අනුහස්-සමල්කා පෙම නැවත පටන්ගනී?

Cover Story
මාර්තු 11, 2021

රවීන් අයියා තාමත් පුංචි තිරයේ මගේ පෙම්වතා තමයි

 

ප්‍රේක්ෂකයෝ අනුහස් - සමල්කා එකට දකින්න ආසයි

 

දෙවෙනි ඉනිම කියන්නේ ටෙලි ඉතිහාසයේ එක්තරා රැල්ලක් බිහි කරපු ටෙලිනාට්‍යයක්. එහි සමල්කා - අනුහස් පෙම් යුවළ ඔබට මතක ඇති. රවීන් කනිෂ්ක සහ ශනුද්‍රි ප්‍රියසාද් පණ පොවන මේ චරිත ද්විත්වය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිත වුණා. කාලකට පසුව නැවතත් මේ යුවළ ඡායාරූපයකට පෙනී සිටියා. ඒ රැෆෙලා ප්‍රනාන්දුගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරය සඳහා. කාලෙකට පසුව පුංචි තිරයේ පෙම්වතා සමඟ පෙනී සිටි ඡායාරූපය ගැන වැඩිදුර කතාබහකට ශනුද්‍රි ප්‍රියසාද්ව අපි එකතු කරගත්තා.

 

 

ශනුද්‍රි ආයිමත් පරණ පෙම්වතා එක්ක ෆොටෝ ෂූට් එකක් කළා නේද?

රවීන් අයියා මගේ පරණ පෙම්වතා නෙමෙයි. එයා තාමත් මගේ පෙම්වතා තමයි. දෙවෙනි ඉනිමෙන් පසුව අලුත් ටෙලිනාට්‍යයක් කළා "kiss" කියලා. ඒකෙත් රවීන් අයියා මගේ පෙම්වතා. මේ ෆොටෝ ෂූට් එක කළේ රැෆෙලා ප්‍රනාන්දුගේ සෙලිබ්‍රිටි කැලැන්ඩර් එකට. මේ මම රැෆී අක්කි එක්ක වැඩ කරන හත් වෙනි වතාව. මේ අවුරුද්දේ ගොඩක් දුරට කැලැන්ඩරයක් කරන්නේ නෑ කියලා හිටියේ. මේ නවවෙනි කැලැන්ඩරය නොකර ඉන්න එක අපරාදයක් නිසා ලෝන්ච් එකට මාසයක් තියලා මටත් කතා කකා ෆොටෝ ෂූට් එකට. රවීන් අයියාවයි මාවයි දාලා එක ෆොටෝ ෂූට් එකක් කරන්න කියලා රැෆී අක්කිගේ ගොඩක් අය ඉල්ලීම් කරලා තිබුණා. ඉතින් අපි ලස්සන ෆොටෝ ෂූට් එකක් කළා.

 

ඔබ දෙපළම පෙනී හිටපු ඡායාරූපවලට වඩා මේක වෙනස්?

ඔව්. අපි දෙන්නවම හැඩගැන්නුවේ නුවන් විජේතුංග. අපේ මේකප්, කොණ්ඩ ඔක්කොම හැදුවේ නුවන් අයියා. රැෆී අක්කිගේ තමයි මේ සංකල්පය. "Hollywood Romance" සංකල්පයට අනුව එයා අපේ ෂූට් එක කළේ. අපි ඇඳුම් දෙකකින් ෂූට් එක කළා. මමයි රවීන් අයියයි එකට ගොඩක් වැඩ කරලා තියෙනවා. වෙළෙඳ දැන්වීම්, ගීත රූපරචනා, ටෙලිනාට්‍යවල එකට රඟපාලා තියෙනවා. ඒත් පළමු වතාවට තමයි මේ වගේ කැලැන්ඩර් එකකට ෂූට් එකක් කළේ. අපේ ලංකාවේ මේ වගේ අලුත් සංකල්පයන්ට ෂූට් කෙරෙනවා හරිම අඩුයි.

 

කොහොමද ඡායාරූපයට ලැබුණු ප්‍රතිචාර?

අම්මෝ... ගොඩක් ඉහළයි. මගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකේ මාව ටැග් කරලා තියෙන ෆොටෝස්වලින් වැඩිපුරම තියෙන්නේ මේ ෆොටෝ එක. හැමෝමපිස්සු හැදිලා වගේ මට දිගටම මැසේජ් එවලා ඒක හොඳයි කියනවා. මම හිතන්නේ එයාලා මාවයි රවීන් අයියාවයි එකට දකින්න ආසයි. ඒ අය ඉල්ලපු විදිහටම හොඳ දෙයක් රැෆී අක්කි දීලා තියෙනවා. ප්‍රේක්ෂකයන් ඒ ෂූට් එකේ තව ෆොටෝ දාන්න කියනවා. මං ළඟවත් නෑ ඒකේ අනිත් ෆොටෝ.

