මම රඟපාන්නේ මේක මගේ අවසාන චරිතය කියලා හිතාගෙන

රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ “ශිවා”
-රන්දික ගුණතිලක-
සැප්තැම්බර් 9, 2021

 

නළුවෙක්ට ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන තමයි වේදිකාව

මම සදාතනික පෙම්වතෙක්

මගේ ජීවිතේ ඉලක්ක නැහැ

මහේන්ද්‍ර පෙරේරා මගේ තාත්තා වීම මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න එක හේතුවක්

දකුණු ඉන්දියානු ශෛලිය තුළ කරන්න පුළුවන් නිර්මාණශීලී දේවල් ගොඩක් තියෙනවා

මම චරිත බෙදාගෙන වැඩ කරන්නේ නැහැ

 

මේ තරු ගුණයට වඩා දක්ෂතාවය රංගන ශිල්පියෙක් බබළවන්න හේතුවන බව ප්‍රේක්ෂකයාට පසක් වන සමයකි. නළුවන්ගේ පෙනුමට වඩා රංගන හැකියාව අගයන්න ප්‍රේක්ෂකයන් නැඹුරුවන කාලයකි. නව පරපුරේ රංගන ශිල්පීන් අතර හැකියාව සහ දක්ෂතාවය නිසා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙකි රන්දික ගුණතිලක. පසුගිය වසරේ පැවැත්වූ රයිගම් ඊඥතඥ'ඥඵ 2019 සම්මාන උලෙළෙහි හොඳම නැඟී එන නළුවා සම්මානය හිමි කරගත්තේද ඔහුය. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන නිවන්ත ප්‍රසාරගේ අධ්‍යක්ෂණයක් වන "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඔහුය. මේ සියලු කරුණු කාරණා ඔහු සමඟ කතාබහකට හේතු විය.

 

රන්දික කාලෙකට පස්සේ ආයෙමත් කරළියට ඇවිත්?

මීට වසරකට පෙර ටීවී දෙරණ නාළිකාවේ "පොදු" ටෙලිනාට්‍යය විකාශය වුණා. ඊට පසුව මම ටෙලි නිර්මාණ තුනකට සම්බන්ධ වුණා. ඒත් ඒවා තවම විකාශය වුණේ නැහැ. හිරු නාළිකාවේ නිෂ්පාදනයක් වන 'රැල්ල වෙරළට ආදරෙයි' ටෙලිනාට්‍යයෙන් තමයි නැවතත් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබුණේ.

 

රන්දික "වෙරළට" ආදරය කරන්න පටන් ගත්තෙ කොහොමද?

මට මේ චරිතයට ආරාධනා කළේ "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර. දකුණු ඉන්දියානු චිත්‍රපටයක් ආශ්‍රයෙන් ටෙලි නිර්මාණයක් කරනවා, එහි ප්‍රධාන චරිතයට කැමතිද කියලා නිවන්ත ඇහුවා. මම කොහොමත් ඒ වගේ චරිත කරන්න ආසයි. ඒ නිසා මේ වැඩේට කැමති වුණා.

 

ඔබේ චරිතය ගැන කිව්වොත්?

මගේ චරිතය නම "ශිවා". වෙරළාශ්‍රිතව ජීවත් වෙන කොල්ලෙක් ශිවා කියන්නේ. ශිවාට ඉන්නෙ තාත්තා විතරයි. එයාගේ හොඳම යාළුවා "බාබු". ශිවාට සමීපම මිනිස්සු දෙන්න තමයි ශිවාගේ තාත්තයි හොඳම යාළුවා බාබුයි. ශිවා සහ බාබු මුහුදේ විසිතුරු මසුන් අල්ලා ජීවත් වෙන්නේ. ශිවාට පොඩි කථන ආබාධයක් තියෙනවා. එයාට "ස" අකුර කියවෙන්නේ නැහැ. ඒ වෙනුවට "ත" , "අ", "උ" ඔක්කොම අකුරු කියවෙනවා. ඒක එයාගේ ආදරේට බලපාන විදිහ, එයාගේ පෙම්වතිය ඒක අඩුවක් හැටියට නොසලකා ශිවාට ආදරේ කරන විදිහ මේ කතාවේ තියෙනවා. ශිවාගේ පෙම්වතිය සත්‍යා. සත්‍යා කියන්නේ ඒ ප්‍රදේශයේ ඉහළින්ම දේශපාලන සහ මුදල් බලය තියෙන වීරවර්ණ දුවට.

