ඉතිහාසය කවි කරන අරුමැසි කතන්දරකාරයා

යොවුන් ගේය පද රචක අසංක රුවන් සාගර
ඔක්තෝබර් 13, 2022

 

ශ්‍රී ලාංකේය ගේය පද නිම්නයේ ‘අකීකරු සුළඟක්ව’ හමා ආ ඔහු මේ පොළොවේ සියලු මිනිසුන්ගේ ‘හදබිම් පංගු’ තමා සතු කර ගත්තේ ස්වකීය සදානන්දනීය වදන් පෙළහරේ ඉසියුම් භාවිතයෙනි. කාලයේ වැලි තලාවන්ගේ මතක මං පෙත අතරේ සැඟව, ජනප්‍රවාද, පුරාවෘත්ත, ජනශ්‍රැති බවට පත් වූ සංස්කෘතිකාංග අතරේ අක්මුල් සොයා යමින්, වෙසෙස් චරිත, අරුමැසි මනෝභාවයන් අපූරු වදන් වියමනක අමුණා ගේය පද නම් වූ සාහිත්‍ය ශානරයක හොවා සුභාවිත ගීත සංස්කෘතියක් ගොඩ නැඟුමට අභීත ගමනක් යන ඔහු රාජ්‍ය සම්මානලාභී ගේය පද රචක අසංක රුවන් සාගර නම් වන්නේය.

සමාජානුයෝජනයේ ගුණ සුවඳ ගීත රචනයේ ආත්මයට කැටිකර, එක් විෂයක නොනැවතී විවිධ පැතිකඩ ඔස්සේ ජීවිතය විනිවිදින ඔහු ඕලාරික පෙම්වදන් ආකෘතිය අතික්‍රමණය කර ගේය පද සාහිත්‍යය උදෙසා කෙතරම් නම් විෂය ක්ෂේත්‍ර තිබේදැයි අපට පසක් කර දෙන්නේය. මේ ශ්‍රී ලාංකේය ගේය පද රචනයේ නව මානයන් හා නිර්මාණත්මක වපසරීය පිළිබඳ ඔහු සමඟ සිදුකළ සරසවිය සංලාපයයි.

බොහෝ දෙනෙක් පවසනවා ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණම යුගය 90 දශකය කියා. එය එසේම කියා ඔබත් විශ්වාස කරනවද?

මෙහෙමයි. ඔබ ඇසු කාරණාව මගේ හිතෙන් හැමදාම තිබූ පැනයක්. අපි කොහොමද හොඳම කාලය මෙය යැයි කියා ඉරක් ගසා වෙන්කරන්නේ. ඕනෑම කාලයක ඕිනෑම දේශයක කලාකරුවා කියන්නේ වෙසෙස් පුද්ගලයෙක්. පරිකල්පනය හා බැඳුණු අන්තර්වර්තී පුද්ගල මනෝභවයන් ඔහු (නිර්මාණකරුවා) ඇසුරු කරන සංස්කෘතික පරිසරය හා දැක්ම අනුව නිර්මාණකරුවාගේ නිර්මාණත්මක වපසරිය සාපේක්ෂ ලෙස වෙනස් වන්නට පුළුවන්. මම විශ්වාස කරනවා පෙර පරම්පරාවේ වගේම මගේ සමකාලීන නිර්මාණකරුවන් (ගේය පද රචකයන්) බොහෝ උසස් මට්ටමක සිටිනවා කියා. ඒ තත්සේරුව මට තිබෙනවා. මං ගැන කතා කළොත් මමත් අද දවසේ බොහොම සංතෝෂයෙන් ලිවීමේ කටයුත්තේ යෙදෙනවා.

ඉතාම දුලබ මාතෘකා ලාංකේය ගේය පද කලාවක් ලෙසින් පෝෂණයට අපි ඇප කැප වෙනවා. ඒ වගේම රැළි වලට අහුවෙන්නේ නැතිව, ලියන්නතන් වාලේ නොලියන තමන් කරන නිර්මාණත්මක කටයුත්ත ශාස්ත්‍රීය හැදෑරිමක් ඔස්සේ සිදුකරන අරුමැසි නිර්මාණවේදීන් පිරිසක් මගේ පරම්පරාවේ සිටිනවා. ඒ නිසා මං විශ්වාස කරනවා අදහනවා හෙට එච්චර කළුවර නැහැ කියා.

