ඉන්දියාවේ මියුසික් ලංකාවට ඕනේ නැහැ

මාර්තු 11, 2021
 -රවී රොයිස්ටර්-

දක්ෂතාව, උනන්දුව තියෙනවා නම් රියැලිටි ස්ටාර්ලාට රියල් ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන්

මට ඕනේ වුණේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න

මගේ සංගීතයේ තියෙන්නෙ පරිසරයේ නිතරම ඇහෙන ශබ්ද

අපේ තාල පද්ධතිය ඇතුළේ වෙනස් වැඩක් කළොත් ඉන්දියාවටත් අභියෝග කරන්න පුළුවන්

 

දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 8 හීදී ඔළුවට ජටාවක් බැඳගෙන සරමක් හැඳගත් තරමක උත්තුංග දේහධාරී තරුණයෙක් වෙනස් ආරයේ ගීත ගයනයුරු ඔබට මතකද? තම ගැඹුරු හඬ තවත් බර කරමින් ගී ගයමින් වේදිකාව එහෙ මෙහෙ බර අඩි තියමින් යන ඔහු එම තරගවටයේ කාගෙත් සිත්ගත් තරුවක් විය. ඔහු නමින් රවී රොයිස්ටර්. රියැලිටි වැඩසටහන් අවසන් වූ වහා තරු එකිනෙක නිවෙන සමයක රවී ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජනප්‍රිය ගායන ශිල්පියෙක් බවට පත් වී ඇත. වෙනස් ශෛලීන්වල ගීත නිර්මාණය කරන වෙනස් ආරෙන් ගීත ගයන රවී පසුගියදා තමන්ගේම ශබ්දාගාරයක් ආරම්භ කළේය. ගීත ක්ෂේත්‍රය තුළ ඔහු කළ කී දෑ විමසන්නට අපි රවීට මෙසේ සම්මුඛ වුණෙමු.

 

රියැලිටි වැඩසටහනකින් ආවාට දැන් රවී රියල් ස්ටාර් එකක් වෙලා නේද?

සාමාන්‍යයෙන් රියැලිටි වැඩසටහනකින් ක්ෂේත්‍රයට එන ගායන තරු ජයග්‍රහණයෙන් පසුව හොයාගන්නවත් නැති වෙනවා. රියැලිටි වැඩසටහනට ඉදිරිපත් වෙන්න කලිනුත් මම වැඩ කීපයක් කරමින් හිටියා. මට ඕනේ වුණේ මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. රවී රොයිස්ටර් කියන අයිකන් එක හදාගන්න හොඳම වේදිකාව රියැලිටි වැඩසටහන්. දැන් මම ඒ හරහා ඇවිත් යම්තාක් දුරට සාර්ථකයි කියන්න පුළුවන්.

 

රියැලිටි ස්ටාර් කෙනෙක්ගෙයි රියල් ස්ටාර් කෙනෙක්ගෙයි තියෙන වෙනස මොකක්ද?

රියැලිටි ස්ටාර් කෙනෙක්ගෙයි රියල් ස්ටාර් කෙනෙක්ගෙයි වෙනස පවතින්නේ දක්ෂතාව මත. හොඳම උදාහරණය ඉන්දියාවේ ශ්‍රියා ගෝෂාල්, අර්ජිත් සිංග් වගේ අයත් ආවේ රියැලිටි වැඩසටහන්වලින්. දැන් ඒ අය රියල් ස්ටාර්ස්ලා. රියැලිටි වැඩසටහන්වලින් නෙමෙයි කොහොම ආවාත් දක්ෂතාවයත් එක්ක කැපවෙලා උනන්දුවෙන් වැඩ කරනවා නම් එයා අනිවාර්යයෙන්ම රියල් ස්ටාර් කෙනෙක් වෙනවාමයි.

 

දැන් රවී බලාපොරොත්තු වුණු අයිකන් එක හැදිලාද තියෙන්නේ?

අයිකන් එක හැමදාම යාවත්කාලීන වෙනවා. කවදාවත් ඒක හදාගෙන ඉවරයි කියන්න බැහැ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ බ්‍රෑන්ඩ් එක යාවත්කාලීන කරගන්න. ලෝකේ සංගීත ක්ෂේත්‍රය දිහා බලලා සංගීතඥයන් මොනවාද කරන්නේ කියලා බලලා තමන්ගේ නම හදාගන්න ඕනේ.

 

රවී ඇඳුමෙන් පැලඳුමෙන් පවා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ලොකු උත්සාහයක් දරනවා කියලා පේනවා.

