පේ‍්‍රමයේ කඳුළ තවමත් මගේ නෙතු අග ඉතිරි වෙලා

ස්වර්ණා කහවිට
නොවැම්බර් 11, 2021

- මම නිළියක් වුණේ සරසවිය පත්තරේ නිසා
- ඇය සමඟ වැඩි වාර ගණනක් ප්‍රධාන චරිත රඟ පෑ නළුවා වුයේ විජය කුමාරතුංගයන්ය
- මගේ වයසට ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් මම රඟපාන්න කැමැතියි
- අම්මලා විවාහ වන්නට කියා මට බල කළත් මම කිව්වා ‘මම කැමැති පුද්ගලයා නොලැබුණ නිසා විවාහ නොවන බව

මල් මල් මල් මල්
බැඳ පිපි බිනර මලී 
පුරහදවන් සොමිගුණ 
පිරි නයන හිරි

මුදලිනායක සෝමරත්නයන්ගේ බිනරමලී චිත්‍රපටයේ ‘බිනරී’ ප්‍රධාන භූමිකාවට නිළියක් අවශ්‍ය බව සඳහන් කරමින් සරසවිය පුවත්පතේ දැන්වීමක් පළ වුණි. ඒ දැන්වීම දුටු සිනමාවට පෙම් බැඳී කොටහේන මධ්‍ය මහා විදුහලේ සාමාන්‍ය පෙළ හදාරමින් සිටි පාසල් සිසුවියක් එය තම සොහොයුරියට පෙන්වමින් පැවසුවේ ‘අක්කේ මම ආසයි රඟපාන්න. සරසවිය පුවත්පතේ දැන්වීමට රඟපාන්න කැමතී කියලා ලිපියක් දාමුද? කලාවට පෙම් බැඳි අක්කා ද නංගීගේ ආශාව ඉටු කළාය. සරසවියේ දැන්වීමට පිළිතුරු ලැබුණි. ඒ සම්මුඛ පරීක්ෂණයට රත්මලානේ මුදලිනායක සෝමරත්නයන් ගේ නිවෙසට පැමිණෙන ලෙස දැන්වීය. අම්මාට සහ තාත්තාට හොර රහසේ තම සොහොයුරිය චන්ද්‍රා අක්කා සහ ඇගේ සැමියා සැමී සමඟ ඇය සම්මුඛ පරීක්ෂණයට ගියාය. මුදලිනායක සෝමරත්න සහ ඩී.බී.නිහාල්සිංහ යන ප්‍රවීණයෝ දෙපළ ඇයට සුළු රංගනයක යෙදෙන ලෙසට පැවසුහ. 

‘හරි අපි දන්වන්නම්’

අක්කා නගෝ කොටහේනේ වාසල පාරේ ඔවුන්ගේ නිවෙසට ගොස් වැඩි වේලාවක් ගත වුයේ නැත. ඩී.බී. නිහාල්සිංහ සහ මුදලිනායක සෝමරත්න ඇය සොයා පැමිණියහ.

‘අපි ඔයාව තෝරා ගත්තා බිනරමලී ප්‍රධාන චරිතයට ඇය පුදුමයට පත්විය.

නිවෙස පිටුපස කාමරයේ ජරමරයකි. අම්මා බැණුම් කෝච්චියක් පමණක් නොව ගුටි බැට හරඹ සමඟ දියණියට සංග්‍රහ කරමින් ඇඟට කඩා පැන්නාය.

‘හිතුවක්කාර වෙන්න එපා උඹට රඟපාන්න මම දෙන්නේ නැහැ.’ අම්මාගේ ගෝරනාඩුව අක්කා ඉදිරිපත් වී සමතයකට පත් කළාය. අවසානයේ දී බිනරමලී රඟපෑමට අම්මාගෙන් අවසරය ලැබුණි.

ඇය ස්වර්ණා කහවිටය. හා පුරා කියා 1969 තිරගත වූ බිනරමලී චිත්‍රපටයේ ‘බිනරමලී’ චරිතයට පණ පෙවූ ඇය 1970 වසරේ සරසවිය සම්මාන උලෙළේ සිය රංගන භූමිකාව වෙනුවෙන් වසරේ හොඳම නිළියට හිමි සරසවිය සම්මානය දිනාගත්තාය.

