රංගනයට චරිතයක් අවශ්‍යම නෑ

රෝහිත හේවාපන්න
මැයි 6, 2021

 

 

 

මම කුඩාකාලයේ සිටම කැමතියි චිත්‍රපට බලන්න. චිත්‍රපට බලනවිට මට කැමැත්තක් ආවා රඟපාන්න. අඩු තරමේ රඟපානවා කියලා පෙනී සිටීමට හරි පුළුවන් නම් කියලා මට හිතුණා. ඒ කාලේ දැන් වගේ දුරකථන පහසුකම් හරි අඩුයි. පත්තරේක දැන්වීමක් දාලා තිබුණා 1985 අවුරුද්දේ. එහි තිබුණේ රඟපාන්න අය ගන්නවා කියලා. මම ගියාම කිව්වා ඇදුමක් හඳන්න රුපියල් පන්සීයක මුදලක් අවශ්‍යයි කියලා. මම රුපියල් පන්සීය දුන්නා පසුව රූ ගත කිරීම් තියෙන තැන වෙලාව දිනය කියන්නම් කියලා. මට රූ ගත කිරීම් තියෙනවා කියලා ලිපිනයක් එවලා තිබුණා. එතැනට ගියාම තමයි තේරුණේ මම රැවටිල කියලා....

මේ හඩ අවදි කරන්නේ රෝහිත හේවාපන්න. රංගනය යනු දෙබස් කීම හා රංගනයේදී ප්‍රධාන චරිත හොයන කලා ක්ෂේත්‍රයේ ඉන්න සියල්ලටම ඔහු හොඳ ආදර්ශයක්. ඔහු රංගනයෙන් දායක වුණ නිර්මාණ බොහොමයක් තිබුණත් ඒවා අතරින් බොහොමයක ඔහු පෙනී සිටීමක් පමණයි සිදු කර ඇත්තේ. සිය ආශාව නිසාම ලැබෙන චරිතයේ ප්‍රමාණය නොබලා තම උපරිමය ඒ වෙනුවෙන් ලබා දුණි. සරසවිය අප සොයා ආ කලාවට හිතැති මේ සුන්දර මිනිසා සම්ඟින් අප මෙසේ හඩ අවදි කළෙමු.

 

රඟපාන්න ආරම්භ කරන්නේ?

මම එච්. ආර්. ජෝතිපාල ගුණ සමරු පදනමේ සාමාජිකයෙක්. එහි තිබූ රැස්වීකදි මම මුණ ගැසුණා මහත්මයෙක්. ඔහු මට කිව්වා හිරු නාළිකාවේ විකාශය වන ජේල් කියන ටෙලිනාට්‍යයේ වතු අධිකාරීවරයෙකුගේ චරිතයක් තියෙනවා. නමුත් එය ලොකු එකක් නෙවෙයි තප්පර තිහක කොටසක්. රඟපෑමට තිබුණ කැමත්ත නිසාම මම ඒකට කැමති වුණා. නැවත හිරු නාළිකාවෙන්ම කළා තෙවෙනි ඇස කියලා නාට්‍යයක්. එහි මම පොළිස් නිළධාරියෙකුගේ චරිතය කළා. ඉන්පසු තිමිරගෙය කියලා නාට්‍යක සුළු චරිතයක් රඟපෑවා. ඔය විදිහටයි මම රංගනය ආරම්භ කරන්නේ.

 

කලාවට එන්න උදව් කළ අයත් ඇති?

මගේ රංගන හැකියාව දැකලා දිල්රුක්ෂි වීර පරාක්‍රම තමයි මට බොහෝ සේ උදව් කළේ. ඇය මා හඳුනාගෙන මට කිව්වා ඔයා පෙනී සිටීමට යන්න අවශ්‍ය නෑ. ඔයාට රංගනයට හැකියාවක් තියෙනවා කියලා. පළමු දෙබස් සහිත චරිතය නිරූපනයට මට අවස්ථාව ලබා දෙන්නේ ඇය යි.

 

එහෙම ආ ගමනේ ඔබ සම්බන්ධ වුණ නිර්මාණ ගැනත් කියමු?

මා රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය ජේල්, තෙවෙනි ඇස, තිමිර ගිර, ආගන්තුකයා, කුවීන්, කූඹියෝ, උරුමයක අරගලය, රාවණා, රකුන් ගිර, අඩෝ, අමාලියා, 33නේ කාමරය, දාංගලේ, ඉව, බ්ලැක්ටවුන් ස්ටෝරි, නාඩි, හතේ කල්ලිය, ඔබ නිසා, නෑනලා, තුම්පනේ, බස්එකේ ඉස්කෝලෙ

වගේම රගපෑ චිත්‍රපට සමූහ දර්ශන සමඟ බොම්බෙයි වෙල්වට්,ඇඩ්රස් නෑ, ඇගේ ඇස අග. උගුලයි මගුලයි, සුනාමි, උදුම්බරා, ගුත්තිල,පානදුරා වාදය, ප්‍රසිඩන්ට් සුපස්ටා, පිංක්, මා වෙගේම මේ දිනවල තිරගත වන කබඩි චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙනවා.

 

මේ සා නිර්මාණ ගොන්නකට දායක වුණත් ප්‍රධාන චරිතයක් නොලැබීම ගැන මොකද හිතෙන්නේ?

රංගනයට ප්‍රධාන චරිතයක්ම අවශ්‍ය නෑ. ආනුශාංගික චරිතක් වුවත් ප්‍රධාන චරිතයක් වුණත් එය රංගනයක්. මම ඉතාම කැමැත්තෙන් මට ලැබෙන චරිතය කරනවා. මම රංගනය ආරම්භ කරන්නෙත් මැදි වයසෙදි. මට ලැබෙන දේ සහ මම කරන දේ ගැන මං සෑහීමකට පත් වෙනවා.

 

ඔබ වෘත්තීයෙන් කවුද?

මම රාජ්‍ය සේවයේ විශ්‍රාම ගිය සේවකයෙක්. අමාත්‍යාංශ ගණනාවක ඒකාබද්ධ සේවයේ ඉදලා විශ්‍රාම යන්නේ ධීවර අමාත්‍යාංශයේ දී.

 

ඔබේ පව්ලෙන් ලැබෙන සහයෝගයත් මතක් කරමු?

මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ බිරිඳ මට හොඳ හවුල් කරුවෙක් මගේ වැඩවලදි. විශ්‍රාම සුවයෙන් කල් ගත කරන කාලයේ කලාවට ආසව නිසාම රඟපාන්න හිතුවා.

 

ඔබට ස්තූති කරන්නත් පිරිසක් ඇති?

නම් වශයෙන් සඳහන් කරන්න ගියොත් බොහෝ දෙනෙක් සිටිනවා. ඒ නිසා මා හට උදව් උපකාර කළ සියලු දෙනාටම ස්තූති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

 

මොනවද බලාපොරොත්තු?

මේ තාක් මා දායක වූයේ ආගන්තුක චරිතවලට. නමුත් මට නාට්‍යයක් තුළ නිමාවතෙක්ම තිබෙන චරිතයක් රඟපෑමට කැමැත්තක් තියෙනවා.

 

ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම්?

මගේ ලිපිනය - අංක 196/3, නවම් මහර, රාගම