නේත්‍රාවෙන් ලොකු වෙනසකට අපි සූදානම්

ජාතික රූපවාහිනියේ “නේත්‍රා” නාලිකාවේ අධ්‍යක්ෂ නිලාර් එන්.කාසිම්
සැප්තැම්බර් 22, 2022

චිත්‍රපට පසුබිම් ගීත රචනයේ ඔහුටම අනන්‍ය වූ කලාවක් තිබිණි. ඔහු අතින් නිර්මිත ගී පැබැදුම් මෙරට ශ්‍රාවක සිත් ප්‍රමුදිත කරනුයේ සදා මතකයන් ඔවුනගේ සිත් සතන් හි ඇති කරමිනි. මෙරට මෙන්ම පිටරට ද ගායක ගායිකාවන්ට ගී පැබැඳුම් නිර්මාණය කළ ගී පැබැඳුම් කලාවේ සලකුණක් වූ මේ ගේය පද රචකයා හැකියාවන් බොහොමයකින් පරිපූර්ණ වූ පුද්ගලයෙකි. නිවේදකයකු, පිටපත් රචකයකු, ගත් කතුවරයකු, දේශකයකු, ලේඛකයකු, සේම ගීත අමතරව මාධ්‍ය ජීවිතයේ ඔහු සොයාගිය අතුපතර බොහෝය. සරල ගී ක්ෂේත්‍රයේ මෙන්ම චිත්‍රපට පසුබිම් ගී ක්ෂේත්‍රයේ ද වර්තමානයේ ජනපි‍්‍රය ගේය පද රචකයකු වූ ඔහු නමින් නිලාර් එන්. කාසිම්ය. සිංහල භාෂාව පිළිබඳ මනා පරිචයක් ලැබු නිලාර් මාතර ප්‍රදේශයේ මුස්ලිම් පවුලක උපත ලැබීය. තම මවු භාෂාවටත් වඩා සිංහල භාෂාවට සිංහල සාහිත්‍යයට පෙම්බැදී නිලාර් සිංහල සාහිත්‍යයේ රසභාවයන් සොයාගොස් දැනුමෙන් පරිපුර්ණ වන්නේ මෙරට සිංහල භාෂාව හදාරා සිංහල ගෞරව උපාධිය ගත් පළමු මුස්ලිම් ජාතිකයා ලෙසිනි. දීර්ඝ කාලයක පටන් ජාතික රූපවාහිනියේ විවිධ තනතුරු හොබවමින් පූරක ලෙසින් විවිධ වැඩසටහන් ඔස්සේ ඔබ අප හමුවට පැමිණි නිලාර් මේ වන විට නේත්‍රා නාලිකාවේ අධ්‍යක්ෂවරයාය.

 

මේ දවස්වල වගකීම් බහුල තනතුරක කොටස් කාරයෙක් වෙලා බවක් ආරංචියි.

නේත්‍රා නාළිකාවේ අධ්‍යක්ෂවරයා වශයෙන් මම දැන් කටයුතු කරනවා. කොරෝනා කාලයේ අපේ නේත්‍රා නාලිකාව පූර්ණ වශයෙන් වෙන් කරනු ලැබුවා අධ්‍යාපන වැඩසටහන් සඳහා අයි නාලිකාව හා නේත්‍රා නාලිකාව පූර්ණ වශයෙන්ම වෙන් කරනු ලැබුවේ අධ්‍යාපන වැඩසටහන් සඳහා අවුරුදු දෙකක් තිස්සේ පාසල් වැහිලා නිසා රාජ්‍ය මාධ්‍යයක වගකීම යුතුකමක් වශයෙන් සලකා දරුවන්ගේ අධ්‍යපන කටයුතු වෙනුවෙන් ඒ නාලිකා කටයුතු කරනු ලැබුවා. කොරෝනා තත්ත්වය යම් මට්ටමකට තුලනය වීමත් සමඟ පාසල් පවා ආරම්භ වීමත් සමඟ ඒ අවශ්‍යතා වෙනස් වුණා. එහිදී නැවත එම නාලිකා යථා තත්වයට පත්කිරීමේ කර්ත්‍යවයේ දී රටේ ප්‍රධාන දෙමළ නාලිකාවක් විධියට රජයට වගකීමක් තියෙනවා එය නැවත විධිමත්ව හැසිරවීමට.ඒ අවස්ථාවේදී එම වගකීම මා වෙත පැවරුණා. නාලිකා ප්‍රධානී විධියට අලුත්ම නාලිකාවක් පටන් ගන්නා ආකාරයට මෙහි වැඩසටහන් සකස් කරල කාර්ය මණ්ඩලය යථාවත් කරල අවශ්‍ය පහසුකම් ඇති කරල නැවත පෙර තිබු අයුරින් යථාවත් කිරීමට අපි සැලසුම් කළා. මේ වන විට අපි යම් ආකාරයකට මාස කීපයක් තුළ සාධනීය මට්ටමකට පැමිණ තිබෙනවා.

නේත්‍රා යථාවත් කිරිමට ඔබ කොයි ආකාරයට ද සැලසුම් කරලා තියෙන්නේ.

