පරිසරයට ආදරේ කරන්න පරිසරය ඔබ රැකගනී

ජ්‍යෙෂ්ඨ රංගවේදිනී - අයිරාංගනී සේරසිංහ
සැප්තැම්බර් 2, 2021

 

“මුදු ගමුව තමයි මගේ ගම. රුවන්වැල්ලෙනුත් එහා බොහෝම පිටිසර පළාතක තියෙන්නේ. අපේ ගෙදර ඉස්සරහින් ගුරුගොඩ ඔය, පිටිපස්සෙන් රිටිගහ ඔය. ඒ වතුරේ සීතල වගේම ගලාගෙන යන හඬ අදටත් මට ගේන්නේ පුදුමාකාර සතුටක්. උදේ හිට රෑ වෙනකල් අපිට බලන්න තියෙන්නේ කුරුල්ලන්ගේ සිරිත් විරිත්, රණ්ඩු සරුවල්, හුරතල්. ඒ ඔක්කෝම බලන් ඉන්න අපට වෙලාව ඕනෙතරම් තිබුණා. අපේ වත්ත පුරා නානාප්‍රකාර පැළ ජාති, රූස්ස ගස් පිරිලා. අපට සෙල්ලම් බඩු හැටියට තිබුණේ අඹ ඇට, කුරුම්බැට්ටි, ගල්මුල් වගේ අහරෙන් මෙහෙන් හොයාගත්තු දේවල් තමයි.“

 

මේ දෙබස සමඟ ඇගේ සේයා රූ සරසවිය පුවත්පතේ දකින විට ඔබ සිතනු ඇත්තේ අපට සිටින ජ්‍යෙෂ්ඨම මෙන්ම ප්‍රවීණම නිළිය, අයිරාංගනී සේරසිංහ, රේඛාව චිත්‍රපටයේ සිට අද දක්වා වසර හැටහයක් පුරා රසික පරම්පරාවල හදවතේ ලැගුම්ගත් රංගවේදිනිය මෙන්ම පුංචි තිරයෙන් නව පරපුරේ ද ආදරය දිනූ අත්තම්මා ලෙස චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයක හෝ කියූ දෙබසක් මා උපුටා ගත්තා කියා විය හැකිය. නැත. මේ ඇය මා සමඟ මීට වසර අටකට පමණ පෙර සැබැවින්ම කී වදන් පෙළකි. ඒ සිළුමිණ පුවත්පතට මා ලියූ 'පරිසරවේදියකු දුටු ලස්සනම තැන' නම් ලිපි පෙළ වෙනුවෙන් සැබෑ පරිසරවේදිනියක වන ඇය හමු වූ මොහොතේය. ලොව පුරා රටවල සැරිසරා ඇති ඇයට මේ ලොව ඇති ලස්සනම තැන ලෙස පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි ගෝනවිද්දගල බව එදා ඇය පැවසුවේ මේ ආකාරයටය.

"පුංචි කාලේ ඉඳන්ම මම රටේ විවිධ තැන්වලට ගිහින් තියෙනවා. ඉන්දියාව, ස්විස්ටර්ලන්තය වගේ රටවලත් සුන්දර ස්ථාන නරඹලා තිබෙනවා. ඒත් අපේ රටේ තරම් කෙටි දුරකදි විවිධ පරිසර පද්ධති හමුවන රටක් තවත් නෑ.කාන්තාරවල එහෙම ජීවත්වන මිනිසුන්ට අපේ වගේ රටක් ගැන හිතා ගන්නවත් බැරුව ඇති. ඒ තරමට නිල්ලක් වගේම ජෛවවිවිධත්වයක් අපට උරුම වෙලා තිබෙන්නේ. රූප ගත කිරීම්, පරිසර කටයුතු වගේ දේවල් නිසා ඒ ඒ තැන්වල නතර වෙලා තිබෙනවා. ගෝන විද්දගල ලස්සන හරියට දකින කෙනෙක්ට ආයෙ එතැන දාලා එන්න හිතෙන්නේ නෑ . තණ කොළ යායට මායිම් වුණු වැව. එක පැත්තක නිල් පාටට කඳු පේළිය. අනෙක් පැත්තේ පළා පැහැයට ඝන කැලෑව. ඒ අතරේ පිල් විදහාගෙන මොනරු නටන ලස්සන. අලි රංචු පිටින් වතුර බොන්න, දියේ නාන්න එන හැටි, ඒ අතර දිය කුරුල්ලෝ, වලස්සු, ගෝන්නූ, වල් ඌරෝ, දිවියෝ වගේ මේ රටේ ඉන්න සත්තු වර්ග ඔක්කෝම පාහේ එතැන දකින්න පුළුවන්. හවසට ඉර බැහැගෙන යනකොට අහසේ රන්වන් පාටට මිශ්‍ර වුණු තැඹිලි, රතු, නිල් වලා කැරලි, මට කියා ගන්න බෑ මොන තරම් ලස්සනක් ද කියලා. ඒ හවස ගෙවිලා රෑට හඳ පායද්දි වැව රිදී පාටට දිලිසෙන අපූරුව! මට නම් ඒ තරම් ලස්සන තැනක් ලෝකේ කොහේවත්ම නෑ."

