මගේ පණිවිඩය ඔබට ගිහින් නම් මම සාර්ථකයි

කිංස්ලි රත්නායක
මැයි 6, 2021

කෙනෙකුට තමන් ඉගෙනගත් පාසලෙන් ලැබෙන පන්නරය ජීවීතය වෙනස් කරගන්න ලොකු පිටුබලයන් වනවා යන්න අප සැවොම අවිවාදයෙන් පිළිගනිමු. ඔහු සිය පාසල් කාලය තුළ දීප්තිමත් සිසුවෙකු වන්නේ කට නිසාය. පාසල් කාලය තුළත් ඉන් ඔබ්බට සිය වෘත්තීය ජීවීතයත් කටින්ම ජය ගන්නට ඔහු සමත් විය. කලකදි වහලු කලකදි රස වෙනවාලූ යන ආප්තෝපදේශයට නියම උදාහරණයකි ඔහු. මා එසේ කියන්නේ ඔවුන්ගේ ආරම්භය එදා ප්‍රවීණයන්ගේ උපාහාසයට අපහාසයට ලක් වූවත් අද අප ඔහුගේ බසට ඒ වාග් චාතූර්යයට ලොබ බදිමු. ඔහුට අනූව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන්නෙකුට යන්නට පිළිවන් ඉහළම ස්ථානයේ ඔහු සිටින්නේය. පසුගිය දිනෙක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස සිය රාජකාරිය ඇරැඹි, අපේ කාලයේ ටෙලිවිෂනයේ මුද්‍රාව, කිංස්ලි ‍රත්නායක සමඟයි සරසවිය අපේ මේ කතාබහා.

 

 

කිංස්ලි ‍රත්නායකගෙන් බලාපොරොත්තු විය නොහැක්කක් වුණා යන්න හැම සිත්වල ප්‍රශ්නාර්ථයක් ඇති කරමින් ඔබ මෙවැනි තීරණයක් ගන්න හිතුවෙ ඇයි?

අවුරුදු 28 ක් එක තැන වැඩ කරනවා කියන එක සාමාන්‍යයෙන් මගේ පරම්පරාවේ අයගෙන් නොවෙන දෙයක්. මුදල් යානවාහන තනතුරු වගේ විවිධ වරප්‍රසාද මත අපේ ක්ෂේත්‍රයේ අයට විවිධ තනතුරු ලැබෙනවා සහ ඒවට යනවා. නමුත් මම මගේ ප්‍රතිපත්ති සමඟ සමපාත වන දේ තමයි කරන්නේ. එපමණක් නොව මගේ ආයතනය එලෙස වැඩ කරන්නට මට සහයෝගය දී තිබුණා. ආයතනය තුළ වුවත් මා විසින් නිර්මාණය කරගත් ප්‍රතිපත්ති රාමුවකයි මා වැඩ කළේ. ඇතැම් අවස්ථාවලදී මා ඉස්සරහින්ම සිටියා. ඇතැම් අවස්ථාවලදී පේන්නවත් හිටියේ නෑ. මගේ ජ්‍යෙෂ්ඨත්වය මත එම ආයතනයේ සභාපතිතුමා ඇතුළු ඉහළම කළමණාකාරීත්වය මට ඒ නිදහස දී තිබුණා. ඒ නිසාම මගේ ප්‍රතිපත්ති සමඟ මට දිගු කාලයක් ඉන්න පුළුවන් වුනා.

 

මාධ්‍යවේදියෙකු වීමම ප්‍රමාණවත්ද දේශපාලන තනතුරකට?

