‘සිහින රඟහල’ මගේ කෙටි නාට්‍ය පහක එකතුවක්

ප්‍රවීණ නාට්‍යවේදී ධනංජය කරුණාරත්න
ඔක්තෝබර් 5, 2023

ධනංජය කරුණාරත්න ලංකාවට ඇවිත්. ඒ බව දැන ගත්තේ ඔහුගේ ‘සිහින රඟහල’ කෙටි නාට්‍ය එකතුව පසුගිය දිනවල වේදිකා ගත වුණු නිසා. පර්යේෂණාත්මක ආකාරයෙන් විවිධ තේමා, ආකෘති රැගත් කෙටි නාට්‍ය වේදිකාවට අරගෙන ආව ධනංජයගේ නිර්මාණ මෑත කාලයේ අලුත් පරපුරට දකින්න ලැබුණේ නැහැ.

‘සිහින රඟහල’

ආයෙත් කාලයකට පස්සේ ඇවිත්.

“නව නිෂ්පාදනයක් ලෙසිනුයි මෙවර ‘සිහින රඟහල’ රංග ගත වන්නේ”

“මා නිර්මාණය කළ කෙටි නාට්‍ය කිහිපයක් එකතු කරමිනුයි ‘සිහින රඟහල’ නමින් 2008 වසරේදි නාට්‍ය දර්ශනයක් විදියට ඉදිරිපත් වෙන්නේ. එතැන් සිට අපි ඒක නැවත නැවත නිෂ්පාදනය කරමින් යනවා. මෙය එහි තුන්වැනි නිෂ්පාදනය. මෙහි අලුත් නළු නිළියන් රැසක් රඟපානවා. ඒකට අයත් වන කෙටි නාට්‍ය වෙන්නේ ‘වැලන්ටයින් එනකන්’, ‘චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්’, ‘ඔබ සාපේක්ෂයි’, ‘දුවන උන් දෙන්නෙක්’, ‘ලාස්ට් බස් එකේ කතාව’. මේ නාට්‍ය පහ මඟිනුයි ‘සිහින රඟහල’ කියන දර්ශනය හදලා තියෙන්නේ. මෙය 2013 වසරේදිත් අප නිෂ්පාදනය කළා. කාලයාගේ ඇවෑමෙන් සමහර චරිතවල නළු නිළියන් වයසට ගිහිල්ලා. ඒ අය ඒ චරිතවලට ගැළපෙන්‌නේ නැති නිසා අපි අලුත් අයව ඒ සඳහා යොදවාගෙන තිබෙනවා. මෙවර රඟපාන නව නිළියන් ගැන යමක් කියනවා නම් අමා විජේසේකර, ප්‍රදීප් රාමවික්‍රම, කුසල් මධුරංග, සුලෝචනා වීරසිංහ, දනුෂි දිසානායක, පූජ්‍ය දන්දෙණිය, දිමුතු චින්තක, චාමල් රණසිංහ. සනත් විමලසිරි.”

එහෙම කියමින් කාලයකට පසු ශ්‍රී ලංකාවට පැමිණි ධනංජය කරුණාරත්න ඔහුගේ කටහඬ අවදි කළා. ඒ අනුව ඔබට ධනංජයගේ ‘සිහින රඟහල’ ඉදිරියේදිත් වේදිකාවෙදි දකින්නට පුළුවන්. මේ කාර්ය යළිත් නිෂ්පාදනයක් විදියට ධනංජයට වේදිකාවට ගෙනෙන්න හේතු වුණු කාරණා කිහිපයක්ම තිබුණා.

