මේ ගෙවෙන්නේ මගේ හොඳම කාලේ

මහ පොළොව ටෙලි නාට්‍යයේ ජයසේන -මෞලි දුශ්මන්ත ෆර්ඩිනෑන්ඩු-
මැයි 6, 2021

 

2009 වසරේදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වුණු අරුංගල් ටෙලි නිර්මාණයේ චන්ද්‍රරත්නව ඔබට මතකද? නොඑසේ නම් මෑතකදී එම නාළිකාවෙන්ම විකාශනය වුණු මහපොළොව ටෙලි නිර්මාණයේ ජයසේනව මතකද? මේ චරිත ද්වයටම පණ පොවන්නේ මෞලි දුශ්මන්ත ෆර්ඩිනෑන්ඩු. ළමා රංගන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු මේ වනවිට නීතීඥවරයෙක් සේම රංගන ශිල්පියෙකි. නිරන්තරයෙන් දකින්නට නොමැති වුවද ප්‍රශස්ත නිර්මාණ තුළින්, භාවාතිශය චරිත තුළින් ඔබ හමුවට එන මෞලි සමඟ අපි මෙසේ කතාබහක යෙදුණෙමු.

 

 

මේ ගෙවෙන්නෙ මෞලිගේ ජීවිතයේ මොන කාලෙද?

මම හිතන විදිහට මේ ගෙවෙන්නේ මගෙ ජීවිතේ හොදම කාලේ. පොඩි කාලේ ඉඳලා අමාරුවෙන් ඉගෙන ගත්ත දේවල් එකතු කරපු දේවල් අත්විඳීන කාලේ මේ. ඒ වගේම මගේ නිදහස ඇතුළේ මම කරන වෘත්තීන් දෙකම භුක්තිවිඳීන කාලයක් මේ. මේ මම ආසම කාලයක්.

 

මෞලි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ පොඩි කාලෙ නේද?

මම මුලින්ම වේදිකාවට එන්නේ. මගේ තාත්තා කරපු "දියෙන් ගෙනා" කියන රාජ්‍ය ළමා නාට්‍යයෙන්. ඒක රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය වුණා. මට හොඳම ළමා නළුවාට සම්මානයක් ලැබුණා. තාත්තාගේ "එගොඩ ගොඩත් රත්තරන්" කියලා ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායක වුණා. ඊළඟට සුදත් දේවප්‍රිය මාව ඉස්කෝලෙට ඇවිල්ලා "උඩුගම් යෑමේ" කියන චිත්‍රපටිය චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට තෝර ගන්නවා. ඉන්පස්සේ වේල්ස් කුමර විද්‍යාලයේ තිස්ස සර්ගේ වේදිකා නාට්‍ය දහයකට දොළහකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සිහින චාරිකා, එවරස්ට් කන්ද, කොළ ඔටුන්න, පත්තිරුව, දුටුගැමුණු වගේ වේදිකා නාට්‍ය. මේ අතරවාරයේ සිරස නාළිකාවෙන් විකාශය වුණු සිතූගේ යාළුවෝ, පුංචි යාළුවෝ වගේ ළමා ටෙලිනාට්‍ය කීපයකට සම්බන්ධ වුණා. ඊටපස්සේ මම "තෙත් සහ වියළි" ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. 2008දී "අරුංගල්" ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඊටපස්සේ "තාත්තා" ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා.

 

මෑතකදී ප්‍රේක්ෂකයින් ඔබව දකින්නේ මහපොළොව ටෙලි නිර්මාණයෙන්.

"මහපොළොව" අධ්‍යක්ෂක සුමිත් රත්නායක අයියා මාව හඳුනාගන්නේ "අරුංගල්" ටෙලිනාට්‍යයේ මතකයෙන්. මේ චරිතය ටිකක් සංකීර්ණ චරිතයක්. එයා කාලයක් තිස්සෙ මේ චරිතය කාටද දෙන්නෙ කියලා හිතලා තියෙනවා. චරිතය රඟපෑවාට පස්සේ සුමිත් අයියා මට කිව්වා එයාගේ අපේක්ෂාව මගේ අතින් ඉටු වුණා කියලා. මහපොළොව ටෙලිනාට්‍ය මගේ චරිතය "ජයසේන". කුල සම්ප්‍රදාය පදනම් කරගත්ත ග්‍රාමීය පරිසරය තුළ දිවෙන නාට්‍යයක් මේක. ජයසේනගේ චරිතය යම් කිසි කුලවත් පවුලක නමුත් කුල භේද නොසලකා ජීවත් වෙන කෙනෙක්. ජයසේන කියන්නේ ජීවිතය වෙනස් විදිහට දකින හැමෝම සමඟ හොඳීන් ජීවත් වෙන කෙනෙක්. ඔහු අවසානයේ ජයදේව ලෙස චිත්‍ර ශිල්පියෙක් වෙලා තමන්ගේ ඉලක්කයට යනවා.