 

කොහොමද ශිවාගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ඉතාම ඉහළයි. මුහුදුබඩ ප්‍රදේශයේ අපි රූගත කිරීම් කරන්නේ. ඔවුන්ගේ ජීවිතවල යථාර්ථය මේ කතාවෙන් පෙන්වන නිසා මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත්ම ඉහළයි. ඒ වගේම මේ ටෙලිනිර්මාණය තෙළිඟු චිත්‍රපටයක් අනුසාරයෙන් කළේ. ඒ චිත්‍රපටය බලපු අයගෙනුත් විවිධ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රපටයක් ආශ්‍රයෙන් ටෙලිනිර්මාණයක් කරන්න උත්සාහයක් මේ අරගෙන තියෙන්නේ. ප්‍රතිචාරවලින් එය සාර්ථකයි කියලා පේනවා. ඉදිරියේදී අඩුපාඩු හදාගෙන මේ නිර්මාණය තවත් රසවත්ව දිගහැරෙයි.

 

"රැල්ල වෙරළට ආදරෙයි" ටෙලිනාට්‍යයට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායක වෙනවා. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය?

මේ ටෙලිනාට්‍යයට යන්න ප්‍රධාන හේතුව මහේන්ද්‍ර පෙරේරා මගේ තාත්තාට රඟපාන එක. ඒ වගේම දුෂ්ටයා ලෙස බිමල් ජයකොඩි රඟපාන එක. සරත් චන්ද්‍රසිරි, දර්ශන් ධර්මරාජ්, නිහාල් ප්‍රනාන්දු, චමිලා පීරිස්, ජයනි සේනානායක කියන්නේ රංගන ක්ෂේත්‍රයේ දැවැන්තයින. ඒ වගේම අපේ පරම්පරාවේ කෝකිල පවන්, චතුර රාජපක්ෂ මතක් කරන්න ඕනේ. මේ වගේ රංගන ශිල්පීන් පිරිසක් එක්ක මාස ගාණක් වැඩ කරනවා කියන එකම මගේ ජීවිතයට සුන්දර අත්දැකීමක්. මේ ප්‍රවීණයන් මම රඟපාන එකට ආස වෙන්න අභිප්‍රේරණයක් වුණු අය. ඒ අය ඔක්කොම එක තැනකට ඇවිත්. එයාලා එක්ක එකට වැඩ කරන්න ලැබීම ලොකු සතුටක්. ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. නාට්‍යයේ මගේ ජවනිකාවල තියෙන අඩුපාඩු හැම එකක්ම වගේ මේ හැමෝම මට කියලා දෙනවා. එයාලා එක්ක රූගත කිරීම් නැති දවසටත් මට ඇමතුමක් දීලා රූගත කිරීම් ගැන එයාලා අහනවා. සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයක රූගත කිරීම් අවසන් වුණාම හැමෝම ගෙදරට යනවා. ඒත් මේ ටෙලිනාට්‍යයේ රූගත අවසන් වුණත් අපි හැමෝම එකතු වෙලා අඩුපාඩු සහ සාර්ථකත්වය ගැන කතා කරනවා. ඒක මම ටෙලිනාට්‍යයක වැඩ කරද්දි දැකපු හොඳම ලක්ෂණයක්.

මෙහි අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?

මම සාමාන්‍යයෙන් දීර්ඝ ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ. මොකද දීර්ඝ ටෙලිනාට්‍යක රඟපානවා නම් ඒ මුළු කාලයම ඒ චරිතයේ ඉන්න වෙනවා. මම චරිතයක් කළාට පසුව ඒ චරිතය අත්හරිනවා. නිවන්ත ප්‍රසාර කියන අධ්‍යක්ෂවරයා සමඟ වැඩ කරනකොට තේරෙනවා දීර්ඝ කාලීනව මේ චරිතයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කියලා. නිවන්ත අපිට සෑහෙන්න උදවු කරනවා. අපිට ලොකු නිදහසක් දෙනවා චරිතය අවශ්‍ය විදිහට ගොඩනඟන්න. නිවන්ත කියන්නේ මට මුණගැහුණු තරුණ දක්ෂ අධ්‍යක්ෂවරයෙක්.

 

ඔබ වැඩිමනත් දකුණු ඉන්දියානු ආභාසය සහිත චරිතවලට නැඹුරු බවක් පෙන්වනවා.

දකුණු ඉන්දියානු සිනමාවට ආදරේ කරන ප්‍රේක්ෂකයන් අතීතයේත් වර්තමානයේත් ලංකාවේ ඉන්නවා. එයාලා ඒ ශෛලියට කැමතියි. මම නිතරම කියන්නේ මම රඟපාන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කියලා. ඔවුන් දකුණු ඉන්දියානු සංස්කෘතියට කැමති නිසා ඒ ආශ්‍රිත චරිතවලට මම කැමතියි. දකුණු ඉන්දියානු ශෛලිය තුළ කරන්න පුළුවන් නිර්මාණශීලී දේවල් ගොඩක් තියෙනවා.

 

ඒ කියන්නේ ලාංකේය ජන සමාජයේ චරිත ඔබ ප්‍රතික්ෂේප කරනවා?

