ' කියලා. ඒත් අපි කොච්චර සක්‍රිය වුණත් වැඩක් නෑ, හැම නාළිකාවකම හතහමාරෙ ඉඳන් නවයහමාර වෙනකල්ම උන්ට ඕනෙ මළ ජරාව පෙන්වනවා. අඩුගණන්වලට ෂූට් කරලා, මිනිහෙක්ට බලන්න බැරි කාලෙ කන, මිනිසුන්ගේ රසඥතාව මොට කරන දහ ජරාවල් පෙන්වනවා. අපට පුළුවන්ද ඒ වගේ ඒවාට කතා කළාම යන්න. හොඳ නිර්මාණයක් කරලා පුළුවන්ද ඒවායේ පෙන්නා ගන්න, සොච්චම් මුදල්වලට ඉල්ලන්නෙ.

 

ඒවාට ඇයි කලාකරුවන් එකතුවෙලා විරුද්ධ නොවෙන්නේ?

අනේ.. කලාකරුවන් විතරක් එකතුවෙලා වැඩක් තියෙනවාද? ඔන්න චිත්‍රපටයක් ආවාම ඒක රැඟුම් පාලක මණ්ඩලයකට දානවා. ඇයි මේ ටෙලිවිෂන් එක ගැන බලන්නේ නැත්තේ. බීරි අලින්ට වීනා ගහලා වැඩක් නෑ නංගී...225 කරන්නේ මොකක්ද එක එකාට චෝදනා කරගෙන කෑ ගහගන්නවා එච්චරයි. ඊට පස්සේ ඒ කලාකාරයෙක් පොඩ්ඩක් හරි ජනප්‍රිය වෙලා ගියොත් ඒක අල්ලගෙන දඟලනවා, මැණික් ගලක් අහු වුණා වගේ. දැන් යොහානි ගැන බලන්න. ඒ පොඩි කෙල්ල තමන්ගේ හැකියාවෙන් ගිය ගමනක් තියෙන්නෙ. මම දැක්කා පොඩි කාලේ ඉඳන්ම වෙනස් හැකියාවක් තිබුණා. ඒක ඉන්දියාව දැක්කාට පස්සේ තමයි අපිට පෙනුණේ. පැරා ඔලිම්පික්වල දිනපු කොල්ලන්? ඒ නිසා එක සුබ සිහිනයයි අපට තිබෙන්නේ දකින්න. එක්කෝ මේ රටේ පාලකයන්ට බුද්ධිය පහළ වේවා නැත්නම් රටේ ජනතාවට බුද්ධිය පහළ වේවා!

 

මම කතාව වෙනතක හරවන්නට පැනයක් අසමි. රංග ශිල්පියා යනු කවුද?

ජනතාවට මඟ පෙන්වන්නෙක්. ඔහු එක්තරා ප්‍රමාණයකින් මාර්ගෝපදේශකත්වය වගේම රසාස්වාදය ලබා දෙන නිර්මාණයක ඉතා වැදගත් සාධකයක්. මොකද ඔහුගේ රංගනයෙන් තමයි මිනිසුන්ගේ සිත්සතන්වල භාවයන් ඇති කරන්නේ. බ්ලූ ෆිල්ම් එකක රඟපාලා රාගය ඇති කරන්නත් පුළුවන්, ජාතිවාදී එකක රඟපාලා වෛරය ඇති කරන්නත් පුළුවන් නළුවාට. ඒත් මානව හිතවාදී චිත්‍රපටයක හරි විදිහට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්, එය තමන්ගේ දැනුම අවබෝධය යොදාගෙන කරන්න පුළුවන් වුණොත් මිනිසුන්ට විශාල ආලෝකයක් ලබා දෙන පහනක් වගේ වෙන්න පුළුවන්. ඇත්තෙන්ම රංග ශිල්පියා කියන්නේ මිනිසුන්ගේ සිතිවිලි අවදි කරන්න අඳුරේ දැල්වෙන පහනක් වගේ.

 

රියැලිටි වැඩසටහන්වල පිරිස ගැන හැඟීම කොහොමද?

