මට සර් කියපු ළමයිනුත් දැන් මාස්ටර් කියලා කතා කරන්නේ

-ප්‍රසන්නජිත් අබේසූරිය-
මැයි 20, 2021

 

ප්‍රසන්නජිත් අබේසූරිය කියන්නේ ටෙලි සිනමා ක්ෂේත්‍රයට නැතුවම බැරි නමක්. දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙකු සේම නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශ්විද්‍යාල ආචාර්යවරයකු වන ඔහු කලා ක්ෂේත්‍රයට එන නවකයින්ට ගුරුහරුකම් දෙමින් කරන සේවය අතිමහත්. මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝහී මාස්ටර්ගේ චරිතයෙන් සහ සකූගේ ලෝකය ටෙලිනිර්මාණයෙහි රංජි මාමාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන ප්‍රසන්නජිත් අබේසූරිය අප සමඟ වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ දෑ සාකච්ඡා කළා.

 

 

මාස්ටර්ගේ චරිතය ප්‍රේක්ෂකයෝ බොහොම ආදරයෙන් වැළඳගෙන.

ඔව්. මේ දවස්වල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය තමයි වැඩිම පිරිසක් නරඹන්නේ. ඒ වගේම සකූගේ කතාවේ දෙවෙනි කොටස "සකුගේ ලෝකය" දැන් සිරස නාළිකාවේ විකාශය වෙනවා. එකේ රංජි මාමාගේ චරිතයත් දැන් ජනප්‍රියයි.

 

මේ අතරින් නාඩගම්කාරයෝ විශේෂයි?

ඔව්. දැන් ලංකාවේ වැඩිම ජනප්‍රියත්වයක් උසුලන ටෙලිනාට්‍ය ඒක. ඒ වගේම යූටියුබ් එකේ ට්‍රෙන්ඩින්ග් වෙන ටෙලිනාට්‍යයත් නාඩගම්කාරයෝ.

 

මේ නාඩගම්කාරයන්ගෙන් ඇත්තම නාඩගම්කාරයෙක් ඔබ?

මම ඇත්තම නාට්‍යකරුවෙක් තමයි. නාඩගම් ශෛලියේ නිෂ්පාදනය කරපු නාට්‍යවලත් මම රඟපාලා තියෙනවා. සරච්චන්ද්‍ර මහත්තයා නාඩගම් ශෛලිය නිෂ්පාදනය කරපු මනමේ, සිංහබාහු, ලෝමහංස වගේ නාට්‍යවලත් මම රඟපෑවා. ඒ අත්දැකීම් මේ ටෙලිනාට්‍යයට පිටුවහලක් වුණා.

 

නාඩගම්කාරයෝහී "මාස්ටර්"ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතා විශිෂ්ටයි. කාලයකින් හොඳ චරිතයක් දකිනවා කියලා හැමෝම කියනවා. පහුගිය කාලේ මම ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණේ හරි අඩුවෙන්. විශ්වවිද්‍යාලයට සහ වේදිකාවට මම වැඩි ඉඩක් දෙන නිසා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. මේ දවස්වල වේදිකා නාට්‍යයත් නැති නිසා මට අඩුපාඩුව දැනෙන්නෙත් නැහැ. මොකද මේකෙ රඟපානකොට ටෙලිනාට්‍යයකත් රඟපාලා වේදිකා නාට්‍යයකත් රඟපෑව වගේ තමයි. ඒ චරිතයට මම බොහොම කැමතියි. ඒක මට ගැලපෙන සහ මට යමක් කරන්න තියෙන චරිතයක්. මාස්ටර්ගේ ඇතැම් ගති ලක්ෂණ මගේ පෞද්ගලික ජීවිතයටත් සමානයි. මාව දන්න කියන ක්ෂේත්‍රයේ අය වගේම ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කැම්පස් එකෙත් මට සර් කියපු ළමයිනුත් මට මාස්ටර් කියලා කතා කරන මට්ටමට ඇවිල්ලා.

 

මේ දිනවල සම්බන්ධ වෙන අනෙකුත් කලා කටයුතු මොනවාද?

