වර්ෂ 2023 ක්වූ March 21 වැනිදා Tuesday
අපේ ෆිල්ම් එක අපි හදමු

පුදුම ඇඟේ අමාරුවක් තිබුණ මිනිහෙක් මම
නළුවරණය සමානයි චිත්‍රපටයේ වර්ණයට
‘ක්‍රවුඩ් ෆන්ඩින්’ යන තැනකට වැඩක් කරගන්නවාට වඩා ඉන්න තැන සතුටින් ඉන්න ක්‍රමයක්
විජේරාම හන්දියේ සුපුරුදු කලබලය වෙනසක් නැත. වාහන නළා හඬ, වේගයෙන් ගමන් කරන රථ පෙළ, මිනිසුන්, ගැහැනුන් අතරින් ගොස් තැප්‍රොබේනයට රිංගා ගත් විට ඒ සියලු කලබල අප අතරම තිබුණා වුවත් ඒවා අපේ නොවන බව පසක් වන්නට මොහොතක්වත් ගත නොවීය. තැප්රොබේනයේ සන්සුන්කම එලෙසම පවතිද්දී මහා කලබලයක් ඒ තුළද ඇති බවට ඇත්තේ ඉවක් පමණි. ඒ එය හැල්මේ දුවන්නක් නොව සැලසුම් සහගත කටයුත්තක් බැවිනි. ඒ ඒ වගකීම් දරන පිරිස් සැහැල්ලුවෙන් ඒ කලබලයට මුහුණ දෙති. අයෙක් පරිගණක යන්ත්‍රවලට එබීගෙන නානා සිතුවම් මවති. තවත් අය අයිපෑඩ්වල සංගීත සැකැසුම්වලට දැහැන්ගතවය. සමහරු කැමරා යන්ත්‍රවලින් රූප තෝරමිනි. මුළුතැන්ගෙයින් කේතලයක සුරුවම් හඬ ද ඒ රිද්මයටම මුසු වී ඇසේ. මේ සියලු දෙනාට ඇත්තේ එකම අරමුණකි. ඒ ‘තංගමලේ ඩයරීස්‘ මේ මහපොළොව මත යථාර්ථයක් වනු දැකීමය.
‘අපේ චිත්‍රපටය අපි හදමු‘. පරිගණක තිරයක ලොකු අකුරින් මතු වෙනු මගේ ඇස් කොනට හසුවෙයි. චිත්‍රපටයක් යනු ‘අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය‘ බව ප්‍රකට බැවින් මේ හවුලේ හදන්නට යන නල්ලමලේ චිත්‍රපටය ගැන අසන්නට එහි නිෂ්පාදක, අධ්‍යක්ෂ, ප්‍රධාන නළු ආදි භූමිකා රැසකට හිමිකම් කියන කතා නායකයා එනතුරු මම රාක්කවල ඇති පොත් පත් දෙස බැලුම් හෙළමින් සිටිමි.
‘උපුල් ශාන්ත සන්නස්ගල‘ සන්නාමයක් බැවින් ඔහු කවුදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ සිංහල පන්තියට ගිය සිසුහු ඔහු ගැන භාෂා ගුරුවරයකු ලෙස දනිති. දේශපාලනයට උනන්දු අය ඔහුගේ දේශපාලනය ගැන කතා කරති. චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ ඇත්තන්ට ඔහු නිෂ්පාදනය කළ ‘අක්ෂරය‘, ‘තනි තටුවෙන් පියාඹන්න‘ සහ ‘සුළඟ එණු පිනිස‘ ගැන කිව හැකි දේ බොහෝය. පොතට පතට ළැදියෝ ඔහුගේ සාහිත්‍ය කෘති හඳුනති. එකී නොකී තවත් බොහෝ දේ ඔහු ගැන කියන්නට දන්නෝ ද තව බොහෝ වෙති. එහෙත් තංගමලේ ඩයරීස් ගැන අසන්නට ඒ සියලු දෙනාට ඇති කුතුහලය සියල්ලට ඉහළින් වැජඹෙයි. හේතුව වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ ගෙනෙන තොරතුරුවල ස්වභාවයයි.
කළු ස්කිනියකින් සැරසී කොණ්ඩය පෝනිටේලයක් සේ සකසාගෙන රවුම් කළු උපැස් යුවළ විනිවිදිමින් බලා පඩිපෙළ දිගේ පැමිණි ඔහු සැටියේ අසුන්ගෙන දුම් රොටුවක් පිටකරමින් සිත සැහැල්ලු කර ගත්තේ කතාවට සූදානම් බව කියන්නට මෙනි. ඒ තනිවම නොවේ රේඛීය නිෂ්පාදක නලින්ද ප්‍රේමරත්න ද සමඟිනි. මට ආරම්භයක් නොදී ඔහුම ආරම්භයක් ගනී.
“මම නලින්දත් එක්ක කිසිදු කලා කෘතියකට මීට කලින් සම්බන්ධ වෙලා නෑ. අනෙක් අතට මම මැදිවිය ඉක්මවමින් ඉන්න කෙනෙක්, නලින්ද මැදිවියට ළං වෙමින් ඉන්න කෙනෙක්. හැබැයි මම මේ ෆිල්ම් එකේ ලයින් ප්‍රඩියුසර් හැටියට නලින්දව තෝරා ගන්නේ යාළු මිත්‍රයන් ආදිය කියූ දේ සමඟ සාමූහික තීරණයක් හැටියට.“
මොකක්ද මේ චිත්‍රපටයේ රේඛීය නිෂ්පාදකගේ කාර්යභාරය? නලින්දට ඒ පිළිබඳ මීට පෙර තිබෙන අත්දැකීම් මොනවාද? මම කතා නායකයා සමඟ කතාව පසෙක තබා එය විමසමි. “ඇත්තට නලින්ද මමත් අද තමයි කවදාවත් අහපු නැති ඒ ප්‍රශ්නයට පිළිතුරු දැනගන්නේ“ මට වඩා ඒ පිළිතුර ගැන උනන්දුවකින් ඔහු පවසයි.