මම උසස්පෙළට දේශපාලන විද්‍යාව විෂයක් විදිහට කරලා කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසරෙත් මා දේශපාලනය ඉගෙන ගත්තා. දේශපාලකයන් සමඟ මම ඕනෑතරම් කටයුතු කරලා තියෙනවා. බොහෝ දෙනා නොදන්නවා වුනාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ දේශපාලන කටයුතුවලදී ඉතා කිට්ටු ඇසුරක් මට තිබුණා. නමුත් මම එතුමා සමඟ මාධ්‍ය කරන්න ගියේ නෑ. මාධ්‍ය කරන වෙලාවට මම දේශපාලනය කරන්න ගියේ නෑ. එම නිසා මම කාගෙවත් ඉලක්ක ගත්තේ නෑ වගේම කාටවත් ඉලක්ක වුණේ නෑ. මගේ ප්‍රතිපත්ති සමඟ ගැළපෙන තීන්දුවක් ගන්නයි මෙවර එළියට බැස්සේ.

 

මේ අඩිය ඉදිරියේ ක්‍රියාකාරී දේශපාලනයටද?

දේශපාලනය යනු පාර්ලිමේන්තු ‍යන එක නම් එයට මට අවස්ථාව ලැබෙන්නේ මීට බොහෝ කාලයකට පෙර. මගේ සමකාලීනයන් දේශපාලනය තුළ ඉන්නවා. ඒ අයත් වරප්‍රසාදවලට යටවූ දේශපාලනයක් කරන්නේ නෑ. ඔබට මා උදාහරණයක් කියන්නම් බුද්ධික පතිරණ මගේ සමකාලීනයෙක්. ඔහුත් තමන්ගේම ප්‍රතිපත්ති රාමුවක් තුළ දේශපාලනය කරනවා. අපි හැමෝටම දේශපාලනයක් තියෙනවා. කතා කරන වචන, හුස්ම ගන්න රටාව, යන එන විදිහ මේ සියල්ල අපේ දේශපාලන කැඩපතක් තමයි. පාර්ලිමේන්තු නියෝජනයට නම් මෙතරම් අමාරු ක්‍රියාදාමවලට යන්නට අවශ්‍ය නෑ. මම දේශපාලනඥයින් ඇසුරු කළා. නමුත් මම වෘත්තීය වශයෙන් කරන්නේ ජනමාධ්‍යය කියන කාරණය හැම මොහොතකම මගේ ඔළුවේ තිබුණා.

 

අලුත් තනතුර පිළිබඳ කතා කළොත්?

තමන්ගේ වෘත්තීයේ ඉහළම තැන රටේ රාජ්‍ය නායකයා කෙරෙහි වැඩ කිරීමටයි මා මෙතැනට එන්නේ. මේ ආණ්ඩුවක නායකයා නොව රාජ්‍යක නායකයා යන්න අප මතක තබා ගත යුතුයි. බොහෝ දෙනෙක් ආණ්ඩුව හා රාජ්‍ය පටලවා ගන්නවා. නමුත් අප මේ වැඩ කරන්නේ රාජ්‍ය නායකයාටයි. අපි ජනාධිපති නීතීඥ කියනවා. ඒකෙන් අදහස් කරන්නේ ඔහු ජනාධිපති ළඟට ගොස් නඩු කතා කරනවා යන්න නොවේ. ඒ එම වෘත්තීය තුළ ඇති ඉහළම තනතුර. මම හිතන්නේ මගේ වෘත්තීය තුළ සිටින කෙනෙකුට ලැබෙන ඉහළම තනතුරකටයි මා මේ ආවේ. මෙහි දී මට බොහෝ දේ කිරීමට ලැබෙනවා. මගේ දැනුමේ හැටියට මෙවැනි තනතුරක් ප්‍රකාශයට පත් වෙන්නේ ප්‍රථම වතාවටයි. විධිමත් ලෙස අවශ්‍ය නියාමනයන් කරමින් මෙවැනි හැඩයක් ලැබීම විශේෂයෙන්ම ලංකාවට මාධ්‍ය සම්බන්ධ වෙනස්ම ආකාරයක අත්දැකීමක් අත්හදාබැලීමට අවස්ථාව ලැබිලා තියෙනවා. මුලින් එයට මුහුණදෙන කෙනා ඉතා නරක ආකාරයට හෝ හොඳ ආකාරයට එහි ගැටුම්වලට මුහුණ දෙනවා. ඒ අභියෝගය මේ තනතුර එක්ක තිබෙනවා.