“ඒ කාරණා කිහිපය ගැනත් කියමු”

“ගොඩක් දුරට නැවතත් මේ නාට්‍ය කරන්න කියන යෝජනාව ආවේ මේ දර්ශනය සංවිධානය කරන ජූඩ් ශ්‍රීමාල් හරහා. ඔහු කිව්වේ ආපහු එයා මේ නාට්‍ය කරන්න කැමැතියි; ඒ නිසා නැවතත් මේ නාට්‍ය ටික කරමු කියලා. විශේෂයෙන්ම අපි ඉලක්ක කළේ පසුගිය කාලයේ නාට්‍ය ගැන හදාරන්න, කියවන්න ආව විශේෂ පිරිසව. ඔවුන් නිසා නැවත ප්‍රේක්ෂකාගාරයක් හැදුණා. ඒ වගේ ම ඒ අය නාට්‍ය ගැන හදාරලා තියෙනවා; කියවලා තියෙනවා; ඒත් ඒ ගොඩක් අය ඒ නාට්‍ය දැකලා නැහැ. ඒ නිසා මේ අය වෙනුවෙනුයි යළිත් මේ කෙටි නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ.”

ඒ විදියට යළිත් නිෂ්පාදනය වුණු ධනංජයගේ ‘සිහින රඟහල’ සැදිලා තියෙන්නේ ඔහු කලින් කලට නිෂ්පාදනය කළ කෙටි නාට්‍ය පහකින්. ඒ 2001 වසරේදි ‘වැලන්ටයින් එනකන්’, 1995 වසරේදි ‘චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්’, 1997 වසරේදි ‘ඔබ සාපේක්ෂයි’, 2008 වසරේදි ‘දුවන උන් දෙන්නෙක්’, 1999 වසරේදි ‘ලාස්ට් බස් එකේ කතාව’ කියන කාලවලදියි මේ කෙටි නාට්‍ය පහ නිෂ්පාදනය වුණේ.

“ඒ ඒ විවිධ කාලවල මේ නිර්මාණ ඔබගේ අතින් ලියැවුණත්, ඒවා අදටත් වලංගුයි”

“මම හිතනවා අදටත් වලංගුයි. මේ නාට්‍ය පසුගිය කාලයේ විශ්වවිද්‍යාලවල, නාට්‍ය ශාස්ත්‍රාලවල නිෂ්පාදනය කරන්න වගේම අධ්‍යයනය කරන්න පටන් ගැනීමත් සමඟ ම ඒවා නරඹන්න අලුත් ප්‍රේක්ෂාගාරයක් හැදුණා. මෙහි තිබෙන සමහර නාට්‍ය සිදු වන ආකාරයෙන් ම ඒ විදියට අද සිදු නොවෙන්න පුළුවන්. ඒත් ඒ කතා කරන විෂය අදටත් ඒ ආකාරයෙන් ම අදාළයි. ආදරය ගැන, පෙම්වතුන් ගැන. ඉස්සර පෙම් කළ විදියට නොවෙයි දැන් පෙම් කරන්නේ. ඒත් ප්‍රේමය පිළිබඳ කතා කරන කාරණය ඒ ආකාරයෙන්ම අදටත් වැදගත්.”

අපි මීට වසර කිහිපයකට කලින් කතා කළ දේවල් අදත් ඒ විදියට අපේ සමාජය ඇතුළේ පැවතගෙන එනවා. එහෙත් දියුණු රටවල් දෙස විමසිල්ලෙන් බලද්දිත් විවිධ කාරණා දෙස ඔවුන් බලන ආකාරය බොහොම වෙනස්. ඒ පිළිබඳ බොහෝ අත්දැකීම් ධනංජයගේ ජීවිතයෙත් තියෙනවා නිසැකයි.

“වැලන්ටයින් එනකන් වගේ කෙටි නාට්‍යයකින් කියැවෙන සමහර ගැටලු අපේ සමාජය ඇතුළේ තවමත් එහෙමමයි”

