මට පන්නරය ලැබුණේ මගේ පාසලෙන්

බුද්ධික ජයරත්න
මාර්තු 11, 2021

වර්තමාන කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම දුෂ්ටයා නම් කරන්නැයි කීවොත් ඔබ නම් කරන්නේ කවුද? ඔබට බුද්ධික ජයරත්නගේ නම නැති නම් රුව සිහිපත් වනවා නිසැකය. රංගන ශිල්පීන්ගෙන් බහුතරයක් වීරයාගේ චරිතයට පොරකන විට දුෂ්ටයාගේ චරිතය ආකර්ෂණීය ලෙස රඟ දක්වන හෙතෙම කාගෙත් මතකයේ රැඳෙන චරිත කළ චරිතාංග රංගන ශිප්ලියෙකි. ඉදිරියේදී තිරගත වීමට නියමිත "මිදුණු විශ්වය" චිත්‍රපටයේ ඩන්කන්ගේ චරිතය ඇතුළු තවත් චරිත රැසකින් ඉදිරියේදී ඔබ හමුවට පැමිණීමට නියමිත බුද්ධික ජයරත්නගෙන් ඔහුගේ කලා භාවිතය පිළිබඳ අප විමසුවේ මෙසේය.

- මම රඟපෑවේ කළු සුදු මිශ්‍ර අළු චරිත
- හන්තානේ කතාව බලලා ස්වර්ණා වගේ පෙම්වතියක් ඕනේ වුණා
- ගාමිණී ෆොන්සේකා කරපු චරිතයක් සිනමාව තුළ ප්‍රතිනිර්මාණය කළේ මම විතරයි
- සිනමාවේ පළමුවෙන් සම්මානනීය වුණු දුෂ්ටයා මම 

ඉතින් කොහොමද ජීවිතේ ?

ජීවිතේ සුපුරුදු පරිදි සැප දුක එක්ක ගෙවීගෙන යනවා.

මේ දවස්වල වෙන කලා කටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල කලා කටයුතු බොහොම අඩුවෙන් වෙන්නේ. කොරෝනා තත්ත්වය නිසා චිත්‍රපට තිරගත කිරීම පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා. ඒ නිසා ටෙලිනාට්‍ය කීපයකට සම්බන්ධ වුණා.

බුද්ධික කියන්නේ දැන් රිදී තිරයේ ජනප්‍රියම දුෂ්ටයා නේද?

ජනයාට ප්‍රිය කරන දුෂ්ටයෙක් වීම් ඉතාම වාසනාවක්. ඒක කරන්න ලේසි නැහැ. කලා නිර්මාණයක චරිතය ආදරණීය නොවෙනකොට ඒ චරිතය දුෂ්ටයා කියන තැනට හැමෝම දානවා. මට ලැබුණු චරිත පිළිබඳව මම හරි සන්තෝස වෙනවා. ඒ චරිතවල අපි එදිනෙදා දකින මිනිස්සු හිටියා. සමාජයේ නිතර දෙවේලේ හමුවෙන මිනිස්සු තමයි මට ප්‍රතිනිර්මාණය කරන්න ලැබුණේ. ඒවා ෆැන්ටසි චරිතවලට වඩා වෙනස්. සියයට සියයක් ආදරණීය මිනිස්සුත් මේ ලෝකෙ නැහැ. සියයට සියයක් නරක මිනිස්සුත් මේ ලෝකේ නැහැ. හොඳ නරක දෙකම මිශ්‍ර වුණු මිනිස්සු තමයි මට ප්‍රතිනිර්මාණය කරන්න ලැබුණේ. ඒ චරිතවල දුෂ්ටයෙක් වගේම ආදරවන්තයෙකුත් ඉන්නවා. සමහර අවස්ථාවන්හි දී ඔහු දුෂ්ටයෙක් වන්නේ ආදරය ලබාගන්න ගිහින්. කළු සුදු මිශ්‍ර වුණු අළුපාට චරිත මම රඟපෑවේ.

ක්ෂේත්‍රය ඇවිත් දැන් කොච්චර කල්ද?

මේ අවුරුද්දට අවුරුදු විස්සක් සම්පූර්ණ වෙනවා.

ඒ අවුරුදු විස්ස දිහා ආපසු හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?