‘බිනරමලී රූගත කිරිම් තිබුණේ කණ්ඩලමේ අපි මාසයක් නැවතිලා හිටියා. චිත්‍රපටයේ මම හැර අනිත් සියල්ලන්ම ප්‍රවීණයෝ මම තමයි එකම ආධුනිකයා පළමු දර්ශනය සුදු බණ්ඩාට තේ කෝප්පය ගෙනැවිත් දීම. තේ කොප්පය දෙද්දී මගේ දෑත වේවලන්නට පටන් ගත්තා. අන්තිමේදී කෝප්පේ වැටිලා බිදුණා. ඩී.බී. නිහාල් සිංහ මගේ බිය නැති කරලා මාව දිරිමත් කළා. ඇත්තටම නිහාල්සිංහ මුදලිනායක සෝමරත්න ඇතුළු රංගන ශිල්පීන් සියලු දෙනාම මට දුන් සහයෝගය අප්‍රමාණයි.

බිනරීගේ භූමිකාව තුළ රූගත කිරීමේ දී ඈ මුහුණ දුන් ඇතැම් සිද්ධීන් ඈ පැවසුවේ සිනහමුසු මුහුණින්.

‘මම වැරහැලි ඇඳගෙන දරුවාත් එක්ක යනකොට කටු පඳුරක මගේ ඇඳි වත පැටළුණා. තව පොඩ්ඩෙන් මම දරුවත් එක්ක හෙලට වැටෙනවා. එහෙම වුණා නම් ස්වර්ණා කහවිට කියන නිළිය අද නැහැ.

මම නිළියක් වුණේ සරසවිය පත්තරේ නිසා. මගේ ප්‍රථම රංගනයට ලැබුණු සම්මානයත් සරසවිය සම්මානය. සරසවිය පත්තරේ නොතිබෙන්නට ස්වර්ණා නිළියක් නොවන්නටත් ඉඩ තිබුණා.

ඔබේ වැඩිමහල් සොහොයුරා ආරියරත්න කහවිට සිනමාවට පිවිසීමට ඔබට උදවු කළේ නැද්ද?

නැහැ අයියා අකැමැති වුණ මම රඟපානවාට. ඇත්ත කියනවා නම් රඟපාන්නට මට ඇල්මක් ඇති වුණේ අයියා නිසා. අයියා ඒ දවස්වල කලා සඟරාවේ කර්තෘ. අයියාව මුණ ගැසෙන්නට නළු නිළියෝ එනවා. කලාකරුවන් දුටුවම තමයි මට රඟපාන්න සිනමාවට පිවිසෙන්නට ඇල්මක් ඇති වුණේ. සුරංගනා ලෝකයක් ලෙසයි මම ඔවුන්ව දුටුවේ.

‘අයියා රඟපාන්නට තහංචි දැමිමත්, ඔබගේ හැකියාවන් දුටුවේ නිහාල්සිංහයන් සහ මුදලිනායක සෝමරත්නයන් නේද?

ඔව් නිහාල්සිංහයන්ට සම්මුඛ පරීක්ෂණයේදී මගේ රංගන හැකියාව වැටහෙන්නට ඇති. ඔහු ඇත්තටම මට ගුරුවරයෙක් වගේ ඔවදන් දෙමින් මගේ රංගනය උපරිමයෙන් උකහා ගත්තා. එහි ප්‍රතිඵලය තමයි ‘බිනරමලී’ වෙනුවෙන් මා ලද සම්මානය. මා හඬන එක්තරා දර්ශනයක් තිබුණා. මගේ හැඬුම කොතරම් තාත්වික වුණා ද කියතොත් රූගත වීම නවතා බොහෝ වේලාවකට පස්සෙයි මගේ හැඬුම නැවතුණේ. මුදලිනායක සෝමරත්න තුළ විශ්වාසයක් තිබුණා බිනරිට සම්මානයක් ලැබේවි කියා. ඒ බව ඔහු මට පැවසුවා.