පසුගිය මාසයේ රෝහණ සමරදිවාකර මහත්මයා කළා කොටස් විස්සක ටෙලිනාට්‍යයක් "අක්කර ගල" කියලා. ඒකේ මම ප්‍රධාන චරිතය කළා. ඒක ඉදිරියේදී විකාශය වෙයි. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ "හදවිල අරණ" ටෙලිනාට්‍යයේ මම රඟපෑවා. ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. මම තෝරාබේරාගෙන සම්බන්ධ වෙන්නේ.

 

චරිත තෝරාගැනීමේදී ඔබ බලන විශේෂතා මොනවාද?

මම ප්‍රධාන වශයෙන් බලන්නේ සමස්ත නිර්මාණයෙන්ම සමාජයට යහපතක් ද අයහපතක් ද වෙන්නේ කියලා. මගේ චරිතය ඇතුළේ මට කරන්න දෙයක් තියෙනවාද කියලා මම බලනවා. ඉතා කුඩා චරිතයක වුණත් මට හොඳට රඟපාන්න තියෙනවා නම මම ඒ චරිතය භාරගන්නවා. පසුගිය කාලේ විකාශය වුණු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සකර්ම ටෙලිනාට්‍යයේත් පොඩි දර්ශන දෙකක චරිතයක් මම කළා. නමුත් ඒ දර්ශන දෙකේ මට හොඳට රඟපාන්න පුළුවන්. මගේ චරිතය දෙවෙනි කොටසෙන්ම ඉවරයි. ඒත් හොඳ නිර්මාණයකට දායක වුණු තෘප්තිමත්බව මට තියෙනවා. ඒ වගේම දුෂ්ට ද අහිංසක ද හොඳද කියලා මම චරිත තෝරගන්නේ නැහැ. යමක් කරන්න තියෙනවා නම් ඕනෑම චරිතයක් මම භාර ගන්නවා. මේ ලෝකේ හොඳ නරක මිනිස්සු කියලා කොටස් දෙකක් නැහැ. මේ දෙකම සම්මිශ්‍රණය වෙච්ච මිනිස්සු ටිකක් මේ ලෝකෙ ඉන්නේ.

 

චරිතාංග රංගන ශිල්පියෝ ක්ෂේත්‍රයේ දුලබ බවයි විචාරක මතය?

එහෙම කියන්නත් අමාරුයි. අපිට පෙර පරම්පරාවල්වල චරිතාංග රංගන ශිල්පියෝ හිටියා. අපිත් කරගෙන ආවා. දැන් අලුත් පරම්පරාවෙන් ඒ වගේ දක්ෂ තරුණ ළමයි ඉන්නවා. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේත් දක්ෂ රංගන ශිල්පියෝ ඉන්නවා. පූජන දන්දෙණිය, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, දසුන් පතිරණ, කෝකිල පවන් වගේ චරිතාංග රංගන ශිල්පියෝ ඉන්නවා. ඒ වගේම වේදිකාවේත් ඉතාම දක්ෂ රංගන ශිල්පීන් ඉන්නවා. ජගත් මනුවර්ණලාගේ පරම්පරාවේ රංගන ශිල්පියෝ ඉන්නවා. ගැටලුව තියෙන්නේ ඔවුන්ගේ දක්ෂතා පෙන්නන්න තරම් හොඳ නිර්මාණ බිහි වෙන්නේ නැති එක. කෙනෙක් යම්කිසි චරිතයක් රඟපෑ මම ඒ චරිතය දිහා බලලා ඊළඟට නිෂ්පාදනය වන නිර්මාණවලත් එවැනි චරිතවලට තමයි ඔහුට ආරාධනා ලැබෙන්නේ. චරිත වර්ග කිරීමක් ක්ෂේත්‍රයේ තියෙනවා. ගැමි චරිත, මුඛරි චරිත, ප්‍රතිවීර චරිත මේ වගේ චරිත සාර්ථකව කරපු අයට ඊළඟ වැඩේටත් නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු කතා කරන්නේ එවැනි චරිතවලටමයි. විවිධ වර්ගයේ චරිතවලට නළු නිළියන් බය නැතුව යොදවලා ඔවුන්ගේ දක්ෂතා උරගා බලන්න සමහර අධ්‍යක්ෂවරුන්ගේ මැලිකමක් දකින්න තියෙනවා. විශේෂයෙන් ටෙලිනාට්‍ය කරන්නේම කලබලේනේ. දීර්ඝ කලයක් පුහුණු කරලා රංගන ශිල්පීන් නිර්මාණය කරන්නේ නැහැ. නළුවන් පුහුණු කරන්න කාලය යොදනවාට වඩා ලේසියි ඒ චරිතය කරන්න පුළුවන් නළුවෙක් ගන්න එක. මේ දිනවල විකාශයවන ටෙලිනාට්‍යවල දක්ෂ රංගන ශිල්පීන් රඟපානවා. ඒ වගේම වේදිකාවෙත් හොඳ රංගන ශිල්පීන් ඉන්නවා. වසර ගණන් හොඳම නළුවා නිළිය සම්මාන ගත්ත ළමයි ඉන්නවා. නමුත් ඔවුන්ව ක්ෂේත්‍රයේ අය දන්නේ නැහැ. දන්නවා වුණත් විකුණගන්න බැරි ජනප්‍රිය මුහුණු නැති නිසා ඒ අයව සම්බන්ධ කරගන්නේ නැහැ. චරිතයකට අවශ්‍ය දක්ෂතා තියෙන අයට වඩා ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වෙන මුහුණු සම්බන්ධ කරගැනීමක් වෙනවා. දක්ෂ අයව ක්ෂේත්‍රයට මඟහැරිලා තියෙනවා මිසක් දක්ෂයෝ නැතිකම නෙමෙයි.