අලුත් දෙමළ චිත්‍රපට, අලුත් දෙමළ ටෙලි නාට්‍ය වැඩි වශයෙන් විකාශය කරන්න අපේ නේත්‍රා නාලිකාව දැනට සැලසුම් කරලා තියෙනවා. ජාතික දෙමළ නාලිකාවක් විධියට අපි ඉටු කළ යුතු වගකීම් කොටසක් තියෙනවා. අපි ඒ ටික දැනටමත් ඉටු කරනවා. වෙළෙඳපොළ ජයග්‍රහණයක් කිරීම සඳහා අපි රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැතිව රූපවාහිනී සංස්ථාව හැටියට ආදායම් ඉපැයීමේ වැඩසටහන් මාලාවක් සැලසුම් කරල තියෙනවා. ඉතාමත් කෙටි කාලයකින් නේත්‍රා නාලිකාව විශාල වෙනසක් ඇතුව ඉදිරියේදී විකාශන කටයුතු පවත්වාගෙන යන්න අපේ කඩිනම් සැලසුමක් දැනටමත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

ඔබ කියන්නේ මේ ප්‍රගතිය මීට කලින් නේත්‍රා අත්කරගෙන තිබුණේ නෑ කියල ද?

අද වන විට සමාජය වෙනස්, ප්‍රේක්ෂකයා වෙනස්, රට තුළ ඇතිවෙච්ච මාධ්‍ය සංස්කෘතිය වෙනස් මේවාට අනුකූල වන විධියට අපිත් නාලිකාව පවත්වාගෙන යා යුතුයි. ඒ ඒ වකවානුවල නේත්‍රා ඒ තිබු කාලවකවානුවලට අනුගතව මීට පෙර විකාශන කටයුතු සිද්ධ කළා. ඒ කටයුතු හා අපිට දැන් මේ වැඩපිළිවෙළ සංසන්දනය කරන්න බෑ. මේක අලුත් පියවරක්. දෙමළ භාෂාව කතා කරන ප්‍රෙ‍්‍ර්ක්ෂකයා ඉලක්ක කරගෙන තමයි අපි විකාශන කටයුතු සිද්ධ කරන්නේ. තිස් අවුරුදු යුද්ධයකට මුහුණදුන් රටක් හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් අභිලාෂයන් හා සංස්කෘතික ජීවිතය මේ නාලිකාව ඔස්සේ පිළිබිඹු කරන්න. ඒ සඳහා වැඩසටහන් සම්පාදනය වෙනවා.

ඔබගේ නායකත්වය තුළ මේ වෙනස කවදාද ඔබ ජනගත කරන්නේ?

දැනටමත් ආරම්භ වෙලා තියෙනවා. නේත්‍රා සුසර කළොත් ඒ වෙනස දැනටමත් දකින්න පුළුවන්. තව නොබෝ දිනකින් ඒ ලොකු පෙරළිය. ප්‍රේක්ෂකයට ගෙන එන්න අපි දැනටමත් සුදානම්. ජනතාවට හොඳින් නේත්‍රා දෘශ්‍යමාන වීමට අවශ්‍ය තාක්ෂණික ක්‍රියාකාරකම් පවා අපි මේ වන කොට යාවත්කාලීන කරල තියෙනවා. සාමාන්‍ය නාලිකාවක් විධියටත් කේබල් නාලිකාවක් විධියටත් පියෝ ටී.වී. ඔස්සෙත් නේත්‍රා පේ‍්‍රක්ෂකයාට හොඳින් නැරඹීමේ අවකාශ අපි ඇති කරල තියෙනවා.

මේ භාරධුර කර්තව්‍යයන් එක්ක ඔබ ගීත රචනයට විරාමයක් තියල ද?

ගීත රචකයෙක් රූපවාහිනී පූරකයෙක් විධියට මට වැඩකරන්න වෙලා තියෙනවා. හාත්පසින්ම වෙනස් භාෂාවන් දෙකක් එක්ක නේත්‍රා නාලිකාව සමඟ මම කටයුතු කරන්නේ දෙමළ භාෂාවෙන්. මගේ නිර්මාණ කටයුතුවලදී මම ගනුදෙනු කරන්නේ සිංහල භාෂාවත් එක්ක. ඒක මට අභියෝගයක්. ඒ දේ පෙර පරිදිම සිද්ධ වෙනවා. කොරෝනා කාලයේදීත් ඊට පසු රට තුළ ඇති වූ අරගලකාරී වටපිටාව තුළත් ගීත රචනා කිරීම මා තුළ ලොකුවට අඩාළ වුණේ නෑ. අලුත් පරම්පරාවේ අය, විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයෝ. විවිධ අය මාත් එක්ක එකතු වෙලා විවිධ නිර්මාණ කරනවා. ඊට අමතරව චිත්‍රපට හා ටෙලි නාට්‍ය පැත්තෙන් ඒ ඒ නිර්මාණ සඳහා මගේ සුපුරුදු දායකත්වය අඩුවක් නැතුව ලැබී තියෙනවා.

මේ දවස්වල ඔබ අතින් නිර්මාණය වූ ගීත එහෙමත් නිර්මාණ සඳහා එකතු වෙලා ඇති. මේ දවස්වල රූපවාහිනියේ විකාශය වෙන මතක සිත්තම් කොරියානු හඬ කැවු ටෙලිනාට්‍යය ස්වර්ණවාහිනීයෙන් විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍යවල තේමා ගීතය නිර්මාණය කළේ මම. ඒ සඳහා ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මට ලැබෙනවා. ඊට අමතරව මගේ ගීත රචනා ඇතුªළත් චිත්‍රපට කීපයක්ම මේ වනවිට නිර්මාණය කරල තිරගත වෙන්න තියෙනවා. ගින්දරී - 3, රිදී සීනුව, පාස්පෝට්, ස්වර සදදිය සළු, මන්දාරා ආදී චිත්‍රපට බොහොමයක් තියෙනවා.

