මේ ලිපිය පළවන විට මම රට හැර ගිහින්

නාට්‍යවේදී හේමන්ත ප්‍රසාද්
දෙසැම්බර් 8, 2022

- මාසෙකට කලාකරුවෙක් රු 5000ක් අරගෙන මොනවා කරන්නද?

- ලෝකේ දියුණු රටවල් බොහොමයක් කලාකරුවන් ආරක්ෂා කරනවා

- මම ඉන්නේ කලකිරීමෙන්

‘උලලේනී’ සිනමා පටය ප්‍රදර්ශනයේදී ඇති වුණු ප්‍රශ්නය මොකක්ද ? 

‘උලලේනී’ සිනමාපටය නිර්මාණය වන්නේ 2017 වර්ෂයේ. මේ සිනමා පටයෙන් පස්සේ මම අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දෙනවා. මම ඇතුළු නිර්මාණවේදීන් සියලු දෙනාම මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. පාවාදීම්, වංචා ගැටලු වැනි ප්‍රශ්න කෝටියකට මේ තුළින් මූණ දෙනවා. මේ වන විට මට අත්දැකීම් තිබුණේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් හැටියට විතරයි. පළමුවෙන් චිත්‍රපටියක් කරන්නේ කොහොමද ප්‍රදර්ශනය කරගන්නේ කොහොමද කියන එක ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. මම මගේ සිනමා පටය කොහොමහරි ප්‍රදර්ශනය කර ගත්තා. ඒත්, මට පෙර නිර්මාණය කරපු සිනමාපට තාම පෝලිමේ පවතිනවා. කොහොම හරි උලලේනී සිනමා පටය මම බොහෝ අත්දැකීම් ලබමින් ප්‍රදර්ශනය කර ගත්තා. ඒක මම ලබපු ජයග්‍රහණයක් එක පැත්තකින්. ඒ ලබපු සියලුම අත්දැකීම් නැවත සිනමා පටයක් කරන්න එපා වෙන තැනට ලබපු අත්දැකීම්. ප්‍රදර්ශන මණ්ඩල ඔවුන්ගේ ආධිපත්‍ය හැමවෙලේම පතුරවන්නත් උත්සාහ ගත්තා. ඒ තුළින් නිර්මාණවේදියාට එපා වෙන තැනට හැම වැඩක්ම සිදු කරනවා. ඒ ඔවුන්ගේ ලාභ ප්‍රයෝජනය වෙනුවෙන්. කවුරුවත් මේ පිළිබඳව කතා කරන්න ඉස්සරහට එන්නේ නෑ. මොකද, තමන්ගේ නිර්මාණය කරපු සිනමා පටය ප්‍රදර්ශනය කර ගැනීම තමයි ඊළඟ අරමුණ. හරියට මාළුවෙකුට ඇම දාල මාළුවා අල්ලා ගන්නවා වගේ වැඩක්, මොවුන් පිටු පස්සේ ඉදන් ⁣මේ කරන්නේ. සිනමා පටය ප්‍රදර්ශනය වුණාට පස්සේ විචාර නම්, දහස් ගණනක් විචාරකයෝ අතින් ලියැවෙනවා. ඊට පෙර මෙන්න මේ වගේ කරුණු කාරණා හොයලා විචාර ලියනවා නම්, තමයි හොඳ.

ඔබ ‘උලලේනී’ සිනමා පටයට පසුව අලුත් නිර්මාණයක් කරනවාද ?

ඔව්. ඉන් පස්සෙ මම ටෙලි සිනමා පටයක් නිර්මාණය කරනවා. රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශනයට ලබා දෙන්න. මේ තිරපිටපත සිත් පහන්වෙන තේමාවකට අනුගතව වෙනස්ම කතාවක්. ලෝකයේ මාලා නාට්‍ය ගණනයට වැටෙන නාට්‍ය තියෙනවා. ඒත්, ටෙලි සිනමා පට කියලා වර්ගීකරණයකට වැටෙන් නෑ. ඒ සියලුම ඒවා චිත්‍රපටි ගණයටයි වැටෙන්නේ. මේ සියලුම නම් ගම් එක් එක් කෙනාට අවශ්‍ය විදිහට හදාගත්ත දේවල්වලට පමණයි සීමා වෙන්නේ. සියලුම නාලිකාවල සියයට අනූනවයක්ම දකින්නට ලැබෙන්නේ පැයක පැය එක හමාරක ටෙලි නාට්‍යය. මට ඕන වුණේ ටෙලි සිනමා පටයක් නිර්මාණය කරලා