ස්වර්ණා කහවිට සරසවිය හොඳම නිළිය ලෙස සම්මාන ලැබීමත් සමඟම ඇය චිත්‍රපට වල ප්‍රධාන චරිත සඳහා තෝරා ගැනිණි. ලස්සන දවසක්, රන් ඔන්චිල්ලා, පූජිතයෝ, හරියනකොට ඔහොම තමයි, අබිරහස, සිරිල් මල්ලී, සසර, ඔන්න බබෝ බිල්ලෝ එනවා, නිවෙන ගින්න, සුරයා සුරයාමයි, හරිම බඩු තුනක් ආදී චිත්‍රපට 35කට ආසන්න සංඛ්‍යාවක ඇයට රඟපාන්නට වරම් ලැබිණි. ඇය සමඟ වැඩි වාර ගණනක් ප්‍රධාන චරිත රඟ පෑ නළුවා වුයේ විජය කුමාරතුංගයන්ය. ඇය අවසන් වරට රඟපෑවේ කඳපොල කුමාරතුංගගේ දයාබර නිලු චිත්‍රපටයේය. හිඟන කොල්ලා චිත්‍රපටයේ රඟපෑමට ඇරැයුම් ලැබුණ ද ඇය රඟපෑමට වැඩි කැමැත්තක් දැක් වූ ‘ළමා හාමි’ චරිතය ඇයට අහිමිවීම හේතුවෙන් ඇය හිඟන කොල්ලා රඟපැමෙන් ඉවත් විය.

එදා ඔබ මුණ ගැසෙන්න පැමිණියේ කොටහේනට. අද ඔබ ඉන්නේ මාලිගාවත්තේ ඇයි පදිංචියේ වෙනසක්?

අපේ අම්මා තාත්තා නැති වුණාට පස්සේ කොටහේනේ ගේ විකුණලා මාලිගාවත්තේ සුපර් ලක්ෂරී තට්ටු නිවාස සංකීර්ණයට පදිංචියට ආවා. අම්මා තාත්තා නැති වුණාට පස්සේ මට මහා පාළුවක් තනිකමක් දැනුණා. ඒ නිසායි පදිංචිය වෙනස් කළේ.

කෙලෙසද ඔබේ පාසල් සමය?

මට කුඩා කල සිටම ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. පාසලේ සාහිත්‍ය සංගමේ කවි, විවිධ ප්‍රසංගවල ගීත ගායනා කළා. ඒ සහජ හැකියාව නිසා අපේ මාමා කෙනෙක් මාව ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා පිටියට ගෙන ගියා. කටහඬ පරීක්ෂයෙන් සමත් වෙලා ළමා පිටියට එක්වුණා. වැඩි කලක් ගීත ගයන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඉගෙනීම කඩා කප්පල් කරගනීවි යන බියෙන් අම්මලා විරෝධය පෑවා. පාසල් වේදිකාවේ මම දික්තලාට රඟපෑවා පමණක් නොවෙයි. පාසල් නාට්‍ය ලුම්බිණියෙන් වේදිකාගත වුණා. නමුත් ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවල මම රඟපාලා නැහැ.

බිනරමලී රඟපාලා පාසල් යන්නට බය නිසා සා.පෙළ ලියුවට පසු පාසල් සමය අතරමඟ ඇණ හිටියා.

ඔබේ මව - පියා?

මගේ පියා ඇල්ෆ්‍රඩ් පෙරේරා ලේක්හවුස් ආයතනයේ මුද්‍රණ අංශයේ සේවය කර තිබෙනවා. පසුව පාදුක්කේ අපට අයත් ඉඩම්වල ඔහු ව්‍යාපාර කරගෙන ගියා. මව ඇඩ්ලින් විජේසේකර ගෘහණියක්. අයියලා දෙදෙනයි. අක්කලා දෙදෙනයි. මම බඩපිස්සී.

ඔබ කාලයක් ජපානයේ පදිංචියට ගියා නේද?

ඔව්. කුඩා කල සිටම මට ජපානයට යාමට තිබුණේ පුදුම ආසාවක්. ලස්සන රට, එහි වෙසෙන ජනතාවත් කරුණවන්තයි. මට ජපානයේ පෑනේ මිතුරන් කිහිප දෙනෙක් හිටියා. ඔවුන් ජපානයට එන්න මට ඇරැයුම් කළා. මම ජපානයට ගිහින් මාස හයක්ම ජපන් භාෂාව මට තේරුණේ නැහැ. ඒ නිසා මාස 3කට පසු මම ලංකාවට ඇවිත් ජපන් එම්බසියෙන් ජපන් භාෂාව හදාරන්නට පටන් ගත්තා. ජපානයට තිබෙන ආසාව නිසාම මම නැවත වරක් ජපානයට ගොස් ටෝකියෝ හී තිබූ පාසලකින් ජපන් භාෂාව හැදැරුවා එහිදී මට බලාපොරොත්තු නොවු වාසනාවක් උදා වුණා.