මේ වනවිට චිත්‍රපට පසුබිම් ගීත රචනය සඳහා වැඩි ඉල්ලුමක් ඔබ වෙත ගලා ඒමක් තියෙනව ද?

මට කලින් පරම්පරාවේ දායකත්වයෙන් පසු මගේ පරම්පාරවේ රචකයන්ගෙන් වැඩි අවස්ථාවක් මට ලැබුණා. ඒකට හේතුව මොකක්ද කියල මම දන්නේ නෑ. නමුත් මා අතින් නිර්මාණය වූ හැම ගීතයක්ම ජනපි‍්‍රය වුණා. වලාකුල් වියන් තානාලා..., මීදුමෙන් වැසී කඳුයාය...,ගුම් නාදේ රෑනේ රෑනේ.. ඔය වගේ ගීත රාශියක් තියෙනවා වඩාත් ජනපි‍්‍රය වූ.

ඔබ අතින් රචනා වූ චිත්‍රපට පසුබිම් ගීත අතරින් ඔබ වඩාත් ආශා කරන ගී පැබැඳුම් මොනවද?

ආසයි මං පියාඹන්න චිත්‍රපටයේ වලාකුල් වියන් තානාලා, හිරිපොද වැස්ස චිත්‍රපටයේ - මීදුමෙන් වැසී කඳු යාය, සිංහාවලෝක චිත්‍රපටයේ -මතකද හැන්දෑවේ අපි දෙන්නා..., ආදරණීය කතාවක් චිත්‍රපටයේ - අහසින් එහා තරු මල් ..., රෝස කැලේ චිත්‍රපටයේ - ගුම් නාදේ රෑනින් රෑනේ...., චැලෙන්ජර්ස් චිත්‍රපටයේ - ෆැන්ටසි හීනයක මං..., නෙලා චිත්‍රපටයේ - ආදරය ඔබ මගේ අවදියෙන්....,

ඔබ අතින් නිර්මාණය වූ ගී ඇතුළත් චිත්‍රපට බොහොමයක් අතිශයින් පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රය වෙනවා. එවැනි චිත්‍රපට ගීත සඳහා ඔබ මොනවගේ සංකල්පයන් ද තෝරගන්නේ?

ගීත රචනා ක්ෂේත්‍රය තුළ පුළුල් බවක් ගොඩනඟා ගන්න නම් භාෂා පරිචය අතිශයින් වැදගත් වෙනවා. ගීත රචකයකුගේ ආයුධය වෙන්නේ භාෂාව, ඒකෙන් කරන හරඹ මත තමයි අපේ මතය ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඔහු හෝ ඇය තුළ තියන හවුල නිර්මාණාත්මක දැක්මත් විශේෂයෙන් වැදගත් වෙනවා. මම හිතන්නේ මා තුළ වසර තිහක කාලයක් රූපවාහිනී මාධ්‍ය තුළ හිඳිමින් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයකු කියන තැන ඉඳලා ආයතනික අධ්‍යක්ෂවරයකු දක්වා කටයුතු කිරීම තුළ ශ්‍රව්‍ය දාශ්‍ය මාධ්‍යයක් සමඟ දශක කීපයක් ගනු දෙනු කළ කෙනෙක් වශයෙන් රූප භාෂාවත් එක්ක ගොඩනැඟෙන ගීතය පිළිබඳ මා තුළ කිසියම් සවිඥානාත්මක බවක් ඇතිවෙන්න ඇති මගේ නිර්මාණ කර්තව්‍ය සාර්ථක වෙන්න. සරල ගී ලියන හැම කෙනෙක්ම චිත්‍රපට ගීත තුළ සාර්ථක වෙන්නේ නෑ. ඉතිහාසය තුළ ඒ අභියෝගය ජයගත්ත අයත් නොහිටියා නොවෙයි. කරුණාරත්න අබේසේකර, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි ගේය පද රචකයෝ ඊට හොඳ උදාහරණ. චිත්‍රපට ගීත කියන්නේ රූප මාධ්‍යයත් එක්ක කරන ගනුදෙනුවක්. අන්න ඒ සාමුහික ක්‍රියාකාරකම තුළ ගීත රචකයාගේ භූමිකාව හඳුනාගැනීම තමයි මම දකින්නේ සාර්ථකත්වයේ ලක්ෂණය කියල. රූප මාධ්‍ය තුළ කලක් පටන් මම සිටිය කෙනෙක් වීම ඒ දේ හඳුනාගන්න මට පහසුවක් වෙලා තියෙනවා.

කුඩා කල පටන් ඔබ සිනමාවට ඇලුම් කළ පුද්ගලයෙක්?

චිත්‍රපට පිස්සෙක් කිවුවොත් හරි. පාසල් යන කාලයේ ගෙදරටත් හොරෙන් ගිහින් ගැලරියේ භාග ටිකෙට් අරන් චිත්‍රපට බලපු යුගයක් තිබුණා. එන චිත්‍රපටය මොකක්ද ඒක බැලුවා. ඒ සඳහා ලොල්වෙලා හිටියා හැම කාලෙකම චිත්‍රපට පේ‍්‍රක්ෂකයෙක්.

ජනපි‍්‍රය චිත්‍රපට රැල්ලේ එක් භූමිකාවක් වන ඔබට මුලින්ම අත හිත දෙන්නේ කවුද?

