ජනප්‍රිය නිළියෝ හැමෝගෙම “අම්මා”මම

-මීනා කුමාරි-
අගෝස්තු 12, 2021

 

ෂාජි එම් කරුන් තොරාගත් ලාංකික නිළිය

 

මීට වසර පහළොවකට පෙර සිරස නාළිකාවේ විකාශය වුණු "වසූදා" ටෙලිනිර්මාණය ඔබට මතක ඇති. එහි වසූදාගේ චරිතයට පණ පෙවූ රුවැත්තිය මීනා කුමාරි වග ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. එතැන් පටන් ටෙලිතිරයේ වැඩිමනත් සාම්ප්‍රදායික ගැහැනියගේ චරිතයෙන් ඔබ හමුවට පැමිණි ඇය මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍ය ත්‍රිත්වයක ප්‍රධාන නිළියන් තිදෙනාගේ මවගේ චරිතවලට පණ පොවන්නීය. එම චරිත පිළිබඳව කතා කරන්නට සහ කලාව තුළ ඇය කළ කී දෑ යළි සිහිපත් කරන්නට මීනා කුමාරි සමඟ මෙසේ පිළිසඳරක යෙදුණෙමු.

මේ දිනවල ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය තුනකම ප්‍රධාන චරිතවල අම්මා ඔබ?

ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන "නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍යයේත් සිරස නාළිකාවේ විකාශය වන "කියාදෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යයේත් ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "තාදි" ටෙලිනාට්‍යයේත් ප්‍රධාන නිළියගේ මවගේ චරිතය මම නිරූපණය කරනවා. ඒත් මේ චරිත තුනම එකිනෙකට වෙනස් චරිත.

මේ චරිත තුන ගැන වෙන වෙනම කතා කළොත්?

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කුසුමලතාගේ චරිතය ගත්තොත් ගමක ඉන්න දුවලා දෙදෙනෙක්ගේ මවකගේ චරිතයක්. නාගඩගම්කාරයෝ ටෙලිනාට්‍යය කියන්නේ කාලයකින් ගමක තියෙන සුන්දරත්වය ගැන කතා කරන ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. ඒ අම්මා පවුලේ ප්‍රශ්න සහ දරුවන්ගේ ප්‍රශ්න බොහොම ප්‍රවේශමෙන් කළමනාකරණය කරන දුවලා දෙන්නාව හරිම පරිස්සමෙන් හදන අම්මා කෙනෙක්. "කියාදෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යයේ අම්මා පොත් ලියන ලේඛිකාවක්. එයා නුවර පළාතේ ගමක හැදුණු කෙනෙක්. ලොකු වයස් පරතරයක් තියෙන බටහිර පන්නයට හැදුණු පුද්ගලයෙක් සමඟ විවාහ වෙලා කොළඹට ඇවිත් නවකතා පොත් ලියමින් දරුවන්ගේ ප්‍රශ්න ගැන උපේක්ෂාවෙන් අවබෝධයෙන් බලන අම්මා කෙනෙක්. ඒ වගේම "තාදි" ටෙලිනාට්‍යයේත් ව්‍යාපාරිකයෙකුගේේ බිරිඳකගේ චරිතයක් මම නිරූපණය කරන්නේ. මගේ තියෙන හැකියාවන් එකතු කරමින් මේ කතා තුනේම චරිත නිර්මාණය කරන පිටපත් රචකයාට සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි මම හැම චර්තයකින්ම උත්සාහ කරන්නේ. අපේ චරිතවලට ආරූඪ වුණාම ඒ ඒ චරිතවල හැඩතල වැටහෙනවා. හැම චරිතයක්ම "අම්මා"ගේ චරිත වුණාට එකිනෙකට වෙනස් සමාජ මට්ටම්වල, එකිනෙකට වෙනස් පවුල් පරිසරවල, එකිනෙකට වෙනස් දරුවෝ ඉන්න අම්මලා තුන්දෙනෙක් මේ.

