රුවින් ඔබ හොඳීන් හඳුනන ඔහු

දයාසිරි හෙට්ටිආරච්චිය
අගෝස්තු 19, 2021

 

වෘත්තීය වශයෙන් ගත්කල ඔහු අත්දැකීම් බහුල ප්‍රවීණයෙකි. දශක හතරක් ඉක්මවූ රංගන ජීවිතය තුළදී ඔහුට සිදුවූ අසාධාරණකම්ද බහුලය. එහෙත් ඒ සියල්ල මධ්‍යස්ථ සිතින් විඳ දරා ගන්නට ඔහුට ශක්තියක් වූයේ සිය වෘත්තිය කලාව නිසාමය. කලාකරුවා යනු සංවේදී චරිතයකි. මේ තැනැත්තා ඊට හොඳම උදාහරණයක් ලෙස මම දකිමි.

 

කලාව නිසා ඔබට ගොඩක් දේ ලැබුණා..එහෙම නේද?

මට ඉතින් මොනවද නොලැබුණේ. ගොඩක් දේවල් මට ලැබුණේ කලාව නිසා තමයි.මං කැමතියි වසර වසර හතළිස් හතරකට පෙර අතීතයට ඔබ රැගෙන යන්න.

එකදාස් නවසිය හැත්තෑ හතේ පෙබරවාරි එකොළොස් වැනිදා තමයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට නැග්ගේ.

 

දිනය පිටින් ඔබට මතකයි?

අනිවාර්යනේම. කලාවේ ඉන්නවනම් මුල මතක තියෙන්න ඕනේ. එතකොට තමයි දිගු ගමනක් යන්නට ලැබෙන්නේ.

 

හරි අපි අතීත කතාව ගැන ආයෙ කියමු?

මම කියාගෙන ආවේ මේකයි. මුලින්ම මම රඟපාන්න එන්නේ වේදිකා නාට්‍යකින්. ඒක නිෂ්පාදනය කළේ නැසීගිය සුසිලා කූරගම, අපේ කෝපි කඩේ එන්සිනා. සත්මුතු සමඟ සිලිං බිලිං කියන කෙටි නාට්‍ය දෙක තමයි එදා වේදිකා ගත කළේ. සිලිං බිලිං කියන නාට්‍යයේ පිං පොං කියන චරිතය මම රඟපෑවා. ඒ චරිතය වෙනුවෙන් තරුණ නාට්‍ය උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වෙන්න මට වාසනාව හිමි වුණා. පිහි හොඳම සහාය නළුවා වුණේ ඒ නිහාල් සිල්වා.

 

ඒ කාලේ ඉඳලාම රඟපාන්න තමයිනෙ හිත?

ඇත්තටම මේක රඟපෑමට තිබුණා ආසාවක් කියලා කියනවාට වැඩිය රඟපෑමට තිබුණු පිස්සුවක් කියලා කියන්න මම කැමතියි. එච්චරටම ඒ පිස්සුව මට තද වෙලා තිබුණේ. මගේ ගම මාරවිල. මම නළුවෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා ගමේ හරි ප්‍රසිද්ධයි. මොකද මම අපේ ගමේ හැම කෙනත් එක්කම වගේ ඔය බලාපොරොත්තුව ගැන කියලා තිබුණා. අනේ ඉතින් බොහෝ අවස්ථාවන්වලදී මාව ඒ අය පල් කරපු එක තමයි කළේ.

 

ඔය අතරේ ඔබට මහඟු අවස්ථාවක් හම්බ වෙනවා?