“ඒක බොහොම සංකීර්ණයි. අපට 90 දශකයේ ආරම්භයේ තිබුණු නිදහසවත් සමහර අවස්ථාවල අපේ රටේ නැහැ වගෙයි නේද? අද පෙම්වතුන්ට සමහර පන්සල්වලට යන්නවත් බැරි තත්ත්වයක් තිබෙනවා. එහෙම ප්‍රශ්නයක් 90 දශකයේ තිබුණේ නැහැ. දැන් ඒ ගැන බෝඩ් ගහලාම තිබෙනවා. පෙම්වතුන් සම්බන්ධයෙන් කතා කරද්දි නිදහස තමයි ප්‍රධානම කාරණය. අද ඒවා ට විවිධ වාරණ ඇවිල්ලා තිබෙනවා. පසුගිය කාලයේ ඇති වුණු ජාතිවාදී ව්‍යාපෘති හා දෘෂ්ටිවාද පැතිරීමත් සමඟ තමයි මම හිතන්නේ ඒක එන්න ඇත්තේ. මට තේරෙන දේ තමයි 90 දශකයේ ඇති වෙලා තිබුණු නිදහස සමහර අවස්ථාවල ගොඩක් අඩු වෙලා තිබෙන බව. ඒක සංස්කෘතික වශයෙන් ගත්තත්. සිංහලෙන් පෙම් කරන්න ඕන කියන එකක් කියනවා වගෙයි මට තේරෙන්නේ. මට තෙරෙන්නේ නැහැ ඒක කොහොමද කරන්නේ කියලා. දැන් ලව් සහ සෙක්ස් වගේ දේවලුත් සිංහලෙන්ම කරන්න කියලයි කියන්නේ. ඒත් ඒවා සිංහලෙන් කරන හැටි කවුරුත් දන්නේ නැහැ.”

මෙවැනි සමාජයේ වූ විවිධ ගැටලු ධනංජයගේ නිර්මාණවලට පාදක වුණා. ඒ වගේ ම පරිභෝජනවාදි සමාජය ඔහුට හසු වුණු තවත් එක් කාරණයක්.

“පරිභෝජනවාදි සමාජය ඇතුළේ මිනිස්සු විඳීන දුක්ඛදෝමනස්ස විවිධාකාරයි”

“මේ සියලු දේවල් පරිභෝජනවාදයට යටත් වී තිබෙන තත්ත්වයක් ඇතුළේ, පරිභෝජනවාදි සමාජයේයි අද අපි තව තවත් ගිලී ගිහින් ඉන්නේ. ‘ලාස්ට් බස් එකේ කතාව’ ඇතුළේ කතා කරන්නේ තනිකරම පරිභෝජනවාදය. ඒක එක් එක් අය විවිධ විදියට අර්ථකථනය කරලා තිබුණට එය පරිභෝජනවාදි කෙටි නාට්‍යයක්. එය එදාටත් වඩා අදටයි වලංගු වන්නේ. ‘දුවන උන් දෙන්නෙක්’ වගේ නාට්‍යයකින් කතා කරන්නේ ගොඩක් දුරට ප්‍රාග්ධනය පිළිබඳයි. ඒ නාට්‍ය යන්නේ වර්තමානයේ තිබෙන ණය ප්‍රශ්නයත් එක්කයි. ණය ටික ඉවර වනතුරු ඉන්න ඕන අපට පඩි වැඩි වෙන්න. ඒ නාට්‍යයේ තිබෙන ගැටලුව තමයි අති විශාල ප්‍රාග්ධනය. ධනය අසාධාරණ ලෙස බෙදිලා තියෙන සමාජයක සල්ලි නැති එකා ණය ගෙවලා ඉවර වනතුරු ඉන්නවා කියන එකේ තේරුම මොකක් ද? ප්‍රාග්ධනය විශාල ආසාධාරණයකට ලක් වෙලා එකතැනකට විශාල ලෙස ඒකරාශි වෙනවා. අනෙක් තැනට සල්ලි නැතුව තියෙනවා. සල්ලි නැති එකා ණය ගෙවනතුරු බලාගෙන ඉන්නවා.”