උදයකාන්ත වර්ණසූරිය ඔහු නළු නිළියන් තෝරා ගැනීමේ ඉඳලා විවිධ ක්ෂේත්‍රවලදී අලුත් අයත් එක්ක අත්හදා බලන්න නොබියව ඉදිරිපත් වෙන කෙනෙක්. ඒ වගේම නිර්ලෝභීව අලුත් අයට අත හිතදෙන කෙනෙක්. අලුත් අයත් සමඟ නිර්මාණ කිරීමේ අභියෝගය අවදානම බාරගත්ත කෙනෙක්. ඔහුගේ යකඩ පිහාටු චිත්‍රපටයට තමයි ගීතයක් සඳහා මට මුලින්ම ආරාධනා කළේ. ඒකත් හරි අහම්බෙන් සිද්ධ වෙන දෙයක්.

චිත්‍රපට පසුබිම් ගීත රචනයේ ඇරැඹුම කොයි ආකාරයෙන් ද ගොඩනැඟුණේ කියල ඔබට මතකද?

එක්තරා දවසක සැන්දෑවක උදයකාන්ත මියුසික් ට්‍රැක් එකක් අරන් ආවා. හෙට උදේ දහයට වොයිස් කරනවා මට මේකට සින්දුවක් ඕනේ කියලා. ආනන්ද පෙරේරා තමයි මියුසික් ට්‍රැක්එක හදල තිබුණේ. චිත්‍රපටයේ කතාවත් එදාම මට කිවුවා පහුවෙනිදාට රෙකෝඩින් කියලත් කිවුවා. ඊට කලින් සින්දුවට ඕනෙ කිවුවා. මම අභියෝගය භාරගත්තා රෑ එළිවෙනකන් සින්දුව ලියලා මුල් අභියෝගය මම ජයගත්තා. මල් මී ඇස් අරින්නේ.... කියන ගීතය තමයි මගේ මුල්ම චිත්‍රපට පසුබිම් ගීතය. ආනන්ද පෙරේරාම තමයි ඒ ගීතය ගායනා කරන්නෙත්. යකඩ පිහාටු චිත්‍රපටයේ මගේ ගී රචනයට රංගනයෙන් එක් වන්නේ රන්ජන් රාමනායකයි අනෝජා වීරසිංහයි. මම වැඩිම චිත්‍රපට ප්‍රමාණයකට ගීත රචනා කරල තියෙන්නේ උදයකාන්තට. උදයකාන්තගේ චිත්‍රපටවල මගේ ගීත ජනපි‍්‍රය වෙනකොට අනෙකුත් චිත්‍රපට කරුවන් මාව සොයාගෙන එනවා ඔවුන්ගේ නිර්මාණ වෙත ගීත රචනා කරව ගන්න.

ගීත රචනය ඔබ නිර්මාණයට දායක කරන්නේ කලින් නිර්මාණය කරගත් ගී රචනයක් ලෙසින්ද?

කොහෙත්ම නෑ. චිත්‍රපටයේ පිටපත කියවල මම ලබාගත්ත අදහසක් අනුව තමයි ගීත රචනා සිද්ධ වෙන්නේ. චිත්‍රපට වෙනුවෙන් පිටපත ලැබි ක්ෂණිකව ලිව්ව ගීතත් තියෙනවා. වැඩි වශයෙන් පිටපත අධ්‍යයනකින් පසු තමයි මම ගීත ලියලා තියෙන්නේ. තේමා ගීතයක් ද රූප රාමු අනුකූල වන ගීතයක් ද කියන මනා වැටහීම ඇතුවයි මුලින්ම ගීත රචනයට යොමුවන්නේ. පිටපත කියවගෙන යනකොට හිතෙනවා ඒ මම යොදන්න ඕනෙ භාෂාව මොකක්ද රූප රාමුවල තියන පරිසරය මොකක්ද රූප ජවනිකාවේ හැසිරීම කොයි ආකාරයෙන් ද කියන දේ පිළිබඳ අපිට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ අධ්‍යයනයක් සමඟ චිත්‍රපටයේ තිරපිටපත් රචකයාගේ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ සංගීත අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතා මත අපිට ගීත රචනයේදී කටයුතු කරන්න සිද්ධ වෙනවා.

අතිශයින් ජනාදරයට පත් ගී පැබැඳුම් ඔබ අතින් නිර්මාණය වන්නේ කොහොමද?

රචකයකුට ගීතයත් නිර්මාණය වීමේදී උත්තේජනය සපයන විවිධ පැති තියෙනවා. තමන් ජීවිතයේ ලැබු අත්දැකීම්, කියවපු පොතපත තුළින් ලබන අත්දැකීම්, නරඹපු චිත්‍රපට ඒ චිත්‍රපටවල අධ්‍යක්ෂවරයාගේ රිද්මය, රූප භාවිතය පිළිබඳ උත්තේජනය පුර්ව තනුවකට නම් ගීතය රචනා කරන්නේ සංගීතඥයාගේ තියන තනුවේ නාද සංයුතිය කොයි ආකාරයෙන් ද කියන දේ අනුව ගීතයක් ලියන්න සිද්ධ වෙනවා. කොහොමත් අපි විසින් කරන අධ්‍යයනයක් ප්‍රතිඵලයක් ලෙස තමයි චිත්‍රපට පසුබිම් ගීතයක් ගොඩනැඟෙන්නේ. ඒ සඳහා දීර්ඝ කාලීන පරිචයක් අපි ලැබිය යුතුයි. සාර්ථක නිර්මාණයක් බිහිවීම උදෙසා.

