කරුණාවන්ත කරු

මැයි 5, 2022

 

අභාවප්‍රාප්ත විල්සන් කරුණාරත්න මාධ්‍ය සමඟ සංවාද පැවැත්වුයේ ඉතා අඩුවෙනි. මේ ඔහු සමඟ කරන ලද මුල්ම පුවත්පත් සාකච්ඡාවයි. 1992 නොවැම්බර් 05 වැනිදා සරසවිය පුවත්පතේ පළ වූ මෙම ලිපිය ඔහුගේ ජීවිතය පිළිඹිමු කරන කැඩපතක් වැනිය. මේ අගනා සංවාදය කරන ලද්දේ එවකට සරසවිය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුව සිටි පසුකලෙක කර්තෘධුරය හෙබ වූ අනුර බණ්ඩාර රාජගුරු විසිනි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හිටපු අගමැතිතුමා වෙඩි තබා මරා දැමූ කාල වකවානුවයි. මේ වෙඩි තැබීම ශ්‍රමණ වෙස් ගත් කෙනකු අතින් සිදු වූ බවට පැතිර ගිය ප්‍රචාරය නිසා ඒ වකවානුවේ පොදු ස්ථානවලදී ඇතැම් ප්‍රවේගකාරී මතධාරින්ගෙන් භික්ෂුන් වහන්සේලාට කෙනෙහෙළි වෙමින් තිබිණි.

හැව්ලොක් ටවුමේ ලුම්බිණි විද්‍යාලයේ ඉගෙනගත් පාසල් ශිෂ්‍යයෙක් පොත් බෑගය ද තුරුලු කරගෙන හැංගි හොරා ගමනක් යෑමට බස්රියට ගොඩ වූයේය. හැංගි හොරා ගමන නම් ‘නිව් ඔලිම්පියා’ ශාලාවේ ඉංගී‍්‍රසි සටන් චිත්‍රපටය නැරඹීමය.

ඉදිරි අසුනට යාබදව ඔහු බස් රියේ හිටගෙන ගමන් ගත්තේය. මැදිවිය ද පසු කළ භික්ෂූන් වහන්සේ නමක් භික්ෂූන්ට වෙන් වූ අසුනේ වාඩි වී සිටිනු දක්නට ලැබිණි. ඊට මෙහා පැත්තේ සිටි එක්තරා පුද්ගලයකුගෙන් මේ භික්ෂුන් වහන්සේට එල්ල වනුයේ පරුෂ වදන් වැලකි. බසයේ කිසි කෙනකු මේ පුද්ගලයාට එරෙහි වීමක් නැත.

පාසල් ශිෂ්‍යයාට ඉහිලුම් නැති විය. ඔහු කෝපයෙන් පුපුරන්නට විය. වාචාල මිනිසා දිගටම භික්ෂූන් වහන්සේට පරුෂ වචයෙන් බැණ වදියි. බස් රථය ඉබ්බන්වල හංදියෙන් ද හරවා ‘නිව් ඔලිම්පියා’ දෙසට ගමන් කරයි. ඊළඟ බස් නැවතුම ද ආසන්නය. භික්ෂුන් වහන්සේ ඉතා අසරණව නැඹුරු කරගත් හිසින් යුක්තව සිටි. පාසල් සිසුවාගේ කෝපය ඉහ වහා පුපුරා ගියේය. හරස් පොල්ලේ එල්ලී විදුලි වේගයෙන් ඉදිරියට පීනු ඔහු පරුෂ වචනයෙන් බැණ වැදි පුද්ගලයාට දෙපයින් වේගවත් පහරක් යටි බඩට එල්ල කළේය. ඒ පහර කෙතරම් වේගවත් විද යත් නවත්වන්ට ආ බසයේ දොරටුවෙන් එළියට විසි විණි.

“හරියට හරි පුතා. හොඳ වැඩේ පුතා’

‘අපිත් මේ මොනවා කරන්නද කියලා බලා හිිටියේ.’

මේ ආදී දෙබස් ඔහුට ඇසෙන්නට විය. ඔහුගේ කෝපය තව තවත් වැඩිවිය. ඒ මෙතෙක් නිහඬව සිටි පුද්ගලයන් නිසාය. බස් රථයෙන් බිමට පැනගත් ඔහු පොත් බෑගය දෑතින්ම ගෙන දිගටම පහර දීගෙන ගියේය. බස් රථයේ පිරිසත් අවලාද ඇසූ භික්ෂූන් වහන්සේ නමත් ඔහුව පසෙකට කරනතුරුම ලේ පනින්නට වාචාල පුද්ගලයා පහර කා තිබිණි. නමුත් ශිෂ්‍යයා සෙනඟ අතරින් මෑත් වී පොත් බෑගය ද ගෙන දිවිල්ල නතර කරවුයේ ‘නිව් ඔලිම්පියා’ සිනමා ශාලාවේ ආසන පේළිය අතරය.

අසාධාරණ ඉදිරියේ ඔහු කුඩා කල පටන්ම ගොළුවෙක්, බිිහිරෙක්, අන්ධයෙක් නොවීය. ජිවිතය පරදුවට තබා ඔහු අයුක්තිය වෙනුවෙන් සටන් වැදුණේය.