නාලිකාවලට දෙන්නයි. ඉන්පසු මම ශ්‍රී ලංකාවේ තියෙන ඉහළම නාලිකාවල වගකිව යුත්තන් අතට නිර්මාණය කරපු ටෙලි සිනමා පටය දීලා තියෙනවා. මේ සියලුම නාලිකාවල ඉහළ පුටුවල ඉන්න වගකිව යුත්තන්ට කතා කරල ගෙනත් දෙන්න කියපු හින්දා මම ඔවුන්ට ගිහින් දෙනවා. ඒත්, මට ලැබෙන එකම උත්තරය තමයි සිනමාපටයක් බවට මේ අලුත් නිර්මාණය පරිවර්තනය කරන්න කියන එකයි. මට වැටහී ගිය කාරණාව නම් සියලුම නාලිකා ටෙලි සිනමා පට කියන ශානරය හඳුනන්නේ නැති බවයි. ඔවුන් කිසිවෙකු මේ විකාශය බාර ගන්තෙ නෑ.

රූපවාහිනී නාලිකාවකට නිර්මාණයක් බාර දීමේ දී අනුගමනය කරන ක්‍රියා පිළිවෙත මොකක්ද? 

ඇත්තටම මෙතැන ද වෙන්නේ සිනමාපටයක තේරිම් මණ්ඩලයක් වගේ දෙයක්. විවිධ පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවකට යටත් වෙලා තමයි නිර්මාණ භාර ගැනීම සිදු වෙන්නේ. අපට තියෙන රැඟුම් පාලක මණ්ඩලය හොඳ තැනක තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඔවුන් සියලු දෙනාම වාරණයට යනවා නම් ඉතාමත් අඩුවෙන් තමයි වාරණයකට යොමු වෙන්නේ. නිර්මාණකරුවාත් ස්වයං වාරණයකට යටත් වෙනවා. වර්තමානයේ අපි දකින නිර්මාණ වාරණයකට ලක් වේවි කියලා හිතන ඒවා වාරණයකට ලක් වෙන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් කේරළ සිනමාව දේශපාලනය හා පොලීසිය අතර සිදුවෙන සිදුවීම් බරපතළ ලෙස විවේචනයට ලක් කරනවා. එත්, අපේ නිර්මාණවේදීන් ඒක කරන්න ගියොත් ටිකක් බය වෙලා තමයි නිර්මාණයට අත ගසන්නේ. මොකද කතුර තියෙන්නේ තේරීම් මණ්ඩලයේ අතේ නිසයි. ඒත්, ශ්‍රී ලාංකේය සිනමාවේ යා හැකි දුර යන්න පුළුවන් සිනමාපට නිර්මාණය කරලා තියෙනවා මේ වෙනවිට. සිනමා පටය තුළ කිසිදු අනවශ්‍ය රූගත කිරීමක් සිදුවෙලා නැහැ. අපරාධ රැල්ලට අනුගත වෙලා නිර්මාණය වෙච්ච නිර්මාණ ගණයට මේක වැටෙන්නේ නැහැ. මිලදී නොගන්නට හේතුව මොකක්ද කියලා මටවත් තාම හිතාගන්න බැරි තැනකට පත්වෙලා තියෙනවා. මේ සියලු දේවල් වලට මූලික ලෙසම බලපාන්නේ ඇතැම් නාලිකාවල ඇතුළාන්තයේ සිදුවෙන විවිධ වංචනික ක්‍රියාවන් කියලයි මට හිතෙන්නේ. බහුතර නාලිකාවල ප්‍රධාන තැන්වල ඉන්න කට්ටිය සිනමා පටය ගෙනත් දෙන්න කියලා, ගිහින් දුන්නට පස්සේ විමසුවාම කියන්නේ, තාම නිර්මාණය බලලා ඉවර නැහැ කියලායි. සති තුනකට විතර පසුව නැවත දැනුම් දෙනවා. පිටතින් ගේන නිර්මාණ භාරගන්නේ නැහැ. නාළිකාව නිෂ්පාදනය කරන නිර්මාණ පමණයි විකාශය කරන්නේ කියලා. මේ රටාව එකම විදිහටයි සිදුුවෙන්නේ. හැබැයි කිසිම නාලිකාවක් තියෙන දෝෂාරෝපණ පෙන්වා දෙන්නේ නැහැ. පිටත සිට බලන කෙනෙකුට පෙනෙන්නේ මෙතැන ඇතුළාන්තයේ කුමන හෝ දෙයක් සිදුවෙනවා කියන එක විතරයි. සමහරවිට ඔවුන් නිෂ්පාදකවරයාගෙන් සහ අධ්‍යක්ෂකවරයාගේන් මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙනවද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒත්, යම්කිසි කොට්ඨාසයකගේ නිර්මාණ බාර ගන්නවා. මට පේන විදියට එක එක්කෙනාට එක එක හැදිවලින් බෙදෙන සංස්කෘතියක් තමයි නාලිකාවල සිදුවෙන්නේ. අපි සියලුම නිර්මාණ වේදීන්ගෙන් ඉල්ලන්නේ පූර්ව ප්‍රදර්ශනයට ඩී.වී.ඩී තැටියක් පමණයි. අන්තිමේදී අහන්න වෙලා තියෙන්නෙ තැටියේ දෝෂයක් ද සිදුවෙලා තියෙන්නේ කියලයි. 

