මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාලේ

අප්‍රේල් 15, 2021

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය කියන්නේ ලොකු කුඩා භේදයකින් තොරව හැමෝම සතුටු වෙන කාලයක්. අපේ කලා තරුත් ඒ වගේමයි. විවිධ ව්‍යසන හමුවේ වසර දෙකක් සමරන්නට නොහැකි වුණු අලුත් අවුරුද්ද මේ වසරේ සමරන්නට හැමෝටම ඉඩහසර ලැබුණා. අපේ කලා තරු අලුත් අවුරුද්ද සමරපු හැටි විමසන්නට අපි අමතක කළේ නැහැ.

 

 

පවුල එක්ක සතුටින් සැමරුවා

ලක්ෂ්මන් විජේසේකර

 

 

ඉස්සර ඉඳන්ම අපි අවුරුදු චාරිත්‍ර හරියටම කළා. දැන් අවුරුදු චාරිත්‍ර කරන්නේ දුව. (අමා විජේසේකර) ඉස්සර මගේ බිරිඳ චන්ද්‍රා (කළුආරච්චි) ඉන්නකොට එයා තමයි හැමදේම කරන්නේ. දුව දැන් එයාගේ තැන අරගෙන චාරිත්‍ර කරනවා. දුවයි බෑනයි එක්ක අවුරුදු සතුටින් සැමරුවා මේ වතාවෙත්. ඉස්සර නම් අපි රූපවාහිනී නාළිකා එක්ක අවුරුදු සැමරුවා. දැන් ඉතින් එහෙම ආරාධනා එන්නේ නැහැ. අපි වයසයිනේ. දැන් හොඳ අලුත් පරම්පරාවක් ඉන්නවා ඒ වැඩේට.

 

මේ අවුරුද්ද ඔහේ ගෙවිලා ගියා

රොෂාන් ප්‍රනාන්දු

 

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපේ සීසන් එක. ගායන ප්‍රසංග වැඩියෙන් තියෙන කාලය. වසර දෙකක් අපිට අවුරුදු කාලය නැති වුණා. කොරෝනා වසංගතය නිසා මේ වසරේදීත් ප්‍රසංග පැවැත්වෙන්නේ නැහැ. අවුරුද්දට සාමාන්‍යයෙන් අපි බිරිඳගේ නංගිගේ ගෙදර යනවා. මම ඉන්නේ වෙන්නප්පුවේ නිසා මේ පැත්තේ ලොකුවට අවුරුදු චාරිත්‍ර කෙරෙන්නෙ නැහැ. මේ අවුරුද්ද ඔහේ ගෙවිලා ගියා.

 

දරුවන්ට චාරිත්‍ර කියලා දුන්නා

-ප්‍රදීප් ධර්මදාස-

 

අලුත් අවුරුද්දෙන් වැඩිපුරම සතුටු වෙන්නේ පොඩි ළමයි. මටත් ඉන්නවා පොඩි පැංචො තුන්දෙනෙක්ම. ඒ නිසා මම අලුත් අවුරුද්ද සැමරුවේ මගේ පවුලේ අයත් එක්ක. අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරලා දරුවන්ට අවුරුද්දේ ආශ්වාදය මවුපියෝ හැටියට අපි දෙන්න ඕනේ. ඒ නිසා කොයිතරම් කාර්යබහුල වුණත් මමයි බිරිඳයි දෙන්නම අලුත් අවුරුද්දට ගෙදර ඉදලා ඒ සිරිත් විරිත් හරියටම කරනවා.