කොහේ හිටියත් පින පල දෙනවා කියන්නේ මේකට තමයි. මටත් පින පල දුන්නා හැබැයි ඒක ලෙහෙසියෙන් වුණේ නැහැ. අපේ ප්‍රකට කැමරා අධ්‍යක්ෂවරයෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඉන්නව ඩැනී ඩබ්ලිව් පතිරණ කියලා. ඔහු දිනක් මට මුණ ගැසිලා මගේ ආසාවන් පිළිබඳ විස්තරය අහලා හැකියාව එහෙම බලලා ඔහු හදන්න ඉන්න චිත්‍රපටයක තිබෙන මීරාසයිබු කියන චරිතයට මාව තෝර ගන්නවා කියලා කිව්වා. ඒත් එක්කම ඔහු වැඩිදුරටත් කිව්වේ ඒ චරිතය රඟපාන්න තියෙන්නෙ මාලිනී ෆොන්සේකා කියන අපේ නිළි රැජිනත් එක්ක කියලා. මගේ ඉහේ මලක් පිපුන වගේ. මං ඉතින් මොකද කළේ ඒ සන්තෝසෙන්ම පාපැදියක නැගිලා මුළු ගම පුරාම ගිහිල්ලා කිව්වා මට මේ වගේ චරිතයක් හම්බුණාය, මට රඟපාන්න තියෙන්නේ මාලිනි ෆොන්සේකා එක්කය කියලා. ඔය කතාව ගමේ ප්‍රසිද්ධ වුණට පස්සේ, ගමේ කිහිපදෙනෙක් මගේ මල්ලිට කියලා තිබුණා අයියට ටිකක් පිස්සුද දන්නෙ නෑ පොඩ්ඩක් ගිහිල්ලා ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවොත් නරකද කියලා. මොකද මාලනී ෆොන්සේකා පිළිබඳ මම කියන කතාව අහලා තමයි ඔවුන් ඒක කියල තිබුණ. ඒ කාලේ මාලනී අක්කත් එක්ක රඟපානවා කියලා කියන්නේ මං වගේ කෙනෙකුට ලැබුණු ඉතා සුවිශාල අවස්ථාවක්නෙ. මාලනි අක්කා ඩැනී මහත්මයාට කියලා තිබුණා ඒ චරිතය වෙනුවෙන් මගේ කොණ්ඩෙ බූගාවන්න එපා මම බලලාම ඊට පස්සේ තීරණය කරමු කියලා. මාලනී ෆොන්සේකා මහත්මිය මාව දැක්කට පස්සෙ ඒ චරිතයට මාව සුදුසුයි කියලා එක නිර්දේශ කළා. ඇයත් එක්ක මම ඒ චිත්‍රපටිය රඟපෑවා. චිත්‍රපටියේ නම අහිමි දඩමං.

 

ඔබව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යමු කියලා කිව්වා අයට මොකද ඔබ පස්සෙ කිව්වෙ?

අහන්නකො ඒ කතාව. දැන් ඔන්න චිත්‍රපටය රිලීස් වුණා. ඒත් එක්කම මම අර වගේම එක එක ගෙවල් වලට ගිහිල්ලා කිව්වා නම් මගේ චිත්‍රපට යනවා බලන්න මම රඟපෑවේ මාලිනී ෆොන්සේකා එක්ක කියලා. ගමේ කට්ටියට ඇත්තටම පුදුම හිතුනා. ඒ වගේම මම තීරණය කළා කවද හරි මොන බාධක ආවත් රඟපෑමෙන්ම තමයි ඉදිරියට යන්නේ කියලා.

 

ඊට පස්සේ ඔබට දිගින් දිගටම චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා?

ඔවු. දෙවියන්ගේ පිහිටෙන් මට චිත්‍රපට වගේම නාට්‍යවලත් රඟපාන්න අවස්ථාව ලැබුණා.

චිත්‍රපට කීයක විතර රඟපාලා තියෙනවද?

විස්සකට එහා..

 

එතකොට ටෙලි නාට්‍යය?

මං හිතන්නෙ පොඩි පොඩි චරිතත් එක්ක ටෙලි නාට්‍යය සියයකට එහා මම රඟපාලා තියෙනවා.

 

වේදිකා නාට්‍යයත් සෑහෙන්න දායකත්වයක් දුන්නා නේද?

 

මං වේදිකා නාට්‍යයක් 60ක 70ක් විතර රඟපාලා තියෙනවා. ඒ වගේම මමත් වේදිකා නාට්‍ය තුනක් නිර්මාණය කළා. කළා ඒ අතරින් බොරැල්ල ගෙදර කියන නාට්‍ය තමයි හුඟක් ප්‍රසිද්ධ වුණේ.

 

ඔබ වඩාත් ජනප්‍රිය කළ චරිතය මොකක්ද?