මේ සියලු කාරණාවලට අමතරව ඔහුගේ නිර්මාණවල තිබෙන සුවිශේෂ බව වෙන්නේ මනුෂ්‍ය ආත්මය විනිවිද දකින, ප්‍රශ්න කෙරෙන ඒ සම්බන්ධ සියුම් දේ ඉතා සරල ආකාරයෙන් යථාර්ථවාදි ආකෘතියේ ඉඳීමින් ඉදිරිපත් කිරීමයි. එහි එන ‘චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්’, ‘ඔබ සාපේක්ෂයි’ වගේ නිර්මාණ මඟින් ගැහැනියගේ ආදරය, ලිංගිකත්වය වැනි කාරණා ඔහු වේදිකාවේ කතා කරන්න උත්සුක වෙනවා. ඒ ආකාරයෙන් ඍජුව හා විවෘතව සාකච්ඡාවට ලක් කළ නිර්මාණ ඒ කාලයේ ඉතා දුර්ලබ වුණා. ඒ වගේ ම එවැනි වස්තු විෂයයන් කෙටි නාට්‍ය මඟින් කතා කිරීමත්, ඒ සියලු දේ සාර්ථක ලෙස ඉදිරිපත් කිරීමත් පළමු වරට දකින්න ලැබෙන්නේ ධනංජයගේ නිර්මාණ මඟින්. ඒ නිසා අද වනවිට වේදිකාවේ බොහොම එළිපිට කතා කරන, ඉතා සුලබව දැකිය හැකි ආදරය, ලිංගිකත්වය පිළිබඳ කතා කරන නිර්මාණවලට යම් එළියක් අරගෙන ආවේ ධනංජය බව අමුතුවෙන් කිව යුතු නැහැ. එවැනි වටපිටාවක සිටි ඔහු වර්තමානයේ ජීවත්වෙන්නේ ඔස්ට්‍රේලියාව වගේ වෙනස්ම පරිසරයක. වෙනස්ම රටක.

“එවැනි දියුණු රටක තිබෙන නාට්‍ය කලාවේ නියැළෙන්නෙක් විදියට, ඒ රටේ නාට්‍ය කලාවෙත් අපේ රටේ නාට්‍ය කලාවෙත් තිබෙන වෙනස ඔබට වඩාත් හොඳීන් දැනෙනවා නියතයි”

“එහේ නාට්‍ය කලාව කියන්නේ ඉන්ඩ්‍රස්ට්‍රියක්. වෙනත් විදියකට කියනවා නම් වෘත්තිමය තත්ත්වයකට පත් වුණු කර්මාන්තයක්. සියලු දෙනා නාට්‍ය සමාගම් මඟිනුයි නාට්‍ය ඉදිරිපත් කරන්නේ. ජූඩ් ශ්‍රීමාල්ලා වෙනුවට ඉන්නේ සමාගමක්. ඒ නිසා ඒ නාට්‍ය සමාගම් හරහායි නාට්‍ය කරන්නේ. එතකොට ඒකට වැඩ කරන ශිල්පීන්ට පඩිනඩි ගෙවීම් ඔක්කොම සිදු වෙන්නේ වෘත්තිය මට්ටමින්. රාජ්‍ය අනුග්‍රහයත් අනිවාර්යයෙන් ම යම් මට්ටමකින් නාට්‍ය කලාවට ලැබෙනවා. ඒ ලංකාවට වඩා. ඒක සංසන්දනය කරන්න බැරි ශ්‍රී ලංකාවේ එහෙම වෘත්තිය මට්ටමක් ඇත්තේ නැති නිසා. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කලාව කර්මාන්තයක් බවට පත් වෙලා නැහැ. ඒ නිසා අපි යන්නේ බොහොම අපහසුවෙන්. අපි යන්නේ එක් එක්කෙනාගෙන් එහෙන් මෙහෙන් ආධාර, අත්උදවු ඉල්ලගෙන. නාට්‍යයක් හදන කොට එහා ගෙදර මනුස්සයත් තේ හදලා දෙනවා. ඒ වගේ ඇදගෙන යන එකකුයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ඒ නිසා අපි ඒකට සූදානම් නැහැ. විධිමත් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.”

වසර ගණනක ඉඳන් අප මේ කතා කරන ගැටලු වර්තමානය වනවිටත් ඒ ආකාරයෙන්මයි. ඒ කිසිවක් විසඳුණු බවත් පෙනෙන්නේ නැහැ.

“ඔබ සිතන විදියට එහෙම වෙන්නේ ඇයි?”

“ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කලාව ඉන්ඩස්ට්‍රියක් බවට පත් වුණේ නැහැ. වෘත්තිය නාට්‍ය කලාවක් බවට පත් වුණේ නැහැ. එතනයි කාරණය තියෙන්නේ. ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක්. මුල ඉඳලාම අපේ රජයන් ඒක තේරුම් ගත්තේ නැහැ. කොහොමද නාට්‍ය කලාව පවතින්නේ කියන එක. සිනමාව වගේ දේවල් පවතින්නේ කියන එක.”

