ලෝකේ කොහේ ඉඳන් මොන භාෂාවක සින්දු කිව්වත් මම තනිකරම ලංකාවේ කලාකාරිනියක්

ඔක්තෝබර් 7, 2021

 

අපි මේ වෙලාවේ ගැටෙන්නේ යෝධ සමාගම් සහ කණ්ඩායම් සමඟ

 

ඉන්දියානු සංචාරයෙන් පසුව යොහානි මුල්වරට මාධ්‍යයට කතා කරයි

 

“මැණිකේ මගේ හිතේ” ගීතයේ අයිතිය චමත් "T Series" එකට දුන්නා

 

ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් මට ගොඩක් උදවු කළා

 

ප්‍රේක්ෂකාගාරය සිංහල ගීත ගායනා කරනවා දැක්කම ඇත්තටම ආඩම්බර හිතුණා

 

ප්‍රසංගවලදි මම වැඩිපුර කිව්වේ සිංහල සින්දු

 

ඉන්දියානු රසිකයෝ ලසිත් මාලිංගටත් දැන් “සුකුමාලි” කියනවා

මෑත ඉතිහාසයේ ලංකාවේ නම ලොවක් ඉදිරියට රැගෙන ගිය යොහානි ද සිල්වා ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. ඇය ගායනා කළ "මැනිකේ මගේ හිතේ" ගීතය මේ වන විට ගීත දර්ශකවල ලෝකයේම ජනප්‍රියම ගීත පහ අතරට පැමිණ හමාරයි. “මැණිකේ මගේ හිතේ” ගීතයට මුළු ලොවක් නටමින්, මුමුණමින් ඉන්න මොහොතක ඇයට බොලිවුඩ් චිත්‍රපටයක ගීයක් ගායනා කිරීමටද ආරාධනා ලැබුණි. ඒ සමඟම ඇයට ඉන්දියානු ප්‍රසංග වේදිකාවේද ඉඩහසර විවර වෙමින් ඉන්දියානු ප්‍රසංග දෙකක්ද පැවැත්වීමට ආරාධනා ලැබුණි. මුළු ලොවක් වසඟයට පත් වුණු ළයාන්විත කටහඬක් හිමි යොහානි ඉන්දියානු සංචාරයෙන් පසුව මාධ්‍ය වෙත මුල්වරට අදහස් පළ කරමින් සරසවිය සමඟ මෙසේ කතාබහකට එකතු වුණා.

 

 

 මැණිකේ මුළු ලෝකෙම නැටෙව්වා නේද?

ඔව් නොහිතපු විදිහට "මැණිකේ මගේ හිතේ" ගීතයට දැන් මුළු ලෝකෙම නටනවා. ඒ ගැන හරිම නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ.

 

ද අපි මුලින්ම කතා කරමු ඔබේ ඉන්දියානු සංචාරය ගැන?

මමයි "ලුණු" සංගීත කණ්ඩායමයි ඉතාමත් සතුටුයි ඉන්දියාවේ පවත්වපු අපේ ප්‍රසංග දෙක ගැන. ගොඩක් අය සැකෙන් හිටපු දෙයක් තමයි අපේ සජීවී ඉදිරිපත් කිරීම් කොයි විදිහට සාර්ථක වෙයිද කියන එක. ඉන්දියානු සංචාරය ගැන මුලින්ම කතා කරගෙන යන වෙලාවේ ඔවුන් කියා සිටියේ ඉන්දියානු කණ්ඩායමක් එක්ක ගීත ගයනා කරන්න කියලා. ඒත් මට වුවමනා වුණේ වැඩිපුර සිංහල සින්දු කියන්න සහ "ලුණු" මගෙත් එක්ක මුල ඉඳන් හිටපු කණ්ඩායම එක්ක මේ වැඩේ කරන්න. ඒ වගේම ඔවුන් අපිට වැඩිපුර ඉංග්‍රීසි සින්දු ගායනා කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒත් මම සහ අපේ සංගීත කණ්ඩායම කිව්වා "අපි ලංකාවෙන් ආවේ අපිට වැඩිපුර කියන්න ඕනේ සිංහල සින්දු" කියලා. අපි ඉදිරිපත් කරන විදිහ සහ අපේ සංගීත සංයෝජන වෙනස්. පොඩි බයක් තිබුණා ඉන්දියානු ප්‍රේක්ෂාගාරය මේක කොහොම පිළිගනිවිද කියලා. ඒත් අපිට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. මට වඩා සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ට ඉන්දියානු රසිකයන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා. ඉතින් "ලුණු" සංගීත කණ්ඩායමට සහ දිලංජන්ට ගොඩක් ස්තුතියි.