 

රාමුවෙන් මිදිලා මේ තනතුර එක්ක ඔබට ජනතාව වෙනුවෙන් යමක් කළ හැකිවෙයිද?

ජනාධිපතිතුමා ඉතා පැහැදිලි දර්ශනයක් ඉදිරිපත් කරලා තිබුණා. එය ක්‍රියාත්මක කිරීමට ජනතාව වරමක් දීලා තියෙනවා. පෙරළා එය ක්‍රියාත්මක කිරීමේ ආකාරය දැනගැනීමට ජනතාවට අයිතිය තියෙනවා. මේ කාරණා හරියට වෙනවා වෙනුවට එහි අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කර අලුත් ආකෘතියකින් ජනතාවට පාලමක් සවි කිරීම තමයි මේ තනතුරින් සිදු වෙන්නේ. මා ඒ ගොඩනඟන පාලම දෙස පාට කණ්ණාඩියකින් නොව විවෘත මනසකින් බලන්න කියන ආරාධනය කරනවා. බොහෝ වෙලාවට පණිවුඩකරුවාට වෙඩි තැබීම තමයි මේ සමාජයේ ක්‍රමය. පණිවිඩය මොකද්ද කියලා තේරුම් ගන්නේ නෑ. ඒ ක්‍රමය ඇතුළේ මම ඉතාම කැමැත්තෙන් පණිවිඩ කරුවා බවට පත් වෙනවා . මොකද වෙඩි කෑවත් මගේ පණිවිඩය ඔබට ගිහින් තියෙනවා නම් මම සාර්ථකයි.

 

එකම මාධ්‍යජාලයක අවුරුදු විසිඅටක් තනතුරු රැසක් හෙබවූවෙක්. ඉතා දිගු කාලයක මේ ගනුදෙනුව හමාර කරද්දි ඔබේ ආයතන ප්‍රධානියාගෙන් ලැබුණ ප්‍රතිචාරය මොකද්ද?

එහි සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා මට ඉතාම හොඳීන් සැලකූ, ඉතා හොඳීන් මා සමඟ ගනුදෙනු කළ, ඉතා හොඳීන් මට ඇහුම්කන් දුන් කෙනෙක්. ඔහුගේ මතය කුමක් වුවත් අප දෙදෙනාගේ තිබුණු සම්බන්ධතාවය එලෙසම තිබෙනවා. එය කිසිදු පළුද්දක් වී නැහැ. ඔහුගේ ආශීර්වාදය සමඟයි මා එළියට බහින්නේ. වෙනත් කඳවුරකට යනවා කියලා හෝ ආයතනයෙන් ඉවත් වුණා කියලා අප අතරේ කිසිදු ආරෝවක් නෑ. ඉංග්‍රීසීන් කියන ආකාරයට මේ සමුගැනීම ගෝල්ඩන් හෑන්ඩ් ශේක් එකක්. ඔහු මා දන්නවා සහ මා ඔහුගෙන් ඉගෙනගත් දේ බොහොමයි. ඔහු මට දරුවෙකුට මෙන් ආදරය කළා. මම හිතනවා ඔහුගේ ආශිර්වාදය හෙටටත් මට තියෙනවා කියලා.

 

The voice ජාත්‍යන්තර වේදිකාව, වේදිකාවට නොගිය කින්ග්ස්ලි වෙනස් කළා කිව්වොත්?