“වෘත්තිය වේදිකා නාට්‍ය කලාවක් බවට පත්වීමට මොන වගේ කාරණා ද වෙනස් විය යුත්තේ”

“ඒක‌ ලොකු වැඩක්. ඒ සඳහා රජය විසින් අවශ්‍ය අඩිතාලම, ආකෘතිය දමන්න ඕන. උදාහරණයකට අපි මෙහෙම හිතමු. ඒක ඇවිල්ලා අල ගොවියාගේ කතන්දරය වගේ. ගොවියා අල හරි වට්ටක්කා හරි පුළුවන් විදියට හදනවා. ඊට පස්සේ මේක වෙළෙඳපොළට ගිහින් පාරිභෝගිකයා අතට යන්න ක්‍රමවේදයක් නැහැ. යාන්ත්‍රණයක් නැහැ. සමහර ඒවා ගොඩ ගහලා විකුණනවා. කුණු වෙනවා. ඒ වගේ වේදිකා නාට්‍ය කලාවත් ඉදිරියට අරගෙන යන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා ඒ වෙළෙඳ පොළ ආකෘතිය හැදිය යුත්තේ රජය මඟිනුයි.”

ඒත් එවැනි තත්ත්වයක් පෙනෙන මානයකවත් නොවෙයි අප සිටින්නේ.

“එහෙම නම් මෙවැනි තත්ත්වයක් ඇති වීමට මොනවගේ දේවල් ද විය යුත්තේ?”

දැන් අපි සම්පූර්ණයෙන් ම ඇවිල්ලා ඉන්නේ වෙන ම පාරක. ඒ නිසා ඒක ලොකු වැඩක්. ඒ කියන්නේ නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකයෝ ඉන්න ඕන. නැත්නම් පාරිභෝගිකයා ඉන්න ඕන. තනිකරම පාරිභෝගික අර්ථයෙනුයි අපට මේක කතා කරන්න වෙන්නේ. ප්‍රේක්ෂකයා කියන්නේ පාරිභෝගිකයා. එයා තමයි සල්ලි දෙන්නේ. එතකොට පාරිභෝගිකයෝ නිෂ්පාදනය වෙන්න ඕන. පාරිභෝගිකයා නිෂ්පාදනය වීම සාමාන්‍යයෙන් කෙරෙන්න නම් නාට්‍ය නැරැඹීම ආස්වාදයක් කරගත්ත ජනතාව බිහි වෙන්න ඕන. ඒක විශේෂයෙන් ම කුඩා කාලයේ ඉඳන් ම, පාසල් කාලයේ ඉඳන් ම පාසල් හරහා එන පසුබිමෙනුයි ගොඩක් දුරට සිදු වන්නේ. කෙනෙකු පාසලෙන් ඉවත් වුණාට පස්සෙයි නාට්‍ය නරඹන්න පෙලඹෙන්නේ. ඒ නිසා පාසල් කාලයේ සිට ම ඒ පාරිභෝගිකයා හදන වැඩේ, නාට්‍ය රසාස්වාදයක් අවශ්‍ය කෙනා හැදීම ආරම්භ කරන්න ඕන. එතනදි පොත් කියැවීම, කලා රසිකත්වය හදන්න ඕන. ඉන් පස්සේ ප්‍රමාණවත් රඟහල් හදන්න ඕන. ඒ වෘත්තිවලට නිවැරැදි වෘත්තිය පුහුණුවක් දෙන්න ඕන. ඒ නිසා රජය විසින් ආකෘතිය දමන්න නම් ඒකට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ ම ගෝලීය වශයෙන් අවශ්‍ය ආධාර උපකාර ලබාගන්න ආකෘතියත් බොහොම වැදගත්.”

ධනංජය අපේ රටට එන්නේ ම නාට්‍ය කරන්න. ඔහුගේ ප්‍රධාන ම කාරණය ඒක. ලංකාවට ආවත් කරන්නේ නාට්‍ය. ඔහු එහේ හිටියත් කරන්නේ නාට්‍ය කටයුතු. ඒ නිසා වේදිකාව ඔහුට අරුමයක් නොවෙයි.