තරුණ ජවයෙන් ඔද වැඩි සමයේ මේ පුද්ගලයා බොහෝ දේවල්වලට මුහුණ දුන්නේය. පාසල් වියේ පටන්ම ඔහු තම ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වූයේය. ක්‍රීඩාවට ඔහු දැක්වුයේ පුදුමාකාර ඇල්මකි. ජිවිතයේ අත්දැකීම් බහුල ජීවන වකවානුවක ඔහුට ලෝකයේ නම්බුකාර වෘත්තියක නියැළීමට වාසනාව ලද්දේය.

බොහෝ අවස්ථාවල ඔහු මුණ ගැසිණ. ඒ හැම විටකම මගෙන් ඔහුට එක්තරා ඉල්ලීමක් විය. මගේ ඒ හැම ඉල්ලීමක්ම ඔහු ඉතා සීරුවෙන් මඟ හැරීයේය.

‘කොරමු. කොරමු. මං කියන්නන්කෝ’ හැම විටකම ලිපියක් සඳහා සම්මුඛ සාකච්ඡාවකට වෙලාවක් ඉල්ලූ විට ඔහුගෙන් ලැබුණු පිළිතුර එය විය. ටික කලක් ගත විය. පසුව ඔහු හමු වූ විට මම ලිපි පිළිබඳ මාතෘකාව හැර වෙනත් දේ ගැන ඔහු සමඟ කතා කෙරුවෙමි. මගේ ඒ වෙනස දුටු ඔහු දිනක් මෙසේ ප්‍රකාශයක් කළා මට මතකය.

“මම ඔයත් එක්කම තමයි ආටිකල් එකක් කොරන්නේ. අපි ළඟදීම හම්බවෙමු.’

නොකෙරෙන දේවල් ගැන කතා කරන්න එපා කරු අයියා.’

‘නෑ... නෑ... එහෙම වෙන්නේ නෑ. ළඟදීම කොරමු. මං දිනයක් කියන්නම් කෝ’

ළඟදීම කියූ වචනය රබර් සේ ඇදෙන්නට විය. එය ඉතා දිගු ළඟදීම දිනයක් වුයේය.

තවත් මාසයක් දෙකක් ගත විය. නළු නිළි සංගමයේ මහ සභාව දිනයේ ඔහු මට හමුවිය. මේ ප්‍රශ්නය නිසාම අපි දෙදෙනාට මුහුණ දී කතා නොකරන තත්ත්වයට පැමිණ තිබිණි. සිතට වෙර ගෙන එදා මම ඔහුගෙන් මෙසේ ඇසිමි.

‘කරු අයියා හෙට මොකද කරන්නේ?

“හෙටනං වැඩි වැඩක් නෑ.’

මම වෙනත් කිසි දෙයක් කතා නොකර ඔහුගේ මුහුණ දෙස බැලිමි. ඔහු හෘද සංවේදි මිනිසකු නිසා මා හිත කෑකැරුණු දෙය පැහැදිලිවම තේරුම් ගෙන තිබිණි.

‘හරි හෙට අපි අර වැඩේට හම්බ වෙමුද? ඔහු මගෙන් විචාළේය.

මගේ සතුට නිම් හිමි නැති විය.

‘හරි කරු අයියා මම උදේ 10.00ට නොවරදාවම එන එක එනවාමයි.’

පසුදින 10.15 ට මම ඔහුගේ නිවහනට ගියෙමි. තනි වචනයේ මිනිසකු වූ ඔහු මා එනතුරු පෙර මඟ බලා සිටියේය. පෙරුම් පිරූ අව්ස්ථාවක් මට උදාවුයේ එලෙසය. ඉන්පසුව ගතවුණු හෝරාවේ ඔහුත් මාත් අතර කෙරුණු කතා බහයි මේ.

‘චණ්ඩියා’ චිත්‍රපටිය බලලා මම නිකං වයින් කරලා වගේ. මට හරි ආසයි චිත්‍රපයටක සටන් ජවනිකාවට එකතු වෙන්න. ඒ කාලේ ඉතින් තරුණ කාලේ. හැම සෙල්ලමක්ම කොරනවා. බැහැයි කියලා දේකුත් නෑ. බයයි කියලා එකකුත් නෑ. ඕනෑම වැඩකට ඔට්ටු කාලේ. ෆුට්බොල්, ක්‍රිකට්, ජිම්නාස්ටික්, රෙස්ලින්, ජූඩෝ, කරාටේ මේ හැම සෙල්ලමක්ම කළා.’

‘කිරුළපනේ කිරුළ කීකර්ස් අපේ ක්‍රීඩා සමාජයේ නම, බොහෝම ප්‍රසිද්ධයි. රත්නම්, සෝන්ඩර්ස්, වික්ටරි, ලෙවන් ලයන්ස්, නිගම්බු ජුපිටර්ස් මේ ආදී නම් දරාපු හැම කී‍්‍රඩා සමාජයක් එක්කම සිල්වර් කප්, ගෝල්ඩ් කප්වලට ෆුට් බෝල් සෙල්ලම් කරලා තියෙනවා. කිරුළ කිකර්ස් කණ්ඩායමේ ගෝල් කීපර් මම. පී.ඩී. සිරිසේන, හෂිමිඩින්, ලයනල් පිරිස්, බැසිල් ෆොන්සේකා මේ ආදී නම් දරාපු අය තමයි අපේ පුහුණුකරුවෝ. මොනවද ඉතින් ඒ කාලේ හරි සුන්දර යුගය.’

