ඔස්කාර් වගේ සම්මානයක් ලංකාවට අරගෙන එන එක මගේ හීනයක්

“පාර දිගේ”හී ජූඩ් වුණු සද්ධාමංගලගේ පුත් - ඉඳුවර සූරියබණ්ඩාර
සැප්තැම්බර් 30, 2021

 

 

 

 

 

 

මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසින් අධ්‍යක්ෂණය කරන "පාර දිගේ" ටෙලිනාට්‍යය ඔබ නරඹනවා නම් එහි කොණ්ඩය වවා ගත් හීන්දෑරි උස තරුණයෙක් මතක ඇති. නමින් ජූඩ් වන ඔහු සංගීතයට පමණක් අවධානය යොමු කරන නිතරම කේන්ති ගන්නා තරුණයෙක්. ඔහු අන් කිසිවෙක් නොව ජනප්‍රිය පිටපත් රචකයකු සහ මාධ්‍යවේදියකු වන සද්ධාමංගල සූරියබණ්ඩාරගේ එකම පුත් ඉඳුවර සූරියබණ්ඩාරයි. විශේෂත්වය වන්නේ "පාර දිගේ" ටෙලිනිර්මාණයත් ඔහුගේම පිටපත් රචනයක් වීමයි. අප්පච්චි ලියූ චරිතය පුතා ගොඩනඟනයුරු සහ අනෙක් කලා කටයුතු පිළිබඳ කතාබහකට ඉඳුවර සූරියබණ්ඩාර අප සම්බන්ධ කරගත්තා.

 

 

 

ඉඳුවර කියනවට වඩා ඔබ හැමෝම දන්නේ ජූඩ් කියන නමින්?

ඔව්. දැන් හැමෝම මාව හඳුන්වන්නේ ඒ නමින් තමයි.

 

"පාර දිගේ" ගමන ගැන කියමු?

"පාර දිගේ" කියන්නේ මම රංගනයෙන් සහභාගි වන පළමුවැනි ටෙලිනාට්‍යය. ක්ෂේත්‍රය ගැන ලොකු අත්දැකීමක් ලබමින් ඉන්න කාලයක් මේක. මම රඟපාන්න යන්නෙත් කලා ක්ෂේත්‍රය ගැන අත්දැකීම් එකතු කරගන්න. හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලබමින් "පාර දිගේ" යනවා.

 

ලංකාවේ ජනප්‍රිය පිටපත් රචකයෙකුගේ සහ කලාකරුවෙකුගේ පුතා වීම ඒ ගමනට කොයිතරම් පහසුවක්ද?

මගේ අප්පච්චි සද්ධාමංගල සූරියබණ්ඩාර. "පාර දිගේ" ටෙලිනාට්‍ය ලියන්නේ එයා. අප්පච්චි පිටපත් රචකයෙක් වීම ඇත්තටම මට ලොකු පහසුවක්. මගේ චරිතය ලියන්නේ එයා. මම ගැන හොඳටම දන්නේ එයා. චරිතය තුළ මම හැසිරෙන්න ඕනේ විදිහ, දෙබස් කියන විදිහ මේ හැමදෙයක්ම අප්පච්චිගෙන් අහගන්න පුළුවන්. ඒක ආධුනිකයෙක් වුණ මට පහසුවක්. ඒ වගේම මම පුතා කියලා අප්පච්චි මට කිසි ලෙසකවත් විශේෂයක් කරන්නේ නැහැ. සමහර ජවනිකාවල මට දෙබස් පවා නැහැ. මම වගේම ඒ ටෙලිනාට්‍යයේ ඉන්න අනිත් ආධුනිකයන්ට අප්පච්චි චරිතයේ අඩුපාඩු හදාගන්න හැටි කියලා දෙනවා. ඒ වගේම ටෙලිනාට්‍යයේ අපි ඉන්නේ සංගීත කණ්ඩායමක සාමාජිකයන් හැටියට නිසා සංගීත කණ්ඩායමක් විදිහට අපි එකට ඉන්න ජවනිකාවලදී අපිට සංගීතය පැත්තෙන් වෙන්න ඕනේ යම් යම් වෙනස්කම් අප්පච්චි එක්ක කතාබහ කරලා කරගන්න පුළුවන්. ඒ වගේම රඟපෑවට පස්සේ ඒ ඒ ජවනිකාවල අඩුපාඩු අප්පච්චි කියනවා. එහෙම කතාබහ කරලා වැඩ කරනවා අපි.

 

ඒ කියන්නේ ඉඳුවරගේ චරිතයට සමානවද ජූඩ්ව ගොඩනඟලා තියෙන්නේ?