“ඔබගේ අලුත් නිර්මාණයකට අත පෙවීම මේ වනවිට සිදු වෙලා ද තියෙන්නේ”

“ඒ සඳහා වැඩ කරමින් යනවා. මේ පාර එවැනි නිර්මාණයක් කරන්නයි හිතාගෙන හිටියේ. ඒ සඳහා මට කාලවේලාව මදිවුණා. මේ දැන් කෙරුණු කාර්යය කරන්නත් අවුරුදු ගණනක ඉඳලා සූදානම් වුණා. ඒ නිසා මේ කාර්යයෙන් පස්සේ කරන්නේ අලුත් නාට්‍යයක් හැදීමයි. ඒ සඳහා ලොකු සූදානමක් තියෙන්න ඕන.”

බොහෝ දේවල් සම්බන්ධයෙන් වෙනස්ම අදහස් දරන ධනංජයගෙන් නාට්‍ය කලාවට අමතරව වෙනස්ම අදහසක් ගැන අහන්න මට සිතුණා. ඒ අපේ රට ගැන. වෙනත් රටක කාලයක් ජිවත් වුණු ඔහුට ඒ දෙසත්, අපේ රට දෙසත් හැරිලා බලද්දි කියන්න බොහෝ දේ ඇති බවයි සිතෙන්නේ.

“අපේ රට යම් තැනකට එන්න නම් මොන වගේ දේවල් ද සිදු විය යුත්තේ”

“පසුගිය කාලයේ තිබුණු පීඩන තත්ත්වය යම් මට්ටමකට සමනය වෙලා තිබුණාට, වර්තමානයේ මේ රට වැටිලා තිබෙන අර්බුදයට විසඳුම් සොයන බවක් තාම නම් පෙනෙන්නේ නැහැ. ඒ සඳහා විසඳුම් සොයනවා සොයනවා කියලා නේ කියන්නේ. ඉදිරියේදි කොහොම වේවිද දන්නේ නැහැ. කලාව, නාට්‍ය ද ඇතුළුව මේ රට වැටිලා තියෙනවා නේ අර්බුදයකට. ඒ අර්බුදයට විසඳුම් නම් පෙනෙන්න නැහැ. පසුගිය කාලයේ හිටියට වඩා යම් යම් ආර්ථික සහන වගයක් නම් ලැබිලා තියෙනවා. සමහර මිනිසුන්ගේ රස්සා වැඩකුත් නැහැ. මුළු යාන්ත්‍රණයම මොඩන් කරන්න ඔ්න. ඒ වගේ මුළු සිස්ටම් එකම ලොකු වෙනස් කිරීමකට ලක් කරන්නේ නැතිව මේ රට ආපහු ඉස්සරහට ගෙනියන්න බැහැ. පාරක යන්න බැරි තරමට අධික ජනගහන ප්‍රශ්නයක් තියෙනවා. මේ ක්‍රමයම වෙනස් වෙන්න ඕන. හැබැයි ඒක බැරෑරුම්ව ගත්ත බවක් නම් පෙනෙන්න නැහැ. ඒකයි මට කියන්න තියෙන්නේ.”

ඔහුගේ අත්දැකීම් පරාසය ඇතුළේ ඔහු පැවසුවේ එවන් කාරණයක්. මේ මොන දේ තිබුණත් ධනංජය කලාකරුවකු විදියට ඔහුට කියන්න තියෙන දේ ඔහුගේ නිර්මාණ මඟින් ඉදිරියේදි ඔබට දැක ගන්න පුළුවන්. විශේෂයෙන් ම වේදිකා නාට්‍ය කලාව පර්යේෂණ මට්ටමට අරගෙන එන ඒ අලුත් නිර්මාණයකින් ඔහු, ඔබ හමුවට එනතුරු මෙතෙක් නැරැඹුවේ නැති ධනංජයගේ ‘සිහින රඟහල’ නරඹන්න ඉදිරියේදි ඔබත් වේදිකාවට එන්න.

 

[email protected]