මට මෙය අලුත් අත්දැකීමක් වුණා. ජාත්‍යන්තර වැඩසටහනක ඉදිරිපත් කරන්නෙකු වීම මගේ ජීවදත්ත පත්‍රිකාවේ වෙනම තැනක සටහන් වෙනවා. මම එයින් ඉවත් වුණා. මගේ අන්තිම වැඩසටහන පසුගිය ඉරිදා දිනයේ විකාශය වුණා. ඒ එක්කම බැටල්ස් රවුන්ඩ් වටය නිමාවුණා. එලැඹෙන්නේ නොකවුට් වටයට අලුත් මුහුණක් හිදීවී. විශේෂයෙන්ම මම මෙහි ඉදිරිපත් කිරීම් ආරම්භයේදී සමාජ මාධ්‍ය තුළ ඉතා විශාල කැළඹීමක් ඇති වුණා. මම එයට සුදුසු නෑ කියන තැනයි ඔවුන් බොහෝ දෙනෙක් හිටියේ. නමුත් මගේ ගමන් මඟ දන්නා කෙනෙකුට එය අරුමයක් නොවේ. කාලෙන් කාලෙට මා වෙනස් දේ කළා. බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයෝ තාරුණ්‍යයේ අය. ඒ අය බොහෝ දෙනෙක් මා පිළිබඳ අවබෝධයකින් තොරවයි කතා කරන්නේ.

 

තවදුරටත් ඔබ කතාබහට ලක්වන්නට බාහිර පෙනුමේ වෙනස්කම්ද හේතුවක් වුණා කිව්වොත්?

නිවේදක භූමිකාව අපි දහඅට වන්නම නටනවා වගේ තමයි. නැටුමකදී වෙස්මුහුණු එක එක නැටුමට වෙනස් වෙනවා සේම නිවේදනය පෙළහර පාන්න වෙන්නේ විවිධ වැඩසටහන් ආකෘතීන් එක්ක. ඔබ යූ ටියුබයෙන් හෝ ටෙලිවිෂනයෙන් දකින දේට එහා ගිය දෙයක් මා ඒ වැඩසටහන තුළ සිදු කළා. ඔබ දකින්නේ ඔබ තරගයෙන් ඉවත්ව යනවා කියන සංස්කරණය කළ කොටස වුවත් අප ඔවුනගේ හිත හදලා අඬන කෙනෙක් වේ නම් ඔවුන් සමඟ යම් කාලයක් ගත කරලයි වේදීකාවෙන් ඉවත් කරන්නේ. ඉතාම දක්ෂ පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් එය මෙහෙය වනවා. මගේ කොණ්ඩේ කපන්න අවසර දුන්නම අපේ අංගරංචනා ශිල්පියා කිහිප වතාවක්ම අදිමදි කළා. ඔබේ ඕඩියන්ස් එක අප්සට් යයි මෙයට කියලා. අපි හඩ නළුවන්. චරිතයක් රඟපාන විට එය ලස්සන කිරීමට ඇඳුම් ආයිත්තම් යොදාගන්නවා සේම නිවේදකයත් එසේමයි. අපිට පුරුදු සම්ප්‍රදායෙන් අපි මිදිය යුතුයි. බොහෝ දෙනෙකුට උඩින් ඇදලාගන්න මයික් එකේ ඉදලා ප්‍රශ්න තිබුණා. මෙය එක නාට්‍යයක්. ඒ නාට්‍යය තුළ මගේ චරිතයට අදාළ ඇඳුම් ආයිත්තම් විලාසිතා මම කළා.

 

මේ සා කාලයක් ඔබ ගෙන ආ ස්වරූපය වැඩසටහනකට අවශ්‍ය ලෙස වෙනස් කිරීම කියන තැනට එනවිට එයට ලොකු කැපකිරීමක් කරන්න අවශ්‍යයි. ඔබ වටා ගොඩනැඟුණ ඔබව අනුකරණය කරන පිරිසක් ඉන්නවා.?