ඔබ අද චිත්‍රපට පසුබිම් ගීත රචකයෙක් පමණක් වෙලා ද?

නෑ. චිත්‍රපට 15ක විතර තමයි මම ගීත රචනා කරල තියෙන්නේ. ඒ හැරුණුකොට අදටත් වැඩි වශයෙන් ලියැවෙන්නේ සරල ගීත. විවිධ අයගේ ඉල්ලීම් අවශ්‍යතා අනුව. මට එක පැත්තකින් ලැබුණු වාසනාවක් තමයි පුළුල් පරාසයකින් ශිල්පීන් සමඟ ගනුදෙනු කිරීමට තිබු ඉඩකඩ අද ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පිණිය වන ලතා වල්පොල ගේ ඉඳලා වර්තමානයේ ජනපි‍්‍රය තලයට ආපු යොහානි වීරසිංහ දක්වා පරාසයක අයට මම ගීත රචනා කරල තියෙනවා. ඒක රචකයකුට ලැබෙන ලොකු අවස්ථාවක්. ගොඩක් අය කොටුවෙලා ඉන්නවා. තමන් ඇසුරු කරන පිරිසක් සමඟ ගනුදෙනු කරන්න. මම පෙර පරපුරේ ශිල්පීන් සමකාලීන ශිල්පීන් වර්තමාන ශිල්පීන් සමඟ කටයුතු කරන්න ලැබුණා. ගායක ගායිකාවන් සේම සංගීත අධ්‍යක්ෂවරුනුත් ඒ ආකාරයෙන්ම මට ගනුදෙනු කරන්න ලැබුණා.

ඔබ ඉල්ලීම් මත පමණක්ම ගීත රචනයේ නියැලෙන රචකයෙක් ද?

නෑ. ඉල්ලීම්වලට වගේම මා තුළ ඇති වු යම් සිතුවිල්ලක් මත රචනා කරපු ගීතත් තියෙනවා. සමහර අවස්ථාවල මම ස්වයංව නිර්ණය කොට අහවල් ගායකයා ගායිකාව වෙනුවෙන් රචනා කරපු ගීතත් තියෙනවා. නිදහසේ ලියැවෙන පදමාලාවන් අනුව රචනා කරපු ගීත මම ගායිකාවගේ ගායකයාගේ හඬ ගැන හිතල ඒ නිර්මාණ ඔවුන්ට දුන් අවස්ථාත් තියෙනවා.

සම්මානනීය ඇගැයුම් ලබන ගීත රචකයෙක් ඔබ?

ක්ෂේත්‍රයට ආ මුල් අවධියේ විශ්වවිද්‍යාල මට්ටමේ තිබු තරගවලදී මගේ ගීත ඇගැයීමට ලක්වුණා. පේරාදෙණිය ජයවර්ධනපුර, කොළඹ විවිධ විශ්ව විද්‍යාලවල කලා උලෙළවලදී ඇගැයීමට ලක්වුණා. එවකට තිබු ජනතා සාහිත්‍ය උලෙළ ස්වාධීන සාහිත්‍ය උළෙලවලදී හොඳම ගීත රචකයා බවට අභිශේක ලබනවා. වරපෙරළිය ටෙලි නාට්‍යයේ තේමා ගීතය වෙනුවෙන් සිග්නීස් සම්මානය මට හිමිවෙනවා. ඒ තමයි මම මුලින්ම ටෙලි නාට්‍යයක් සඳහා ගීත රචනය වෙනුවෙන් ලබන සම්මානය බුන්කා අන්තර්ජාතික සම්මානය මට හිමිවෙනවා. ගීත රචනා ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය හා සාහිත්‍ය මෙහෙවර උදෙසා ඒක මට සුවිශේෂයි. දෙරණ සම්මාන උලෙළේ දී වසරේ ජනපි‍්‍රය ගීතය උදෙසා මතක ද හැන්දෑවේ... අහසින් එහා.... ගීත දෙක සම්මානයට පාත්‍ර වෙනවා. සරසවිය සම්මාන උලෙළේ ආසයි මං පියාඹන්න චිත්‍රපටයේ වලාකුළු වියන් තානාලා.... ගීතය නිර්දේශ නාමාවලියට ඇතුළත් වෙනවා. 2017 වසරේ වලාකුළුවියන් සාහිත්‍ය ගී පොත රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වෙනවා. 2019 දී සරස වසන්තය පද රචනා එකතුව විද්යෝදය සාහිත්‍ය සම්මානය හිමි කරගන්නවා.

ඔබ නිර්මාණයේ යෙදෙන්නේ සම්මාන බලාපොරොත්තුව ද?

කොහෙත්ම නෑ.

වඩාත් කැමති කවුරුන්ගේ නිර්දේශයක් මත සම්මාන ලබන්න ද?