 

2009 වසරේ හදබිම් පංගුව කාව්‍ය සරණීය රචනා කරමින් අංකුර කවියකු ලෙසින් දොරට වැඩි ඔබ අද දවසේ රාජ්‍ය සම්මානලාභී ගීත රචකයකු ලෙසින් බොහෝ දුරක් ඇවිදින්?

ඔව්. පුංචි සන්ධියේ පටන්ම කවිය, ගීතය මට නුපුරුදු දෙයක් නොවේ. විදුහල්පතිවරයෙක් වූ මගේ තාත්තා වගේම සිංහල භාෂා ගුරුවරියක් වු මගේ අම්මා මගේ ජීවිතයේ මට හමු වූ මුල්ම කලාශිල්පීන් දෙපළයි. අම්මා මා නැළවීමට ගැයූ එස්.මහින්ද හිමියන්ගේ ‘මුණි සිරිපා සිඹිමින්නේ” රාහුල හාමුදුරුවන්ගේ සැළලිහිණියේ එන ‘පැහැසර මිණි පැමිණිය කොත් අගට ආදිය අසමින් විඳිම්න පී‍්‍රතිමත් ළමා කාලයක් වින්දනය කළ මගේ ඇතුළාන්තයේ කතාකාරයෙක් වගේම කවියෙක් සිටිනා බව මට දැනෙන්නට වුණා. ඉස්කෝලේදී පන්තියෙන් පන්තිය ඉහළට ඉගෙනගනිද්දි ගුරු මව් පියවරුන් මේ කාරණාව මට නිරුතුරුවම මතක් කර දුන්නා. ඒ සඳහා දිරි දුන්නා. ජීවි විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවත් ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස නම් වූ අපුරු ගුරුතුමාගේ කේමදාස පදනම තුළ දී ගේය පද රචනය අතික්‍රමණය කළා වූ ආරියා, ඔපෙරා කැන්ටාටා, ඉඟිනළු ආදී විවිධ නව ශාතරයන් පිළිබඳ ප්‍රායෝගික හා න්‍යාත්මක පුළුල් දැනුමක් එක්ක අලුත් ඇසකින් කාව්‍ය හා ගේය පද කලාව දිහා බලන්නට මට හැකිවුණා.

2009 දී ‘හදබිම් පංගුව‘ කාව්‍ය එකතුව සමඟ කවියෙක් ලෙසින් මේ පොළොවට යමක් තිළිණ කරන්නට මට හැකිවුණා. මේ සඳහා මට ලැබුණු ප්‍රශංසා බොහෝමයි. 2010 දී ‘අකීකරු සුළඟක් ව‘ ලෙසින් නවමු ගේය පද රචනා කෘතියක් රචනා කරන්නට මට උත්තේජනය සැපයුවේ එයයි. ඊට පස්සේ 2019 වසරේ දී ‘පරසතු’ නමින් කෘතියක් එළිදක්වන්නට මට හැකිවුණා. එහි ඇතුළත් වූ සරල ගීත, ටෙලි නාට්‍ය තේමා ගීත, ඉඟිනළු ආදී සියලු නිර්මාණ අංග අපේ රටේ කීර්තිමත් ගායනවේදීන්, වේදිනියන් වගේම නවක ශිල්පීන් ගායනා කළ නිර්මාණ එය 2019 විද්‍යීද්‍යය සම්මාන උළෙලේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, යමුනා මාලිනී වැනි ජ්‍යෙෂ්ඨයන් සමඟ මමත් එක පෙළට නිර්දේශ වුවා. එයත් මට සම්මානයක් තරමටම සදා නන්දනීයයි.

 

2013 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී විශිෂ්ටතම ගේය පද රචනය සම සම්මානය දිනා ගන්නට ඔබ සමත් වෙනවා.

ඔව්. ජානක සිරිවර්ධන, රවී සිරිවර්ධන මගේ සමකාලීන ගේය පද රචනා ශිල්පීන් දෙදෙනෙකු සමඟ මට එම සම්මානය දිනාගන්නට හැකිවුණා. ලිහිණි අක්කා නම් වු මේ ගේය පද රචනය සංගීවත් කළේ ජානක අයියා (ප්‍රවීණ සංගීතවේදී ජානක ෆොන්සේකා මහතා) එය හැගුම් ගායනාවක් කළේ ඉන්දිකා අක්කා. (ප්‍රවීණ ගායනවේදිනි ඉන්දිකා උපමාලි මහත්මිය)

 

ලිහිිණි අක්කා’ ගේය පද රචනයෙන් ඔබ තුළ සැඟව සිටින ඉතිහාසකාමී කතා කරුවා අවදි කරනවා?