‘පකිස්තානයේ පාපන්දු පුහුණු කඳවුරකට යන්න මාවත් තේරුණා. පාස්පෝට් ඔක්කෝම ලෑස්ති කළා. යන්න තියෙන්නේ හෙට. මම යාළුවෙක් එක්ක මෝටර් සයිකලයක ගිහින් වැටිලා උරහිස පැලුණා. මට යන්න බැරි වුණා. මට හරිම දුකයි. ඒත් කොරන්න දෙයක් නැහැනේ.’

‘හැම සෙල්ලමක්ම කරනවා. ඉංගී‍්‍රසි චිත්‍රපට බලනවා. අර මුලින් කිව්වා වාගේ ‘චණ්ඩියා’ බලලා පිස්සු හැදිලා. එච්. ඩී. කුලතුංගගෙයි ගාමිණි ෆොන්සේකාගෙයි අර කරත්තේ උඩ ෆයිට් එක ඉතින් හීනෙනුත් පේනවා. මගේ මේ ආසාවට පුණ්‍යා බුලත්සිංහල කියලා මගේ ඥාතියෙක් මාව චිත්‍රපට ලෝකයට යොමු කළා. ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුඛයිර් මකීන් වෙතට. මගේ මුල්ම සටන් ජවනිකාව වූයේ රොබින් ප්‍රනාන්දු සමඟ රබර් වත්තේ කළ සටනයි. සිංහල සිනමාවේ සටන් ජවනිකා අතර තවමත් රසිකයන්ට එය අමතක වී නැහැ. රොබින් අයියත් එක්ක පෙර දවසේ පුහුණුවීම් කළා. මගේ මුල්ම සටන් ජවනිකාව, ඉස්සර වෙලාම මේ කරන්නයි හදන්නේ. මට ඕනෑ වුණේ වැඩේ ඉස්තරම් විදියට කොරන්නයි.’

‘රොබින් අයියා, ඕනෑ එකක් කියන්න මම ඒ විදිහට කොරන්නම්.’

‘අතක් පයක් කැඩුණත් කමක් නෑ කියන හිතේ විශ්වාසයෙන් මම සටනට මුහුණ දුන්නේ. ඉතා හොඳට එය කෙරුණා අර රබර් ගහට තියලා කකුලෙන් දෙපැත්තට අදින දර්ශනයේදී මට සිහි නැති වුණා. සිහිය ලැබුණු පසු නැවත කළා. රොබින් අයියාගෙන් (රොබින් ප්‍රනාන්දු) පුදුම සහයෝගයත් ලැබුණා. මම නවකයෙක් කියලා මාව කොන් කළේ නෑ.”

“හදවත් නැත්තෝ’ වලින් පස්සේ අවුරුද්දක් විතර චිත්‍රපට නැතුව ගියා. ඉන් පසුව නීල් රූපසිංහ, සරත් රූපසිංහ සහෝදරයින්ගේ චිත්‍රපටවලින් යළිත් සිනමාවට පිවිසියා. යකඩයා, හිත මිතුරා, සංඛපාලි, සරදියෙල්ගේ පුතා මේ ආදී චිත්‍රපටවල සටන් ජවනිකාවලට සම්බන්ධ වුණා. එවක චිත්‍රපටවල නිෂ්පාදන කළමනාකරුවකු වූ කරුණදාස පෙරේරා මට උදව් කළා.”

“ඒ කාලේ ශරීර සෞඛ්‍යය රැක ගන්න මම ඕනෑම සෙල්ලමක්ම කරනවා. මුහුදු වෙරළේ තමයි අපි පුහුණු වෙන්නේ. මගේ මිත්‍රයෙක් හිටියා රක්ෂණ සංස්ථාවේ නිලධාරියෙක්. නම ජී.කේ. ජයසේකර. ඔහු චීන අඩි ශාස්ත්‍රයේ නිපුණත්වයට ගිය කෙනෙක්. ඔහු චීන අඩි පිළිබඳව මට විස්තර කළා. නමුත් ශාස්ත්‍රනුකූලව එය ඉගෙන ගැනීමට මම කැමැති වුණේ නෑ. මම ගණන් ගත්තේ නැහැ. ඔහු මට එය ඒත්තු ගන්වන්න හැදුවා.”

“හරි කරු මට ඕනෑම විදියකට හොඳට පහර දෙන්න.” ජයසේකර මට කිව්වා.”

“මම අතින් පයින් දුන්නා. නමුත් මගේ එක පාරක්වත් වදින්නට කලින් ඔහු මාව බිම වැට්ටුවා. තුන්පාරක්ම මේ සිදුවීම වුණා.”

“දැන්වත් පිළිගන්නවාද කරු ශාස්ත්‍රානුකූල සෙල්ලම් තියෙනවයි කියලා”

“ඔව් පිළිගන්න වෙනවානේ” මා පිළිතුරු දුන්නා.

“හරි මම එහෙනම් කරුට සාස්තරය උගන්වනවා.”