නැහැ. ඒ චරිතයම නෙමෙයි මම. හැබැයි ජූඩ්ට වගේ මටත් ටිකක් තරහ යනවා. ජූඩ් මගේ චරිතයට ටිකක් සමීපයි. අවුරුදු විසිඑකක් තිස්සේ අප්පච්චි මාව දන්නවානේ. එතකොට එයාට මගේ චරිතයට සමීප චරිත ලක්ෂණ ලියැවෙනවා ඇති.

 

ජූඩ්ගේ චරිතය ගැන කිව්වොත්?

ජූඩ් කියන්නේ ගමක කොල්ලෙක්. යම් මට්ටමක මුදල් තියෙන පවුලක ළමයෙක්. ජූඩ් කොළඹ එන්නේ මියුසික් කරන්න. එයාට මියුසික් පැත්තෙන් ඉස්සරහට යන්නයි ඕනේ. ඒ නිසා එයා තව යාලුවෝ කීපදෙනෙක් එක්ක පොඩි සංගීත කණ්ඩායමක් දාගන්නවා. එයාලා පාරේ සින්දු කියනවා. සල්ලි හොයන්න විවිධ දේවල් කරනවා. ජූඩ් එක්ක ඉන්න අනෙක් යාළුවෝ කරන වෙනත් වැඩ එයාට අදාළ නැහැ. ජූඩ්ට ඕනේ බෑන්ඩ් එක ඉදිරියට අරගෙන යන්න. ඒ වගේම එයා දුරදිග බලලා වැඩ කරන කෙනෙක්. එයා යාළුවො දෙයක් කරද්දි නිතර කියන්නේ "ඕක හරියන්නේ නෑ බං" කියලා. ඒක ඇත්තටම හරියන්නේ නැති වෙනවා. ඒ වගේම ජූඩ්ට ඕනේ විදිහට බෑන්ඩ් එකේ වැඩ නොකෙරුණාම එයාට කේන්ති යනවා.

 

ජූඩ්ගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර ගොඩක් හොඳයි. නාට්‍යය විකාශය වන්න පටන් ගත්ත මුල් කාලේදී ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒත් දැන් දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ යාළුවන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම රඟපාන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. පොඩි කාලේ ඉඳලා කැමරාවක් ඉස්සරහට යන්න මම ගොඩක් බයයි. මම රඟපානවා කිව්වම යාළුවන්ටත් ගොඩක් පුදුමයි. එයාලා හැමෝම ටෙලිනාට්‍යය බලනවලු.

 

ඉඳුවරට රංගනයේදී අනෙක් අයගෙන් කොයිවිදිහේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ඔවුන්ගෙන් සෑහෙන්න ලොකු සහායක් මට ලැබෙනවා. මුල ඉඳලාම ප්‍රවීණ, ආධුනික හැම රංගන ශිල්පියෙක්ගෙන්ම මට ලොකු සහායක් ලැබුණා. ඒ වගේම සිවගුරුනාදන් අංකල්ව ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදක චාමර සමරවික්‍රම අංකල්වත් මතක් කරන්න ඕනේ. විශේෂයෙන් ප්‍රවීණ කලාකරුවන් අපිට ගොඩක් උදවු කරනවා. දෙබස් උච්චාරණය, චරිතයේ හැසිරීම වගේ අපේ විවිධ අඩුපාඩු ඔවුන් හදනවා.

 

ජූඩ්ලා වගේ මියුසික් පැත්තෙන් ඉස්සරහට යන්න හීන දකින තරුණයො පිරිසක් ලංකාවේ ඉන්නවා නේද?

අනිවාර්යයෙන්ම. ගොඩක් තරුණයෝ ඉන්නවා මියුසික් පැත්තෙන් ක්ෂේත්‍රයට එන්න දුක්විඳීන. මේ කාලේ සංගීතය පැත්තෙන් හෝ වෙනයම් කලා මාධ්‍යයකින් ක්ෂේත්‍රයට එන්න පහසුයි. ඒත් පවතින්න අමාරුයි. දැන් තියෙන තාක්ෂණයත් එක්ක මුළු ලෝකෙටම අපේ දක්ෂතා පෙන්වන්න පුළුවන් මාධ්‍යයන් ඕනෑතරම් තියෙනවා. ඒ මාධ්‍යයන් භාවිතයෙන් ඉදිරියට එන්න ලේසියි. ඒ නිසාම ඒකට තරගකාරීත්වය වැඩියි. ඒ නිසා අපි හැමවෙලාවෙම බලන්න ඕනේ කවුරුත් නොකරපු අලුත් විදිහෙ නිර්මාණයක් කරන්න.

 

ජූඩ් වගේම ඉඳුවරත් ඇත්තටම වාදන ශිල්පියෙක් නේද?