අපි හදාගත්ත කටුව තුළට වෙලා අපි ඉන්න තරමට අපිට පහසුයි. ප්‍රවීණ මාධ්‍යවේදී කියලයි එවිට කතා කරන්නේ. මේ රටේ හැටියට එය මැරෙනකම්ම වැලීඩ්. භාෂාව කළවම් නොකර හේතූ පාඨයක් කියාගෙන ඇඟ පොඩි කරන්නේ නැතුව ශර්ට් එක උඩට එන්නේ නැති වෙන්න එන්න එන්න කලාඹර වෙලා කෘතහස්ත වචන භාවිත කරලා නිවේදන කටයුතු කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒක ඒ ඒ අයගේ කැමැත්ත. මම නිවේදනය කරන්නේ මගේ විනෝදය සඳහා. එයට ඔබට කැමැති ආකාරයේ කටු දාගත්තට මගේ විරුද්ධත්වයක් නෑ. මම පරපුරකට එහා මිනිහෙක්. ඒ කාලේ අපි ගුවන් විදුලියේ නිවේදන කටයුත්ත ආරම්භ කරන කාලේ අපිට කිව්වේ පන්නිපිටියෙ මොන්ටිසෝරියෙ මයින පැටවු කියලා. අපි කතා කළ ආකාරයට බොහෝ විවේචන තිබුණා මුල් කාලයේ. ඒ ප්‍රබුද්ධ සමාජයෙන් අපිට ලොකු ප්‍රතිරෝධයක් තිබුනා. ජනප්‍රිය සංස්කෘතිය ‍යටතේ අපි භාෂාව භාවිත කරන ආකාරය ඒ අයට දිරෙව්වේ නෑ. ඒ අය වියපත් වෙලා අපි එතැනට එනවිට අපේ ක්‍රමය ප්‍රබුද්ධ ක්‍රමය කියලා අපෙන් පසු පරම්පරාව හඳුනා ගන්නවා.

 

ඔබලා මයින පැටවු වෙද්දි අලුත් පරපුර ගිරා පැටවු වෙලා. අලුත් පරපුරේ භාෂාව භාවිතය ඔබට දැනෙන්නේ කොහොමද?

හැමෝටම පොඩි සමාකාලයක් තියෙන්න ඕන. අපිත් ඔය වයස පහු කළා. අපිටත් දෝෂාරෝපණ ආවා. ඒ කාලයට තියෙන ජීවන අත්දැකීම් සහ ඒ අයට තියෙන පරිචය අනුව තමයි ඒ අය කතා කරන්නේ. බොහෝ වෙලාවට නික්නේම්වලින් ඉන්න අය ඕන එකක් මාධ්‍ය හමුවේ කියලා ගිහින් ඉන්පසුව හැංගෙන්න පුළුවන්. නමුත් නමට ආදරේ කරන කෙනෙක් නම් ඔහු එය රැක ගත යුතුයි. වෙස් වලාගෙන ඕනම අපරාධයක් කළ හැකියි. අලුත් පරම්පරාවට අඩුපාඩු පෙන්නලා දීම ආදරෙන් කළ යුතුයි. ඔවුන්ට කාලය දිය යුතුයි.

 

ඔබ තවත් පරම්පරා ගණනාවකට හොඳ පූරක පූර්වාදර්ශයක්. හරියටම භාෂාව භාවිත කිරීම ඔබට අනූව කරන්නේ කොහොමද?

අපි හිතනවා ව්‍යාකරණානුකූලව කතා කිරීම තමයි විද්වත් සිංහලය කියලා. පණිවිඩය කියාගැනීමට භාවිත කරන මෙවලමක් මෙය. භාෂාවේ රුව ගුණට ගරු කිරීම සංස්කෘතික කාරණාවක් ලෙස එය අවශ්‍යයි. භාෂාව විනාශ නොකර කතා කිරීම ප්‍රගුණ කළ යුත්තක්. බොහෝ දෙනෙක් භාෂාව භාවිත කරන්නේ තමන්ගේ පාණ්ඩිත්වය පෙන්වීමට පමණයි. මම දකින්නේ මුලින්ම ගුරුත්වාකර්ෂණය පිළිබඳ දැනුම අරන් ඉන්පසු රිටි පිනුම් බඩ පිනුම් ගැහුවට කමක් නෑ. භාෂාව ඉගෙනගෙන භාෂාවේ සම්මතය කඩන්න පුළුවන්. ඉගෙන ගන්නේ නැතුව කලවම් කිරීමෙන් පමණක් සම්මතය බිඳීනවානම් එය වැරැද්දක්.