මගේ රංගන පිපාසය ටිකක් සංසිදුවා ගත්තා. ඒත් තව ලොකු පිපාසයක් තියෙනවා. ඒ පිපාසය තව අවුරුදු විස්සකින්වත් සංසිදුවා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මම තෘප්තිමත් නැහැ. රංගනයට මට තියෙන්නෙ නොසංසිඳෙන පිපාසයක්. මම ඒ කාලය ගැන සන්තෝසයි. මොන මල යකෙක්වත් නොදන්න මාව දැන් ගොඩක් අය දන්නවා. මිනිස්සු මාව අගය කරනවා. මගේ පවුලේ උදවිය මාව අගය කරනවා. මගේ රංගනයට ජාතික මට්ටමේ සම්මාන කීපයක් ලැබුණා. ඒ ගැන සන්තෝසයි. ඒත් රංගන පිපාසය ඉවර නැහැ. ඒක මැරෙනකං තියෙයි. 

අනිත් රංගන ශිල්පියෝ වගේම බුද්ධිකත් කලාව පටන්ගත්තේ ඉගෙන ගත්තේ පාසලෙන්ද?

මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. කලාව කියන දේ ඉස්කෝලේ ඇතුළෙදි මහලොකුවට කරපු කෙනෙක් නෙමෙයි මම. නාට්‍ය සංගමයට සම්බන්ධ වෙනවා මම වැඩ කළා ලයනල් රන්වල ගුරු මහතා යටතේ. ඒකෙ වැඩ කරපු, සම්මාන ගත්ත දක්ෂ රංගන ශිල්පීන් එක්ක බැලුවම මම අත්පුඩි ගහපු හූ කියපු එක්කෙනෙක් විතරයි. මම පාසල් වේදිකාවට නැග්ගේ තුනේ පන්තියේදී විතරයි. ඒත් කලාව පිළිබඳව පාසලෙන් මට යම් අදහසක් ලැබුණා. පාසලේදී මම ලයනල් රණවීර ගුරු මහතා යටතේ චිත්‍රය ඇන්දා. අන්තර් ජාතික වශයෙන් සම්මාන පවා ලැබුණා මට. ඇත්තටම කියවා නම් මට ආනන්ද ඉගැන්නුවේ ජීවත් වීමේ කලාව. අද මම මොකෙක්ද කියලා කියන්න පුළුවන් එකෙක් වෙලා තියෙනවා. මම කාටවත් තලන්න බැරි කිසිම කෙනෙක්ට කපන්න බැරි යකඩයක්. ඒ යකඩය පන්නරය ලබන්නේ ආනඳ මව් තුරුලෙන්.

ක්ෂේත්‍රයට එන්න පාර කැපෙන්නේ කොහොමද?

පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් හිටපු මාව රංගන ශිල්පියෙක් බවට පරිවර්තනය කරන්න උදේකාන්ත වර්ණසූරිය මහත්තයා. අද මම රංගනය කියන දෙයින් යම් කිසිදෙයක් ලබනවා නම් ඒ හැමදෙයක්ම මම අත්පත් කරගන්නේ ඔහු මාව රංගන ශිල්පියෙක් කරපු නිසා. ඒ රෝස වසන්තය චිත්‍රපටයෙන්. ඒ වගේම ඒ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළෙත් මම. මම රඟපාපු පළවෙනි චිත්‍රපටයේම මට ටයිට්ල් දෙකක් හම්බු වෙනවා. මම රැකියාව කරන අතරේ විලාසිතා දැක්මවල් කීපයක් පැවැත්වුවා. මෝස්තර නිර්මාණය පැත්තෙන් යම් යම් දේවල් ටිකක් මම කළා. ඒ කාලේ කාලේ අපේ සිනමාවේ ඇඳුම් නිර්මාණය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ වන විට ඉන්දියානු සිනමාවේ ඇඳුම් නිර්මාණය හොඳ තැනක තිබුණා. ලාංකේය ප්‍රේක්ෂකයන් අපේ සිනමාව ඉන්දියානු සිනමාව එක්ක සංසන්දනය කරන්න ගත්තා. ඒ නිසාම මම උදයකාන්තට යෝජනාවක් කළා අලුතෙන් කරන්න යන චිත්‍රපටයේ මට ඇඳුම් නිර්මාණය කරන්න දෙන්න කියලා. රෝස වසන්තය චිත්‍රපටයේ මට රඟපාන්න චරිතයක් තියෙනවා කියලා දන්නෙ රූගත කරන්න පැය විසිහතරකට කලින්.

බුද්ධිකට පරමාදර්ශී චරිතයක් ඉන්නවාද?

