පෙම්වතිය දාලා ගියෙත් ඩ්‍රාමා කෙරුවාව නිසා

‘පාරදිගේ’ මුණගැසෙන බණ්ඩා, කුසල් මධුරංග කියන කතාව
දෙසැම්බර් 30, 2021

 

මේක වෘත්තියක් විදිහට කරගෙන යන්න ටිකක් අමාරුයි

 

බණ්ඩා කියූ සැණින් මතකයට නැඟුණේ කෝපි කඩේ බණ්ඩාවය. එය කාලාන්තරයක් තිස්සේ අප සිත්සතන් තුළ ලැගුම් ගත් චරිතයක් විය. වර්තමානය වනවිට බණ්ඩා කියද්දී ඒ බණ්ඩා සමඟ තවත් බණ්ඩෙකු මතක් වේ. ඒ දෙවැනි බණ්ඩා සිටින්නේ පාරදිගේ ටෙලි සිතුවමේය. එය වෙනස්ම ආකාරයක චරිතයක් නිසාමදෝ පාරදිගේ බණ්ඩාට ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් ලැබී තිබේ. කෝපි කඩේ බණ්ඩා මැදිවිය ඉක්මවූ අයෙක් වුවත් පාරදිගේ බණ්ඩා නම් තරුණයෙකි. මේ චරිතය නිරූපණය කරනු ලබන්නේ යොවුන් රංගන ශිල්පී කුසල් මධුරංග විසිනි. බණ්ඩා නිසා කුසල්ටද හිමිවී ඇත්තේ අසීමිත ජනප්‍රසාදයකි. ඔහුගේ පුවත්පත් ලිපියක් පළකර දීමේ අදහසින් කුසල් අපි සරසවියට කැඳවූයෙමු. සරසවියට කලාකරු

වන්ගේ පැමිණීම සාමාන්‍ය දෙයකි. ඔවුහු පැමිණ තමන්ගේ රාජකාරිය කොට නික්ම යති. නමුත් එදින සිදු වූයේ හාත්පසින්ම වෙනස් දෙයකි. කුසල් සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට ලේක්හවුසියේ බොහෝ දෙනා සරසවිය ඡායාරූපාගාරයට පැමිණියහ. බොහෝ වෙලාවක් ඒ සඳහාද වෙන් විය. බණ්ඩාගේ ජනප්‍රියත්වය කොතෙක්ද යන්නට එයම උදාහරණයකි.

 

සෑහෙන්න පිරිසක් ඔබත් එක්ක සෙල්ෆි ඡායාරූප ගත්තා නේද?

මේ වගේ තමයි, කොතැන ගියත් එහෙම වෙනවා. මං හිතන්නේ ඒ චරිතයට මිනිස්සු හරිම ආදරෙයි.

නමුත් බණ්ඩා කියලා කියන්නේ ගේම්කාරයෙක්. හැබැයි ඔහු සතුව නරක ලක්ෂණ වගේම හොඳ ගතිගුණත් තියෙනවා. තවත් විදියකින් කියනවනම් බණ්ඩා ගේම්කාරයෙක් වුණාට මනුසත්කමින් පිරි චරිතයක්. ඇත්තටම ඔහු ගේම්කාරයකු වුණේ වැරදීමකින්. සමාජයේ ඕනෑ තරම් ඉන්නවා ඔය වගේ පුද්ගලයෝ, ඔයවගේ චරිත. මම හිතන්නේ බණ්ඩා කියන චරිතයේ සියුම් තැන් හඳුනාගෙන මම නිරූපණය කරපු නිසා තමයි මෙච්චර ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වෙන්නට මට හැකියාව ලැබුණේ.

 

ඔබ මේ ප්‍රධාන චරිතයක් කරපු පළවෙනි අවස්ථාව නේද?

ඇත්තටම මම වේදිකාවේ හිටපු කෙනෙක්. ටෙලිවිෂනයට ගොඩවන්නේ අහම්බෙන්. සමහර විට ඔබටත් මතක ඇති ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණා මෙහෙමත් ලෝකයක් කියලා වැඩසටහනක්. මම එකේ නිවේදකයෙක් විදියට වැඩකටයුතු කළා. එහෙම තමයි මගේ රූපවාහිනිය ආගමනය සිදුවුණේ. ඊට පස්සේ සිහින සමාගම කියන නාට්‍යයේ කූරා කියන චරිතය කළා. ඊටත් පස්සේ බස් එකේ ඉස්කෝලේ කෝටුවා කියන චරිතය මට ලැබුණා. අමුතු චරිත තමයි මටත් ලැබුණේ. නමුත් ඒවා ප්‍රධාන චරිත නෙමෙයි, අතුරු චරිත. ප්‍රධාන චරිතක් ලැබුණේ මේ පාර දිගේ ටෙලි නාට්‍යයේ. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ පාර දිගේ ටෙලි නාට්‍ය රූපවාහිනියට රචනා කරන සද්ධාමංගල සූරියබණ්ඩාරව. ඔහු තමයි බණ්ඩා කියන චරිතය මැව්වේ. එහෙම චරිතයක් ලියපු නිසානේ මටත් ඒක නිරූපණය කරන්න පුළුවන් වුණේ. මේ වෙලාවේ ඔහුට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒවගේම අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් නිෂ්පාදක චාමර සමරවික්‍රම කියන දෙපළවත් අනිවාර්යනේම මතක් කළ යුතුයි. චරිතය නිරූපණය කරන්නට පෙර අධ්‍යක්ෂවරයා මට බොහෝ උපදෙස් ලබා දුන්නා, බණ්ඩා කියන්නේ වෙනස් හැඩතල ගොඩක් තියෙන චරිතයක් කියලා. ඒ ඔස්සේ තමයි චරිතය ගොඩනඟා ගත්තේ.