කොහොමටත් මම ඉතිහාසයේ සැරි සරන්න, මතක මංපෙත්වල සරතැස නිවන්නට බොහෝ මනාප කෙනෙක්. සබරගමු ජනප්‍රවාදයේ එන චරිතයක් තමයි ‘ලිහිණි අක්කා’ කියන්නේ. ඇය හෙළෙන් පැන සිය දිවි නසාගත් බවක් වගේම පින්වතුන් සේ සමාජයේ දෙබිඩි චරිත රඟපානා සලෙළුන් විසින් ඇයව අපහරණයට ලක්කළ දේශපාලනිකමය කතාවක් තිබෙනවා. මෙන්න මේ කතාවේ එන ලිහිණි අක්කාගේ ‘ඇතුළු හදවතේ සැඟවුණු කඳුළු කතාව නිර්මාණත්මකව අපේ ආදරණීය ශ්‍රාවකයා වෙත රැගෙන එන්නට මං උත්සහ කළා මං හිතනවා ඒ උත්සාහය සාර්ථක වුණා කියා.

 

2015 රාජ්‍ය සම්මාන උළෙලේ විශිෂ්ටතම ළමා ගීත ගේය පද රචනයට වගේම 2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශිෂ්ටතම ගේය පද රචකයා වන්නෙත් ඔබයි?

ඔව්. ඒ පිළිබඳ මා තුළ නිහතමානී සතුටක් තිබෙනවා. ළමා ගීතයක් රචනා කිරීමේදී මගේ ළමා වියේ මා දුටු මා විඳි සුන්දර කාලය නිර්මාණයට කෝෂ්ටාහාරයක් කර ගනිමින් දරුවන්ගේ පරිකල්පනීය හැකියාවන් තීව්‍ර කරමින් දරුවන් උදෙසා හොඳම දේ තිළිණ කරන්නට මං වෙර දරනවා. ‘කනට කරට මල් ගහගෙන’ ළමා ගීතය නිර්මාණය වන්නේ ඒ ‘ලෙසින් ගීතය සංගීතවත් කළේ අසේල බණ්ඩාර ගායනා කළේ ගලහිටියාව හේමමාලි විද්‍යාලයේ දරුවන්.

2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍රවුයේ ‘මගේ නාග සින්නම් අහන්නට නම් වූ ගීතයයි.

‘නාග සින්නම් හඬ අහන්නට

රන්සුළි මහ පෙරහැරේ

රන්තෝඩු නැති පාළු කන්පෙති

අත ගාගා ඔන්න මං ආවේ

තරහ අවසර

ශ්‍රී වික්‍රම පෙම්බරානණේ”

ශානිකා නැගණියන් (යොවුන් ගායන වේදිනි ශානිකා සුමනසේකර) හැඟුම්බර හඬයි දර්ශන සොයුරාගේ (ප්‍රවීණ සංගීතවේදී දර්ශන වික්‍රමතුංග) නිර්මාණත්මක සංගීත රටා සමඟින් මේ ගීතය ජනාදරයට පාත්‍ර වුණා.

 

ඔබ ඉංගී‍්‍රසි බසින් රචනා කළ Moon Light  ගේය පද රචනයේ ඉසියුම් සංවේදීබව ඔබට ජාත්‍යන්තර නිර්මාණයකට දායක වීමට දොරගුළු විවර වීමක් වුණා?

ඔව්. ඇත්තටම මම එය දකින්නේ අපේ රටටම හිමි වූ කීර්තියක් ලෙසටයි. එය ලන්ඩනයේ දැවැන්ත සංගීතමය අවස්ථාවක්. මං බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී එම දැවැන්ත නිර්මාණ පිළිබඳව ප්‍රථමයෙන් ම සරසවියට හෙළි දරව් කිරීමට.

 

පේ‍්‍රමයේ සදානන්දනීය බව ඔබේ බොහෝ ගීත රචනාවල අප වෙතට ජීවිතාශාවන් එකතු කරනවා.