 

කොහෙත්ම නැහැ. මම චරිත බෙදාගෙන වැඩ කරන්නේ නැහැ. මම ලංකාවේ විවිධ උපසංස්කෘතින්ට අදාළ චරිත කරලා තියෙනවා. කුණු ට්‍රැක්ටරයක් එළවන තරුණයෙක්ගේ චරිතයක්, හැටේවත්ත ආශ්‍රිතව ජීවත් වෙන තරුණයෙක්ගේ චරිතයක් ආදී වශයෙන් චරිත රඟපෑවා. ඒත් මේ ටෙලිනාට්‍යය වෙනස් වැඩක්. ඒකේ ස්වරූපය අනුව වැඩ කරනවා. ඒ හැරුණු විට ලංකාවේ ග්‍රාමීය චරිතවලටත් පණ පොවනවා.

 

පෙනුම මත නළුවා සහ වීරයා තීරණය නොකරන ප්‍රේක්ෂක පිරිසක් දැන් ඉන්නවා නේද?

ඒක ලංකාව විතරක් නෙමෙයි ඉතාම සාර්ථක සිනමාවක් තියෙන ඉන්දියාවේ පවා වෙනස් වෙමින් පවතින කාරණයක්. මුළු ආසියාවේම නිර්මාණ අරගෙන බැලුවොත් ඒ වෙනස පෙනේවි. ලස්සන හමක් තියෙන, ඇඟ හදාගත්ත, නළු පරපුරකින් එන රංගන ශිල්පීන් නෙමෙයි. එයාලා තරු. ඊට වඩා පහළම තැන ඉඳලා පියවරෙන් පියවර දක්ෂතාවය නිසා බැබලෙන රංගන ශිල්පීන් ලංකාවේ විතරක් නෙමෙයි මුළු ආසියාවෙම දැන් ඉන්නවා. විජය කුමාරතුංග සහ ගාමිණී ෆොන්සේකා උදාහරණයකට ගත්තොත් ඔවුන්ගේ විදිහට හැමෝම පෙනුම හදාගත්තා. සිනමා නිර්මාණ තුළ ඔවුන් කරපු විලාසිතා සාමාන්‍ය මිනිස්සුත් අනුගමනය කළා. ඒ හැඩරුව සහ විලාසිතා අනිත් අයට අනුගමනය කරන්න ලේසි පහසු ඒවා. ලොකු ඇඟක් හදාගන්න එක සාමාන්‍යයෙන් එදා වේල හම්බකරන මනුස්සයෙක්ට කරන්න අමාරු වැඩක්. ඒත් හැමෝටම විජය, ගාමිණී වගේ කොණ්ඩේ දාගන්න පුළුවන්. අපි හැමවෙලේම සාමාන්‍ය මිනිසුන් නිර්මාණ කරන්න ඕනේ. සාමාන්‍ය මිනිසුන්ට ඇත්ත ජීවිතයේ කරන්න බැරි දේවල් රංගන ශිල්පියෝ කලා නිර්මාණවලින් කරලා පෙන්නනවා. ඒක ප්‍රේක්ෂකයාට වඩා සමීප වෙන්නේ ඒ චරිතය රඟපාන නළුවාගේ ස්වරූපය ඔවුන්ගේ ස්වරූපයට සමීප වුණාම. සාමාන්‍ය ප්‍රේක්ෂකයාට ඇත්ත ජීවිතයේ කරගන්න බැරි දේ කලා නිර්මාණයේ ඔවුන් වගේම ඉන්න නළුවා කරන නිසා ඒ චරිතවලට ආදරේ කරන්න පටන්ගන්නවා.

 

රන්දික දැන් වේදිකාවට සම්බන්ධ වැඩ කරන්නේ නැද්ද?

කාලය පිළිබඳ ගැටලුව නිසා මම දැන් ටිකක් වේදිකාවෙන් ඈත් වෙලා තියෙන්නේ. ඒත් මම ආසම තැන වේදිකාව. නළුවෙක්ට ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන තමයි වේදිකාව.

 

රන්දිකත් අනිත් නළුවෝ වගේ වේදිකාවෙන් ඇවිත් පසුව වේදිකාව දිහාවත් නොබලන නළුවෙක් වේවිද?

කොහෙත්ම නැහැ. අපි වේදිකා නාට්‍යයකට මාස හයක් තිස්සේ පුහුණු වීම් කරනවා. ලොකු කාලයක් ඒකට කැප කරන්න ඕනේ. මම වේදිකා නාට්‍ය අවුරුදු හයක් විතර කළා. දැන් මට අලුත් දෙයක් මුණගැහිලා තියෙනවා. ඒ කැමරාව. මම ඒකත් අත්හදා බලන්න ඕනේ. ඒත් වේදිකාව අතහැරලා නැහැ.

