මොන දේ ලැබුණත් ඉතුරු වෙන්නේ පවුල

-රෝමා රෝෂිනි
ජූලි 22, 2021

'ඉස්කෝලේ' නාට්‍යය විකාශය වන්නට පෙර රෝමා රෝෂි ජයකොඩි කියන නිළිය වැඩිය දකින්නට හිටියේ නැහැ. ඒත් ඇය කළ චරිත සියල්ලම පාහේ ජනප්‍රිය වුණා. දිගු කලක් එක දිගට රංගනයේ නොයෙදුණත් ඇය කළ චරිත කිහිපය ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වුණේ ඒවා එකිනෙකට වෙනස් නිසා. පසු කාලීනව පවුල් ජීවිතයට මුල් තැන දෙමින් එහෙත් වරින්වර පුංචි තිරයේ නිර්මාණයන්ට දායකත්වය දැක්වූ රෝමා රෝෂි වත්මනෙහි ඔබට හමුවන්නේ ඉස්කෝලේ ටෙලි සිතුවමේ නන්දනී නැමැති චරිතයෙන්. එය ටිකක් නපුරු චරිතයක් වුවත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන බව රෝමා රෝෂි මේ කතාබහට මුල පුරමින් සඳහන් කෙරුවා.

 

ඔබ ප්‍රේක්ෂකයන්ට අමතක වෙලා නැහැ වගේ?

ඇත්තම කිව්වොත් ප්‍රේක්ෂකයන්ට ටිකක් මාව අමතක වෙලා ඇති කියලා මට හිතුණා. නමුත් එහෙම වෙලා නෑ කියලා මේ චරිතෙත් එක්ක මට දැනෙනවා. මොකද කොහෙට ගියත් මිනිස්සු මගෙත් එක්ක කතාබහ කරනවා. නාට්‍යයේ විස්තර අහනවා. ඉස්සර චරිත ගැනත් මතක් කරනවා. අන්න එතකොට තමයි මට හිතෙන්නේ නමින් කෙසේ වෙතත් මුහුණෙන් මාව මිනිස්සුන්ට මතකයි කියලා.

 

ඔබ රංගනයෙන් ටිකක් ඈත් වුණේ පවුල් ජීවිතයට මුල් තැන දෙන්න?

මොන දේ ලැබුණත් අපට අන්තිමට ඉතුරු වෙන්නේ අපේ පවුල. ඒ නිසා ඒ වෙනුවෙන් මම කාලයක් කැප කළා පසුගිය ටිකේ. ඒත් රංගනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණේ නෑ. හිරු ටීවී නිර්මාණය කළ ඒකාංගික නිර්මාණවලට රංගනයෙන් දායක වුණා. දිගු කාලීනව එක දිගට රඟපෑවේ නැහැ. එහෙම දිගු නාට්‍යයක් විදියට කළේ මේ ඉස්කෝලේ නාට්‍යය තමයි.

 

දැන් බබාලා එහෙම ලොකු ඇති?

ඔව්. පුතා 4වසරට එන්නෙ. දුව පෙර පාසල්. ඒත් ඒගොල්ලන්ට මේ දවස්වල ඔන්ලයින් පාඩම් තියෙන්නේ. එයාලා ටිකක් ලොකු නිසා තමයි දිගටම රඟපාන්න ආවේ.

 

ඔවුන් කොහොමද අම්මගෙ කලා කටයුතුවලට දක්වන ප්‍රතිචාර?