විනිශ්චය මණ්ඩල මඟින් ලබාදෙන ඇගැයුම් වගේම මගේ රසිකයන් ගෙන් ලැබෙන ඇගැයුම් මට වැදගත්. විනිශ්චය මණ්ඩල ඇගැයුම් වැදගත් ඒත් අපේ රටේ විනිශ්චය පිළිබඳ ගැටලු සහගත තැත් තියෙනවා. ටෙලි නාට්‍ය චිත්‍රපට වගේම සාහිත්‍ය සම්මාන උලෙළවලදී අපිට දකින්න තියන විනිශ්චය මණ්ඩල දැක්කහම අපිට කියන්න පුළුවන් සම්මාන හම්බවෙන්නේ කාටද කියලා ඒ ගැන අත්දැකීම් මට ඕනෙ තරම් තියෙනවා. විනිශ්චය මණ්ඩලයට ගරු කරන අතරම සම්මාන මේනියාවාක් මට නෑ. හැබැයි ගීතයක් නිර්මාණයක් කරන රචකයෙක් ක්ෂේත්‍රය තුළ පවතින්නේ සහෘදයාගෙන් පේ‍්‍රක්ෂකයාගෙන් ලැබෙන පිළිගැනීමත් ආදරයත් එක්ක. ඒක මම හිතනවා සියල්ලටම වඩා වැදගත් කියලා. මිනිස්සු අපට වඩා බුද්ධිමත් ඒ අයට බොරු කරන්න බෑ. ඒ අය හරි විනිශ්චයත් එක්ක තමයි ඒ නිර්මාණය වැලඳ ගත්තේ.

ගීත රචනය තුළ ඔබ හරඹ පෑවත් රසික හද මුලින්ම ඔබ ආකර්ෂණය කරන්නේ රූපවාහිනිය තුළ පූරකයෙක් වශයෙන් නේද?

ඔබ කියන ප්‍රකාශය නිවැරදියි. ඊට අමතරව රූපවාහිනි පූරකයෙක් විධියට ආයුබෝවන් වැඩසටහනේ ඉඳලා පසුගිය දශක දෙක තුන තුළ පේ‍්‍රක්ෂක ප්‍රසාදයක් තියෙනවා. හැබැයි මම රූපවාහිනි මාධ්‍ය ආයතනයක වැඩ කළාට නිරන්තරයෙන් පූරකයෙක් විදියට තිරයේ ඉන්න බලාපොරොත්තු වුණේ නෑ. මම හිතුවා නිතර පේන කුකුළ වෙන්න ඕනෙ නෑ කියලා. යම් යම් විරාමයන් ඇතුව තමයි විවිධ ප්‍රෝග්‍රෑම් වලින් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. ඒ සෑම අවස්ථාවකම ප්‍රේක්ෂකයන්ගෙන් ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඔය දෙකටම අමතරව සාහිත්‍ය වේදියෙක් ගත් කතුවරයෙක් විධියට මම කරපු දේ නිසාවෙන් පාඨකයන්ගේ ආදරය මට ලැබුණා.

ඔබ වඩාත් ඇලුම් කරන්නේ පූරකයෙක් විධියට ද ගීත රචකයෙක් විදියට ද හඳුන්වනවට ද?

මට හිතෙන්නේ ගීත රචකයෙක් විදියට මට ආමන්ත්‍රණය කරනවා නම් වඩාත් කැමැත්තක් මා තුළ තියෙනවා. ගීත රචනා කලාව තුළ මම අතිශයින් ස්වාධීනයි. එතැනදි ප්‍රකාශ කරන්නේ මට ඕන දේ. එතැන දී මට සීමා මායිම් නෑ. මම වැඩකරන ආයතනයේ පූරකයෙක් ලෙස වැඩ කිරීමේදී නාළිකාවේ අභිමාර්ථ හඳුනාගෙන ඒවත් එක්ක මම හිතනවා ගීත රචකයෙක් කියන භූමිකාව ස්වාධීන නිදහස් කියලා.

ගීත රචනය තුළ ඔබට මේ සමාජයට බලපෑමක් කරන්න පුළුවන් වුණා ද? ඔබේ නිර්මාණවල නැතහොත් ඔබේ ගී රචනා හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් වුණා ද?

මම හිතනවා හැම කලාකාරයකුªටම හැම ශිල්පියෙකුටම සමාජ වගකීමක් පැවරිලා තියෙනවා. ආතල් එකක් දෙන වැඩේ විතරක් නෙමේ සමාජීය වගකීම හිතේ දරාගෙන තමයි හැමවෙලේම නිර්මාණ කාර්යයේ යෙදෙන්නේ. අපේ නිර්මාණ වලින් කොයි වෙලාවකවත් පේ‍්‍රක්ෂකයාගේ වින්දනයට නිගා කරන්න බෑ. අනික් පැත්තෙන් අපි ජීවත් වෙන්නේ සුඛිත මුදිත සමාජයක නොවෙයිනේ අපිට කලාකරුවෝ හැටියට වගකීමක් තියෙනවා මීට වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම පිළිබඳ ජනතාව තුළ කිසියම් සවිඥානකමක් ඇති කිරීමට ඒ සඳහා අපිට නිර්මාණ යොමු කරන්න වෙනවා.

ගීත රචනය සඳහා ඔබ පෙම් බදින්නේ කුඩා අවධියේ පටන් ඔබ තුළ තිබු ආශාවක් නිසා ද?