“චිත්‍රපටයක නිෂ්පාදකවරු විවිධ ආකාරයෙන් ඉන්න පුළුවන්. රේඛීය නිෂ්පාදක තමයි නිෂ්පාදනයක නිර්මාණාත්මක පැත්තයි, සැපයුම් පැත්තයි තුලනය කරන්නේ. සමහරු කියන විදිහට චිත්‍රපට නිෂ්පාදනයක හදවත රේඛීය නිෂ්පාදකවරයායි. තවත් අය කියන විදිහට චිත්‍රපටයේ සෑම ඇණමුරිච්චියක්ම හරියට ගළපලා එය ධාවනය වන ආකාරයට ගොඩනඟන්නේ මේ භූමිකාව හොබවන්නා. අවසාන වශයෙන් ගත්තාම නිර්මාණාත්මකව, කාර්යක්ෂමව, නියම වෙලාවට චිත්‍රපටය නිෂ්පාදනය වෙනවා කියන දේ තහවුරු කරන සමස්ත වගකීම හිස දරන්නේ ලයින් ප්‍රඩියුසර්. බොහෝ වෙලාවට ලංකාවේ නිර්මාණවලට ලයින් ප්‍රඩියුසර්ලා සම්බන්ධ වන ක්‍රමවේදයක් නෑ.
කොහොම වුණත් මමත් මුලින්ම පටන් ගත්තේ පත්තරෙන්. ඉන්පසු විද්‍යුත් මධ්‍ය ආයතන කිහිපයකම සේවය කරලා ඒ දැනුමත් ලබාගෙන රූපවාහිනී වෙළෙඳ ප්‍රචාරක පැත්තට යොමු වුණා. රූපවාහිනී දැන්වීම් තුන්සියයකට අධික සංඛ්‍යාවකට සම්බන්ධව කටයුතු කළා. යූටර්න්, තාල ආදි චිත්‍රපට කීපයකත්, කෙටි චිත්‍රපට රැසකත් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ සියල්ල අතර නාට්‍ය හා රංග කලාව පිළිබඳ හැදෑරීම් කළා. එහිදී සංවර්ධනය උදෙසා නාට්‍යකරණය සම්බන්ධව ඉගෙන ගන්න ලැබුණා. දැන් මම යන්නේ ඒ විෂයය ඔස්සේ.“
කෙටියෙන් අකුරට පෙරළුවත් දිගු විස්තරයක් වූ එයින් සෑහීමට පත්ව තංගමලේ ඩයරීස් ගැන විමසන්නට කතා නායකයා චිත්‍රපටයේ අධ්‍යක්ෂ උපුල් ශාන්ත සන්නස්ගල දෙසට හැරී “මොකක්ද මේ තංගමලේ ඩයරීස් කියන්නේ?“ විය යුතු ලෙසම පළමු පැනය අසමි.
“මේ චිත්‍රපටය මගේ සිහිනයක්. මා ගැන දන්න අය දන්නවා මම චූටි කාලේ ඉඳන් නාට්‍ය කරන්න ආසා කළ, චිත්‍රපට නිෂ්පාදනය කළ, රඟපාන්න ආසාවෙන් හිටිය චරිතයක්නේ. ඒත් මට අවුරුදු පනහක් වෙනකල්ම මම ගත කළ වෘත්තීය ජීවිතේ නිසා කලාව කියන්නේ මම නිකං අහුලං කෑව දෙයක් විතරයි. ඒ කාලය අතරේ ඔය දඩිබිඩියේ නවකතාවක් දෙකක්, සින්දුවක් ලියලා තියෙනවා. ඇත්තටම මම ටියුෂන් ගුරුවරයෙක්නේ කියන්නේ අතිශය කාර්යබහුල ආර්ථික මිනිහෙක්. (ආර්ථික මිනිසා යන්න ඔහු ඊට පෙර සුහද කතා බහ අතරේ පැවසුවේ බිස්නස් මයින්ඩඩ් යන්නට පර්යාය පදය ලෙසය.) මම චිත්‍රපට නිෂ්පාදනය කළේ අර ආර්ථික මිනිහාට සල්ලි තිබෙන කාලේ. නාට්‍ය නිෂ්පාදනවලට, සින්දු හදන්න සල්ලි දුන්නේ, සමහර චිත්‍රපටවලට මගේ ගානේ සින්දු හදලා දුන්නේ මම. එහෙම පුදුම ඇඟේ අමාරුවක් තිබ්බ මිනිහෙක් මම. ඒත් මගේ වෘත්තිය ජීවිතය අතහරිනවාත් සමඟම තමයි කොරෝනා කාලේ ආවේ. ඒ එක්කම ලොකු හුදෙකලාවක් දැනෙන්න ගත්ත නිසා මම මලයාලම් චිත්‍රපට බලන්න පෙලඹුණා. ඒවායේ තිබුණු රෙසිපිය මගේ භාෂාව ඇතුළේ මට අහුවුණේ අයිසින් කෑල්ල ඉවත් කරපු හින්දි සිනමාවම විදිහටයි. එතැනදි අර දිලිසෙන තරු වෙනුවට ඔරිජිනල් මිනිස්සු ටිකක් අපට හමුවෙනවා. ඒ කේරළය නිසා ඔවුන් එක්ක අපේ ඥාති සබඳතාවක් දැනෙනවා. මලයාලම් චිත්‍රපට දහයක් විතර බලද්දි මට දැනුණා මේ අය කතා කරන්නේ මම ඉපදුණු ප්‍රදේශය ගැනම නේද කියලා. මොවුන් කතා කරන්නේ තංගමලේ ලැයින් කාමර ගැන, තංගමලේ රේල් පාර ගැන, තංගමලේ ඉන්න වෙළෙන්දො ගැන, අපේ සිංහල ගමේ අය ගැන, බෞද්ධයෝ ටික, කතෝලිකයෝ ටික ගැන නේද කියලා මට තංගමලේ කියන එක අහුවෙනවා මලයාලම් වට්ටෝරුව ඇතුළෙ සමස්තයක් විදිහට. ඒක තමයි තංගමලේ ඩයරීස් චිත්‍රපටය කියන්නේ. එච්චරයි චිත්‍රපටය ගැන කියන්නෙ සහ කියන්න තියෙන්නේ. ඉතින් මම ආසයි ඒක මේ චිත්‍රපටය ඇතුළෙ අත්විඳීන්න“
එතකොට ඔබ පළමුවැනි වතාවටනෙ චිත්‍රපටයක් වෙනුවෙන් මෙහෙම කතාවක් ලියන්නේ?
