වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
ඔහු ෆ්‍රීනම් මමත් ෆ්‍රී

වෙළෙඳ දැන්වීම් සඳහා ඇයගේ රුව මනාව ගැලපුණි. එහෙයින් දිගින් දිගටම ඇයට ඒ සඳහා ආරාධනා ලැබිණ. පසුකාලිනව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූවද නිතර දකින නිළියක් වීමට ඇය අපේක්ෂා කළේ නැත. එහෙයින් ටෙලි නාට්‍ය ඔස්සේ ඇයගේ රුව නිතර අප දුටුවේ නැත. එහෙත් ඇය ඉඳහිට කරන්නා වූ චරිතය මතක හිටින එකක් විය. මේ දිනවල විකාශය වන තුන්පනේ ටෙලි සිතුවමේ ද්විත්ව චරිත රඟන මේ සොඳුරු රුවැත්තිය රුවී ලක්මාලියි. එකිනෙකට වෙනස් හැඩයන්ගෙන් යුතු මධුෂානි මිස් සහ පියුමි නැමැති චරිත අපූරුවට නිරූපණය කරන ඇය ආශාවරී සිනමාපටය සමඟින් ද අප හමුවට එයි.
රුවී, අපි පළමුව කතා කරමු තුන්පනේ නාට්‍යය ගැන?
ඇත්තටම මම ප්‍රථම වතාවට තමයි මෙහෙම එක් නාට්‍යයක චරිත දෙකක් රඟපාන්නෙ. ඒක හරිම වෙනස් සහ අමුතු අත්දැකීමක්. ඒ චරිත ද්විත්වය එකිනෙකට වෙනස් ගතිගුණවලින් සමන්විතයි. ඒ නිසා ඉතාම අභියෝගාත්මක කාරණයක්ද වුණා චරිත දෙකක් නිරූපණය. මධුෂානි මිස් කියන ඒ එක් චරිතයක් චාම් ගතිගුණ තියෙන බුද්ධිමත් ගැහැනු ළමයෙක්. නමුත් මීට හාත්පසින්ම වෙනස් වූ පියුමි කියන්නේ හරිම කපටි චරිතයක්. ඇය ස්පා ගර්ල් කෙනෙක්. මධුෂානි මිස් කියන චරිතය රඟපාන්න මට ලොකු අපහසුවක් දැණුනේ නැහැ. මොකද එහි චරිත ලක්ෂණ බෙහෙවින් මට සමීපයි. නමුත් පියුමි කියන්නෙ සටකපට චරිතයක්. මධුශානි මිස්ට වඩා හාත්පසින්ම වෙනස්. ඒ නිසා එය පිළිබඳ අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කරමින් චරිතය ගොඩනඟා ගනිමින් රංගනයේ නියැළුණා.
මේ චරිත ද්විත්වය රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීමක් ගැනයි මම දෙවනුව අහන්නේ?
එකම එක දවසක් තියෙනවා. ඒ දවස නම් මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. එදා ඔය චරිත දෙකම මට එකම දවසක නිරූපණය කරන්නට සිද්ධ වුණා. කලින් එක දවසකවත් එහෙම, චරිත දෙකම මට එකම දවසක කරන්න වෙලා නැහැ. ඒක නිසා එය සෑහෙන්න අභියෝගාත්මක කාරණයක් වුණා. මම අර කලින් කිව්ව වගේ මේ චරිත දෙක එකිනෙකට වෙනස් ස්වරූපයකින් යුක්තයි. තරමක අපහසුතාවයකට මුහුණ දුන්නා එක චරිතයක් රඟපාලා අනිත් චරිතයට ප්‍රවිෂ්ට වෙන්න. අධ්‍යක්ෂවරයා මට පූර්ණ නිදහස දුන්නා ඒ චරිත නිදහසේ රඟපාන්න. ඒ නිසා ඔළුවට බරක් නොගෙන යම් යම් තැන්වල හිතමින් මම ඒ චරිත දෙකම එකම දවස නිරූපණය කරමින් අභියෝගය ජයගත්තා.