 

 

සිංහල සිරිතට විරිතට මුල්තැන

ප්‍රදීපා ධර්මදාස

 

සිංහල අලුත් අවුරුද්ද කියන දේට මම විශේෂ මූලිකත්වයක් දෙනවා. සිංහල චාරිත්‍ර වාරිත්‍ර දරුවන්ට ජානගත කරන්න හොඳම දෙයක් තමයි අලුත් අවුරුද්ද කියන්නේ. පිටරට ජීවත් වුණු කාලයේදී පවා මම හරියටම අවුරුදු චාරිත්‍ර අදාළ වෙලාවටම කළා. අවුරුදු නිවාඩුවට විනෝද ගමනක් ගියත් අවුරුදු සිරිත් කරන්න අනිවාර්යනේ ගෙදර ඉන්නවාමයි. අම්මාත් එක්ක ගෙදර කැවිලි පෙවිලි වෙනදාට හදනවා. දැන් මගේ අම්මා වයස්ගතයි. ඒ නිසා මගේ යෙහෙළියකට කැවිලි හදන වැඩෙත් භාරදුන්නා. මම අවුරුදු නැකතට සියලුම චාරිත්‍ර ටික කරනවා. මගේ ස්වාමියාත් (අමාත්‍ය ඩලස් අලහප්පෙරුම) ඒ වැඩවලට සහයෝගය දක්වනවා. මම අවුරුදු දවසට වෙන වැඩ දාගන්නේ නැහැ. හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් අපි චාරිත්‍ර කරලා මාතර යනවා. ඇමතිතුමාගේ ගම මාතර නිසා අපි අනිවාර්යයෙන්ම නෑගම් යන්න එපැයි.

 

ගයාන් බොල්ගොඩ මම අනුරාධපුරේ 
චතුරිකා පීරිස්

 

මේ වසරේදීත් රූපවාහිනී නාළිකා හරහා අවුරුදු සැමරුවා අපි. නාළිකා දෙකකින් ගයානුයි මමයි සජීවීව අවුරුදු සැමරුවා. ගයාන් බොල්ගොඩ. මම අනුරාධපුරේ. දුව මං එක්ක අවුරුදු සැමරුවේ. අපි පහළොව ගෙදර ආවාට පසුව චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම ගෙදර කරනවා. ඒවාට සියල්ල සූදානම් කරලයි යන්නේ. මොකද දුවට අපේ සිංහල සිරිත් විරිත් කියලා දෙන්න ඕනේ පොඩි කාලේ ඉඳලාම.

 

මේ වසරේ ප්‍රංශෙයේ

පබෝධා සංදීපනී

 

මේ සැරේ මම අවුරුදු සමරුවේ ප්‍රංශයේදී. අවුරුදු දෙකකට පස්සේ මට තාත්තත් එක්ක අවුරුදු සමරන්න ලැබුණා. මෙහි තියෙන තධජඬඤධඹද වාතාවරණයත් එක්ක කැවිලි හදන්න බැරි වුණත් කිරිබත් ටිකක් හදලා චාරිත්‍ර ඒ වෙලාවට මම තාත්තත් එක්ක කළා. අම්මයි පුතයි ලංකාවේ ඉන්නේ. එයාලව ගොඩක් මතක් වුණා මට. ලෝකෙ කොහේ හිටියත් හරියටම අවුරුදු තියෙන්නෙ ලංකාවේ. අත්‍යවශ්‍ය කටයුත්තකට එන්න වුණ නිසා මෙහෙ අවුරුද්දත් ගත කරලා ලංකාවට යන්න තීරණය කළා.

 

 

පවුල සිරසත් එක්ක බලකාය ජාතික නාළිකාවත් එක්ක

සහන් රන්වල

 

කොරෝනා නිසා ගිය අවුරුද්දේ ගෙදරට වෙලා හිටියේ. මේ අවුරුද්දේ නැකත්වලට රන්වල බලකාය නාළිකා දෙකකට බෙදිලා ගියා. සිරස නාළිකාවේ සහ ජාතික රූපවාහිනී නාළිකාවේ 14 වැනිදා රන්වල බලකාය ඉදිරිපත් කිරීම් කළා. සමහර අවුරුදුවල පුතාට චාරිත්‍ර වාරිත්‍ර පෙන්නන්න ඕනේ නිසාම මම අවුරුදු නැකත වෙලාවට ගෙදර හිටියා. පහුගිය වසරේදීත් ගෙදරම හිටපු නිසා මේ වසරේදී රූපවාහිනී නාළිකා එක්ක අවුරුදු සැමරුවා. චාරිත්‍ර කරන වෙලාවට අපේ පවුලම සිරස නාළිකාවත් එක්ක අවුරුදු සැමරුවේ.