“ඔව්. චිත්‍රපටයේ කතා පුවත ප්‍රබන්ධ කළේ මම තමයි. හැබැයි මම තිර නාටක එකක්වත් ලීවේ නෑ. එය අවුරුදු දෙකක් විතර සංවර්ධනය කරනවා කණ්ඩායම් කීපයක් සමඟ. ඒ අනුව අවසන් පිටපත ලීවේ තණමල්විල කොල්ලෙක් ටෙලිපිටපත ලියූ සුසිත විජේමුණි.“
කතාවක් තිබෙනවා තිර නාටකය හරියට හදාගත්තාම චිත්‍රපටයෙන් අඩකට වඩා නිම වුණා හා සමානයි කියලා?
“ඔය කතාව කියලා තිබුණේ තිස්ස අබේසේකර. ඔහු කියන විදිහට තිර නාටකය හරියට අවසන් වුණාම චිත්‍රපටයෙන් සියයට හැත්තෑවක් නිමයි. ඒක මගේ කණ්ඩායම තහවුරු කරනවා. තිරනාටකය සමඟ මෙතෙක් කලක් වැඩ කළේ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය සහ ප්‍රඩක්ෂන් ඩිසයිනර් බිමල් දුෂ්මන්ත. අවුරුදු තුනක් විතර මාත් එක්ක සංගීතය පිළිබඳ වැඩ කළේ චින්තක ජයකොඩි. අපට දැන් පේනවා රූපගත කරන්න අවශ්‍ය කාරණා ටිකෙන් සියයට හැටක් පමණ. ඉතිරි කොටස සඳහා රූපගත කිරීම් ලබන අවුරුද්දේ මාර්තු 15 ආරම්භ කරනවා. ඒකට හේතුව තංගමලේ මල් පිපෙන්න පටන් ගන්නේ ඒ කාලෙට. මීදුම ගලන්නේ ඒ කාලේ. තංගමලේ ‘වයිබ්’ එක වෙනස් වෙන්නේ අවුරුදු සමයත් එක්ක. තිර නාටකය අවුරුදු තුනක් පමණ සකසන්න මහන්සි වන එක ලංකාවේ වෘත්තීය වශයෙන් වැඩ කරන කෙනකුට විශාල අත්දැකීමක් බව ඔවුන්ම මා සමඟ කියා තිබෙනවා. සමහර කොටස් අපි පුහුණු වීම් කරලත් තිබෙනවා. මේ පර්යේෂණය සාර්ථකද අසාර්ථකද කියා මම ඇත්තෙන්ම කතා කරන්න කැමැති චිත්‍රපටයෙන් පස්සේ.“
ඊළඟ පැනය විය යුත්තේ නළුවරණයයි. මම එය යොමු කරමි.
“නළු වරණය විතරක් නෙවෙයි. අනෙක් අංශවලත් වරණයක් තිබුණා. මම සින්දු ලියූ සහ චිත්‍රපට කළා විතරක් නෙවෙයි මේ ක්ෂේත්‍රයේ සියලු දෙනා ගත්තොත් මගේ යාළු මිත්‍රයන්. හැබැයි මම චිත්‍රපටයේ සංගීතය කරන්න තෝරා ගත්තේ චින්තක ජයකොඩි. ඔහු සමඟ මම මීට පෙර කිසිම වැඩක් කර නැහැ. ඒ නිසා ඒ ‘වරණය‘ චිත්‍රපටයේ ‘වර්ණයට‘ සමානයි. ප්‍රියන්ත සිරිකුමාර තමයි මේ චිත්‍රපටයේ නළුවරණ අධ්‍යක්ෂ. මමත් ඔහුත් චන්න දේශප්‍රියත්, නලින්දත් එක මේසයේ හිඳගෙන තමයි මේ නළු නිළිවරණය කළේ.
(ඔහු අනුමැතිය සඳහා මෙන් නලින්ද දෙස බලයි. නලින්ද හිස වනා එය ස්ථිර කරන්නේ මෙසේ කියමිනි. “රචකයා වචනයෙන් විස්තර කර තිබෙන චරිතවල ලක්ෂණ සොයා ගන්න පුළුවන් වගේම රංගන හැකියාව ඇති නළු නිළියන් තමයි අපි තේරුවේ.” ඉන්පසු යළිත් කතාවේ ඉතිරියට යොමු වෙයි. )
අපි නළුවරණය ක්‍රම දෙකකට කළා. එකක් අපි ලොකේෂන් ට්‍රිප් ගියාම. එය ඌව පළාතේ තංගමලේ කලාපයේ තිබෙන්නේ. තව විදිහකින් මේ වැලිමඩ සානුව. මෙය සිනමා සංස්කෘතිය පිළිබඳ සැඟවුණු රස තිබෙන කලාපයක්. උදාහරණයකට මේ අය විශාල වශයෙන් දෙමළ චිත්‍රපට බලනවා වගේම විශාල රසික පිරිසක් ඒ සඳහා ඉන්නවා. ඒ අය ආසාවෙන් ඉන්නවා චිත්‍රපටයක රඟපාන්න හැබැයි කවදාවත් අවස්ථාවක් ලැබිලා නෑ. ඒ නිසා අපි චිත්‍රපටයේ නළු නිළි සංඛ්‍යාවෙන් හරි අඩක් පමණ ඒ ප්‍රදේශවලින් තෝරාගත් අය නේද නලින්ද? (ඔහු යළිත් නලින්දට අවස්ථාව දෙයි)
නලින්ද එය තහවුරු කරයි. “ඔවු අපට අවශ්‍ය වුණේ තංගමලේ කතාවේ සිටින අව්‍යාජ ගැමි පිරිස ඒ විදිහටම සම්බන්ධ කරගන්න. මොකද කතාවේ සැබෑ රසය තිබෙන්නේ එතැන. එනිසා වේදිකාවේ, රූපවාහිනියේ, සිනමාවේ ආභාසය සහිත පිරිසක් එහෙ ගෙනගොස් නිර්මාණයක් කරනවාට වඩා මෙය අභියෝගයක් වුණත් චිත්‍රපටයට ගේන වටිනාකම අසීමිතයි. ඒ නිසා අපට යොදා ගත හැකි ප්‍රචාරක මාධ්‍ය රැසක් භාවිත කරලා, අත්පත්‍රිකා, පෝස්ටර් වගේම යකඩ කටක් බැඳගෙන ගම වටේ ප්‍රචාරක රථයක් යවලා නියම කරගත් දිනයක හපුතලේ නගර ශාලාවේ මෙන්ම ඌව වෙල්ලස්ස ගුවන්විදුලි පරිශ්‍රයේත් පැවැත්වෙන බව දැනුම්වත් කරලයි අප ඔවුන් ගෙන්වා ගත්තේ. අපි බලාපොරොත්තු වුණාට වඩා ප්‍රතිචාර එයට ලැබුණා. අවුරුදු දොළහ පහළොව වයසේ සිට අසූපහ දක්වා පමණ පිරිස සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටියා. ඔවුන් අතර නාට්‍ය හා රංගකලාව හදාරන අය මෙන්ම ඒ කිසිවක් පිළිබඳ දැනුමක් නැති තේ වත්තේ වැඩ කරන අයත් හිටියා.“
එහි රසවත් කතාව සඳහා යළිත් අවස්ථාව ලබා ගන්නේ සන්නස්ගලයන්.
