සමීරට වෙන්නේ මීඩියාවල සිද්ධවන දේ තමයි

-සරත් කරුණාරත්නගේ හෙළිදරව්වක්
ජුනි 3, 2021
 
 
 
 
විවිධ චරිත ඔස්සේ තම රංගන ප්‍රාගුණ්‍ය විදහාපෑම ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මේ මුලපුරන්නට යන්නේ විවිධ විචිත්‍ර චරිත හරහා ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන අපූරු රංගන ශිල්පියෙකු සමඟ කතාබහකි. ඔහු මේ දිනවල නාළිකා දෙකක් හරහා විකාශය වන චරිත දෙකකින් ඔබ හමුවට එයි. දෙරණ නාළිකාවේ විකාශය වන ධරණි ටෙලිනාට්‍යයේ දයාල්ගේ චරිතයෙන් සහ හිරු නාළිකාවේ විකාශය වන දිවි තුරා ටෙලිනාට්‍යයේ සමීරගේ චරිතයෙන් ඔහුගේ රංගන හැකියාව ඔබ හමුවේ තබයි. වසර පහළොවකට අධික කාලයක් කලා ක්ෂේත්‍රයේ නේකවිධ චරිත සිත්තම් කරමින් ඒවාට පණ දෙන ඔහු නමින් සරත් කරුණාරත්න. සරත් ඔහුගේ කලාව ගැන අපි සමඟ නොයෙක් දෑ පැවසුවේ මෙසේය.
 
දයාල් කියලා කතා කරනවට ද කැමති? සමීර තියලා කතා කරනවද කැමති?
කැමති ඕනෑම විදිහකට කතා කරන්න. ඒ චරිත දෙකෙන් වැඩිපුර කැමති නමින් කතා කරන්න. (සිනාසෙමින්)
 
දයාල්ගේ සහ සමීරගේ චරිත ගැන කතා කළොත්?
ඇත්තටම මේ චරිත දෙක සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ චරිත දෙකක්. "ධරණි" ටෙලිනාට්‍යයේ දයාල්ගේ චරිතය දුෂ්ට චරිතයක් විදියට මම හඳුන්වන්න කැමැතියි. ටිකක් ආත්මාර්ථකාමී විදිහට හිතන පතන ප්‍රශ්න දිහා වෙනස් විදිහකට බලලා උත්තර හොයන හරි පැත්තේ නෙමෙයි වැරදි පැත්තේ හිට ගන්න චරිතයක්. "දිවි තුරා" ටෙලිනාට්‍යයේ සමීරගේ චරිතය ඊට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. මීඩියාවල වැඩ කරන ලොක්කාගෙන් බැනුම් අහගෙන ඒ බැනුම්වලින් සැලෙන්නේ නැතුව තමන්ගේ ඉලක්කයට යන්න වැඩ කරන කෙනෙක්. මේ චරිත දෙකම එකිනෙකට වෙනස්. මේ චරිත දෙකේම ජීවන අත්දැකීම් වෙනස්.  ජීවන විලාසිතා දෙකක්. 
 
මේ චරිත දෙකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ දයාල්ගේ චරිතයට තමයි. ඒ ප්‍රතිචාර විශේෂයි. දයාල් නිසා මම හැමෝගෙන්ම බැනුම් අහනවා. මුලින්ම හොඳටම බනිනවා. බැනලා ඊටපස්සේ ප්‍රේක්ෂකයෝ කියනවා "අපිට ඔයා එක්ක හරි කේන්තියි. ඒත් ඔයා ඒක හොඳට කරන නිසා තමයි අපිට කේන්ති යන්නේ" කියලා. සමීර කියන චරිතයට ගොඩක් අය ආදරෙයි. මීඩියාවල වැඩ කරන සහොදරවරු මට කියනවා ඒ අයගේ චරිත ලක්ෂණ සියල්ල සමීරගෙන් දකිනවා කියලා. ඇත්තටම මීඩියාවල ඉන්න අයට සිද්ධ වෙන සිදුවීම් තමයි සමීරටත් සිද්ධ වෙන්නේ. 
 