 

 

පළමු වතාවට ගෙදරින් පිට

කවින්ද්‍යා අධිකාරි

 

ජීවිතය පළවෙනි වතාවට මේ අලුත් අවුරුද්දට මම ගෙදර හිටියේ නැහැ. ස්වර්ණවාහිනී නාළිකාවත් එක්ක අනුරාධපුරයේ තමයි මේ සැරේ මම අවුරුදු සැමරුවේ. ඒ නිසා මේ අවුරුද්ද මට විශේෂ අවුරුද්දක්. ගෙදර හිටිය නම් අම්මා මල්ලි පවුලේ අයත් එක්ක අවුරුදු චාරිත්‍ර කරනවා. මේ අත්දැකීම මට අලුත් අත්දැකීමක්. සහෝදර කලා ශිල්පීන් සමඟ සතුටින් අවුරුදු සැමරුවා.

 

කලා පවුලත් එක්ක අවුරුදු සැමරුවා

සාරංග දිසාසේකර

 

මේ වතාවේ අපි හිරු නාළිකාවත් එක්ක අවුරුදු සැමරුවේ. දිනක්ෂිත් මමත් මේ වතාවේ අවුරුද්දට ගෙදර හිටියේ නැහැ. කලා ක්ෂේත්‍රයේ අයත් පවුලක් වගේ නිසා ඒ අත්දැකීම හොඳ වුණා අපිට. ඒ වගේම එතන නංගිලා දෙන්නාත් හිටියා. (ශේෂාද්‍රි, ශනුද්‍රි) අපේ ජේෂ්ඨ කනිෂ්ඨ කලා ශිල්පීන් රාශියක් එදා එතැනට සම්බන්ධ වුණා. ගෙදර චාරිත්‍ර වාරිත්‍ර අම්මා අතින් කෙරුණා. මේ වතාවේ නැකැත් වෙලාවල් පාන්දර තිබුණේ. අපි පාන්දර ඉඳලාම හිරු නාළිකාවත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා හිටියේ. අපේ පවුලෙන් අවුරුද්දේ සුබ දිශාව නමින් ගීතයක් එළිදැක්වූවා. ඒකට මමත් දිනක්ෂිත් ශ්‍රේෂාද්‍රිත් ශනුද්‍රිත් ක්‍රිෂාන් පරේරාත් ගායනයෙන් එකතු වුණා. ලිව්වේ දුමින්ද අලහේන්ද්‍ර. සංගීතය අශාන් ප්‍රනාන්දු.

 

මේ සැරේ මට අවුරුදු නැහැ

සමනලී ෆොන්සේකා

 

මේ සැරේ මට අවුරුදු නැහැ. ගිය දෙසැම්බර් මාසෙ මගේ තාත්තා නැති වුණා. ඉතින් මේ අවුරුද්ද මට සමරන්න පුළුවන් අවුරුද්දක් නෙමෙයි. වෙන අවුරුදුවල අපේ ගෙදර තමයි හැමෝම ඇවිල්ලා පාර්ටි එක දාන්නේ. ඒත් මේ අවුරුද්දේ එහෙම පාටි නැහැ. මමයි චාපියි (ඉන්ද්‍රචාප ලියනගේ) චාපිගේ තාත්තාව (හේමසිරි ලියනගේ) බලන්න යනවා. ඒ වගේම මම මහගෙදර යනවා අම්මයි අයියලාවයි බලන්න. ඒ ඇරුණුකොට අවුරුදු කියලා මේ අවුරුද්ද මම සැමරුවේ නැහැ.