රඟපෑමෙන් පස්සේ පාරේ බැහැලා යන්නත් ඕනෑ

ධනුෂ්කා රත්නායක
මැයි 6, 2021

 

වේදිකා නාට්‍ය ඇගේ ජීවය බවට පත්වූවාය. පාසලේදී ඇය උසස් අධ්‍යාපනය සඳහා එවකට විද්‍යා විෂයන් ‍තෝරාගනු ලැබුවේ වෛද්‍යවරියක් වී රෝගීන් සුවපත් කිරීමේ අරමුණ ඇතිවයි. නමුත් දෛවය කළ සරදමක් නිසාවෙන් පාසලේ දී සිදු කරනු ලැබූ විෂය බාහිර කි‍්‍රයාකාරකම්වලින් ලද පන්නරය ඇය කලා ශිල්පිනියක් බවට පත් කළාය. එනිසාම අද ඇය කලාව තුළින් මිනිස් සිත් සතන් සුවපත් කරන්නීය. ඒ වේදිකා නාට්‍ය, සිනමාවද ජය ගනිමින් තම ශිල්පීය ප්‍රතිභාව මනාව විදහා දක්වමින් ඉහළ ජනපි‍්‍රයත්වයක්ද හිමිකර ගනිමින්ය. මේ දිනවල සිරස රූපවාහිනියෙන් සතියේ සෑම දිනකම රාත්‍රී 8.30 ට විකාශනය වන දාම් ටෙලිනාට්‍යයේ මිගාරගේ අම්මා ලෙසත් ස්වර්ණවාහිනියෙන් රාත්‍රී 9.00 ට යන හදවතේ කතාවෙන් මෙන්ම දෙරණින් රාත්‍රී 6.25 ට යන සිඳු දීපා මෑණියෝ ලෙස හා දෙරණින්ම රාත්‍රී 7.30 ට යන අලුත්ම ටෙලි සිතුවම වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ මාළු කපිලගේ බිරිඳ හෙවත් සේපාලි ලෙසද ඇය අපේ ආලින්දය සරසන්නීය. ධනුෂ්කා ඉරෝෂිනී රත්නායක. ඇය මෙලෙසින් අප හා කතාබහට එක්වූවාය.

 

ඔබව අද අපිට වැඩිපුරම ටෙලිනාටඩ් වලින් තම දකින්න ලැබෙන්නේ දැන් ටෙලිනාටඩ් කීයක් විතර රඟපාලා තියෙනවාද?

මේ දක්වා ටෙලිනාට්‍ය නම් සීයයකටත් (100) වැඩිය රංගනයෙන් දායක වෙලා තියෙනවා.

 

මේ දවස්වල ඔබව ප්‍රේක්ෂකයින්ට හමුවන්නේ ?

සිරස ටීවී එකේ යන අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක මහතාගේ දාම් ටෙලිනාට්‍යයේ මිගාරගේ මවගේ චරිතය. ඒක නම් දැනටමත් හරිම ජනපි‍්‍රයයි. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊළඟට ස්වර්ණවාහිනියේ යන හදවතේ කතාවෙන්, දෙරණෙ ඒ සිහි දීපා මෑණියෝ ඒ වගේම දෙරණින්ම මේ දවස්වල යන අලුත්ම ටෙලිනාට්‍ය වන ඉස්කෝලේ මාළු කපිලගේ බිරිඳ සේපාලි ලෙසයි. දිලුක ප්‍රසාද් ගුණතිලක මහතා තමා ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ. අනික තමා මම කියන්නම ඕනේ පසුගියදා ධ්ඊව් එකෙන් විකාශනය හමාර වූ ඉන්ටර් නැසනල් ටෙලිනාට්‍ය පිළිබඳවත්. ඒකෙනුත් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. වේදිකාවෙන් අවසන් වරට සරත් කුලාංග මහතාගේ ඊගාව ගේ දැන්නම් මේ පවතින කොරෝනා තත්ත්වය නිසා වේදිකා නාට්‍යවල වැඩ නම් කෙරුණෙම නෑ.