“මේ කතාවේ ප්‍රධාන චරිතයකට දරුවෙක් අවශ්‍යව තිබුණා. චිත්‍රපටයේ අසීරුම දේ වෙලා තිබුණේ මේ කුඩා දරුවා තෝරා ගැනීම.“
මම බාධා කරමි. ඒ ඔබේ කුඩා කාලය නියෝජනය කිරීමටද?
(මදක් කල්පනාකර)
“නෑ. අපි කියමු මේ චිත්‍රපටයේ සුවිශේෂී චරිතයක් සඳහා දරුවෙක් කියලා. කොහොම වුණත් ඒ දරුවා දුටු ගමන් මුළු කණ්ඩායමම කීවා ‘අන්න අර දරුවා ඇවිත් ඉන්නවා‘ කියලා. ඒ තරම් අවබෝධයක් අපට චරිත ගැන තිබුණා.
දෙවැනි ක්‍රමය අපි තැප්‍රොබේන් පරිශ්‍රයේ මාසයක් එක දිගට තෝරාගැනීමේ පරීක්ෂණ පැවැත්වූවා. එතැනදිත් අපට විශේෂ දේවල් සිදු වුණා. යාපනය, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලින් පිරිස් තෝරා ගත්තා. එහිදී අපේ සබඳතා භාවිත කර විශේෂයෙන් මඩකලපුව.
මම ලංකාවේ සිංහල සිනමාව කියන වචනය භාෂාර්ථයෙන් දැඩිව ප්‍රතික්ෂේප කරනවා මේ වෙද්දි. එය ලංකාවේ සිනමාවට කළ හානියක් ලෙස මම දකිනවා. ශ්‍රී ලාංකික සිනමාව කියන අර්ථයෙන් ගත් දෙය සිංහල සිනමාව කීම නිසා ගෝත්‍රවාදී වෙලා කුලක වශයෙන් බෙදුණු නිසා තමයි මේ සිනමාව කුඩුපට්ටම් වුණේ. අපට ශ්‍රී ලාංකික සිනමාවක් තිබීම හොඳයි කියන අදහස තිබුණු නිසා යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවලින් පැමිණි පිරිස චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. ඒ වගේම කඳුකරයේ මලෙයිනාඩුවේ පිරිසත් යාපනයේ වෘත්තිකයන් පවා අප සමඟ සම්බන්ධ වුණා. අපට ලොකුම අභියෝගය වුණු පාර්වතීත් අර සුවිශේෂ දරුවා වගේම අපට සොයාගන්න අපහසුවෙන් හිටි චරිතයක්. අභිරාමි කට්කුනම් මේ පරිශ්‍රයට ඇතුළු වන විටම අපි සියලු දෙනා එකපැහැර දැනගත්තා පාර්වතී ආවා කියලා. එවා අහම්බයක් හෝ වාසනාව නොවේ අපේ වැඩපිළිවෙළ නිසා ඇතිවුණු අවබෝධය සමඟ ලැබූ දෙයක් ලෙසයි මම දකින්නේ.
දැන් මට පැනයකි. ඒ හේමාල් රණසිංහ, ඩබ්ලිව්. ජයසිරි වැනි අය පිළිබඳ තීරණය ගත්තේ කොයි මොහොතේද යන්නය...
එයට පිළිතුරු දීමට පෙර ඔහු අසුනේ හරිබරි ගැසී යළිත් දුම්රොටු කීපයක් මුදා හැරියේය.
“ඇත්තටම එක චරිතයක්වත් අපි අහඹු විදිහට තෝරගත්තේ නෑ. මේ සියලු චරිත චිත්‍රපටයට, තිර රචනයට, ඒ රෙසිපියට ගැළපෙන බවට කණ්ඩායමක් වශයෙන් ගත්ත තීරණ තමයි ඒවා. හේමාල් ගැන විශේෂයෙන් ලියන්න හිතනවා නම්, ප්‍රවේගය චිත්‍රපටයේ හේමාල් දැක්ක දවසේ තමයි මම හිතුවේ කවදා හරි ඔහු ලංකාවේ ස්ටාර් කෙනෙක් වෙනවා කියලා. ඉතින් මම හේමාල් දිහා බලාගෙන ඉන්නවා. ඔහු කියන කරන දේ, හිතන පතන විදිහ, නිකුත් කරන ප්‍රකාශ, දෘෂ්ටිවාදය, හැසිරීම පිළිබඳ මම බලාගෙන ඉන්නවා වගේම ඔහුගේ සියලු චිත්‍රපට මම බලලා තිබෙනවා. හැබැයි තංගමලේ ඩයරීස්වල ඔහු රඟපාන්නේ ඒ සියලු චරිතවලට වඩා වෙනස් එකක්. ඒ හේමාල්ගේ රංගනයේ මට හිතිච්ච තව කොටසක්.“
ඩබ්ලිව්. ජයසිරි, ජයනි සේනානායක ගැනත් තීරණ ගත්තෙ එහෙමද?