එකකට එකක් වෙනස් චරිත දෙකක්. කොහොමද මේ චරිත දෙකට සූදානම් වුණේ සහ අවතීර්ණය වෙන්නේ?
සාමාන්‍යයෙන් මට චරිතයක් ලැබුණාම අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා එක්ක එකතු වෙලා චරිතාපදානයක් හදාගන්නවා. චරිතයේ පොඩි කාලේ කොහොමද, කැමති අකමැති මොනවාටද, කන්න බොන්න කැමති මොනවද, පුරුදු මොනවද වගේ දේවල් හිතෙන් ගොඩනඟනවා. ඒ දේවල් එක්ක ටිකක් ජීවත් වුණාම නිරායාසයෙන් ඒ චරිත ලක්ෂණ ටික ඇඟට එනවා. ඒ චරිතවල අතීත කතාව මගේ ඔළුවේ තියෙන නිසා මට හරිම ලේසියි රඟපාන්න. දයාල්ගේ සහ සමීරගේ චරිත දෙකටත් අතීත කතාවක් මගේ ළඟ තියෙන නිසා තමයි මේ චරිත දෙක පැටලෙන්නේ නැතුව "ගේම ගහගන්න" පුළුවන් වෙලා තියෙන්නේ. 
 
 
සරත් කොහොමද රංගනයට පිවිසුණේ?
මම උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. උසස් පෙළින් පස්සේ ජාතික තරුණ සේවා සභාවේ රංග ශිල්ප ශාලිකාවේ මාස අටක ඩිප්ලෝමාව හැදෑරුවා. එතැනින් එහාට රංගනය ගැන ඉගෙන ගන්න වුණේ අපි රඟපාන චරිත හරහා, පොත්පත් කියවීමෙන් සහ නාට්‍ය වැඩමුළුවලට සහභාගීවීමෙන් තමයි. එහෙම හදාරලා රඟපාන්න පටන් අරගෙන දැන් අවුරුදු පහළොවක්. 
 
ඒ වසර පහළොව දිහා ආපසු බැලුවොත් මොකද හිතෙන්නේ? 
ලොකු සතුටක් දැනෙනවා. මම උසස් පෙළ ඉවර වෙනවාත් එක්කම තීරණය කළා අනිවාර්යයෙන්ම රංගන ශිල්පියෙක් වෙනවා කියලා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වුණා. ගොඩක් කැපකිරීම් කරන්න සිද්ධ වුණා. ගෙවල්වලින් ගොඩක් බැනුම් ඇහුවා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා දැනෙනකොට මට ලොකු සතුටක් තියෙනවා. මොකද මම ජීවිතේ කිසිම රස්සාවක් කරල නැහැ. මගේ රස්සාව වුණේ මගේ විනෝදාංශය. මගේ විනෝදාංශය වුණේ රඟපාන එක. විනෝදාංශයයි රස්සාවයි එකක් වෙන්නේ කලාතුරකින්. අනිත් පැත්තෙන් පොඩි පොඩි කනස්සලු ස්වභාවයන් තියෙනවා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි රටේ ප්‍රශ්නයක්. වෙන රටවල්වලට සාපේක්ෂව අපේ රටේ කලාවට ලොකු ඉඩක් නැහැ. අපි අවුරුද්දට රඟපාන නාට්‍ය ප්‍රමාණය ඉන්දියාවේ නළුවෙක් රඟපෑවා නම් ඔහු ප්‍රකෝටිපතියෙක් වෙනවා. ඒ තරමට අපි වැඩ කරනවා. නමුත් ඒ වැඩවලට අපිට ලැබෙන මූල්‍යමය වටිනාකම හරි අඩුයි. ලංකාවේ මතය අනුව මේ රස්සාවට කිසිම පැවැත්මක් නැහැ. කලාව කරන කාටද හරි ගියේ? කියලා හැමෝම නිතරම අහනවා. මෙන්න මේ කාරණාව නිසා පොඩි කනස්සල්ලක් තියෙනවා. ඒ ඇරුණුකොට මගේ පැත්තෙන් මට ඕනේ දේ ළඟා කරගත්තා කියලා මම විශ්වාස කරනවා. 
 
