වැසී ගිය සිනමාශාලා ගින්දරී 3 සමඟ විවෘත වුණා

ප්‍රවීණ අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය
ජනවාරි 12, 2023

පසුගිය දෙසැම්බර් 1 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ ප්‍රවීණ හා ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය ගින්දරී 3 මේ වන විට ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වෙමින් ප්‍රදර්ශනය වේ. චිත්‍රපටය ගැන වගේම ක්ෂේත්‍රය ගැනත් කතා කරන්න උදයකාන්ත වර්ණසූරිය සරසවිය අපි සම්බන්ධ කර ගත්තෙමු.

ගින්දරී ප්‍රදර්ශනයෙන් දින තිහ පසුකළා?

ගින්දරී 3 කියන්නේ මුලින් කළ ගින්දරි සහ ගින්දරි දෙක බහුභූතයෝ හි තුන්වැනි කොටස. චිත්‍රපටය කරලා අවුරුදු තුනක් පමණ බලන් ඉන්න වුණා චිත්‍රපටය පෙන්වගන්න. ප්‍රදර්ශනය පටන්ගෙන මාසයයි. මමත් නොසිතූ විදිහට ප්‍රේක්ෂකයා අතර අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා මෙම චිත්‍රපටය. රටේ මේ තරම් ප්‍රශ්න තියෙද්දිත් චිත්‍රපටයක් වෙනුවෙන් මේ විදිහට පෙළගැසීම හොඳ ප්‍රවණතාවක්. අපි හිතාගෙන හිටියේ රටේ පවතින ප්‍රශ්න එක්ක සිනමාව අර්බුදයකට ලක්වෙයි කියලනේ. ඒ සියලු අභියෝග හමුවේ ඉතා සාර්ථකව චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. එය ඉතාම සුබ ලකුණක් චිත්‍රපට කර්මාන්තයට. පහුගිය කාලයේ බොහොමයක් සිනමාශාලා වැසීගෙන ගියත් ගින්දරි 3 චිත්‍රපටය සමඟ විවෘතවෙලා තියෙනවා.

 

ප්‍රදර්ශනයෙන් පළමු සති දෙකෙන්ම වාර්තා බින්දා නේද?

ඔව්. චිත්‍රපට ප්‍රදර්ශනය පටන්ගෙන සති දෙකකදි රු. ලක්ෂ 225 ක් පමණ හොයන්න හැකි වුණා. මාසයක් තුළ ලක්ෂ පන්සියය තිහ ඉක්මවා තිබෙනවා. මෑත කාලයේ මේ ආකාරයට ආදායම් වාර්තා තබන්න චිත්‍රපටයකට හැකිවුණේ නැහැ. ගින්දරී 3 එය කරලා තිබෙනවා.

එහෙම වාර්තා අලුත් කරන්න තරම් ගින්දරි 3 චිත්‍රපටයට උදයකාන්ත වර්ණසූරිය මොනවද කළේ?

(සිනාවෙමින්) ගින්දරි චිත්‍රපටය මීට වසර 20කට පමණ පෙරයි ප්‍රදර්ශනය වුණේ. එය අතිශයින් ජනප්‍රිය වුණා. ඉන් පසුව ගින්දරි 2 බහුභූතයෝ ආවා එයත් ගින්දරීට වඩා ජනප්‍රිය වුණා. ගින්දරි තුනත් ගින්දරි 2 අභිබවායමින් තිබෙන්නේ. ලෝක ඉතිහාසය ගත්තත් එහෙමනේ. මේ චිත්‍රපටය ඉතාම වෙනස් විදිහකට හැඳුණු චිත්‍රපටයක් සහ විශේෂයෙන්ම මුල් චිත්‍රපට දෙක නැරඹු ප්‍රේක්ෂකයා මේකත් බලන්න පෙලඹෙනවා කියලා හිතෙනවා. දරුවන් ඉතාම කැමැති ඔවුන්ගේ ආකර්ෂණයට ලක්වුණු චිත්‍රපටයක් මෙය. ඒ නිසාම වැඩිහිටියනුත් මේ චිත්‍රපටය බලන්න එනවා සිනමාහලට. ඒ වගේම මෙහි රඟපාන නළු නිළියන් ගින්දරි පළමු චිත්‍රපටයේ සිටම ඉන්න අය.

