හීරෝගේ චරිතවලට වඩා මම කැමති රජකාලේ චරිතවලට

දිවිතුරා ටෙලිනාට්‍යයේ විශාල් කැලුම් ශ්‍රී
අගෝස්තු 26, 2021

 

කැලුම් ශ්‍රී කියන්නේ ඉතාම කෙටි කලකින් ජනප්‍රිය වුණු නව පරපුරේ රංගන ශිල්පයෙක්. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන "දිවිතුරා" ටෙලි නාට්‍යයෙහිඑක් ප්‍රධාන චරිතයක් වන විශාල්ගේ චරිතය නිරූපණය කරමින් ඔහු නැවතත් ප්‍රේක්ෂක ඔබ හමුවට ඇවිත්. "දිවි තුරා" ටෙලිනාට්‍ය ගැන වගේම ඔහුගේ අනෙක් කලා කටයුතු ගැන විමසන්න අපි ඔහුව සම්බන්ධ කරගත්තා.

 

දැන් කැලුම් කියනවට වඩා ජනප්‍රිය විශාල් කිව්වම නේද?

 

මේ දවස්වල හැමෝම මට කතා කරන්නේ එහෙම තමයි. ඒ මම හිරු නාළිකාවේ විකාශය වන "දිවිතුරා" ටෙලිනාට්‍යයේ විශාල්ගේ චරිතය කරන නිසා.

 

කැලුම් විශාල්ගේ චරිතය ලැබෙන්නේ කොහොමද?

හිරු නාළිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත අයියා තමයි මට මේ චරිතයට කතා කරන්නේ. මට කතා කරලා මේ වගේ චරිතයක් තියෙනවා, රඟපාන්න කැමතිද කියලා ඇහුවා. මම එකපයින්ම ඒකට කැමති වුණා. මොකද මම පෞද්ගලිකව මේ චරිතයට හරිම කැමතියි. ඒ වගේම මගේ චරිතය තිබුණේ "දිවිතුරා" ටෙලිනාට්‍යයේ කොටස් කීපයක් විකාශය වුණාට පසුවයි. ඒ කොටස් ටික මම ඒ වෙනකොටත් නරඹලා තිබුණේ.

විශාල්ගේ චරිතය ගැන කිව්වොත්?

 

විශාල් කියන්නේ සල්ලි තියෙන පවුලක එකම දරුවා. විශාල්ගේ දෙමව්පියන් අසීමිත විදිහට පුතාගේ දේවල්වලට වියදම් කරනවා. විශාල්ට ජීවිතය ගැන ඒ තරම් බරක් නැහැ. විශාල් කියන්නේ දැනට හැම වෙලේම විනෝදයෙන් ඉන්න සෙල්ලක්කාර චරිතයක්. ඉදිරියේදි ඒ චරිතයට මොනවා වෙයිද දන්නේ නැහැ.

 

කොහොමද විශාල්ගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

 

ඇත්තටම හොඳයි. ඉතාම ඉහල ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. සමාජ ජාලාවල පවා ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ටෙලිනාට්‍ය මගේ චරිතය ඉන්නේ ටික කාලෙකට පසුව. නමුත් ඉන්පසුව ඒක ප්‍රධාන චරිතයක් දක්වා දිවෙනවා. ප්‍රේක්ෂකයෝ කවදාවත් මම වගෙ චරිතයක් එයි කියලා බලාපොරොත්තු වෙලා නැහැ. දිවිතුරා ටෙලිනාට්‍යයේ හැටියට ඊශාගේ (ශනුද්‍රි ප්‍රියසාද්) පෙම්වතා උදුල් (සූර්යායා දයාරුවන්) වෙයි කියලා හැමෝම හිතුවේ. නමුත් දැන් හැමෝම කැමති ඊශා විශාල්ට ආදරේ කරනවට.

 

ශනුද්‍රි ප්‍රියසාදිගෙන් ඔබට ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?

 

ශනුද්‍රි මට ගොඩක් උදව් කරනවා. හැම ජවනිකාවකටම කලින් අපි දෙන්නා කතා වෙලා පෙර පුහුණුවීම් කරලා සූදානමකින් රඟපාන්නේ. මෙතනදි හැරෙන්න ඕනේ, මෙතනදි මම අතින් අල්ලන්න ඕනේ, මෙතනදි ඔයා මං දිහා බලන්න ඕනේ කියලා අපි කතා වෙලා ජවනිකාව ලස්සනට ගොඩනඟා ගන්නවා. ශනුද්‍රි කලා පවුලකින් එන කෙනෙක්. පොඩි කාලේ ඉඳන්ම එයාට මට වඩා රංගනය ගැන අත්දැකීම් ගොඩක් තියෙනවා. බොහොම නිහතමානී විදිහට සහයෝගයෙන් අපි වැඩ කරනවා.

 

මේ ටෙලිනාට්‍යයේ බහුතරයක් ඉන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෝ. කොහොමද මේ අයගෙන් ලැබුණු සහයෝගය?