“ජයසේකර මට චීන අඩි සටන් ක්‍රමය සම්පුර්ණයෙන්ම දිගු කාලයක් තිස්සේ කියා දුන්නා. ඉන් අනතුරුව එයා මේ සටන් ක්‍රමය ඉගෙන ගත්තු මාස්ටර් ළඟට කැඳවාගෙන ගියා. ඒ මාස්ටර්ගේ නම මං මොහිදින්. ඒ වන විට මම මොහිදින්ගේ වයස අවුරුදු 80ක් විතර ඇති. නමුත් ශක්තිමත් අත පය. ජයසේකර මාව මං මොහිදින් මාස්ටර්ට හඳුන්වා දුන්නා.”

“මාස්ටර් මං මෙයාට ශාස්ත්‍රය ඔක්කෝම අඩු නැතුව කියා දුන්නා. මං මොහිදින් මාස්ටර් මං දිහා හොඳට බැලුවා.”

‘බලමු සේකර මහත්තයාගේ ගෝලයා මොනවද දන්නේ කියලා’

‘මට ගේ ඇතුළු කාමරයකට එන්න කියලා සංඥා කළා. ඒ ඔහුගේ සටන් පුහුණු කාමරය විය යුතුයි. බිත්තියේ ලෑල්ලක හතරැස් අඩියක් විතර යකඩ ඇණ උල පැත්ත එළියට එන විදියට ගසා තිබුණා.

“ජයසේකර මහත්තයාගේ ගෝලයට කියන්න මේ ලෑල්ලට ගහන්න කියලා.”

“මට එක පාරටම ජයසේකර දිහා බැලුණා. මේ ඇණ තියෙන ලෑල්ලට ගැහුවොත් අතක් අලුතෙන් ගේන්න වෙනවා. ඒක ෂුවර්. දැන් කරන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙච්ච දෙන් කියලා හිතට ධෛර්යය අරගෙන ගැහුවා. ක්ෂණිකවම ඒ පාර මං මොහිදින් මාස්ටර් මාව කවර් කළා. මගේ අත ඇණ සහිත ලෑල්ලේ වදින්නට ඉඩ දුන්නේ නෑ.”

“ජයසේකර මහත්තයා හරියටම උගන්නලා තියෙනවා. ගෝලයගේ හිතේ හයිය, විශ්වාසය හොඳට තියෙනවා.”

“මං මොහිදීන් මාස්ටර් ගේ පරීක්ෂණයක් තමයි ඒක. ඒ කාලේ ඉඳන්ම ඕනෑම බැරෑරුම් කාර්යයකට මුහුණදීමේ ආත්ම ශක්තිය තිබුණා. මොනවා හරි කරන්න හිතුණම කොරලම තමයි පස්ස බලන්නේ.”

“දවසක් වැල්ලවත්තේ ‘සැවොයි’ එකේ පික්චර් එකක් බලල එනවා. පාලම උඩ බ්ලැක් ඇමෙරිකන්කාරයෝ තුන්දෙනෙක් අපේ ගෑනු ළමයි වගයකට එහෙන් මෙහෙන් සවුත්තු වචන දානවා. පාර හරස් කරනවා. මම ළඟට ගියා. අඩි හයේ හෙනපත යෝධ ඇඟවල් තියෙන මිනිස්සු. කවුරු වුණත් කරන්නේ වැරදි වැඩේ. ඇදලා ගත්තා. දුවනකම්ම තුන්දෙනාටම ගැහැව්වා. හැබැයි දැන් නම් ඒ ජාතියේ වැඩ කරන්නේ නෑ. ඒ කොල්ලා කාලේ. කොල්ල කාලේ අර තරුණ වේගයනේ. ගෝරි හොයන් ගිහින් පැටළෙන්නේ. හැම දෙයක්ම කෙරුවා. සෙල්ලම් වලට තමයි මගේ හිත. පොලිසි එක්කත් ගහ ගත්තා. දැන් ඉතින් හොඳ නරක තේරෙනවා.”

“මම ප්‍රධාන චරිතයක් කෙරුවා ‘කිවුලේ ගෙදර මොහොට්ටාල’ චිත්‍රපටයේ පතිරාජ එල්.එස්. දයානන්ද අධ්‍යක්ෂ. අඩි 80ක් විතර උඩ ඉඳලා පනින්න තිබුණේ. පහළ පිදුරු එහෙම දාලා තිබුණා. මම පැන්නා. නියම විදියට වැටුණේ නෑ. බිමට වැටුණේ. ගලක කොන්ද වැදුණා. මාස ගණනක් කොන්දට වෙදකම් කළා. ගොඩගම ජයසිංහ වෙද මහත්තයා තමයි මාව බේර ගත්තේ.”

“දිනේෂ් පි‍්‍රයසාද්ගේ ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ රූපගත කිරීමකදී මම බේරුණේ පුදුම විදියකට. ඉටු දෙවියෝ බේරා ගත්තා වාගේ. කෝච්චි පෙට්ටිය උඩ හිටගෙන හිටියා. පාර හරහා ටෙලිෆෝන් කම්බි වගයක් උඩින් ඇදලා. කෝචිචිය වේගයෙන් යනවා. මම හිටියේ පහත බලාගෙන. නිකමට මට ඉදිරිය බැලුණා. අඩි දෙකක් දුර නෑ. කමිබ් 40ක් විතර හරහට තව තත්පර කිහිපයක් පරක්කු වුණා නම් මා අර කම්බිවල පැටලිලා කෑලි කැපෙනවා. ඒ ක්ෂණයට මම පහත් වුණා. කවුරුදෝ නොපෙනෙන බලවේගයක් මාව බේරුවා.”

