මම ජනප්‍රිය වුණේ කාන්තා චරිතවලින්

-සරත් කුමාර
ජුනි 23, 2022

 

අපි ගොඩනඟන චරිත මේ සමාජයේ තියෙනවා

මම කලාව පිළිබඳ සුවිශේෂී හැදෑරීම් කළ කෙනෙක් නොවෙයි

 

මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ සෙබස්තියන් ඔහු. විටෙක හාස්‍යයත් විටෙක ඒ හාස්‍ය තුළින් යථාර්ථයත් නිරූපණය කරන ඔහු නමින් සරත් කුමාර. කලාව තුළ එසේ වුවත් සැබෑ ජීවිතයේ ඔහු නාරහේන්පිට පොලිස් රෝහලේ ඖෂධවේදියෙක්. ඔහු සමඟ සරසවිය අප කළ සොඳුරු කතාබහකි මේ.

 

අනූව දශකයේ තමයි කලාවට හිත ගියේ. මම කලාව පිළිබඳ සුවිශේෂී හැදෑරීම් කරලා ආ කෙනෙක් නොවෙයි. මගේ ගම් පළාත හෝමාගම. ගමේම යාළුවෝ හතර දෙනෙක් එක්ක 'ෆෝ ජෝකර්' කියන නමින් අලුත් වැඩක් පටන් ගත්තා. එයට බලපෑම ආවේ ඒ දිනවල අතිශයින් ජනප්‍රිය වී සිටි බර්ටි ගුණතිලක සහ ඇනස්ලි ඩයස්ගේ 'විනෝද සමය' වැඩසටහන. අපි හතර දෙනා පාසල්වල ටියුෂන් ක්ලාස්වල, එවැනි කෙටි හාස්‍ය උත්පාදන රංගනයන් කළා. මෙය විනෝදය සඳහා කළ වැඩක් මිසක මුදල මූලික කරගෙන කළ දෙයක් නොවෙයි. පසුව අපිට ඇරයුම් ලැබුණා සංගීත ප්‍රසංගවල ප්‍රසංගය අතරතුර මේ රඟ දැක්වීම් කරන්න. මුල් කාලයේදී බර්ටි, ඇනෙස්ලිලාගේ කතාන්දරම අනුකරණය කළත් පසුව අපි අපේම කතාන්දර හදාගත්තා. ඒ හාස්‍යජනක ඉදිරිපත්කිරීම් නරඹන්න බොහෝ දෙනෙක් එකතු වුණා.

 

විද්‍යුත් මාධ්‍ය සමඟ එකතු වෙන්නේ?

අප කළ කී දෑ දුටු කාගේ හෝ රෙකමදාරුවෙන් මටත් මගේ අතිජාත මිත්‍ර සුරංග සතරසිංහටත් හිරු නාලිකාවෙන් ආරාධනා කළා පටිරෝල් වැඩසටහන කරන්න. මම එයට හඬ කිහිපයක් භාවිත කළා. සුරංග පිටපත ලියනවා. සතියේ දවස් පහම හවස 4-6 වනතෙක් මේ වැඩසටහන කළා. දිනක් හිරු නාලිකාවේ අධිපතිතුමා මටත් සුරංගටත් කිව්වා අපි ළඟදීම හිරු ටීවී ආරම්භ කරනවා. එයටත් මෙවැනි හාස්‍ය මුසු වැඩසටහනක් ඕන. ඔය දෙන්නටත් පුළුවන් රඟපාන්න කියලා. ඊට පෙර කිසිදු රූපවාහිනී නාලිකාවකට මුහුණ පෙන්නලා තිබුණේ නැති අපට එය ලොකු අත්දැකීමක් වුණා. සුපුරුදු විදිහට එයටත් මගේ මිත්‍ර සුරංග පිටපත ලිව්වා. අපි දෙදෙනත් එක්ක නිරෝෂා මෛත්‍රී සහා එරික් අබේවර්ධන එකතු වුණා. ඔය අතරෙදි දෙරණ නාලිකාවෙන් අපට ඇරයුම් කළා හාස්‍ය උත්පාදන කතාවක් කරන්න. හිරු නාලිකාවෙන් ඉවත්වෙලා 'නාටක මාරයි නවය හමාරයි' නාට්‍යය ආරම්භ කළා. පසුව මට ටෙලි නාට්‍යවල රංගනයට අවස්ථාව ලැබුණා.