ඇයි ඔබ ටෙලි නාට්‍යවල නිතර දකින්නට නැත්තේ?
ඊට ප්‍රධානම හේතුව මම මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නැති එක. මෙගා ටෙලි නාට්‍යවලට නිතරම ආරාධනා ලැබෙනවා. නමුත් ඒවා බාර අරගෙන බිසී චරිතයක් වෙන්නට මම ආස නැහැ. අනික මට දිගින් දිගටම වෙළෙඳ දැන්වීම්වලත් රඟපාන්න ලැබුණා. වෙළෙඳ දැන්වීම් සඳහා තෝරා ගන්නේ නිතර දකින්නට නොලැබෙන නළු නිළියන්. බැරි වෙලාවත් මම මෙගා නාට්‍යයවලට දිගටම යොමු වුණා නම් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයෙහි මට නිර්මාණ අඩු වෙන්න තිබුණ. මේ ඉන්න විදිහට ලොකු නිදහසක් තියෙනවා. මගේ සැමියා මේ ක්ෂේත්‍රයේ ඉන්න සහාය අධ්‍යක්ෂවරයෙක්. ඔහු ප්‍රසාද් නාකුළුගම. ඔහු හරිම බිසී චරිතයක්. ඔහු නිතරම නිර්මාණාත්මක වැඩවල ඉන්නෙ. නිවාඩු හරිම අඩුයි. ඒ නිසා ප්‍රසාද් නිවාඩු නම් මම කොහේවත් යන්නේ නැහැ. ඔහුගේ ෆ්‍රීටයිම් එකත් එක්ක තමයි මම වැඩ දා ගන්නෙ. මම මගේ පවුල් ජීවිතයට මුල් තැන දෙනවා. ඒකයි මෙහෙම වැඩ කරන්නෙ. කොටස් පනහක හැටක ටෙලි නාට්‍යයක් නම් මම බාර ගන්න හරිම කැමතියි. අනික තව දෙයක් කියන්න ඕනේ. මගෙත් එක්ක පැමිණි සමකාලීන රංගන ශිල්පිනියන් නිර්මාණ එකක් හෝ දෙකක් කරලා එතනින් එහාට වැඩ කළේ නැහැ. සමහරු ක්ෂේත්‍රයෙත් නැහැ. ඒ අතරින් මේ විදිහට හෝ මම යම් තැනක ඉන්න එක ගැන ලොකු සතුටක් මගේ හිතේ තියෙනවා.
මේ කාරණය නිසා ජනප්‍රියත්වය කියනදේ ඔබගෙන් ගිලිහෙනවා නේද?
ජනප්‍රිය නිළියකට වැඩිය මම කැමති මාව දක්ෂ නිළියක් ලෙස හඳුන්වා දෙනවට. ජනප්‍රියත්වය මට ලැබිලා තියෙනවා වෙළෙඳ දැන්වීම් හරහා. ඒ නිසා මම ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ.
විවාහ වෙන්නට මේ ක්ෂේත්‍රයේම කෙනෙකු තෝරා ගත්තේ ඇයි?
ප්‍රසාද් සහ මම මුණ ගැසුණේ අපි ක්ෂේත්‍රයට ආව ගමන්ම වගේ. දෙන්නගේ අදහස් ගැළපුණා. දෙන්නට දෙන්නා හොඳයි කියලා හිතුණා.
ඔබගේ චිත්‍රපටියක් මේ දිනවල තිරගත වෙනවා?
ඔවු. ආශාවරි චිත්‍රපටිය. මම ඒක රඟපාන්න දෙමළ කාන්තාවකගේ චරිතයක්. විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පි නැසීගිය ජයලත් මනෝරත්නයන්ව. මම ඔහුගේ නැගණියගේ චරිතය රඟපෑවේ. ආශාවරී කියන්නෙ බොහොම ලස්සන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.
සේයාරූ - නිශ්ශංක විජේරත්න