 

මේ කාලය චිත්‍රපටය එළියට දාන්න හොඳම කාලය කියලා හිතලද ප්‍රදර්ශනය ආරම්භ කළේ නැත්නම් ප්‍රදර්ශනයට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තාද?

ඇත්තටම ලැබුණු අවස්ථාවේ මම චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න හිතුවේ. එහෙම වුණාට චිත්‍රපටය ප්‍රදර්ශනය කරන කාලෙත් හරි කියලා මට හිතෙනවා. අනෙක් අතට චිත්‍රපටයේ අන්තර්ගතය තුළ ජනප්‍රිය අංග රාශීයක් තිබෙනවා. ඒ සියලු කාරණා නිසයි මේ තරම් ආකර්ෂණයක් චිත්‍රපටයට ලැබිලා තිබෙන්නේ. කියල හිතනවා.

මොකද මේ යක්කු එක්ක ගනුදෙනු කරන්න හිතුණේ?

ගින්දරී කියන චරිතය අමනුෂ්‍ය චරිතයක්. මම එයට හාස්‍ය මුසුකොට නිර්මාණය කළේ කතා තුනම. මට මේ නිමිත්ත පහළ වුණේ ටර්මිනේටර් කියන ඉංග්‍රීසි චිත්‍රපටය නිසයි. ඒ කතා සංකල්පය මගේ හිතට වැදුණා. මේ චිත්‍රපටයේත් සිටිනවා දරුවෙක් ඔහුත් මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටියට දෙබිඩි චරිතයක්. අමනුෂ්‍ය ලෝකයෙන් කෙනෙක් ඇවිත් මනුස්ස ලෝකේ හිටියොත් මෙන්න මෙහෙම වෙයි කියලා හිතලයි මම මේක ලිව්වේ. මම අමතක කළේ නැහැ මේක හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් කරන්න ඕන කියන දේ. නැත්නම් මට මේක ඉතාම භයංකර එකක් බවට පත් කරන්න තිබුණා.

 

ගින්දරි සහ ගින්දරි දෙක බහුභූතයන්ගෙන් හොඳ ලාභයක් උපයන්න හැකි වුණු නිසාද කොටස් වශයෙන් චිත්‍රපට කරන්න හිතන්නේ?

ඔව්. ඇත්තටම ඔබ ඔය අහන කාරණයත් බලපෑවා. ගින්දරි එක සහ දෙක අසාර්ථක වුණා නම් මම තුන්වැනි එකක් කරන්නේ නෑ. එකට වඩා දෙක ජනප්‍රිය වුණා. දැන් දෙකට වඩා තුන ජනප්‍රිය වෙලා තිබෙනවා. අනෙක් අතට දර්ශන රාශීයක් තිබෙන නිසා හිතේ ඇඳෙන ඔක්කෝම එකම චිත්‍රපටයකට එක් කරන්න අපහසුයිනේ.

 

එහෙනම් හතරවැනි කොටසකුත් එයි?

මෙහෙමයි තුන්වැන්න මේ සාර්ථක වුණු ආකාරයට මට හිතෙනවා හතරවැන්නකුත් ප්‍රේක්ෂකයාට දුන්නොත් හොඳයි කියලා. එයත් වෙනස් විදිහකට හිතලා නිර්මාණය කරන්න ඕන. තාම මම සම්පූර්ණ නිර්මාණයක් කරලා නෑ. ඒත් මේ වනවිට මගේ හිතේ කිසියම් සිද්ධි දාමයක් පෙළගැසෙමින් තිබෙනවා හතරවැනි කොටසට. නුදුරු අනාගතේදී ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. අනෙක් අතට හතරවැනි කොටසක් කිරීමේ ප්‍රශ්නයක් නැහැ. මොකද මට එහි තිබෙන අවදානම අඩුයිනේ.