 

චිත්‍රපටයකට සම්බන්ධ වුණා නේද?

ඔව්. ඒ චිත්‍රපටයේ නම "තට්ටු දෙකේ ඉස්කෝලේ". බොහෝදුරට එය අගෝස්තු මාසයේ තිරගත වෙයි. ලලිත් රෝහණගේ අධ්‍යක්ෂණයක්. ළමයින් සහ වැඩිහිටියන් උදෙසා පරිසරයට මූලිකත්වයක් දීලා කරපු හොඳ නිර්මාණයක්. ඉතාම කාලෝචිත චිත්‍රපටයක් කියලා මම හිතනවා.

 

මෞලි ජනප්‍රිය ධාරාවෙන් බැහැරව නිර්මාණ කරන කලාකරුවෙක්ද?

ජනප්‍රියත්වයක් තියෙනවද නැද්ද ජනප්‍රිය වෙන්න ඕනෙද නැද්ද කියලා හිතන මම වැඩ කරන්නේ නැහැ. මට ලැබෙන කාල සීමාව තුළ සම්බන්ධ වෙන්න පුළුවන් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ඒ නිර්මාණ ජනප්‍රියත්වය අඩුද වැඩිද කියලා නිශ්චය කරන්න බැහැ. "මහපොළොව" වගේ නිර්මාණ ජනප්‍රිය නැහැ කියන්න බැහැ මට හොඳ ප්‍රතිචාර ඒ චරිතයට ලැබුණ නිසා.

 

මෞලි මව්පියන් සමඟ

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් මේ ගෙවෙන්නේ කීවෙනි වසරද?

මම ළමා රංගන ශිල්පියෙක් විදිහට වේදිකාවට එන්නේ 1997දී. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් අවුරුදු විසිහතරක් වගේ.

ආපු ගමන්මඟ දිහා නැවත හැරිලා බැලුවාම තෘප්තිමත්ද?

මම ඒ ගමන්මඟ ආවේ අධ්‍යාපනයත් එක්ක. මට අවශ්‍ය විදිහටම නෙමෙයි ඒ ගමන්මඟේ ආවේ. කලාවට අමතරව මට වෙනත් ඉලක්ක තිබුණා. එකක් ගමන් මගේ යම් යම් තැන්වලදී කලාවට දීපු බර අඩුයි. මම අධ්‍යාපනයෙන් ළඟා වුණු ඉලක්ක ගැන තෘප්තිමත්. කලා ක්ෂේත්‍රයේ මම සම්බන්ධ වුණු නිර්මාණ ගැන සතුටු වෙනවා. අධ්‍යාපනය නිසා අවුරුදු හතක් අටක් කලා ක්ෂේත්‍රය අත්හරින්න වුණා. ඒ කාලේ මට ආපු නිර්මාණ මම භාරගත්තේ නැහැ. දැන් තමයි මම හරියටම ගමන්මඟ පටන්ගත්තේ. දැන් තමයි මම මට ඕනේ විදිහට ඒ දෙකම කරන්නේ.

 

ඒ කියන්නේ මෞලි නීතීඥ වෘත්තිය පසෙකට දාලා දිගටම රඟපායිද?

කවදාවත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ වෘත්තීන් දෙකම මගේ ජීවිතයේ තියේවී. මට ඒ දෙකෙන් එකක් අතහරින්න කිසිම අදහසක් නැහැ.

 

හාත්පසින්ම වෙනස් රැකියා දෙකක ඔබ නිරත වෙන්නේ. කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ?

නීතීඥ වෘත්තිය කියන්නේ රැකියාවක් නෙමෙයි. වෘත්තියක්. අට පහ කරන රස්සාවක් නොවන නිසා මට මගේ වැඩ කලමනාකරණ කරගන්න පුළුවන්. වෙනත් රැකියාවකට වඩා ලැබෙන නිර්මාණ අනුව නීතීඥ වෘත්තියේ කාලය කළමනාකරණය කරගන්න පහසුයි.

 

මෞලිගේ තාත්තා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. කොහොමද ලැබෙන සහයෝගය?

මගේ තාත්තා හේමසිරි ෆර්ඩිනෑන්ඩු. මහබැංකුවේ සේවය කළේ. බැංකුවේ වැඩ කරන අතරතුර තාත්තා කලාවේ තමන් කැමති නිර්මාණවල නිරත වුණා. තාත්තා අධ්‍යක්ෂවරයෙක් සහ කලා අධ්‍යක්ෂවරයෙක්. පුංචි කාලේ මගේ නිර්මාණ සියල්ලම මට හොයලා දුන්නේ තෝරලා දුන්නේ මගේ තාත්තා. ඒ හැම නිර්මාණයක් පටිගත කරද්දිම තාත්තා මං එක්ක හිටියා. මම කලා ක්ෂේත්‍රයේ අද මෙතැන ඉන්න පළමුවැනි හේතුව මගේ තාත්තා. නීතීඥවරයෙක් වෙන්න හේතුව මගේ අම්මා. එයා ගුරුවරියක්.