 

වෙනත් රැකියාවක නියැළෙන අතරතුරද කලා කටයුතු කරන්නේ?

මම දැන් අවුරුදු විසි පහක කාලයක් කොළඹ නාරහේන්පිට පොළිස් රෝහලේ ඖෂධ වේදියෙක් විදිහට වැඩ කරනවා. රැකියාව කරන අතරතුර මට විවේකය ලැබෙන වෙලාවට කලා කටයුතුවල නියැළෙනවා.

 

හාස්‍ය උත්පාදනය කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. කොහෙන්ද මේ බලපෑම එන්නේ?

ඒකට පන්නරය ලැබුණේ අපි කුඩා කාලයේ ලංකාවේ තිබුණ විනෝද මාධ්‍ය අපේ සිනමාව හා ගුවන් විදුලිය. මමත් මගේ මිත්‍රයා සුරංග සතරසිංහත් චිත්‍රපට බලන්න යනවා. ඒවා ආයේ ආයේ බලන්න හිතෙන අතිශයින් ජනප්‍රිය කළු සුදු චිත්‍රපට. මේ චිත්‍රපටවල එවක රඟපෑ හාස්‍ය රංගන ශිල්පීන් සැලකිය යුතු ප්‍රමාණයක් හිටියා. ඒ සෑම කෙනෙක්ගෙම රංගනය විවිධයි. හියුගෝ ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, දොන් සිරිසේන, වගේ දක්ෂ රංගන ශිල්පීන්. ඒ කාලේ චිත්‍රපටවල තිබුණ දෙබස් අදටත් මතක තියෙනවා. හාස්‍ය රංගනය ඇඟට ආවේ මේ නිසා. මගේ මිත්‍රයා සුරංග උසස් අධ්‍යාපනය ලැබුවේ ආර්ථික විද්‍යාවෙන්. මම ජීව විද්‍යාවෙන්. මේ දෙකම කිසිම සම්බන්ධයක් නෑ කලාවට. කලාව ඇඟට ආවනම් ආවේ මේ චිත්‍රපට බලලා, ගුවන් විදුලියේ ගිය නාට්‍ය අහලා අපිටත් ආසාවක් ආවා මේවා කරන්න.

ඔබ හාස්‍ය තුළින් යථාර්ථය පෙන්වනවා?

අපි මේ නිර්මාණය කරන ගොඩනඟන චරිත මේ සමාජය තුළ තියෙන චරිත. මම රඟපෑ ආච්චිගේ චරිතය බොහෝ දෙනෙක් වැලඳ ගත්තා. අපේ ගමේ මීට අවුරුදු තිහකට පමණ පෙර හිටියා බුලත් විට විකුණන ආච්චි අම්මා කෙනෙක්. මේ ආච්චි අම්මගේ ඇවතුම් පැවතුම් මම මගේ චරිතය ගොඩනාඟා ගන්න රුකුලක් කර ගත්තා. මගේ ගමේ අතිශය ජනප්‍රිය වෛද්‍යවරයෙක් ඉන්නවා ඩොක්ටර් වීරකෝන් කියලා. ඒ මහත්තයාගෙන් කුඩා දරුවෝ එහෙම බෙහෙත් ගන්නවිට ' අද ඔයාට කැඳ සහ ඇඳ..., රෙස්ට් කරන්න ඕනේ...'. බලන්න එහි ලොකු හාස්‍යයක් තියෙනවා. මට වෛද්‍යවරයෙක්ගේ චරිතයක් හාස්‍ය උත්පාදන විදිහට රඟපාන්න වුණොත් මම මේ චරිතය උකහා ගන්නවා. ඒ වගේම මගේ ගමේ හිටියා සපත්තු මහන දෙමළ මනුස්සයෙක්. ඔහුගේ නම සුප්පයියා. ඔහු හතළිස් ගණන්වල පාසල් අධ්‍යාපනය බොහොම අඩුවෙන් ලබපු කෙනෙක්. නමුත් ඒ කාලේ ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගැන්වූවේ. ඔහු සපත්තු මැහුවට ඇල්වතුර වගේ ඉංග්‍රීසි පුළුවන්. ඒ චරිතය මම ආටක නාටකවලට අනුකරණය කළා. චරිත මේ සමාජය තුළම තියෙනවා. හොඳීන් අධ්‍යයනය කළොත් ඒවායේ සැබෑ ස්වරූපය හඳුනාගන්න පුළුවන්.