 

ගුණාත්මක චිත්‍රපට අතෑරලා ඔබත් වාණිජ චිත්‍රපට කරන්න ගිහින් කියලයි විචාරයට ලක්වෙලා තිබෙන්නේ?

මෙහෙමයි මමත් ආසයි රන්දිය දහර, සෙනසුරු මාරුව, මධුර චාරිකා වගේ චිත්‍රපට සුන්දර නිර්මාණය කරන්න. ඒවා ගුණාත්මක බවිනුත් ඉහළයි. නමුත් මේවායේ විනෝදය කියන කාරණාව නැහැ. එහෙම වුණොත් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයා ගිළිහෙනවා. මේකයි සත්‍යය. ලංකාවේ පමණක් නොවෙයි ලෝක සිනමාවෙත් සත්‍යය මෙයයි. මම වැඩිපුර හදන්න කැමැති ඒවා තමයි. මම එය තේරුම්ගෙන ඉන්නේ. විචාරකයා එය තේරුම් ගෙන නැහැ. මේ චිත්‍රපටයේ වුණත් විනෝදාත්මක දර්ශන සිනමා රූපීවයි මා ඉදිරිපත් කරලා තියෙන්නේ. ක්‍රියාකාරීව මේ ක්ෂේත්‍රයේ ඉන්නවිට තේරෙනවා ප්‍රේක්ෂකයාට මොනවද ඕන කරන්නේ කියලා. ඉදිරියේදීත් මගෙන් වැඩිපුරම විනෝදාස්වාදය සපයන චිත්‍රපට නිර්මාණය වෙයි. එහෙමයි කියලා ප්‍රශස්ත සහ ගුණාත්මක චිත්‍රපට බැහැර කරලා නැහැ.

 

හාස්‍යෝත්පාදක, සටන්, ළමා, ආදී වශයෙන් විවිධ ශානරයන් ඔස්සේ යමින් ඔබ කළ නිර්මාණ අතරට කරන්න මඟ හැරුණු අලුත් ශානරයක් එකතු කරනවද? නැත්නම් වැඩි කැමැත්ත තිබෙන්නේ ?

මේකට කියන්නේ පර්යේෂණාත්මක සිනමාව කියලා. පසුගිය කාලයේ මගේ අතින් නිර්මාණය වුණු දිය යට ගින්දර, ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් වගේ නම් වශයෙක් කියන්න පුළුවන්. දියයට ගින්දර, මධුර චාරිකා වගේ චිත්‍රපටවලට තිබෙන ප්‍රේක්ෂකයා ඉල්ලුම හරිම අඩුයි. එවැනි චිත්‍රපට කිරීමේදී අවධානම වැඩියි. අවම අවධානමක් තිබෙන්නේ විනෝදාත්මක චිත්‍රපට සඳහා. විවිධ ශානරයන් ඔස්සේ මමත් කැමැතියි චිත්‍රපට කරන්න. ඒත් අද කාලේ හැටියට එහෙම චිත්‍රපට කරන්න අවධානමක් ගන්න බැහැ. තවත් මගේ හිතේ චිත්‍රපට පහකට හයකට කතා සංකල්ප තිබෙනවා. ඒවා කරන්නයි මගේ ආසාව තිබෙන්නේ.

 

හිනස්සවන එක අමාරුද?

අනිවාර්යයෙන්ම. හාස්‍යෝත්පාදක චිත්‍රපට කරන එක ලේසි පහසු නැහැ. ඒක බාල බොළඳ විදිහට කරන්නත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොස්තාපල් පුඤ්ඤසෝම වගේ චිත්‍රපටයක් ගෙන බැලුවොත් තේරෙයි. මම රූපයෙනුයි බොහෝ වෙලාවට හිනස්සවන්නේ දෙබස්වලට වඩා. රෝස වසන්තය හිරිපොදවැස්ස වගේ චිත්‍රපට ගත්තත් ඒ තුළත් හස්‍යෝත්පාදනය තිබෙනවා. ගින්දරි වගේ චිත්‍රපට හාස්‍යෝත්පාදක චිත්‍රපට. මේවායේ පොඩි අතිශෝක්තියක් තිබෙනවා. රන්දිය දහර චිත්‍රපටයේ රඟපාන මහේන්ද්‍ර පෙරේරා නොවෙයි කොස්තාපල් පුඤ්ඤසෝම සහ ගින්දරි චිත්‍රපටවල ඉන්නේ.

