වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
මගේ තරගය මා සමඟ පමණයි

කවුරුන් හෝ සිතනවා නම් අපි යන ගමන නවත්වන්න එය ඔවුන්ට සිදු වූ විශාල වැරදීමක්
මේක පුදුම මිනිස්සු ඉන්න රටක්
“ජීවිතය
ඔබ මවෙතින් කුමක් සොයන්නේ ද?
සිය දෝමනස්සයන් කැටිකර මා වෙත දමා ගැසූ ඒ
සීතල රාත්‍රියේදී නිදි නොමැති
ගිලිහී වැටී යයි පිනිවන් කඳුළු කැට
දෙනෙත් දරා ඇද හැලුණු
කැලඹුණු රුහිරු සමවත් නොකරම”
පුරා පැයකට අධික කාලයක රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් රංගභූමිය මත ඒකලව ඉදිරිපත් කරන තම රංගනයෙන් ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් ඔවුන් ග්‍රහණයට හසුකර තබාගැනීම කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශ්ව නාට්‍ය කලාව තුළත් එවැනි අවස්ථා ඉතා විරලය. එවන් වූ අති විරල අවස්ථාවක ශ්‍රී ලාංකේය වේදිකාවේ මවන්නටත් රසවිඳීන්නට මතුනොව ඒ තුළින් අන්තර්ජාතික කීර්තිය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට ඇය භාග්‍යවන්ත වුවාය. සුජීව පතිනිසේකරගේ Untouched වේදිකා නාට්‍ය නිර්මාණය ඔස්සේ ලොවක් විකසිත කළ ඇය ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියන් අතර මුල් පෙළේ සිටින්නීය. ගායනාවක් හැඟුම් ගායනාවක් කිරීමට ඇය සතු සංගීතමය හැදෑරීම් මෙන්ම සතතාභ්‍යාසය ‘හා අත්දැකීම් පරිපාකය ඇය අපට සිටින දක්ෂ ගායනවේදිනියක් ද බැව් ලොවටම ඔප්පු කර හමාරය. රූපණවේදිනියක්, ගායනවේදිනියක්,පූරකවරියක්, ප්‍රාසාංගික ශිල්පිනියක්, ඔපෙරා ගායන ශිල්පිනියක්, හඬ පුහුණු කිරීම් ශිල්පිනියක් ආදී ලෙසින් කලා කෙත ඉසව් රැසක් අස්වද්දන ඇය සුබුද්ධි ලක්මාලි නමින් වන්නීය.
ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය ස්ත්‍රී භූමිකා නිරූපණයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වෙමින් ලොව විශිෂ්තම වේදිකා නාට්‍ය නිර්මාණ උලෙළක් වන ඊජීප්තුවේ ‘ශ්‍යාම් එල් ශේක් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ ජාත්‍යන්තර නාට්‍ය 302 මින් අවසන් වටයට තේරී පත්ව ඒකපාත්‍ර නාට්‍ය ශානරයෙන් ප්‍රාසංගික ඉදිරිපත් කිරීම සම්මානයෙන් පිදුම් ලබමින් අපගේ දේශයට ගෞරවය හා අභිමානය රැගෙන ආ කලා ශිල්පිනිය ආදරණීය සුබුද්ධි ලක්මාලි මෙවර සංලාපය සඳහා එකතු කර ගත්තේ ඔබ වෙනුවෙන්මයි.
වේදිකා නාට්‍ය නිර්මාණයන් උදෙසා ජාත්‍යන්තර සම්මානයක් ලත් ප්‍රථම ශිල්පිනිය ඔබයි.
ඔව්. ඒ ආනන්දය සුසානය දක්වාම මගේ හිතේ තියේවි.නාට්‍ය රසවින්දනය ප්‍රේක්ෂකයාට දනවන්නට සමත් නාට්‍ය පිළිබඳව විමසීමේදී නිර්මාණශීලිත්වය එහි අග්‍රඵල සේ දක්වන්නට පුළුවන්. එය ආකෘතිය හා අන්තර්ගතය මත ගොඩනැඟුණු සුසංයෝගයක්. නමුත් එහි පදනම ගොඩනැඟෙන්නේ නිර්මාණකරුවාගේ අනුභූතීන් පණගැන්වීම ඔහු හෝ ඇය තුළ පවතින අවබෝධය, දැනුම හා අත්දැකීම් පාදක කරගෙන අරමුණ හෙවත් අප බලාපොරොත්තු වන සංවේදනා මතුකර ගැනීම හරහායි. මේ සඳහා මට අවස්ථාව සැලසෙන්නේ සුජීව පතිනිසේකර නම් වූ වේදිකා නාට්‍ය නිර්මාණශිල්පියාගේ Untouched වේදිකා නාට්‍ය නිර්මාණය තුළින් මං විශ්වාස කරනවා සාත්වික හා වාචික අභිනයෙන් භාවපුර්ණ හා ප්‍රශස්ත ලෙස ශාරීරික ප්‍රකාශනය මුසු කරමින් මේ කාන්තා චරිතය නිරූපණයට මා සමත්කම් දැක්වුවා යැයි කියා එය මට සතුටක්. ජාත්‍යන්තරයෙන් මා ලැබු ඒ ඇගැයිම සදානන්දනීයයි. කලා ශිල්පියකු / ශිල්පිනියක වෙත ඔවුන් දක්වන ගෞරවාදරය බොහොම ඉහළයි.
