වසර හයකට පසු ප්‍රතිභා පෝක් වීදීයේ

අගෝස්තු 5, 2021

 

සිය පියාගේ මඟ යමින් පුංචි තිරයේ මෙන්ම වේදිකාවේදී සිය රංගන ප්‍රතිභාව පෙන්වූ ඇය ද ප්‍රතිභාය. පරම්පරාවක් කලා කෙතේ සරු බිජුවට පැළ කළ නැසීගිය ගාමිණි හෙට්ටිආරච්චිගේ ආදරණීය දියණිය ඇයයි. කලක් වේදිකාව පුංචිතිරය හැඩවැඩ කළ ඇය අද සෙනෙහෙබර මවකි. වසර හයකට පසුව නැවත කැමරාව ඉදිරියට ආ ඇය මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන පෝක් වීදීයෙන් ඔබ හමුවන්නේ නර්මදා ලෙසිනි. මේ නව ආරම්භය ගැන වගේම ඇගේ පෞද්ගලික තොරතුරු විමසා බලන්නට සරසවිය අපි සිතුවෙමු.

 

අවුරුදු ගණනාවකට පසුව ප්‍රතිභා ආයෙත් පුංචි තිරයට ඇවිත්?

ඔව්. අවුරුදු හයකට පසුවයි ආපහු වැඩ ආරම්භ කළේ. කලාවත් එක්කම හැදුණ කෙනෙක් මම. ටෙලි නාට්‍ය වේදීකා නාට්‍යවලට හරිම කැමතියි මං. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. ඒ අය එක්ක කාලය ගෙවන්න මට ඕන වුණා. ඒ නිසාම මම නිර්මාණ භාරගත්තේ නැහැ. දැන් එයාලට යම්තාක් දුරට තේරෙනවා. පෝක් වීදීය භාර ගත්තා කරන්න. නමුත් ගොඩාක් කාර්යබහුල වෙන්න කැමැත්තක් නෑ.

 

ඔබ දැන් වගකීම් සපිරි ආදරණීය මවක්. ආයෙම රඟපාන්න එනවිට ඔබේ ආදරණීය සැමියගෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරක්ද?

ඔහුගෙන් මට කිසිම බාධාවක් නෑ මගේ කටයුතුවලට. මගේ අවශ්‍යතාව නිසයි මේ තරම් කාලයක් මා ඉවත්වෙලා සිටියේ. මම ඉතාම සතුටින් කාලය ගෙවනවා. දරුවන් දෙදෙනෙක් ඉන්නවා කියන්නේ ලොකු සතුටක්. මගෙ ලොකු බබාට අවුරුදු හයයි දැන්. එයා ඒතාභි ගෘශේන් වල්පිට. දුවට අවුරුදු 3යි. ඇය ස්වාරා ශේලී වල්පිට. මගේ ස්වාමියා මට උදව් කරනවා මගේ දේවල් කරගන්න. ඔහුගෙන් වගේම මගෙ පවුලෙ අයගෙන් ලොකු සවියක් මට ලැබෙනවා. නැත්නම් ඇත්තටම මේ කටයුතුවලට සම්බන්ධවීම හීනයක්.

 

ඔබ පෝක් වීදීයට එන්නේ කොහොමද?

පෝක් වීදීයට මට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ මෙහි පිටපත තිර රචක අසංක සායාක්කාර. අසංක සමඟ මම කලින් වැඩ කරලා තියෙනවා. ඔහුගේ පිටපත පිළිබඳ මට විස්වාසයක් තිබුණා. පිටපත හොඳ නම් නිර්මාණයක් සීයයට හැත්තෑපහක් පමණ හොඳයි. නවක අධ්‍යක්ෂවරයෙක් වුණත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් සාලින්ද රත්නායක කියන්නේ. ඔහු මා පෙර කළ නිර්මාණ බලලා තියෙනවා. ඔහුගේ ආරාධනාවත්, විශේෂයෙන්ම මෙහි රංගනයෙන් දායක වන නළු නිළි පිරිස ප්‍රවීණ දක්ෂ පිරිසක් ඒ සියල්ල එක්කම මේ නිර්මාණය අහක දාන්න ඕනනෑ කියල හිතලා මම මෙයට සම්බන්ධ වුණා.

 

නිර්මාණයේ එන ඔබේ චරිතය ගැන කතා කරමු?