නර්ථනය පැත්ත හොඳයි ඔවුන්ගේ. එය බොහොම කායිකව කළ යුතු දෙයක් සහ මාර්ගෝපදේශ සහිත කටයුත්තක්. නිදර්ශකයන් තිබෙනවා අධ්‍යයනය කරන්න. ඒත් සංගීතය ගත්තාම ඉන්ඩියන් අයිඩ්ල් වගේ උදාහරණ ගෙන බැලුවොත්, ඔවුන් තමන්ගේ රටේ ගීත ගායනය කරලා ශාස්ත්‍රීය අංශයෙන් එහෙම දක්ෂකම් පෙන්වලා ඉදිරියට එන්නෙ. ඒත් අපට එහෙම එකක් නෑ. අපි තාම ළදරු වයසේ ඉන්නේ. එක්කෝ මෑත කාලේ ආව පපඩම් සින්දු වගේ ඒවා කියනවා වෙන එකෙක් අල්ලගෙන. එහෙම නැත්නම් අවුරුදු ගාණක් තිස්සේ විශිෂ්ට ගායකයන්ගේ ජනප්‍රිය වුණු ගීත කියකිය පරණ වාදමම ගහගෙන යනවා. කිසිම අලුත් බවක් නිර්මාණාත්මකබවක් නෑ. අලුත් රැල්ල කියලා මොකක්ද කරන්නේ. රැප් කියනවා. ඒක කොච්චර පරණද? අපි තාම ඒවා බදාගෙන ඉන්නවා. ඒ අය තමයි හැම තැනම ඉන්නේ. ඒ අය තමයි රැල්ලේ යන්නේ. ඇත්තටම සංගීතය කියන්නේ කොයි තරම් පුළුල් විෂයයක්ද? හැබැයි අලුත් රැල්ලට ඉතින් කුණුත් ගහගෙන යනවානේ.

 

රංග පාසලක් වගේ තිබුණා නම් අලුත් පිරිසට වඩාත් යහපතක් වෙයි නේද?

එක අතකින් ඒකත් හොඳයි. හැබැයි අපි නිර්මාණයක් කළාම නාළිකා ප්‍රධානීන් සහ හිමිකරුවන් මානුෂීය හැඟීම් තිබෙන රසයක් තිබෙන අය වනවා නම් ඊටත් වඩා යහපතක් වෙයි. හැම නාළිකාවකටම න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන භූමිකාව ඔවුන්ට අමතක වෙලා තිබෙනවා. ජනතාව හරි තීරණ ගන්න තැනට ගේන්න හෝ නිසි රසවින්දනයක් දීම කියන දේ ඔවුන්ට අමතක වෙලා.

 

වර්තමානයේ සිනමාව රිදී තිරයෙන් ජංගම දුරකථන තිරයට ඇවිත්?

ඉදිරි අනාගතයේ අති විශාල සිනමා ශාලාවලින් කිසි ප්‍රයෝජනයක් නෑ. සියයක් එකසිය විසිපහක් උපරිමය තිබෙන ශාලා තමයි හරි යන්නේ. ඒ දිහා බලනකොට මේ තත්ත්වය අලුතෙන් ප්‍රතිව්‍යූහගත විය යුතුමයි. ඒ සඳහා ඉඩකඩක් තිබෙනවා. අද කාලේ මිනි තියටර් එකක් පිරෙනවා කියන්නෙත් ලොකු දෙයක්නේ. අපට පුළුවන් අන්තර්ජාලය වගේ දේවල් භාවිත කරලා ප්‍රචාරය ලබා ගන්න ඒ චිත්‍රපටවලට. රිදී තිරයේ චිත්‍රපට බලන්න අනිවාර්යයෙන්ම රසිකයන් එයි. මොකද මිනිස්සු කැමැතියි එළියට යන්න. මිනිසුන් සමඟ මුහු වෙන්න. ඒ වගේ සංස්කෘතියකට පිරිසක් අනිවාර්යයෙන් ඉන්නවා. මේ වෙලා තියෙන්නේ වසංගතයත් සමඟ අනවශ්‍ය බයක් ඇති වෙලා තිබෙන එක. කොරොනා කියන්නේ හැම කෙනෙකුම අත්දැකිය යුතු ලෙඩක්. මෙයින් ආරක්ෂා විය යුත්තේ අනිවාර්යයෙන් රෝගී තත්ත්වයන් තිබෙන අය, වයසක අය, විශේෂ දුර්වලතා තිබෙන අය හෝ ආහාර ගැනීමේ මට්ටම ඉතාම පහළ තත්ත්වයක තිබෙන විතරයි. කොහොමත් අපි පාං පිටි කන, කිරිපිටි බොන, අධික තෙල්, සීනි, ලුණු හෝල්සේල් එකේ කන ජාතියක්නේ. එතකොට ඉතින් බ්‍රොයිලර් කුකුළො වගේ තමයි. එහෙම කෑම කකා ඉංජෙක්ෂන් විතරක් ගහලා හරි යන්නේ නෑ. ඒ නිසා මේ තත්ත්වය හදන්න ගියොත් මිනිස්සු කන බොන තැන්වල ඉඳන්ම හදන්න ඕනෙ. හැබැයි ඒ හැම කෙනෙකුම දැනුම්වත් කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි කලාව. සිනමාව. උදාහරණයකට සිගරට් බොන කෙනා පෙට්ටියේ ගහලා තිබෙන පිළිකා රූප බලමින්මනේ පෙට්ටිය අරින්නේ. හැබැයි චිත්‍රපටයකින් ඒක ඊටවඩා දැනෙන විදිහට කීවොත් එය නතර කරන්නත් පුළුවන් වෙයි. ඉතින් කලාව භාවිත කරන්න දැනගන්න ඕනෙ ඵලදායී විදිහට ජනජීවිතයට. කෝ ඉතින් කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නෑනේ!