නිර්මාණ වේදියෙක් ලෙස ඔබ කිසියම් කලකිරීමකට පත් වෙලාද ඉන්නේ ?

ඇත්තටම මම දැන් මේ සිනමාව තුළ ටෙලිනාට්‍ය තුළ හොඳටම කලකිරීමකට පත් වෙලා තමයි ඉන්නේ. මම කලකිරිමක් ඇති නොවුණා නම්, ඒ මගේ වේදිකා නාට්‍ය කලාව තුළ පමණයි. වේදිකා නාට්‍ය කලාවට මම අදත් ගරු කරනවා. මගේ මූලාරම්භය සිදු කළ තැන නිසා. අද ලෝක කලා ඉතිහාසයේ තියෙන සුවිශේෂීම තැනත් වේදිකාවයි. ලෝකෙ මේ තාක් නිර්මාණය වුණු හා නිර්මාණවේදීන් බිහි කළ තැනක් ලෙස වේදිකාව ලෝක ඉතිහාසය සනිටුවන් වන්නේ රන් අකුරින්. විශේෂයෙන් මම දකින විදිහට මුල් පුටුවලට එන බහුතරයක් මිනිස්සු තමන් ආපු විදිහත් හිටිය තැනත් අමතක කරන කොට්ඨාසයක්. ඉවක් බවක් නැතුව ඉන්න මිනිස්සු හරියට කොන්ද පණ නැති ගෑනු වගේ චරිත කියල කිව්වොත් වරදක් නෑ. නිර්මාණවේදීන් නිර්මාණයක් බිහි කරන්නෙ ගොඩක් මහන්සි වෙලා.

චිත්‍රපටි සංස්ථාව සමඟ ඔබ ඇතිවුණු ගැටුම මොකක්ද?