 

ඔබ ලංකාවේ ජනප්‍රියම අධ්‍යක්ෂවරයෙක්. කොහොමද එහෙම වුණේ? මොකද්ද රහස?

කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩකරන තත්ත්වයට අපි වෘත්තීමය අතින් ස්ථාවර වෙන්න ඕන. නළු නිළියෝ පමණක් නොවෙයි කාර්මික ශිල්පීන් පවා මම එක්ක වැඩ කරන්න කැමැතියි. නිර්මාණයක් තුළ මම ඔවුන්ව සුහදව හසුරවන ආකාරය තමයි බලපාලා තිබෙන්නේ. මගේ නිර්මාණයකට සම්බන්ධවන ශිල්පීන් දන්නවා මම ආවට ගියාට චිත්‍රපට කරන්නේ නැහැ කියලා. විනෝදාත්මක හෝ වේවා කලාත්මක හැඩරුව ඇති චිත්‍රපටයක් හෝ වේවා මම ඉතාම බැරෑරුම් විදිහට ඒ නිර්මාණයට මූලිකත්වය දෙනවා. මගේ නිර්මාණයවලින් ක්ෂේත්‍රයට ආ බොහෝ ශිල්පීන් අද ඉතාම හොඳීන් වැජඹෙනවා. මම එක නිර්මාණ විලාසයකට කොටුවෙලා නැහැනේ. සිනමානු රීතිය සිද්ධාන්ත මම අනුගමනය කරමිනුයි මම නිර්මාණ කරන්නේ. සුළු සුළු බැණුම් ඇහුවත් මේ කියන කාරණා නිසයි වැඩි දෙනෙක් මගේ නිර්මාණ වැලඳගන්නේ සහ අගයන්නේ.

 

මෑත කාලයේ බොහෝ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරු නැවත ටෙලි නිර්මාණ කරන්න අරන්. ඔබට එහෙම අදහසක් නැද්ද?

ටෙලිනාට්‍යයකට වඩා ගොඩක් ඉහළින් සිනමාව තිබෙන්නේ. අද ටෙලිනාට්‍ය සතියෙ දවස් පහට ප්‍රේක්ෂකයා සංතර්පණය කරන්න කරන වෑයමක්නේ පේන්න තිබෙන්නේ. මම දිය සුළිය, හුමාලය වගේ නිර්මාණ කරද්දි සිනමා රූපීබව ආරක්ෂා කරගෙනයි ඒ නිර්මාණ කළේ. ඒකයි අදටත් ඒ නිර්මාණය ගැන කතා කරන්නේ. ඒ කාලෙත් මට ආසාව තිබුණේ චිත්‍රපට කරන්න. ටෙලිනාට්‍ය කරලා රූපය හසුරවන ආකාරය පිළිබඳ කිසියම් ආභාසයක් ලැබුවා. එය ලොකු පන්නරයක් වුණා සිනමාවට පිවිසීමේදී. ඒ කාරණයත් එක්කයි මෙහෙම රැඳීලා ඉන්නේ. මම ටෙලිනාට්‍ය හෑල්ලු කරන්නේ නැහැ. හරියට ගුණාත්මක විදිහට හසුරවනවානම් එහිදි හොඳ නිර්මාණ කරන්න පුළුවන්. කලා කෘතියක හොඳම රසය ලබන්න බැහැ ටෙලිනාට්‍යයෙන්. සිනමාවට විත් ආයෙම ටෙලිනාට්‍ය කරන්න ආසාවක් මට නැහැ. ඒ වගේම චිත්‍රපට නැති වුණොත් ටෙලිනාට්‍ය කරනවා කියන තැනත් මම නැහැ. හොඳ ඉල්ලීමක් ලැබුණොත් හොඳ තිර රචනයක් ලැබුණොත් මම එය නොකර ඉන්නෙත් නැහැ. මොකද මම ටෙලිනාට්‍යයෙන් බැහැර වෙලා සිනමාව කරනවා නොවෙයි. මේ වෙලාවේ සිනමා නිර්මාණ කරන්න වැඩිපුර අවස්ථාව ලැබිලා තියෙන නිසා තාමත් සිනමාව එක්ක රැදිලා ඉන්නවා. වැඩිපුර ආසාවත් ඒක තමයි.