 

ඔබට තිබෙනවාද එවැනි නිර්මාණයක් කිරීමේ අදහසක්?

ඔවු මට එහෙම නිර්මාණයක් කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. හැබැයි ඉතින් මටත් ඒ සඳහා පස්මහ බැලුම් බලනවා වගේ දේවල් හොයන්න වෙයි. දැනටත් මට කතා කරනවා චිත්‍රපට කරන්න. ඒ්ත් මම කියන්නේ දැන්නම් හිතන්න එපා තව ටික දවසකින් බලමු කියලා. නිෂ්පාදනයක් ලැබුණ පමණින් මම එය බාර ගන්නෙත් නෑ. මොකද රසිකයන් සෑහෙන කාලෙකින් මාව නිර්මාණයකින් දැකලා නැති අතරේ මම නිකං ජැක් එකක් ගහන්න ටෙලියකට ගිහින් වැඩක් නෑ. මටත් ඒකෙ කිසි ගතියක් නෑ. නිර්මාණයේ මම රඟපාන්නේ පොඩි කොටසක් වෙන්න පුළුවන්. හැබැයි මගේ සිතුම් පැතුම්වලටත් එය ගැළපෙන්න වෙනවා. ඊට පස්සේ චරිතය කුමක්ද කියලා බලනවා. නිකං ජැක්ගහන චරිතයක් නම් මට තියෙන්නේ අනේ කොච්චර ගෙවුවත් මට වැඩක් නෑ. මොකද මම ගොඩනඟාගෙන ආ ප්‍රතිරූපයක් තිබෙනවා. ඒ නිසා මගේ විශ්වාසයක් තිබෙනවා යම් නිර්මාණයකට මම ගියොත් එය තනියෙන් හෝ ඇදගෙන යන්න පුළුවන් අවකාශයක් මට තිබෙන බවට. බොහෝ වෙලාවට මම දැකලා තිබෙනවා සෙසු නළුනිළියන් නිසා මට ලැබෙන්න තිබෙන ආලෝකය, චිත්‍රපටයට ලැබිය යුතු ආලෝකය නොලැබුණු අවස්ථා. ඒ නිසා සෙසු අය පිලිබඳවත් මම හිතනවා. ඒ නිසා යම් නිර්මාණාත්මක වටිනාකමක්, ගැළපෙන බවක් තිබෙනවාද අන්න ඒකට මම ගියා. මොකද ඔයා කොච්චර රසට මාළු ඉවුවත් වැඩක් නෑ ඔයාට කුණු මාළු ටිකක් හෝ නරක කුළුබඩු ටිකක් හෝ නරක් වූ වතුර ලැබුණොත්. ඒ වගේ තුලනාත්මකව බැලුවාම සමස්තය ප්‍රශස්ත මට්ටමක තිබෙන නිර්මාණයකට පමණයි මම සම්බන්ධ වන්නේ.

 

පවුලේ අය ගැනත් අහමු?

පොඩි පුතා ඔන්ලයින් ඉගෙන ගන්නවා. ලබන වසරේ විභාගය. ලොකු පුතා ඕස්ට්‍රේලියාවේ ගිහින් ශබ්ද ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉගෙන ගත්තා. මේ ප්‍රශ්න ටිකක් ඉවර වෙනකල් ඉන්නේ ආපහු යන්න. බිරිඳ මේ සියලු කටයුතු කරගෙන පුතාලාගේ අධ්‍යාපනය ගැන සොයාබලාගෙන සුපුරුදු පරිදි ඉන්නවා.

 

අවසන් වශයෙන් කියන්න දෙයක් තිබෙනවාද?

අපට මේ යුගයේ තිබෙන්නේ සරලව හිතන්නයි. ලොකු බලාපොරොත්තු තබා ගැනීම වැඩක් නැහැ. එදා දවස සතුටින් ජීවත් වෙන්න. කාටවත් රිදවන්නත් එපා. තමන් රිදවාගන්නත් එපා.