බල්ලෙක් වළහෙක් කළ ශබ්ද පරිපාලකගේ නිහඬ චරිතාපදානය

ජෝර්ජ් මනතුංග
අප්‍රේල් 22, 2021

 

ඒ වන විට මු. අරුක්ගොඩ විසින් අධක්ෂණය කරනු ලැබූ “මුවන්පැලැස්ස” චිත්‍රපටයේ වැඩ කටයුතු බොහෝ දුරට අවසන් වී තිබිණි. ඉතිරිව තිබුණේ වලසකු ගොරවන හඬ චිත්‍රපටය සඳහා එක් කිරීම පමණකි.

මෙහි ශබ්ද පරිපාලකවරයා වූයේ ජෝර්ජ් මනතුංගය.ඔහුගේ ‘ශබ්ද පුස්තකාලයේ ’ බොහෝ ශබ්ද වල හඬ පට තිබූ නමුත් වලස් හඬක් තිබුනේ නැත. වහාම තම ගෝලයාට කතා කළ ඔහු චිත්‍රාගාරයේ තමා විසින් සුරතලයට ඇති කරනු ලබන “බ්‍රවුන්” නැමැති සුනඛයාව රැගෙන එන ලෙස දැනුම් දුන්නේය. අනතුරුව මයික්‍රෆෝනය සූදානම් කොට පටිගත කිරීම තම සහායකයාට බාර දුන් ජෝර්ජ් මනතුංග , එක අතකින් බ්‍රවුන් ගේ හොම්බත් , අනෙක් අතින් උගේ වලිගයත් අල්ලාගෙන ක්‍රමානුකූලව මිරිකන්නට වූයේය. මෙම අපූර්ව දඬුවමට විරෝධය විරෝධය පළ කරන්නට බ්‍රවුනා විසින් ගත් උත්සාහය උගේ කටින් පිටවූයේ වලසකුගේ ගෙරවුම් හඬක් ලෙසිනි.

දෙබස් කැවීමේදී එම හඬට සවන් දුන් අධ්‍යක්ෂ මු. අරුක්ගොඩ, මනතුංග විසින් මේ තරම් ඉක්මනට වලසකු සොයා ගැනීම පිළිබඳව සිය සතුට පළ කළේය. ඒ සතුට පුදුමයක් බවට පත් වූයේ වලස් තඩියා වෙනුවෙන් දෙබස් කවන ලද්දේ සරසවි චිත්‍රාගාරයේම හැදී වැඩෙන ‘බ්‍රවුනා ’ විසින් යයි දැන ගැනීමෙන් පසුවය.

මේ ජෝර්ජ් මනතුංග නම් ශබ්ද පරිපාලකවරයාගේ එක වැඩකි. සිංහල සිනමා ඉතිහාසය මුළුල්ලේ චිත්‍රපට සිය ගණනාවක ශබ්ද පරිපාලකවරයා ලෙස කටයුතු කළ ඔහු විසින් කරන ලද මෙවැනි නිර්මාණ සිය ගණනක් වෙයි.හඬසමඟ ඔහුගේ ගණුදෙනුව පටන් ගන්නේ ගීත පටිගත කරන්නෙකු ලෙසය. ඒ ප්‍රවීණ ශබ්ද පරිපාලකවරයෙකු වූ මර්වින් රුද්‍රිතුගේ සහායකයා ලෙසය.

ස්වකීය ජීවිතයේ වෘත්තීය අනන්‍යතාවය සනිටුහන් කළ එම ගමනට මුල පිරීමේ කතාව පටන් ගන්නට සිදුවන්නේ 1940 දී මාතලේ නගරයෙනි. ජෝර්ජ් මනතුංග උපත ලද්දේ එහිදීවන බැවිනි.

