තමන් ආදරය කරන දේ වෘත්තිය කරගන්න

ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ලක්මිණි අමරදේව
ඔක්තෝබර් 13, 2022

 

ලක්මිණි අමරදේව මට මුලින්ම මුණ ගැසුණේ ‘අග්නිදාහය’ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ සහායක ලෙසය. ඒ අතර ඔහු අනෙකුත් අංශ කෙරෙහි ද උනන්දුවක් දක්වන බව පෙනිණි. විසි දෙවසරකට පසු මා ඔහු පිළිබඳ සරසවියට ලියන විට ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. පසුගිය මාසයේ විකාශය නිම වූ ‘A හීනේ’ මෙන්ම ඒ ලෙවල් ඉවරයි, රස්තියාදුකාරයා, විභාගෙ ෆේල්, ඉස්කෝ‍ෙල කාලේ වැනි නාට්‍ය රැසක් ඔබේ ආලින්දයට ගෙනාවේ ඔහුය. ඔහුගේ නිර්මාණ වෙනුවෙන් වේදිකා සහ ටෙලි නාට්‍ය සම්මාන උලෙළවලින් ලැබූ සම්මානද රැසකි. විමසමු ඔහුගේ ඒ හීනෙන් පසු හීනය කුමක්ද කියා...

ඔබේ අතීතයෙන්ම අරඹමු කතාව?

මාතර රාහුල විද්‍යාලයට මම ගියේ. සාමාන්‍ය පෙළ සමත් වනවාත් සමඟම වගේ අම්මා නැති වූ පසු උසස් පෙළ නොකර කොළඹ ඇවිත් ටවර් හෝල් පදනමේ 1998 පාඨමාලාව කළා. ඒ වසරේ යෞවන සම්මාන දීර්ඝ නාට්‍ය අංශයෙන් දෙවෙනි තට්ටුව නාට්‍යය ජයගත්තා. මා ලියූ වේදිකා නාට්‍ය පිටපත රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන ලැබුවා. 2001දි ජාතික ඉන්දියානු නාට්‍ය පාසලේ පාඨමාලාව කළා . 2005 දි කළ රස්තියාදුකාරයා ටෙලි නාට්‍යය 2007 වසරේ ස්වර්ණවාහිනියේ විකාශය වුණා. සුමති සම්මාන කීපයක් ලැබුණා. 2013 ජාතික රූපවාහිනියේ විකාශය වූ ඒ ලෙවල් ඉවරයි ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. 2015 මැලේෂියාවේ අනවසර විදේශගතවීම් සම්බන්ධව විභාග ෆේල් නමින් ටෙලි නාට්‍යයක් කළා. 2018 කළ ඉස්කෝල කාලේ කොටස් 70ක ටෙලි නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණා. අවසාන වශයෙන් විකාශය වුණු ඒ හීනේ දෙරණ නාලිකාවේ පැයේ කොටස් 27ක් ලෙස පසුගිය මාසයේ අවසන් වුණා.

ඒ හීනෙන් පස්සේ?

මම දන්නේ නෑ. ව්‍යාපාරයක් කරන්නත් හිතෙනවා. විදේශගත වන්න බලාපොරොත්තු වෙනවා ඒ හීනේ චිත්‍රපටයකට නඟන්න තිරපිටපතක් ලිවීම සඳහා. එය ඕස්ට්‍රේලියාවේ රූපගත කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

 

ඔබ වේදිකාවෙන් මතු වූවෙක්. වේදිකාවේ අත්දැකීම් කෙසේද?

ඒක ගැන කියන්න වචන නෑ. වේදිකාවෙන් තමයි අපේ විනය, කැපවීම, දරාගැනීම, සාමූහිකත්වය ආදි සියල්ල හැදුණේ. ටෙලි නාට්‍යවල ඒ ආකාරයෙන් පුද්ගලයකු සංවර්ධනය වන තත්ත්වයක් දකින්න නැහැ. හැබැයි මම කැමැතිම සිනමාවට. ඒත් ලංකාවේ හරි විදිහේ සිනමා භාවිතයක් නැති එක ගැන කනගාටුයි. ඉදිරියේදී සිනමාවට සම්බන්ධ වන්න හදන්නේ මේ සියල්ල ගැන අවබෝධයෙන් තමයි.

