එදා මං සිහින මැව්වේ නිවේදකයෙක් වෙන්න

තරින්ද ගුණවර්ධන
අප්‍රේල් 22, 2021

වර්තමාන ගීත සාහිත්‍යය තුළ තරින්ද මට මුණ ගැසෙන්නේ මගේ හිත කම්පනය කළ ගීතයක් නිසා. මේ ගීතය ගායනා කළේ නිලක්ෂි හැලපිටිය.

මගේ කෝමල පැටවුන්ගේ අප්පච්චි

මල් හීසර වැදුණාදෝ

රන්දම් බිඳ වැටුණේදෝ

මගේ කොමල පැටවුන්ගේ අප්පච්චි

(සංගීතය - දර්ශන වික්‍රමතුංග)

 

මිට ප්‍රථම නිලක්ෂි ගැන ලියද්දි මේ ගීතය ගැන සඳහන් කළත් ගීතයේ නිමැවුම්කරුවා හෙවත් ගීත රචකයා පිළිබඳ ලියන්න මට ලැබුණේ නෑ. එහෙත් පසුගිය ගෙවුණු කාලය පුරාම තරින්ද ගේ නම මම මුහුණු පොත හරහාත් යූ ටියුබය හරහාත් නිතර දැක්කා. ඒ අලුත් අලුත් අපුරු ගී නිර්මාණත් සමඟ. මෑත දිනක මම ඔහුගේ ගීතයක් රසවින්දේ ආචාර්ය රෝහණ වීරසිංහයන් ගයන ඔහුගේ පුත් කළිඳු වීරසිංහ සංගීතවත් කරන ගීතයකින්.

පුරන් වු හෙළ ගී කෙත අස්වද්දන්ට පැමිණෙන මෙවන් ගීත රචකයන්ගේ නිර්මාණ හැකියාව හා ඔවුන්ගේ දක්ෂතාවය ඇගයීම වගකිව යුතු මාධ්‍යආයතනයක් වශයෙන් අපගේ වගකිමක් වශයෙන් අප සලකන බැවින් මෙවර අපගේ කතා නායකයා වූයේ තරින්දය.

තරින්ද ගීත රචකයෙකු වශයෙන් මුලින්ම දොරට වඩනුයේ මුහුණු පොත හරහා මුණ ගැසුණු සංගීත ශිල්පී දර්ශන වික්‍රමතුංග නිසාය ඔහුගේ ආරාධනයෙන් ඔහු ලියූ ගී පද ගීතයක් බවට පත් වෙන්නේ මේ විදියට.

ඔබේ කඳුළු මට දෙන්න

මගේ සිනහ ඔබ ගන්න

ජීවිතේ මියුරු සර වයන්නට ඉඩ දෙන්න......

තරින්ද ගේ ජිවිතේ කලාවට යොමු වෙන්නේ ඔහු පාසල් ශිෂ්‍යයකුව සිටි අවධියේදීමයි. ඔහු අධ්‍යාපනය ලබන්නේ කොළඹ අසෝක විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන්.

‘‘ මම 1996 දී කලා විෂය ධාරාවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ලබාගෙන කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වුණා. රාජකීය විද්‍යාලයෙන් කලා විෂය ධාරාවෙන් ඉහළම සමාර්ථ ලබා සරසවි වරම් ගන්නා ශිෂ්‍යයාට හිමි ශ්‍රීමත් හෙන්රිද මෙල් අනුස්මරණ සම්මානය 1996 දි හිමි කර ගන්නේද තරින්දය. වසර 2005 සිට නිතිඥයකු වශයෙන් දිව්රුම් දී සිවිල් සහ අපරාධ කියන දෙඅංශයේම කටයුතු කළා. ඒ සමඟම වසර 15 ක් පමණ ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් පෞද්ගලික පන්ති පවත්වාගෙන ගියා. කලාවට සංගීතයට මගේ නැඹුරුව ඇතිවුණේ පාසල් කාලයේදීමයි. එහි මුලික පදනම දැමුවේ කොළඹ අසෝක විද්‍යාලය. ඒ දවස්වල අසෝක විද්‍යාලය කියන්නේ කලාගාරයක්. මම මුලින්ම ගීතයක් ලිව්වේ රූපවාහිනියේ උදාර වැඩසටහනට.