 

ජනප්‍රිය මුහුණු දක්ෂ නැහැ. දක්ෂයොන්ට ජනප්‍රිය මුහුණු නැති ගැටලුවක් තියෙනවා.

ඔව් එහෙම එකකුත් තියෙනවා. ඒවා රූපවාහිනී නාළිකාවලින් හදාගත්ත එක එක විකාර. උදාහරණයක් විදිහට තණමල්කොල්ලෙක් ටෙලිනාට්‍ය ගත්තොත් එහි රඟපාපු යශෝධා, ධනුක ඇතුළු තවත් රංගන ශිල්පීන් දෙතුන් දෙනෙක් හැරුණුකොට අනෙක් සියලුදෙනා ඒ තරම් ජනප්‍රිය චරිත නෙමෙයි. නමුත් ඒ නාට්‍යය ඉතා ජනප්‍රිය වුණා සහ මිනිස්සු ආදරෙන් වැළඳ ගත්තා. කූඹියෝ ටෙලිනාට්‍යයෙත් රංගන ශිල්පීන් ඒ තරම් ජනප්‍රිය අය නෙවෙයි. නළු නිළිය මත යැපෙන්නේ ඕනැ නැහැ. වැඩේ හොඳ නම් මිනිස්සු ඒ නිර්මාණය බලනවා.

රංගන ක්ෂේත්‍රයේ ඉදිරිය ගැන මොකද හිතෙන්නේ?

මම කලින් කිව්වා වගේම ඉතාම දක්ෂ., හොඳ හැදෑරීමක් සහිත රංගන ශිල්පීන් ඉන්නවා. අපේ පරම්පරාවට වඩා දැන් තරුණ පරම්පරාව ලෝකයට ගොඩක් විවර වෙලා. ලෝකේ දේවල් දකිනවා. අපිට ලෝකේ දේවල් දකින්න තරම් පහසුකම් තිබුණේ නැහැ. දැන් ළමයින්ට අතේ තියෙන ෆෝන් එකෙන් ලෝකෙම තියෙන දේවල් බලන්න පුළුවන්. ඔවුන්ගේ නිර්මාණ ශක්තිය ඒවායින් වර්ධනය කරගන්න පුළුවන්. දැන් ළමයි හොඳ චිත්‍රපටි බලනවා, වේදිකා නාට්‍ය බලනවා. විවිධ ප්‍රාසාංගික කලාවන් බලනවා. හදාරනවා. දැනුමෙන් පරිපූර්ණ දක්ෂතා තියෙන ඉතා විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතා ඉස්මතු වන විදිහේ නිර්මාණ බිහි නොවීම අඩුපාඩුවක් මම දකිනවා.

 

එතකොට අඩුව තියෙන්නේ නිර්මාණවලද?