“මාලිනි ෆොන්සේකාගේ ‘සසර වේතනා’ චිත්‍රපටයේ රූපගත කිිරිම් කරනකොට කෝචිච් පෙට්ටි දෙකක් අතර මැද මම හිටියා. කැමරාව පිටුපස කෝච්චි පෙට්ටිය උඩ. ඉදිරිපස ඈතින් තිබුණු පෙට්ටිය පිටුපසට ඇවිත් ඩාං ගාලා වැදුණා. කෝච්චිය කෑලි දෙකට වෙන් කරලයි තිබුණේ. එන්ජිම තිබුණු කොටස තමයි වේගයෙන් ඇවිත් අනෙක් පෙට්ටියේ වැදුණේ. පෙට්ටි දෙක එකට වදින රවුම් කෑලි තියෙන ජොයින්ට් දෙකට හිර වුණා නම් එතැනම තමයි. ඒත් මට එය ක්ෂණිකවම අවබෝධ වුණා. මම දඩස් ගාලා රේල් පාරේ නිදා ගත්තා. කට්ටයම ‘අයියෝ කරු’ කියලා බෙරිහන් දෙනවා මට ඇහුණා. ඔක්කොම හිතලා තියෙන්නේ මාව දෙකටම කැඩුණා තමයි කියලා.”

“දිනුම’ චිත්‍රපටයේ රූපගත කිරිම් කරන කොට අට්ටාලයක් උඩ වසන්ති චතුරාණි දමලා ගිනි තියන දර්ශනයක් තිබුණා. නොහිතපු විදියට ගින්න එක පාරටම වැඩි වුණා. දැන් වසන්ති පිච්චෙන්න කිට්ටුයි. ගිනි රස්නය වැදිලා වසන්ති කෑගහනවා. කිසිකෙනෙකුට කර ගන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි වුණා. කොරන්න දෙයක් නැහැ මම උඩට නැගලා වසන්ති බේරාගෙන ආවා.”

“චිත්‍රපටයට අපි සටන් කරන්න විතරක් යන්නේ නැහැ. නළු නිළියන්වත් ආරක්ෂා කොරනවා. අනික ඕනෑම චිත්‍රපටයකට මට සටන් ජවනිකාවක් තියෙනවා නම් මම ඒක හරිම උනන්දුවෙන්, ඕනෑකමින් කරනවා. එහෙන් මෙහෙන් ගහලා බොරු කරන්න මම කැමැති නැහැ. මට රුපියල් 5000 ක් දුන්නත් ලක්ෂ 5ක් දුන්නත් මගේ සටන එකම තමයි. අඩුවෙන් වැඩියෙන් සටන දීමක් මගේ නෑ. අධ්‍යක්ෂට උපරීම සහයෝගය දක්වනවා.”

“සටන් නළුවෝ හැටියට යම් අධ්‍යක්ෂවරයෙක් මුදලක් ගෙවලා අපිව ගන්නේ අපේ දස්කම් පෙන්වලා ඒවායින් චිත්‍රපටයට ආලෝකයක් ලබාගන්නයි. ඒ නිසා උපරීමයෙන් අපි කැප වෙන්න ඕනෑ.පිමි පනින්න ඕනෑ. හොඳට ගහ ගන්න ඕනෑ. එතකොට සෙනඟ බලන්න එනවා. චිත්‍රපටයට සේවයක් කළා වෙන්නේ එතකොටයි. බොරු කරන්න හොඳ නැහැ. නිෂ්පාදකවරුන් අපිට ගාණක් ගෙවලා අරගෙන අපේ හැකියාවන් පෙන්වලා හම්බ කරනවා. ඒකට අපි උදව් කොරන්න ඕනෑ.”

“සිරිල් වීරසිංහගේ ‘අනුරාධා’ චිත්‍රපටයේ පාලමකින් ගඟට පනින්න තිබුණා මෝටර් සයිකලයෙන් ඇවිත්. ගඟ ගැඹුරුයි. ඒක හින්දා කවුරුත් එක්ක මට පනින්න එපැයි කිව්වා. අධ්‍යක්ෂවරු අපිව ගන්නේ මොකක් හරි වැඩකට. අපි පස්ස ගහන්න හොඳ නැහැ. මම කිව්වා මම පනිනවාමයි කියලා. හැබැයි ඒක මාර පිම්මක්. මාව යට ගියා. යට වැලි කන්දේ හැපුණා. විනාඩි කිහිපයක් යනකන් මට උඩට එන්න බැරි වුණා. කවුරුත් හිතලා තියෙන්නේ පැන්න පැන්නමයි කියලා.”

