අමතර පන්ති යන්න කොළඹ ආවේ නතර වුණේ වේදිකාවේ

පෝර්ක් වීදිය අධ්‍යක්ෂ සාලින්ද රත්නායක
සැප්තැම්බර් 30, 2021

 

 

සතියේ දිනවල රාත්‍රී අටයි තිහට ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ පෝර්ක් වීදියට ගොඩ වෙන්නට යැයි ඇරැයුම් කරන්නේ එහි අධ්‍යක්ෂ සාලින්ද රත්නායකයි. මේ වන විට කොටස් හතළිහක් ඉක්මවා විකාශය වී ඇති පෝර්ක් වීදිය ටෙලි සිතුවමට විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙමින් පවතියි. මෙය සාලින්දගේ කුලුඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයයි. ප්‍රවීණ නවක නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙන පෝර්ක් වීදිය අසංක සායක්කාරගේ රූපවාහිනී රචනයකි. ඒ පෝක් වීදිය ගැන මෙන්ම සිය කලා ජීවිතයේ අතීතයද පිරික්සමින් සාලින්ද රත්නායක සමඟ අපි මෙලෙස කතාබහක නිරත වූයෙමු.

කොහොමද සාලින්ද 'පෝර්ක් වීදිය' නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර

වෙනස්ම වූ ප්‍රතිචාර අපට ලැබෙමින් පවතිනවා. බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ මේක වෙනස්ම විදිහේ ටෙලි නාට්‍යයක් කියලයි. ඒ වගේම ලංකාවේ විද්වත් පිරිස අතරද පෝර්ක් වීදිය ගැන කතාබහක් ඇතිවෙලා තිබෙනවා. එවැනි පුද්ගලයින්ද නිරන්තරයෙන්ම අදහස් දැක්වීම නිසයි එහෙම කිව්වේ. ඒ වගේම අපේ පැරැණි හොඳ ටෙලි නිර්මාණ සමඟ ද පෝර්ක් වීදිය සසඳන්න උත්සාහ කරනවා. ඒකත් ඇත්තටම සතුටක්. තවත් ප්‍රතිචාර ලැබෙනවා මෙන්න මේ විදිහට. සමහරු කියනවා ඔවුන්ගේ චරිතෙත් පෝර්ක් වීදිය ටෙලිනාට්‍යයේ තියෙනවා කියලා. යම් යම් තැන්වලදී මාවත් මේ චරිත තුළින් දකිනවා කියලා ඒ මිනිස්සු කියනවා. ඇත්තටම පෝර්ක් වීදිය නාට්‍යයේ සිටින චරිත හරිම යථාර්ථවාදීයි. අපි සියලු දෙනාම ජීවන අරගලයකට මුහුණ දෙමින් සිටින්නේ. ඉතින් ඒ අරගලය තවදුරටත් විග්‍රහ කිරීමක් පෝර්ක් වීදිය නාට්‍යය තුළින් සිදුවෙනවා. ඇත්තටම මේ සමාජයේ ජීවත්වන මිනිස්සු කොට්ඨාසයකගේ කතාවක් කියලා තවත් විදිහකින් පෝර්ක් වීදියට අර්ථකථනයක් දෙන්නට පුළුවන්.

ඒ අතරතුර දී යම් යම් විවේචන එනවා කියලත් ආරංචියි?