මගේ චරිතය නර්මදා. එය වෙනස්ම චරිතයක්. කොහොමත් ඒ කතාවම ගෙන බැලුවොත් අද කාලයට ගැළපෙන කාලෝචිත තේමාවක් ඔස්සේයි මෙම ටෙලිනාට්‍යය ගලා යන්නේ. අද පවතින ආර්ථිකය සමඟ සල්ලිකාර පුද්ගලයාගේ සිට පහළම පන්තියේ කෙනා ඉඳලා මේ ජීවීතය ගෙනියන්න ලොකු සටනක් දෙනවා. ලෝන් නොගහපු ලීස් කරපු නැති කෙනෙක් නැති තරම්. ඒ සියල්ල සමඟ ගැටෙන මිනිසුන් ජීවිතය ගෙනියන ආකාරය තමයි මෙයින් කියැවෙන්නේ.

 

මීට වසර හයකට පෙර ඔබ රංගනයේ යෙදෙනවිට ඔබේ තාත්තා ඔබ සමඟ සිටියා. අද ඔබ නැවත එන්නේ තනියෙම. ඒ හිඩැස ඔබට දැනෙන්නේ කොහොමද?

කලා නිර්මාණ තුළ පමණක්ම නොවේ ජීවීතයේ හැම දේකදීම මට ඔහු නැති හිඩැස දැනෙනවා. මගේ ජීවිතයේ මා සමඟම ළඟින්ම හිටියේ මගේ තාත්තා. ඒ අඩුව කවදාවත් නැති වෙන්නේ නෑ. ඒත් මගේ අම්මා අයියා අපි හරි සමීපයි. මගෙ අයියායි මමයි ළඟින් ඇසුරු කරනවා. මගෙ අම්මා නාට්‍ය හා රංගකලාව ගුරුවරියක්. ඇය බාහිර කතිකාචාර්යවරියක්. අයියත් කලාවට සම්බන්ධයි. ඒ නිසාම හොඳ අවබෝධයක් තියෙනවා. අයියා සම්මාන ගත් අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඒ අයගේ සහයෝගය මට නිරන්තරයෙන් ලැබෙනවා. තාත්තා නැති අඩුව දැනුණත් මගේ වටා ඉන්න අය සමඟ මට මේ ගමන යන්න වෙලා.

 

පෙරට වඩා අද සමාජ මාධ්‍යකරණය බොහෝ සෙයින් බලවත් වෙලා. අලුත් පරිසරයක් කලාව තුළ නිර්මාණය වෙලා. මෙය ඔබ නැවත ක්ෂේත්‍රයට එනවිට දැනුණේ කොහොමද?

ප්‍රධානම දේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම උණුසුම්. ෆේස්බුක් හරහාද යූටියුබ් හරහාද ප්‍රේක්ෂක ප්‍රතිචාරය එසැණින් ක්ෂණිකව බලාගන්න පුළුවන්. නිර්මාණයක් මිනිස්සු අතරට ගෙනියන්න ඉතාම හොඳ මෙවලමක් වෙලා. හැමදේකම වගේ මේකෙත් හොඳ වගේ ම නරකත් තියෙනවා. ඕන නම් රසවින්දනයෙන් බාල අවරගණයේ නිර්මාණයක් උණත් උඩට ගේන්න පුළුවන්.

අලුත් වැඩ කටයුතු මොනවද කියලා ඇහුවොත්?

මම අවුරුදු දහයක් රැකියාවක් කළ කෙනෙක්. රැකියාව කරන ගමන් තමයි කලා කටයුතු කළේ. නමුත් 2019 මම රැකියාවෙන් ඉවත් වෙනවා. දැනට මම බාහිර කතිකාචාර්යවරියක් විදිහට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගැන්වීම් කටයුතු කරනවා. මගේ අයියා සෑහෙන කාලයක සිය වෙළෙඳ ප්‍රචාරණ කටයුතු කරන ආයතනයක් කරගෙන යනවා. දැන් මමත් ඒකට සම්බන්ධ වෙලා අපි දෙන්නම තාත්තාගෙ නමින් ගාමා ඇඩ්වර්ටයිසින් කියලා එම ආයතනය පවත්වාගෙන යනවා.

 

පෝක් වීදීයේ නර්මාදාව දැකලා තවත් නිර්මාණවලට ආරාධනා ලැබෙන්න ඇති?