 

මේ ටෙලි නිර්මාණවල ඔබේ දූවරු වෙන්නේ ලංකාවේ ජනප්‍රිය නිළියන්.

ඒ තිදෙනාම ඉතාම දක්ෂයි. ඉතාම පහසුයි ඔවුන් තිදෙනාම එක්ක රඟපාන එක. ඒ වගේම ඔවුන්ගේ චරිත ගත්තොත් ඒවා එකිනෙකට වෙනස්. දූවරු කියන්නේම හැඟීම් ගොඩක් එක්ක ගනුදෙනු කරන අයටනේ. එතකොට මේ චරිතවල හැඟීම් එකිනෙකට වෙනස්. ඒ හැඟීම්වලදි මවක් විදිහට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම පිටපත එක්ක මගේ හැඟීම් එකතු කරලා රඟපානකොට ඒ දුවව මට දැනෙනවා. කතාව තුළ ජීවත් වෙද්දි අපි චරිත හොයාගෙන යනවා. කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ දුවගේ චරිතය නිරූපණය කරන්නේ ශලනි තාරකා. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දුවගේ කලින් පෙම්වතා මිය යනවා. ඒ මියයෑමත් එක්කම ඇය ටිකක් රළුවෙනවා. ඇය ගෙදරින් ගේන කිසිම යෝජනාවකට කැමති වෙන්නෙත් නැහැ. එතනදි අම්මා හරි උපේක්ෂාවෙන් තේරුම් අරගෙන දුව එක්ක ගනුදෙනු කරන්නේ. ඒ වගේම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මට දුවලා දෙදෙනෙක් ඉන්නවා. එතනින් ප්‍රධාන චරිතය නිරූපණය කරන සෙනාලි ෆොන්සේකා ගත්තාම එයා ටිකක් මුරණ්ඩුයි, ටිකක් දඟකාරයි. ආඩම්බරයි. හැබැයි අම්මගේ වචනෙට එයා අවනතයි. ඒ අම්මා ගැමි කාන්තාවක් විදිහට ගමේ කිසිම කෙනෙක්ගෙන් දරුවන්ට නරක දෙයක් අහන්න වෙන්නේ නැති විදිහට හරි පරිස්සමෙන් දියණියන් හදන මවක්. ඒ වගේම තාදි ටෙලිනාට්‍යයේ මවගේ චරිතය ටිකක් වෙනස්. ඇගේ ස්වාමියා දුවව ඔවුන්ගේ සෙල්ලමක ඉත්තෙක් කරගෙන ඇයව පවුලේ හිතවතෙකුුගේ පුතෙකුට කසාද බන්දලා දෙනවා. ඔහු උම්මතකයෙක් විදිහටත් ප්‍රතිකාර ගත්ත කෙනෙක්. දියණියගේ පවුල් ජීවිතය ගැන ඒ අම්මා නිතර දෙගිඩියාවෙන් ඉන්නේ. මේ ටෙලිනාට්‍යයේ මගේ දියණිය ශනුද්‍රි ප්‍රියසාද් ඇයටත් පොඩි කාලේ ඉඳලා කැමරාව හුරු පුරුදු නිසා ඇය එක්ක රඟපාන එකත් ඉතාම පහසුයි. එහෙම බලනකොට ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යවල ජනප්‍රිය නිළියන්ගේ අම්මා වුණේ මම.

 