ඔව්. මම වෘත්තිමය වශයෙන් කරන්නේ සංගීතය. මම හය වසරේ ඉඳලා පෙරදිග සංගීතය විෂයක් විදිහට හැදෑරුවා. ඒත් ඒ කාලේ සංගීතය ගැන ලොකු විශේෂයක් මට තිබුණෙ නැහැ. ඒක මට එක විෂයයක් විතරයි. ඒත් මම අට වසරේදී විතර ගයාන් මධුරංග කියලා සර් කෙනෙක්ගෙන් ගිටාර් වාදනය ඉගෙන ගත්තා. නිලාන් සර්ගෙන් සංගීතය ඉගෙන ගත්තා. මම උසස් පෙළ හැදෑරුවෙ වාණිජ අංශයෙන්. උසස් පෙළ කරන කාලේ මමයි මගේ යාළුවෝ කීපදෙනෙකුයි එකතු වෙලා යූටියුබ් එකට "කවර් සෝන්ග්ස්" කරන්න පටන් ගත්තා. ඒක කරද්දි අපිට විවිධ ගැටලු එන්න ගත්තා. සින්දු රෙකෝඩ් කරන්නේ කොහොමද, තාක්ෂණික වැඩකටයුතු කරගන්නේ කොහොමද වගේ ගැටලු ටිකක් එන්න ගත්තා. ඒ නිසා මියුසික්වල තාක්ෂණික පැත්ත ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න හිතුවා. රංග දසනායක සර්ගෙන් මම ශ්‍රව්‍ය ඉංජිනේරු තාක්ෂණය ගැන ඉගෙන ගත්තා. ඒ වගේම නදීක ගුරුගේ සර්ගෙන් සංගීතය ඉගෙන ගත්තා. ඊටපස්සේ මම මගේම කියලා සින්දුවක් කළා. එතකොට මට තේරුණා සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න ඕනේ කියලා. එතැනින් එහාට මියුසික් පැත්තෙන් මට යන්න අවශ්‍ය හැම උපකරණයක්ම උපාංගයක්ම ගන්න අප්පච්චි උදවු කළා. මගේ සීයාත් සංගීත ගුරුවරයෙක්. මම හිතනවා ඒ ආභාසයත් මට ඇති කියලා.

 

ඒ ආරම්භය ඉතා ළාබාල වයසේදීම ඔබව ටෙලිනාට්‍යයක සංගීත අධ්‍යක්ෂවරයෙක් වීම දක්වා දුර ගෙනාවා නේද?

මම "අග්නි පියාපත්" ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළා. එතකොට මට වයස අවුරුදු දහනවයයි. ඒ වෙනකොට මගේ පොඩි පොඩි වැඩ අප්පච්චි අහලා තිබුණා. ඒ ටෙලිනාට්‍යයත් ලිව්වෙ අප්පච්චි. එයාට හිතෙන්න ඇති මට ඒ නිර්මාණයට සංගීතය සපයන්න පුළුවන් කියලා. ඒක සටන් ජවනිකා එහෙම වැඩිපුර තියෙන ටෙලිනාට්‍යයක් නිසා මට ලොකු අභියෝගයක් වුණා. මම ඒ වැඩේ සාර්ථකව කළා කියලා මම හිතනවා.

 

සද්ධාමංගල සූරියබණ්ඩාර වගේ පිටපත් රචනයට යොමු වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

මම හිතන්නේ අප්පච්චි තරම් හොඳට ඒ වැඩේ කරන්න බැහැ කියලා. මට හොඳ අදහස් තියෙනවා. ඒත් අප්පච්චි වගේ ලස්සනට කතාවක් ගොඩනඟන්න මට දැනුමක් නැහැ. එහෙම ලියන්න නම් හොඳට පොතපත කියවන්න ඕනේ. භාෂාව ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මිනිස්සු අධ්‍යයනය කරන්න ඕනේ. දැනට එහෙම පිටපත් ලියන්න ‍යොමුවෙන්න බලාපොරොත්තුවක් නැහැ.

 

ඉඳුවරගේ පෞද්ගලික විස්තර කිව්වොත්?

මට ඉන්නේ අම්මයි අප්පච්චි. අප්පච්චි වගේම අම්මාත් මගේ හැමදෙයකටම ලොකු සහයෝගයක් ලබාදෙනවා. මම උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරුවා. මම දැන් සංගීත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මම සංගීත විශාරද විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙනවා.

 

කවදා හරි ජීවිතේ හැබෑ කරගන්න දකින හීන මොනවද?

කවදාහරි ලංකාවට මියුසික් පැත්තෙන් සම්මානයක් ගෙන එන්න පුළුවන් නම් ඒක තමයි මම දකින ලොකුම හීනය. ඔස්කාර් සම්මානය වගේ සම්මානයක් ලංකාවට අරගෙන එන්න පුළුවන් නම් මට ඒ ඇති. රංගනය පැත්තෙන් මට සම්මාන ඕනේ නැහැ. හොඳ දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත්.