“මේ ළඟදී පී‍්‍රතිරාජ් වීරත්නගේ ‘පුදුමයි ඒත් ඇත්තයි’ චිත්‍රපටයේ රූපගත කිරිම් තිබුණේ ඉන්දියාවේ. මාව අලියෙන් පාගන දර්ශනයක් තිබුණා. පුරුදු කරපුු සතෙක් වුණත් බල්ලෙක් නෙමෙයිනේ. අලියෙක්නේ. බැරිවේලාවත් පොඩ්ඩක් තදින් පෑගුවොත් ඉවරම තමයි. නමුත් ඉතින් බය වෙලා බෑ. ඉදිරිපත් වෙලා කෙරුවා.”

“සූරයෝ වීරයෝ චණ්ඩියෝ “ චිත්‍රපටයේත් මැඩ්‍රාස් ගුවන් තොටුපළ අසල සටන් ජවනිකාවක ගල් පඩිපෙළක මුදුනේ සිට පඩි 40ක් 50ක් විතර පහළට පෙරළුණා. හරිම ලස්සනට ඒ වැඩේ කෙරුණා. ඉන්දියාවේ සටන් නළුවෝත් බලාගෙන හිටියා. හැමෝම මට ප්‍රශංසා කෙරුවා. මේ වගේ බොහෝම භයානක වැඩ සිද්ධ වෙලා තියෙනවා.”

“මේ පේනවද පාර?”

කරු අයියා කමිසය මෑත් කර පපුවේ දැලි පිහි සලකුණක් පෙන්වයි.

කොහොමද මේක සිද්ධ වුණේ?

“සටන් ජවනිකා කෙරුවට ඔය කාන්තාවන් සිප වැලඳ ගැනීම, බලහත්කාරකම් කරන උස්සන් යන ජවනිකාවලට මම වැඩිය කැමැති නෑ. ඒවා කොරන්න මම කැමැති නෑ. කොහොම හරි කට් එක දානවා”

ලුවී වැන්ඩ්‍රස්ටාටන්ගේ ‘ඇගේ වෛරය’ චිත්‍රපටයේ මේ වගේ ජවනිකාවක් තිබුණා. චන්දි රසිකා සමඟ. නමුත් චිත්‍රපටයේ කතාවට අනුව ඒ වගේ දරුණු විදිහට මේ තරුණිය දූෂණය කරන ජවනිකාවක් අවශ්‍යයි. ඒ දරුණුකම අනුව තමයි ඇය පසුව අපෙන් පළිගන්නේ. මමයි මර්වින් ජයතුංගයි, රන්ජන් ගයිනර් තමයි රඟපෑවේ. මම බොහොම අකමැත්තෙන් එකඟ වුණා. චන්දිට තිබුණා දැලි පිහියෙන් මාව කපන්න. චන්දි අතින් වැඩිපුර පිහිය තදවෙලා වැදුණා. චිරිස් ගාලා ශබ්දයක් ආවා මට තේරුණා වැඩේ වැරදුණා තමයි කියලා.

කරන්න දෙයක් නෑ ලේ ගලද්දීම ජවනිකාව අහවර කළා. මේ පපුවේ තියෙන්නේ ඒ කැළල තමයි.”

“තිලක් ජයවීර නිෂ්පාදනය කරන රංජීත් සිරිවර්ධන අධ්‍යක්ෂණය කරන ‘යුද ගිනි මැද’ චිත්‍රපටයේ තිලක් සමඟ සටන් ජවනිකාවක් තිබුණා. එක තැනක තියෙනවා මාව ළිඳක් ඇතුළට ඔබනවා. තිලක් මාව එබුවා. කොහොම හරි වැඩි කොටසක් ළිඳ ඇතුළට වැටුණු නිසා සමබරතාව නැතුව මාව ළිඳ ඇතුළට වැටෙන්න ගියා. පසෙක සිටිය සැන්ඩෝ හැරිස් ඉදිරියට පැනලා මගේ කකුල් දෙකේ එල්ලුණා. වටේ බලන් හිටපු පිරිස මහ හයියෙන් කෑගැහුවා. කවුරුත් හිතුවේ මම ළිඳ ඇතුළට වැටුණාම තමයි කියලයි. ඔය වගේ භයානක අවස්ථා නම් එමට තියෙනවා.”

“හැබැයි ඉතින් මේ හැම දෙයකින්ම කවුරුදෝ නොපෙනෙන බලවේගයක් මාව බේරලා තියෙනවා. මමත් කිසි කෙනකුට වරදක් කරන්නේ නෑ. මට මුදලක් අතට ලැබුණොත් මෝදර කෝවිලට, කැප්ටන් ගාර්ඩ්න් කෝවිලට මේ තැන්වලට ගිහින් අසරණ මිනිසුන්ට සල්ලි දෙනවා. මගේ මෝටර් සයිකලයේ හඬින් ඒ මිනිස්සු මාව දන්නවා.”

“මගේ අම්මා තාත්තා සිහි කරලා කතරගමට දානයක් අවුරුද්දකට සැරයක් දෙනවා. තාත්තා වෙනුවෙන් හාමුදුරුවන්ටත් අම්මා වෙනුවෙන් දස සිල් මෑණිවරුන්ටත් ඒ දානය පිළිගන්නවා. මගේ සහෝදවරුනුත් ඒ දෙන්නට පින් පිණිස හැමදේම කරනවා.”