චරිතාංග රංගන ශිල්පියෙකු වීමේ වටිනාකම ගැන අපි කතා කරමු?
චරිතාංග නළුවෙක් වීමේ වටිනාකම තමයි මැරෙනකම් රඟපාන්න පුළුවන් වෙන එක. 
නළුවෝ වෙන බොහෝ දෙනා උත්සාහ කරන්නේ ප්‍රධාන චරිතවල රඟපාන්න. පෙම්වතාගේ චරිතය කරන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. එතැනින් එහාට අපිට ඒ චරිතය කරන්න බැහැ. ඒ චරිතයට විතරක් කොටු වුණොත් යම්කිසි වයස් සීමාවකින් පසුව අපිට රංගනය අත්හරින්න වෙනවා. චරිතාංග නළුවෙක් වුණොත් තමන්ගේ ජීවිත පරිචය තුළ ලබන අත්දැකීම් එක්ක ඉගෙනගනිමින් නළුවෙක් වයසට යනවා. ඔහුට දීර්ඝ කාලයක් වැඩ කරන්න පුළුවන්. ඒ ආත්මතෘප්තිය මම විශ්වාස කරන විදිහට කොහෙන්වත් ලබන්න බැහැ. විවිධාකාර චරිත කරලා ඒ චරිතය කිරීමේ හැකියාව තමන් තුළ තියෙනවා කියලා අනිත් අය විශ්වාස කරන එක සහ ඒ විශ්වාසයෙන් චරිත ලබා දෙන එක ලොකු භාග්‍යයක්. ඒක ගොඩක් මහන්සියෙන් අත්පත් කරගන්න ඕන දෙයක්.
 
කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළුවෝ සහ චරිතාංග නළුවෝ කියලා දෙපිරිසක් බෙදිලා ඉන්නවා?
මමත් ප්‍රධාන චරිත කරල තියෙනවා. පෙම්වතාගේ චරිතයත් කරලා තියෙනවා. සහාය චරිතත් කරලා තියෙනවා. ජනප්‍රියත්වය කියන එක මනින සාධක අවමයි. සම්මානවලින් ජනප්‍රිය නළුවා හෝ නිළිය මනින එක මම විශ්වාස කරන්නේ නැහැ. සමහර අවුරුදුවල ජනප්‍රිය නළුවා සම්මානය ගත්ත එක්කෙනා මෙයා කිව්වාම අපිත්  "ඒ කවුද?" කියලා අහනවා. ක්ෂේත්‍රයේ ඉන්න අපිත් නොදන්නා නළුවෝ කොහොමද ජනප්‍රිය වෙන්නේ  කියන එක වෙනම කතාවක්. එහෙම ලබන ජනප්‍රියත්වය ගැන මට විශ්වාසයකුත් නැහැ. ඒ ජනප්‍රියත්වයෙන් මට වැඩකුත්. මට ඇත්තටම ජනප්‍රිය වීමේ ආසාවක් නැහැ. මම කැමති විවිධ චරිත එක්ක චරිතාංග නළුවෙක් විදිහට පවතින්න. ඒ චරිත ප්‍රේක්ෂකයන් මාව වැලඳගන්නවාට මම කැමතියි. ජනප්‍රියත්වයට වඩා දක්ෂතාවයට මට ප්‍රේක්ෂකයෝ ආදරේ කරනවා නම් මම කැමතියි. 
 
මෙතෙක් රඟපාන්න නොලැබුණු රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?
මම ගොඩක් කැමති ප්‍රතිවීර චරිතවලට. මම අඩුවෙන්ම කරලා තියෙන්නේ ප්‍රතිවීර චරිත. මට ගොඩක් ලැබෙන්නේ කාරුණික, අංහිංසක, හිත හොඳ, කොමඩි චරිත. දුෂ්ට චරිත කරන්න ලැබිලා තියෙන්නෙ අතළොස්සයි. ඒ නිසා මම දුෂ්ට චරිත කරන්න ආසයි. ඒකත් නිතර දකින කෑගහන දුෂ්ටයාට වඩා වෙනත් ගැඹුරක් තියෙන චරිතයක් කරන්න කැමතියි. 
 
මේ මොහොතේ වඩා සක්‍රීය ටෙලිනාට්‍ය     ක්ෂේත්‍රය. සිනමාව සහ වේදිකාව කොවිඩ් වසංගතය නිසා අතරමඟ නතරවෙලා. මේ අතර සමාජ මාධ්‍යවලිනුත් නළු නිළියන් බිහිවෙමින් පවතිනවා?
 