වේදිකා නාට්‍ය කරන්නේ ඇත්තෙන්ම ඇ‌ඟේ අමාරුවක් තිබෙන මිනිස්සු. ටෙලි නාට්‍ය නම් බලෙන් අපට පෙන්වනවානේ. ඒත් වේදිකාවට හෝ සිනමාවට යන්නේ ඇත්තටම එය විඳීන්න අවශ්‍ය මිනිස්සු ටික විතරයි. ලංකාවේ පේ‍්‍රක්ෂකයෝ ලක්ෂ 10ක් සිනමාවට නැත්නම් අපට සිනමාවක් තිබෙනවා කියා කියන්න පුළුවන්ද? ටෙලි නාට්‍ය බලන්නේ මහත්තයා ගෙදර නැත්නම් ගෘහිණියන් ටිකයි, ළමයින් බලාගන්න අපහසු නම් ඒ සඳහා උපක්‍රමයක් ලෙසයිනේ. ඉතින් ටෙලිවිෂනය කියන්නේ තම තමන්ගේ කරදරවලින් ගැලවෙන්න තිබෙන මෙවලමක් විතරයි. ඒ නිසා කතාව මොකක් වුණත් කමකුත් නෑ. දර්ශනය, දේශපාලනය වගේ දේවල් මුසු වුණොත් ඒවා බලන සංඛ්‍යාවත් අඩුයි. මොකද ඔළු හැදීම නෙවෙයිනේ ටෙලිවිෂනයේ රාජකාරිය. රසඥතාවක් ඇති අය යූටියුබය ඔස්සේ තමන් කැමැති දේවල් නරඹනවා.

 

ඔබේ සිනමා නිර්මාණය පවතින වර්ගීකරණයෙන් කුමකට අයත් වෙයිද?

වාණිජ හේතූන් මත බෙදාගත් වර්ගීකරණයක් හැර ඇත්තෙන්ම එහෙම වර්ගීකරණයක් නෑ සිනමාවේ. කලාකරුවකුට කලාත්මක හෝ වාණිජ කියා සිනමාවක් බෙදන්න බෑ. ඔහු හෝ ඇය ස්ථානගත වන තැන සිට වඩා හොඳ සංවේදී නිර්මාණයක් බිහි කරන්නේ කොහොමද කියන එක පමණයි සිනමාකරුවා බලන්නේ. ඉන් පසුව තමයි භාණ්ඩ නිෂ්පාදනයෙන් පසු ගුණාත්තමකභාවය අනුව ඒ, බී, සී ගණවලට බෙදා වෙන්කරනවා වගේ සිනමාවත් වර්ගීකරණය කරන්නේ. එහෙම නැතුව තිර රචකයාට වර්ගීකරණය අදාළ කරගෙන පිටපත් ලියන්න බෑ. හැබැයි අපට මෙහෙම දෙයක් තිබෙනවා. ලංකාවේ සාමාන්‍ය ජනයාට චිත්‍රපටයක් කරනවා නම් ගීත, සටන් තිබෙන්න ඕනෙ වගේ තීරණ තිබෙන්න පුළුවන්. එතකොට එය නිර්මාණාත්මක සිනමාව නොවේ විශාල ව්‍යාපාරයක් පමණයි. කලාව නෙවෙයි. සිනමා කලාවෙදි නම් මම ප්‍රේක්ෂකයා වෙතට වඩා හොඳට යන්න කොහොමද මෙවලම් ටික භාවිත කරගන්න ඕනෙ කියන සිද්ධාන්ත ටිකක් විතරයි තිබෙන්නේ. එය වෙනස් වන්නේ නෑනේ.

 

ඒත් ජන ආකර්ෂණීය සිනමාවක් තිබෙනවානේ?