 

ද "මැණිකේ මගේ හිතේ" ගීතයට ලොවක් වසඟ වෙන්න හේතුව මොකද්ද?

ඇත්තටම හේතුව නම් මම දන්නේ නෑ. අපි ගොඩක් ආසාවෙන් කරපු වැඩක්. ඇත්තටම නිරහංකාරව මේ ගැන සතුටු වෙනවා. සංගීත නිර්මාතෘ චමත්ටත් , මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගයනා කළ සතීෂාන්ටත්, පද රචනා කළ දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටුපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු "පෙටා ඉෆෙක්ට්" (Pettah Effect)  කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ.

 

ද මුළු ලෝකෙටම තරුවක් වීම කොහොමද දැනෙන්නේ?

ඇත්තටම නිරහංකාරව මේ ගැන සතුටු වෙනවා. අපි කුඩා කණ්ඩායමක්. අපි මේ වෙලාවේ ගැටෙන්නේ යෝධ සමාගම් සහ කණ්ඩායම් සමඟ. මේ සංචාරය අතරමැද අපට නිදාගන්න ලැබුණෙත් කලාතුරකින්. මීට කලින් මේ දේවල් ලංකාවේ කවුරුත් කරලා නැති නිසා උදවු කරන්නත් කාටවත් දැනුමක් නෑ. පෙටා ඉෆෙක්ට් කණ්ඩායම ඇත්තටම විශාල කර්තව්‍ය‍යක් කරනවා මගේ පිටුපස ඉඳගෙන. හැමදේම හෙමින් හෙමින් ආසාවෙන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඉන්දියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ඔවුන් අපිව බලන්න ප්‍රසංගය ආරම්භ වෙන්නත් කලින් ඇවිත් සහයෝගය දුන්නා. ගුවන් තොටුපළේදිත් අපිට සෑහෙන්න උදවු උපකාර කළා. හුඟදෙනෙක් ලංකාවේ මිනිස්සු ගැන දොස් කිව්වට, මගේ සහ මගේ කණ්ඩායමේ අත්දැකීම් ගොඩක් වෙනස්. ලාංකිකයෝ හමුවුණ හැම වෙලාවේම අපිට උදවු කළා. මාත් එක්ක වැඩ කරන ලංකාවේ සන්නාම පවා ඔවුන්ගේ ඇඳුණුම්කම් කියලා අපිව බලා ගත්තා. මේ ගමනට සුබ පතපු, උදවු උපකාර කරපු හැමෝටම ස්තුතියි.

 

ද යොහානි නිසා මුළු ලෝකෙම දැන් සිංහල කතා කරනවා නේද?

ඇත්තටම ඒක හරිම සතුටක්. මටත් පුදුමයි ඒ අය කොහොමද අපේ වචන ලස්සනට උච්චාරණය කරන්නේ කියලා. ඔවුන් මම ගායනා කරන අනික් සිංහල සින්දුත් අපිත් එක්කම කියනකොට ඇත්තටම පුදුම වුණා. මගේ මුල් ගීතයක් වන "ආයේ" ගීතයට ඔවුන්ගෙන් ගොඩක් ප්‍රතිචාර හම්බවුණා. අපි වේදිකාවේ ඉඳලා බලනකොට ප්‍රේක්ෂකාගාරය සිංහල ගීත ගායනා කරනවා දැක්කම ඇත්තටම ආඩම්බර හිතුණා.