ඔය ප්‍රශ්නයට මම සිද්ධීන් දෙකක් අරගෙන පිළිතුරක් දෙන්නම්. පළමුවැන්න තමයි ගුරුවරුන්ගේ වර්තමානයේ පවතින වැටුප් ප්‍රශ්නය. මෙනිසා ගුරුවරුන් පිළිබඳ සමාජයේ යම් කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. පෝර්ක් වීදිය නාට්‍යයේ ප්‍රධාන චරිතයන් විදිහට ගුරුවරුන් ඉන්නවා. ඔවුන් ජීවන අරගලයකට මුහුණ දෙමින් සිටින්නේ. ඒ නිසා රැකියාවට අමතරව තමන්ගේම කියලා පොඩි ව්‍යාපාරවල ඔවුන් නිරතවෙනවා. ඒ අතරතුරදී ගුරුවරුන් විවේචනය කරනවා කියලා අපට ලොකු චෝදනාවක් ආවා. ඇත්තටම පෝර්ක් වීදියේ ඉන්න ගුරුවරුන් වැටුප් ඉල්ලලා උද්ඝෝෂණය කරන අය නෙමෙයි. ඔවුන් මුහුණ දෙන්නේ වෙනත් ප්‍රශ්න කිහිපයකට. තමන්ගේ රැකියාව කරලා එතැනින් එහාට තිබෙන කාලයේදී තමයි ඔවුන් ව්‍යාපාර කරන්නේ. ඉතින් අපිට මුලින්ම කියපු අර ගුරුවරුන් පිළිබඳ චෝදනාවකුත් ඉදිරිපත් වුණා. විවේචන ඉදිරිපත් වුණ දෙවැනි කාරණාව වන්නේ පෝර්ක් වීදිය නාට්‍යයේ තිබුණු උපන්දින සාදයක්. ඒක මගේ උපන් දිනය දවසේ සිදුවුණේ. අපේ නළු නිළියන් සහ නිෂ්පාදන කණ්ඩායම මට තියෙන හිතවත්කමට උපන්දින සාදයක් සංවිධානය කරලා මගේ උපන් දිනය දවසේ. ඇත්තටම ඒක සර්ප්‍රයිස් පාර්ටි එකක්. නාට්‍යය රූපගත කිරීම් කරන තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ තමයි එය සංවිධානය කළේ. ඉතින් නාට්‍යය රූපගත කිරීම් කරන අතරතුරදී මහපාරේදිම උපන් දින කේක් එකක් ගෙනාවා. ඉතින් අන්න ඒ වෙලාවේ අපි ෆේස්බුක් එකේ ලයිව් ඇවිල්ලා මේ අවස්ථාව අපේ රසික රසිකාවන්ට මිත්‍රයින්ට පෙන්නවන්න කටයුතු කළා. අන්න ඒ වෙලාවේ දී බොහෝ දෙනෙක් අපිට චෝදනා කරන්නට පටන් ගත්තා කොරෝනා ඇති සමයක නාට්‍ය රූපගත කිරීම් කරනවා කියලා මේ වගේ සාද පැවැත්වීමද කරන්නේ කියලා. අපි ඇත්තටම වැඩිය හිතුවේ නෑ ඒ ගැන, ඒකයි ෆේස්බුක් ලයිව් ආවෙ. අපි ඉක්මනට ඒ වීඩියෝව අයින් කළා. ඇත්තටම අපි එහෙම සාද තිය-තිය රූපගත කිරීම් කරන්නේ නැහැ. ඒක එක්තරා අහඹු අවස්ථාවක් පමණයි.

 

ඔබ කොළඹ ප්‍රදේශයේ තරුණයකු නෙමෙයි, ඔබ කොළඹ එන්නේ රඟපාන්නට තියෙන උනන්දුව මත?

