හැම මොහොතකම ඉගෙනගත් දේ ආශීර්වාදයක් වෙනවා

අගෝස්තු 26, 2021

 

ISHARA MADUSHAN

 

ඔහු ඉංජිනේරුවෙකි. අධ්‍යාපනයට වගේම රංගනයටද හපන්කම් කියන ඔහු ඔබේ ආදරයට පත් වූ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අලුත්ම සාමාජිකයා, රදීෂ්. හැමදාමත් වගේ කලා ලෝකයට අලුතින් එක්වන්නන්ට ඉඩ ලබාදෙන සරසවිය අද ඉඩ වෙන්වෙන්නේ රදීෂ් නැත්නම් ඉෂාර මධුෂාන් වෙනුවෙන්. කලා කටයුතු වගේම ඉෂාරගේ පෞද්ගලික තොරතුරුත් සරසවිය අප සමඟ බෙදාගත්තේ මේ ආකාරයට.

 

ඉෂාර මුලින්ම කියන්නකෝ ඔබට රදීෂ් වෙන්න ලැබුණේ කොහොමද කියලා?

 

රාවණා සීසන් 3 හි තිබුණ ඔඩිෂන් එකකට මම ගියාම මට එහි චරිතයක් ලැබුණා. එහි රූගත කිරීම කරන අතරතුර පවතින වසංගත තත්ත්වය නිසා නතර කිරීමට සිදු වුණා. ඒ ඔස්සේ දෙරණ උපසභාපති ලක්සිරි වික්‍රමගේ හඳුනාගැනීමෙන් පසු ඔහු මට මේ චරිතය සඳහා ආරාධනා කළා.

 

ඔබ මුලින්ම කලා ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

 

2018 වසරේ අයි ටී එන් අවුරුදු කුමරා තුන්වැනි ස්ථානය හා 2019 වසරේ හිරු අවුරුදු කුමරා වෙන්නට මට පුළුවන් වුණා. මේ තරග සඳහා මා සහභාගී වුණේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලයේ. ඉන් අනතුරුව සංදේශ් බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ගීතමය රූප රචනා දෙකකට රංගනයෙන් දායක වුණා. 'යන්නම් ඔබ ගාවින්' හා ' අමතන්න' කියන ගීත යූටියුබ් හි ට්‍රෙන්ඩින් වුණ ගීත. රඟපෑමට තිබුණ ආසාව නිසා විවිධ ඔඩිෂන්වලට සහභාගී වුණත් මට අවස්ථාව ලබා දුන්නේ දෙරණ.

 

මුලින්ම කැමරාව ඉදිරියට යනවිට මොකද හිතුණේ?

 

මීට කලින් මම ගීතමය රූපරචනා සඳහා දායක වුණත් ටෙලිනාට්‍යයට එනවිට එය සම්පූර්ණ වෙනස්ම අත්දැකීමක් වුණා. දෙබස් මතක තියා ගැනීම, කැමරාවට හුරුවීම, ප්‍රවීණ ශිල්පීන් එක්ක හරි හරියට රංගනය වගේ දේවල් නිසා මුලින් මට ඉතාම අසීරු වුණා. එය ආධුනිකත්වය නිසා වුණ දෙයක්. ඒත් ටිකෙන් ටික ඒ චකිතය නැති කරගන්නට මට හැකි වුණා.

 

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

 

ඉතාම හොඳයි. හැමෝම දැන් මට කතා කරන්නේ රදීෂ් කියලා. ඇත්තෙන්ම රදීෂ්ගේ චරිතය මගේ චරිතයට බෙහෙවින් සමානයි. නම් දෙක විතරයි වෙනස් කිව්වත් හරි. එයත් හේතුවක් වුණා මේ චරිතය ඔපමට්ටම් කරගන්න. ලොකු සතුටක් දැනෙනවා.

 

වෘත්තීය ඉංජිනේරුවෙක් වුණ ඔබ ඒක පැත්තකින් තියලා රඟපෑම තෝරගන්න හිතුවේ ඇයි?

 

විශ්වවිද්‍යාලයෙන් එළියට ආවම මට මුලින්ම පෞද්ගලික සන්නිවේදන ආයතනයක ඇක්සස් නෙට්වර්ක් ඉංජිනියර් තනතුර සඳහා සේවය කිරීමට ලැබුණත් ඒත් සමඟම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය සඳහාත් ආරාධනා ලැබුණා. රඟපාන්න තිබුණ දැඩි කැමැත්ත නිසාම මම මෙය තෝරගත්තා. වෘත්තීය ලෙස ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු නොකළත් මම ඉගෙනගත් දෙයින් ප්‍රයෝජන ගන්නවා.

 

ඔබ ජනප්‍රිය ගුරුවරයෙක් දැන්?

 

මම විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලයේ සිටම අමතර පංති කළා. ඒ නිසාම මම දන්නවා මට ඉගැන්වීමට හැකියාවක් තියෙනවා කියලා. මම එයත් ඉතාම ආසාවෙන් කරනවා. මගේ යූටියුබ් චැනලයට පාඩම්වල යම් යම් කොටස් එකතු කළත් සම්පූර්ණ වීඩියෝව එයට දැමීමට හැකියාවක් නම් නෑ.

ධම්මික පෙරේරා පදනම මඟින් කෙරෙන ච්ර්‍ථ ඡ්ඤභජචබඪධද චනන එකෙනුත් මම ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ මඟින් සම්පූර්ණ නොමිලේ ඉගෙනගන්න පුළුවන්.

 

ඉන්ජිනේරුවෙක් වෙන්න ඉගෙනගෙන රඟපෑම වෘත්තීය කරගත්තට ගෙදරින් මොකද කියන්නේ?

 

මුලදි නම් අම්මගේ ලොකු මැසිවිල්ලක් තිබුණා ඒ ගැන. පසුව ඔවුන් තේරුම් ගත්තා මම හරි දේ කරනවා කියලා. මොකද ආර්ථික වශයෙන් වුණත් මම ශක්තිමත්. කොහොම වුණත් අපි ඉගෙනගන්න දේ හැමවිටම ආශිර්වාදයක් වෙනවා අපේ ජීවීතවලට.

 

තවත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවාද?

 

දැනට නම් ආරාධනා ලැබිලා නෑ. මම තවත් නිර්මාණයට සම්බන්ධ වෙනවා නම් දෙවෙනි ඉනිමෙන් ඉවත්විය යුතුයි. එසේ කිරීමට කැමැත්තක් හෝ අවශ්‍යතාවයක් මට නෑ. මොකද මට අවස්ථාව ලබාදුන්නේ දෙරණ. අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණත් එය දෙරණ කරන එකකටයි.

 

ඉෂාරගේ පෞද්ගලික විස්තර දැනගන්නත් ඔබට ආදරේ කරන අය කැමැතිවෙයි?

 

මම කුරුණෑගල. ඉගෙනගත්තේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ. සාමාන්‍යපෙළට ඒ නවයක් හා උසස්පෙළට ඒ තුනක් ලබාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරුණා. පසුගිය වසරේ මගේ උපාධිය නිම කළා.