ඇතැම් අහම්බයන් අපව පුදුමයට පත් කරනවා. මගේ ජීවිතය වර්ණවත් කරන්නට මා සතු අතීතකාමී හැඟිම්, අතීත කාංසාවන් වෙළී පැවතුණ මතක මං පෙත් නිර්මාණාත්මක ඉසව් වෙත මා රැගෙන යනවා. ප්‍රවීණ ගායනවේදී කරුණාරත්න දිවුල්ගනේ ශිල්පියාණන් ගයන මා ලියූ ‘සොඳුර මේ සියුමැළි ඔබම දැයි’ ගීතයට සාධක වන්නේ විවාහ පත් පුරුෂයකුගේ /ස්වාමියකුගේ කෝණයෙන් කියන්නත් මං හිතනවා. කුටුම්භ ජීවිතයේ මේ තමයි යථාර්ථය කියා. ඔහු ඇයගෙන් ප්‍රශ්න කරනවා. විමසනවා මේ ඉන්නේ එදා සියුමැළි විලසින් සිටි ඔබමදැයි කියා.

‘සොඳුර මේ සියුමැළි ඔබම දැයි....”

ගීත රචනයේදී අපේ ජනකවියාගේ අව්‍යාජ භාවය වගේම වෙස්සන්තර කවි වින්දනයෙන් මා ලැබු සංවේදනාවන් මේ ගීත නිර්මාණයට මුසු කළා. මං විශ්වාස කරන තරමට පේ‍්‍රමය ගැන විස්තර කරන කියවීමට ලක්කරන හොඳම කෘති දෙක තමයි යසෝදරාවත සහ සඳකිඳුරු වත නිර්මාණයන්.

‘අසෙනිය මලක්

පේ‍්‍රමයට අසෙනිය මලක්

ඔබෙන් පෙරළා කිසිත් නොපැතුව

මගේ පේ‍්‍රමය

ඔබේ ළඟ අසනිය මලක්’

Moon Light
Fallen in a Gloomy night
I Still remember Your Starring eyes
It was Our last sight
In the moon light”


මගෙන් ගිලිහුණු ඔබේ අත්වැල

කාට හෝ මඟ කියා නම්

අතහරිම් ඒ රිදුම ඉවසමි

පේ‍්‍රමයම අසෙනිය මලක්’

පේ‍්‍රමය පිළිබඳව සහ පේ‍්‍රමය අහිමිවීම පිළිබඳව පසුගිය සමයේ මා අතින් වැඩියෙන් ලියවුණා දෝ කියා මට හිතෙනවා. නිරන්තරයෙන්ම පේ‍්‍රමය දිහා වුණත් වෙනස් විදියකින් බලන්නට මම කැමැතියි. ‘එකගෙයි කෑම’ වැනි සංකල්ප පවා වගේ ගීතවලට සාධක වී තිබෙනවා. හර්ෂණ දිසානායක, වසන්ත ජයසේකර ගායන ජානක ෆොන්සේකා සංගීතවත් කළ ගීතය වගේම අපිට ඉන්න අතිදක්ෂ සංගීතවේදීයකු ගායකුයෙකු බවට පත්කළ

‘කොහේ දෝ ඈතක ඉඳන්

ඔබේ කටහඬ ආයෙමත් ඇවිදින්

හීන් හිරිකඩ මතක වැහිපොද

උණුහුමක් පැතු ඔබේ තුරුළත

ඒ සුසුම් ළඟ පෙර සේ

මං වෙළෙන්නද ආයේ.”

එය මගේ නොවෙයි. ඔබේ කතාව නැතිනම් අපේ කතාව කියා මං හිතනවා. මේ ගීත රචනාව ආදරණීය අරණ සොයුරාට (ප්‍රවීණ සංගීතවේදී අරුණ ගුණවර්ධන) දුන්නම ඔහු මගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි ඒ ගේය පද වැල වෙන කාටවත්ම නොදි ඔහුටම දෙන්න කියා. ඔහුගේ ඒ සිතුවිල්ල ඉතාම නිවැරදියි. විශිෂ්ට සංගීතවේදීයකු දක්ෂ ගායකයෙකු කරන්නට මගේ පද වැලකට සමත්විමේ සොඳුරු බව මගේ හිතේ තිබෙනවා.

මේ ගීතයේ ඔහු ලියා තිබෙන්නේ මගේ කතාව කියා රසිකයෙකුට, ග්‍රාහකයෙකුට හිතෙන මනෝරම්‍ය මොහොත මගේ සාර්ථකත්වය කියා මං විශ්වාස කරනවා. එතැනට යන්නට හිමින් සීරුවේ උත්සහ කරනවා. මං එතැනට යමින් සිටිනවා කියා මට දැනෙනවා.