 

'රුක් රැක ගන්‌නෝ' සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස වසර ගණනාවක් ඇය ලක්දෙරණේ ගහකොළ, සතාසීපාවා රැක ගැනීම සඳහා සටන් කළ ආකාරය සිහකරමින් එදා ඇය කී අපූරු කතාවක්ද මතකයට නඟමින් මම තවත් මොහොතක් ගත කළේ ඇගේ හඬ අවදි කරන තුරුය.

"එක වෙලාවකට මට හිතෙනවා අපි කොයි තරම් වාසනාවන්ත ද කියලා මෙහෙම රටක ඉපදෙන්න. ගමේ හිටියත්, නගරේ හිටියත්, පාරෙ ජීවත් වුණත්, අපට කන්න බොන්න නැතිවෙන්නේ නැත්තේ වැට මායිමක හරි කන්න පුළුවන් කොළ පළා මිටක් වැවෙන නිසානේ? බොන්න වතුර ටිකක් තියෙන නිසානේ? ඒත් ඒ ගැන අපේ අයට කිසිම වටිනාකමක් නෑ. එහෙම දකිනකොට වෙලාවකට හිතෙනවා, ඒ වගේ විනාශකාරී මිනිස්සු මේ වගේ රටක ඉපදෙන්නවත් වටින්නේ නෑ කියලා."

අදත් ඒ මතයේ සිටිය ද එදා එවදන් පවසන ආකාරයට වඩා අද ඇගේ හඬ ආවේගශීලීබවින් අඩුයැයි මට සිතේ. ඒ ඇය දැන් අනූ හතරවැනි වියෙහි පසුවන නිසාම නොව වත්මන් ලෝකයට කොරෝනාවෙන් සිදුව ඇති හානියෙන් ඇය මහත් කම්පනයට පත්ව සිටින නිසා විය යුතුය. ඇය දෙබැම නළල‌ට රැලිකොට කනස්සලු සේයාවකින් පවසයි.

"අනේ අම්මේ... අපි හීනෙකින්වත් හිතුවද මෙහෙම දෙයක් මිනිසුන්ට වෙයි කියලා. මම නම් හිතන්නේ මේක සොබාදහම අපට දෙන පහරක්. අපේ මේ මුළු ලෝකෙම සෙනඟ වැඩී කියලානේ කීවේ... ඒ නිසා සෙනඟ අඩු කරන්න සොබාදහම කරන දෙයක් තමයි මේක මයෙ හිතේ. අපට තේරෙන්නේ නැහැ අපි පරිසරයෙන්ම හැදිච්ච කොටසක් කියලා. හදන්නෙම පරිසරය විනාශ කරන්න. පරිසරය නැති වුණොත් අපිත් ඉවරයි කියලා හිතුවේ නැති එකේ විපාකෙනෙ මේ..."

උදරය මත නවාගෙන සිටින වම් අතෙහි රඳවා, අතැඟිලි විසිරුවා ඉදිරියට දිගු කළ සුරත මොහොතකින් ගෙන සිය දකුණු කම්මුල වසා හිසෙහි බර එයට දෙන ඇයගේ මුවින් මේ වදන් පිටවන ආකාරය ඔබට මැවී පෙනෙනවාට සැක නැත. ඒ මෙවැනි දෙබස් කණ්ඩයක් චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයකදී පවසන විට පවා ඇගේ තාත්ත්වික අංගචලනය මේ ආකාරයටම වන බව ඔබට හොඳීන්ම හුරු බැවිනි.

ඇයගේ පූර්ණ අවධානය පරිසරය වෙතම වුවත් අපේ අරමුණ රංගවේදිනියක ලෙස ඇයගේ අතීත රස මතකයන් බිඳක් සරසවියට එක් කිරීමය. ඉතින් මම වරින් වර අතීත කතා අවුස්සාලීමට උත්සාහ දරමි.

 

පුංචි කාලේ හරියට දඟ වැඩ කළාලුනේද? චණ්ඩි කියලා නම වැටෙනකල්ම?