“ඔවු. හැම කෙනෙක් ගැනම ඒ දේ පොදුයි.“
(එයට තවත් අදහසක් එක්කරන්නට නලින්ද ඉදිරිපත් විය)
ඇත්තටම ක්ෂේත්‍රයේ යහළු මිත්‍රයන්නේ අපි සියලු දෙනා. ඒත් එහෙමය කියලා කිසිම කෙනෙකු මේ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ නෑ. සම්බන්ධ කරගත්තෙම පිටපතට අනුව චරිතයට හරියටම ගැළපෙන කෙනා විතරයි.
(ඒ දෙබස මැදින් සන්නස්ගලයන් මෙසේ කියයි)
මම තව පොඩි දෙයක් ගෞරවයක් වශයෙන් කියන්නම්. මගේ යාළු මිත්‍ර නළු නිළි සංගීතවේදීන් බොහෝ දෙනෙක් චිත්‍රපටයේ නෑ. මොකද මේ රටේ මුළු නළු නිළි සංහතියම යොදාගෙන චිත්‍රපටයක් කරන්න ප්‍රායෝගිකව බෑනේ. හැබැයි වරණයෙන් ආවරණය නොවන කිසිකෙනෙක් අමනාප වෙලාත් නෑ. ඒ හැමෝම මට කීව වචනය තමයි ‘මචං කියපං මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ උදව්ව කියලා‘. ඒ ගෞරවය මගේ හෘදය වස්තුවේ තිබෙනවා. ඉතින් මට ආශීර්වාද කරන්න ඉදිරිපත් වුණු ඒ සැමට මගේ මේ ‘උද්දච්චයි කියන හිස නමා‘ ප්‍රණාමය දක්වනවා.
පාර්වතීට තමිල්නාඩුවෙන් නිළියක් තෝරගන්න වුණේ අපේ රටේ නිළි පරපුරේ අඩුවක් නිසාද?
නෑ. ලංකාවේ නිළියන් අඩුයි කියා මම විශ්වාස කරන්නෙ නෑ. මගේ භාෂාමය වචනයකින් කීවොත් චිත්‍රපටයට නළු නිළියන් තේරුවේ ඔවුන්ගේ තරු ලකුණු ඔස්සේ නොවෙයි. පිටපතේ වර්ණය මලයාලම් රෙසිපිය කියා මා කීවානේ. ඉතින් ටයිටැනික් එක කරන්න නිළියක් නෑ කිව්වොත් මට පිළිගන්න පුළුවන්. ඒත් තංගමලේ කරන්න නිළියක් නෑ කීවට මට පිළිගන්න බෑ. තංගමලේ වගේ දහයක් කරන්න නිළියෝ මේ රටේ ඉන්නවා. අනෙක මලයාලම් සිනමාවේ විනයාගම් වගේ අය ඕනෙ තරම් ලංකාවේ හොයාගන්න පුළුවන්. ඒත් එයාට රඟපාන්න පුළුවන්ද කියන එකයි කාරණය වුණේ. නේද නලින්ද?
(නලින්ද පිළිතුරු දෙයි) ඔවු. අනෙක අභිරාමි කියන්නේ විදේශීය නිළියක් නෙවෙයි. ඇය මේ රටේ සම්භවයක් ඇති එහෙත් තමිල්නාඩු සිනමාවෙන් කළඑළි දුටු ශිල්පිනියක්.
හොඳයි ඔබ ලංකාවේ ජනාකර්ෂණීය සහ කලාත්මක වැනි ධාරා තිබෙන බව හෝ එවැනි මතයකින් සිනමාවට බලපෑමක් වනවාද යන්න ගැන හිතන්නේ කෙසේද?
මම හිතන්නේ ලංකාවේ කෙටි චිත්‍රපට හා චිත්‍රපට ධාරාවක් තිබෙනවා අන්තර්ජාතක සම්මාන උලෙළ වෙනුවෙන් කරන වශයෙන්. ඒවාට මම විරුද්ධ නෑ. ඒවා කරන්න ළමා චිත්‍රපට කියලා ජාතියක් තිබෙනවානේ. පස්සේ කාලෙක වෙච්ච දේ අනුව හඳයගේ වගේ චිත්‍රපට ඇරුණාම ළමා චිත්‍රපට ගණයට දැමූ වෙනත් චිත්‍රපටත් තිබෙනවානේ ලංකාවේ. ඒකත් තියෙන්න ඕනේ. එතකොට සමහරු කියනවානේ බාල වාණිජ චිත්‍රපට කියලා. ඒකත් ඕනෙ. ඔය ඔක්කොම එකතු වුණාම තමයි කර්මාන්තය හැදෙන්නේ. මම විශ්වාස කරන්නේ මෙය කර්මාන්තයක් හැටියට. ඒත් කලාත්මක චිත්‍රපට, සංස්ථාව මේ සියලු දෙයින් ගෙනා අදහස තමයි කර්මාන්තයෙන් එළියේ චිත්‍රපට පැවතීම. එය තිබෙන්නේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ. එයට දිය යුත්තේ සිනමා සංරක්ෂණ කටයුතු පමණයි. මෙය ලාභ ලබන ව්‍යාපාරයක් විය යුතුමයි. කර්මාන්තයක් වුණොත් විතරයි වෘත්තික ගෙවීමක් කළ හැක්කේ. කර්මාන්තයක් නොවන නිසා තමයි නිෂ්පාදකයන් සොයා ගැනීම අපහසු වී තිබෙන්නේ. ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය කරලා සියදිවි නසාගත් අය, ජීවිතේට නළු නිළියන්ගේ මූණ නොබලන, ශාලා ගාවින් වේගයෙන් යන අය ඉන්නවා. සිනමා ශාලාවලට ආයෝජකයන් නැති වුණා. ඒ වගේම 83 කට්ටිය මේවාට ගිනි තිබ්බා.
