ඒ ගැන හිතලා මං දුක්වෙන්නේ නෑ

ශෂිනි හංසිමා
මැයි 20, 2021

 

වසර තුනක් රංගන ක්ෂේත්‍රයේ රැඳීි සිටියද ඇයට ප්‍රධාන චරිතයක් ලැබුණේ මැටි කඩුලු ටෙලි නාට්‍යයෙනි. එහි කුමාරී ලෙස ඇය රඟන්නීය. එකී චරිතය තුළින් ජනප්‍රසාදය විඳීමින් සිටින මේ යොවුන් රංගන ශිල්පිනිය නමින් ශෂිනි හංසිමායි.

ශෂීනි මේ දිනවල මැටි කඩුලු නිසා ඔබ ජනප්‍රියත්වයට පත්වෙලා?

ඒක තමයි. මම මීට ප්‍රථම ටෙලිනාට්‍ය ගණනාවක රඟපෑවා. රඟපාන්න තියෙන ආසාවට බොහොම පොඩි චරිතත් කළා. මේක තමයි මට ලැබුණු ලොකුම චරිතය. තවත් විදියකින් කිව්වොත් මේක නාට්‍යයේ එක් කැපී පෙනෙන චරිතයක්. කුමාරි චරිතය මට ලැබුණු හොඳ අවස්ථාවක් කියලත් කියන්න පුළුවන්. අනික මට ප්‍රවීණ නළු නිළියන් කිහිපදෙනෙකු එක්කම රඟපාන්න අවස්ථාව ලැබුණා.

 

කුමාරිගෙ චරිතයේ හැඩය මොන වගේද කියලා සඳහන් කළොත්?

කුමාරි කියලා කියන්නේ සල්ලි බාගෙ අඩුවක් නැති ගමක වෙසෙන ගෑනු ළමයෙක්. නමුත් එයාගේ පුද්ගලික ජීවිතය පැත්තෙන් බොහෝ කඩාවැටීම සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි කසාදෙත් කැඩිලා දෙවැනි කසාදය කැඩිලා. ඒ වගේ ටිකක් සංකීර්ණ චරිතයක්.

 

කාත් එක්කද ඔබට මැටි කඩුලු නාට්‍යයේ රඟපාන්න තිබුණේ?

ජයසේකර අපොන්සු, සරත් කොතලාවල සහ මෙලනි අසෝකා වැනි ප්‍රවීණයින් වගේම අනුරාධා එදිරිසිංහ වගේ අපේ පරපුරේ අයත් එක්ක රඟපාන්න මට මැටි අවස්ථාව ලැබුණා.

 

ඔබ නිළියක් වන්නට හිතාගෙනම ක්ෂේත්‍රයට ආව කෙනෙක්ද?

නැහැ. මම මුලින්ම මෝස්තර නිරූපිකාවක් ලෙස තමයි ඒ ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ. පසු කාලීනව බ්‍රයිඩ්ල් ෂූට් ගොඩක් කළා. ඊට පසුව තමයි රඟපාන්න එන්නේ. ක්‍රයිම් සීන්, නෝ පාර්කින්ං, ක්වීන් වගේ නාට්‍යවල රංගන දායකත්වය ලබා දුන්නා. මේ වෙලාව මම මට එහෙම අවස්ථාවක් ලබා දුන් සියලුම අධ්‍යක්ෂවරුන් සිහිපත් කරන්නට අවස්ථාවක් කරගන්නවා.

 

ක්ෂේත්‍රයේ කට්ට කාපු අවස්ථා තියෙනවද?

ගොඩාක් තියෙනවා. සතයක්වත් ගන්නැතුව මම ෆොටෝ ෂූට්වලට සහභාගි වෙච්ච අවස්ථා අනන්තවත් තියෙනවා. සමහරු මගෙ රුව භාවිතයෙන් එහෙම අයුතු වාසි ලබා ගත්තු අවස්ථාවලුත් තියෙනවා. ඒ වුණාට මම ඒවා ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. ඉදිරියේ ගැන හිතලා කටයුතු කරනවා මිසක්.

 

නවක නිළියන්ට ටිකක් වැඩිපුර ගොසිප් හැදෙනවා?

වාසනාවට මට එහෙම ගොසිප් හැදුණේ නැහැ. නමුත් මම ගැන පළවූ එක්තරා පුවත්පතක ආර්ටිකල් එකක මම කියපු පොඩි අදහසක් වෙනස් කරල අරගෙන ගොසිප් සයිට්වල පළ වෙලා තිබුණා. මට ඒකෙන් නං චූටි චූටි ප්‍රශ්න ටිකක් ආවා. මොකද මම කියපු දේ විකෘති කළ තමයි ඒ සයිට් වල පළවෙලා තිබුණේ.

 

හෂිනිගේ ගම කොහෙද?

මම මොණරාගල.

 

ඉගෙන ගත්තු පාසලත් මතක් කළොත්?

මොණරාගල කුඹුක්කන මහා විදුහල.

 

උපන් දිනය?

අප්‍රේල් 24

 

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත්, ඔබ මොන වගේ කෙනෙක්ද?

හරිම සරල ඒ වගේම හිත හොඳ කෙනෙක්.

 

 

සේයාරූ තරිඳු වීරසේකර

 

සේයාරුව - දීපාල් ගෝමස්