Untouched හි ඔබේ චරිතය කෙසේ ඔබට දැනුනේ?
මේ වේදිකා නාට්‍යයේ සිටින එකම පාත්‍ර වර්ගයා මේ චරිතය පමණයි. රංගභූමිය ප්‍රධාන වශයෙන්ම මාළු දැල් දෙකක් තුනක් සහ වතුර බටවලින් සකසා ගත් ඇටවුමක් මත සුදු පැහැති දැලක් එළා ගැනීමෙන් සකස් කරගත් නිර්මාණාත්මක අවධානයක් තුළයි මට රඟපාන්නට අවස්ථාව ලැබුණේ. සැබැවින්ම එය අති දුෂ්කර කටයුත්තක්. දැළ ඇතුලේ රංගනය ඉදිරිපත් කරන විට මගේ හිස මතින් දැල ඇදී යනවා පැටලෙනවා. ඒ වගේම ඒ දැල් ඇතුළේ කටයුතු කිරීම බොහෝ වෙහෙස කරයි. නමුත් මම ඒ රංගභූමියට අනුගත වූ මාළු දැල සහ සියලු රංග භාණ්ඩ හා මෙවලමක් එක්ක හොඳීන් බද්ධ වුණා. ඉතාම කෙටි කාලයක් ඇතුළත මට ඒ අභියෝගය ජයගන්නට සිදු වුණා. මං හිතනවා මං ඒ අභියෝගය ඉතා හොඳින් ජය ගත්තා කියා.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කුවේරා ජාත්‍යන්තර නාට්‍ය උලෙළ වගේම ඉන්දියාවේ ච්භථ ච්භථ ජාත්‍යන්තර නාට්‍ය උළෙල තුළ සම්මානිත වූ ඔබ අපේ රටේ ජාතික නාට්‍ය උලෙළ වන රාජ්‍ය නාට්‍ය උලෙළේ දී කිසිම ඇගැයුමකට පාත්‍ර වූයේ නැහැ?
ඇත්තටම ඒ පිළිබඳ හරිම කනගාටුයි. අපේ රටේ විනිශ්චය මණ්ඩලවල සිටිනා ජ්‍යෙෂ්ඨ කොයි තරම් කුහකයන් දැයි කලකිරිමක් ඇති වුණා. ඔවුන් දක්ෂයාට අත දෙනවාට වඩා දක්ෂයා මේ සමස්ත කලා ක්ෂේත්‍රයේ අතුගා දමන්නටයි කටයුතු කරන්නේ. බලන්න අද වන විට අපේ රටේ නාට්‍ය කලාවට දශක 3ක් තිස්සේ අප්‍රමාණ සේවාවක් ඉටුකරපු එම්. සෆීර් වගේ නිර්මාණ ශිල්පීන් ක්ෂේත්‍රය පිළිබඳ කලකිරීමට පත් වෙලා අපේ රටේ කලාව ජාත්‍යන්තරයට රැගෙන ගිය ශිල්පීන්ටත් මොනතරම් අසාධාරණයක් ද සිදුවන්නේ මට මතකයි රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට තේරී පත් වූ සියලු නාට්‍ය පේරාදෙණිය සරසවියේ එළිමහන් රංග පීඨයේ ජනගත කළා. නමුත් Untouched නාට්‍ය ඒ අවස්ථාවක් වත් ලැබුණේ නැහැ. ඇයි මේ විදියට ක්‍රෑර ලෙස කටයුතු කරන්නේ. කවුරුන් හෝ සිතනවා නම් මේ තුළින් අපි යන ගමන නවත්වන්න එය ඔවුන්ට සිදු වූ විශාල වැරදීමක්. නාට්‍ය නරඹා මට සුබ පැතු, මාව අගය කළ ඇතැම් ප්‍රවීණයන් විනිශ්චය මණ්ඩලයකට, ජූරියකට ගියාම කියන්නේ වෙනත් දෙයක්. මේක පුදුම මිනිස්සු ඉන්න රටක්.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේ හඬ පුහුණුව පිළිබඳ හැදෑරූ ඔබ ඉන්පසුව එතුමාගේ නිර්මාණ සඳහා දායක වෙනවා. ඔබ සරසවි වරම් ලබන්නේ එතැනින්