 

සිංහල සිනමාව මෙරට පොදු ජනයාගේ කලා මාධ්‍යයක් බවට පත් වූයේ ඒ සඳහා අවංකව සිය හැකියාව කැප කරනු ලැබූ ජෝර්ජ් මනතුංගලාගේ නොමසුරු දායකත්වයද මුල් කර ගනිමිනි. ඉඳහිට සිනමා පුවත් පතක සිදු කෙරුණ සාකච්ඡාවකදී හැරුණු කල, නළු නිළියන් මෙන් සුලබව සිනමා ප්‍රේක්ෂකයන්ට දක්නට නොලැබුණ මේ පිරිස යම් පමණකට හෝ අපගේ මතකයේ  රැඳුණේ චිත්‍රපට නාමාවලියේ  නිරන්තර දක්නට  ලැබීමෙන් පමණි. 

 

කච්චේරියේ ජ්‍යෙෂ්ඨ ලිපිකරු තනතුරක් දැරූ සිය පියාණන් මනතුංග කුඩා කාලයේදීම අභාවප්‍රාප්ත වූ අතර, ඔවුන් මේ වන විට මහනුවර ගැටඹේ පදිංචිව සිටියහ. මනතුංග අධ්‍යාපනය ලැබුවේ ගැටඹේ ශාන්ත ජෝන් විදුහලිනි.

ඉතා කුඩා කාලයේදීම දැඩි සිනමා ලෝලියෙකු වීමේ අවස්ථාව මනතුංගටඋදාවූයේ සිය මව විසින් ඔහුව “කඩවුණ පොරොන්දුව”බලන්නට රැගෙන යාමත් සමඟය. ඒ ඔහුට වයස අවුරුදු හතේදීය. එතැන් සිට මහනුවර රීගල්, වෙම්බ්ලි ඇතුළු සිනමා හල්වලට පැමිණෙන සෑම චිත්‍රපටයක්ම කෙසේ හෝ නැරඹීමේ අවස්ථාව උදාකරගත් මනතුංග, එවකට ජ්‍යෙෂ්ඨ විභාගය නමින් හඳුන්වනු ලැබූ අධ්‍යාපන කඩ ඉමේදී පරාජයට පත් වූයේය.

ජ්‍යෙෂ්ඨය අසමත් වූ ජෝර්ජ් මනතුංග තරුණයා ටික දිනක් සිය බාප්පා කෙනෙකුට අයත් ගැටඹේ “අයිලන්ඩ් ටුවර්ස්’ ගරාජයේ වැඩ ඉගෙන ගත්තේ මැකෑනික් කෙනෙකු වශයෙනි. ඉන් අනතුරුව කොලොන්නාවේ ජීවත්වු සිය මාමා කෙනෙකු නිසා ඔහුට අගනුවරට සම්ප්‍රාප්ත වීමේ අවස්ථාව උදා වූයේය. එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ (ගුවන් විදුලි සංස්ථාවේ) සේවය කළ ශබ්ද පරිපාලකවරයෙකු වූ මර්වින් රුද්‍රිගු ළඟට මනතුංගව යොමු කරන ලද්දේ මේ මාමා විසිනි. මනතුංගවද මෝටර් රථයේ නංවා ගත් මර්වින් රුද්‍රිගු ඔහුව ගුවන් විදුලි කාර්යාලය තුළටද කැඳවාගෙන ගියේය.