ඔව්. මම ටිකක් වෙනස් පුද්ගලයෙක්. සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ සිංහල භාෂාවට අසීමිතව ආදරය කරන පුද්ගලයෙක්. උසස් පෙළ විද්‍යා විෂයන් හදාරන්න ගිහින් මාස කීපයකින් නැවත කලා විෂයයන් හැදෑරීමට නැඹුරු වෙනවා. භාෂාව හා සාහිත්‍ය ගැඹුරින් හැදෑරීමට මා තුළ තිබු ආශාව නිසාම. ගොඩක් අයට ව්‍යාකරණ සාහිත්‍ය ඇලජික් මට තිබුණේ ඒ පිළිබඳ ඇල්මක් උසස් පෙළ හදාරණ කාලේ. සිංහල භාෂා ගුරුවරයා හැටියට මට ඉගැන්නුවේ රන්සෑගොඩ රතනපාල හිමියන්. ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීමත් එක්ක උසස් පෙළ අවසන් කළාට පස්සේ මාව උන්වහන්සේ භාර කළා. තවත් ස්වාමීන් වහන්සේ නමක් වෙත සිංහල භාෂාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයට මම ඇතුළත් වුණාම එතැනදී මම නැඹුරුවෙන්නේ සිංහල විශේෂවේදී උපාධිය හැදෑරීමට. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම තුළ සිංහල ශාස්ත්‍රපති උපාධිය හදාරනවා. මම දන්නා තරමින් සිංහල ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ එකම මුස්ලිම් ජාතිකයා මම කියලයි.

ඇත්තටම ඔබ මෙතරම් සිංහල භාෂාවට පෙම් බඳින්නේ ඇයි?

මගේ දෙම්පියෝ සාම්ප්‍රදායික මුස්ලිම් ජාතිකයෝ. මගේ මව්බස දෙමළ. මම ජීවත් වෙන්නේ මාතර නගරයේ සිංහල මුස්ලිම් ජාතිය සමව ජීවත්වෙන පරිසරයක. මොන හේතුවක් නිසා ද කියල මම දන්නේ නෑ පාසල් අවධියේ පටන් මා තුළ ඇති වූ ළැදියාවක් මට හිතෙන්නේ අපේ පවුලේ පස්දෙනෙක් හිටියා. මගේ නංගිලා දෙන්නා ඉගෙන ගත්තේ දෙමළ මාධ්‍යයෙන්. පිරිමි සහෝදරයෝ දෙන්නත් එක්ක මම ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. ඒ පළමු අත්තිවාරම තමයි මගේ දෙමවුපියෝ සිංහල මාධ්‍යයෙන් මට අධ්‍යාපනය ලැබීමට අවසර ලබාදීම කිසිදු තහංචියක් නොමැතිව පාසලේදී මම බුද්ධාගම විෂයක් ලෙස හදාරනවා. සමහර පන්තිවල බුද්ධාගමට වැඩිම ලකුණු මට. අපේ නෑ සනුහරේ ඉතා පුළුල් විධියට අපි දිහා බැලුවේ. ඒ නිසාම මා තුළ සිංහල භාෂාවේ රසභාවයන් ස්පර්ෂ කරන්න මට ඉඩකඩ ලැබුණා. මේ හා සමානව මට දෙමළ භාෂාවත් ඉගෙන ගන්න ලැබුණා. දෙමළ භාෂාව තුළිනුත් මම සාහිත්‍ය කරණයේ නියැළුණා දෙමළ කවි, කෙටි කතා සිංහලයට පරිවර්තනය කළා.

ඔබ අතින් ලියැවුණු දෙමළ ගීත රචනාත් තියෙනවද?

මම ලිව්ව සිංහල ගීතවල දෙමළ කොටස් තියෙනවා. ඒ ඇරෙන්න දෙමළ භාෂාවෙන් ලිව්ව ගීත එහෙම නෑ. මගේ නිර්මාණත්මක ප්‍රකාශනය තියෙන්නේම සිංහල මාධ්‍යයෙන්. දෙමළ සාහිත්‍යයේ තියෙන ඇසුර නිසා දෙමළ මාධ්‍යයේ පොත්පත් කීපයක්ම සිංහලයට පරිවර්තනය කළා. දෙමළ මාධ්‍යයේ තියෙන ඇසුර නිසා තමයි මට නාලිකාවක ප්‍රධාන තනතුරක් ලැබෙන්නේ.

තනුවක් ලැබුණොත් එයට පදරචනය කිරීම ද ඔබේ වැඩි කාර්ය වෙලා තියෙන්නේ?

ඔය දෙවිධියටම මම ගී රචනා කරලා තියෙනවා. කලින් වචන ලියල පසුව තනුව දාපු ජනපි‍්‍රය වෙච්ච ගීත තියෙනවා. මම පුද්ගලිකව කැමති නිදහසේ වචන ලියල පසුව තනුව දාන ගී රචනා සඳහා.

මෙතරම් සාර්ථක ගමනක් පැමිණෙන්න ඔබට පවුලෙන් ලැබෙන්නේ මොන වගේ සහයක් ද?

බිරිය මේ සඳහා හොඳ අනුග්‍රහයක් මට ලබා දෙනවා. මට තියන කාර්ය බහුලත්වය හොඳින් තේරුම් ගෙන ඒ නිදහස මට ලබාදීලා තියෙනවා. ඇය මටත් වඩා පොත පත කියවන කෙනෙක්. මගේ සමහර නිර්මාණ සමාජගත වෙන්න කලින් ඇය තමයි ඒ සඳහා මුල්ම ප්‍රතිචාරය ලබාදෙන්නේ. ඇයත් ගායන ශිල්පිනියක් විශාරද හේමන්ති රණසිංහ. මට දුවල දෙන්නයි. අමානි ශබානා, ආන්යා ශහීනා මගේ පි‍්‍රයතම නිළිය ශබානා ආස්මී ඒ බලපෑමත් එක්ක තමයි මම එක දුවකට සබානා නම දාන්නේ. භාතිය සන්තුෂ් උමාරා කියන ශහීනා ශහිනා ගීතය ජනපි‍්‍රය වෙලා තියන කාලෙක තමයි මගේ අනෙක් දුවට ශහීනා කියන නම දාන්නේ.

