මම සුවිනීතා වීරසිංහගේ මිණිබිරිය

භද්ධකච්චායනා රාජපක්ෂ
මාර්තු 11, 2021

 

පරම්පරාවේ ආභාසයෙන් රංගනයට පැමිණි නව පරපුරේ තරුණයන් දෙදෙනකු පිළිබඳ ඉකුත් සරසවිය කලාපය තුළින් අප ඔබ වෙතගෙන ආවා එහි දිගුවක් ලෙසින් එවැනිමවූ තවත් අයෙකුගේ පුවත්පත් ලිපියකුයි මෙලෙස පළවෙන්නේ. පෙර ලිපිවල ලියැවුණේ මුනුපුරන් දෙදෙනෙකු ගැන. අද මේ ඉඩ වෙන්වන්නේ මිණිබිරියකට. ඇය මෙන්ම ඇගේ නමද සුන්දරයි. භද්ධකච්චායනා රාජපක්ෂ..

ඒ ඇගේ නමය.

මේ භද්ධකච්චායනා කාගේ කවුද කියා ඔබ දැනගන්නට උනන්දුවෙන් පසුවනවා ඇති..

 

ඔබම පවසන්නකෝ ඔබ කාගෙ කවුද කියලා?

මගේ කිරි අම්මා තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී සුවිනීතා වීරසිංහ. ඇය සහ මගේ නෑකම ගැන කතා කළොත්, ඇය තමයි මගේ අම්මගේ අම්මා. මගේ අම්මාගෙ නම තමයි නොරිකො අබේසේකර. එතකොට මගෙ අම්මගේ තාත්තා ඒ කියන්නේ මගේ සීයා තමයි නැසීගිය සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වගේම තිරරචකයෙකු වන තිස්ස අබේසේකර.

 

මේ වන විට ඔබත් කලා ක්ෂේත්‍රයට ඇවිත්?

ඔව්. මට මීට කලින් රංගනයට ආරාධනා ලැබුණා. යම් යම් හේතු මත ඒවා මිස් වුණා. නමුත් මට වයස දැන් අවුරුදු දහඅටයි. මං හිතනවා දැන් තමයි රංගනයට සම්බන්ධ වෙන්න හොඳම කාලෙ කියලා. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ හද විල අරණ කියන නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ. ඒක මේ දිනවල විකාශය වෙනවා. නමුත් මගේ චරිතය තවම ආවේ නැහැ. උදාරි කියන කැරැක්ටර් එකක් තමයි මම ඒකේ නිරූපණය කළේ.

 

කොහොමද කැමරාවක් ඉදිරියේ කළ ප්‍රථම රංගන අත්දැකීම?

ඇත්තටම ඒක සුන්දර අත්දැකීමක්. මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනෙ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයා. ඒ වගේම මගෙත් එක්ක රඟපෑව විශ්ව කොඩිකාර, කාවින්ද්‍යා දුල්ශානි, ග්‍රේස් තෙන්නකෝන් කියන පිරිසව. ඔවුන් මට ඉතා හොඳ සහයෝගයක් ලබා දුන්නා මගේ චරිතය ගොඩනඟාගන්න.

 

කිරි අම්මගේ නිර්මාණ ඔබ බලලා තියනවද?

අනිවාරෙන්ම. මම ඇය රඟපාපු චරිත අතරින් වැලිකතර චරිතයට හරිම ආසයි. එකෙ ඇය පුදුම තාත්වික අන්දමින් රඟපාලා තියෙනවා.

 

කිරිඅම්මා බොහොම හැඩට ඉන්න කෙනෙක්. ඇයි රූසම්පත්තිය රැකගන්න රහස් ඔබට කියලා ඇති?

ඇත්තටම ඇය රුව රැකගන්නා පුංචි පුංචි රහස් මට කියනවා. ඒවා බොහෝම වැදගත් වෙනවා මගේ රුව ලස්සනට තියාගන්න. ඇය නිතරම කියන්නේ හදවත සුන්දර නම් මුහුණත් ඒ වගේම ලස්සන වෙනවා කියලයි. රුව රැක ගන්නා රහස් වගේම රංගනාභ්‍යාසත් ඇය මට නිතරම කියලා දෙනවා.

 

නිළියක් විදියට කටයුතු කරද්දී මොනවගේ වෙන්න ඕනේ කියලද ඇය කියන්නෙ?

ඕනෑම දේකට මුහුණ දෙන්න අපි නිතරම ලෑස්ති පිට ඉන්න ඕනේ කියලා තමයි ඇය නිතරම කියන්නේ.

 

සීය හිටියා නම් කියලා හිතෙන්නේ නැද්ද?

හිතෙනවා. ඔහු අප අතරින් වියෝ වෙද්දි මට අවුරුදු හතක් විතර ඇති. ඔහු ගැන මතකය හීනයක් වගේ. දැන් තමයි දැනෙන්නේ ඔහු හිටියා නම් කියලා. මොකද මේ කාලයේදීනේ මම රංගන කටයුතු ආරම්භ කළේ.

 

වෘත්තීය නිළියක් වන්නටද ඔබ අපේක්ෂා කරන්නේ?

මගේ කිරි අම්මා වෛද්‍යවරියක් වන්නට සිහින මවල ඒවා ඔක්කොම අතහැරලා තමයි රඟපාන්න ආවේ. හැබැයි ඒත් දැන් කිරි අම්මා ඒ හීනය මා තුළින් දකින්න උත්සාහ කරනවා කියලා මට හිතෙනවා. ඒ නිසා මම වෛද්‍යවරියක් වන්නට ඉගෙන ගන්නවා. ඒ අතරතුරදි තමයි නිර්මාණවලට දායක වන්න අපේක්ෂා කරන්නේ.

 

ඔබේ සීයා බොහොම විශිෂ්ට නිර්මාණ කළ කෙනෙක්. ඒවා අතරින් ඔබ වඩාත් සිත් ගත්, ඒ කියන්නේ ඔබට රඟපාන්න තිබුණනම් කියල ලෝබ හිතන චරිතයක් ම තියෙනවාද?

සීයගෙ විරාගය චිත්‍රපටයේ බතීගේ චරිතය මට කරන්න තිබුණ නම් තිබුණ නම් කියලා මට හිතුණු වාර බොහොමයි. ඒ වගේම කිරි අම්මා රඟපාපු චරිතයකුත් මට කරන්න තිබුණා නම් කියලා මට හිතිලා තියෙනවා. ඒක තමයි හුලවාලි චිත්‍රපටයේ ඇය කළ චරිතය.

 

භද්ධකච්චායනාගේ ගම කොහෙද?

මම කොළඹ.

 

ඉගෙනගත් පාසල?

කොළඹ මියුසියස් විදුහල.

 

උපන් දිනය?

2002 මැයි 19. මගේ කිරි අම්මාගෙත් උපන් දිනයත් මැයි 19.