"ඕ...වු" ඇදපැද කියන අතර ඇගේ දෑසේ දඟකාර සිනාවක සේයාවක් ඇඳේ.

"මම කීවෙ අර අපේ ගමේ ගෙදර වෙල්යායේ ඇවිදින එක තමයි අපේ වැඩේ. මම පවුලේ දෙවැනියා. ඉන්ද්‍රානි අක්කයි, කමනි නංගියි මමයි, මහින්ද මල්ලියි ඔක්කොම හතරදෙනයි. මගේ වැඩේම වෙල්යාය පුරා දුවනවා කුරුල්ලෝ පස්සෙ, හවස උන් කැදැලිවලට යන හැටි බලාගෙන ඉන්නවා ගොම්මං කරුවල වැටෙනකල්ම. ඉතින් අපිව බලාගන්න වැඩිමල් ගෑනු කෙනෙක් හිටියා. එයාගේ වැඩේම හවස් වෙද්දි කෑ ගගහ අපිව හොයන එක. දවසක් එයා මට කීවා හවසට ගෑනු ළමයි වෙල්යායේ ඉන්න එපා හරිම භයානකයි කියලා. මම ඇහුවා ඇයි කියලා. කළු කුමාරයා අල්ලගනියි කියලා එයා මාව බය කළා. ඒ්ත් පහුවෙනිදාත් ගොම්මනේ මම වෙලේ ගල්තලාව උඩට ඉඳගෙන හිටියා. ඒ පාර එයා ඇහුවා මෙච්චර කියලත් ඇයි අදත් හවස් වෙනකල් වෙල් යායේ කියලා. මම ගාණක් නැතිව කිව්වා කළු කුමාරයා එනවාද බලන්න ආවා කියලා. " ඇය ඒ මොහොතට ගියා මෙන් අපූරුවට සිහින් සිනා හඬක් නඟයි. මමද සිනාසුනෙමි.

"ඔය ආගිය තැන්වලදි දකින දේවල් ගෙදර ඇවිත් අනෙක් අයට කරලා පෙන්වන පොඩි පුරුද්දකුත් මට තිබුණා." ඇය මෙනෙහි කරයි.

"තව අපට හිටියා අලි කීපදෙනෙක්."

ඇගේ නිහතමානීකමට ඇය නොකීවද වරක් මෙරට පැරැණි වලවු පිළිබඳ ලිපි පෙළක් සැකසීමට කළ සංචාරයකදී මීදෙණිය වලව්වේ තොරතුරුද රැස් කළෙමි. අයිරාංගනී රොක්ෂානා මීදෙණිය නමැත්තියගේ මවුපියන් වන රුවන්වැල්ලෙ ජෝසෆ් හර්කියුලිස් රටේ මහත්තයා සහ වයලට් එල්ලාවල වලව්වේ හාමිනේ විසූ වලව්වට ඇත් ගාලක් අයිතිව තිබූ බැව් එහිදී අනාවරණය විය. ඒ, මීදෙණිය අදිකාරම්තුමා හෙවත් ඇගේ සීයාට අයත් ඇත්ගාලයි. මඩුවන්වල වලව්ව හා පනාමුරේ ඇත්ගාල සමඟ බැඳෙන මෙරට ප්‍රථම කථානායක ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා මෙන්ම අප ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතා ද අයිරාංගනී දියණියගේ මාමාවරුන්ය. ඒ නිසාම ඩී. ආර්. විජයවර්ධනයන්ගේ විවාහ මංගල්‍යයේ මල්කුමාරිය ලෙස කුඩා අයිරාංගනීට ද, නලිනි විජේවර්ධන විවාහ මංගල්‍යයේ දෙවැනි මනාලිය ලෙස අයිරාංගනී යුවතියටද පෙනී සිටින්නට සිදු විය. හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඇගේ ඥාතීත්වය ඇත්තේ නැන්දණියක ලෙසය. ඒ තොරතුරු සිහියට නැඟුණ ද මම නිහඬව ඇයට සවන්දෙමි.