ඔව්. සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් (මාස්ටර්) ළඟ ඉගෙන ගැනීම තුළ සංගීතය පමණක් නොවෙයි. නිර්මාණත්මක සන්නිවේදනයේත් විවිධ ඉසව් ස්පර්ශ කරන්නට මට හැකි වුණා. එතුමාගේ අග්නි ඔපෙරාවේ ගායනා දායකත්වය තුළ මට රංගනයේ යෙදෙන්නටත් සිදු වුණා. මා තුළ සැඟව සිටි රංගනවේදීනිය අවදි වන්නේ එතැනින්. අනතුරුව ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ ‘සතර දෙනෙක් සෙන්පතියෝ‘ ටෙලි නාට්‍යයේ ‘මේ පුදුම පුදුම සිල්වත් රාත්‍රියේ‘ ගීත ගායනය වෙනුවෙන් හොඳම පසුබිම් ගායනයට නිර්දේශ වුණා.
හොඳම චිත්‍රපට නිළියටත් ඔබ නිර්දේශ වුණා?
ඔව්. උපාලි ජයලත් මහතා අධ්‍යක්ෂණය කළ ‘කළු හිම‘ සිනමා පටය රූගත කළේ නේපාලයේ. මේ චිත්‍රපටය සිනමාහල්වල තිරගත වුණේ කෙටි කාලයකට පමණයි. ඒ නිසා එය නැරඹීමට ප්‍රේක්ෂකයාට එතරම් අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මෙහි මගේ රංගනය වෙනුවෙන් ජනාධිපති සිනමා සම්මාන උලෙළේ සහ දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම නිළිය සඳහා නිර්දේශ වුණා.
නාට්‍යවේදී ලුෂන් බුලත්සිංහල නිෂ්පාදනය කළ ‘රතු හැට්ටකාරී‘ නව නිෂ්පාදනය ඔබගේ ප්‍රාසංගික කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මා දකිනවා.
ඔව්. අනිවාර්යයෙන්ම ‘රතු හැට්ටකාරී‘ මං කුඩා කාලයේ පටන්ම ප්‍රියකළ වේදිකා නාට්‍යයක්. එහි රතුහැට්ටකාරී ලෙස රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පීනි අනුලා බුලත්සිංහල මහත්මියගෙන් මට නව නිෂ්පාදයේ චරිතය සාර්ථකව සිදුකරන්නට ලබාදුන් අනුපමේය සේවය මේ මොහොතෙත් බැතිබරව සිහිපත් කරනවා. මේ නාට්‍ය තුළින් මගේ ගායන, නර්තන, රංගන හැකියාව අපේ ප්‍රේක්ෂකයාට සමීප කරවන්නට හැකි වුණා කියා මම විශ්වාස කරනවා.
පුංචි තිරයේ දී ඔබ මුලින්ම හමුවන්නේ ස්ටාර් ශ්‍රී ලංකා හිස්තැනක් ටෙලි නිර්මාණයෙන්?
ඔව්. ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරා මහතා (මහේන්ද්‍ර අයියා) අධ්‍යක්ෂණය කළ ස්ටාර් ශ්‍රී ලංකා හිස්තැනක් ටෙලි නිර්මාණය තුළත් මට දැනෙන යමක් කරන්නට ලැබුණා. විශේෂයෙන්ම මහේන්ද්‍ර අධ්‍යක්ෂණ කටයුකු කිරීම නාට්‍ය පාසලක හැදෑරීමක් වගෙයි. ඔහු තමා දන්නා දේ නිර්ලෝභීව අයෙක්. මං නිරූපණය කළ චරිතය සාර්ථක කර ගන්න ප්‍රබල ශක්තියක් ලබා දුන්නා. ඊට පස්සේ ගිරිකුල නාට්‍යයට සම්බන්ධ වුණා. එහි රංගනයට හොඳම සහාය නිළියට නිර්දේශ වුණා. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ ඉලන්දාරි හැන්දෑව ටෙලි නිර්මාණයේ දී මට ගායනය, නර්තනය, රංගනය අංශ තුනේම හැකියාව පෙන්නන්ට අවස්ථාව ලැබුණා.