ඒ තමයි ව්‍යාපාරය. කෙනෙකුට ඕනෙ නම් ව්‍යාපාරයෙන් තොර කලාවක් නෑ කියන්නත් පුළුවන්. එනිසා කලාවේ ආර්ථික පැත්ත තමයි ඔය කියන කොටසට අයත් වන්නේ. වැඩිපුර ප්‍රේක්ෂකයන් නරඹන්න පෙලඹෙන්නේ කොහොමද වගේ දේවල් එයට අයිතියි. ලංකාවේ මහජනතාව වැඩිපුර කැමැති මොනවගේ දේවල් සහිත චිත්‍රපටවලටද? කියන්නේ කලාව නෙවෙයි. කලාවේ ආර්ථික පැත්ත වෙළෙඳාමක් හැටියට හිතන්න වෙනවා. දැන් තමන් ඒ ගැනත් හිතන්න වෙනවා. ඇත්තටම පවිත්‍රව යම් නිර්මාණයක් කරනවා නම් එය කවුරුත් බලනවාද අහනවාද කියලා හිතන්නේ නෑ. අපේ හිතේ කැකෑරෙන අපට පිටදාගන්න තිබෙන දේ තමයි නිර්මාණයක් විදිහට එන්නේ. ඒ නිර්මාණයට වෙළෙඳපොළ ආදිය මුකුත් අදාළ නෑ. ඒක තමන්ගේ කැමැත්තට කරන දෙයක්. එයින් මට ප්‍රසිද්ධියක් ලැබෙයිද මිනිස්සු මේ නිර්මාණයට කැමැති වෙයිද කියන ප්‍රශ්න මුකුත් ඒකට නෑ. වයලින් එකක් වයන කෙනා ඒ වාදනයට මිනිස්සු කැමැති වෙයිද කියලා හිතන්නේ නෑ. ඔහු එය ලස්සනට වයනවා. වෙළෙඳ පොළ න්‍යාය තුළට වැටුණොත් නීති රීති ගොඩක් තිබෙනවා. ලස්සන සුදු නිළියක් වෙන්න ඕනෙ. නළුවත් සුදු වෙන්න ඕනෙ. දෙන්නටම නටන්න පුළුවන් වෙන්න ඕනෙ. නිළියගේ අඟපසඟ හොඳට කැපිලා පේන්න ඕනෙ වගේ ගොඩක් දේවල් තිබෙනවා. එතකොට කලාව කරන්න පුළුවන් ලස්සනයි කියන අය සමඟ විතරද? වස්තු බීජ තිබෙන්නේ ලස්සන අය යොදාගන්න විතරද? එතකොට කැත අයගෙ කතා කතා නෙවෙයිද? ඒ අයගෙ දුක දුක නෙවෙයිද? වෙළෙඳපොළ තුළ කලාව කිරීම සහ කලාව මඟින් තමන්ගේ අවශ්‍යතාව පිටදා ගැනීම කියන්නේ දෙකක්.

 

සිනමාව සහ සිනමා කර්මාන්තය යන කාරණාවලදි මෙය බලපාන්නේ කොහොමද?

වේදිකාව, චිත්‍රය වැනි දේවල ඔය තත්ත්වය නෑ. ගීතයේදී එය අඩුවෙන් බලපාන්නේ. ඒත් සිනමාවේදී සහ ටෙලි නාට්‍යවලදී ආයෝජනය කරන මුදල මත තීරණය වනවා බොහෝ දේවල්. මොකද ව්‍යාපාරිකයන් මෙයට ආයෝජනය කරද්දි ඔවුන් එහි ප්‍රතිලාභය ගැන සිතන නිසා. එහිදී කලාවට වඩා වෙළෙඳාමක්. එහිදී ව්‍යාපාරිකයා තමයි කලාකරුවාට බල කරන්නේ ව්‍යපාරිකයා බලාපොරොත්තු වන ආකාරයක නිර්මාණයක් කරන්න කියලා. එය නිර්මාණකරුවාගේ අවශ්‍යතාව නොවෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපේ කලාවේ වර්ධනයත් අඩු වන්නේ. මොකද වෙළෙඳපොළ අවශ්‍යතාව මත තමයි මේ මොහොතේ නිර්මාණ කෙරෙන්නේ. එයින් කලාව පෝෂණය වන්නේ නෑ. අලුත් ක්‍රමවේද බිහිවන්නෙත් නෑ. ප්‍රේක්ෂකයාට අවශ්‍යයි කියලා හිතෙන නිර්මාණ තමයි බිහි කරවන්නේ.

 

ඇතැම් චිත්‍රපට පිටරට සම්මාන ගත්තත් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබන්නේ නෑ?

