නව තාක්ෂණයේ ප්‍රතිවිපාක තමයි මානයෙන් කියන්නේ

නවතම අධ්‍යක්ෂ අංජු ධනංජය
ජූලි 25, 2019

සිංහල සිනමාවට පැමිණි නවතම සිනමා අධ්‍යක්ෂවරයා සමඟින් අප කතාබහ කළෙමු. ඔහුගේ නම අංජු ධනංජය. අංජු තැනූ මානය සිනමාපටය මේ දිනවලදී තිරගත වෙමින් පවතියි.

අංජු මානය නිර්මාණය වූයේ කෙසේද?

ඇත්තටම මානය නෙවෙයි මං නිර්මාණය කරන්න හිටියේ. වෙනම ආදර කතාවක්. වසන්ත කුමාරවිල අයියා මගෙත් එක්ක හරි හිතවත්. ඔහු සමඟ නිතර චිත්‍රපට ගැන කතා කරනවා. ඔය කතාබහ ඇතුළේදී මානය චිත්‍රපටයේ වස්තුබීජය මතු වෙනවා. සුමුදු අමල්ක කියන අංගම්පොර සටන් ගුරුවරයා හමු වුණාම ඒ කතාවට අංගම්පොර ඇතුළත් කරනවා. අන්තිමේ මානය කියන චිත්‍රපටය අපූරුවට නිර්මාණය වුණා.

ඔබ හිතන පරිදි අංගම් පොර සටන් කලාව චිත්‍රපටය තුළින් ඉස්මතු වෙනවාද?

කතාවේ හැටියට වසන්ත අයියා තමයි විකුම්ට රඟපාන්නේ. මේ විකුම් අන්තිමේ තමන්ගේ ශක්තියෙන් සතුරාට පහර දෙන්න උත්සාහ කරනවා. එතෙන්දි විකුම් දුර්වලයි. කරකියා ගන්න දෙයක් නැහැ. මියගිය අංගම් පොර ගුරුන්නාන්සේ අදෘශ්‍යමානව ඇවිත් විකුම්ට උදවු කරනවා. අංගම් පොර ශාස්ත්‍රයේ බලයෙන් තමයි ඔහු දිනන්නේ.

ඒ අදෘශ්‍යමානකම තාත්ත්විකයි කියලද ඔබ හිතන්නේ?

මං හිතනවා ඒක එහෙම තමයි වෙන්න ඕනෑ කියලා. මං දැකලා තියෙනවා මියගිය මිනිස්සු එහෙම අදෘශ්‍යමානව ඇවිත් උදවු කරනවා. මෙතනදිත් වෙන්නේ ඒ හා සමාන දෙයක්.

මානය චිත්‍රපටයේ තිර කතා රචකයත් ඔබ. ඒ නිසයි මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. චිත්‍රපටය තුළ සිටින සියලුම අංගම්පොර ශිල්පීන් එක පිස්තෝලෙකින් මරා දමනවා. අපේ අංගම්පොර කලාව එක පිස්තෝලෙකට යට කර දැමුවා වගේ?

මං එහිදී පෙන්වන්න උත්සාහ කළේ නවීන තාක්ෂණයේ ප්‍රතිවිපාක. වර්තමානයේ සිටින අංගම්පොරකරුවන්ට ක්‍රියාත්මක වන්නට පුවළුන් අතේ දුරින් පමණයි. ඉස්සර ඉඳලා තියෙනවා මීටර් සියයකට පවා එහායින් ඉන්න සතුරාව මෙල්ල කළ හැකි අංගම් සටන්කරුවන්. පැරැන්නන් කියලා තියෙනවලු එහෙම අය ඇත්තටම හිටිය කියලා.

නමුත් පේන්නේ ඔබ අංගම්පොර ශිල්පීන් බලරහිත කරලා කියලා?

එක්තරා විදිහකට එහෙම දෙයක් වුණා. ඒක මං පිළිගන්නවා. තාක්ෂණයත් එක්ක බලද්දී ඒක භාවිත කරලා හදපු වෙඩි උණ්ඩය ඔක්කොටම වඩා දරුණුයිනෙ.

වෙඩි උණ්ඩයක් පිස්තෝලයක් කියන්නේ නවීනතාක්ෂණයත් එක්ක බිහිවුණු දෙයක් නෙවෙයි. අතීතයේදීත් වෙඩි උණ්ඩ භාවිත කළා. නමුත් සිංහලයන් තමන්ගේ සාම්ප්‍රදායික සටන් ක්‍රම භාවිත කරමින් බොහෝ සටන් ජය ගත්තනෙ. ඔබට තිබුණා තව ටිකක් තිරරචනය ගැන හිතන්න?

