මම ලියපු චිත්‍රපට ගීතය මිලියන 3 බැලුවා සංඛ සමරප්පුලි

අගෝස්තු 19, 2021

 

 

සංඛ සමරප්පුලි යනු නව පරපුරේ කලකරුවෙකි. ඔහු ගීත රචකයකු මෙන්ම නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකු ලෙසද ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරයි. රොහාන් ශාන්ත බුලේගොඩ ගයන ආදරය අරන්, සඳුන් දොලමුල්ල ගයන ඔබගෙ සෙනෙහෙන්, කඳුළ නුඹ, දෙරණ ලිට්ල් ස්ටාර් යලිත්මි නුවන්‍යා ගයන වෙල්ඉපනැල්ලේ, මියුරු සංගීත් ගයන සඳ යහනේ ඇතුළු ගීත රැසක් සංඛගේ රචනාකොට ඇත. ඔහු රචනා කළ ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටයේ ඉස්කෝලෙට මං ආවා නැමැති තේමා ගීතය යූටියුබ් හරහා මේ වන විට මිලියන තුනකට වඩා වැඩි ප්‍රමාණයක් නරඹා තිබේ. මේ එය සහ ඔහුගේ කලා ජීවිතය පිළිබඳ කළ කතාබහකි.

ඔබ ගීත රචනා කලාවට පිවිසෙන්නේ කෙසේද?

ආරම්භය පාසල් අවධිය, කවි නිසදැස් ලියවෙන හුරුව මුල ඉඳලම තිබුණා. ඒක හරි සුන්දර අතීතයක්, පාසල් කාලේ යාලුවන්ගෙ ගැනු ළමයින්ට ලියුම් ලියලා දුන්නෙ ගොඩක් වෙලාවට මම. ඉතින් ලියුම ලියන්න පටන් ගන්නෙ පද හතරක කවියකින් ආමන්ත්‍රණය කරලා. මං හිතන්නෙ මගේ ලිවීමේ මූලාරම්භය එතන වෙන්නැති.

ලියපු මුල්ම ගීතය?

මුලින්ම ගීතය ලියවෙන්නෙත් උසස් පෙළ කරන කාළේ සරසවියක කලා උළෙලක් වෙනුවෙන් ලියපු “බෙලෙක් පිඟාන ට කාසි වැටෙන හඬ” කියන ගීතය.

ඔබව හඳුන්වා දෙන්න කැමති කවුරු විදිහටද?

මම වෘත්තීමය වශයෙන් නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් විදිහට තමයි වසර 15 කට වැඩි කාලයක් කටයුතු කරන්නේ. දැන්වීම් සහ ප්‍රචාරණ කලාව, සිනමාව, රූපවාහිනිය එක්ක තමා වැඩියෙන් කටයුතු කරන්නේ. සීමාසහිතව මම මාව හඳුන්වා දෙනවට වඩා අන්අය මාව හඳුනා ගන්න විදිහට හඳුනාගන්න ඉඩ තියමු කියලා මට හිතෙනවා.

වෘත්තිය කලාකරුවෙක් විදිහට ලංකාව වගේ රටක ජීවත් වෙන්න පුළුවන්ද?

මූල්‍යමය වශයෙන් යම් යම් අහිතකරතා තිබුණත් ලංකාව මං හිතන විදිහට නිර්මාණකරුවෙකුට තෝතැන්නක්, හැබැයි නිර්මාණකරණය ජීවිකාව කරගත්තොත් ලංකාවේ ඒ ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක හොඳට ම දැණුනේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක. සමාන්තර වෙනත් වෘත්තීයක් තිබුණෙ නැත්තං ජීවත් වෙන්න අමාරුයි.

ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද?

නිෂ්පාදක තුමා දේශමාන්‍ය සඳුන් දොළමුල්ල මගේ පාසල් මිත්‍රයා. ඉස්කොලෙට මං ආවා ලියන්න කළින් මම සඳුන් වෙනුවෙන් ගීත කිහිපයක් රචනා කරළා තිබුණා. ඒ නිසා වෙන්නැති සඳුන් මාව විශ්වාස කරළා මේ ගීතය ලියන්න දුන්නේ.

ළමා ගීත ලියන්නද වඩා උනන්දු?

එහෙම නෑ, ඔය ගීතයත් ලියවෙන්නෙ හරි අපූරු විදිහට. බස් එකේ ඉඳන් මිනිත්තු පහක් දහයක් ඇතුලත කළබලේට ලියපු ගීතයක්. මම ළමා ගීත තුන හතරකට වඩා ලියලා නෑ, ගොඩක් ඇරයුම් එන්නෙ ආදර ගීත ලියන්න. වැඩිහරියක් ලියලා තියෙන්නෙත් ආදර ගීත. මේක මේ තරම් ඉහළට එන්න ඇත්තෙ වර්තමානයේ ළමා ගීත වැඩිපුර බිහි වෙන්නෙ නැති නිසා වෙන්නැති. හැබැයි නිහතමානී සතුටක් දැනෙනවා දරුවන් වෙනුවෙන් ගීත කිහිපයක් රචනා කරන්න ලැබුණු එකට. සඳුන්ගෙ ඉල්ලීමකට දරුවන් වෙනුවෙන් නව ගීත කිහිපයක් නිර්මාණය කළා. නුදුරේදී ම ඒවත් අහන්න ලැබෙයි.