වඩා කැමති රිදී තිරයටද පුංචි තිරයටද?

මම ඇත්තටම කැමති චිත්‍රපටවලට. ඒක වෙනම දෙයක්. මගේ අදහස අනුව නම් පුංචි තිරයට වඩා සිනමාව ලොකුයි.

 

ඒ කියන්නේ රන්දික ඉදිරියේදී චිත්‍රපට ගණනාවක රඟපානවා අපිට බලන්න පුළුවන් වෙයි?

මම දැනට චිත්‍රපට කීපයක රඟපාලා තියෙනවා. ඉන් දෙකක් තිරගත වුණා. ඒ උ බභපද සහ පාංශු. ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ "ඕභතතඥබ නපධධට ජඩඪතඤපඥද" සහ ශෂික හේරත්ගේ "සිහින සමීකරණ" තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම අරුණ ජයවර්ධනගේ "හැපි බර්ත්ඩේ" තිරගත වෙන්න තියෙනවා. තව ඉස්සරහට නිර්මාණ කීපයකට ආරාධනා ඇවිත් තියෙනවා.

 

රන්දිකගේ පවුලේ විස්තර කිව්වොත්?

මට ඉන්නේ අම්මා, තාත්තා, අයියලා දෙන්නෙකුයි නංගිලා දෙන්නෙකුයි.

 

රන්දික දැන් පෙම්වතෙක්ද?

මම ඒ කාලේ ඉඳන්ම පෙම්වතෙක්. හැබැයි පෙම්වතියක් නැහැ. මම සදාතනික පෙම්වතෙක් තමයි. මට ආදර සබඳතා ගොඩක් තිබිලා තියෙනවා. ඒත් රංගනය නිසා මට ඒවා මඟහැරුණා. මට හමුවුණු හැම පෙම්වතියක්ම අංග සම්පූර්ණ පෙම්වතියෝ. ඒ අය මට ගොඩක් ආදරය කළා. ඒත් එක මොහොතක ඒ අයව අතහැරලා මම රංගනයට ආදරය කරන්න ගත්තා. ඒත් මම ආදරේ කරන අයට මම ආදරෙයි.

 

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?

මම එක සැරයකට රඟපාන්නේ එක නිර්මාණයක් විතරයි. දැනට රූගත කිරීම් කරන්නේ "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලිනාට්‍ය. ශර්මිලා ධර්මරාසා අධ්‍යක්ෂණය කරන "පොදු 2", ජගත් මනුවර්ණගේ අධ්‍යක්ෂණයක් වුණු "කොඩිගහ යට", සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන "තුම්පනේ", ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ "රැහැයියෙක්" යන ටෙලිනාට්‍ය ටික ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි.

 

ජීවිතේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉලක්ක තියෙනවාද?

මගේ ජීවිතේ එහෙම ඉලක්ක නැහැ. මම මේ ආව ගමන එන්නේ සෑහෙන්න පිරිසකගේ උදවු ඇතිව. මම විශ්වවිද්‍යාලයට යනවා කියලා බලාපොරොත්තුවෙන් නෙමෙයි හිටියේ. නමුත් උපාලි සපුතන්ත්‍රි සර් මට උගන්වලා මාව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යැව්වා. විශ්වවිද්‍යාලයේදී රංගනයට වඩා මට උනන්දුව තිබුණේ විලාසිතා නිර්මාණකරණයට සහ වේශ නිරූපණයට. ප්‍රසන්නජිත් අබේසූරිය තමයි "නෑ උඹ රඟපාපන්" කියලා මාව රංගනයට යොමු කළේ. මම පළමුවෙනියටම රඟපෑවේ තුසිත ද සිල්වාගේ "මන්දාරම් නුවර" ටෙලිනාට්‍යයේ නීටා ප්‍රනාන්දු මහත්මියත් සමඟ. එයා තමයි මාව පාංශු චිත්‍රපටයට යෝජනා කළේ. ඊට පස්සේ මම ප්‍රදීප් ධර්මදාසගේ ත්‍රයිලෝකා ටෙලිනාට්‍යයේ රඟපෑවා. සුපුන් රත්නායක අයියාගේ "අඩෝ" ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණේ අහම්බෙන්. ඒකට මට නැඟී එන නළුවාට සම්මානෙකුත් ලැබුණා. මගේ ජීවිතේ මම කරන දේවල් හරියටම කරන්න උත්සාහ කරනවා. මම හිතනවා මගේ ජීවිතේ ඉස්සරහටත් ඒ වගේ හොඳ දේවල් වේවි කියලා. බලාපොරොත්තු ගොඩක් තියාගෙන රඟපානවාට වඩා හැම චරිතයක්ම මේක මම රඟපාන අවසාන චරිතය කියලා හිතාගෙන ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.