දැන් චිත්‍රපට හැදෙන්නේ හරිම අඩු ප්‍රමාණයක්. ඒ හැදුණු චිත්‍රපටි පෙන්න ගන්න බැරුව පෝලිමේ තියෙනවා. ටෙලිනාට්‍ය විතරයි ටිකක්හරි හැදෙන්නේ. ඒකත් කොරෝනා වසංගතය එක්ක මිනිස්සු ටෙලිවිෂන් එකත් එක්ක තියෙන ගනුදෙනුව වැඩි කරගත්ත නිසා.

 

මේක වේදිකාවේත් බරපතල කඩාවැටීමක් සහිත වකවානුවක්.

වේදිකා නාට්‍ය නිර්මාණය වෙනවා. ඒවා සම්මාන ලබනවා. නමුත් ඒ නාට්‍ය පැවැත්මක් නැහැ. ශෝ තියෙන්නේ නැහැ. විචාර ලියවෙන්නේ නැහැ. ඉස්සර හොඳ නාට්‍යයක් පෙන්නුවාම මංගල දර්ශනයට විචාරකයෝ ඇවිල්ලා ඒවා ගැන සතිඅන්ත පත්තරවල විචාර යනවා. ඒ විචාර කියවලා ප්‍රාදේශීය සංවිධායකවරු විචාර ඔස්සේ හොඳ වේදිකා නාට්‍ය ගමට ගෙන්වනවා. අසූව දශකයේ නාට්‍ය පෙන්නුවෙ එහෙම. ඉස්සර අපි නාට්‍යයක් කළාම අඩුම ගානෙ දර්ශන වාර පනහක්වත් වෙන්වනවා. දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් නැති වෙලා. දැන් විචාර කලාවක් ඇත්තෙම නැහැ. නාට්‍ය උලෙළක් පවත්වනවා. සම්මාන දෙනවා. ඒ ගැන කවුරුත් දන්නේ නැහැ. දැන් වේදිකා නාට්‍ය උලෙළවල් කියන්නේ කලාකරුවන් අතරේම වන ගනුදෙනුවක්. අපි අපිම රඟපානවා. අපිම අනිත් අයගේ බලනවා. ටවර්හෝල් රඟහලේ නාට්‍ය උලෙළක් පවත්වනකොට ඒක එහා පැත්තේ ඉන්න මනුස්සයාවත් දන්නේ නැහැ එකේ පෙන්නන්නේ මොකක්ද කියලා. ඒවා පවත්වන්න ඕනේකමට පවත්වන්නේ. ඒ නිසා මිනිස්සුන්ගේ වේදිකාව ඈත්වෙලා. වේදිකා නාට්‍ය කියන්නේ නාට්‍යකරුවන් කීපදෙනෙක්ගේ වුවමනාවට ඇදගෙන යන වැඩක් වෙලා. ඒ නිසා තමයි දක්ෂයන්ගේ නිර්මාණ ඉස්මතු වෙන්නේ නැත්තේ. සරච්චන්ද්‍ර, නවගත්තේගම, සුගතපාල වගේ විශිෂ්ට නාට්‍යකරුවන්ගේ නිර්මාණ ඉතිහාසගත වුණේ ප්‍රේක්ෂකයන් ඒවා ආදරෙන් වැළඳගත්ත නිසා. ඒත් වර්තමානයේ හොඳම නිෂ්පාදනයට සම්මාන ගත්ත වේදිකා නාට්‍යවත් දර්ශන වාර දහයක්වත් පෙන්වනවා ඇති කියලා මම හිතන්නේ නැහැ.

 

එයට පාසල් අධ්‍යාපනයත් හේතුවක්?

අනිවාර්යයෙන්ම. පාසල් ළමයින්ට රසවින්දනයට විෂය නිර්දේශවලට ඇතුළත් කරපු වේදිකා නාට්‍ය ටිකවත් අඩුම ගානේ ළමයින්ට බලන්න සලස්වන්නේ නැහැ. එහෙම සැලැස්වුවත් ඒකට හරිහමන් පහසුකම් දෙන්නේ නැහැ. විශාල ළමයි ප්‍රමාණයක් දාගෙන නාට්‍ය පෙන්වන්න සුදුසු නැති පාසල් රඟහලවල්වල අපි නාට්‍ය පෙන්වනවා. එයින් සැබෑ නාට්‍ය රසයක් ළමයින් ලබනවාද කියන එක ගැටලුවක්. ඔවුන් සැබෑ නාට්‍ය රසිකයන්ද කියලත් ගැටලුවක්. ඒ අය එන්නේ සිලබස් එකට ඒ නාට්‍ය තියෙන නිසා. අපේ ළමයින්ට පාසල් විෂය ධාරාවෙන්ම රසවින්දනය කියන එක පුදුම විදිහට ඈත් කරවලා.