 

ඔබේ පවුල ගැනත් මතක් කරමු?

මට ඉතාම ආදරණීය දරු පවුලක් තියෙනවා. දූවරු තුන්දෙනෙක් ඉන්නවා. අපේ පෞද්ගලික ජීවිතය ඉතාම පෞද්ගලික මට්ටමින් තියා ගැනීමට කැමතියි. ප්‍රසිද්ධිය හෝ අවධානය මට අවශ්‍ය මගේ රැකියාවට පමණයි. අප දෙදෙනාම කතාබහ කර යම් එකඟතාවයකට ආවා. මාධ්‍යය තුළ ඉන්නේ මම පමණයි අපේ ජීවිතය මාධ්‍ය නොවේ.

 

ඔබේ තනතුර සමාජ මාධ්‍ය තුළ ප්‍රබල මාතෘකාවක් වුණා. එක තැනක මෙහෙම තිබුණා ඔබත් එය දකින්න ඇති. “පැරණි ආනන්දියෝ ටික එකතු වෙලා වැඩ කරනවා කියලා?” මේ ගැන මොනවද කියන්න තියෙන්නේ?

(සිනාසෙමින්) හරිම ආස්වාදනීය කතාවක් එය. මම සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ඉතාම ආදරෙයි. මම එහි රසිකයෙක්. ඔවුන් හරිම නිර්මාණශීලීයි. ඒවා දරාගන්න ඒවාට ඔරොත්තු දෙන්න බැරි නම් මේ රැකියාව කරන්න බැහැනෙ. ඉස්සර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට තිබුණේ රෝයල් එකේ අය ගන්නවා කියන කතාව. ආනන්දයේ මම දකින පොදු දෙයක් තියෙනවා. ආනන්දය හා නාලන්දය අතර ලොකු සහෝදර බැඳීමක් තියෙනවා. ආනන්දයේ පොදු ලක්ෂණය නම් අපිට අම්මල තුන්දෙනෙක් ඉන්නවා. මේ ය මං මීට පෙර කියලා නෑ.මුලින්ම තමන්ව මේ ලෝකෙට බිහිකළ අම්මා. ඔවුන් අම්මගෙ නම කෙළෙසන්න දෙන්නේ නෑ. අම්මට බැන්නම මිනිස්සු වියරු වැටෙන්නේ ඒකයි. දෙක පාසල් මාතාව. පෞරුෂය ගොඩනඟලා සමාජයට දායාද කළ මව. තුන් වෙනි අම්මා අපේ රට. ලක් මාතාවට අපි සියලුදෙනා එක වගේ ආදරේ කරනවා. මේ කියන මාතාවරුන් රැකීම ආනන්දීයන්ගේ පොදු ලක්ෂණය. ඉස්කෝලේ කාලේම වෘත්තීය මට්ටමේ පුහුණුවක් ලබනවා. ආනන්දෙන් හොයලා දානවා නෙවෙයි. ගන්න මිනිස්සු ආනන්දේ අය වීමයි විශේෂත්වය.

 

කිංග්ස්ලිට ආදරේ කරන සමාජමාධ්‍ය පරිශීලකයෙක් වන සුදේශ් කරුණාතිලකගේ පිටුවේ ලියා තිබූ සටහනකින් අපේ කතාව අවසන් කරන්න හිතුවෙමු. සරසවිය අපද ඔබට සුබාශිංසන ගෙන එන්නෙමු

 

ආනන්දෙ King

ච්ඥඡචබඪදඨ King

රේඩියෝ King

ටීවී King

සිරසෙ King

ඉතින් ආයුබෝවන් King.

කොතැන ගියත් උඹ එතන King.

ආදරයෙන් සුබ පැතුම් මගේ සහෝදරයා

Kingsly Rathnayaka