එහෙම නිර්මාණ කරනකොටම තේරෙනවානේ ඒ අයගේ අරමුණ පිටරට සම්මාන ගැනීමමයි කියලා. අපි වපුරන දේ තමයි අපි නෙළා ගන්නේ. අනෙක පශ්චාත් නූතන ආර්ථිකයක් තිබෙන මේ ලෝකයේ කිසිම දෙයක් නිකම්ම සිදුවන්නේ නෑ. යම් උලෙළක් අනේ පවු කියලා පවත්වන්නෙත් නෑ. ඒ සම්මාන උලෙළ තැබීමේ අරමුණක්, ඔවුන්ගේ විශේෂ න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් සම්මාන දෙන්නේ තමන්ගේ උලෙළේ අරමුණු සාක්ෂාත් කරන නිර්මාණවලට පමණයි. අපට පසුගිය කාලේ විවිධ සම්මාන උලෙළවලින් ලැබුණු සම්මාන හා ඉදිරිපත් කළ චිත්‍රපට දිහා බැලුවොත් ඒ පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්.

ලංකාවේ වුණත් මහන්සිවෙලා වැඩකරනවාට වඩා වෙනත් දේවල් කරනවා නම් නාලිකාවල අවස්ථා, වරප්‍රසාද ලබා ගන්න පුළුවන් විදිහේ ආධිපත්‍යයක් දකින්න ලැබෙනවා. ප්‍රවීණ නළුනිළියන් පවා පැත්තකට විසිවෙන දෙයක් එය. ඇත්තම කීවොත් කාටවත් මෙහි ඇත්ත කතාකරන්නත් බැරි තරම් තිත්තයි.

 

ඔබ මෙගාටෙලිනාට්‍ය පිළිබඳ පැහැදීමක් නැති කෙනෙක්?

මම මෙගාවලට හෝ එහි කොටස් ගාණට නෙවෙයි විරුද්ධ. එය කෙරෙන විදිහටයි. මොනවා හෝ කරලා කුතුහලයක් හදාගෙන යනවා මිස ඒවාට අවස්ථා සම්බන්ධ නෑ. රචකයාටවත් මතක නෑ ඇතැම් චරිතවල අගමුල කුමක්ද කියලා. කතාවේ දිග කොට නෙවෙයි ප්‍රශ්නය එය විධිමත්ව පෙළ ගැසෙනවාද කියන එකයි. ලෝකේ අප විශ්වාස කරන පිළිගන්න යම් යම් සම්මත තිබෙනවා. ඒවා කඩා බිඳ දමන ආකාරයෙන් කතා ගොඩ නැඟුවාම ප්‍රේක්ෂකයාට මොකද වෙන්නේ කියලා හිතන්නේ නෑ. එතකොට අපට මොකක්ද ලැබෙන ආදර්ශය? අපි කාවද විශ්වාස කරන්නේ අද හොඳට ඉන්න කෙනා හෙට නරකම කෙනෙක් වෙනකොට?

 

පිටරට නාට්‍ය නිසා මෙරට අධ්‍යක්ෂවරුන්ගේ ගුවන් කාලයට හානියක් වෙනවාද?

අපේ ටෙලි නාට්‍යයක් ඇමෙරිකාවේ ගිහින් ටෙලිවිෂනයේ දැම්මොත් ඇමෙරිකාවට ප්‍රශ්නයක් වෙනවාද? අපේ ටෙලිනාට්‍ය දාන්න එපා කියලා ඇමෙරිකානුවන් කියන්නේ නෑනේ. ඒකට හේතුව ඒ අයගේ නිර්මාණ අපට වඩා ඉදිරියෙන් තිබෙන නිසා අපේ දෙයක් එහෙ ගියා කියන එක ඔවුන්ට තර්ජනයක් නොවීම. අපි අනෙක් අයට වඩා පිටුපසින් සිටින නිසා වෙන අයගේ නිර්මාණයක් ආවාම අපට තර්ජනයක්. එහෙනම් පිළිතුර මොකක්ද? අපි අපේ නිර්මාණවල ගුණාත්මකභාවය වැඩි කරගන්නවාද? නැත්නම් අනෙක් අයගේ ඒවා බල බල කෑගහගහ ඉන්නවාද? අනෙක අපේ සංස්කෘතිය නැසෙනවා කියන අයගේ සංස්කෘතිය කුමක්ද? සංස්කෘතික මිනිහෙක් ඉන්න එපැයි සංස්කෘතිය ගැන කතා කරන්න. ඇත්ත කතාව රටක් රාජ්‍යයක් කියන්නේ වෙනම සංස්කෘතියක්, ප්‍රධාන ධාරාවක්, සමාජ රටාවක් වගේ දේවල් තිබෙන එකක් තමයි. ඒත් අපේ ඒ දේ හරියට තිබෙනවාද? කියන ගැටලුව මට දැනෙනවා. සරලවම යූටියුබයට ගියොත් තිබෙන අපේ දේවල් සංස්කෘතිකද? කාට හරි අපේ සංස්කෘතියක් වගා කරගන්න ඕනෙ නම් ඒවා වර්ධනය වන විදිහේ දෙයක් කිරීම හොඳයි තමයි. හැබැයි එහෙම අවශ්‍යතාවක් තිබෙන අය ඉන්නවාද?