 

ද යොහානි එක්ක ජාත්‍යන්තරයේ නියෝජනය වෙන්නෙ ලංකාවේ නම. ලංකාව ගැන ඒ අයගේ අදහස් මොනවාද?

මගේ නමත් එක්ක ලංකාවෙ නම හැමෝම මතක් කරනවා කිව්වාම ඒක ලොකු වගකීමක් මට. මගේ ගෞරවය සහ මගේ රටේ මිනිස්සුන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරි වැඩ කටයුතු කරන එක තමයි මගේ බලාපොරොත්තුව. විදේශීය ප්‍රේක්ෂකයෝ හැමෝම කියන්නේ එයාලා මීට කලින් ලංකාව ගැන දැනගෙන හිටියේ ලසිත් මාලිංගගෙන්, සනත් ජයසූරියගෙන් සහ ක්‍රිකට්වලින් කියලා. ඒ නිසාම "මැණිකේ මගේ හිතේ" ගීතයේ "සුකුමාලි" කියලා තියෙන කෑල්ල ලසිත් මාලිංගට කියනවා "මාලී සුකුමාලී" කියලා. ගොඩක් අය මේ ගීතය සිංහල භාෂාවෙන් තියෙන්නෙ කියලා දැනගෙන හිටියේ නෑ. හැමෝම හිතුවේ ඒක ඉන්දියාවේ වෙනත් භාෂාවක් කියලා. ඒ නිසාම අපි යන යන තැන හැමෝටම කියනවා මේ ගීතය සිංහල භාෂාවෙන් තියෙන්නේ, ඒක "ශ්‍රී ලංකන්" කියලා.

 

ද ඉතිහාසයේ පළමු වරට ලංකාව නියෝජනය කරමින් ඔබ බොලිවුඩ් ගීතයක් ගායනා කළා. ඒ අත්දැකීම කොහොමද?

"වින්මන්" කියන්නේ ඉන්දියානු සමාගමක්. මගේ කළමනාකාරීත්වය දරණ "පෙටා ඉෆෙක්ට්" සමාගම "වින්මන්" සමාගම සමඟ කතාබහ කරලා "T Series" චැනල් එකට ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලබාදුන්නා. T Series  කියන්නේ ලෝකේ තියෙන ලොකුම යූටියුබ් නාළිකාව. මගේ කළමනාකාරීත්වය සමඟ ගිවිසුම්ගත වෙලා කලාකාරිනියක් ලෙස ගෙවීමක් කරලා මට "Shiddat" හින්දි චිත්‍රපටයේ නිල ගීතය ගායනා කරන්න ආරාධනා ලැබුණා. ඇත්තටම මේ ගීතය මම කළේ දවස් දෙකෙන්. හින්දි භාෂාව සම්බන්ධයෙන් ගැටලු තිබුණ නිසා හින්දි කෝච් කෙනෙක් එක්ක භාෂාව උච්චාරණය කරන විදිහ පුහුණු වුණා. දෙවෙනි දවසෙ ගීතය පටිගත කළා.

 

ද "මැණිකේ මගේ හිතේ ගීතය" චිත්‍රපටයකට ඉල්ලුවොත්?

ඒ ගීතයේ අයිතිය චමත් සංගීත් "T Series" එකට දුන්නා. ඒ අය ඔවුන්ගේ නිර්මාණවලට භාවිත කරයි.

 

ලෝක පූජිත චරිතවලින් ඔබට ප්‍රතිචාර ලැබෙන්න ඇති?