මගේ ජීවිතේ මගේ වීරයා තාත්තා. මාව ශක්තිමත් මිනිහෙක් කරන්නේ අම්මා. වෘත්තීය ජීවිතේ මම කැමති නළු නිළියෝ විතරයි ඉන්නේ. මට පූර්වාදර්ශී, පරමාදර්ශී චරිත නැහැ. මට නළුවෙක් වෙන්න හිතෙන්නෙම විජය කුමාරතුංග නිසා. මට නළුවෙක් වෙන්න හිතෙන්නේ හන්තානේ කතාව බලලා. මට ඕනේ වෙනවා පේරාදෙණිය කැම්පස් යන්න. මට ස්වර්ණා මල්ලවාරච්චි වගේ පෙම්වතියක් ඒ කාලේ ඕනේ වුණා. ස්වර්ණා වගේ ගෑනු ළමයෙක් හමුණෙත් නෑ. කැම්පස් යන්න ලැබුණෙත් නෑ. ඒත් මම නළුවෙක් වුණා. පසුකාලීනව රංගනය ගැන විවිධ දෑ ඉගෙනගන්නේ ගාමිණී ෆොන්සේකාගෙන්. ඒ වගේම ඩොමී ජයවර්ධනගෙන් මම ඉගෙන ගත්ත දෑ බොහෝයි. නමුත් මම ඒ කිසිම කෙනෙක්ව අනුකරණය කරන්නේ නැහැ. ඒත් ඔවුන්ගේ රංගනයේ විශේෂතා මගේ රඟපෑම්වලටත් ගුරු කරගන්නවා. ඒ වගේම මම උපාලි අත්තනායකට ආසයි. ඉන්දියාවේ නානා පටේකාර්ට මම ආසයි.

ඔබ පණ පෙවූ චරිතවලින් වඩාත් මතකයේ රැඳෙන චරිත පෙළගැස්සුවොත්?

මට රෝස වසන්තය චිත්‍රපටයේ ගිහාන්ව කවදාවත් අමතක කරන්න බැහැ. ඒක තමයි මගේ ආරම්භය. ලේ කිරි කඳුළු චිත්‍රපටයේ උපේන්ද්‍රගේ චරිතයට, සමාරා චිත්‍රපටයේ මගේ චරිතයට මම කැමතියි. හතර දෙනාම සූරයෝ නැවත නිර්මාණය කළ චිත්‍රපටය පොඩ්ඩෙගේ චරිතය මට සුවිශේෂීයි. 1971 තිරගත වුණු අතිසාර්ථක ලෙස බොක්ස් ඔෆිස් වාර්තා තියමින් තිරගත වුණු චිත්‍රපටයේ නැවත නිර්මාණය කරපු චිත්‍රපටයේ මට ලැබෙන්නේ ගාමිණී ෆොන්සේකා රඟපාපු චරිතය. මම කළේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. අද වෙනකන් ගාමිණී ෆොන්සේකා මහත්මයා කරපු චරිතයක් සිනමාව තුළ ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නෙ මම විතරයි. චිත්‍රපටය ගැන විවිධ විවේචන තිබුණා. ඒ චරිතය ගැන ලොකු චෝදනා මට එල්ල වෙයි කියලා මම බලාපොරොත්තු වුණා නමුත් එහෙම චෝදනා මට එල්ල වුණේ නැහැ. ඒ වගේම සෙනසුරු මාරුව චිත්‍රපටයේ නවීන්ගේ චරිතය මතක් කරන්න ඕනේ. මොකද සෙනසුරු මාරුව චිත්‍රපටයෙන් තමයි මට පළවෙනි සිනමා සම්මානය ලැබෙන්නේ. ඒක තමයි ලංකාවේ පළමු ප්‍රතිවීර නළුවා සම්මානය. දෙරණ ෆිල්ම් අවෝර්ඩ් සම්මාන උලෙළෙන් තමයි මට ලැබෙන්නේ. ලංකාවේ මුලින්ම සම්මානනීය වුණු දුෂ්ටයා මම. ඒක බිඳීය නොහැකි වාර්ථාවක්. ඒ වගේම විජයබා කොල්ලය චිත්‍රපටයේ කඳුරේ බණ්ඩාර ඇමතිගේ චරිතය මතක් කරන්න ඕනේ. සුනිල් ආරියරත්න කියන්නේ අපි හැමෝම ළංවෙලා වැඩ කරන්න කැමැති චරිතයක්. මට ඔහු සමඟ වැඩ කරන්නත් වාසනාව ලැබුණා.

එක් දර්ශන වාරයකින්ම මිදුණු විශ්වයේ ඩන්කන්ගේ චරිතය අතිශයින් ජනප්‍රිය වුණා?