 

ගොඩක් ලොකු සහයෝගයක් මට එයාලගෙන් ලැබෙනවා. ජනක කුඹුකගේ, නයනා කුමාරි, සුජීව ප්‍රියාල්, හිමාලි සයුරංගි, සරත් කරුණාරත්න මේ හැමෝම හරිම දැවැන්ත චරිත. එයාලා රඟපාන විදිහ බලාගෙන හිටියත් මට ඇති. ලොකු දැනුමක් මට එයාලගෙන් ලැබුණා. පෙර පුහුණුවීම් කරද්දි පවා මේ හැමෝගෙන්ම මට මගේ චරිතය ගොඩනඟා ගන්න ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා ප්‍රවීණයො කියලා අපි වගේ නවකයන්ට ලොකුකම් පෙන්වන්නේ නැහැ. වැරදුණාම කියලා දෙනවා. මේ ජවනිකාව මෙහෙම කළොත් හොඳයි නේද කියලා ගුරුහරුකම් දෙනවා. ටෙලිනාට්‍යයේ සමහර තැන් තියෙනවා පිටපත විදිහටම නෙමෙයි අපි තවත් වැඩිපුර දේවල් දාලා රඟපාන්න වෙන. ඒ වගේ දේවල් මට පෙන්වලා දෙනවා. ඒ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා.

 

කැලුම් රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?

 

මගේ ගම මහනුවර. ඉස්කෝලේ කාලේ ඉඳන්ම මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න. හැමෝම මාව දැකලා කතා කරන්න එන මට්ටම එන්න ඕනේ වුණා. ඕ ලෙවල් ඒ ලෙවල් කාලෙදි ටීවී එකේ දකින නළුවන්ව අනුකරණ කළා. ඒත් එක්කම රංගනය ගැන ආසාවක් ඇති වුණා. 2011දී මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ගීතයක රූප රචනය රචනයකට කොළඹ ඇවිත් එතැන හිටපු අධ්‍යක්ෂවරයෙක් මාව දැකලා මාව වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ කරගත්තා. ඊටපසුව වෙළඳ දැන්වීම් රැසකට සහ ගීත රූපරචනා රැසකට සම්බන්ධ වෙන්න ලැබුණා. මගේ පළමුවෙනි ටෙලිනාට්‍ය හිරු නාළිකාවේ විකාශය වුණු "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම". ඒකේ සිද්ධාර්ථ කුමාරයාට රඟපෑවේ මම. මගේ දෙවෙනි ටෙලිනාට්‍ය සිරස නාළිකාවේ විකාශය වුණු "රැස්". ඒකේ ආකාශ්ගේ චරිතය රඟපෑවා. තුන්වෙනි ටෙලිනාට්‍ය තමයි "දිවිතුරා".

 

කැලුම් රංගනය ගැන හදාරලා තියෙනවාද?

 

රංගනය විෂයක් විදිහට හදාරලා නැහැ. නමුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කරපු රංගන වැඩමුළුවලට සහභාගි වෙලා තියෙනවා. දුලීකා මාරපනගේ, ප්‍රසන්නජිත් අනේසූරියගේ වැඩමුළුවලට රංගනය ගැන ඔවුන්ගෙන් ලොකු දැනුමක් මට ලැබුණා. මම හිතන්නේ රංගන ශිල්පියෙක්ට ප්‍රායෝගිකව තමන්ට ලැබෙන චරිත හරහා රංගනය හදාරන්න පුළුවන් කියලා. ඒක මම කරමින් පවතිනවා. මට ලැබෙන චරිත හැම එකක්ම මම තනියම පෙර පුහුණුවීම් කරලා කරන්නේ. මට ලැබෙන චරිත හරහා මම ගොඩක් දේවල් ඉගෙනගන්නවා.

 

සිනමාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

 

සිනමාවට එන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හීරෝගේ චරිතයකට වඩා රජ රජකාලේ චරිතවලට මම කැමතියි. හොඳ නිර්මාණයකට හොඳ චරිතයක් ලැබුණොත් භාරගන්නවා. ඒ වගේ හොඳ නිර්මාණයකට ආරාධනාවක් ආවා. මේ මාසේ රූගත කිරීම් කරන්න තිබුණේ. කොරෝනා වසංගතයේ නිසා ඒක කල් ගියා. මම කැමති ගොඩක් වානිජ සිනමාවට.

 

කැලුම් කියන්නේ පොඩි පුතෙක්ගේ තාත්තා කෙනෙක් නේද?

 

ඔව්. මට පොඩි පුතෙක් ඉන්නවා එයාට වයස මාස නවයයි. එයාගේ නම ශ්‍රී ආර්ය දසිස්. රූපගත කිරීම්වලට යන නිසා දවස්වල නම් එයාගේ ළඟට යන්නේ නැහැ. මගේ බිරිඳ දුලී ප්‍රනාන්දු. එයා නර්ථන ශිල්පිනියක්. නර්තනය ඇත්තෙන් එයා මටත් වඩා ඉහළින් ඉන්නවා. මම මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන "හිරු මෙගා ස්ටාර් 3" වැඩසහටනෙහි තරගකරුවෙක්. ඒ තරගයටත් මට උදවු කරන්නේ මගේ බිරිඳ. මගේ හැම වැඩකටම බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ පවුලේ අම්මායි තාත්තායි මල්ලී ඉන්නේ.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

 

චන්දන සමරසිංහ අධ්‍යක්ෂණය කරන "ආර්ය වංශික" කියලා මම රඟපාපු තව ටෙලිනාට්‍යයක් ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. තව අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලිනාට්‍යයක රූගත කිරීම් කරමින් පවතිනවා.