මේ චරිතවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. නාඩගම්කාරයෝ ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය විදිහට සම්මාන පවා ලැබුවා. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා කුසුමලතාගේ චරිතයට. ගොඩක් අය ඒ ඔසරිය ඇඳලා ඉන්න ගැමි කාන්තාවගේ ස්වරූපයට පවා කැමතියි කියනවා. ඒක රංගනයක් නෙමෙයි, ඒ මාස්ටර්ගේ නෝනාම තමයි කියලා විශ්වාස කරන මට්ටමට ප්‍රේක්ෂකයන් මගේ චරිතය විශ්වාස කරනවා. ඒ වගේම ජනප්‍රිය ටෙලිනාට්‍යය විදිහට සම්මාන ලැබූ තාදි ටෙලිනාට්‍යයටත් සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ කාලෙකට පස්සේ සිරස නාළිකාවේ ටෙලිනාට්‍යයක චරිතයක් මම නිරූපණය කරනවා. සිරස කියන්නේ මගේ ජීවිතය වෙනස් කරපු තැනක්. "වසුදා" ටෙලිනාට්‍යය කියන්නේ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ නාළිකාවෙන්ම විකාශය වෙන "කියාදෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යයේ මේ චරිතයට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි. මේ ටෙලිනාට්‍ය ත්‍රිත්වයේම අධක්ෂවරුන්ව මම මතක් කරනවා මේ වෙලාවේ.

 

මැදි වයසේ ඉන්න බහුතරයක් නිළියෝ වගේ මීනා කුමාරිත් අම්මලාගේ චරිතවලට කොටු වෙලා කියලා සමහරු කියනවා.

මම ඇත්ත ජීවිතයේ අම්මා කෙනෙක් වුණු කාලයේ ඉඳන්ම මට අම්මලාගේ චරිත ලැබුණා. අම්මා කෙනෙක් හැටියට මම අම්මලාගේ චරිත රඟපාන්නේ හරිම කැමැත්තෙන් සහ ආසාවෙන්. ඒ වගේම දැන් කලාව දිහා බැලුවාම චරිත ලොකුවට බිහි වෙන්නේ නැහැ. අපි ආස කරන චරිත පිටපත්වල ලියැවෙන්නේ නැහැ. එහෙම තියෙන චරිත වුණත් අපිට නොලැබෙන්න පුළුවන්. මම වෙනස් චරිත කලින් කරලා තියෙනවා. දැන් තියෙන වාණිජ ආර්ථික රටාවත් එක්ක ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරමින් රඟපාන්න තමයි කලාකරුවෝ විදිහට අපිට කරන්න වෙලා තියෙන්නේ. මම බොහොම ආදරයෙන් සහ විශ්වාසයෙන් ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒකාරී වුණත් මම භාරගන්නේ මට ආදරේ කරන්න පුළුවන් චරිත විතරයි. මව කිව්වාම විවිධ මව්වරුන් ඉන්නවා. විවිධ පිටපත්වල ඉන්න අම්මලා වෙනස්. ඒ අම්මලට එන ප්‍රශ්න වෙනස්. ඔවුන් ඒ ප්‍රශ්නවලට මූණදෙන විදිහ වෙනස්. අපි ඒ චරිත හොයාගෙන යන්න ඕනේ. චරිතය එක වුණාට ඒ චරිත ඇතුළෙ තියෙන විවිධත්වය මට දැනෙනවා.

 

මේ චරිත ඔබ ගොඩනඟන්නේ බහුතරයක් නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය?

නව පරපුරේ රංගන ශිල්පීන් ඉතාමත් දක්ෂයි. මේ සියලු දෙනාම හරිම උනන්දුයි. ඔවුන් නිතරම තමන්ගේ චරිතය ප්‍රශස්ත මට්ටමට කරගන්න උත්සාහ කරනවා.

නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයේ අලුත් රංගන ශිල්පීන් ගොඩක් ඉන්නවා. ඒ අයට අපි දන්න දේවල් කියලා දෙමින් තමයි මේ ගමන යන්නේ. ඔවුන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ගොඩක් අය මගෙන් අහන්නේ තරුණ අයත් එක්ක වැඩ කරන්න අමාරුයි නේද? කියලා. ඒත් මට එහෙම නැහැ. රංගනයට අලුත් කෙනෙක් වුණත් අපි දන්න දේවල් කියලා දෙමින් ඔවුන්ව අපේ මට්ටමට ගන්න මම උත්සාහ කරනවා. ඔවුන්ට රඟපාන විට වැරදුණත් ඒ සමහර තැන් හදාගන්න උපදෙස් දෙමින් අපි වැඩ කරන්නේ. අපි නවකයන් කාලේ අපිටත් වැරදුණා. ඒ අත්දැකීම් මට තවම මතකයි.