‘නුඹේ සුසුම්වලින්
කියන කතා
මඟ හරිනු බැරි
ඒ සුසුම් බර වැඩියි
මම ආදරේ කරයි
ප්‍රියන්ත අයියාගේම (ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු) සකර්ම ටෙලි නිර්මාණයේ ‘ලොක්කී‘ චරිතය වෙනුවෙන් ජුරියේ විශේෂ කුසලතා සම්මානයක් හිමි වුණා. ඒ වගේම ‘සංසාරණ්‍ය අසබඩ‘ ටෙලි නාට්‍යයේ ‘කුමී‘ ගේ චරිතයත් මට මේ මොහොතේ සිහිපත් වෙනවා.
තරණ සීගිරි ඔපෙරාව නැවතත් ඔබ ඔපෙරා ශිල්පිනියක් බවට පත්වෙනවා.
ඔව් කේමදාස මාස්ටර්ගේ ‘අග්නී‘ ඔපොරාවෙන් පසුවයි. නැවත ඔපෙරා නිර්මාණයකට සම්බන්ධ වන්නේ. අජිත් ක්‍රිශාන්ත ද සේරම් ලිබ්‍රාටෝව රචනා කළ තරණ සීගිරි ඔපෙරාවේ සංගීතය අධ්‍යක්ෂණය කළේ සාගර විජේසිංහ. තරණ සීගිරි ඔපෙරාව තුළින් ඉගෙනගත් ශාස්ත්‍රය හොඳ වැඩකට හොඳ නිර්මාණයකට යොදා ගන්න හැකිවුණා කියා මං විශ්වාස කරනවා. ගුරු ගීතය නම් වූ විශිෂ්ට නිර්මාණය ඔපෙරාවට නැඟීමට සුමුදු පතිරාජ අයියා කටයුතු කරමින් සිටිනවා. ඉදිරියේදී එයටත් දායක වීමට බලාපොරොත්තු වෙනවා.
Love and Lockdown වේදිකා නිර්මාණයෙන් නැවතත් ඔබ Mono Drama නිෂ්පාදනයන් සඳහා දායක වෙනවා?
ඇත්තටම මොනො ඩ්‍රාමා එහෙමත් නැතිනම් ඒකපාත්‍ර නාට්‍ය යනුවෙන් අදහස් වන්නේ එක චරිතය නිරූපණය කරන, තනි නළුවකු හෝ ගායකයකු සිටින, නර්තන ශිල්පියෙකු විසින් රඟ දක්වන ලද නාට්‍යමය හෝ ඔපෙරාමය ශානරාංගයක්. අපේ රටට ඒකපාත්‍ර නාට්‍ය කලාව හඳුන්වා දුන් එම්. සෆීර් මහතාගේ නාට්‍ය නිර්මාණයකට සම්බන්ධ වන්නට ලැබීම මං දකින්නේ ඉමහත් භාග්‍යයක් හැටියටයි. Love and Lockdown නිර්මාණය තුළ කාන්තාවන් අභ්‍යන්තරයෙන් විඳවන සංවේදතාවන් පිළිබඳ ඉසියුම්ව කතා කරනවා. මෙහිදී කඹ ආධාරයෙන් සිදු කරන ක්‍රියා, සෙවණැලි නාටක සම්බන්ධ තාක්ෂණික භාවිතයන්, ඇතුළු නව්‍ය ක්‍රමෝපායන් සමඟ අපුරු අත්දැකීමක් ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට Love and Lockdown තුළින් අපට හැකිවුණා.
හෙට දවස ගැනත් කතා කරමු
හෙට දවස ඇත්තටම අවිනිශ්චිතයි. ඒත් බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. මට තරගයක් තිබෙන්නේ මා සමඟ පමණයි. ලැබෙන අවස්ථාවන්ගෙන් ප්‍රශ්සත දායකත්වය ලබාදී කලාකෙත සශ්‍රීක කරන්නටයි මගේ වෑයම. අකුල් හෙළීමෙන්, සම්මාන නොදී සිටීමෙන් කිසිම මොහොතක මාව අපහසුතාවයට පත් කරන්න බැරි බව මං පෙන්වා අවසන්. මගේ ගමන මං බොහොම ශක්තිමත්ව අවසානය කරාම යනවා. කිසිවකුට එය නවත්වන්නට ඉඩ දෙන්නේ නෑ.