 

ෂූට් එක කරද්දි අමතක නොවෙන සිදුවීම් වෙලා ඇති?

මට හැම සිදුවීමක්ම මතකයි. අමතක නොවෙන එකක් නැති තරම්. හැමෝම යාළුවෝ නිසා හරිම සතුටින් අපි ඒ කාලය ගත කළේ. එක සිදුවීමක් තියෙනවා කියන්නම්. ෂූට් එක කරද්දි මම බාත්ටබ් එකේ බැහැලා හිටියේ. රවීන් අයියා නිතරම විහිළු කර කර දඟලනවා. එයා මාව නාවනවා වගේ බොරුවට බය කර කර හිටියේ. මම කිව්වා බලාගෙන ටැප් එක ඇරෙයි කියලා. ඇත්තටම එක පාරටම ටැප් එක ඇරිලා මාව නෑවිලා ගියා. ඒක අමතක වෙන්නේ නෑ.

 

ශනුද්‍රි කියන්නේ පොඩි කාලේ ඉඳලා කැමරාව ඉස්සරහා හිටපු කෙනෙක්. ඡායාරූපකරණය ගැන ඉගෙන ගන්න හිතුණේ නැද්ද?

නැහැ. මට ඡායාරූපකරණය ගැන ඉගෙනගන්න ඒ තරම් උනන්දුවක් නැහැ. හැබැයි මම ෆොටෝ ෂූට් කරන්න නම් ආසයි. ලොකු අක්කි (දිනක්ෂි) ඒ පැත්තෙන් ඉගෙන ගත්තා. සිනමාකරණය ගැන හොඳ දැනුමක් එයාට තියෙනවා. මට ඒ පැත්තෙන් දැනුමක් නැහැ. රංගනය පැත්තෙන් ඉගෙනගන්න කැමතියි. ඒත් කැමරාකරණය, ඡායාරූපකරණය ගැන ඉගෙනගන්න ඒ තරම් කැමැත්තක් නැහැ.

 

ශනුද්‍රි මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල හරිම කාර්යබහුලයි. මේ දවස්වල ටෙලිනාට්‍ය හතරක රූගත කිරීම් කරනවා. චරිත් අබේසිංහගේ "තාදි", සේනක එදිරිසිංහගේ "ගමනේ යා", හිරු නාළිකාවේ අලුත් ටෙලිනාට්‍යයක වැඩ පටන් අරගෙන තියෙන්නේ. තව සිවගුරුනාදන් අංකල්ගේ ටෙලිනාට්‍යයක රූගත කිරීම් කරනවා. ඒකේ නම "කොළඹ ඉතාලිය". ඒ වගේම චිත්‍රපටයක් රූගත කරනවා. ඒකේ නම ආදරණීය ප්‍රාර්ථනා. වාසව බදුගේ තමයි ඒක අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම මම හිරු මෙගා ස්ටාර් රියැලිටි වැඩසටහනේ තරගකාරිනියක්.

 

ඒ කියන්නේ ශනුද්‍රි නැවතත් රිදී තිරයට එනවා?

ඔව්. මම පොඩි කාලේ චිත්‍රපටවල රඟපෑවා. ඒත් වැඩිහිටි චරිතයක් කරලාම නැහැ. මම හිතනවා ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටය ගොඩක් අය ආසාවෙන් බලයි කියලා. ලංකාවේ තරුණ පරපුර බලාපොරොත්තු වෙන විදිහේ ආදර කතාවක් ඒක. චිත්‍රපටවලට ආරාධනා ගොඩක් ලැබෙනවා. ඒත් මම හරියට චරිත තෝරනවා.

 

ඉස්සරහටත් රංගන ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවාද?

 

එහෙම නැහැ. මම මගේ උපාධිය අවසන් කළා. වැඩිදුර අධ්‍යාපනය ගැන මම දැන් හිතමින් ඉන්නේ. ඒ වගේම මම ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂවරියක් විදිහට වැඩ කරනවා. මේ දේවල් එක්ක කාලය ලැබෙන විදිහය රඟපාන්න හිතාගෙන ඉන්නේ.

 

රැෆෙලා ප්‍රනාන්දු