මගේ සිනමා පටය ප්‍රදර්ශනය වෙන්නේ මණ්ඩල තුනක් යටතේයි. ඒ සමගම සංස්ථාවද ඔවුන්ගේ සිනමා ශාලා හරහා සිනමා පට ප්‍රදර්ශනය කරනවා. මෙහි විශේෂම ලක්ෂණය වන්නේ, අර පෞද්ගලික සමාගම් තුනෙන් මට එන්න තියෙන මුදල් ලැබෙනවා. ඒත් සංස්ථාවේ සිනමා ශාලාවලින් ඉපයූ ආදායම මට ලැබෙන්නේ නැහැ. මම අවුරුදු ගණනාවක් රස්තියාදු වෙලා තමයි ඒ සල්ලි 2022 මැද භාගයේ ගන්නේ. වසරකට සිනමාපට 800-900ක් නිෂ්පාදනය කරන ඉන්දීය සිනමාව තුළ වත් මෙවැනි ප්‍රශ්න මතු වෙන්නේ නැහැ .ඔවුන් හරි ක්‍රමවත් විදිහටයි හැම වැඩපිළිවෙළක්ම කරන්නේ. සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයක් කියලා දෙයක් පිහිටුවලා තියෙනවා. ඒත්, සංසදය කිසි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණාම කතා කරන්න කෙනෙක් නෑ. සංගමයේ සභාපතිවරයාගේ සිනමා පටයක් ප්‍රදර්ශනය වනවිට ඔහු දන්නෑ සිනමා ශාලා කීයක සිනමාපටය ප්‍රදර්ශන වනවා ද කියලා. එවැනි සභාපති වරු අනෙක් අය ගැන කතා කරයිද? නමට සහ බෝඩ් ලෑල්ලට සීමා වෙච්ච සංගම් පමණක් ඉතිරි වෙනවා අන්තිමේට.

නාලිකා ඔබේ ටෙලි සිනමා පටය භාර ගන්නේ නැත්නම් ඊළඟ ක්‍රියාලිය මොකක්ද?

මේ වනවිට නිර්මාණය කරපු සිනමාපට අති විශාල සංඛ්‍යාවක් පෝලිමේ තියනවා. පෙර නිර්මාණය කරපු සිනමාපටයට අත්විඳපු දේ මම හොදාකාරවම දන්න නිසයි මම මේ කතා වස්තුව ටෙලි සිනමා පටයක් නිර්මාණය කරන්නේ. මම නැවත එතැනට ගියොත් ඒක ප්‍රදර්ශනය වෙන්නේ නැවත අවුරුදු හයකට විතර පස්සෙයි. මොකද මාත් පෝලිමේ අන්තිමය යටතේ ඊට පස්සේ ඉන්නේ. දැන් තියෙන්නේ කළ යුතු කිසිවක් නෑ. නිහඬවම ඉන්න එක විතරයි තියෙන්නේ. කිසිම දේකට ඉඩක් නැති අද වාතාවරණයක් උදාවෙලා තියෙන තැනක කලාවට ඉඩක් තියෙනවද කියලා අහන්න බැහැ තැනකයි ඉන්නේ. එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා කියලා සංකල්පයක් තියෙනවානේ. මම අන්න එතැන ඉන්නවා.

ඔබ සියලු දේ අත හැර විදේශගත වෙනවා කියන එක ඇත්තක්ද? 