ඒ වන විට ගුවන් විදුලිය බාර ලොක්කා වූයේ එම්.ජේ. පෙරේරාය. ඔහුගේ මළණුවන් වූ එම්.එස් . පෙරේරා විසින් “ඉන්ටර්නැෂනල් රෙකෝඩින් ස්ටුඩියෝ ” නැමැති ශබ්දාගාරය මිලට ගන්නා ලදී. පසුව සරසවි චිත්‍රාගාරය බවට පත්වූ මෙය එකල පිහිටා තිබුණේ කොල් ̈පිටියේය. එහි පටිගත කිරීමේ කටයුතු බාර වූයේ මර්වින් රුද්‍රිගුටය. මර්වින්, එහි වැඩ කටයුතු සඳහා තම සහායකයා ලෙස ජෝර්ජ් මනතුංගව පත් කර ගන්නා ලදී. ජෝර්ජ් මනතුංගගේ ශබ්ද පරිපාලන වෘත්තිය සඳහා නිසිපරිදි මුල් ගල තැබුණේ එපරිද්දෙනි. ඔහුගේ ගුරුවරයා වූ මර්වින් රුද්‍රිගුද ගුරු මුෂ්ටියක් ඉතිරි කර නොගනිමින් සිය ̈ දේ මනතුංග තරුණයාට කියා දුන්නේය . මෙහි මුලින්ම පටිගත කරනු ලැබුවේ ඩිස්කෝ ගීතය. පසුව සුනිල් ශාන්තගේ “හඳපානේ” වැනි ගීත පටිගත කිරී මද සිදු කෙරිණි.

ගීත පටිගත කිරීම්වලට අමතරව කරුණාරත්න අබේසේකර ආදීන්ගේ වෙළඳ දැන්වීම් සඳහා වූ “ රේඩියෝ ස්පොට්” පටිගත කිරීම්ද මෙහිදී සිදු කෙරිණී.

මේ වන විට තනිවම පටිගත කිරීමක් සිදු කළ හැකි ආකාරයට මනතුංග වැඩේ අල්ලාගෙන සිටි අතර , රේඩියෝ ස්පොට් පටිගත කිරීම ඔහුට බාර විය.

ගම්පෙරළිය අධ්‍යක්ෂණය කරමින් සිටි ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රාගාරයට ගොඩවැදුණේ මේ අතරතුරදීය. “ඇයි ඔය ගොල්ලො සින්දු විතරක් කරන්නෙ? චිත්‍රපටවලට අත ගහන්න කැමැත්තක් නැද්ද?” යයි හෙතෙම විමසීය.

ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර චිත්‍රාගාරය සතුව නැති බව පැවසූ විට ලෙස්ටර් මහතාගේ පිළිතුර වූයේ “මැෂින් ගෙනල්ල වැඩ පටන් ගන්න. අපි චිත්‍රපටවල දෙබස් කවන්න එන්නම්” කියාය.

ඒ අනුව මර්වින් රුද්‍රිගු ඉන්දියාවට ගොස් අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර රැගෙන ආ අතර, මුලින්ම ගම්පෙරළිය චිත්‍රපටයේ දෙබස් කැවීම ආරම්භ කෙරිණි. එහි ප්‍රධාන ශබ්ද පරිපාලකයා මර්වින් රුද්‍රිගුවූ අතර සහායකයා වූයේ ජෝර්ජ් මනතුංගය.

එතැන් සිට “රන්සළු” “දෙලොවක් අතර” ආදී වශයෙන් ලෙස්ටර් මහතාගේ තවත් චිත්‍රපට රැසකටද ශබ්ද පරිපාලන සහායකයෙකු ලෙස සම්බන්ධ වීඅත්දැකීම් රැසක් ලබා ගැනීමේ අවස්ථාව ජෝර්ජ් මනතුංගට උදාවිය.

මෙසේ සිනමාවත් සමඟ බද්ධ වූණ ඔහුට තනිවම ශබ්ද පරිපාලනයේ යෙදීමට අවස්ථාව උදා වූයේ වසන්ත ඔබේසේකරගේ “දියමන්ති ” චිත්‍රපටයෙනි. ඔහ ප්‍රථම වරට හොඳම ශබ්ද පරිපාලකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේද වසන්ත ඔබේසේකරගේම “පළඟැටියෝ’ චිත්‍රපටයෙනි.