"වාසනා, කනා, බණ්ඩි පැටියා මට හොඳට මතක තුන්දෙනා. වාසනා නම ලැබුණේ එයා ආපු විදිහ නිසා. සාමාන්‍යයෙන් අලි ගාල් කරන්නේ හීලෑ අලින් ලව්වා මට්ටු කරලා. ඊට පස්සේ කොටස්කරුවන්ට බෙදනවා ඇල්ලූ හැටියට. ඒත් වාසනා අපේ ගාලට නිකම්ම ඇවිදගෙන ආව නිසා එයාට වාසනා කියලා නම ලැබුණා. එයා කම්මුල් තෙමෙන කාලෙට හරි සැරයි. බණ්ඩි පැටියා නම් හුරතල් වැඩි කමට මුරණ්ඩු වෙන්න ගත්තා. ගෙට රිංගන එක නතර කරන්න බැරුවම ගියාම වෙන කට්ටියකට බාර දුන්නා. කනාට නම ලැබුණේ ඇස් පෙනීම අඩු නිසයි. අලියෙක්ගෙ බඩ යටින් රිංගුවාම නිර්භීත වෙනවා කියන නිසා අපේ ගෙදර නතර කරලා ගිය නෑදෑ අක්කාකෙනෙකුගේ දරුවත් වඩාගෙන මම කනාගේ බඩ යටින් රිංගුවා. අපේ අම්මා හොඳටම බයවෙලා මට බැන්නා. ඒත් අනේ කනා නෙවෙයි ගාණකටවත් ගත්තේ." බොහෝ වේලා ගෙන හෝ කුඩා කල චණ්ඩිකම් මතක් කරන විට ඇයගේ වත සියුම් සතුටකින් පිරේ.

ඉස්කෝලේ යන කාලෙත් නාට්‍යවල එහෙම රඟපෑවානේ?

"ම්... මට දැන් මතක‌ය තමයි හරි අඩු වයස යනවත් එක්කම මතකයත් යනවා." උපේක්ෂාසහගත සිනහවක් සමඟ ඇය කල්පනා කරයි. මම සිහිපත් කර දෙමි.

මුලින්ම ගියේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයටනෙ. ඊට පස්සේ එස්එස්සී කරන්න ගියේ නුවර බිෂොප් කොලේජ් එකට. ඉතිහාසය, ඉංග්‍රීසි සහ ආර්ථික විද්‍යාව විෂයයන්වලින් එච්එස්සී කරලා 1947 ලංකා විශ්වවිද්‍යාලයට තේරුණා. ඉස්කෝලේ යන කාලෙම චිත්‍රසේන මහත්තයාගෙන් නැටුම් ඉගෙන ගත්තා.

මෙතෙක් වේලා අනුමැතියක ස්වරූපයෙන් හිස සලමින් සිටි ඇය එකවරම නලළ රැලිකරයි. මම කතාව නවත්වමි.

"මම කිරිගණිතයා ගුරුන්නාන්සෙගෙනුත් උඩරට නැටුම් කළා. යුනිවර්සිටි යන කාලෙ මට ප්‍රොෆෙසර් ලුඩොවික්ගෙන් ඉගෙන ගන්න ලැබුණා. මම විශ්වවිද්‍යාලේ ගියාට තාත්තා කැමැති වුණේම නෑ. ඒත් අපේ තව නෑදෑ ගෑනු ළමයෙක් විශ්වවිද්‍යාලේ ගිහින් හිටියා. මමත් හිතුවා මම තවදුරට ඉගෙන ගන්න ඕනේ කියලා ගියා. මගේ ආකල්පවලට ගැළපෙන යාළුවෝ ගොඩක් හමුවුණා. හුඟක් දේවල් වෙනස් වුණා. එහෙම තමයි ජීවිතේ..."

ඇය නිහඬව කල්පනා කරනු ඇත්තේ සිය සරසවි දිවියේ කොමියුනිස්ට්වාදී සටන් පිළිබඳව විය යුතුය. ඇයට දේශපාලනයට බොහෝ ආරාධනා පැමිණියද ඇය නිසගයෙන්ම යොමු වූයේ කලාවටය. එනිසාම එංගලන්තයට යන ඇය ලන්ඩන් නුවර රෝයල් ඇකඩමි ඔෆ් ඩ්‍රැමටික් ආර්ට් (අධරචත ඒජචඤචථර ධට ච්පචථචබඪජ ඒපබ)පාසලේ රංගනය පිළිබඳ හැදෑරුවාය. ඉන්පසු එංගලන්තයේම ද බ්‍රිස්ට්ල් ඔල්ඩ් වික් තියෙටර් පාසලේ (ඊඩඥ ඕපඪඵබධත ර්‍ණතඤ ඍඪජ ඊඩඥචබපඥ ඉජඩධධත)නාට්‍යකරණය පිළිබඳ හැදෑරූ පළමු ලාංකික ශිෂ්‍යාව බවට පත්විය. ඇය බර්නාඩ් ෂෝ විසින් රචිත 'පිග්මේලියන්' ඉංග්‍රීසි නාට්‍යයෙන් මෙරට ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූවාය. ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව ආරම්භක සාමාජිකාවක් ලෙසද ඇය කටයුතු කළාය.