 

අද වනවිට ඔබ ගේය පද රචනය අතික්‍රමණය කරමින් ඉඟිනළු ඔපෙරා, ගීත නාටක ආදිය නිර්මාණයට යොමු වී තිබෙනවා.

ඔව්. එවැනි නිර්මාණත්මක ප්‍රවේශයන් වෙත නැවුම් සන්දර්භයන් ඔස්සේ යොමු වීමට මට හැකිවුණා. අනගාරික ධර්මපාල ඉඟිනළුව, වලිසිංහ හරිස්චන්ද්‍ර ඉඟිනළුව, විජිත් කණුගල මහතාගේ ඉල්ලීමකට සීගිරියේ කවි පාධක කරගනිමින් ‘ආලකමන්දාව‘ ආදී නිර්මාණයන්, ප්‍රවීණ රූපණවේදී ගාමිණි ෆොන්සේකා මැතිතුමාගේ දසවන සමරු පිටපත ආදී නිර්මාණ කටයුතු මේ මොහොතේ මගේ මතකයට නැගෙනවා. ලැබෙන රාජකාරිය උපරීමයෙන් ඉටු කිරීමට මං නිරන්තරයෙන් කැපවෙනවා.

 

සුරංගනාවන් ඇවිදින් ඊයේ රෑ අපේ මිදුලේ හරි ලස්සනට පාට පාට මල් පිපිලාලු පාන් කළුවරක් නිවිලා නැගිටින් යාළු නම් ගීතය ඔබ ප්‍රථම චිත්‍රපට ගීතයයි.

ඔව්. ඔබ පැවසු ආකාරයටම ටවුමේ ඉස්කෝලේ නැමති චිත්‍රපටයට ගීත ලිව්වේ අපුරු අවස්ථාව මට හිමිවෙනවා. ඒ දර්ශන වික්‍රමතුංග නම් වූ අතිදක්ෂ සංගීතවේදියා නිසා. එම චිත්‍රපටයේ ගීත රචනයට එක්වීමත් සමඟ කලාත්මක ධාරාවේ සිනමා ශානර කිහිපයක් සඳහාම ගේය පද රචනයෙන් දස්කම් දක්වන්නට මට හැකි වුණා. අපි ඉදිරියේදී ඒ නිර්මාණ තිරගත වීමත් සමඟම ඒ ගැන කතා කරමු.

 

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ හමුව, එම ගුරු ගෝල ඇසුර ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කියා මම හිතනවා.

ඔව්. ඇත්තටම එය පුද්ගලයෙකුට ලෙහෙසියෙන් හමුනොවන දුලබ අවස්ථාවක්. එතුමාගේ නිවසේම හිඳිමින් එතුමාගේ නිර්මාණ අධ්‍යාශයේ අරුමැසි ඉසියුම් තැන් සජීවිව අත්විඳින්නට මං පින්සාර වුවා. කේමදාසයන්ගේ කේමදාස පදනමේ ශිෂ්‍යයෙකු ලෙසින් කටයුතු කරමින් එතුමාගේ සොඳුරු වර්ණදාසි ඔපෙරාව, පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව නිධන් මංකොල්ලය ඔරිටෝරියෝව ආදී නිර්මාණ රැසකකට මගේ දායකත්වය උපරීමයෙන් ලබාදෙන්නට මට හැකිවුණා. මට මතකයි එතුමා කටහඬ වර්ගීකරණයට අනුව මට හිමි ව තිබු ජන නාද මුසු වු හඬ භාවිතාව (ජ්චතඬ ඊධදඥ) පිළිබඳව බොහෝ ප්‍රසාදයෙන් කතා බහ කළ හැටි.