ඩිජිටල් තාක්ෂණය විසින් සිනමාව ආක්‍රමණය කරන තෙක්ම චිත්‍රපට සිය ගණනාවක ශබ්ද පරිපාලකවරයා ලෙස කටයුතු කළ ජෝර්ජ් මනතුංගගේ ගමන් මගෙහි ඇති මතක සටහන් කන්දරාව කිසිසේත්ම පොතකට විනා ලිපියකට ගොණු කළ හැක්කක් නොවේ.

සිංහල සිනමාව මෙරට පොදු ජනයාගේ කලා මාධ්‍යයක් බවට පත් වූයේ ඒ සඳහා අවංකව සිය හැකියාව කැප කරනු ලැබූ ජෝර්ජ් මනතුංගලාගේ නොමසුරු දායකත්වයද මුල් කර ගනිමිනි. ඉඳහිට සිනමා පුවත් පතක සිදු කෙරුණ සාකච්ඡාවකදී හැරුණු කල, නළු නිළියන් මෙන් සුලබව සිනමා ප්‍රේක්ෂකයන්ට දක්නට නොලැබුණ මේ පිරිස යම් පමණකට හෝ අපගේ මතකයේ රැඳුණේ චිත්‍රපට නාමාවලියේ නිරන්තර දක්නට ලැබීමෙන් පමණි.

නමුත් පසුගිය වසර ගණනාව අතීතයට එකතු වූයේ මොවුන් පිළිබඳ මතකයන් පමනක් නොව එදවස අප මහත් ආශාවෙන් චිත්‍රපට නැරඹූ සිනමා ශාලාද පොළොවට සමතලා කර දැමූ යුගයක්ද සමගය.

එවන් කාලයක ජෝර්ජ් මනතුංග පිළිබඳ මතකය යළිත් අවදි කරවනු ලැබුවේ අප මිතුරු ජනමාධ්‍ය අමාත්‍යංශයේ සේවය කරන ලේක්හවුසියේ මොහාන් බද්දේගම විසිනි. ඒ අතුරුගිරියේ ගෝවින්න පාරේ කෙළවරට වන්නට වූ තැනක පිහිටි කුලී නිවසක ජොර්ජ් ජීවත් වන බවය.

වරක් පියනැගූ විට දෙවරක් ගොඩවදින්නට සිත් දෙන ආකාරයේ ගේ පොඩ්ඩක් තුළදී අපට හමුවූ ජෝර්ජ් මනතුංග මෙතෙක් යටපත්ව තිබූ අතීතය කරා අප රැගෙන ගියේ සිනමාපටයකින් කදිම අතීතාවර්ජනයක් ඉදිරිපත් කරන්නාක් මෙනි.

ශබ්ද පරිපාලනය යන ටයිටලය චිත්‍රපට නාමාවලිය මත දැක තිබුණද, ජස්ටින් බෙලගමගේ විසින් සකස් කරන ලද “ සිනමා විශ්වකෝෂයේ ” එය අර්ථ දැක්වෙන්නේ ශබ්ද සංස්කාරක (ඉධභදඤ ඡ්ඤඪබධප) යනුවෙනි.

ශබ්ද සංස්කාරකවරයාගේ කාර්යය යටතට තවත් වගකිවයුතු කාර්යයන් ගණනාවක්දඇතුළත් වන අතර , අවසානයේ අධ්‍යක්ෂවරයා සෑහීමකට පත්වන තුරු ශබ්ද සංස්කරණ කටයුතු කරගෙන යෑමත් , සිය ශබ්ද පථ සැකසුණ පසු ඒවා ශබ්ද මිශ්‍රණය සඳහා සූදානම් කිරීමත් ඔහුගේ වගකීම වේ.

