වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
ශික්ෂානන්දෙයන් ‘චාපා’ට එක්වෙමු

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 'වාපා' නමින් රූපවාහිනී නාලිකාවක් පසුගිය 2 වැනිදා ආරම්භ කළේය. විශ්වවිද්‍යාලයකින් රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීම සිදුවන්නේ ලංකාවේ ප්‍රථම වරටයි. මේ පිළිබඳ කතා කරන්නට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි සමඟ සම්මුඛ සාකච්ාඡාවක යෙදෙන්නට සරසවිය අපි සරසවියට ගියෙමු.
කොහොමද වාපා ටෙලිවිෂන් ඇරැඹෙන්නේ?
මම මේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස එනවිට දුන්නා මගේ විෂන් ස්ටේට්මන්ට් එක. මා ලෝකයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලවල තොරතුරු සොයා බැලුවා. දියුණු රටවල මෙවැනි විශ්වවිද්‍යාලවල ළමයින්ට ප්‍රැක්ටිකල් කරන්න ගුවන්විදුලි නාලිකා හෝ රූපවාහිනී නාලිකා තිබෙනවා. අපේ රටේ උසස් අධ්‍යාපනය යම් පසුගාමී තත්ත්වයක තිබෙන නිසා එවැනි පහසුකම් හෝ එවැනි දේට අප මෙතෙක් යොමුව තිබුණේ නෑ. කෘෂි විද්‍යා පීඨයකට අවශ්‍යයි කෘෂි ගොවිපළක්. වෛද්‍ය පීඨයට අවශ්‍යයි ප්‍රොෆෙසෝරියල් වෝඩ් එකක්. ඒ වගේම ප්‍රාසංගික හා දෘශ්‍ය කලා විශ්වවිද්‍යාලයකට ප්‍රධාන වශයෙන්ම ගුවන් මෙවැනි දෙයක් අවශ්‍යයි ප්‍රායෝගික කටයුතු සඳහා. ඒ කාරණය හඳුනා ගැනීමෙන් අනතුරුව මෙම අදහස ක්‍රියාවට නැංවූවා. මෙය අප අවුරුද්දක කාලයක් සැලසුම් කළා.
'වාපා' ටෙලිවිෂන් නම සැදෙන්නේ?
මෙය අප හඳුන්වන්නේ ශික්ෂානන්දයේ නාලිකාව කියලා. එය අලුතින් සිංහල ශබ්ද කෝෂයට එක්වූ නමක්. ශික්ෂානන්දය වචනය නිර්මාණය කළේ මහාචාර්ය කුසුමා කරුණාරත්න. ඉංග්‍රීසියෙන් මෙය Channel Of Edutainment ලෙසයි හඳුන්වන්නේ. ඉංග්‍රිසි භාෂාවේ Education ~ƒ Entertainment යන වචනදෙකේ එකතුවෙන් Edutainment යන වචනය නිර්මාණය කළා. එහි සිංහල තේරුම මුණිදාස කුමාරතුංගයන්ගේ වියරණයට අනූව Education ශික්ෂාව ලෙසත් Entertainment - ආනන්දය ලෙසත් ගෙන ශික්ෂාව + ආනන්දය ශික්ෂානන්දය ලෙස නිර්මාණය වුණා. එමෙන්ම වාපා යන නාමය Visual And Performing Arts කියන ඉංග්‍රීසි නාමයේ මුලකුරු එකතුවෙන් සැදුම් ලද්දක්.
ආචාර්යවරු සහ විද්‍යාර්ථීන්ගෙන් සැදුම් ලද්දක්?
අපේ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගත් බොහෝ පිරිසක් ලංකාවේ විවිධ ක්ෂේත්‍ර තුළ ප්‍රවීණයන් වී සිටිනවා. මෙය විශාල එකමුතුවක්. ඒ වගේම මහ විශාල සම්පතක්. දෘශ්‍ය කලා පීඨයේ ලංකාවේ ඉන්න හොඳම ආර්ටිස්ට්ලා ඉන්නවා. හොඳම මූර්ති ශිල්පියෝ, විෂුවල් කොමියුනිකේෂන් ආර්ටිස්ට්ලා, මල්ටිමීඩියා ආර්ටිස්ට්ලා ඉන්නේ මෙහෙ. සංගීතය, නර්තනය, රංගකලාව, චිත්‍ර මූර්ති ශිල්පය ආදී මේ සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු. සමන් පනාපිටිය, මහානාම වික්‍රමසිංහ, කෝලිත භානු දිසානායක, සමන් කුමාරතුංග, ඉන්දිකා උපමාලී, ප්‍රසන්නජිත් අබේසූරීය, සෞම්‍ය ලියනගේ, පේෂල මනෝජ්, වගේ ඒ ඒ විෂය පථයන් තුළ විශිෂ්ටයෝ එකතු කරගෙනයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. මේ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ඇති පිරිස ආචාර්ය මණ්ඩලයට බඳවා ගත්තා. විද්‍යාර්ථීන් 300කට අධික පිරිසක් මෙහි Internship අයදුම් කර තිබෙනවා. 40 ක පමණ පිරිසක් නිවේදන කටයුතු සඳහා පුහුණු කරනවා.
තාක්ෂණික කටයුතු කෙරෙන්නේ?