මම චිත්‍රපට තුනක් නිෂ්පාදනය කළා සල්ලි තිබුණ කාලේ. ඒ චිත්‍රපට තුනම සංකල්පීය වශයෙන් ගෞරවය පාත්‍ර වුණා. සම්මාන හිමි වුණා වුණත් නිෂ්පාදක වුණ මට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ලැබුණෙ නෑ. එහෙම වුණා නම් හතර වැනි චිත්‍රපටය වෙනුවෙන් මම වියදම් කරනවා. මෙය ඛේදවාචකයක් නෙවෙයි. මම කියන්නේ අත්දැකීම. දැන් මම චිත්‍රපටයක් කරන්න ගියාම මට නිෂ්පාදකයෙක් නැති වෙලා තිබෙනවා. අපි මාර්තු මැද රූපගත කිරීම් පටන් ගත යුතුයි. රුපියලේ අගය වෙනස් වෙලා. චිත්‍රපටයක් කරනවා තියා බුලත් විට කඩෙත් වැහිල යන කාලයක්. එහෙම තියෙද්දි චිත්‍රපටයක් කරනවා කීවාම බොහෝ දෙනා අහන්නේ ‘තොට පිස්සුද?‘ කියලා. මගේ උත්තරේ ‘ඔව්. මට එහෙම කලා පිස්සුවක් තියෙනවා තමයි. මගේ ජීවිතේ තියෙනකල් එය හොඳ වෙනවාට කැමැති නෑ.‘
ඔහු යොමු වන්නේ ‘අපේ චිත්‍රපටය අපි හදමු‘ කියන තැනට බව වැටහේ. එය හඳුන්වන්නේ ක්‍රවුඩ් ෆන්ඩිං ලෙසය. ඔහු සිංහල තේරුමක් නොකීවත් එය සාමූහිකව අරමුදල් රැස් කිරීම වශයෙන් අදහසක් ලෙස පැවසිය හැකිය. ඒ සංකල්පයට යොමු වූ අයුරු විමසීම අනවශ්‍යය...
“සම්මාදම් ක්‍රමයට ලංකාවේ නාට්‍ය, චිත්‍රපට කරලා තිබෙනවා. එහි ක්‍රවුඩ් ෆන්ඩිංවල මූලික ලක්ෂණ තිබෙන්න පුළුවන්. හැබැයි දැන් රටේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක ඒ දේවල් කරන්න බැහැ. මොකද ලංකාවේ සම්මාදම් ක්‍රමය ඇතුළු සියල්ල දැන් අයිති වෙලා තිබෙන්නේ පින් සහ කුසල් සංකල්පයට. ඒ වගේම ආගමට හා දේශපාලනයට. එතකොට විනෝදය සහ කලාව වෙනුවෙන්? ඒ නිසා දැන් මෙය විධිමත් කරන්න වෙනවා. කොහොමද? මේ පෘථිවියේ ඉන්න අඳුනන නාඳුනන ඕනෑම කෙනකුට මෙයට සම්බන්ධ වෙන්න පුළුවන්. කලාකෘතිය සහ කණ්ඩායම පිළිබඳ තිබෙන විශ්වාසය තමයි මේ සඳහා මූලික වන්නෙ. උදාහරණයකට කවුරුන් හෝ පෘථිවි වාසියෙක් මේ වැඩපිළිවෙළ ගැන, මෙහි සිටින නළුවකු හෝ නිළියක නැත්නම් මා ගැන හෝ වෙනත් මෙයට සම්බන්ධ කවුරුන් හෝ ගැන විශ්වාස කරනවා නම් සහ මෙයට සම්බන්ධ විය යුතුයි කියා සිතනවා නම් ක්‍රවුඩ් ෆන්ඩින් ක්‍රමයට එක් විය හැකියි. ඒ වගේම ලබන ආත්මය නැත්නම් යන තැනකට වැඩක් කරගන්න මිනිස්සු විශාල වශයෙන් මුදල් වැය කරනවානේ. අපි ක්‍රවුඩ් ෆන්ඩින් කරගෙන යන්නේ යන තැනකට වැඩ කර එක නෙවෙයි ඉන්න තැන සතුටින් ඉන්න කැමැති පිරිස සම්බන්ධ වෙමු කියන සංකල්පයත් එක්ක.“
එහි විධිමත්බව ගැන නලින්ද තවදුරටත් පැහැදිලි කරන්නට ඉදිරිපත් වෙයි.
නව නිපැයුම් සහ කලා කෘති සඳහා තමයි ක්‍රවුඩ් ෆන්ඩින් කරන්න ලෝක ප්‍රකට ආයතන යොමු වන්නේ. එහිදී සිදු වන්නෙ ජනතාවට පැහැදිලි කිරීමක් කරනවා මෙවැනි වැඩපිළිවෙළක් තිබෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ මෙවැනි නිපැයුමක්. එනිසා ඔබට එයට දායක විය හැකියි කියන දේ. කලා නිර්මාණයකදී රසිකයාට තමන් කැමැති විදිහේ කලා නිර්මාණයක් නිෂ්පාදනය කරන්න තමන්ට දායක වන්න හැකියාව ලැබෙනවා. විශාල පිරිසක් සුළු දායකත්වය බැගින් තමයි මෙය සිදු කෙරෙන්නේ.
සන්නස්ගලගේ නිදසුනක් ගෙන එයි.
උදාහරණයකට අරුණිගේ මිතුරෙකුට චිත්‍රපටයක් තනිවම නිෂ්පාදනය කරන්නත් කෝටි ගණනක් නැති වෙන්න පුළුවන්. ඒත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කැමැත්ත තිබෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ මේ සාකච්ඡාවෙන් පසු ඒ මිතුරා සමඟ තේ එකක් බොමින් ‘සන්නා‘ මේ වගේ චිත්‍රපටයක් කරන්න යනවා කී විට ඔහුට පුළුවන් ඒ වෙලාවෙම චිත්‍රපටය නිෂ්පාදනයට දායක වීමේ අරමුණින් කාඩ් එකෙන් ඩොලර් දහයක් අපේ ගිණුමට බැර කරන්න. ඔහුට අවශ්‍ය නම් එය අපට දැනුම් දෙන්නත් පුළුවන් නැත්නම් දැනුම් නොදී ඉන්නත් පුළුවන්. ඒත් අවශ්‍ය කෙනකුට මෙයට දායක වූ සියලු දෙනා කවුද කියා බලාගන්න පුළුවන් අයුරින් ක්‍රමවේදය සකස් වී තිබෙනවා. ඔවුන් එසේ දායක වීමෙන් බලාපොරොත්තු වන එකම ප්‍රතිලාභය අදාළ කලා කෘතිය නිමැවූ පසු රසවිඳීම පමණයි. මම මේ ජාලය සකසා තැබීමේ අනෙක් අරමුණ මේ ක්‍රමයේ සාර්ථකත්වය මත ඊළඟට චිත්‍රපටයක් කිරීමේ ‘උණෙන්‘ පෙළෙන කැපවීම ආසාව තිබෙන තරුණ නිර්මාණකරුවන් සිය ගණනකට තමන්ගේ නිෂ්පාදන සඳහා මඟක් පදාදීම.