ඔබේ ගීත රචනා කලාවට දැන් කොපමණ කාලයක් ගතවෙලා ද?

අවුරුදු තිහක්. මුල්ම ගීත රචනය බිහි වෙන්නේ 1990වේදී විතර.

අනූව දශකයේ බිහිවන නිලාර් වඩාත්ම ජනපි‍්‍රය වන්නේ කුමන ගීතයෙන් ද?

සඳදිය දෙව්නගේ සිනහව පිපුණා නුඹ කොතරම් සුන්දර... ගීතයෙන්.

අද නිලාර් ගීත සොයන්නන්ට සොයාගෙන ගොස් ගීත ලියනවා ද නැතහොත් ගීත රචනා සොයාගෙන එන අයට ගීත රචනා ලියනවා ද?

බොහෝ විට ගී පද රචනා ලියැවෙන්නේ මගෙන් කරන ඉල්ලීම් මත

ගේය පද රචනය නිසාම ඔබ විවිධ තනතුරු දරනවා නොවේ ද?

කලක් මම රාජ්‍ය භාෂා කොමිසම් සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළා, ගීත රචක සංසදය හා ප්‍රකාශකයන්ගේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්. ශ්‍රී ලාංකේය ගේය පද රචකයන්ගේ සංගමයේ සම සභාපති ලෙස කටයුතු කරනවා. කාලෙන් කාලෙට රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය රාජ්‍ය සංගීත අනුමණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කළා. ගත් කතුවරයෙක් ලෙස ගීත, සාහිත්‍ය, ශාස්ත්‍රීය පොත්පත් විදියට පොත් 15ක් විතර මම රචනා කරල තියෙනවා.

ලංකාවේ පළමු වරට ගීත ප්ලෑෂ් ඩ්‍රයිව් එකක් හඳුන්වා දුන් පුද්ගලයා ඔබ නේද?

ඔව්. ගීත සියයක් අඩංගු ප්ලෑෂ් ඩ්‍රයිව් එකක් මම නිර්මාණය කළා. කැසට් සහ සී.ඩී තාක්ෂණයෙන් ඔබ්බට ගිහිල්ලා 2018 වසරේ සරස වසන්තය නමින් මම මෙය එළි දැක්වූවා. මෙවැනි දෙයක් මම තමයි මුල්වරට ජනගත කිරීමක් කළේ. මේ සඳහා යන වියදම වැඩියි. අපි මාස්ටර් ටේප් එක මෙහෙ කරල චීනයට යවල තමයි පෙන්ඩ්‍රයිව් එක නිෂ්පාදනය කළේ. මෙයින් මම අපේක්ෂා කළේ කාලානුරූපීයව අද තිබෙන තාක්ෂණයත් උපාංගත් එක්ක බද්ද වෙන්න. මගේ නිෂ්පාදනයක් ලෙස මෙය ජනගත කළත් පුළුල් ප්‍රචාරයක් මම ඒ සඳහා ලබාදුන්නා. ඒත් දහසකට වඩා මෙය ජනයා අතර අලෙවි වුණා.

මේ වෙනකොට ඔබ කොපමණ ගීත රචනා ප්‍රමාණයක් එළිදක්වල ඇද්ද?

දළ වශයෙන් ගී රචනා හයසියයක් හත් සියක් විතර ඒ අතරින් මම පෙන් ඩ්‍රයිව් එකට ගත්තේ වඩාත්ම ජනතාව අතර ජනපි‍්‍රය වු මගේ ගී පබැඳුම්.

අනෙකුත් ගීත රචකයන්ට නොලැබුණු විශේෂ අවස්ථාවන්ටත් ඔබ සුවිශේෂී පුද්ගලයෙක් ?

මට ලෝක ප්‍රකට ගායක ගායිකාවන්ට ගීත රචනා කිරීමේ අවස්ථාව උදා වුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට සැඩ සුළං චිත්‍රපටයේ ලතා මංගේෂ්කාර්ට ගීතයක් රචනා කරන්නේ ආනන්ද සමරකෝන් එතුමන්ගෙන් පස්සේ දශක ගණනාවකට පසු ඒ වගේ භාග්‍යයක් උදාවෙන්නේ මට ලතා මංගේෂ්කාර්ගේ සොයුරිය වන ආශා බෝස්ලේට දේදුන්න සේදී... නමින් සිංහල ගීතයක් මම නිර්මාණය කරනවා. එය ආශා බෝස්ලේ සමඟ භාතිය සන්තුෂ් තමයි ගායනා කළේ. ඒ වගේම මම තවත් ගීතයක් රචනා කළා. ඉන්දීය ගායක හරිහරන්ට. ඔහු සිංහලෙන් කළ එකම ගීතය යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා.... ගීතය රචනා කළේ මම.

ඔබ වඩාත් ආශාවක් දක්වන්නේ සිංහල භාෂාවට ද ඔබේ මව් භාෂාවටද?

සිංහල භාෂාවට නිර්මාණාත්මක ප්‍රකාශනය මගෙන් එළියට ගිහින් තියෙන්නේ සිංහල භාෂාවත් එක්ක. ඒ වගේම මම අද වෙනකොට හිතන්නේ පතන්නේ සිංහලයෙක් විධියට.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න