 

මීනා කුමාරිත් එක්ක කතා කරනකොට අපිට "වසූදා" ගැන කතා නොකර බැහැ.

 

අදටත් මාව හැමෝම හඳුන්වන්නේ "වසූදා" කියන නමින්. ඒක තමයි ලංකාවේ පළමු මෙගා ටෙලිනාට්‍යය. ඒ චරිතයට බොහෝ දෙනා ආදරේ කළා. ඒ ගෞරවය මම සිරස නාළිකාවට දෙනවා. අජිත් වීරසිංහ, චන්දන සූරියබණ්ඩාර, රාධිකා යන අය ලබාදුන් සහයෝගය මම සිහිපත් කරනවා. වසර හතරක් අපි වසූදා ටෙලිනාට්‍යයේ එක දිගට වැඩ කළා. එය විකාශය වෙලා දැන් වසර පහළොවක් වෙනවා. වසූදා ටෙලිනාට්‍යයෙන් පසුව තමයි මට ඉන්දියානු චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න ලැබෙන්නෙ. වසූදා ටෙලිනාට්‍යයේ මගේ ජවනිකා ඉන්දියාවේ අඥතඪධද ඡ්දබඥපබචඪදථඥදබ එකට යැව්වාම ඒවා දැකලා තමයි මාව ඒ චිත්‍රපටයට තෝරගත්තේ. ඒ කාලේ මට ලැබුණු ජනප්‍රියත්වය කියලා නිම කරන්න බැහැ. හැමදාම මට ප්‍රේක්ෂකයන්ගෙන් ලියුම් ලැබුණා. ඒ වසූදාගේ චරිතය හරහා ජීවිත හදාගත්ත අය ගොඩක් ඉන්නවා. ඒ චරිතයෙන් තමන්ගේ ජීවිතය නිවැරදි කරගත්ත අය ගොඩක් ඉන්නවා. කලාවෙන් කෙනෙකුගේ ජීවිතයක් යම්කිසි මට්ටමකට වෙනස් කරන්න පුළුවන් වීම ගැන මම අදටත් සතුටු වෙනවා. කෙනෙක් වසූදාගේ චරිතයෙන් තමන්ගේ ජීවිතයට යම්කිසි දෙයක් එකතු කරගත්තා නම් ඒක තමයි මට ලබන්න පුළුවන් ලොකුම තෘප්තිය. වසූදා කියන චරිතය බොහොම ඉවසිලිවන්ත කෙනෙක්. ඒ කාලේ හැමෝම මගෙන් ඇහුවා ඒ තරම් ඉවසන කාන්තාවෝ ඉන්නවාද කියලා. මම හැමෝටම දීපු උත්තරේ ඉවසීමට සීමාවක් නැහැ කියලා. බුදු දහමේ වුණත් කියන්නේ ඉවසලා බැරිම තැන තමයි ඉවසන්නම ඕනේ කියලා. ඒකට හොඳම උදාහරණය වසූදා චරිතය. වසූදා චරිතයට ජාති ආගම් භේද නැතිව පොදුවේ ආදරය කරපු ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා.

 

සාම්ප්‍රදායික ගැහැනියගේ චරිතයෙන් බැහැර වෙලා ඊට වඩා වෙනස් චරිතයක් කරන්න කැමති නැද්ද?