 

චිත්‍රකතා ශිල්පියා කොයිතරම් දුරට බලපෑමක් ඇති කළාද සිනමාවට?

මට එහෙම සහජ හැකියාවකුත් තිබුණා චිත්‍රකතා අඳීන්න. ඒ කාලේ සිනමාව රූපවාහිනිය තිබුණට අපිට හරි දුරස්ථව තිබුණේ. ගැටවර කාලයේ මම චිත්‍රකතා ඇන්ඳා. ඒ කාලේ චිත්‍රකතාවලට ලොකු ඉල්ලුමකුත් තිබුණා. ඒ චිත්‍රකතා හරිම ජනප්‍රියයි ඒ කාලයේ. ඒ කාලෙත් මගේ අරමුණ සහ ආසාව වුණේ සිනමාවට පිවිසීම. චිත්‍රකතාවෙන් ලැබුණු පන්නරය එක්ක ටෙලිනාට්‍යයට පිවිසුණා. පසුව සිනමාවට අවතීර්ණ වුණා.

 

ඔබට සිනමාවට එන්න වගේම ඉන්නත් බලපෑමක් වුණු පෙර පරම්පරාවේ අධ්‍යක්ෂවරු ඇති?

මම කුඩා කාලයේ සිටම චිත්‍රපට බලන්න යනවා. ඒ කාලේ සිනමාව වෙනම තැනක තිබුණේ. එතකොට ටෙලිවිෂන් නැහැ. මම විස්මයට පත්වුණා වගේම විශාල සතුටක් ලැබුවා චිත්‍රපට බලලා. ඒ චිත්‍රපට හදන්නේ කොහොමද කියන දේ ගැන මම හිතන්න පටන් ගත්තා. ඒ නිසාම මම එය හදාරන්න පටන් ගත්තා. මේ සම්බන්ධ පොත පත කියෙව්වා. ඇඟට දැනෙන චිත්‍රපට කියවන්න පටන් ගත්තා. කවුද චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරු කියලා හොයන්න ගත්තා. එහෙම කුතුහලය එක්කයි මම මේ ගමන එන්නේ. මට එහෙම කිසිදු උදව්වක් හෝ තල්ලුවක් කාගෙන්වත් ලැබුණේ නැහැ. එහෙම ලැබෙන්න තරම් අපේ පවුලේ කලාවට සම්බන්ධව කවුරුත් හිටියෙත් නැහැ. සහජ හැකියාව හා දැවෙන ආශාව උනන්දුව එක්කයි මම මෙතැන ඉන්නේ.

 

මේ වෙද්දි චිත්‍රපට 26ක් කරලා තියෙනවා ඔබ. ඒවායේ අතිශය සාර්ථක වුණු චිත්‍රපට වගේම අසාර්ථක වුණු ඒවත් තියෙනවා?