කුමක්ද ඒ වාසනාව?

අවන්හලකදී එක්තරා ජපන් කාන්තාවක් මාව දැකලා මගේ ළඟට පැමිණ මගේ තොරතුරු විමසුවා. මම ලංකාවේ කිව්වම එයා හරියට පැහැදුණා. ලංකාවේ දුෂ්කර පලාත්වල දරුවන්ට ඉගෙනීමට උදව් කරන කාන්තාවක් ඒ කාන්තාව මට ආරාධනා කළා. එයාගේ මහත්තයාගේ ආයතනයේ රැකියාවක නිරත වන්නට එය සඟරා නිකුත් කරන ආයතනයක් මම එහි රැකියාවට ගියා. ඒ කාන්තාව මට හරියට හිතවත්. මට දිගටම ජපානයේ රැකියාව කිරීම සඳහා වීසා අරන් දුන්නා. ඒ සියලු කටයුතු ලක ලැහැස්ති කරද්දී අපේ අම්මාට අංශභාගය හැදිලා ගෙදරින් මට පණිවිඩ දුන්නා නැවත ලංකාවට එන්නට කියලා.

අම්මාව බලා ගන්න කවුරුත් නැහැ. අනිත් අය විවාහකයි. මම තනිකඩ. පිටරටක අපි කෙතරම් සුර සැප වින්දත් මාව හදපු වඩපු අම්මා තාත්තා මට අමතක කරන්නට බැහැ. මගේ යුතුකම ඉටු කරන්න ඕනෑ. ඒ නිසා ජපානයට ආයුබෝවන් කියා ලංකාවට එන්නට තීරණය කළා. මට රැකියාව දුන්නා ස්ථිර පදිංචියට වීසා හදලා දුන්න කාන්තාව මට පහදලා දුන්නා ඒ අවස්ථාව නැති කර ගැනීම අනුවණ කමක් කියා. ඒත් මට සියලු දේට වඩා අම්මා වටිනවා. මම නැවත ලංකාවට ඇවිත් අම්මාව බලාගත්තා. ඇයගේ සියලු කටයුතු මම සතුටින් ඉටු කළා. අම්මා නැතිවුණාම මට නැවත ජපානයට යන්න තීරණය කළත් තාත්තාව තනි කරන්න එපා කියා තාත්තා මගෙන් ඉල්ලීමක් කළා. අවසානයේ ජපානයේ ජීවත් වීමේ සිහිනය බොඳ වී ගියා.

මව්පියන්ට සැලකීම පුණ්‍ය කර්මයක් කියා ඔබ සිතන්නේ නැද්ද?

ඔව්. බුදු දහම අනුව එය මහත් ආනිසංශ ලැබෙන පුණ්‍ය කර්මයක් ඒ ආශීර්වාදය නිසා අද මම කරදර, ප්‍රශ්න, ආර්ථික දුෂ්කරතා සෝ බිය මේ සියල්ලෙන් තොරව සතුටින් ජීවත් වෙනවා. මම ශක්තිමත් ගැහැනියක්. නිදහස් ජිවිතය මම අගය කරනවා. කාටත් අත දෙනවා සතුටින් ජීවත් වෙනවා. හැකි පමණින් අන් අයට උදවු වෙනවා. ඉවුම් පිහුම් - නිවෙසේ සියලු වැඩ කටයුතු කරන්නේ මා අතින්. මගේ අක්කලාගේ දරුවෝ මට හරිම ආදරෙයි. මමත් ඒ අයට ආදරෙයි. ඒ ගොල්ලෝ හරියට මගේ දරුවෝ වගේ මාව නිතරම බලනවා. මගේ වුවමනා එපා කම් ඉටුකර දෙනවා.