ාම්ප්‍රදායික නොවන ගැහැනුන්ගේ චරිතත් මම කරලා තියෙනවා. දඹුලුගල සක්මන ටෙලිනාට්‍යයේ අංගම්පොර කලාවේ නිරත වන තරුණියකගේ චරිතයක් මම කළා. සීඅයිඩී නිලධාරිනියකගේ චරිතයක් මම රඟපාලා තියෙනවා. මම ක්‍රීඩා කරපු නිසා සහ හමුදා පුහුණුව ලබපු නිසා ඒ චරිත හොඳීන් රඟපාන්න මට පහසු වුණා. වසන්ත ඔබේසේකර මහත්මයාගේ අසනි වර්ෂා සිනමාපටයේ වෙනස් ආකාරයේ චරිතයක් කළා. ඒ වගේම ආනන්ද අබේනායක මහතයාගේ "ජීවිතයට ඉඩදෙන්න" ටෙලිනාට්‍යයේ මගේ චරිතයට මම සෑහෙන්න ප්‍රිය කරනවා. මගේ පළමු ටෙලිනාට්‍ය මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ "තුන් බිය" ටෙලිනාට්‍යයේ මට ජෝ අබේවික්‍රම මහත්මයාත් එක්ක රඟපාන්න අවස්ථාව ලැබුණා. විවිධ චරිතවලට පණ පොවන්න මට අවස්ථාව ලැබුණ වගේම ඒ වගේ ප්‍රවීණයන්ගේ සමඟ රඟපාන්නත් වරම් ලැබුණා. ඒ අත්දැකීම් සියල්ලම අරගෙන බොහොම හෙමින් මම මේ ගමන යන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ මට වේදිකාවේත් වෙනස් චරිත කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ "ට්‍රෝජන් කාන්තාවෝ" වේදිකා නාට්‍යයේ දීර්ඝ කාලයක් තිස්සේ මම රැඳී ඉන්නවා. එහි "කැසැන්ඩ්‍රා"ගේ චරිතය මම කළේ. වේදිකාවේ යම් වෙනසක් ඒ තුළින් මට කරන්න ලැබුණා කියලා මම විශ්වාස කරනවා.

 

සිනමාවේ ඔබට ඉඩකඩ ලැබුණේ අඩුවෙන් කියලා හිතෙන්නේ නැද්ද?

ගොඩක් අය ඒ ප්‍රශ්නය මගෙන් අහනවා. සම්මානනීය ඉන්දියානු අධ්‍යක්ෂ සාජී නාරයන් කරූන් මගෙන් ඔය ප්‍රශ්නෙම ඇහුවා. ඒත් මලයාලම් සිනමාවේ උසස් රංගන ශිල්පීන් රාශියක් එක්ක මට ඉන්දියානු චිත්‍රපටයක රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනෙන් එකක් රඟපෑවේ මම. ඉන්දියානු කලාත්මක චිත්‍රපටයක ලංකාවේ රංගන ශිල්පිනියන්ගෙන් මුලින්ම රඟපෑවේ මම. මගේ රංගනය දැකපු නොදැකපු අය ඉන්න පුළුවන්. මගේ රංගනයට කැමති අකමැති අය ඉන්න පුළුවන්. මාව බහුල වශයෙන් සිනමාවට සම්බන්ධ කරගත්තේ නැහැ කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. ඒක අඩුවක් කියලා මට දැනෙන්නෙත් නැහැ. මොකද මම අන්තර් ජාතික වශයෙන් චිත්‍රපට අත්දැකීමක් ලැබුවා. ඒක මට ලංකාවේ චිත්‍රපට දහයක පහළොවක රඟපෑවා හා සමානයි. විශ්වවිද්‍යාලයක ඉගෙනගත්තා හා සමාන අත්දැකීම් මට ඒ චිත්‍රපටයෙන් ලැබුණා. ලංකාවේ චිත්‍රපට කීපයක විතරයි මම රඟපෑවේ. ඒ අතරිනුත් "කන්‍යාවි" චිත්‍රපටයේ මං ප්‍රධාන චරිතයක කළා.

 

කලා නිර්මාණයක් නිෂ්පාදනය කරන්න හෝ අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?