"ලයනල් වෙන්ඩ්ට් එකේ බොහොම ටික දෙනයි හිටියේ. ධම්ම තමයි පටන්ගත්තේ."

ධම්ම ජාගොඩයන්ගේ වෙස්මුහුණු නාට්‍යය ඇගේ පළමු සිංහල වේදිකා නාට්‍යය විය. ඇමෙරිකානු නාට්‍ය රචකයකු වන ටෙනසි විලියම්ස්ගේ ද ඩ්‍රීම් කා නේම්ඩ් ඩිසයර් පිටපතේ අනුවර්තනයක් ලෙස ධම්ම ජාගොඩ නිර්මාණය කළ වෙස්මුහුණු නාට්‍යයේ ඇය සමඟ රංගනයේ යෙදුණු හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය රංගවෙදී රවීන්ද්‍ර රන්දෙණිය වරක් මා සමඟ පැවසුවේ අයිරාංගනී සේරසිංහ ගුරුතුමියගෙන් කටහඬ පාලනය පිළිබඳ ඔහු ලයනල් වෙන්ඩ්ට් හිදී උගත් බවයි. එසේම පිටපතක මුල සිට අගටත් අග සිට මුලටත් කටපාඩම් විය යුතු බවද නැතහොත් දෙබස් මතක් කිරීමට ගන්නා උත්සාහයේදී මුහුණේ ඇතිවන ඒ මොහොතක වෙනස කැමරා කාචය විසින් පටිගත කරගන්නා බවත් ඇය දුන් වටිනාම උපදෙසක් ලෙස ද ඔහු සඳහන් කළේය. ඒ ගුරුතුමිය සමඟ පසුකාලීනව තමන්ගේ බිරිය මෙන්ම මව ලෙස රංගනයේ යෙදීමට හැකිවීම මහත් භාග්‍යයක් ලෙස ද ඔහු මෙනෙහි කළා මතකය. මම ඒ පිළිබඳ ඇගෙන් විමසීමි.

"මට එහෙම කිව්වාද මතක නෑ. ඔව් හැබැයි...රඟපානවා කියන්නේ වෙන කෙනෙක් වෙනවා කියන එකනේ. ඉස්සෙල්ලාම පොත (තිරනාටකය) හොඳට කියවලා චරිතේ හොඳට හිතට ගන්න ඕනෙ. වයසක කෙනෙක්ද තරුණ කෙනෙක්ද කේන්ති යනවාද කරුණාවන්තද ඉඳගන්නේ හිටගන්නේ කොහොමද අනෙක් චරිත සමඟ සම්බන්ධතා පවත්වන්නේ කොහොමද කියලා අවබෝධ කරගෙන අපි එයා වෙන්න ඕනෙ. අපට රඟපාන්න තිබෙන්නේ ශරීරයකුයි කටහඬකුයි විතරනේ. අපට ඕනෙ දෙයක් ඒ දෙකෙන් කරන්න පුළුවන් වෙන්න ඕනෙ. අප‌ට කවුරුහරි පාරක් ගහන අවස්ථාවක් කියලා හිතන්නකො... එතකොට අපේ ඇඟට රිදෙන්නේ නැතුව වැටෙන්නේ කොහොමද කියලා හරියට දැනෙගෙන හිටියොත් ඒක හොඳට කරන්න පුළුවන්."

එහෙම හොඳට කරන්න පුළුවන් වෙන්නේ අත්දැකීම්වලින්ම ද නැත්නම් පාසලක් තිබුණා නම් හොඳද? මම විමසමි.

"ඉස්කෝලයක් තිබුණනම් හොඳයි කියලා හිතෙනවා. හුඟදෙනෙක් වැරදියට තේරුම්ගන්නවා රඟපාන්නෙ කොහොමද කියලා. එක එක නළු නිළියෝ පටන්ගත්තානේ රඟපාන්න උගන්වන්න. ඒ අය කියල දෙන්න හැදුවට ආණ්ඩුවෙන් ඒක කළේ නෑ. ඔය රඟපාන අලුත් අය වුණත් තව ටිකක් පුහුණු වෙනවා නම් හොඳයි. ශරීරයයි කටහඬයි හොඳට පුහුණු කරලා."

ඇය පවසන්නේ අත්දැකීමෙන් මෙන්ම හැදෑරීමෙන් බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. සිනමාවට ඇය අවතීර්ණ වන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ ඊට පෙර "රැකෙනු නැත්නම් තැවෙනු" ලෙස සිංහලෙන් පැවසෙන බී සේෆ් ඕ බී සොරි (ඕඥ ඉචටඥ ධප ඕඥ ඉධපපර)නම් මාර්ග අනතුරු පිළිබඳ වාර්තාමය චිත්‍රපටයේ රඟපාමින් ඇති වූ සුහදබව මතය. ඒ ගැන ඇයට යන්තම් මතකය.