 

සිනමාවට ඔබේ දායකත්වය කොහොමද?.

බොහෝ විට මම සිනමාවට නම් අඩුවෙන් තමයි දායක වුණේ. ඉදිරියේදී මට හොඳ නිර්මාණ ලැබුණොත් රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අද බිහිවන ඇතැම් චිත්‍රපටවල නම් චරිත ඔබ්බවලා වගේ තමා තියෙන්නේ. අනික මට එහෙම රඟපාන්න කියලා ආපු චරිත මං කරන්න භාරගත්තේ නෑ.මට ගැළපෙන්නේ නෑ. මගේ විදිහට තියෙන්න ඕනේ.

 

මොකක්ද ඒ ඔබේ විදිහ යනුවෙන් ඔබ අදහස් කරන්නේ?

මෙහෙමයි මම සිංහල බෞද්ධ පසුබිමක් තුළ හැදුණු වැඩුණු ඒ තුළ ජීවත්වෙමින් ඉන්න අයෙක්. මට දෙමව්පියෝ ඉන්නවා. මටම කියලා පවුල් ජීවිතයක් තියෙනවා. මට මහත්තයෙක් දරුවෙක් ඉන්නවා. ඉතින් ඒ හැමදේම ගැනත් මම හිතන්න ඕනේ. ඒ අනුව මට හැම පැත්තක් ගැනම සලකා බලන්න වෙනවා කිසියම් නිර්මාණයකට දායක වෙද්දි ඒ නිර්මාණය හොඳද නරකද මට ගැළපෙනවද කියලා. මොකද අපි රඟපෑමෙන් පස්සේ පාරෙ බැහැලා යන්නත් එපැයි. මම සිඳූහි රඟපෑ දීපා මෑණියෝ චරිතයට ගොඩක් අය දොස් කිව්වා ඒක එහෙම හරි නෑ කියලා. නමුත් එය එක එක්කෙනා දකින විදිහනේ. ඒ වගේ අයහපත් ප්‍රතිචාරත් මට ලැබුණා.

 

ඔබ දායක වන නිර්මාණ වලින් වඩා සිත්ගත් චරිත එහෙම තියෙනවාද?.

ධ්ඊව් එකෙන් පසුගියදා විකාශනය අවසන් වුණු ඉන්ටර් නැසනල් ටෙලිනාට්‍යයේ මම රඟපාපු නිරූපා චරිතය එය සමාජයේ හොඳ පැතිකඩක් හැමෝටම පෙන්නලා දුන්න සරල චරිතයක්. ඒකේ පිටපත පවා සරලවම ලියවිලා තිබුණා. ඊළඟට මේ දවස්වල සිරස ටීවී එකේ යන “දාම්” ටෙලි නාට්‍යයේ මිගාරගේ මවගේ චරිතය මුඩුක්කුවක ජීවත්වන දුප්පත් මවක් තම පුතා සමඟ ජීවිතය ගෙනයන්න වෙර දරන ආකාරය තමා ඒ චරිතය තුළින් පෙන්නුම් කරන්නේ. එයත් ඉතා සාර්ථක චරිතයක් එහි අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක කියන්නේ මිනිසුන්ව හොඳීන් තේරුම් ගන්න පුළුවන් හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේ ආධ්‍යක්ෂවරු කීපදෙනෙක්ම මට හමුවෙලා තියෙනවා. ඒ වගේ අයත් එක්ක වැඩකරන්නත් ආසාවක් ඇතිවෙනවා. දාම් කියන්නේ කුතුහලය පිරුණුම කතාවක්.

 

රඟපාද්දී ඔබට සිදුවුණු අමතක නොවන දේවල් එහෙම තියෙනවද?

