තමන් තමන්ට මුලින් ආදරේ කරන්න ඕනෑ

හෙක්ටර් ඩයස්
මැයි 6, 2021

කාලෙන් කාලෙට කලා ක්ෂේත්‍රයට විවිධ තරු පායති. නමුත් කාලයක සිට නිහඩ ගමනක් යමින් ක්ෂේත්‍රයේ තම ගායන කෞශල්‍ය වගේම වාදන කෞශල්‍යද මනාව ඔප්පු කරමින් ආ ගමන් මගේ අද වෙනමම හැරවුම් ලක්ෂයකට ඔහු ගොසිනි. මේ දිනවල රාත්‍රි 8.00 ට හිරු ටීවී නාළිකාවේ දිගහැරෙන ' දිවිතුරා' අගස්ති එක්ක නොඑසේ නම් හැමෝම ආදරේ කරන නිල්වන් මුහුදුතීරේ ගීතයට වෙනස්ම හැඩයක් එක්කළ හෙක්ටර් ඩයස් එක්ක සරසවිය අපි කතා කළෙමු.

 

අගස්ථි, හෙක්ටර් කියවගත්තේ කොහොමද?

මේ ටෙලිනාට්‍ය නිෂ්පාදන කණ්ඩායම මුලින්ම චරිතය පිළිබඳ මට හඳුන්වාදීමක් කළා. මගේ සැබෑ චරිතයට සමාන නොවුණත් මෙහි ගායනය පැත්තෙන් යමක් කිරීමට ඇති නිසා චරිතය නිරූපණය කිරීම තරමක් පහසුයි. අගස්තිට හැමදේම නොරුස්සන චරිතයක් තියෙන්නේ. නමුත් ඇත්තටම මට හොඳ ඉවසීමක් තියෙනවා. ඕනෑම දෙයක් දෙස සාධාරණව බලන නිවුන චරිතයක් මම. මගේ සැබෑ චරිතයට විරුද්ධව යන අගස්තිගේ චරිතය නිරූපණය එක පාරටම අපහසු වුණත් ඒ අභියෝගය මම භාරගත්තා.

 

'දිවිතුරා' හෙක්ටර්ට අලුත් අද්දැකීම් ගොන්නක්?

ඔව්. මම වෘත්තීය රංගන ශිල්පියෙකු නොවේ. මේ මගේ ප්‍රථම අද්දැකීම. මේ නිර්මාණය හඳුන්වාදීමේදී කියැවුණේ මෙය තවත් ටෙලිනාට්‍යයක් නොවේ යන්න. මටත් එය හැඟෙනවා. ඉතාම උසස් මට්ටමක නිර්මාණයක්. එවැනි නිර්මාණයකට දායක වීමම මට ලොකු අත්දැකීමක්. ඒ වගේම මට හෙලිකොප්ටර් එකේ යන අවස්ථා එය රූ ගත කිරීම වෙනස්ම අත්දැකීමක් වුණා. මොකද හෙලිකොප්ටර් එක ඇතුළෙත් කැමරාකරුවෙක් ඉන්නවා. ඒ වගේම මගේ සාමාන්‍ය ජීවිතයට එහා ගිය මේ චරිතය තුළ නිතරම කේන්තියෙන් ඉන්න ඕන. එයද මට ලොකු අත්දැකීමක් වුණා. මම ඇත්ත ජීවිතයේ හාත්පස වෙනස් චරිතයක් නිසා.

ක්ෂේත්‍රයට අලුත් නළුවෙක් ඇවිත් කියන තරමට ඔබ බාහිර පෙනුමෙන් වෙනස් වෙලා. ඔබේ වයසේ අය ජීවීතය අතහරින කාලයක ඔබ ඒ අයට හොඳ අභිප්‍රේරණයක්. මොකද හිතෙන්නේ?

කුඩා කාලයේ සිටම මම හරිම කැමතියි ලස්සනට අඳින්න. කන්න බොන්න නැති වුණත් මම ආසයි ලස්සනට පිළිවෙළට ඉන්න. ඉතින් ඒ මා පුරුදු වූ පැවැත්මයි මේ ආකාරයට රැගෙන එන්නේ. දැන් මම ජීවිතයේ හතරවෙනි දශකය පසු කරමින් ඉන්නේ. නමුත් මම තාමත් මගේ ශරීරය හා විලාසිතාවන් ගැන සැලකිලිමත්. අපි කන්න බොන්න විනෝද වෙන්න ඕන. ඒ හැමදේම වගේ අපි අපි ගැනත් හිතන්න ඕන. බැඳලා දරුවො ලැබුණම අපේ ජීවිතය ඉවරයි කියලා හිතලා අතෑරලා ඉන්නවා. නමුත් මම කියන්නේ තමන්ට තමන් මුලින් ආදරේ කරන්න ඕන. එහෙම වුණොත් අනිත් අයත් තමන්ට ආදරේ වෙනවා. ආකර්ෂණය වෙනවා. මටත් දරුවො තුන් දෙනෙක් ඉන්නවා. මාව දැකලා කවුරුහරි අභිප්‍රේරණය වෙනවනම් ඒක මට ලොකු සතුටක්.

 

'දිවි තුරා' ගීතය ඔබට විශේෂයි?