"ඒ කාලේ ඇක්සිඩන්ට් ගැන කතා කළාට මේ කාලේ එක්ක ගත්තාම! අනෙ අම්මේ මේ කාලේ... අපි ගොඩාක් ජීවිතේ ස්වභාවික විදිහට නෙවෙයිනේ ජීවත් වෙන්න හදන්නේ. ගොඩාක් අපි ගන්නේ සොබාදහමට විරුද්ධ දේවල්. බලන්න කෘමිනාශක ගැහුවාම අපි හිතන්නේ වගාව බේරෙනවා කියලා. ඒත් ඒ චූටි සත්තුන්ගේ ජීවිතේටත් වටිනාකමක් තිබෙනවා කියලා අපි හිතන්නේ නෑ. එක සතෙක් අනෙක් සතාව පාලනය කරනවා. එක්කෙනෙකුටවත් තනියෙන් වැඩ කරන්න බෑ. එකිනෙකාට සම්බන්ධයක් තිබෙනවා. ඒත් අපි බලන්නේ පහසුකම ම විතරයි. හුඟ දෙනකුට තේරෙන්නේ නෑ මේ දේවල්. මම දන්නෙ නෑ සිංහලෙන් පොත් තියෙනවාද කියලා. ඉංග්‍රීසියෙන් නම් පොත් ගොඩාක් තිබෙනවා ඒ ගැන. මම ළඟදිත් ඒ ගැන පොතක් කියෙව්වා. ඒකේ තියෙනවා අපි කරන වැරදි මොනවාද කියලා. අපි පරිසරයෙන් දේවල් ගනිද්දි සොබා දහම එක්ක හැප්පෙනවා තමයි. ඒ හැප්පිල්ල පරිසරයට රිදෙන්නේ නැති වෙන්න හැපෙන්නයි ඕනෙ."

යළිත් ඇගේ පරිසරලෝලීත්වය ඉදිරියට එයි. මම රේඛාව මතක් කරමි.

 

"ආ...රේඛාව මම බාරගත්තේ මෙහෙ පළමුවෙනි වතාවට ස්වභාවික, ඇත්ත මිනිස්සු විදිහට හැසිරෙන්න කියලා තාත්ත්වික රංගනය කරනවා කියපු නිසා. නැත්නම් අපේ නළුනිළයන් ඉන්දියාවේ විදිහට රඟපාන අස්වාභාවික විදිහක්නෙ තිබුණේ. ලෙස්ටර් පීරිස් සර් කීවා මේක එහෙම නෙවෙයි ස්වභාවික විදිහට රඟපාන එකක් කියලා. එහෙම නොවුණා නම් මම යන්නේ නෑ." ඇය තරයේ කියයි. රේඛාවේ කතිරිනාහාමි ලෙස කළ ඇයගේ ප්‍රථම සිනමා රංගනයෙන්ම හොඳම නිළියට හිමි දීපශඛා සම්මානයට 1956 පාත්‍ර වීමෙන් පසු ඇය මේ දක්වා පිදුම් ලත් සම්මාන තිස් පහක් පමණ වේ. ඇය සරසවිය රණතිසර සම්මානයෙන් පිදුම් ලැබුවේ 1993දීය. සාගරයක්මැද, හිමකතර,ලොකුදුව, පවන රළු විය, සුදු සෙවණැලි, අවරගිර, ඔබ දුටු දා, දඩයම වැනි ඇගේ රංග ප්‍රතිභාව මොනවට ඔප් නැංවූ චිත්‍රපට වෙනුවෙන් ඇය සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ වැනි සම්මාන රැසකින්ද කලා කීර්ති සම්මානයෙන්ද පිදුම් ලැබ සිටින්නීය.

කොහොමද බක්මහ දීගේ?

"බක්මහ දීගේ... හහ්හහ්හා ඒක හරී...ම ලස්සනයි." ඇයට මනරම් සිනහවක් නැඟෙයි. එහි සියල්ල ඇතැයි මට සිතේ.

එතකොට සුදුසීයා- හෙන්රි ජයසේන මහත්මයා එක්ක එහෙම රූපවාහිනියට රඟ පෑ චරිත?

"සුදු ආච්චි හරී ෂෝක්. අපි එකට වැඩ කළානේ. හරි කැමැතියි මම එහෙම වැඩකරන්න."

ආයෙත් ඒ වගේ චරිතයක් කරන්න ආරාධනා කළොත්?