 

ඔබ නිර්මාණ තෝරගැනීමක් කරනවාද?

මම රාමුගත වෙලා නිර්මාණ තෝරාගන්නා කෙනෙක් කියලා ගොඩක් අය හිතනවා. මට රංගනයට තියෙන්නේ සීමිත කාලයක්. ඒ නිසා මම හොඳ නිර්මාණයකට යොමුවෙන්න කැමතියි. නිර්මාණයකට සම්බන්ධ වෙන්න කලින් අධ්‍යක්ෂවරයා කවුද සහ පිටපත කොයිවගේද කියලා බලනවා. කොටස් දෙතුන් සියය දිගට යන නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් කොටස් සියය වුණත් ඒක හොඳ දෙයක් නම්, වෙනස් වැඩක් නම්, පිටපතට වටිනාකමක් තියෙනවා නම් මම ඒ නිර්මාණයට සම්බන්ධ වෙනවා. මෙගාද සම්භාව්‍යද කියලා බෙදාගෙන නිර්මාණ තෝරාගන්නේ නැහැ.

 

මෙතෙක් රඟපාන්න නොහැකි වුණු රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

මට මෙතෙක් හම්බුණේ භාව ප්‍රකාශය වැඩි චරිත සහ තැන්පත් චරිත. මේ රාමුවෙන් පිට ඕනෑම චරිතයක් බාර ගන්න කැමැත්තෙන් ඉන්නවා. දඩබ්බර, හිතුවක්කාර ප්‍රකාශනය වැඩි ඕනෑම චරිතයක් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ක්ෂේත්‍රයේ තරුණ රංගන ශිල්පීන් වැඩිමනක් ඇඟ සහ රූපය හදාගන්න මහන්සි වෙනවා. ඒත් ඔබ?

ඇත්තටම මම ඒ ගැන ඒ තරම් අවදනායක් දෙන්නේ නැහැ. අපිට ජන්මයෙන් උරුම වෙච්ච රූපයක් තියෙනවා. ස්වභාවික චරිතයක් රඟපාන කොට අපිට ස්වභාවිකත්වය එක්ක ජීවත් වෙන්න වෙනවා. මම මගේ ඇඟ සහ රූපය මට සුදුසු ලෙස හදාගන්නවා. ඕනාවට වඩා වැඩියෙන් මුකුත් කරන්නේ නැහැ

 

මෞලිගේ පෞද්ගලික විස්තර ගැන කිව්වොත්?

මට ඉන්නේ අම්මයි තාත්තයි අයියයි අක්කායි. අයියයි අක්කයි විවාහකයි. එයාලට ළමයි ඉන්නවා. මම පවුලේ බාලයා.

 

විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

බලාපොරොත්තුවක් තියෙනවා. හරියන කෙනා මුණගැහෙන්න ඕනේ. එහෙම මුණගැහෙන තෙක් ඉන්නවා. බලමු.

 

ඉදිරි වැඩ කටයුතු මොනවාද?

කලාව පැත්තෙන් හොඳ ටෙලි නිර්මාණ දෙක තුනකට සහ හොඳ චිත්‍රපටියකට සහභාගි වෙන්න අවශ්‍යතාවය තියෙනවා. නීතීඥ වෘත්තීය පැත්තෙම පුරුදු පුහුණුවීම් හොඳට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ටෙලි නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. මගේ වෘත්තිය වැඩත් එක්ක ඉඩහසර ලැබෙන විදිහට සම්බන්ධ වෙනවා.

 

ස්තූතියි කරන්න අය ඇති?

වේල්ස් කුමර විද්‍යාලයේ තිස්ස ගුණවර්ධන සර්ව මතක් කරන්න ඕනේ. මම මෙතන ඉන්න මූලිකම හේතුව මගේ තාත්තා සහ තිස්ස සර්. ඒ වගේම මම විශේෂයෙන් ස්තූතියිවන්ත වෙන්න ඕනේ සුදත් දේවප්‍රිය අංකල්, ලලිත් රත්නායක, සුමිත් රත්නායක සහ ලලිත් රෝහිත වගේ අධ්‍යක්ෂවරුන්. මේ සියල්ලම මට ඔවුන්ගේ නිර්මාණවල ප්‍රධාන චරිත ලබාදීලා මට ලොකු අද්දැකීමක් ලබාදුන් අධ්‍යක්ෂවරුන්.