ඔව්. මම දකින දෙයක් තමයි ක්ෂේත්‍රයේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න නම් තමන්ගේ වැඩ විතරක් නෙමෙයි අඳීන විදිහ, කතාබහ කරන හැසිරෙන විදිහ වෙනස් වෙන්න ඕනේ. පළවෙනිම දෙය වෙන්න ඕනේ සිත්ගන්නාසුලු බව. ලෝකෙ අපි ගොඩක් දන්න තරු අපිට මුලින්ම මතක් වෙන්නේ බාහිර ස්වරූපයෙන්. උදාහරණයක් විදිහට බොබ්මාලේ, මයිකල් ජැක්සන් වගේ තාරකා මතක් වෙද්දි අපිට එයාලගේ ස්වරූපයයි ඉක්මනට මතක් වෙන්නේ. මට ඕනේ වුණේ මගේ ඇඳුමෙන් ඒ දෙය කරන්න. මගේ නම කියපු ගමන් "අහ් රවී කියන්නේ සරම ඇඳලා ඔළුවේ රෙද්ද ඔතලා ඉන්න කෙනා නේද?" කියලා අහන තැනට රසිකයන්ව ගේන්න මට ඕනේ වුණා.

 

රවී ස්වරූපයෙන් වගේම මියුසික්වලිනුත් "අපේ" කියන දේ හොයන්න උත්සාහ කරනවාද?

මම "අපේ" කියන දේ හොයන්න උත්සාහ කරන්නේ වෙනස් විදිහකට. මම අපේ ජන සංගීතය වෙනස් විදිහකට ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරනවා. මට ඕනෙ මගෙම සංගීත ශෛලියක් හදාගන්න. මම වැඩ කරන්නේ පරිසරයේ අපිට නිතරම ඇහෙන ශබ්ද එක්ක. මගේ සංගීතයේ තියෙන්නෙ පරිසරය අපිට නිතරම ඇහෙන ශබ්ද. ඒ හැම එක්කම තියෙන්නේ අපේකම. අපේ රටේ තියෙන ශබ්ද. අපේකම කියපු ගමන් හැමෝටම මතක් වෙන්නේ ජන සංගීතය. ජන සංගීතය, තාල, කවි මේ හැමදේම හැදිලා තියෙන්නේ අපේ රට ඇතුළේ. ඉතින් ශබ්ද කියන්නෙත් අපේ රට ඇතුළෙම තියෙන දෙයක් තමයි.

 

ව්ධඪඵඥ ර්‍ථපධණඥජබ එක ගැනත් අපි කතා කරමු?

මේ අදහස එන්නේ ඉන්දියාවේ මම උසස් අධ්‍යාපනය හදාරනකොට. එතකොට මට අවස්ථාව ලැබුණා ඉන්දියාවේ සංගීත වැඩසටහනක එක කොටසකට සහභාගී වෙන්න. ඒ කොටසේ හිටියේ ඉන්දියාවේ දක්ෂ සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්. ඒ අය ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලට ගිහිල්ලා විවිධ සංස්කෘතීන් අධ්‍යයනය කරලා ඒ නාදමාලා ආශ්‍රයෙන් ගීත නිර්මාණය කළා. ලංකාවේ අපිට ඇහෙන ශබ්ද වර්ග තියෙනවා. ඒ ආශ්‍රයෙන් මගේම වැඩක් කරන්න මට ඕනේ වුණා. මම ඒ ආශ්‍රයෙන් දැනට ගීත විසිතුනක් නිර්මාණය කරලා තියෙනවා. ව්ධඪඵඥ ර්‍ථපධණඥජබ පටන් ගන්නෙ 2016 අන්තිම කාලයේ. ලෝනේ කොයි රටෙත් ඒ ඒ රටවලට ආවේනික ජන සංගීතයක් තියෙනවා. අපිට හොඳ ලස්සන පරිසරයක් තියෙනවා. ඒ වටපිටාවෙන් ඇහෙන දේවල් තියෙනවා. පිටරටකට ගිහිල්ලා අපේ රටේ චූන් එක ගන්න බැහැ. ඉස්සර ගොවියෝ පැල්‍ රකිද්දි කවි කිව්වේ අවට පරිසරයේ සුන්දරත්වය විඳීන ගමන්. පරිසරයේ තමයි මූලික වෙන්නේ. ඒ ජනකවිවල පවා තියෙන්නේ පරිසරයේ සුන්දරත්වයම තමයි.

 

ගම් ආශ්‍රිතව තවමත් ඒ වගේ ලස්සන ශබ්ද ඇහෙනවාද?

ඒක අපි හොයාගෙන යන්න ඕනේ. කොළඹින් පිටට ගිහින් ඒ අද්දැකීම ගන්න ඕනේ. මම දධඪඵඥ නපධණඥජබ එක කොටසකට සතියක් විතර එළියට ගිහින් ශබ්ද පටිගත කරනවා. එහෙම ගිහින් අහගෙන ඉන්නකොට තේරෙනවා අපේ රටේ කොච්චර ශබ්ද තියෙනවද කියලා. ඒ ශබ්ද කොච්චර යුනික්ද කියල තේරෙනවා.

 

ඔබ සංගීතය පිළිබඳ වැඩිදුර හැදෑරුවේ ඉන්දියාවට ගිහින් නේද?

මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ රබීන්‍ ද්‍රනාත් තාගෝර්තුමා හදපු ඉන්දියාවේ විශ්ව භාරතී විද්‍යාලයෙන්. මම සෞන්දර්වේදී උපාධිය ගත්තේ ඉන්දියාවේ ශාන්ති නිකේතන් එකෙන්. ඒ වගේම මම ඉධභදඤ බඥජඩදධතධඨර ඩඪඨඩ දචබඪධදචත ඤඪනතධථච එක හැදෑරුවා. ඊට අමතරව ජ්ඪතථ චදඤ බඥතඥමඪඵඪධද ඩඪඨඩ දචබඪධදචත ඤඪනතධථච එක හැදෑරුවා.

 

ඉන්දියාවේ සංගීතය හදාරපු කෙනෙක් විදිහට හින්දුස්තානී සංගීතය නැවතත් මෙරටට ගේන්න අදහසක් නැද්ද?

අපි හැම දෙයක්ම ඉන්දියාවෙන් ගන්න ඕන නැහැ. අපි දැනගන්න ඕනේ අපේම කියලා දෙයක් හදාගන්න. අපි කොහෙහරි වෙන රටකට ගිය වෙලාවක ලංකාවේ සංගීතය කෝ කියලා අපිට ඉදිරිපත් කරන්න අපේම කියලා දෙයක් තියෙන්න ඕනේ. ගොඩක් අය මං ළඟට සින්දුවක් කරගන්න ආවොත් මට කියන්නේ "අයියේ අහවල් හින්දි සින්දුව වගේ කරලා දෙන්න" කියලා. සාදයකදී වුණත් ඇහෙන්නේ හින්දි සින්දු. අපේ රටේ අපේ සංගීතය ගැන රික්තකයක් තියෙනවා. හින්දුස්තානී සංගීතය හැදෑරුවාට මට දැන් තේරෙනවා අපිට ආවේනික තාල පද්ධතිය ඇතුළේ වෙනස් වැඩක් කළොත් අපිට ඉන්දියාවටත් අභියෝග කරන්න පුළුවන් කියලා. ඒ දේවල් සංගීතය ඇතුළේ තව ටිකක් දියුණු වෙනවා නම් මම කැමතියි. දැන් ලංකාවේ අලුත් ගායකයෝ සංගීඥයෝ අපේ ජන සංගීතයෙන් වෙනස් වැඩ ටිකක් කරන බව පේනවා.

 

රවීගේ ජනප්‍රිය ගීත පෙළ ගැස්සුවොත්?

හමාර බණවර, කැකුළි, බයිසිකලේ, වැල්ලෙන් තෙලද මවාලා (පොදු ටෙලිනාට්‍ය), නිල්ල මැද්දේ (පොදු ටෙලිනාට්‍ය), සොපියා යන ගීත ජනප්‍රියයි. ඹ්ර්‍ථඹ් තරගාවලියට ගීතයක් කළා, ඒකත් ජනප්‍රිය වුණා.

 

රවීගේ පෞද්ගලික විස්තර කිව්වොත්?

මගේ පවුලේ ඉන්නේ අම්මායි තාත්තයි අයියලා දෙන්නයි මල්ලියි. අපේ පවුලේ කොල්ලොම හතරදෙනෙක් ඉන්නේ. මගේ තාත්තා විශ්‍රාමික බැංකු කළමනාකරුවෙක්. මගේ අම්මා විශ්‍රාමික ගණකාධිකාරිනියක්. මම විතරයි පවුලෙන් කලාවට ආවේ. අනිත් ඔක්කොම මූල්‍ය ක්ෂේත්‍රයේ. මගේ ගම මාතර. ඉස්කෝලේ ගියේ මාතර රාහුල විද්‍යාලයට.

 

ක්ෂේත්‍රයට එන්න හීන දකින දක්ෂ තරුණ තරුණියන්ට මොකක්ද කියන්න තියෙන්නේ?

අපේ රටේ දක්ෂ තරුණයෝ ඉන්නවා රියැලිටි වැඩසටහන්වලටත් එන්න හැකියාවක් නැති. දැන් තාක්ෂණය දියුණුයි. සංගීතය ගැන වැඩිදුර ඉගෙන ගන්න හොඳම මාධ්‍ය තමයි යූටියුබ් එක. යූටියුබ් එකෙන් සෑහෙන්න දේවල් ඉගෙනගන්න පුළුවන්. මමත් ඒකෙන් ඉගෙනගන්නවා. ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වෙන අයට මම කියන්නේ හැමදාම යාවත්කාලීන වෙන්න. තමන්ට වෙන්න ඕනේ කවුද? යන්න ඕනේ කොතැනටද කියලා ඉලක්කයක් තියාගන්න. කිසිම දෙයක් නැහැ කියලා ළතැවෙන්න එපා. තියෙන දේවල්වලින් පුළුවන් විදිහට හොඳ වැඩ ටිකක් කරන්න කියලා මම ඒ අයට කියනවා.