බෙලගමගේ ශබ්ද කෝෂයේ සඳහන් වන පරිදි ශබ්ද ප්‍රයෝග, ශබ්ද සංයෝජනය, ආදී වශයෙන් විෂයන් ගණනාවක් ශබ්ද සංස්කාරකවරයා යටතට වැටේ. නමුත් එහිම දක්වා ඇති පරිදි අඩු පිරිවැයක් සහිත නිෂ්පාදනයකදී ශබ්ද සංස්කාරකවරයාට නැතිනම් අපට අනුව ශබ්ද පරිපාලකවරයාට විවිධාකාර ශබ්ද සැලසුම් කිරීමේ සිට ශබ්ද සංස්කරණය දක්වා කුදු මහත් කටයුතු වල වගකීම බාර ගන්නට සිදුවේ.

ඒ අනුව ජෝර්ජ් මනතුංගට තමාගේ මුල් චිත්‍රපටය වූ ගම්පෙරළියේ සිට තමාගේ අවසාන චිත්‍රපටය වූ ජොලි බෝයි දක්වා කටයුතු කරන්නට සිදු වූයේ ඒ ආකාරයටය.

සරසවි චිත්‍රාගාරයේ ශබ්ද නිර්මාණය කිරීමේ කටයුතු මුලින්ම පටන් ගත්තේ තමා විසින් යයි මනතුංග කියයි.

මුවන්පැලැස්සේ වළසාට දෙබස් කැවීම ආදී කටයුතු හැරුණ කල ගීත පටිගත කිරීම්වලදීද මනතුංගට සිය නිර්මාණ දායකත්වය සැපයීමට සිදුවී තිබේ.

සුනිල් ආරියරත්න ලියූ වික්ටර් රත්නායක ගයන තොටුපොළ අයිනේ ගීතය ඉන් එකකි. එහි සංගීතඥයාට සිය සංගීත නිර්මාණයේදී හබල ජලයේ වැදී බුබුළු නන්වන හඬ අවශ්‍ය වූයේය.

හොඳ ගස්ලබු බටයක් තෝරා ගත් මනතුංග එහි කොළ ටික අයින් කළේය. අනතුරුව බටය මැදින් පැලුවේය. ඉන් පසු අනෙක් කෙළවරට කට තබා පිඹිමින් වතුර බුබුලු නැන්වෙන හඬ නිසි පරිදි නිර්මාණය කිරීමට හෙතෙම සමත් වූයේය.

වතුරෙන් දිය බුබුලු නැගෙන හඬ මෙන්ම චිත්‍රපටයක ගින්නක් දැල්වෙන හඬ ඇති කිරීම සඳහාද ඔහු විසින් භාවිතා කරනු ලැබුවේ ඉතා සරල උපක්‍රමයකි. එය නම් චිත්‍රාගාරයේ අතන මෙතන දමා ඇති ඉවත දමන ලද පොසිටිව් පටලඑකතු කරගෙන විත් මයික්‍රෆෝනය ඉදිරියේ ක්‍රමානුකූලව පොඩි කිරීමය. තිරයේ ගිනි දැල්ල ඇවිලෙන ආකාරයට සමාන්තරව ඒවා පොඩි කිරීමෙන් ගිනි දැල්ලෙන් නැගෙන හඬ නිසි පරිදි ප්‍රේක්ෂකයාට දැනවීමට ඔහු සමත් වූයේය.

බොහෝ විට සුලභව කෙරුණ පරිදි අශ්වයින් දුවන අවස්ථාවලදීකුර හඬ නිකුත් කිරීමට ඔහු විසින් භාවිතා කරනු ලැබුවේ ද පොල් කටු දෙකකි.