"මොකක්හරි චරිතයක් තියෙනවා නම් මම හරි කැමැතියි. මට කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ, හැබැයි ගල්තලාවක් උඩිනුත් මාව උස්සාගෙන ගිහින් මෑතකදි එකක් කළා. එහෙමත් ඒවා තියෙනවා" ඇයගේ 'චණ්ඩිකම' නොවෙනස්ව ඇතැයි සිතේ.

ඒවා ගැන හිතද්දි මේ කාලේ සතුටක් දැනෙනවා නේද?

"ලෝකෙ මෙහෙමනේ... වෙනස් වෙනවා. මේ දීලා තිබෙන පාර හැටියට මිනිස්සු දුක් වෙනවා... ඒ නිසා කිසිදෙයක් ගැන අපට සතුටින් හිතන්න බෑ. මම මේ ටිකේ පොත් කියව කියව ඉන්නවා වෙන මොනවා කරන්නද? රඟපාන්න පුළුවන් කාලයක් ආවොත් කොච්චර එකක්ද? මේ කට්ටිය මැරෙන එක ඉක්මනට නවතිනවා නම්... "

ඇයට යළිත් දොම්නස් හැඟීමක් ඇති වේ. මම යළිත් කතාව වෙනත් මඟකට ගමි. දැන් වේදිකාව, සිනමාව, රූපවාහිනිය මාධ්‍ය තුනෙන් වඩාම කැමැති මොකටද කියලා මම ඇහුවොත්?

"වේදිකාවට තමයි කැමැති." ක්ෂණික ස්ථාවර පිළිතුරකි. හේතුව නොවිමසාම ඇය පැහැදිලි කරයි.

"වේදිකාවේ අනෙක් චරිතත් එක්ක එකවර සජීවීව රඟපානවානෙ. ඒක හුඟක් වැදගත් දෙයක්. චරිත එක්ක තිබෙන සම්බන්ධතාව අපට හරිම වැදගත්. චිත්‍රපටය ටික ටික චුට්ටි කෑලි කෑලිනෙ කරන්නේ. අනෙක කෙනෙක් එක්ක රඟපානවා කීවට සමහර වෙලාවට ඒ කෙනාත් ළඟ නෑනෙ. කිසි තෘප්තියක් නෑ. ටෙලි නාට්‍යවලත් ඒකමනේ. වේදිකාවේ එහෙම නෙවෙයි. ප්‍රේක්ෂාගාරයේ දේවල් අපට හරි වැදගත්. ඒක අපට දැනෙනවා. අපි කරන එක හරි ද කියලාත් එවෙලේම හැඟෙනවා."

 

මාධ්‍යවේදී ජීවිතේ ගැන මොකද හිතෙන්නේ දැන්? මතක හිටින චරිත එහෙම මුණගැහුණාද?

" ආ...ඔ...ව් මම මාධ්‍යවේදිනියක් හැටියටත් වැඩ කළානෙ. මට තිබුණේ එක එක වැදගත් නැත්නම් ජනප්‍රිය අයත් එක්ක කතා කරලා ඒ අය ගැන ලියන්න. එක එක්කෙනා හමුවුණා. එකිනෙකට වෙනස් අය. ඒ චරිතවලින් රංගනයටත් මට හොඳ පෝෂණයක් ලැබුණා කියලා පස්සේ හිතුණා. ඒ කාලේ හිටිය දේශපාලනය කළ අය අතර විමලා විජයවර්ධන සමඟ කළ කතාබහ මට හොඳට මතකයි."

ඇයට එකවර යමක් සිහි වී සිනාවක් පහළ වෙයි. "තව නිළියක් හිටියා /////ඉවොන් බ්ලැප්ටෙන් /////කියලා. අයියෝ අප්පෝ... මට එයත් එක්ක කතා කරලා හිනාවෙලා පණගියා. ඒ අය ජීවිතේ ගැන හිතන හැටි! කාලයක් තිබුණා රෙස් කොස් එකටත් යන්නේ ශරීරයෙන් බාගයක් පේන හැට්ටයක් තියෙන ඇඳුමක් ඇඳගෙන. මම පින්තූරත් අරගෙන පත්තරේ දැම්මා. ඒවා ගැන විවේචනාත්මකවත් ලීවා. මම ඒ කාලේ නිළියක් නෙවෙයිනෙ. ඉතින් හරි පුදුම දේවල් තමයි. ආයෙත් දැන් ඒ වගේ එවා තියෙනවානේ? අනේ මන්දා."

ජීවිතයට ආදරය, බැඳීම් හරි අවශ්‍යයි. ඒක මේ කාලේ වැඩියෙන් අපට දැනෙනවා නේද?