 

මේ කුමන චරිතය කළත් ඔබ සමාජයට යන්නේ සරත් විදිහට?

මුල් කාලයේ මාව මාව හඳුනා ගන්න අපහසු වුණත් පසු කාලීනව මා ටෙලිනාට්‍යවල රඟ පෑ චරිත තුළින් මාව හඳුනාගන්න පුළුවන් වුණා.

 

ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබෙන්නේ?

හිරු නාලිකාවේ ආටක නාටක කරන කාලේ එයටම කළ ටෙලි නාට්‍යයකට මාව සම්බන්ධ කර ගත්තා එහි අධ්‍යක්ෂ ඉරේෂ් ලොකුබණ්ඩාර. එයින් පසුවයි මම ටෙලිනාට්‍ය රංගනය පටන් ගන්නේ. පුංචි වලව්ව, තඹ පාට හැන්දෑව, පැහැසරා වගේ ටෙලිනාට්‍ය පහළොවක පමණ රඟපාන්න ඇති.

 

සිනමාවට එන්නේ නැද්ද?

චිත්‍රපටයක් කළා ජොබ්ලස් ඩග්ලස් කියලා. එහි ප්‍රධාන චරිතය නිරුපණය කළේ රොඩ්නි වර්ණකුල. දිව්‍යලෝකෙත් ජොබ් නැතුව මෙහෙ ඇවිත් ජොබ් හොයන දෙවියෙක්ගේ චරිතයල් නිරූපණය කළේ. හාස්‍ය උත්පාදන චිත්‍රපටයක්.

 

හාස්‍ය උත්පාදනය කරන්න ගිහින් ඔබ හාස්‍යයට ලක් වුණු අවස්ථා ඇති?

කටුනේරිය ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට ආරාධනාවක් ලැබුණා හාස්‍ය කතාවක් කරන්න. මමත් සුරංග සතරසිංහත් ජානක නාවලගේත් නන්දන කාරියවසම් කියන අපි හතර දෙනා තමයි ගියේ. ඒ දවස්වල මම නිතරම රඟපෑවේ කාන්තා චරිත. එදත් මට තිබුණේ එවැනි චරිතයක් නිරූපණය කරන්න. මම ඇදගෙන ගිය ඇඳුම ගලවලා කොස්ටියුම් එක දාගෙන ප්‍රසංගයට සහභාගි වෙලා බොහොම සතුටින් බැහැලා ආවා. ඇඳුම් මාරු කරන්න බලනවිට කවුදෝ මගේ ඇඳුම් ඔක්කොම අරගෙන ගිහිල්ලා. දැන් ඉතින් කටුනේරියේ ඉදලා හෝමාගමට එන්නත් එපැයිනේ. අර කාන්තාවට ඇඳපු ඇඳුම් පිටින්ම ආවා ගෙදර. ඒ දවස්වල පෞද්ගලික වාහන නෑ පාරේ බස් එකේ ආවේ. මුළු බස් එකම හිනා වුණත් මොනවා කරන්නද මට නෙවේ වගේ ආවා.

 

රංගනය තුළ තවමත් සැබෑ නොවූ සිහිනය?

මගේ ජීවිතේ මම ඉතාම ආස කළ හාස්‍ය උත්පාදන රංගන ශිල්පියෙක් ජෝ අබේවික්‍රම. එතුමා අතිදක්ෂ හාස්‍ය උත්පාදන රංගන ශිල්පියෙක්. පසුකාලීනව ඔහු රඟපෑ චරිත ගෙන බැලුවම ඒවා ඉතාම තාත්වික රංගනයන්. හාස්‍ය උත්පාදනය කළ රංගන ශිල්පියාද මේ කියලා ප්‍රශ්න කරන තරමට, මවිතයට පත්වන තරමට ඒ චරිත ඔහු නිරූපණය කළා. මගෙත් ලොකු ආශාවක් තියෙනවා එවැනි රංගනයන් කරන්න. විවිධ චරිත නිරූපණය කරන්න. තවමත් එවැනි අවස්ථාවක් හිමිවෙලා නෑ. ඒක මගේ හීනය.