ඒකට මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. මාව වැඩිපුරම ජනප්‍රිය කළේ සිවගුරුනාදන් මහත්මයාම නිර්මාණය කරපු හාරකෝටිය කියන ටෙලිනාට්‍යයෙන්.

 

ඒත් ඔබ නොසිතූ විරූ අන්දමින් නාඩගම් කාරයෝ නාට්‍යයේ හින්දා ජනප්‍රිය වෙලා නේද?

 

ඒක ගැන නම් කියන්නම ඕනෙ. දැන් මම වසර හතළිස් හතරක් තිස්සේ රඟපානවානේ. සමහර විට වෙනත් ටෙලි නාට්‍යවලට මීට වැඩිය කැපකිරීම් කළ අවස්ථා තිබුණා. නමුත් නාඩගම් කාරයෝ කියන ටෙලි නාට්‍යය චරිතයත් එක්ක මාව එක පාරටම උලුප්පලා ආවා කිව්වොත් නිවැරදියි. තවත් විදිහකින් කිව්වොත් හිතාගන්න බැරිතරම් විදිහට මම ජනප්‍රිය වුණා. මේ වසර 44 පුරාවට මම මෙහෙම කාලයක් අත්විඳලා නෑ. ඒ නිසාම ඇත්තටම දැන් ඒ පාරේ තොටේ තියෙන කඩේකටවත් මට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ඒ නාඩගම්කාරයෝ මුදළාලිගෙ චරිතය නිසා. සෙල්ෆිම ගහලා ඉවරයක් නෑ.

 

රටේ තියෙන වත්මන් තත්ත්වයත් එක්ක ඔබ ඒ වගේ වෙලාවන්වලදී අපහසුතාවයට පත්වෙනවා ඇති?

 

ඇතැම් අවස්ථාවන්වලදී මිනිස්සු මාස්ක් එක එහෙම ටිකක් ගලවලත් ෆොටෝ ගන්නවා. සමහර අවස්ථාවන්වලදී අපි නාඩගම්කාරයෝ දර්ශන තලයේ ඉද්දි, මේ ෂූටිං පටන් ගන්න ලෑස්ති වෙන්නේ....කඩේ ඉද්දි අපිව බලයෙන් වගේ ඇදලා අරගෙන සෙල්ෆි ගහනවා. එපා කියන්නත් බැහැනේ අපේ රසිකයෝනෙ.

ඔබට අලුත් පරපුර ගැන කියන්න ලොකු කතාවක් තියෙනවා?

 

ඇත්තටම මං මේක කියන්නේ කිසිදු කුහකත්වයකින්වත් කිසිම කෙනෙක් පහත් කරන්නවත් නෙමේ. අලුත් පරපුරේ සියයට පණහක් දෙනා ගැන මගේ හිතේ පැහැදීමක් තියෙනවා.