"මම විශ්වවිද්‍යාලෙ ඉගෙනගන්නකල් වෙනකල්ම ආදරයක් ගැන හිතුවේ නෑ. මට ගොඩක් හිටියේ යාළුවෝ. ඒ කාලේ මොකක්ද යෝජනාවක් ඇවිල්ලා තිබුණා ඒක එහෙමම නැති වෙලා ගියා. පස්සේ මම එංගලන්තේ යද්දි බැඳලා හිටියට ඒක දිගට පැවතුණේ නෑ. මම හරි ආසාවෙන් හිටියා දරුවෙක් ලැබෙනවාට. වින්ස්ටන් සේරසිංහයි මමයි එකට වේදිකාවේ රඟපාලත් තිබෙනවා. අපේ ජීවිතේ හොඳම දවස තමයි මගේ ලොකු පුතා ඉපදුණ දවස. මම දැන් පුතාත් එක්ක ඉන්නේ. වින්ස්ටන්... එයා හිටියා නම් අද මොනවා කරයිද? දැන් කා එක්කවත් කතා කරන්නවත් බෑනේ ටෙලිෆෝන් එකෙන් මිසක්. දැන් මම අත්තම්මා කෙනෙක්නේ. හුඟ දෙනෙක් කියනවානේ දැන් කාලේ කොල්ලො කෙල්ලො හරි නරකයි. වැඩිහිටියන්ට සලකන්නේ නෑ එහෙම කියලා. මට නම් එහෙම දැනෙන්නේ නෑ. පොඩි අයද ලොකු අයද නෑ හැමෝම මට සලකනවා." ඇය පිරිපුන් හැඟීමකිනි පවසන්නේ.

ඇය ගුරුවරියක් ලෙස ද කලක් සේවය කළ නිසාත් මේ කියු දේ නිසාත් මම විමසමි. මේ වෙලාවේ මොනවගේ උපදෙසක්ද නව පරපුරට දෙන්න තියෙන්නේ.

"තරුණ අයට උපදෙස් දෙන්න ඕනෙ නෑ... මමත් තරුණ කාලේ කවුරුත් කියන දේවල් ඇහුවෙ නෑ. හැබැයි අපට ඉල්ලීමක් කරන්න පුළුවන්.

හුඟදෙනෙක් හිතනවා අපට 'පිස්සු' කියලා සොබා දහම ගැන කියද්දි. මම හැමදාම ස්වාභාවික පරිසරය බේරන්න තමයි හදන්නේ. මොකද ඒක ලෝකෙටම බලපානවානේ. ඉස්සර මට හිනා වුණානේ ගස්ටිකක්ම බදාගෙන දඟලනවා කියලා. 'හිතහොඳ අම්මණ්ඩි නිතරම බඩින්' කියලා පත්තරෙත් දැම්මේ. අනෙක අපේ මිනිස්සු බොන හැටි. රට විනාශ වෙලා තියෙන්නේ බීම නිසා. කොච්චර සල්ලි ඕනෙද ඕවට." වට පිට බලන ඇය රහසක් කියයි. " අප්පෝ... අනෙක් ජාතිය... මත්කුඩු... ඒවා ගැන නම් කියන්න වත් එපා."

යළිත් අසුනේ හරිබරි ගැසී..

"මේ කාලේ තමන්ගේම ගෙදරත් ඉන්න අකමැති මිනිස්සුත් ඉන්නවා. අමුතු පරිසරයකනේ දැන් අපි ඉන්නේ. මිනිසුන්ට එකළඟ ගැවසෙන්න එපා කියනවානේ. බේරෙන්න නම් ඒවා පිළිපදින්න ඕනෙ. සමහරු හොඳට ඉන්නවා. ඒත් කියනදේ අහන්නේ නැති එක්කෙනෙක් හිටියොත් ඇති. ගෙදරට වෙලා ඉන්න ක්‍රමයක් හොයාගන්න. මගේ යාළුවෝ එහෙම එළවළු පැළ කරන්න පටන්ගත්තා. පොඩි මිදුලක් තිබුණත් ඇති පෝච්චියට පස් ටිකයි, වතුර ටිකයි, අවුවයි තිබුණොත් ඇති. අපි හොයාගමු මොකක් හරි කරන්න. උඩබලාගෙන ඉන්නත් බෑනෙ. ඒ නිසා යමක් ඉගෙන ගන්න, ලෝකෙට, තමන්ට ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන්න. සොබාදහමට ආදරේ කරන්න. එතකොට අපට ආයෙ මෙහෙම දඬුවම් නොකරන තරමට සොබාදහමත් ඔබට ආදරය කරාවි."