මම විතරක් නෙවෙයි මේ රට අතහැර යන්නේ. මේ වන විට ක්ෂේත්‍රයේ විවිධ ඉසව් කරා පැතිරී සිටින ප්‍රධාන පෙළේ පුද්ගලයන් රැසක් විදේශගතවීමට ඉල්ලුම් කරලයි තියෙන්නේ. ගායක ගායිකාවන් නළු නිළියන් අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් සහ කාර්මික ශිල්පීන් මෙන්ම කලා ක්ෂේත්‍රය නියෝජනය කරන අති බහුතරයක් නික්ම යනවා. ජීවත්වීමට පසුබිමක් නැතිව නිදහසේ නිර්මාණයක් කරන්න වත් පසුබිමක් නැති මොහොතක තවත් ඉන්නවාද නැද්ද කියන එක තේරුමක් නැහැ. මේ යන පිරිස අතරට මමත් එක් පුද්ගලයෙක් වෙනවා. කලා ක්ෂේත්‍රයේ නිරත වන සියලුම දෙනාට කලාව තුළින් තමයි ජීවත්වීමේ හැකියාව තියෙන්නේ. ඔවුන්ගේ මඟ ඇහිරූණාට පස්සේ මොනවාද කරන්න තියෙන්නේ කියලා ප්‍රශ්නයක්. මගේ ජීවිතේ අවුරුදු තිහක් මම කලාවේ නිරත වෙලා ජීවත් වුණු පුද්ගලයෙක්. වේදිකා නාට්‍යය තුළ අපි රැකෙමින් සිටියා. මගේ දක්ෂතාවෙන් තමයි මම කලාවේ නිරත වුණේ. ටෙලි නිර්මාණයක් සහ සිනමා පටයක් නිර්මාණය කළාට පස්සේ පෙන්න ගන්න විදිහක් නැත්නම් අපිට ගන්න තියෙන එකම විසඳුම මොකක්ද කියලා මම අහන්න කැමතියි. යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුණාට පස්සේ ප්‍රේක්ෂකයා මාව ආරක්ෂා කරනවා ද නැත්නම් යම් කලා සංගමයකින් මාව ආරක්ෂා කරනවාද නෑනේ. මා ඇතුළු සමස්ත කලා කලාකරුවන් වෙනුවෙන් ම තමයි මම මේ කියන්නේ. සරල කාරණයක් හැටියට කියන්න පුළුවන් ඕනම කෙනෙකුට අපේ මව් රට අපි ඉපදිච්ච රට මේ බිම හැර නොයා යුතුයි කියලා. උදාන වාක්‍යය බවට සටහන් කිරීමක් පමණයි අද සිදු වෙන්නේ. එකතු වෙලා ජීවත්වෙන්න කොහොමද කියන ප්‍රශ්නයට උත්තරයක් නෑනේ. එහෙම වුණාම අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ යා යුතු වෙනවා. මම ප්‍රංශය බලා තමයි පිටත් වෙන්නේ. හැබැයි මම එහෙ ගියත් මගේ කලා ජීවිතය අතහරින්නේ නැහැ. මෙහෙන් බැරිවුණු සියල්ල මම දිගටම එතැනින් කරන්නයි අදහස් කරගෙන ඉන්නේ.

මේ හිඩැස් පිරවිය හැකි පිරිසක් ඉඳීවිද?

මා දකින විදිහට තරුණ පරම්පරාව අති දක්ෂ පිරිසක් මේ වන විට බිහි වෙලා ඉන්නේ. මම කිසිදු විටෙක ප්‍රකාශ කරන්නේ නෑ, අපේ කාලේ තමයි දක්ෂයන් හිටියේ ඒ කාලෙ තමයි හොඳම කාලය කියලා. මම ඒවා පෞද්ගලිකවම බැහැර කරනවා. සියලුම අංශ නියෝජනය කරන දක්ෂයන් සහ අදක්ෂයන් කියන කොටසට වැටෙන පිරිස් එදත් හිටියා. වර්තමානයේ බලනකොට අනාගතය සුබපලදායකයි කියල කියන්න පුළුවන් වාතාවරණයක් උදාවෙලා තියෙනවා. මම ක්ෂේත්‍රයට අවතීර්ණ වන විට මට අවුරුදු 20 දි විතර, දක්ෂ පිරිසක් හිටියා. හැබැයි අවුරුදු දහයක් ගියාට පස්සෙ ඒ පිරිස නැතිවී ගියා. එතකොට ඒ හිඩැස පුරවන්න තව පිරිසක් බිහි වුණා. මෙන්න මේ විදියට චක්‍රාකාරව මේ වෙනස සිදු වෙනවා. ඒකට මේ පිරිස ඉවත්ව ගියා කියලා කිසිදු බලපෑමක් එල්ල වෙන්නේ නැහැ.

රාජ්‍ය යාන්ත්‍රණයෙන් කලා ක්ෂේත්‍රයට ලැබුණු සහයෝගය කුමනාකාරද ?