මට මේ පිටපත රචනා කරන්න ලොකු කාලයක් ගියේ නැහැ. ඉතාම ඉක්මනින් තමයි නිර්මාණය කරන්න මට ලැබුණේ. පළමු නිර්මාණය විදිහට යම් යම් අඩුපාඩු ඇති. නමුත් අධ්‍යනයක් නැතුව නෙවෙයි තිර රචනය කළේ. පුළුවන්තරම් සාධාරණය ඉටු කළා කියලා හිතනවා. පළමු නිර්මාණයනෙ. දෙවැන්න තුළින් අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා.

චිත්‍රපටයේ වැඩි දර්ශන ප්‍රමාණයක් රූපගත කරලා තියෙන්නේ වනාන්තර ආශ්‍රිතව?

අංගම්පොර ශිල්පයේ තියෙනවා සූරිය වන්දනාව කියලා එකක්. ඒක කරන්නේ වනාන්තර ආශ්‍රිතව. තව කාරණයක් තියෙනවා කැලයක රූපගත කළොත් රූපයට නැඟිය යුතු අකාරයේ ෆ්‍රේම්ස් ටිකක් මගේ ඔළුවේ මැවුණා. ඒවා ඒ ආකාරයෙන්ම කැමරාවට ගන්න පුළුවන් කැලයකදීම විතරයි.

කතාව සැකසුවෙත් එහෙම. බොහොම සුන්දර වටපිටාවක් අපට ලැබුණා. අවශ්‍ය කරන විදිහේ රූප රාමුත් චිත්‍රපටයට ගන්න පුළුවන් වුණා.

අංජු ධනංජය කියන කතාව කෙනා අය වගේම නොදන්න අයත් ඉන්නවා. නොදන්න අයට ඔබ ගැන කියමු?

මං කොළඹ කෙනෙක් නෙවෙයි. ඉපදුණේ කුරුණෑගල නිකවැරටිය හෙට්ටිපොළ කියන ගමේ. මුලින්ම ඉගෙන ගත්තේ නිකවිත කුලි මධ්‍ය මහ විදුහලේ. ඒ ඉස්කෝලේ ඉගෙන ගනිද්දී එච්චර ඉගෙනීමට දක්ෂ කෙනෙක් නෙවෙයි මම.

ඔක්කොම අතහැරලා පිළියන්දල පදිංචියට එනවා. හොරණ විද්‍යාරත්නෙට ඇතුළු වෙලා එතනේදි හොඳට ඉගෙන ගන්නවා. ජීවිතේ ගොඩක් තැන් අවුල් වුණායින් පසුවයි ප්‍රසන්නජිත් අබේසූරිය මහත්තයාව මට හමුවන්නේ. ඔහුගේ උපකාර මත ආර්ට්වලින් උසස් පෙළ ලියලා සෞන්දර්ය කැම්පස් යන්න වරම් ලබා ගන්නවා.

නාට්‍ය හා රංග කලාව එතනදි ඉගෙන ගන්නවා. නාට්‍යවල වැඩ කරන්න ලැබෙනවා. සුදේශ් වසන්ත පීරිස්, වසන්ත කුමාරවිල වගේ නිර්මාණකරුවන් හමුවෙලා ජීවිතේ තවත් වෙනස් වෙනවා. කට්ටකාලා දුක් විඳලා පොඩි පොඩි රස්සා කරලා හිටපු මං අද උත්සාහය කැපවීම නිසා තැනකට ආවා. සතුටක් වගේ දුකකුත් තියෙනවා.

නිර්මාණකරුවකු වුණාට පසුව තමයි ඇත්තම මිතුරන් හඳුනා ගන්නට ලැබෙන්නේ. එතෙක් මං ළඟ හිටපු බොහෝ දෙනෙක් චිත්‍රපට අධ්‍යක්ෂ වුණායින් පසුව අමනාප වුණා. කැපිලි කෙටිලි, කකුලෙන් ඇදිලි අනන්තයි. ඒත් මං මගේ ගමන යනවා.

අවසන් කොට තවත් දෙයක් කියන්නට ඔබට ඉඩ තියෙනවා?

වසන්ත කුමාරවිල අයියා ඇතුළු මානය සිනමාපටයේ ටීම් එකටම මං තුති පුදනවා. ඔවුන් තමයි මට මේ තැන හදාගන්න ශක්තියක් වුණේ. මානය චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා චිත්‍රපට ශාලාවල තිරගත වෙනවා. ඒක නරඹන්න එන්නත් කියලා ආරාධනා කරනවා හැමෝටම. ඇවිත් චිත්‍රපටයේ හොඳ නරක කියන්න. ඒ හැම අදහසක්ම මගේ ඉදිරි ගමනට වටිනවා.