එයාලා හරි ආසයි ඉස්කෝලේ නාට්‍යය බලන්න. මගෙ චරිතෙ පේනකොට මම කියනවා නන්දනී නැන්දා කියලා කියලා කියන්නේ නපුරු චරිතයක් කියන එක. අම්මා එහෙම නෑ බබාලා දන්නවා. මම හිතන්නේ ටිකක් ඒගොල්ලන්ට තේරෙනවා මේක මේ රඟපෑමක් කියන කාරණය. කොහොම වුණත් ඒ දෙන්නා කලාවට හරිම ළෙංගතුයි. ඒ වගේම මගේ කලා කටයුතුවලට පුංචි වුණත් එයාලගෙන් ලොකු සහයක් ලැබෙනවා. විශේෂයෙන්ම මම සමහර අවස්ථාවලදී හඬ කැවීම්වලට යද්දි ලොකු එක්කෙනාව එක්කගෙන යනවා. කවදාවත් කරදර කරන්නෑ. ඒ වැඩ ඔක්කොම ඉවරවෙලා එනකම් පැත්තක වාඩි වෙලා ඉන්නවා.

 

නන්දනී කියන චරිතය ගැන ටිකක් කතා කළොත්?

නන්දනී කියන්නේ ටිකක් නපුරු චරිතයක්නෙ. තමන්ගේ ඥාති පොඩි ළමයින්ට ටිකක් සැර කරනවා. මම හිතනවා ඒ හින්දාම වෙන්නැති චරිතයට මිනිස්සු බණිනවා. ඇත්තටම මේ බැණුම් අහන්න හම්බවෙන්නෙ මිනිස්සුන්ට චරිතය ෆීල් වෙන නිසානෙ. එහෙම දොස් කිව්වට කියනවා ඔයාට නෙමෙයි බණින්නෙ චරිතයට කියලා.

 

මේ චරිතයට ආරාධනා කළේ?

දෙරණෙන්ම තමයි. විශේෂයෙන්ම චරිත් කොතලාවල මහත්මයාව මතක් කරන්න ඕනේ. ඒ වගේම ඉස්කෝලේ නාට්‍ය අධ්‍යක්ෂ දිලුක ප්‍රසාද් ඇතුළු දෙරණ සියලු දෙනාම මතක් කරන්න ඕනේ.

ඔබට පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්නට වැඩි අවස්ථා හම්බුනේ නැහැ නේද?

මට බොහෝ වෙලාවන්වලදී චරිතාංග නිළියක් විදිහට කැපී පෙනෙන්න තමයි අවස්ථාව ලැබුණේ. පෙම්වතියගේ චරිතය නොකළාම නෙමේ. ඒත් විවිධාකාර හැඩතල ඇති පෙම්වතියගේ චරිත තමයි මට හම්බුවුණේ. දැන් වුණත් පෙම්වතියගේ චරිතයක් ලැබුණොත් රඟපාන්න දායක වෙනවා.

 

ඔබව වඩාත් ජනප්‍රිය කළ නිර්මාණ පෙළ මතක් කළොත්?

ගොඩක් ජනප්‍රිය වුණේ ගෞතමී නාට්‍යයෙන්. ඒවගේම බට්ටි එකේ ඩොරීන් චරිතය, වසූදා තරණි, වරාමල් කාංචනා වගේ නිර්මාණවලින් මට මිනිස්සු අතරට යන්න පුළුවන් වුණා.

 

මේ වන විට තවත් පරපුරක් රඟපාන්න ඇවිල්ලා තියෙනවා.

මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

ඇත්තටම අපි එන කාලේ ප්‍රවීණයන්ගෙන් ලොකු සහායක් ලැබුණා. මම කියන්නේ මම ප්‍රවීණයෙක් කියලා නෙවෙයි, ඒත් කාලයක් තිස්සේ රංගනයේ යෙදුණු අයෙක් හැටියට මම නම් හරිම කැමතියි තව පරපුරක් ඉස්සරහට එනවට. මොකද හැමදාම අපිට ඉන්නත් බෑනෙ. මේ ක්ෂේත්‍රය පවතින්නත් ඕනේ. ඒ නිසා අලුත් අයත් අයත් එක්ක සුහදව වැඩ කරගෙන යනවා. ඒ අය අතරින් බොහෝ දක්ෂ ඉන්නව කියලත් පේනවා. ඒ අයට සහයෝගයක් දක්වන්නත් මම පසුබට වෙන්නේ නැහැ.