‘සිරිලක් මෑණිගේ දරුවෝ අප සැම

යමු යමු ඉදිරියටා ‘යන ගීතය හා

‘පාළු වීදියේ ඈත කොනට වී

ගිමන් නිවනවද පුංචි මලේ යන ගීත දෙක. මට මේ අවස්ථාව උදා කර දුන්නේ අසෝක විදුහලේ එවකට සංගිත ගුරුවරුන් විදියට කටයුතු කරපු ලෙස්ලි විජේවික්‍රම සහ ධම්මිකා කරුණාරත්න යන දෙපළ. පසුව ලලිතා සිරිබද්දන මහත්මිය නිෂ්පාදනය කරපු රුපවාහිනි මුතුහර වැඩසටහන් වල නිවේදකයකු හැටියටත් කලක් කටයුතු කළා.

තරින්ද නිවේදකයකු වෙන්නටත් සිහින මවපු කෙනෙක්. එහෙම වෙන්න ගිහින් රස්තියාදු වෙච්ච අවස්ථාත් ඔහුගේ ජිවිතයේ ඕනෑතරම් තිබුණා. ඒ වගේ අවස්ථාවක් ගැන ඔහු මතක් කළේ මෙහෙම.

මට පොඩි කාලේ ඉඳල හරි ආසාවක් තිබුණා නිවේදකයකු වෙන්න.ඒකට මම නොගිය මාධ්‍ය ආයතනයක් නෑ. මගේ යාළුවෙකුගේ මවකගේ මාර්ගයෙන් මම එක්තරා රුපවාහිනි ආයතනයකට යනවා, එහි ප්‍රධානියා මුණ ගැසෙන්න. ඔහු දන්නවා මම එදා අදාළ වෙලාවට එනවා කියලා. නමුත් පැය 3 ක් මම රස්තියාදු වී හිස් අතින්ම ගෙදර ගියා. එදා මම මගේ නිවේදක සිහිනය අත් හරිනවා. ‘‘

ජීවිතේ අපි කාටත් ඒ වගේ දුෂ්කර අතිත තියෙනවා. හැබැයි අපි එතැනින් නැවතුණා නම් අද අපි කවුරුත් මෙතන නැහැ. තරින්දටත් එහෙම තමයි. ඔහු එදා එහුගේ නිවේදක සිහිනය අත් හැරියා කිව්වට යාළුවන්ගේ බල කිරිමට ගුවන්විදුලියේ නිවේදකයන් තෝරා ගැනීමේ පරික්ෂණයකට සහභාගි වෙනවා.

මම යන්නේ ගුවන් විදුලියේ අධ්‍යාපන සේවයට සහන නිවේදකයන් තෝර ගන්න පරීක්ෂණයට. විදුරුවෙන් එහා සුගතපාලද සිල්වා සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඉන්නවා මම දකිනවා. මට එතැනදි කිව්වා ‘කවුද’ කියන වචනය පස් ආකාරයකට කියන්න කියලා. ගීතයක් ගායනා කරන්න කීවා. නිවුස් එකක් කියවන්න කිවා. මට අද වගේ මතකයි සුගතපාලද සිල්වා මහත්මයා කිව්වා ‘කොල්ලෝ උඹට සෑහෙන සද්ද කටහඬක් නේ තියෙන්නේ’ කියලා. මම ටික කාලයක් අධ්‍යාපන සේවයේ වැඩසටහන් කීපයක් කළා. නමුත් පසුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය රැකියාව ආදිය නිසා කලා කටයුතු වලින් අයින් වෙන්න සිද්ධ වුණා.‘‘

තරින්ද2014 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා.දැන් ඔහුගේ ස්ථිර පදිංචිය එහේ. අතිශය කාර්ය බහුල ජීවිතයක් ගත කලද ඔහු ඉඩ ලැබෙන විවේකයේදී කලා කටයුතු වල නිරත වෙන්නට අමතක කරන්නේ නැත.