“අම්මයි, තාත්තයි අසනීපයෙන් හිටියා. ඒ අයට දුකක් දෙන්නේ නැතිව මම බලා ගත්තා. අවසන් කාලයේ අසනීප තත්ත්වය නිසා ඒ අය කැමැති ආහාර පාන ගන්න ලැබුණේ නැහැ. නමුත් මම ඒ දෙන්නට දුකක් නොදී රැක බලා ගත්තා. දැන් මම ඒ දෙන්නා වෙනුවෙන් නැති බැරි අයට හැකි විදියට මුදල් ලැබුණම උදව් කරනවා.”

“කරු අයියා විවාහ වුණේ නැත්තේ ඇයි?”

ඔහු තරමක නිහැඬියාවකින් සිටියේය. “මගේ අයියා, මල්ලි, නංගී ඔක්කොම විවාහ වෙලා ඉන්නේ. අයියාට දරුවෝ හතර දෙනයි. මල්ලිට පස් දෙනයි. නංගිට හතර දෙනයි. ඒ දරුවන්ගේ හුරතල් බැලුවහම ඇති. පවුලේ ඔක්කෝම කසාද බදින්න ඕනෙත් නැහැනේ.’

‘මම ලෝකේ උතුම්ම රස්සාවක් කරන්නේ. නළුකම, මම ඒක කරගෙන ඉන්නවා. 1972 පමණ තමයි සිනමාවට ආවේ. දුර ගමනක් යන්න හිතාගෙන මම ඒ ගමන තවමත් යනවා. ඉදිරියටත් චිත්‍රපටවල ඉන්නවා. ලොකු ගමනක් ආවා. මගේ ස්ථාරවයක් ඇති කරගත්තා කියලා පෙර පරපුරේ රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ ආදී ජ්‍යෙෂ්ඨයන්ට මම ගරු කරනවා. ඒ අයගේ ආභාසයත් අරගෙන තමයි මම මෙතැනට ඇවිත් ඉන්නේ.”

“දැන් තවත් අලුත් පිරිසක් බිහිවෙලා ඉන්නවා සැන්ඩෝ හැරිස්. සුමිත් මුදන්නායක, ටෙඩී විද්‍යාලංකාර, සරත් සිල්වා මේ නව පරපුරේ හොඳ සටන් අධ්‍යක්ෂවරු, මේ අයට හොඳ හැකියාවක් තියෙනවා.”

“මට සටන් අධ්‍යක්ෂණය කරන්නැයි ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂවරු කියනවා. මම චිත්‍රපට කිහිපයකට සටන් අධ්‍යක්ෂණය කළා. නමුත් මම වැඩිය සටන් අධ්‍යක්ෂණයට කැමැති නැහැ. සටනට කැමැතියි. නව පරපුරක් ඉන්නවා. ඒ අය බොහෝම දක්ෂයි. ඒ අයට ඉදිරියට එන්න දෙන්න ඕනෑ. ඒ අය සටන් අධ්‍යක්ෂණය කොරපුවාවේ. සටනක් මම බැහැ කියන්නේ නැහැ. නමුත් සටන් අධ්‍යක්ෂණය බැහැ කියනවා.”

කරු අයියා සටන් ජවනිකාවලට පෙනී සිටිනවට අම්මා තාත්තා ජීවතුන්ව ඉන්න කාලේ කැමැති වුණාද?

“මුලින්ම මගේ චිත්‍රපටයක් බලන්න අම්මයි, තාත්තායි, සහෝදරයොයි ‘සැෆයර් හෝල් එකට ගියේ. මගේ සටන් ජවනිකාවලට අම්මා බය වුණා.”

“අනේ දරුවෝ චිත්‍රපටයක වුණත් මිනි මරන දර්ශනවලට ඉන්න එපා” යැයි එදා අම්මා කිව්වා. නමුත් ඉතින් හොඳට ඉන්න කට්ටිය කඩාකප්පල් කරන චරිතම තමයි මට ලැබෙන්නේ.”

“මම කැමැති විවිධ චරිත රඟපාන්න. කෙළින්ම සටනට එන චරිත නෙමෙයි. චරිතයත් සමඟින් එවැනි සටනක් තිබුණාට කමක් නැහැ. මේ ළඟදී පරාක්‍රම ජයසිංහගේ ‘එකදා වැහි” චිත්‍රපටයේ මා පි‍්‍රය කරන ආකාරයේ චරිතයක් රඟපෑවා.”

“බන්දු සමරසිංහගේ ‘රෝදය’ චිත්‍රපටයේ පැටී මහත්තයා චරිතයටත් මම කැමැතියි. චිත්‍රපටය කොරන විට මතුපිටින් පෙනෙන බන්දුව මම දුටුවේ නැහැ. ඒ වගේ හැංගුණු හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා අපි ඒ අයට උදව් කරන්න ඕනේ.”

“මාව ඒකාකාරී චරිත රටාවෙන් මුදවා ගත්ත නිළිය මාලිනී ෆොන්සේකායි. මාලිනි ෆොන්සේකාගේ ‘සසර චේතනා’ චිත්‍රපටයේ චරිතයට මම බෙහෙවින් කැමැතියි.”