 

හැම විෂයකම අපි බොහෝ දේ ඉගෙන ගන්න ඕනේ. අධ්‍යක්ෂණය කරනවා නම් ඒ විෂයය පරාසය ගැන පුළුල් අවබෝධයක් තියෙන්න ඕනේ. අපේ ප්‍රවීණ අධ්‍යක්ෂවරු බිහිවුණෙත් කලාව තුළ කාලයක් තිස්සේ කරපු හැදෑරීම්වල ප්‍රතිඵලයක් විදිහට. ඔවුන් සමඟ වැඩ කරද්දි අපිට වැටහෙනවා ඔවුන්ගේ දැනුම් පරාසය. ඔවුන්ගෙන් බිහිවුණේ ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ. අධ්‍යක්ෂවරියන් අතරින් ලංකාවේ පළමු තැන ගන්න සුමිත්‍රා පීරිස් මහත්මිය පවා ලන්ඩන් සිනමා පාසලෙන් අධ්‍යක්ෂණය හදාරපු කෙනෙක්. එහෙම හැදෑරීමක් නැතුව ආධ්‍යක්ෂණයට පිවිසෙන්න බැහැ. මගේ කාලය ගත වුණේ රංගනයට මිසක් අධ්‍යක්ෂණයට නෙමෙයි. කවදාහරි හැදෑරීම් කරලා හොඳ නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න ආසයි.

 

රංගන ශිල්පිනියක් නොවී දිගටම හමුදා සේවයේ හිටියා නම් හොඳයි කියලා හිතුණු අවස්ථා නැද්ද?

කොහෙත්ම නැහැ. හමුදාවේ මහේ යාළුවෝම කියනවා මම හමුදාවෙන් ඉවත් වෙලා රඟපාන්න ආපු එක හොඳයි කියලා. රංගන ජීවිතයෙන් ලබපු අත්දැකීම් ගැන මම ගොඩක් සතුටු වෙන කෙනෙක්. රංගන ජීවිතයේදී කලකිරීම් කඩා වැටීම් වුණු තැන්වලදිවත් මට දිගටම හමුදා සේවයේ හිටියා නම් කියලා හිතිලා නැහැ. මම හමුදා සේවයෙන් අයින් වෙන්නේ හොඳම ගුවන් කාන්තාව බවටත් පත් වෙලා. ඉහළම දක්ෂතා පවා පෙන්වලා ඉවත් වුණේ ඇයි කියලා කවුරුහරි ඇහුවොත් මම කියන්නේ සුදුස්සාට සුදුසු තැන නැති නම් ඉවත්වීම තමයි සුදුසුම කියලා. හමුදා සේවයේදී මම ලබපු අත්දැකීම් මගේ ජීවිතයට අදටත් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් දරා ගැනීමේ හැකියාව උපරිමයෙන් මට ලැබුණේ හමුදා සේවයේදි.

 

පෞද්ගලික ජීවිතය ගැන කිව්වොත්?

මට දුවෙක් ඉන්නවා. එයාගේ නම සවන්දි සුභාත්‍රා බණ්ඩාරනායක. එයාට දැන් වයස අවුරුදු 22ක්. එයා මේ වසරේ අවසානයේදී මෘදුකාංග ඉන්ජිනේරුවරියක් ලෙස උපාධිය ලබාගන්නවා. දුවගේ අධ්‍යාපන කටයුතු නිසා හොඳ කලා නිර්මාණ රැසක් මම අත්හැරලා තියෙනවා. මොකද මට ඕනේ වුණා දුව අධ්‍යාපනයෙන් උපරිම තැනකට යනවා දකින්න. දැන් මම ඒ ප්‍රතිඵල දකිනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

හිරු නාළිකාවේ විකාශය වීමට නියමිත නිමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලිනාට්‍යයකට රූගත කිරීම් පටන්ගත්තා. ඒ චරිතය ටිකක් වෙනස් චරිතයක්. ඒ වගේම ජීවන් කුමාරතුංග මහත්මයාගේ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය "ජීවා" චිත්‍රපටයට මම රංගනයෙන් දායක වුණා. ඒ වගේම "නිහඬ සෙවනැලි" කියලා චිත්‍රපටයකත් රඟපෑවා. මේ චිත්‍රපට ඉදිරියේදී තිරගත වන්න නියමිතයි

 

 

ඡායාරූප - ප්‍රසාද් සමරතුංග