මෙහි සංගීතය කළේ තිළිණ රුහුණගේ. රෙකෝඩ් කරන තැනට එනකම් ගීතයේ පදවැල හෝ තනුව ගැන මම දැනගෙන හිටියේ නෑ. මේ ගීතය පැයක් ඇතුළත ගායනා කළා. පහුවදා රූගත කිරීම් ආරම්භ කරන නිසා එය ඩමියක් ලෙසයි මා කළේ. නමුත් මෙය ඇසූ නිෂ්පාදන කණ්ඩායම එම ගීතයට කැමැති වුණා. ඔවුන් එය පිළිගත්තා. නැවත රෙකෝඩ් කළ යුතු යැයි මගෙ හිත කීවත් ඒ ගීතයට හැමෝම එක හා සමානව කැමැති වූ නිසා ඩමිය ගීතයක් වුණා. (සිනාසෙමින්)

 

රූගත කිරීම් ආරම්භයේදී පළමුව චරිතය නිරූපණය කරන අවස්ථාවේ මොනවගේ හැඟීමක්ද තිබුණේ?

ඇත්තටම මට හිනා ගියා. මොකද ඒ අවස්ථාව තිබුණේ මම ඉතාම කේන්තියෙන් තේමියට බැන වදින අවස්ථාවක්. සහ ඔහුට ගහන්න බැරි කමට මේසයට ගහනවා. මට නුහුරු ඒ කේන්තිය ගන්න ගිහින් මට හිනා ගියා. එතනින් එහාට මේ චරිතය නිරූපණය කළේ කොහොමද කියලා මටම හිතාගන්න බෑ. රූගත කිරීමෙන් අනතුරුව තිරය දෙස බලනවිට ලොකු සතුටක් දැනුණා. මම නොවන චරිතයක් මට මවන්න පුළුවන් කියන හැඟීම දැනුණා.

ක්ෂේත්‍රයේ දිගු කාලයක් ඔබ ඉන්නවා. අද වනවිට තාක්ෂණය එක්ක සංගීතය වෙනස්ම මානයකට ගිහින්. ආපසු හැරිලා බලන විට මොකද හිතෙන්නේ?

පරම්පරාවෙන් පරම්පරාවට විවිධ වෙනස්කම් වෙන්න පුළුවන්. එය තේරුම් ගෙන මේ ගමන යා යුතුයි. අපි දියුණු නැතුව අපේ දක්ෂතා ප්‍රගුණ කරගන්නේ නැතුව තාක්ෂණය දියුණුවෙලා වැඩක් නෑ. මට ගායන හැකියාවක් නැතුව වචන වේගෙන් කියලා එයට තාක්ෂණයේ තියෙන හැමදේම මුසු කළත් මම ගායකයෙක් නෙවේ. පෙර පරම්පරාව දක්ෂතා මුල්කරගෙනයි මිනිසුන් අතරට ගියේ. තාක්ෂණය දිනෙන් දින දියුණු වෙනවා සේම දක්ෂතාවයද දියුණු කරගත යුතුයි. එයයි මගේ හැඟීම.

 

ඔබේ බිරිඳ ඔබේ හෙවණැල්ල මෙන් ඔබ පසුපසින්ම ඉන්නවා?

මේ චරිතය භාර ගන්න කළින් මම බිරිඳ සමඟ මේ ගැන කතා කළා. ඇයගේ කැමැත්ත හා ආශීර්වාදය සමඟයි මා මෙයට එකඟ වෙන්නේ. බිරිඳගෙන් ලැබෙන සහයෝගය අපමණයි. ඒ වගේම මගේ දරුවෝ මගේ නැන්දම්මා මට මගේ අම්මා වගේ ඇයයි මගෙ දරුවො බලාගන්නේ. දරුවො ප්‍රංශයේ ඉද්දි බිරිඳ ලංකාවට ආවා මට උදව් කරන්න. මගේ ඇඳුමේ ඉඳලම ඇයයි හැමදේම සූදානම් කරන්නේ. මගෙ සියලු කටයුතුවලට අතහිත දෙන්නේ බිරිඳ තමයි.

 

'නිල්වන් මුහුදු තීරේ' තුළින් රසිකයා වෙනමම තැනකට එක්ක ගිය ඔබ 'දිවිතුරා' එක්ක රංගනයට කොටු වෙයිද? ඔබේ හඬට ආදරේ කරන රසිකයා අමතක වෙයිද?

කොහෙත්ම නෑ. මම හෙට (07 වැනිදා) සවස 4.45 ට මගේ අලුත්ම ගීතය '' අඟනක් දෝ ඔයා '' රිලීස් කරනවා. මෙහි ගී පද ඩෙන්සිල් නුගේගොඩගේ සංගීතය අශේන් චක්‍රවර්තී. ගීතයට ගැළපෙන රූප රචනාව සන්දේශ් බණ්ඩාරගෙ. ඔහු තමයි නිල්වන් මුහුදු තීරේ රූප රචනාව කළෙත්. ඒ වගේම ගීතය රෙකෝඩින් කළේ කෙවින් තමෙල්. ඔහු විශේෂයි මට. ඔහුගේ පියා අරුන් තමෙල් මගේ පාසලේ මගෙ පන්තියේ මගේ මිතුරා. මම ආරාධනා කරනවා සියලු දෙනාටම නිල්වන් මුහුදු තීරේ එක්ක එක්තු වුණා වගේම ' අඟනක් දෝ ඔයා' සමඟ එකතු වෙන්න කියලා.