ඔව්. මිදුණුවිශ්වය චිත්‍රපටය සරසවිය ස්කෝප් සිනමා දැක්මේදී තිරගත වුණා. ඒක ඉදිරියට තිරගත වෙන්න තියෙන චිත්‍රපටයක්. ඒ දර්ශන වාරය නරඹපු හැම කෙනාම මාව ඉහළින්ම අගය කරනවා. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඉඳන් තවමත් මට ඕන කරන්නේ චිත්‍රපට රංගන ශිල්පියෙක් විදිහට ගොඩනැගෙන්න. මට මීට කලින් රඟපාන්න ලැබුණු චරිතවල වපසරිය හරිම පොඩියි. මට බඩකට පිරෙන්න රඟපාන්න ලැබුණු චරිතය මිදුණු විශ්වයේ ඩන්කන්ගේ චරිතය. මට ඒක ලැබුණු තැන හරියටම හරි කියලා හිතෙනවා. මගේ තුළ ඉන්න රංගන ශිල්පියා මටම හොයාගන්න ලැබුණේ ජයන්ත චන්ද්‍රසිරි නිසා. ක්‍රමානුකූල රංගන ශිල්පියෙකු ලෙස මම යන්න ඕන ගමන මොකක්ද කියලා හඳුනාගන්නේ ඔහුගෙන්. ඒ වගේම ඔහුගේ "හතරදෙනෙක් සෙන්පතියෝ" ටෙලිනාට්‍යය මතක් කරන්න ඕනේ. ඒකෙන් තමයි මට මගේ පළමු ටෙලි සම්මානය ලැබෙන්නේ. රංගනය කියන සියුම් දෙය හරියටම උකහා ගන්නේ ජයන්ත අයියා නිසා. මම බලාපොරොත්තු වෙනවා ඩන්කන් මගේ හැරවුම් ලක්ෂයක් කියලා. මගේ ජීවිත රස්තියාදුව ඇතුළේ හොයාගත්ත දේවල්වලින් යම්තාක් දුරට ඩන්කන්ව හදාගන්න පුළුවන් වුණා. ඩන්කන්ගේ ප්‍රසිද්ධම දෙබස "මම තෝව මරනවා" කියන එක. මුලින්ම ඒ දෙබස කියන ඩන්කන් ගැන සහ චිත්‍රපටය ඉවර වනවිට ඒ දෙබස කියන ඩන්කන් ගැන ප්‍රේක්ෂකයාට ඇති වෙන හැඟීම හාත්පසින්ම වෙනස්. ඩන්කන් කියන්නේ හැටේ දශකයේ සිනමා නිළියකගේ කමකට නැති සැමියෙක්. ඔහු මුලින්ම ඒ නිළියට "තෝව මරනවා" කියද්දි බයවෙන අයම අවසානයට එය කියද්දි හිනාවෙනවා. ඒ ඩන්කන් ආදරය ප්‍රකාශ කරන හැටි. 

ප්‍රේක්ෂකයෝ වීරයාට සලකන විදිහට වඩා ප්‍රතිවීරයාට සලකන විදිහ වෙනස්ද?

ජනප්‍රිය දුෂ්ටයෙක් වීම ලේසි නැහැ. මම ජනයාට ප්‍රිය දුෂ්ටයෙක්. ඒ දුෂ්ටකම සාධාරණීකරණය කරන්නේ ජනතාව. ඒක ඔවුන්ට කරන්න මගේ චරිතය සාධාරණ ලෙස රඟපාන්න ඕනේ. මගේ ප්‍රේක්ෂකයෝ මාත් එක්ක හැමදාම ඉන්නවා. තව කෙනෙක් ආවාට ඒ අය මාව අමතක කරන්නේ නැහැ. මම කළු පාට චරිත කළා කියලා සමාජය මට කළු පාට විදිහට සලකන්නේ නැහැ. මට ප්‍රේක්ෂක ආදරය කිරි සුදුවට ලැබෙනවා.

වර්තමානයේ ප්‍රතිවීර චරිත රඟපාන්න නළුවෝ අඩුයිද?