“නමුත් ඒකත් ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. හරියටම අශ්වයාගේ කකුල් පොළොවේ වදින විදිය අපි බලා ගන්න ඕනෑ, පොල් කටු වලින් ශබ්දය නිකුත් කළ යුත්තේ ඒ අනුවයි” මනතුංග පැහැදිලි කළේය. මේ කාලයේ බොහෝ වාණිජ චිත්‍රපට වල එකිනෙකා හා සටන් වදින විට නැඟෙන හඬ මීට වඩා ප්‍රමාණවත් ජවයක් සහිත විය යුතු යයි ඔහු කල්පනා කළේය. ඒ සඳහා බටහිර චිත්‍රපටය තිබූ තමා සිත් ගත් එකම පහරවල් දෙකෙහි හඬ ඔහු කොපි කර ගත්තේය. ඒ දෙකින් තවත් පිටපත් රැසක් තනා ගත්තේය. ඔබට නීල් රූපසිංහගේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ සටන් දර්ශන වලදී අසන්නට ලැබෙන්නේ ජෝජ් මනතුංග විසින් එසේ නිර්මාණය කර ගත් ශබ්දයයි. ඊට අමතරව සටනක හඬ වඩාත් තාත්වික කරණු සඳහා ඔහු එක් අත්හදා බැලීමක් ද කළේය. ඒ සඳහා පැයකින් ආපසු ගෙනවිත් දෙන පොරොන්දු පිට ඔහු මස් කඩයකින් එළු ගාතයත් ඉල්ලා ගත්තේය. අනතුරු මයික්‍රෆෝනය ඉදිරියේ එල්ලන ලද එම එළු ගාතයට විවිධාකාර යෙන් පහර එල්ල කරමින් තවත් ශබ්ද ගණනාවක් නිපදවා ගත්තේය. එයින් පසු මනතුංග ශබ්ද පරිපාලක වශයෙන් කටයුතු කළ සෑම චිත්‍රපටියක ම සටන් ජවනිකා වලදී ඔබට අසන්නට ලැබුණේ මනතුංග පෙර දිනයක එළු ගාතයකට පහර දෙමින් පටිගත කරන්නා ලද ශබ්දය බව බොහෝ දෙනෙකු නොදනිති. නමුත් ඔහු පවසන්නේ මෝටර් රථයක බ්රේක් ගැසීම, දොරවල් ඇරිම සහ වැසීම, ඇන්ජිම රේස් කිරීම ආදී ශබ්ද සැබෑවටම එළිමහනට ගොස් පටිගත කර ගෙන පැමිණි බවය. නමුත් නිවසක දොර ජනෙල් ඇරෙන වැහෙන හඬ, අගුල් දමන හඬ ආදිය සඳහා සාදා ගත් ආදර්ශක ගණනාවක් චිත්‍රගාරය තුළ තිබිණි. තොටුපළ අයිනේ ගීතයට මෙන්ම මැක්ස්වල් මෙන්ඩිස් ගායනා කළ මම බොහොම බය වුණාගීතයට ද බල්ලාගේ උඩ බිරුම සහ යක්ෂ හූව ඔහුගේ කට හඬින්ම ඉදිරිපත් කිරීමට මනතුංග සමත් වූයේය. ගී තැටි නිෂ්පාදකවරයා වූ “චිල්රන්ඩ්බුක් ශොප්” හිඅධිපති වික්‍රමසූරිය මහතා ඒ කාලයේ විශාල මුදලක් වූ රුපියල් 750 ක් සන්තෝසමක් ලෙස මනතුංගට දුන්නේය.ආරම්භයේදී මනතුංගගේ මාසික වැටුප වූයේ රු.65 කි. ඔහු ඉන් තමාගේ වියදම් ද පිරිමසා ගෙන මවට ද රු.30 ක් යැවීය!

වැළිකතර චිත්‍රපටයේ පොලිස් නිලධාරි ඇතුළු පිරිස වැල්ලේ දිවයන විට නැඟෙන හඬ ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ ටේප් රෙකෝඩර් සඳහා භාවිතා කොට ඉවත දමන ලද පටි ගොඩවල් වශයෙන් එකතු කොට ඒවා මත පා තැබීමට සැලැස්වීමෙනි.