ප්‍රවීණ සිනමා නළු අමිතාබ් බච්චන් තමයි මුලින්ම මේ ගීතයට ප්‍රතිචාර දැක්වූයේ. ඒක තමයි මගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ වගේ ජ්‍යෙෂ්ඨ කීර්තිමත් රංගන ශිල්පයෙක් රසවිඳීන බව කිව්වාම ගොඩක් අය මේ ගීතය ගැන අවධානය යොමු කළා. පසුවත් ඔහු"Who wants to be A Millionaire" වැඩසටහනේ දී මා ගැන කියලා තිබුණා. ඊට අමතරව සමාජ මාධ්‍යවල ගොඩක් කලාකරුවන් මට ප්‍රතිචාර ලබාදුන්නා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ බොලිවුඩ් සිනමාවේ ඉහළම තැනක ඉන්න ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් ගැන. "මැණිකේ මගේ හිතේ ගීතය" මුලින්ම ඉන්දියාවේ වයිරල් වෙලා ඉන්දියාවේ හිට් එකක් වුණ ගමන් ජැක්ලින් මට කතා කරලා ඉන්දියාවට එන්න එයා උපකාර කරන්නම් කියලා කිව්වා. ඒ වගේම එයා දන්න හැඳුණුම්කම් ඔස්සේ කිසිම පැකිළීමක් නැතුව මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.

 

ද යොහානිට ගල් ගහපු අයත් දැන් මල් විසි කරනවා. ඒ ගැන මොකද හිතන්නේ?

ඒ අය මට ගල් ගැහුවා නම් එහෙම කළේ මා ගැන හරියටම දන්නේ නැතුව වෙන්න ඇති. කොහොම වුණත් මම නින්දා ප්‍රශංසා දෙකම එකම විදිහට භාරගන්නවා. මල් විතරක් නෙමෙයි අදටත් මට ගල් එනවා. ඒ හැමෝටම මම ආදරෙයි. ඒ හැමෝම මගේ රටේ මිනිස්සු.

 

ද ලංකාවේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඔබට ලබාදුන් සහයෝගය කොහොමද?

ඇත්තටම මාව ඉහළම මට්ටමේ ඉන්න ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දන්නේ නැහැ. ඒ ඔවුන් සමාජ මාධ්‍යවල නැති නිසා වෙන්න ඇති. ඒත් ඔවුන් හැමෝටම මම ගරු කරනවා. ඔවුන්ගේ කාලය ශ්‍රමය කැප කරපු නිසා තමයි ලංකාවේ සංගීත ක්ෂේත්‍රය මේ මට්ටමින් පවතින්නේ. ඒ වගේම භාතිය - සන්තුෂ්, උමාරා - උමාරියා, රජීව් සෙබෙස්තියන්, සුනිල් අංකල් (සුනිල් පෙරේරා), පියල් පෙරේරා මේ හැමෝම මට හයියක් වෙලා මගේ පිටිපස්සෙන් හිටියා. අදටත් මේ හැමෝම මොනදෙයක් වුණත් ඕනේම වෙලාවක කතා කළොත් මට උදවු කරනවා. සුනිල් අංකල්ව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයාව ඉස්සර ප්‍රසංග වේදිකාවේදී මුණ ගැහුණාම "දුව කොහොමද, අපෙන් මොනවද වෙන්න ඕනේ" කියලා අහනවා. පියල් අංකල් අදටත් මට සෑහෙන්න උදවු කරනවා.

 

ද යොහානි කියන තරුව ඉදිරියේදී කොහෙට ගමන් කරයිද?

ගායිකාවක් විදිහට කවදාහරි ප්ලැටිනම් රෙකෝඩ් එකක් ගන්න එක මගේ බලාපොරොත්තුවක්. කවදාහරි දවසක මිනිස්සු ලක්ෂයක් ඉදිරියේ වේදිකාවක ගීත ගයන එක තමයි මගේ එකම හීනය. මම "ග්ලෝබල් ආටිස්ට්" කෙනෙක් කියලා හැමෝම කියනවා. ඒත් මම තනිකරම ලංකාවේ නිෂ්පාදනයක්. ඉදිරියේදී මම මොන භාෂාවෙන් ගීත ගායනා කළත් මම ලංකාවේ කලාකාරිනියක්.