 

ඔබ කොහොමද රංගනයට පිවිසුණේ?

මගේ ගම නුවරඑළිය. වර්තමානයේ හොරණ පදිංචි වෙලා ඉන්නෙ. ගෝනපල පලන්නෝරුව මහා විද්‍යාලයෙන් තමයි මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ හොරණ විද්‍යාරත්නයට ඇතුළත් වුණා. විද්‍යාරත්නය කියලා කියන්නේ කලාවට බොහොම ළැදි පාසලක්. පාසලෙන් ඉදිරියට පැමිණි කලාකරුවන් ගොඩක් ඉන්නවානෙ. ජනක් ප්‍රේමලාල් මහත්තයත් එහෙම ඉගැන්නුවේ ඉස්කෝලනෙ. මම පාසල් යන කාලේ බොහොම ලැජ්ජාශීලී චරිතයක්. කවදාවත් ඉස්සරහට ආපු කෙනෙක් නෙමෙයි. ඔහොම ඉන්න අතරතුරදී එක්තරා ළමා සමිතියකදී. මම යම් කරුණක් පිළිබඳ අදහස් දක්වනවා. මම ඒක ටිකක් සද්දෙන් තමයි කතා කළේ. මේක දැකලා තියෙනවා අපේ ගුරුවරයෙක්. එතැනදි ඔහු තමයි මට නාට්‍ය පැත්ත තෝරාගන්නට යොමුකරන්නෙ. අපේ ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ආචාර්යවරයා වන පුබුදු සුභාෂණ කුරුගල මහතා. ඔහුට දැනිලා තියෙනවා මම නාට්‍ය පැත්තෙන් ඉස්සරහට යයි කියලා. මම හිතනවා ඒක ගුරුවරයෙක් විසින් කළ හොඳම හඳුනාගැනීමක් කියලා. පාසල් වේදිකාවේ නිර්මාණ ගණනාවකට ඉදිරිපත් වෙනවා. ළමා නාට්‍ය උලෙළ සඳහාද අපි සහභාගි වෙනවා. මට හොඳම සහාය නළුවා, හොඳම නළුවා විදිහට පාසල් යන කාලෙදිම තමයි සම්මාන ලැබුණේ. පාසලෙන් ඉවත් වුණායින් අනතුරුව නාට්‍ය බලන්නට යොමු වුණා. හැබැයි මේ මෙහෙම වෙනවා, මේ වගේ තැනකට යනවා කියන 

ලොකු ටාගට් එකක් තිබුණේ නැහැ. මම පවුලේ එකම දරුවා. එහෙම වෙච්චි මම නාට්‍ය පැත්තට යොමු වෙනවා කියලා දැනගත්තම මට අම්මයි තාත්තයි දුන්න එකම උපදේශය තමයි නාට්‍ය කළාට කමක් නැහැ, ඒවා වැඩිය ඔළුවට ගන්න එපා කියනදේ. මොකද මේක වෘත්තියක් විදිහට කරගෙන යන්න ටිකක් අමාරුයි කියලා ඔවුන් දැනගෙන හිටියා. ඊට පස්සේ යෞවන සම්මානවලට මම නාට්‍යයක් ඉදිරිපත් කළා හබලක් ඕනේ කියලා. ඒක තමයි මම නිර්මාණය කළ පළවෙනි නාට්‍ය. ඊට පස්සේ අතරමැදියා කියලා මම රංගනයෙන් දායකත්වය දක්වපු නාට්‍යයටත් හොඳම සහාය නළුවා යන කියන සම්මානය මට ලැබුණා. ඒත් එක්කම තවත් සම්මාන කිහිපයක්ම මට හිමිවුණා. ඊට පසුව වේදිකා පරිපාලකවරයෙක් විදියට උදයසිරි වික්‍රමරත්න යටතේ නාට්‍ය ගණනාවක මම වැඩ කළා. සාදය මාරයි සල්ලි හමාරයි, පෙම් යුවළක් ඕනෑ කර තිබේ, මම නෙවෙයි වෙන කෙනෙක් ඇතුළු නාට්‍ය ගණනාවක මම එහෙම වැඩ කටයුතු කළා. ඊට පසුව තමයි මම පෙර සඳහන් කළ පරිදි අහම්බෙන් ටෙලිවිෂනයට ආවේ.

ඔබ පැමිණි දිගුගමනේදී බණ්ඩා කියන්නේ ඔබට සුවිශේෂී චරිතයක්?

ඒක ඇත්ත මගේ රංගන ජීවිතයේ ටර්නිං පොයින්ට් එකක් තමයි බණ්ඩා කියලා කියන්නේ. මොකද බණ්ඩා නිසා මට ලැබුණු ජනප්‍රියත්වය වගේම, ක්ෂේත්‍රයේ ඇතුළෙත් මාව ගොඩක් දෙනෙක් හඳුනගත්තේ පාරදිගේ නාට්‍ය තුළින්. ඉදිරියේදී හොඳ චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂකයා හමුවන්නට තමයි මම උත්සාහ කරන්නේ.

 

ඔබේ ඩ්‍රාමා කෙරුවාව නිසා ඔබට පෙම්වතියද අහිමි වෙනවා?

මම ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. ඩ්‍රාමා කියන වෘත්තීය කරන්න ගිහින් තමයි ඇත්තටම මගේ පෙම්වතියත් මට අහිමි වෙන්නේ. එතැන තිබුණ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්.

 

නිශ්ශංක විජේරත්න