සාමාන්‍යයෙන් ලෝකේ ඉස්සරහට යනකොට දේවල් වෙනස් වෙනවා. දියුණු වෙනවා. දියුණු වෙනකොට හැමදේම වෙන වෙනම අලුත් වෙනවා. මීඩියාත් එහෙමයි. මේ වෙනකොට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය සමාජ මාධ්‍ය අතික්‍රමණය කරමින් පවතිනවා. ලංකාවත් ටික ටික අනුගත වෙමින් පවතිනවා. මම තවම ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නේ. අපි ඒක අත්හැරලා දාලා තේරුමක් නැහැ කියලා හිටියොත් අපිට පසුගාමී වෙන්න වෙන්නේ. ලෝකේ වෙනස් වෙනවා නම් ඒ වෙනස් වන ලෝකෙත් එක එක්ක වෙනස් වෙන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වෙන්නේ නැති අය වඳ වෙලා යනවා. හරියට නිව්මීඩියා භාවිත කරනවා නම් ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. 
 
කොරෝනා වසංගතයත් එක්ක කලා ක්ෂේත්‍රය කොයිවිදිහට වෙනස් වෙයිද?
මේ වෙනකොට තියන තත්ත්වය එක්ක ඔය ප්‍රශ්නෙට උත්තරේ මට හිතාගන්නවත් බැහැ. කලාවට විතරක් නෙමෙයි මුළු ලෝකේම ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලනය, ආගම මේ හැමදේම අස්ථාවර වෙලා තියෙන්නේ. හෙට දවසේ මොන වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයිද  කියලා හිතාගන්නවත් බැරි විදිහට අස්ථාවර වෙලා. ඒ නිසා මට කලා ක්ෂේත්‍රයේ ඉදිරිය ගැන අනුමාන කරන්නවත් බැහැ. 
 
 
ඔබේ පවුලේ විස්තර කිව්වොත්?
මම පදියතලාවේ කෙහෙල්උල්ල කියන ගමේ. මගේ තාත්තා ගොවිතැන් කරන්නේ. අපේ පවුලේ පිරිමි හයක් ඉන්නේ. හයෙන් හතරවෙනියා මම. මම විවාහකයි. මගේ බිරිඳ උවනි චාමිකා ගුණසේකර. එයා ගුරුවරියක් වගේම ලේඛිකාවක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතා මෙත්සර කරුණාරත්න. එයාට අවුරුදු හයයි. දුව සාරා කරුණාරත්න එයාට අවුරුදු හතරයි. 
 
ඉදිරි වැඩ කටයුතු මොනවාද?
ලොකු බලාපොරොත්තු නැති සංක්‍රාන්ති කාලයක් මේ ගෙවෙන්නේ. දැනට මම ධරණි , දිවි තුරා ටෙලිනාට්‍යවල වැඩ කරනවා. ඊට අමතරව මේ දවස්වල. සුදන්ත තිලකසිරිගේ "ටීච අම්මා" කියල ලස්සන ටෙලිනාට්‍යයක් රූගත කරනවා. බාගෙට රූගත කිරීම් කරලා අතරමඟ නැවතුණ ටෙලිනාට්‍ය කීපයක් තියෙනවා. ඒවායේත් ඉතිරි වැඩ කරලා ඉදිරියේදී විකාශය කරයි. 
 
රඟපාන්න උණක් තියෙන විවිධ චරිත හරහා ක්ෂේත්‍රයට එන්න හීන දකින තරුණ පරපුරට කියන්න යමක් ඇති?
මගෙනුත් ගොඩක් අය අහනවා රඟපාන්න කැමතියි වැඩ හොයලා දෙන්න පුළුවන්ද කියලා. මම හැමෝටම කියන්නේ මේ           ක්ෂේත්‍රයට ඉගෙනගෙන එන්න. ඇවිත් වැඩකරමිනුත් ඉගෙනගන්න. ඕනෑම විෂයක් අධ්‍යයනයෙන් තොරව නියැළෙනවා නම් ඒක අතිශය භයානකයි. ඒ භයානකකම එන්නේ තමන්ට විතරක් නෙමෙයි මුළු ක්ෂේත්‍රයටම. ඒ නිසා තමන් සම්බන්ධයෙන් අධිතක්සේරුවක් තියාගන්නේ නැතුව විෂය හරියට ඉගෙනගෙන එන්න. මේක ඇතුළේ වැඩේ දන්න අයට ඕනේ තරම් ඉඩ තියෙනවා.