ලෝකේ බොහෝ රටවල පාතාලය සහ කළු සල්ලි සමඟයි සිනමාව දුවන්නෙ. ඒත් එයට කිසිදු රාජ්‍යයකින් පාතාලයට සහනයක් දී නැතත් සිනමා කර්මාන්තයට කරන ආයෝජන සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ නෑ. අනෙක කේරලය ගත්තොත් චිත්‍රපටය කරන නගර සභාව, එහි නගරාධිපති, ඒ ප්‍රදේශයේ පොලීසිය, හමුදාව, ආණ්ඩුකාරයා අවසර ගැනීමේ සිට සියලු කාර්යයන්ට උදවු කරනවා පමණක් නොවේ පොඩි සැලියුට් එකකුත් ගහලයි සිනමාකරුවන්ව පිළිගන්නේ. ලංකාවේ තත්ත්වය බැලුවොත් කැමරාවක් තිබ්බ ගමන් අහන්නේ කෝ මේකට අවසරපත් කියලා. හේතුව සිස්ටම් එකක් හදලා නෑ. මේ ක්‍රමයට නැතිව චිත්‍රපට හදන්න කැමැති පිරිසක් ඉන්නවානේ. ප්‍රංශයේ විකල්ප සිනමාව ඇතිවෙද්දිත් සිදු වුණේ අහවලාට චිත්‍රපටය කරගන්න විදිහක් නැතිව ඉන්නවා සපෝට් එකක් දෙමු කියලා ක්‍රවුඩ් ෆන්ඩින් ක්‍රමයට සම්මාදම් කරන එක.
ලෝකයේ ක්‍රවුඩ් ෆන්ඩින්වලට ඇති ප්‍රතිචාරය ගැන කියන්නෙ නලින්දය.
අපි දැන් මේ ඇවිත් ඉන්න තත්ත්වය වෙනකොට ලෝකයේ මේ ක්‍රමය අති සාර්ථක වෙලා චිත්‍රපට ගණනාවක් හැදිලා තිබෙන්නේ. ලංකාවෙදි අපි මේ ආකාරයට ආගන්තුක විදිහට කතා කළත් ලෝකයට මේ ක්‍රමය අලුතෙන් හඳුන්වා දෙන්න දෙයක් නෑ. විමසන්න තිබෙන එකම දේ අදාළ වැඩපිළිවෙළට සම්බන්ධ අය කොයිතරම් සාර්ථකද කොපමණ වැඩ කර තිබෙනවාද යන්න පමණයි. පළමු වතාවට මෙවැනි ව්‍යාපෘතියක් රැගෙන ආවත් එය සාර්ථක වනවාද යන්නට තිබෙන සාධක දෙස බලා ඔවුන් සම්මාදම් වෙනවා. එයට කියන්නේ ඔබේ කෝපි කෝප්පය අපට දෙන්න කියලයි. කෝපි කෝප්පයක, වයින් වීදුරුවක වියදම තරම් මුදලක් ලෙසයි ඔවුන් එය සලකන්නේ. ඒ දායකත්වයෙන් අවසානයේ බලාපොරොත්තු වන්නේ ආත්ම තෘප්තිය විතරමයි. ඒත් අපි ඔවුන්ට මතක සැමරුමක් ලබා දීමත් උසස් තත්ත්වයේ චිත්‍රපටය මුදාහැරීමත් මඟින් ඔවුන්ගේ දායකත්වයේ තෘප්තිය ලබා දෙනවා.
‘අපේ ෆිල්ම් එක අපි හදමු‘ කියන්නේ මේ නිසාද? මගේ පැනය අධ්‍යක්ෂවරයාටය.
ඔවු. මේ ලිපිය ලීවාම ඔබ, ඔබේ පුවත්පත මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා. මේ තමයි මම හිතන විදිහට ලංකාවේ සිනමා පුවත්පතක ක්‍රවුඩ් ෆන්ඩින් ගැන විධිමත්ව කරන පළමුවැනි සාකච්ඡාව. මේවා ලංකාවේ ඇත්තෙන්ම සාකච්ඡා කරන්න තිබුණේ මීට අවුරුදු තිහකට විතර කලින්. අපි සැමවිටම ඉන්නේ පිටුපසින්. ලෝකේ කොහේවත් මේ විදිහට ක්‍රවුඩ් ෆන්ඩින් ගැන සාකච්ඡාවක් කෙරිලා නැතිව ඇති. මොකද මේ වෙද්දි මේ ක්‍රමයට චිත්‍රපට, නාට්‍ය ආදි නිර්මාණ ලෝකෙ කෙරිලා ඉවරයි. ඒත් අපට තාම මේ දේවල් ගැන පැහැදිලි කරන්න වෙලා තිබෙනවා. ලෝකේ සැමවිටම මුදල් එකතු කිරීම සමඟ වංචනික කියන වචනය ඉදිරියට එනවා. අපට ඩොලරයක් රුපියල් කරන්න මේ මොහොතේ බැරිකමක් තිබෙනවා. මෙහි ගිණුම තිබෙන්නේ පිළිගත් පෞද්ගලික බැංකුවක. එමඟින් මේ වැඩසටහන කරන බව මහබැංකුව දැනුම්වත්. ඒ වගේම මේ ගිණුමට වැටෙන සෑම ඩොලරයක් සම්බන්ධව වගකීම ටූසෙවන්ටීන් ආයතනය දරනවා. පිංකමකට සල්ලි දීලා මානසිකව ගන්න ප්‍රතිලාභය වගේම තමයි මෙහි ප්‍රතිලාභයත් ලෞකිකව ලැබෙනවා. හැබැයි අපේ වගේ රටක මේ සඳහා හුරු කිරීම ඉතාම අපහසුයි. හේතුව ලෞකික සතුට කියන දෙය, විනෝදය අහිමි කළ රටක් මෙය. එහි ප්‍රතිඵලය තමයි සිනමාව අහිමි වීම. එනිසා විනෝදය, සතුට, තෘප්තිය, ප්‍රේක්ෂාගාරය වෙනුවෙන් ලෝකෙ කොහේ හෝ රටක කෙනෙකුට සම්බන්ධ වෙන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම ඔවුන්ට චිත්‍රපටය බලන්නත් අවස්ථාව තිබෙනවා. උදාහරණයකට අයිස්ලන්තයේ ඉන්නවා නම් ශ්‍රී ලාංකිකයන් තුන්දහසක් ඉන් දෙසිය දෙනෙක් ඩොලර් දහය බැගින් මේ චිත්‍රපටයට දායක කළොත් අයිස්ලන්තයේ අයට මේ චිත්‍රපටය බලන්න අවස්ථාව අප සලසනවා. එවිට ඔවුන් මේ චිත්‍රපටය බලන්නත් එයි. මොකද ‘අපේ ෆිල්ම් එක‘ පෙන්වනවා අපි ජීවත් වන රටේ. ඒ කියන්නේ මුළු පෘථිවියත් එක්කම මේ චිත්‍රපටය සම්බන්ධයි.