ඔවු. ඇත්ත. මගේ ගම මොණරාගල බඩල්කුඹුර. මම ඉගෙන ගත්තේ මඩුකොටන්අරාව මහා විද්‍යාලයෙන් සහ නිශ්ශංක ජාතික පාසල කියන ගමේ ඉස්කෝලවලින්. මම උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. ඔය කාලෙ අමතර පන්ති පන්ති සඳහා කොළඹ එන්න තීරණය කරනවා. ඇත්තටම මට වඩාත් අවශ්‍යතාවය වුණේ පන්ති යෑමටත් වැඩිය කොළඹ ඇවිත් නළුවෙකු වෙන්න. එහෙම ඇවිල්ලා මුලින්ම වේදිකා නාට්‍යවලට මම සම්බන්ධවෙනවා. වේදිකා නාට්‍යවල පෙළ මතක් කිරීමේ ශිල්පියකු විදිහට කාලයක් වැඩ කරනවා. ඔය අතරතුරදී දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා විදිහට නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒවයින් ලැබූ අත්දැකීම් මත පළමු සහාය අධ්‍යක්ෂවරයා විදිහට ඊළඟට මම කටයුතු කළා. අපේක්ෂා, සඳා, සුදු ඇඳගෙන කළු ඇවිදින් වගේ නාට්‍ය ගණනාවක ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා මම. ඔය අතරතුරදී මට රඟපාන්න අවස්ථාවන් හිමිවුණා. සල්සපුනා නාට්‍යයේ පුවත්පත් කලාවේදියාගේ චරිතය තමයි ඒ අතරින් වඩා කැපී පෙනුණේ. කාලාන්තරයක් තිස්සේ මගේ හිතේ තිබුණා වෙනස්ම ආරක ටෙලි නාට්‍යයක් කරන්න. ඒ ඔස්සේ තමයි පෝර්ක් වීදිය නාට්‍ය නිර්මාණය වුණේ.

 

ඔබ අධ්‍යක්ෂණය කරන මේ ටෙලි නාට්‍යයේ ඔබ චරිතයක් නිරූපණය නොකළේ ඇයි?

කාලය ගතවීමත් සමඟ මිනිස්සුන්ගේ ආශාවල් වෙනස් වෙනවානේ. මේ වන විට මට වඩාත් ඕනේ අධ්‍යක්ෂවරයෙකු විදිහට තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්න. හැබැයි මම රංගනය කියනදේ බැහැර කරලා නෑ. යාළුවකුගේ නිර්මාණයකට මට කතා කළොත් මම රඟපාන්න යනවා. අවුරුද්දකට සැරයක් එක චරිතයක් හෝ එහෙම නිරූපණය කළත් මට ඇති. මම මගේ නාට්‍යයේ චරිතයක් රඟනොපෑවේ, මට හිතුණා අධ්‍යක්ෂවරයකු විදිහට සාධාරණයක් කරන්න බැරි වේවි මම රඟපාන්න ගියොත් කියලා. ඒ නිසා මම තීරණය කළා මම අධ්‍යක්ෂණය කරන කිසිම නිර්මාණයක මම රඟපාන්නේ නැහැ කියන එක.

 

පෝර්ක් වීදිය නාට්‍යය කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීමක් ගැනයි මම මං ඊළඟට අහන්නේ?

ඇත්තටම අමතක නොවන අත්දැකීම් නම් රැසක් තිබෙනවා. තලවතුගොඩ කිඹුලාවල හන්දියේ දී රූපගත කිරීම් කරපු සෑම අවස්ථාවක්ම මට හොඳට මතකයි. එතැන රූපගත කිරීම් කරන්නට අපි පැමිණි අවස්ථාවලදී බොහෝ දෙනෙකු විරුද්ධ වුණා එතැන නාට්‍යයක් කරනවට. මොකද පෝර්ක් වීදියේ ඉන්න චරිතවල සැබෑ අයමයි ඒ අවටත් ඉන්නේ. ඔවුන්ගේ බිස්නස් පාඩු වෙවි කියලා බොහෝ දෙනෙකු විරුද්ධ වුණා. කැමති වෙච්ච අයත් හිටියා. කොහොම හරි ඒ සියලු බාධක මැද අපි රූපගත කිරීම් කළා. ඊටත් වඩා ප්‍රධානම ගැටලුව වුණේ ඉතා තද අව්ව. සමහර අවස්ථාවලදී අපි උදේම රූපගතකිරීම් පටන් අරගෙන රෑ වෙනකම්ම එතැන හිටපු වෙලාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවල තද අව්ව විඳ දරාගෙන ඒ නළු නිළියන් කරපු කැපකිරීම කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ වෙලාවේ මම ඔවුන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ නාට්‍ය වෙනුවෙන් කරපු කැපකිරීමට.