මං කේමදාස මාස්ටර්ගේ ඇසුරේ නිර්මාණ අධ්‍යයනයේ යෙදෙන සමයේ මට දැනුණ, මා දුටු දෙයක් තමයි එතුමාට ගීත රචනයක් ලැබුණු පසු එය මට සිලිටු කිරීමට දක්වන ප්‍රයාසය. එතුමාගේ කියවීම හරිම සංගීතවත්, ඒ බුහුටිකමට මං හරිම මනාපයි. ඉතින් මේ සංගීතමය කියවීම ප්‍රායෝගික භාවිතාවක් වෙන්නේ කොහොමද කියන කාරණාව මං අදින් වසර 20කට පෙර එතුමාගේ ශිෂ්‍යයෙකුව අත්වින්දා. කේමදාස මාස්ටර් ඇතැම් නිර්මාණවල දී පුණුරුච්චාරණය තුළින් සංගීතමය වූත් කිසියම් මායාමය වුත් ෆැන්ටසියක් කරා සිය නිර්මාණය රැගෙන ගියා විවිධ හඬතල, හඬ පරාසයන්ගේ ගැයෙන සංගීත හඬ භාවිතයන් කේමදාසයන්ගේ ඉන්ද්‍රජලිකමය සංගීත භාවිතය හදාරන්නට, විඳින්නට ජීවිතයට නිර්මාණ අධ්‍යාශයක් ලෙස එකතු කර ගන්නට මට හැකිවුණා. මගේ කියවීමට අනුව කේමදාස මාස්ටර් කියන්නේ මගේ ගුරුතුමා පමණක්ම නොවෙයි. එතුමා පුරාවෘත්තයක්. කිසිදා කියවා නිමා කර ගත නොහැකි මහා පුස්තකයක්.

‘රළු ඇඟිලි තුඩු අගින් කම්පිත

ඔබේ හඬින් සුලලිත

මිහිරිතම කවි ගී අහන්නට

නිල්වනුන් රන්වනුන් ඇවිදින්

බිතු රුවෙන් මිදෙමින්...

පලාපෙති දිගහැරි හැරි

සඳකඩ පහණ ඇවිලෙනු වැනි

සංසාරගත පුරුදු ඇහැරී

මියුරු සංධ්වනි හැඩවුණා.

 

පරසතු කියන්නේ ඔබේ නිර්මාණ ජිවිතයේ අස්වැන්නයි?

සත්තකින්ම 2019 වසරේදී සුරිය ප්‍රකාශනයක් ලෙසින් එළිදැක්වුණු පරසතු කෘතියට අන්තර්ගත වන්නේ පසුගිය කාලය පුරා, සරල ගී, ටෙලි තේමා ගීත, ටෙලි නාට්‍ය ගීත, සිනමා ගීත ආදී ලෙසින් රචනා කළ මේ රටේ මහා ගායනවේදීන් වේදිනියන් වගේම නව පරපුරේ තරුණ ගායක ගායිකාවන් ගැයු ගීතාවලියක ගේය පද සරණියක්. මේ කෘතිය විද්‍යීදය සම්මාන උළෙලේදී මං ඉපදෙන්නටත් පෙර සිටම ගීත ලියු ජ්‍යෙෂ්ඨයන් ජිරිසක් සමඟ මං නිර්දේශ වෙනවා. මං විශ්වාස කරනවා එය මං ගෞරවයක් කියා.

 

හෙට දවස ගැනත් කතා කරමු.

ඔව්. ගේද පද රචනයේ මට තරගය තිබෙන්නේ මා සමඟමයි. මා පෙර දවසේ ලියු ගීතයට වඩා නැවුම් නිර්මාණයක් කරන්නයි මගේ වෑයම. කවුරුන් කෙසේ කීවත් අපේ පරපුරේ දක්ෂ ගේය පද රචකයන්, ගායන ශිල්පීන්,ශිල්පිනියන්, වාදන ශිල්පීන්, පුරකවරුන් ඇතුළු දක්ෂතා සපිරි නිර්මාණශීලි පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ සුසංගත බව තුළින් අපේ කලා කෙත අස්වද්දන්නට හැකිය කියා මං විශ්වාස කරනවා.

 

කසාක්ස් ජාතික සුලෙයිමනෝවා නැමැති ප්‍රසිද්ධ කවියාගේ කියමනකින් මේ සංලාපය නිමා කරන්නට මං කැමැතියි.

“සාහිත්‍යකරුවාගේ වගකීම තවලමේ අවසානයෙන් ගමන් කරන ඔටුවාගේ කාර්යයට සමාන වෙයි. ඌට තමන් ගෙන යන බරට අමතරව ඉදිරියෙන් යන ඔටුවන්ගෙන් ඇද වැටෙන බරට ද කරගැසීමට සිදුවෙයි.

මං හිතනවා අද්‍යතන සාහිත්‍යකරුවාගේ වගකීම ද එයයි කියා.

 

 

ඡායා - දයාන් විතාරණ / භූමි වික්‍රමසිංහ