ඔව් මට තවත් නිර්මාණයකට කතා කළා. කොහොම වුණත් මගෙත් කාලය කළමණාකාරණය කර ගනිමින් වැඩ කළ යුතුයි. මගේ කැමැත්තක් නැහැ කාර්යබහුලවෙන්න නිර්මාණය කිරීම වෙනුවෙන්. මොකද මම පවුලටයි මූලිකත්වය දෙන්නේ. මගේ පෞද්ගලික කාරණාවලට බාධාවක් නොවන පරිදි ඉදිරියේදී නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබ ටෙලිනාට්‍ය වගේම වේදීකා නාට්‍ය රංගන ශිල්පිනියක්. ඔබ සමඟ වේදීකාව ගැන කතා නොකරම බෑ?

කොරෝනා කාලේ මුළු ක්ෂේත්‍රයම යම් කිසි විදියක අඩපණවීමක් වුණා. එය වේදීකාවටත් එසේමයි. වේදිකා නාට්‍යයක් පෙන්වීමට තවත් ටික කාලයක් බලාගෙන ඉන්න වෙයි. මෙය සජීවී මාධ්‍යක්නේ. යම් යම් සීමා සමඟින් අපිට වැඩ කරන්න වෙලා තියෙනවා.

සමහර දේවල් තියෙනවා අපිට ඒවා වළක්වන්න බෑ. කෙනෙක් අවදානමක් අරන් හෝල් එකකට එන්නේ නැති වුණහම ඒවට අපිට විකල්ප ක්‍රම නෑ. අගෝස්තුවල වේදිකා නාට්‍ය ෆෙස්ටිවල් එකක් කරන්න සැලසුම් කරලා තියෙනවා. මම දන්නේ නෑ මේ යන විදිහට එය පැවැත්වෙයිද කියලා. ආසාවෙන් බලාගෙන ඉන්නවා බලන්න.

 

අවුරුදු හයකට පසුව නැවත කැමරාව ඉදිරියට ආවම මොකද හිතුණේ?

මට පොඩි චකිතයකුත් ආවා පළවෙනි දර්ශනයේදී. මට නුහුරු ගතියක් දැනුණා. ටික වෙලාවකට පසුව ඒක හරි ගියා. අපි වැඩ කරන්නෙත් ප්‍රවීණ පිරිසක් එක්කනේ. ඒක නිසා ප්‍රශ්නයක් වුණේ නෑ.

 

නර්මදාට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?

හොඳ ප්‍රතිචාර තියෙනවා. යූටියුබ් ඔස්සේත් ප්‍රතිචාර දක්වා තිබුණා. මේ වන විට නාට්‍යය වටා ලොකු පිරිසක් එකතු වෙලා තියෙනවා. තාම කොටස් කීපයක් පමණයි විකාශය වෙලා තියෙන්නේ. ඉදිරියේදී තමයි විවිධ වෙනස්කම් මේ නිර්මාණය තුළින් දකින්න ලැබෙන්නේ. ආරාධනා කරනවා පෝක් වීදීයට එන්න කියලා.

 

ඔබව රූපවාහිනියේ දකිනවිට ඔබේ ආදරණීය දරුවන්ගේ ප්‍රතිචාරය කොහොමද?

ලොකු බබාට අවුරුදු හයක් නිසා එයාට තේරෙනවා දැන්. පෝක් වීදීයේ එක දර්ශනයක තිබුණා මම වාහනයක නැඟලා යන අවස්ථාවක්. ඉතින් ඔහු හිතුවා මම ඇත්තටම ‍යනවා කියලා. ඒ වෙලාවේ මම ඔහු ළඟමයි හිටියේ. ඉතින් ටක්ගාලා මගේ ඔඩොක්කුවට පැනලා අම්මි යන්න එපා කියලා කිව්වා. (ඇය සිනාසෙයි) ඒ ප්‍රතිචාර හරිම සුන්දරයි. ඔය වගේම තමයි මමත් පොඩිකාලේ මගේ තාත්තා රඟපාන්න යනවිට කළේ. මගේ දරුවන්ගෙන් ඒ දේවල් නැවත මම විඳිනවිට මම හරිම සංවේදී වෙනවා.

මොනවද ඉදිරි බලාපොරොත්තු? දිගටම රංගන කටයුතුවලට සම්බන්ධ වෙනවද?

අයියගෙයි මගෙයි ඇඩ්වර්ටයිසින් කම්පනි එක සාර්ථක කරගන්න එක තමයි අරමුණ. එය මූලීක කරගෙන මේ දිනවල වැඩ කටයුතු කරගෙන යනවා. රඟපෑම දිගටම කිරීමට හිතාගෙන ඉන්නවා. ලැබෙන හැම නිර්මාණයකටම සම්බන්ධ නොවුණත් ඉස්සර වගේම තෝරා බේරාගත් හොඳ නිර්මාණවලට සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.