ඒ කියන්නේ ඉතුරු සීයට පනහේ පැහැදීමක් නෑ කියලා කියන එකනෙ කියලා ඔබ සිතාවි. ඒ ප්‍රතිශතය ඇතුළේ ඉන්නවා ප්‍රවීණයන් නොහඳුනන පිරිසක්. මම ඒ වගේ වෙලාවන්වලදී හිතනවා කමක් නෑ මේ අය දන්නැති කමටනේ මෙහෙම ඉන්නේ කියලා. මගේ හිතෙන් මම ඔවුනට සමාව දෙනවා. අපි අදටත් විජයරත්න වරකාගොඩ, මාලිනී අක්කල වගේ අය දුර ඈත එනවා දැක්කත් අපි නැගිටලා අසුන දෙනවා. නමුත් මම දැකපු දෙයක් තමයි සමහර අලුත් අය එහෙම අපිටත් එහා ඉක්මවා ගිය ප්‍රවීණයකු දැක්කත් ගණන් ගන්න තත්ත්වයෙන් ඉන්නවා. මං කියන්නේ නැහැ අපිව හිස් මුදුනින් පිලි ගන්න ඕනේ කියලා. නමුත් කලාව කරගෙන යද්දී යම්කිසි ගරුත්වයක් තියෙන්න ඕනේ. මම උතුරේ රාහුල හිමි නාට්‍යයේ රාහුල හිමිගේ චරිතය කරද්දි සිවුර ඇන්දනෙ. ඉතින් මම සිවුර ඇඳගෙන බිම වාඩි වෙන්නවත් නැහැ. අඩුම තරමේ පුටුවක වාඩි වෙන්නේවත් නෑ. ඒ අපේ හිතේ රංගනයට සහ මේ වෘත්තියට තියෙන ගරුත්වයට. අද අයගේ එහෙම එකක් මම දකින්නේ නැහැ. මූණේ වම් පැත්ත මේකප් කරද්දි ෆෝන් එක දකුණු කන තියාගෙන කතාව. දකුණු පැත්ත පැත්ත මේකප් කරද්දි ෆෝන් එක වම් කනේ තියාගෙන ඉන්නවා. එහෙම කරන්න එපා. මේ කලාව කියන්නේ පූජනීය දෙයක්. එක පාරට ඇවිල්ලා ෆෝන් ඔබ ඔබ ඉඳලා බලාගෙන ඩයලොග් ටික කියලා යන එක නෙමේ රඟපානවා කියලා කියන්නෙ. ඊට එහා ගිය දෙයක් තියෙනවා මේ වෘත්තීය ඇතුළේ. කලාවේ ඉන්න සරස්වතී දේවියගේ ඇල්ම බැල්ම තියෙන්නත් ඕනේ. සමහර අය මගෙන් අහනවා ඔයාට සරස්වතී කියන කෙනාව පේනවද දැකලා තියෙනවද කියලා. මොන විහිළු කතාද ඒවා.

 

ඔබ ක්ෂේත්‍රයේ ඉන්නේ ටිකක් කලකිරීමකින් වගේ?

ඇත්තට කලකිරීමක් තියෙනවා. එහෙම නැහැ කියන්න බැහැ. මොකද දැන් මේක මගේ වෘත්තිය මේකනේ. ඒ නිසා මම හැකිතාක්කල් මෙහි තමයි දැන් රැඳෙන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම අර කලින් කිව්ව වගේ යම් යම් අවස්ථාවලදී හිතරිදීම් වෙනවා. බොහොම අඩු මුදලට අපිට රඟපාන්න එන්න කියලා කියනවා.

ඒ වගේ වෙලාවන්වලදී මම බැහැ කියන්නෙ නැතුව ඒ චරිතය කරලා එනවා. ඇවිල්ලා මම හිතන්නේ මේ අයට චැනල් එකෙන් අඩුව ගෙවනවා ඇති ඒ නිසයි මට මේ වගේ ගානක් දෙන්නෙ කියලා. මම සල්ලි මත්තෙම නැහෙන කෙනෙක් නෙමෙයි.

ඒ නිසා අසාධාරණයක් වුණත් වැඩියම කලකිරෙන්නේ නැහැ.

 

බොහොම මධ්‍යස්ථව හිතන කෙනෙක් වගෙයි ඔබ?

ඇත්තටම මම එහෙම හිතන්න පෙළඹිලා තියෙන්නේ. මොකද නැත්නම් මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන්න හරිම අමාරුයි. අපි කාවවත් විවේචනය කරන්න යන්නේ නැහැ, කාටවත් බනින්නෙ, නෑ කාටවත් දොස් කියන්නෙත් නෑ, ඒ නිසා අපි මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ඉන්නවා. මේ ජීවිත කාලය පුරා මම කවදාවත් අරක්කු සිගරට් බීලා නැහැ. මොකද මම අම්මට වෙච්ච පොරොන්දුවක් ඒක. ඒ ප්‍රතිපත්ති රකිමින් ජීවිතයේ ජීවිතය විඳීනවා.

 

 

ඔබේ පවුලේ විස්තරත් සඳහන් කළොත්?

 

මගේ නෝනා පුද්ගලික ආයතනයක වැඩ කරනවා. මට දුවෙක් ඉන්නවා දුවට තවම වයස අවුරුදු දාසයයි. අපි තුන්දෙනා බොහෝම සතුටින් ජීවත් වෙනවා.

 

 

අමිත් එස් සේනාරත්න