‘ දර්ශන වික්‍රමතුංග මිතුරා හමුවු පසු මම ඔහුත් සමඟ එක්වි ආචාර්ය වික්ටර් රත්නායකයන්ට ගීතයක් ලීවා.

හිතේ හැංඟි හැංඟි ඔබ තවම ඉන්නවා

නෙතේ කඳුළැලි තියන්

හිත හුස්ම වැටෙනවා

සිතේ රිද්මය මගේ

ඔබෙ රුවම සොයනවා

ආදරේ ගුලි කරන් මම තවම ඉන්නවා.

‘මම මගේ තුන්වැනි ගීතය ලියන්නේ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන ඉන්දික ලියනගේට. සංගීතය දර්ශනගේ. ‘ වැස්ස නුඹ වැහපන්- මගේ හිත හේදිලා යනකම් ‘ කියන මේ ගීතය සමාජ මාධ්‍ය තුළ අතිශයින්ම ජනප්‍රිය වුණා. ඊට පස්සෙ තමයි මම නිලක්ෂි හැලපිටියට ‘ මගේ කෝමල පැටවුන් ‘ ගීතය ලියන්නේ.‘

තරින්ද ඉන්පසු ගිත ගණනාවක්ම රචනා කරනවා. මේ අතරේ ජනප්‍රිය ගායන ශිල්පි චන්දන ලියනාරච්චිටද ගිතයක් රචනා කරනවා. එහු නවරත්න ගමගේ , ප්‍රියන්ත නාවලගේ, මහින්ද බණ්ඩාර, දර්ශන වික්‍රමතුංග වැනි ප්‍රවීණයන් සමඟත් මාලක රත්නායක, හරින් ධනුෂ්ක ලියනගේ වැනි නවක පරපුරේ තරුන සංගිත ශිල්පින් සමඟත් නිර්මාණකරණයේ නියැළෙනවා.

‘ගීත රචකයෙකු හැටියට මා ගත් ලොකුම භාග්‍යය තමයි ආචාර්ය වික්ටර් රත්නායකය ගියත් ලියන්නට අවස්ථාව ලැබීම. ඉන්පසු මාගත් තවත් භාග්‍යක් වන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් මගේ ගිතයක් ගැයිමයි. ඒ ගිතයේ සුවිශේෂී බවව නම් එහි සංගිතය එතුමන්ගේ පුතු කළිඳු වීරසිංහගේ විමයි. කළිඳු තම පියා වෙනුවෙන් සංගිතවත් කළ ප්‍රථම ඒකල ගිතය වෙන්නෙත් මේ ගීතයයි.

නිදිවැරූ දෙනෙත් පොත් මිටිය

මත වෙලී

විදුනැණ සිරි අසිරි ගෙනෙනා

පාරමිතා පිරූ

ඔය දැසයි පුතුනේ

හෙට ලොව දිනනා

තරින්ද දැනට තානාපති සේවා සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන අතර බිරිය උපේක්ෂා හා දරුවන් සමඟ ඔස්ට්‍රේලියාවේ ජිවත්වෙයි.

වත්මන් ගීත කලාව සම්බන්ධයෙන් ඔහු මෙහෙම සඳහනක් කළා.

බොහෝ ගීතවල තියෙන්නේ ආදරය, ප්‍රේමය, විරහව. අද බොහෝ ප්‍රේම ගීත ලෙස ඇහෙන්නේ වැලපිලි. මට ඕන වුණේ විරහව වුණත් කෙතරම් උපේක්ෂාවෙන් විදින්න පුළුවන් දෙයක්ද ඉවසීමෙන් විඳීන්න පුළුවන් දෙයක් ද කියලාකියන්න. අද තියෙන්නේ විරහ ගීත සාහිත්‍යක් නොවේ. වැලපිලි ගීත කලාවක්. දත් විකාගෙන පොළොවේ පස් කාගෙන එකිනෙකා දිහා වෛරයෙන් බලන්න උගන්වන ගීත කලාවක් . ගීතය මල් පෙත්තක් වගේ සුමට විය යුතුයි හියක් වගේ වේගයෙන් නමුත් හාදුවක් වගේ ළයාන්විතව හදවත පසාරු කළ යුතුයි.