ඔබගේ දිවි ගමනේ අත්වැල වන්නට කිසිවකු තෝරා නොගන්නේ ඇයි?

තෝරා ගත්තා. ඒත් ඒ අත්වැල ගිලිහි ගියා. මම ආදරවන්තියක්. පණ වගේ ආදරය කළ කෙනෙක් හිටියා. එයා ජීවත් වුණේ අපේ නිවෙස ළඟ. හැඩකාර කඩවසම් තරුණයෙක්. ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක්. මගේ යාළුවන් අතේ ලිපි ගනුදෙනු සිදුවුණා. ඔහුත් මට පණ වගේ ආදරය කළා. සරසවිය පත්තර ඉල්ලගෙන අපේ ගෙදර ඇවිත් චිත්‍රපට ගැන කතා කරනවා. අම්මාට ඇහේවී කියලා. අම්මාට අපේ හොරේ අහුවුණා. අම්මා අපේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වුණා.

ඕනෑම අම්මා කෙනෙක්, තමාගේ දරුවා උගතෙකුට විශේෂයෙන්ම දොස්තර කෙනෙකුට විවාහ කර දීමට අකැමැති වෙන්නේ නැහැ නේද?

අම්මා උගත්කමට වඩා මුල් තැන දුන්නේ කුලයට. අම්මා නුවර. කුලමල භේදය හිස් මුදුනේ තබාගෙන හිටියේ. මගේ පෙම්වතාගේ සහෝදර සහෝදරියන් පවා උගත් - වැදගත් උදවිය. එහෙත් ඔහු පහත් කුලයේ කියා මගේ ආදරය සුනු විසුණු කර දැම්මා. අම්මාට හෘදයාබාධයක් හැදුණා. ගෙදර හැමෝම මට දොස් කිව්වා අම්මා මැරුණොත් ඒකට වගකියන්න ඕනේ මම කියලා. අන්තිමට මම තීරණය කළා. ඔහුගෙන් වෙන් වෙන්නට. ඔහු දොස්තර විභාගේ පාස් කළා. වෛද්‍යවරයෙක් ලෙස රෝහලක පත්වීම ලැබුණා. ඒත් අම්මාගේ තීරණය වෙනස් කළේ නැහැ. සම්බන්ධය නවත්වන්න එපා කියා ඔහු මට පිංසෙන්ඩු වුණා. එයා මට කොපමණ ආදරේ ද කියලා දැණුනේ මගෙන් වෙන්වුණ මොහොතේ. සම්බන්ධෙ නවත්වමු කිව්ව මොහොතේ එයා හැඬුව හැටි මට තාම මතක් වෙනවා. අඩුම තරමේ මාව බලන්නවත් ඉඩ දෙන්න කියා කරපු ඉල්ලීමත් මට ප්‍රතික්ෂේප කරන්නට සිද්ධ වුණා. ඇත්තෙන්ම මම අද ඒ ගැන හරියට පසුතැවෙනවා. අවුරුදු 5ක් එයා ළඟට මම ඒවි කියා බලන් ඉඳලා අන්තිමට එයා ඇමරිකාවට ගියා.

ඔබ ඒ විරහ වේදනාව දරාගත්තේ කොහොමද?

මුළු ලෝකෙම මගේ ඉදිරියේ කඩා වැටුණා වගේ මට දැනුණේ. සියල්ල එපා වුණා. අදටත් ඒ වේදනාව මට දැනෙනවා. ලස්සන පවුල් ජීවිතයක් අපිට ගත කරන්න තිබුණා. දරුමුනුපුරෝ ලබලා සතුටින් ජීවත් වෙන්න තිබුණා. ඒ සියල්ල බොඳ වී ගියා. මේ මගේ දෛවය වෙන්න ඇති. අම්මලා පසුව මට විවාහ යෝජනා ගෙනවා. ඒත් මම තීරණයක් ගත්තා වෙන කිසිම කෙනෙකු සමඟ විවාහ නොවන බවට. අම්මලා විවාහ වන්නට කියා මට බල කළත් මම කිව්වා ‘මම කැමති පුද්ගලයා නොලැබුණ නිසා විවාහ නොවන බව. මම ජපානයට යන්නට තීරණය කළේත් ඒ හේතුව නිසායි. වෙන කෙනෙකුට මගේ හදවතේ ඉඩක් නැහැ. ආදර සම්බන්ධය බිඳ වැටුණු නිසා රඟපෑමට තිබු ආශාව නැති වී ගියා. සමහර වෙලාවට තනිකමින් පාළුවෙන් ඉන්නකොට මට එයාව මතක් වෙනවා.