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ විශ්වවිද්‍යාලය තුළ ඉගැන්වීම් කටයුතු කෙරෙන්නේ සංගීතය නර්තනය චිත්‍ර වගේ සෞන්දර්ය විෂයන් පමණක් කියලා. නමුත් අප විශ්වවිද්‍යාලය තුළ තාක්ෂණික විෂයධාරාවන් ඔස්සේ ඉගැන්වීම් කටයුතු කෙරෙනෙවා. ෆැෂන් ඩිසයින්ග්, විෂුවල් කොමියුනිකේෂන්, මල්ටිමීඩියා ආට්ස්, වීඩියෝ එඩිටින් ආදී දෙපාර්තුමේන්තු ගණනාවකින් සැදුම්ලත් පුළුල් පරාසයක විහිදුණු විශ්වවිද්‍යාලයක් මෙය. මෙහි සම්පත් බොහොමයි.
නාළිකාවේ ව්‍යුහය?
නාළිකා ප්‍රධානි ලෙස මා කටයුතු කරනවා. එමෙන්ම මට පසුව මෙහි අධිකාරිය දරන්නේ මහානාම වික්‍රමසිංහ මහතා. පියෝටීවී නාලිකා අංක 123 ඔස්සේ නැඹිය හැකියි. ඉදිරියේදී ඩයලොග් ටීවී ඔස්සේත් විකාශන කටයුතු ආරම්භයට බලාපොරොත්තු වනවා. Production, Engineering, Post Production, Marketing, Promotion, ආදී ඒකක වගේම Administration ƒ£ Finance කටයුතු කෙරෙන්නේ විශ්වවිද්‍යාලයෙන්මයි. මේ වෙනුවෙන් අමතර ගෙවීම් සිදු කෙරෙන්නේ නෑ. මාසික වේතනය පමණයි. සියලු කටයුතු සිදු කෙරෙන්නේ විශ්වවිද්‍යාලය භූමිය තුළමයි.
මොකද්ද අරමුණ?
පළමුවෙන්ම අපගේ අරමුණ වුණේ විශ්වවිද්‍යාලය තුළන් දරුවන්ට න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමත් ලබා දීම. මේ කලාව සහ කලාකරුවන් ලෝකයට ගෙනයෑම වගේම හරසුන් රසවින්දනය වෙනුවට ගුණාත්මක, පොහොසත් රසවින්දනයක් ප්‍රේක්ෂකයාට තිළිණ කිරීමත් විශේෂයෙන්ම පාසල් දරුවන් රසවින්දනය තුළින් අධ්‍යාපනයට නතු කිරීමත් අපගේ අරමුණක්.
ඒ වෙනුවෙන් මොනවද කරන්නේ?
පාසල් සිසුන් අරභයා විශේෂයෙන්ම සාමාන්‍යපෙළ සහ උසස්පෙළ සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ විෂයය නිර්දේශයේ ඇති නැටුම්, සංගීතය, රංගකලාව, චිත්‍ර ආදී විෂයන් ට අදාළ පාඩම් අපගේ ප්‍රවීණ ආචාර්යවරුන්ගේ මෙහෙයවීමෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නිරන්තරයෙන් අපට ඇහෙන චෝදනාවක් රටේ මිනිසුන්ගේ සංස්කෘතිය සභ්‍යත්වය රසවින්දනය පිරිහිලා කියන චෝදනාව. රසවින්දනය ඉහළ නැංවීම සඳහා අප විශේෂිත වූ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවනවා. අපේ විශ්වවිද්‍යාලයයේ තේමාපාඨයත් රසඥතාවයෙන් පිරි මිනිසෙකු බිහි කිරීම.
දැන්වීම්වලට ඉඩක් තිබෙනවද?
ඔව්. අපගේ වැඩසටහන් සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන ආයතන නිෂ්පාදන වෙනුවෙන් අප දැන්වීම් සිදු කළ යුතුයි. එය සිදු කරන්නේ යම් සැලසුමකට අනූවයි. වැඩසටහන් මැදදී අප කිසිවිටෙකත් දැන්වීම් පළකිරීමට සූදානම් නෑ වැඩ සටහන ආරම්භයේදී හෝ අවසානයේදී හෝ වැඩසටහන් දෙකක් අතරමැද පමණයි අප දැන්වීම් විකාශය කරන්නේ.
අධ්‍යාපනය ස්මාට් කරන්න නම්?
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළත් ස්මාට් යුනිවර්සිටි කියන සංකල්පය ක්‍රියාත්මක කිරීම යන්න සඳහන් වනවා. මෙය ස්මාර්ට් යුනිවර්සිටි එකක් ලෙස අද වන විට නම් කළ හැකියි. දේශනවලින්ම පමණක් විද්‍යාර්ථීයෙක් බිහිවෙන්නේ නෑ. මේ දරුවන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව දැනුම ඔවුන් සතුවනවා. විශේෂම කාරණය නම් ලෝකයේ අනෙක් රටවල ක්‍රියාත්මක මෙගා ඩිප්ලෝමා කියන සංකල්පය අපේ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. මේ හරහා ඕනෑම අයෙකුට නොමිලේ අධ්‍යාපනය ලබා ගත හැකියි. නමුත් ඔවුනට සහතික පතක් අවශ්‍යනම් විශ්වවිද්‍යාලයට මුදල් ගෙවා ලියාපදිංචි වී විභාගවලට මුහුණ දී ලබාගත හැකියි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න