“ලූෂන් බුලත්සිංහලත් මගේ හැකියාවන් තේරුම් ගත් අධ්‍යෂවරයෙක්. ඔහුගේ ‘තාරා දේවී’ නාට්‍යයේ මට විශිෂ්ට චරිතයක් ලැබුණා. මට ලැබුණු ටෙලි නාට්‍යවල මට රඟපාන්නට හැකි චරිත ලැබුණා. ‘එරංගා’” රන් කහවනු’ සහ ‘තාරා දේවි’ මා රඟපෑ ටෙලි නාට්‍යයි.”

කරු අයියා චිත්‍රපට කීයක විතර රඟපාලා තියෙනවාද?

චිත්‍රපට එකසිය පහක විතර

“චිත්‍රපට නිෂ්පාදනය කරන්න කල්පනාවක් නැද්ද”

“චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා නම් මාව චිත්‍රපට ලෝකය පිළිගන්න ලෙසත්, මගේ නළු නිළියෝ සන්තෝෂ කරන්න හැකි සෑම අංශයකටම මට මුහුණ දෙන්න පුළුවන් වුණාම චිත්‍රපටයක් කරනවා. නළු නිළියන්ට ඉඳුම්, හිටුම්, කෑම් බීම්, සැප පහසුකම්, මුදල් ඕනෑම දෙයක් නිසියාකාරව ලබා දෙන්නත් මට පුළුවන් වුණු දවසක මම චිත්‍රපටයක් කරනවා. ආෆ්ටර් රිලීස් වැඩ නැතුව කරන්න පුළුවන් දවසක කරනවා.”

“එදා මම ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග එක්ක සටන් කළා. අද ගාමිණි ෆොන්සේකාගේ පුතා දමිත්, රන්ජන් රාමනායක මේ ආදී නව පරපුරත් එක්ක සටන් කරනවා. මේ ලෙස යුග දෙක තුනක් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ලැබුණු එක මට සතුටක්. දමිත් දක්ෂයි. ඔහුගේ අනාගතය පැහැදිලියි.”

“රන්ජන් රාමානායක සමඟ චිත්‍රපට 8ක 10ක සටන් කරන්න ලැබුණා. හොඳ අනාගතයක් තියෙන තරුණ නළුවෙක්. සමහර තරුණ නළුවෝ ගුටි කන්න කැමැති නැහැ. නමුත් රන්ජන් ගුටි කන්න කැමැතියි. කැපවීමෙන් යුතුව සටන් ජවනිකාවලට මුහුණ දෙනවා. උනන්දුව තියෙනවා. උනන්දුව තියෙන කොට මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියක් තියෙනවා.”

“මට මතකයි අපි ‘රජ වැඩකාරයෝ’ චිත්‍රපටයේ සටන් ජවනිකාවක් කරන කොට රන්දෝලි ක්‍රීඩා සමාජය අසල රන්ජන් ෂූටිං බලන්න ඇවිත් හිටියා. නමුත් මේ ටික කාලය තුළ රන්ජන් ඉදිරියට ඇවිත්. ඔහුගේ දියුණුව ගැන මම සතුටු වෙනවා. ඒ වගේම නව පරපුරේ ශෂි විජේන්ද්‍ර, ලාල් වීරසිංහ, පි‍්‍රයංකර පෙරේරා දක්ෂකම් තියෙන, කැපවීම ඇති ඉදිරියට එන නළුවෝ.’

“මගේ රසික රසිකාවියන් මට ලිපි මගින් කතා කරනවා. මට ඉතින් ලියුම් ලියන්න වෙලාව අඩුයි. ඒකට මාත් එක්ක තරහ වෙන්න එපා කියලා ඔය ලිපියේ සටහන් කරන්න. මගේ රසිකයන්ට මම හරිම ආදරෙයි. ඒ ගොල්ල එවන ලියුම් මම පරිස්සම් කරලා අරන් තියන් ඉන්නේ. මට ලියුම් ලියන්න තමයි වෙලා නැත්තේ.”

විල්සන් කරු මගෙන් එසේ ඉල්ලීමක් කළේය.

තිරයේ දුෂ්ටයකු අසාධාරණකම් කරන මිනිසකු වුවද කරු අයියා සැබෑ ජිවිතයේ නිහඬ, මිනිසත් බවින් පිරිපුන් සැබෑ මනුෂ්‍යයෙකි. නමුත් කොතැනක හෝ අසාධාරණයක් සිදුවේ නම් ඔහු එය නුරුස්සයි. අසාධාරණය හමුවේ බිහිරකු, ගොළුවෙකු. අන්ධයෙකු සේ නොසිටීම ඔහුගේ ජීවන දහමයි.

කරූ සැබෑ මිනිසකු වන්නේ ඔහුගේ ජිවිතාභ්‍යන්තරයෙහි ඇති මිනිසත්කම නිසාවෙනි. මතුපිට ස්වරූපයෙන් මිනිසකු මිණිය නොහැකිය. විල්සන් කරු නමැති තිරයේ සටන්කාමියා ඊට හොඳම නිදසුන වෙයි. තිරයෙන් ඔබ දකින විල්සන් කරුත් සැබැහින්ම මා දුටු විල්සන් කරූත් අහසට පොළව මෙනි.

සරසවිය 1992.11.05

 

අනුර බණ්ඩාර රාජගුරු

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න