ඉන්දියානු සිනමාව දිහා බැලුවාම අපිට පේනවා පරණ සුකුමල නළුවාගේ රැල්ල ගිහින් තියෙන්නේ. වීරයා, වීරයාට විරුද්ධවාදියා වෙන සල්ලිකාර දුෂ්ටයා රැල්ල තවදුරටත් වලංගු නැහැ. හොඳම උදාහරණය ආසියාතික සිනමාවේ රන්සමනලයා වුණු ශාරුක් ඛාන්. ඔහු පසුකාලීනව තෝරාගන්න චරිත දිහා බැලුවාම ඒක හොඳටම තේරෙනවා. වීරයා දුෂ්ටයා නැතුව දැන් නිර්මාණවල ඉන්නේ මේ දෙකම මුසු වුණු චරිත යථාර්ථවාදී චරිත. ක්ෂේත්‍රයට අලුතෙන් එන අයගේ පරම පවිත්‍ර චේනතාව තමන් හොඳ නළුවෙක්ද කියන එක. දැන් හැමෝම ඇඟ හදාගෙනනේ ඉන්නේ. ඒක තමන්ගේ කැමැත්ත. ගැටලුවක් නැහැ. ඇඟ හැමෝටම හදාගන්න පුළුවන්. ඔළුව හදාගන්න හැමෝටම බැහැ. තමන්ගේ පුහු මතයන් බිඳගෙන ක්ෂේත්‍රයට ආවොත් ඕනෑම චරිතයක් කරන්න පුළුවන්. ආදරණීය චරිතම දිගටම කරන අයට පැවැත්මක් නැහැ. මොකද වෙනත් නළුවෝ ආදරණීය චරිතවලට ආදේශ වුණාම ප්‍රේක්ෂකයෝ ඔවුන් වටා රොක් වෙනවා. ඒත් විශ්වසනීය රංගන ශිල්පියෙක් වුණොත් තමන් වටා ඉන්න ප්‍රේක්ෂකයන් දිගටම ඉන්නවා.

මේ ගමන එන්න ඔබට සහාය දුන්නු පිරිසක් ඇති?

සිනමාව කියන්නේම ප්‍රතිනිර්මාණයක්. බොහොම කලාතුරකින් තමයි ෆැන්ටසි එකක් වෙන්නේ. මගේ ආරම්භයේ සිට මේ වන තෙක් මට චරිත ප්‍රතිනිර්මාණය කරන්න දුන්නු හැම අධ්‍යක්ෂවරයෙක්ම මතක් කරන්න ඕනේ. ඒ හැම අධ්‍යක්ෂවරයෙක්ම මට චරිත ප්‍රතිනිර්මාණය කරන්න සහයෝගය දීලා තියෙනවා. ඒ වගේම නිෂ්පාදාවරු ඇතුළු කාර්ය මණ්ඩලය මතක් කරන්න ඕනේ. මම හැම රංගන ශිල්පියෙක් එක්කම සහයෝගයෙන් වැඩ කරනවා. මට සම්මුඛ වුණු හැම රංගන ශිල්පියෙක්ම ඔවුන්ගේ චරිත නිසි ලෙස කරපු නිසා තමයි මට මගේ චරිතය ගොඩනඟා ගන්න පුළුවන් වුණේ. මොකද මගේ රිඇක්ෂන් එක තියෙන්නේ අනෙක් රංගන ශිල්පියාගේ ඇක්ෂන් එක මත. 

ලැබුණු සම්මාන ගැනත් කතා කරමු?

මට මහලොකු සම්මාන තොගයක් ලැබිලා නැහැ. හතරදෙනෙක් සෙන්පතියෝ ටෙලිනාට්‍යයෙන් තමයි මට පළමු වැනි සම්මානය ලැබෙන්නේ. රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේදී සහ සිග්නීස් සම්මාන උලෙළේදී හොඳම ප්‍රතිවීරයාට සම්මාන ලැබෙනවා. "අමුතු මිනිස්සු" ටෙලිනාට්‍යයේ මම කරපු චරිතයට සුමති ටෙලි සම්මාන උලෙළේදී ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් ලැබෙනවා. සිනමා සම්මානයක් ලෙස මට සම්මානයක් ලැබෙන්නේ සෙනසුරු මාරුව චිත්‍රපටයෙන්. ඒ දෙරණ සිනමා සම්මාන උලෙළේදී හොඳම ප්‍රතිවීර නළුවා ලෙස.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මිදුණු විශ්වය චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒක මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙයි කියලා මම හිතනවා. තවත් චිත්‍රපටයක් එන්න තියෙනවා "ශ්‍රී සිද්ධා". සරත් වීරසේකරගේ නිර්මාණයක්. බෙනට් රත්නායකගේ "කවුරුත් දන්නේ නෑ" චිත්‍රපටයත් තිරගත වෙන්න නියමිතයි. සුදේශ් වසන්ත පීරිස්ගේ "සීරුවෙන්" කියලා ටෙලිනාට්‍යයක් එන්න තියෙනවා. ඒ වගේම මම රංගන දායකත්වය ලබාදුන් ටීවී දෙරණේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය වගේම ස්වාධීන රූපවාහිනීයේ "පින්කෙත" ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. මම ප්‍රිය කරන තවත් මාතෘකාවක් චිත්‍ර කියන්නේ. චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නත් අදහසක් තියෙනවා.