ලෝකයේ දියුණු යැයි කියන රටවල් බොහොමයක් ම කලාකරුවන් ආරක්ෂා කරනවා. ඒ රටේ සම්පත හැටියටයි ඔවුන් සලකන්නේ. කලාකරුවා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ හැම රටක්ම ඉෂ්ට කරනවා. ඉන්දියාව වගේ රටක් ගත්තාම සත්‍යජිත් රායි වගේ අධ්‍යක්ෂවරයෙක්ගේ අවසන් කාලයේ ගිලන් රථයක් පවා හැම මොහොතකම ඔහුගේ නිවස අසල නතර කරලයි තිබුණේ. මේ වගේ දේවල් කරන්න අපේ රටට බැරිවෙයි. නමුත්, ඊට වැඩිය ලිහිල් දේවල් හරි කලාකරුවන් වෙනුවෙන් කළ යුතුයි කියන තැන මම ඉන්නවා. කලාකරුවකුට ලැබෙන යටිතල පහසුකම් ටික වත් අඩුම ගානේ ලබාදෙනවා නම් හොඳයි කියලා තමයි හැමෝගෙම මතය. මම කොහෙත්ම කැමති නෑ අපේ රටේ කලාකරුවන් හිඟන්නන් ලෙස දකින සංකල්පයේ ඉන්නවට. කිසිදු කලාකරුවකුට රජය විසින් විශ්‍රාම වැටුපක් ගෙවිය යුතු නැහැ කියන මතය මම අද ඉන්නවා. එයට හේතුව ලෙස මම දකින්නේ ලොකු පිරිසක් ගෙන්නලා ලොකුවට පබ්ලිසිටි එකක් දීලා රුපියල් 5000 ක දීමනාවක් දීලා වයෝවෘද්ධ කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙනවා කියල මාධ්‍ය දර්ශනයක් කරන එක විතරයි කරන්නේ. කලාකරුවකුට මාසෙකට රුපියල් 5000 අරගෙන මොනවා කරන්නද ? කිසිදු විටෙක කලාකරුවා අවසාන මොහොතේ සම්මාදම් රජයකින් සරණ පතන්නට අවශ්‍ය වන පිරිසක් බිහි වෙන්න අවශ්‍ය නෑ කියලයි මම කියන්නේ.

ප්‍රංශයට ගියාට පස්සේ ඔබේ නිර්මාණවලට කුමක් වන්නේද?

මම යන්නේ මීට වැඩිය සාරවත් පොළොවක පය ගහන්නයි. බොහෝ දුරට මගේ නිර්මාණ හවුල් නිෂ්පාදනයක් බවට පත්වෙන්නට පුළුවන්. මේ වන විටත් මාව පිළිගන්න ජාත්‍යන්තර රූපවාහිනි නාලිකා සහ සමාගම් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක මට ලොකු ශක්තියක් වෙලා තියෙන්නෙ මේ වන විටත්. අපේ රූපවාහිනී නාලිකා ප්‍රතික්ෂේප කරන නිර්මාණ නේදර්ලන්ත රූපවාහිනී නාලිකාවලට දුන්නාම ඔවුන් ඉහළින්ම පිළිගන්නවා අපේ නිර්මාණ වේදයන් අගය කරමින්. ඕනෑම ක්ෂේත්‍රයක දක්ෂතාවයන් තියෙන ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ හැකියාව තව කෙනෙකුට ගන්නත් බෑ. දක්ෂයාට කොතැනත් ඉඩ ප්‍රස්ථාව හැදෙන බවයි මට නම් හැගෙන්නේ. කැපිලි කෙටිලි තියෙන සමාජයකින් ඈත්විම වටිනවා. ප්‍රංශය වැනි රටක නිර්මාණවලට ඉඩප්‍රස්ථාව හදා ගැනීම තමයි හොඳම දේ කියලා කියන්න පුළුවන්. මගේ නිර්මාණ නමට පමණක් සීමා නොවන ඒවා බව සහතිකයක් දෙන්න මට පුළුවන්.

අපේ කලා ක්ෂේත්‍රය රැකගන්න නම් කළ යුත්තේ මොනවාද ?

වර්ග ජාති භේදයකින් තොරව සියලු දෙනාම එකට සිට ගත යුතුයි. හැම නිර්මාණවේදීයෙක්ම සමස්ත අර්බුදයට විසඳුමක් ලැබෙන තුරු අත්වැල් බැද ගත යුතුයි. එකිනෙකා හොරෙන් ගිහිල්ලා එකිනෙකාගේ අරමුණු විතරක් ඉෂ්ට කරගන්න යෑමෙන් ප්‍රශ්නෙට විසඳුම් හොයන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. එකමුතු වුණොත් දමිවැලේ පුරුක් ශක්තිමත් වෙනවා වගේ කඩා ගන්න බැරි වෙනවා. ඒ පුරුක ශක්තිමත් වන තරමටම ප්‍රතිඵලයත් ශක්තිමත් වෙයි.