මාස්ක් දැම්මත් මාව හඳුනගත්තනේ

සිහින ගෙනෙන කුමාරියේ ගෙනෙන සිඟිති සුරතලිය
මැයි 27, 2021

 

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි සිතුවමේ දර්ශන තලයේ සිටින ලාබාලම තැනැත්තිය මේ පුංචි රංගන ශිල්පිනියයි. මේ හේතුව නිසාම ඇය කාගේත් ආදරය විඳීමින් සිත සතුටින් රංගන කාර්යයේ නියැළෙන්නීය. ඇගේ රුව දුටු සැනින් ඔබට මතක් වන්නේ සිහින ගෙනෙන කුමාරියෙ හැඩ කරන දුවා දරුවන් පිරිස අතරේ සිටින බාලයාය. ඒ චරිතයේ නම සංසුවී වේ.. මේ චරිතයට පණ පොවන පුංචි තාරකාව ශෙඕලි නෙතුල්‍යා ජයරත්නයි.. අපි කටවහරේට කියන පරිදි දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති මේ ආදරණීය දියණිය මේ වන විට රටක් වසඟයට ගෙන හමාරය.. ඉතින් ඇගේ තොරතුරු සොයා බලා කෙරුණු පුවත්පත් සාකච්ඡාවකි මේ. කතා කරමින් යන අතරතුර දී ශෙඕලී වරින් වර උදව් ගත්තේ ඇගේ ආදරණීය මවවූ ආත්මා ප්‍රියදර්ශනීගෙනි. ආත්මාද කලාවට සම්බන්ධව සිටින අතර හඬකැවීම් ශිල්පිනියක් ලෙස ඇය කටයුතු කරගෙන යනු ලබයි.

 

ඉතිං ශෙඕලි දුව කොහොමද?

මේ දවස්වල නම් ෂූටිං නෑ. ඒක නිසා ගෙදරට වෙලා ඉන්නවා.

 

කොහොමද දුවට සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව හම්බුනේ?

ඒකට කතා කළේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන නිවන්ත ප්‍රසාර මාමා. නාට්‍යයට කට්ටිය ගන්නවා කියලා දැනගත්තු වෙලාවෙ මගේ අම්මා මම රඟපාපු කමර්ෂල් එකක් සහ මියුසික් වීඩියෝ එකක් මාමට පෙන්නලා තිබුණා. ඒව බලල තමයි මට මේ චරිතයට ලැබුණේ.

 

දුවට රඟපාන්න එන්න හිතුණේ ඇයි?

මම හරිම ආසයි රඟපාන්න. ගෙදරදි සෙල්ලමක් කළත් ඒක කරන්නේ හරියට ටීවී ප්‍රෝග්‍රෑම් එකක්, නාට්‍යක් කරනවා වගේ රඟපපා. ඉතින් මේක දැකපු අපේ අම්මා තමයි මාව රංගන කටයුතු වලට යොමු කළේ. අම්මා දන්න හුඟක් මාමල නැන්දලට මං ගැන කියලා තිබුණා.

 

දැන් මේ චරිතය නිසා දුව ගොඩක් අය අඳුරනවා ඇති නේද?

ඔව් ඔව්. ගොඩක් අය මාව දන්නවා. පසුගිය කාලයේ අනුරාධපුරයේ ගිය වෙලාවක මූණේ මාස්ක් දාගෙන හිටියත් කටහඬින් සමහර අය මාව අඳුරගෙන ළගටම ඇවිල්ලා කතා කරනවා. මට හුඟාක් සතුටුයි. මේ නාට්‍යය ගොඩක් කට්ටිය බලනවා කියලා මට තේරෙනවා.

 

ශෙඕලි දුව කවදහරි ලොකු වුණාමත් නිළියක් වන්නද හිතාගෙන ඉන්නේ?

රඟපෑමට හරිම ආසයි. ඒත් මම ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඩොක්ටර් කෙනෙක් වුණත් රඟපාන එක නම් කරනවා.

 

දැන් දුවට වයස කීයද?

මට අවුරුදු හයයි. මේ අවුරුද්දේ ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඒත් මේ කොරෝනා නිසා ඉස්කෝල වහලනෙ.

 

ඉස්කෝලේ මොකක්ද?

J.M.C. ජාත්‍යන්තර පාසල පාසල කෑගල්ල.

 

දුවගේ ගමත් කෑගල්ලද?

ඔව්.

 

සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයට අමතරව තව මොන නිර්මාණ වලද දුව රඟපාල තියෙන්නෙ?

මිහිර සිරිතිලක මාමගෙ මියුසික් වීඩියෝ එකක රගපෑවා. ඒ මාමා තව අවස්ථාවනුත් ලබා දුන්නා. තව ටෙලි නාට්‍යයකට කතා කළා ඒත් අම්මලා යැවුවෙ නෑ. ඉගෙන ගන්න කටයුතු වලට කරදර වෙයි කියලා.

 

සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් එහෙම මොනවද තියෙන්නෙ?

එක පාරක් වතුරට බැහැලා ෂූට් කරන දර්ශනයක් තිබුණා. ගොඩක් වෙලාවක් වතුරට බැහැලා ෂූටිං කළා. එදා එදා වෙවුල වෙවුල තමයි හිටියෙ.

 

දුවගේ අම්මා ගැන කලින් සදහනක් කළා, දුවගේ පවුලෙ අනෙක් පිරිස ගැන කියන්න?

මගේ තාත්තා සමන්ත ජයරත්න. මට අයියා කෙනෙක් ඉන්නවා. අයියාගේ වයස අවුරුදු දොළහයි. අයියගෙ නම ගගන පන්සිලු.

ශෙඕලි දුවගේ කතාවට ඇගේ මව ආත්මා මෙලෙස ඌණ පූර්ණයක් එකතු කළා.

මේ වෙලාවේ මම මතක් කරනවා හිරු ටීවී ආයතනය. ඒ වගේම සිහින ගෙන ගෙන කුමාරියෙ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර, සහාය අධ්‍යක්ෂ ප්‍රසන්න ඉත්තෑපාන ඇතුළු සියලු දෙනාම. මේ ඒවගේම නළු නිළියො ඔක්කොමල දුවට හරිම ආදරෙයි. මීට පෙර මගේ දුවට අවස්ථාව ලබා දුන් සියලු නිර්මාණකරුවන්ට, ප්‍රදීප් මහේෂ් ලියනගේ මහත්මයාටත් ස්තුති වන්ත වෙනවා.