දාම් ටෙලි නාට්‍යයේ මට තියෙනවා ත්‍රීරෝද රථයක් පදවාගෙන යන්න. ඇත්තටම මට ත්‍රීවීල් පදින්න පුරුදු නෑ. පුරුදු පුහුණු වෙමින් තමයි එක කරන්න සිද්ධ වුණෙත්. ඉතින් මම හෙමින් හෙමින් ත්‍රීවීල් එක පදවාගෙන යනකොට එකපාරටම ඒකේ වේගය වැඩිවෙලා ගියා මං දන්නෙම නැතිව. පස්සේ අනතුරක් වෙන්නත් ගිහින් අන්තිමට යාන්තම් ඒකෙන් බේරුණා. දැන්නම් අවුලක්ම නෑ. හොඳට ත්‍රීවීල් පදින්නත් පුළුවන්.

 

ඉදිරියේදීත් අපිට ඔබව දැක ගන්න පුළුවන් නිර්මාණ තියෙනවාද?

මම රඟපෑ ඔලිඳ කැලේ, සිත්, විසි එක යන ටෙලි නිර්මාණ ඉදිරියේදී එන්න තියෙනවා. වේදිකාව පැත්තෙන් අවසන් වරට සම්බන්ධ වුණේ මහින්ද පතිරගේ මහතාගේ අල්ලයි වලිගේ.

 

ධනුෂ්කාගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?.

 මට ඉදිරියට එහෙමම කියලා ලොකු බලාපොරොත්තුවක් නෑ. හොඳ නිර්මාණ වලට ඉදිරියේදීත් දායක වෙමින් කලාවේ තව දුර ගමනක් යන්න තමා අදහස් කරගෙන ඉන්නේ. කලාකාරිනියක් ලෙස මට මේ තුළින් අලුත් අලුත් දෙවල් ‍රැසක්ම තියෙනවා ඉගෙන ගන්න. සීමාවක් නෑ ඒවත් එක්ක හොඳ ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. විශේෂයෙන්ම මගේ පුතාගේ වැඩකටයුතුවලදී මගේ අම්මා ලොකු සහයෝගයක් මට ලබාදෙනවා. අම්මා මටත් වඩා හොඳට මගේ පුතාගේ ඉදිරිය ගැන හිතලා ඊට අවශ්‍ය සියලු වැඩකටයුතු මට සිදු කරලා දෙනවා. ඉතින් මහත්තයයි පුතායි එක්ක හොඳ පවුල් ජීවිතයක් ඉදිරියටත් ගතකරමින් පුතාට ඉතා හොඳ අනාගතයක් ඉදිරියේදි හදලා දෙන එක තමා මගේ බලාපොරොත්තුව වෙන්නේ. එහිදී පුතාට මම මිල මුදල් දේපළ යාන වාහන හම්බකරලා දෙනවාට වඩා ඔහුට අධ්‍යාපනය පැත්තෙන් උපරිම ඉදිරියට යන්න ඉතා හොඳ පසුබිමක් නිර්මාණය කරමින් සහයෝගය ලබාදීම තමා මා විසින් කරන්නේ. පුතාට මම ඒ ගැන කියලත් දෙනවා. අධ්‍යපනයට හිත යොමු කරලා ඒ පැත්තෙන් උපරිම ඉදිරියට ගියාම ඒ හැම දෙයක්ම තමන්ට ලබාගන්න පුළුවන් කියලා.

අද මං දකිනවා ළමයින්ට රසවින්දනය කියන එක ඇත්තෙම නෑ. ඒක නැති එක ලොකු අඩුපාඩුවක්. පාසල් අධ්‍යාපනයට රසවින්දනය සඳහා කාලයක් වෙන්කරලා දෙනව නම් හොඳයි. අද වන විට ඒ ගැන ළමුන්ට කියාදීම අත්‍යවශ්‍යයි. කලාව ගැන විතරක් නෙවෙයි හැම දෙයක්ම රසවිඳීම ගැන ඒ පැත්තෙන් මේ අලුත් පරපුරෙ ළමුන්ට හරියට ඒ දේ පාසල තුළින්ම කරන්න පුළුවන් නම් වඩා හොඳයි කියන එක තමා මගේ අදහස. මං එය බලාපොරොත්තු වෙනවා.