සිනමාවේ නියැළෙන්නන්ගෙන් ඔබට විවාහ යෝජනා ආවේ නැද්ද? 

එක්තරා සිනමා අධ්‍යක්ෂවරයෙක් මට විවාහ යෝජනාවක් ගෙනාවා. ඒ මම කැමැති වුණේ නැහැ. ඔහුට ඒක දරාගන්න බැරුව කන්දෙන් පහළට පැන්නා. බොහෝ අමාරුවෙන් ඔහුව බේරගත්තේ ඒ පුද්ගලයා වරක් රූගත කිරීම් කරන අතර වාරේ දී මුහුදේ පනින්න ගියා. රූගත කිරිම් කරන ස්ථානයේ සිටි අනිකුත් පිරිස් දුවලා ගිහිල්ලා ඔහුව බේරා ගත්තා. මම හොඳටම බය වුණා. ඔහුගේ ජීවිතයට අනතුරක් සිදු වුණොත් ඒකට වග කියන්න මට සිදුවන නිසා.

ජීවිතයේ ගැටලු ප්‍රශ්න සියල්ල දැන් නිරාකරණය වී අවසන්. අම්මා තාත්තා මෙලොව අතහැර ගොසින් දැන් ඔබ ගත කරන්නේ නිදහස් ජීවිතයක්. කැමැති නැද්ද නැවත රඟපෑමට යොමු වන්නට?

කැමැතියි. මගේ වයසට ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් මම රඟපාන්න කැමැතියි.

ඔබ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණේ නැහැ. නේද?

මට අවස්ථා කිහිපයක් ලැබුණත් ඒ සියල්ල ගිලිහී ගියා. ජපානයේ සිට මම ලංකාවට පැමිණි කාලයේ බර්ට්‍රම් නිහාල් ගේ ටෙලි නාට්‍යයක රඟපාන්නට මට ආරාධනා කළා. ඔහු පුන පුනා මට ආරාධනා කළත් තාත්තාව බලාගන්න කෙනෙක් නොමැති නිසා මම රඟපාන්නට යන්නට ලැබුණේ නැහැ. ඒ සමඟම චිත්‍රපට ටෙලි නාට්‍ය කිහිපයකට රඟපෑමට ආරාධනා ලැබුණත් මට නොහැකි වුණේ තාත්තාව බලාගන්නට කෙනෙක් නොමැති නිසා. මගේ ජීවිතයේ පෞද්ගලිකව මුහුණ දීමට සිදුවුණු ගැටලු ප්‍රශ්න හමුවේ මට බොහෝ කැප කිරීම් කිරීමට සිදුවුණා. ඒ නිසා වෘත්තීමය වශයෙන් සහ ගැහැනියක ලෙස පෞද්ගලික ජීවිතයේ ලබන සතුට වාසනාව මගෙන් ගිලිහී ගියා. ඒ මා පතාගෙන ආ හැටියි.

ආපසු හැරී බලද්දී ජිවිත ගැන මොනවද හිතෙන්නේ?

මෙතෙක් ගලා ආ ජීවිතය තුළ ගැටලු ප්‍රශ්න රාශියකට මම බෙහෙවින් මුහුණ දුන් කෙනෙක්. මම ආත්මාර්ථකාමී වුණේ නැහැ. කඳුළු සැලුවේ නැහැ. ජීවිතය ජයගත්තා අද මම මගේ දෙපයින් සිට ගෙන සිටින කාන්තාවක් -පිනක් දහමක් කරගෙන ආගම ධර්මය අදහාගෙන සතුටින් ජීවත් වෙනවා. මට බුදුන්ගේ - දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා. එහෙත් ගිලිහුණ පේ‍්‍රමයේ කඳුළ තවමත් මගේ නෙතු අග ඉතිරි වෙලා තිබෙනවා.

සේයාරූ - නිශ්ශංක විජේරත්න