 

තිරය දැන් එන්න එන්න පුංචි වෙලා නේද?

දැන් චිත්‍රපට විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය පවා බලන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන්නේ. කාර්යබහුලත්වය සහ පහසුව ඒකට එක හේතුවක්. අනිත් හේතුව ටෙලිවිෂනයෙන් තමන්ට අවශ්‍ය දෙයට වඩා ප්‍රේක්ෂකයන්ට වෙළඳ දැන්වීම් බලන්න වෙලා තියෙන්නේ. ඒ නිසා යූටියුබ් එකෙන් ටෙලිනාට්‍ය බලනවා. වෙළඳ දැන්වීම් වසංගතය යූටියුබ් එකටත් ඇවිල්ලා. හැමදෙයක්ම වානිජකරණය වීමත් එක්ක කලා රසඥතාවය පහළට ගිහින් තියෙන්නේ.

 

ක්ෂේත්‍රයේ නිර්මාණවලත් වානිජ සහ කලාත්මක කියලා බෙදීමක් තියෙනවා.

ඒ දෙකම තියෙන්න ඕන. ලෝක ඉතිහාසය පුරාම මිනිස්සුන්ගේ දුක පීඩාව ගැන කතා කරන සම්භාව්‍ය නිර්මාණ බිහිවෙනවා වගේම එදිනෙදා විනෝදාස්වාදය සහ රසවින්දනය සඳහා නිර්මාණ හැදුණා. ඒකෙ මට්ටමක් තියෙනවා. සර්වකාලීන ගුණයෙන් යුක්ත සර්වභෞමික ගුණයෙන් යුක්ත ජීවිත පුළුල් ලෙස විවරණය වෙන සදාතනික සත්‍යතාවයෙන් යුක්ත නිර්මාණ ලෝකේ හැදෙනවා. ලෝකේ නාට්‍ය ඉතිහාසයේ සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය කලාවේ සිද්ධාන්ත නාට්‍ය තුනක් පෙන්නුවාට පස්සේ විනෝදාස්වාදය සඳහා නාට්‍යයක් දර්ශනය කළා. ලංකාවේ සිනමාව ගත්තත් සම්භාව්‍ය සිනමාව වගේම ජනප්‍රිය සිනමාවක් තිබුණා. ඒ නිසා තමයි හැත්තෑව, අසූව දශකයේ සිනමා කර්මාන්තයක් ලෙස රැකිලා තිබුණේ. ගාමිණී ෆොන්සේකලා, මාලිනී ෆොන්සේකලා, ජෝ අබේවික්‍රමලා ජනප්‍රිය චිත්‍රපටවල වගේම සම්භාව්‍ය චිත්‍රපටවලත් රඟපෑවා. ටෙලිනාට්‍යවලත් ජීවිතයේ දොම්නස් පැතිකඩ විවරණය කරන නිර්මාණ වගේම සාමාන්‍ය රසාස්වාදය සඳහාත් නිර්මාණ හැදෙන්න ඕනේ. ඒවායේ එක මට්ටමක් තියෙන්නෙ ඕනේ. එතනින් පල්ලෙහාට වැටුණම වෙන්නේ අතිශය බාල බොළඳ, සීනිබෝල, තුට්ටු දෙකට වැටෙන නිර්මාණ හැදෙන එක.

 

ඔබට විශාල ශිෂ්‍ය පරම්පරාවක් ඉන්නවා නේද?