මෙහෙමයි. මම කිසිම චිත්‍රපටයක් අකැමැත්තෙන් කළ ඒවා නොවෙයි. මේ හැම එකක්ම ඉතාම ආදරයෙන් නිර්මාණය කළ ඒවා. කවදාවත් කවුරුහරි නිෂ්පාදකවරයෙක් ඉන්න පලියට චිත්‍රපට කරලා නෑ. මට කිසිම දුකක් නැහැ. මේ හැම නිර්මාණයකටම මම එකවගේ ආදරෙයි. අසාර්ථක සාර්ථක වීම වෙනමම එකක්. එක්තරා විදිහක වෙළඳාමක්නේ මේ. ඒ කාරණය තුළ සමහර නිර්මාණ හෝ නිෂ්පාදන අසාර්ථක වෙලා තිබෙනවා. නෑ කියන්න බැහැ. නමුත් එහෙම කියලා එහෙම චිත්‍රපට කරා කියලා මම පසුතැවෙන්නේ නැහැ. මම පුද්ගලිකව ආස කරන චිත්‍රපට තිබෙනවා. රන්දිය දහර, හිරිපොදවැස්ස, මධුර චාරිකා, බන්ධනය වගේ. ඒ ඇරෙන්න පසුතැවෙන්න නිර්මාණය කරලා නැහැ.

 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් නිසා ඔවුන් ඉක්මනටම තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරගන්නවා. ඒකෙන් නවක අධ්‍යක්ෂවරුන්ට බොහෝ කාලයක් තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරගන්න වෙන්නේ නැහැ කියන කාරණය ඇත්තද?

මෙහෙමයි. චිත්‍රපටයක් හදන එක වෙනම කතන්දරයක්. ප්‍රදර්ශනය කරන එක තවත් එකක්. චිත්‍රපටක් ප්‍රදර්ශනය කිරීම අර්බුදයක් තමයි. විකුණන්න ‍යෑමෙදී අපිට සිනමාශාලා නැහැනේ. වෙන අයගේ ඒවයේනේ අපේ චිත්‍රපටය පෙන්වන්න වෙන්නේ. නිර්මාශීලී පැත්තට වඩා ඒ අය හිතන්නේ චිත්‍රපටය මාර්කට් කරන්න පුළුවන් විදිහ. ප්‍රදර්ශකයින්ට අදාළ නැහැ මෙයා මේ චිත්‍රපටයට කොයිතරම් වියදම් කරාද මේකට කොයිතරම් මහන්සි වුණාද කියන එක. ඔවුන් හිතන්නේ මේ චිත්‍රපටය වෙළඳපොළට සුදුසුද නැද්ද කියන කාරණාව. මේක විකුණන්න පුළුවන්ද කියන එක. හැදිලා තිබෙන බොහෝ චිත්‍රපට වෙළඳ වටිනාකමක් නැති චිත්‍රපට. විකුණන්න පුළුවන් නම් සිනමාශාලා හිමියෝ හැකි ඉක්මනින් අරගන්නවා. මට තිබෙන එකම අවස්ථාව මම වැඩිපුර නිර්මාණය කරන්නේ විනෝදාත්මක චිත්‍රපට නිසා ප්‍රේක්ෂකයා එය ඉතා ඉක්මනින් වැලඳගන්න නිසා ඔවුන් ඒවා ඉක්මනින් තෝරගන්නවා. ඒ වාසිය මට තියෙනවා. මෙහෙම කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් උදයකාන්තගේ දුවපු නැති කලාත්මක නැති චිත්‍රපට තියෙනවානේ කියලා. ඒවත් දානවනේ කියලා. කලින් මම කළ කී දේ ගැන තිබෙන විශ්වාසය නිසා එහෙම වෙන්න පුළුවන්. අලුතින්ම චිත්‍රපටයක් හදාගෙන එන ආධුනිකයින්ට ඔය කියන ප්‍රශ්නය තියෙනවා. එවිට හිතනවා මේක අර්බුදයක් කියලා.ඒක ජයග්‍රහණය කරන්න ඕන. එහෙම නැතිව උදයකාන්තලා සෝමරත්න දිසානායකලගේ මාෆියාවක් නොවෙයි. අනෙක් අතට අපි හම්බකරලා දීලා තියෙන නිසා අපිට අවස්ථාව තියෙනවා.

 

[email protected]