දයා විමලවිරගේ චිත්‍රපටයක් සඳහා තේ ඉස්ටෝරුවක් රූපගත කර තිබූ අතර, ශබ්ද කැවීමේදී එක් යන්ත්‍රයක හඬ අත්‍යවශ්‍ය විය. තේ ඉස්ටෝරුවක් සොයා යෑමට ද වේලාවක් ද තිබුණේද නැත. තමා මීට පෙර පටිගත කරන ලද මුද්‍රණාලයක යන්ත්‍ර ක්‍රියාකරවන හඬ ඇතුළත් හඬ පටයක් සොයාගත් මනතුංගඉතා ඉවසීමෙන් මෙයට සවන්දී අත්‍යවශ්‍ය හඬ එහි එක් තැනකින් නිර්මාණය කර ගැනීමට සමත් විය.“ක්‍රිස්තුචරිතය” චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුනිල් ආරියරත්න දෙබස් කවන අවස්ථාවේ පැවසුවේ බෝට්ටු කඳන් දෙකක් එකට ඇතිල්ලෙන හඬක් අවශ්‍ය බවය. ඒ දවස තමන් ඒ ශබ්දය ඉදිරිපත් කළ ආකාරය ඔහු අපට ද ඉදිරිපත් කර පෙන්වීය. එනම් ඔහු අප ඉදිරියේ වාඩි වී සිටි පුටුවේ රවුම් ඇන්ද දකුණතින් මිරිකාගෙනම ඒ අත තරමක් කරකවමින් ඉදිරියට තල්ලු කිරීමය. එය නිසැකවම බෝට්ටු දෙකක් එකටඇතිල්ලෙන හඬ විනා අන් කිසිවක් නොවන බව මා හට සියයට සියයක්ම වැටහුණේ පටිගත කිරීමේ යන්ත්‍රයට සවන් දීමේදීය. මේ ආකාරයට සරසවි චිත්‍රාගාරය සංස්ථාවට පවරා ගැනීමෙන් අනතුරුව තවත් වසර 15 ක කාලයක් මෙහි සේවය කළ මනතුංග එතනින් ඉවත්ව ටී.කේ. චිත්‍රාගාරයේ සේවයට ගියේය. තවත් වසර අටක පමණ කාලයක් එතැන සේවය කරමින් චිත්‍රපට 120 කට පමණ සම්බන්ධ වූ ඔහු අනතුරුව මීගමුවේ “රෝයල්” සිනමා හලෙහි කළමණාකරුලෙස සේවය කොට 2020 දී ඉන් සමු ගත්තේය. සිංහල සිනමාවේ ප්‍රධාන නළුවන් වැඩි දෙනෙකුට මුලින්ම හඬ කවා ඇත්තේ තමා විසින් යයි ඔහු පවසයි. සනත් ගුණතිලක. ජීවන් කුමාරතුංග, ශෂී විජේන්ද්‍ර, ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක, ලාල් වීරසිංහ, ආදීහු ඒ අතර වෙති. මේ පිරිස අතරින් අදටත් උන්නාද මළාද කියා දැන ගන්නට හෝ කතා කරන් නේ දිල්හානී අශෝකමාලා සහ පූජා චිත්‍රපටය නිෂ්පාදනය කළ ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු පමණක් යයි ඔහු කියයි. සිංහල චිත්‍රපට නළුවන් අතරින් හොඳම කටහඬ තිබුණේ ගාමිණි ෆොන්සේකාට යයි හෙතෙම සහතික වෙයි.

සිංහල සිනමාව ද ඩිජිටල් කරණයට ලක්වීමත් සමග ඒ සඳහා මෙම පිරිසගේ හැකියාව සහ කැපවීම බද්ධ කර ගත හැකි ක්‍රමවේදයක් අපේ සිනමා ඉතිහාස ‘සංස්කරණයේදී’ සිදු නොවීම හේතු කොටගෙන හුදෙකලා වූ පමණින් අපට ඒ පිරිස අමතක කර දැමිය හැකිද?