විශ්වවිද්‍යාල මට්ටමෙන් වගේම පාසල් මට්ටමින් විවිධ වැඩමුළු හරහා මගෙන් රංගනය ඉගෙනගෙන රංගන ශිල්පීන් වුණු අය ඉන්නවා. ඒ අයව නම් කරන්න ගියොත් විශාල ලැයිස්තුවක්. බය නැතුව කට ඇරලා නම කියන්න පුළුවන්, ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් දක්ෂතාවය තියෙන විනය සහ අවබෝධය සහිත රංගන ශිල්පීන් රාශියක් මගෙන් ඉගෙනගෙන තියෙනවා. මම ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එකම දෙයයි. අපි මේ ක්ෂේත්‍රයට හරි ආදරෙයි. ඒක රැකගන්න ඕනේ. අපි මේ ක්ෂේත්‍රයේ යම් තැනක ඉන්නවා නම් ඒ එතනට අපිව ගෙනාපු ගුරුවරු, නිර්මාණකරුවන් නිර්ලෝභීව උගන්වපු නිසා. සෝමලතා සුබසිංහ, ගාමිණී හත්තොට්ටුවගම වගේ ගුරුවරු ප්‍රභල බලපෑමක් කළා. කථිකාචාර්ය ඉන්දික ෆර්ඩිනෑන්ඩු මට කියන්නේ නළුවන් මවන්නා කියලා.

 

ඔබේ බිරිඳත් දක්ෂ රංගන ශිල්පිනියක් නේද?

මගේ බිරිඳ නයනා ජයතිලක. එයත් රංගන ශිල්පිනියක්. සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සම්මානනීය රංගන ශිල්පිනියක්. අග්නි පියාපත්, නීල පබළු වගේ නිර්මාණවල ඇය රඟපානවා. අපි දෙන්නාම ක්ෂේත්‍රයේ ඉන්න නිසා වැඩකටයුතු කරන්න ඉතාම පහසුවෙලා තියෙනවා. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා උවිඳු හර්ෂජිත්, පොඩි පුතා හරිඳු රංගජිත්. ලොකු පුතාගේ උපාධිය අවසන්. දැන් ඔහු කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උගන්වනවා. පොඩි පුතා නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය හදාරනවා. දෙන්නාම පොඩි කාලේ ඉඳලා නිර්මාණවලට සම්බන්ධ වුණා. නමුත් ටිකෙන් ටික ලොකු වෙද්දි පුතාලට මම කිව්වේ ඉගෙනගන්න කියලා. ලොකු පුතා මේ දවස්වල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කලායතනේ සින්දු කියන්න ඉන්නවා. පොඩි පුතා හදවිල අරණ නාට්‍යයේ ඉන්නවා.

 

මේ සකල කලාවන්ට කොරෝනා වසංගතය තර්ජනයක් වෙලා?

ඒක නම් එහෙම තමයි. ඒකෙන් ප්‍රබලම තර්ජනය වෙන්නේ වේදිකා නාට්‍ය කලාවට. සිනමා කර්මාන්තයටත් ඒක යම්තාක් දුරට බලපානවා දැන් සිනමාශාලා වැහිලා. නමුත් වසංගත තත්ත්වය අවම වුණාම සිනමාපට පෙන්වන්න පුළුවන්. නමුත් වේදිකා නාට්‍යවල පුහුණුවීම් කරයුතු කරන්නම කාලයක් යනවා. පසුගිය කාලේ ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ ඉතාම සාර්ථකව කරගෙන ගියා. නමුත් අපිට නැවතත් මේක මුල සිට පටන් ගන්න වෙලා. මම මෙතෙක් වේදිකා නාට්‍යවල රඟපාපු වගේම මනෝරත්න මහත්මයා රඟපාපු චරිතත් මම කළා. ඒත් සියල්ලම කොරෝනා වසංගතය නිසා අඩපණ වුණා.

 

ගුරුවරයෙක් ලෙස ක්ෂේත්‍රයට එන නවකයන්ට ඔබ දෙන උපදෙස මොකක්ද?

කොයිදෙය හරි කමක් නැහැ, තමන් කරන දෙය හරියට කරන්න. ඒ කරන දෙයට අවංක වෙන්න. කැපවෙන්න. ඉලක්කයක්, අධිෂ්ඨානයක් තියාගන්න ඕනේ මම මේ තැනට යනවා කියලා. ඒ වගේම තමන්ට කියලා කුමක් හෝ යහපත් දර්ශනික පදනමක් තියෙන්න ඕනේ. ඒක දේශපාලනික හෝ ආගමික වෙන්න පුළුවන්. ඒ දර්ශනය යටතේ අවංකව කැපවෙලා අරමුණක් තියාගෙන වැඩ කළොත් වරදින්නේ නැහැ.