ඒ ගීතයට ලැබෙන ප්‍රතිචාර?

හිතාගන්නත් බැරි තරම්. වර්තමාන කොවිඩ් තත්ත්වය ඇති වෙන්න කළින්, බොහෝ පෙර පාසල් වල අවසන් ප්‍රසංග සඳහා මේ ගීතය තෝරගෙන තිබුණා. පුංචි පැටව් ඒ ගීතය ගායනා කරමින් නටනවා දැක්කම හරි සතුටක් දැනුණා. ඒ වගේ ම දරසටසබ්ක ගීතය හදමඑමඉැ නැරඹුම් වාර මිලියන 03ක් පසු කරලා තියෙනවා. මං දන්න විදිහට මෑත කාලයේ ලංකාවේ රෑපවාහිනී නාලිකා වල වැඩි වශයෙන් ප්‍රචාරය වූ ළමා සිනමාපටයත් ඉස්කොලෙට මං ආවා විය යුතුයි. එහෙම යන වෙලාවට දන්න කියන අයගෙන් ඇමතුම්, පණිවිඩ බොහොමයක් ලැබෙනවා. ඉතින් ඒ අනන්ත ප්‍රතිචාර වලට ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා . ඒ වගේම තව එකක්, ගොඩක් අය දන්නෑ මේ ගීතය මම ලියපු එකක් කියලා. මෙතරම් ප්‍රතිචාර ලැබෙන්න උදාර සමරවීර මිත්‍රයාගේ තනුවත් සංගීතයත් ඉවහල් වුණු බවත් මතක් කරන්න ඕන.

වර්තමානයේ ගීත කලාව ගැන මොනවද කියන්න තියෙන්නෙ?

ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ ගීත ලොකයේ දෙවිවරු වැඩ හිටපු රටක ගීත වලට අද ගිය කලක් කියලා හිතෙනවා. රසඥතාව හීන වෙලා ගිහින්, ගීතයක් රසවිඳීන්න පුලුවන් සමාජයක් නැතිව යහපත් ගීතයක් නිර්මාණය වෙයි කියලා හිතන්න අමාරුයි. කන කස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ ඉඳල හිටලා හොඳ ගීතයක් දෙකක් එළියට එනවා. ඒකත් සමාජ මාධ්‍යයට පින් සිද්ද වෙන්න.

කලාකරුවෙකුගේ වෘත්තිය වටිනාකම ගැන මොකද කියන්න තියෙන්නෙ?

ගොඩක් වෙලාවට රචකයාට, සංගීතඥයාට ඉතිරි වෙන්නෙ මානසික තෘප්තිය විතරයි. ඔවුන් ට වෘත්තීය වටිනාකමක් නැති තරම්. ගායකයා සහ නිෂ්පාදකයා තමයි වැඩිපුර ම හැම අතින්ම වටිනාකම් ලබන්නේ. කලාකරුවන් කියන්නෙ කාටවත් බරක් නොවී ස්වකීය හැකියාවෙන් ජීවත් වෙන මිනිස්සු. ඒත් ඒකට හරි වටිනා කමක් ලැබෙන්නෑ. දැන් ඔය ජදඩැර කියලා කරලත් හදමඑමඉැ වලන් සෑහෙන්න අය මුදල් හම්බ කරනවනේ. කවදාවත් ඒවගෙන් එක රුපියලක් යන්නෑ රචකයාට, සංගීතඥයාට වගේ ම ගායකයටත් . සමහර අය එහෙම ආදායමක් ලබන්න පුලු‍වන් කියලවත් දන්නැතුව ඇති. මෑත කාලයේ අසරණ වෙච්ච, එහෙම වෙලා මිය ගිය ගී පද රචකයින් සංගීතඥයින් ගායකයින් කී දෙනෙක් නම් හිටියද කිය⁣ලා මතක් කරලා බලන්න. පද රචකයෙකුගෙ පැත්තෙන් කතා කළොත් මිනිස්සු හිතනවා අය්යෝ පෑනක් අරන් කුරුටු ගාලා දෙන්න මහ ලොකු වියදමක් යනවද කියලා. කවදාවත් ඒ බුද්ධියට වටිනාකමක් දෙන්න පුලු‍වන් ද වෙන කෙනෙකුට, රචකයෙක් කවදාවත් මට මේ ගාණ දෙන්න කියලා කියනවා අඩුයි. එහෙම කිව්වොත් නෑ අරයා මේ ගානට ලියලා දෙන්නම් කියලා කිව්වා කියලත් කියනවා. තව දෙයක් කියන්න ඕන අකමැත්තෙන් උනත් සමස්ථ කලා ⁣ක්ෂේත්‍රය ඇතුලෙ තරම් කුහක මිනිස්සු වෙන කොහෙවත් නැතුව ඇති. මේ වෘත්තීය වටිනාකම නැති වෙන්නත් එක හේතුවක් ඒක. කවදාවත් තව කෙනෙක් උඩට එනවට කැමති නෑ. එහෙම නැති මිනිස්සු සීමිත පිරිසයි මේ දශක එක හමාරේ කාලේ ඇතුලත මට මුණ ගැහිලා තියෙන්නේ. ඕක තමයි ඇත්ත.