ලංකාවේ කලාවට අනන්‍යතාවක් තිබෙනවා නම් ඒ වේදිකා නාට්‍යවල විතරයි. හේතුව එයට බාහිර තීරකයෙකු නැති වීම. තමන් කැමැති විදිහට නිර්මාණයක් කරන්න අවස්ථාව තිබෙනවා. තවම වේදිකාව ධනපතියකු මෙහෙයවන මෙවලමක් නොවන නිසා.

 

අලුත් නළු නිළි පරපුර ගැන මොකද හිතන්නේ?

ඇත්තෙන්ම දැන් බහුතරයක් ඉන්නේ නාලිකා මඟින් විවිධ වැඩසටහන් ඔස්සේ තනන ලද අලුත් නළු නිළි පරපුරක්. ඔවුන්ට බැඳීම් තිබෙනවා. පරණ ප්‍රවීණ පිරිසට දැන් ඇත්තෙන්ම අවස්ථා හරි අඩුයි.

 

ඔබ වේශ නිරූපණය, ඇඳුම් නිර්මාණය වැනි දේත් කළා?

තවමත් කරනවා. මගේ නාට්‍යවල ඒ සියල්ල මම කරන අවස්ථා බහුලයි. ඇත්තෙන්ම තමන්ගේ නිර්මාණය තමන් කොතැනට ගෙනයන්නේ කියන දේ සඳහා අනෙක් අයගෙන් වැඩේ කරගන්නත් එවැනි අත්දැකීම් තිබීම වැදගත්. අඩුම ගානේ තමන්ට එන ප්‍රශ්න ටික අවබෝධ කරගන්න ඒ ඒ දෙපාර්තමේන්තුවල දැනුම වැදගත් වෙනවා. කොළ පාට වටපිටාවක කොළ ඇඳුමක් ඇන්දොත් තණකොළ පෙත්තෙක් වගේ කියලා අපට දැනෙන්න ඕනෙ. එතකොටයි අපේ නිර්මාණයට ගැළපෙන දේවල් කරන්න අපට හැකිවන්නේ.

 

ඔබේ මීළඟ නිර්මාණ ගැනත් කතා කරමු?

මේ වෙද්දි ටෙලි නාට්‍යයකුත් ලියාගෙන ඉන්නේ. හොඳ වැඩක් කළ පමණින්ම තව අවස්ථාවක් ලැබෙනවා කියලා විශ්වාස කරන්න බැහැ. මම මගේ නිර්මාණ සඳහා තිර රචනයකත් කරගන්නවා. අනෙක් අය ගැන කියන්න මට අවබෝධයක් නෑ මොකද මම ලංකාවේ විකාශය වන බහුතරයක් ටෙලි නාට්‍ය බලන්නේ නෑ. මම ඇත්තටම කලාව කරන්නේ මට පිටදාගන්න දෙයක්, කියන්න, ලියන්න දෙයක් තිබෙන නිසා. ඒක මගේ ලාලසාව. නැතුව වෙන කිසිම දේකට නෙවෙයි. මට දැනිච්ච දේවල් තමයි මම ලියන්නේ. ඒ නිසා තමන් ආදරය කරන විෂයය තමන්ගේ වෘත්තිය කරගන්න කියන එක තමයි මට කියන්න තිබෙන්නේ.රුණි මුතුමලී

 

සේයාරූ - තිලක් පෙරේරා