කොහොමද ඒ අය ඩොලර් දහයක් ගිණුමට බැර කරන්නේ? ඒ පැනය නලින්ද මහතාටය.
උපුල් ශාන්ත සන්නස්ගල කවුද ඔහුගේ නිර්මාණ කෙබඳුද කියලා දන්න අයට තමයි ඔහුගේ චිත්‍රපටය කෙබඳු වේද කියන අදහස තිබෙන්නේ. ඉතින් ඒ අවබෝධය ඇති අය අපේ චිත්‍රපටය අපි හදමු කියා එකතු වෙයි කියන විශ්වාසයකුත් අපට තිබෙනවා. ඔවුන්ට ඹඹඹ.බඩචදඨචථචතඥඤඪචපඪඥඵ.තඬ සමඟ සම්බන්ධ වන අයට චිත්‍රපටයට සම්බන්ධ වන සියලු දෙනා ගැන සහ මේ වැඩපිළිවෙළ ගැන සියලු තොරතුරු වෙබ් අඩවියේ පැහැදිලිව තිබෙනවා. එයට ගොස් සරල පියවර කීපයකින් ගිණුමට මුදල් බැර කරන්න පුළුවන්. ඒ මුදල් කොපමණ එකතු වී තිබෙනවාද, සම්මාදම් කළ අය කවුද කොපමණ මුදලක් ලබා දුන්නාද යන සියලු තොරතුරුත් එහි විනිවිද බවින් යුතුව අඩංගුයි. ඒ වගේම මේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ වගේම ලෝකේ සෑම කෙළවරකම චිත්‍රපට රසිකයන් වෙනුවෙන් අප සූදානම් රැගෙන යෑමට. දැනටමත් මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව, ඉතාලිය ආදි රටවල් රැසක් සමඟ සූම් ඔස්සේ සාකච්ඡා කර තිබෙනවා. ඔවුන් සූදානමින් ඉන්නවා චිත්‍රපටය නිම වූ වහාම තමන්ගේ කලාපවල ප්‍රදර්ශනය කරන්න. මෙය වෙනත් ක්‍රමවලට වඩා වගකීම පැත්තෙන් බර වැඩියි. ඒත් එය සාර්ථක කරගත යුතුයි.
දැනට අවශ්‍ය පිරිවැය ආසන්නයට සම්මාදම් ලැබී තිබෙනවාද සන්නස්ගල මහත්මයා ?
තවම නෑ ඒත් අපට විශ්වාසයක් තිබෙනවා. මෙහි මුදල් ලබා දෙන්නාම තමයි ප්‍රේක්ෂකයා වන්නේ. ඒ නිසා අපට දැඩි විශ්වාසයක් තිබෙනවා ඒ මුදල ලැබෙයි කියලා. මොකද පාර හැදිල තිබෙනවා. පරෙස්සමින් යන්නයි ඕනෙ. සිනමාවටත් අවශ්‍ය විනිවිද පෙනෙන මෙවැනි ක්‍රියාවලියක්ම තමයි.
ඔබේ චිත්‍රපටය යම් ධාරාවකට අයත් කිරීමට හිතනවාද?
අපි සැමවිටම කලාව රාමුවකට දානවානේ. මේක කලාත්මක, මේක රජකතා, මේක ඉතිහාස කතා කියලා. එතකොට හැමවෙලේම වර්ගීකරණයක් වනවා. ඒත් මෙහි තිබෙන්නේ රෙසිපියක්. මෙය ශ්‍රී ලාංකික චිත්‍රපටයක්. එයට අවශ්‍ය සන්දර්භ කාරණා ටික සම්පූර්ණ කරනගෙන ඉන්නවා. ඒ රෙසිපිය මලයාලම් චිත්‍රපටවලින් ගත් නිසා කවුරුහරි මෙය මලයාලම් චිත්‍රපටයක්ද ඇහුවොත් ඔව් කියන්නත් පුළුවන් නෑ කියන්නත් පුළුවන්. වරක් ලෙස්ටර් පීරිස් කියලා තිබුණා, මම එංගලන්තෙන් රේඛාව හදන්න ෆිල්ම් ගෙනාවාට හදන්නේ සිංහල චිත්‍රපටයක් කියලා. මම ඩොලර්වලින් අරගෙන රුපියල්වලින් වියදම් කරනවා. මම කැමැතියි මේ චිත්‍රපටය විවිධ රටවලින් බලනවා නම්. විශේෂයෙන් ඉන්දියානු කලාපයේ සිනමාවට අදාළ වෙළෙඳපොළ මේ වෙද්දි ලෝකයේ හැදිලා තිබෙනවා. අපි සැමවිටම අසාර්ථක වෙලා තිබෙන්නේ සිංහල චිත්‍රපට කියන නමත් එක්ක වෙළෙඳපොළ හදාගන්න බැරි වීම. චිත්‍රපට කියන්නේ විශ්ව භාෂාවක් කියලා පොතේ විතරක් ලියලා බෑ. ඇයි අපට දූපතක ඉඳන් මහද්වීපික සිතුවිලි එකතු කරගන්න බැරි වගේ ප්‍රශ්නයක් මට තිබෙනවා. ඒ නිසා ධාරාව ඒකට අදාළ විදිහට හදාගන්න තමයි සිදුවන්නේ.
අර රෙසිපියේ අඩංගු ‘ද්‍රව්‍ය‘ මොනවාද?
සිනමාව කියන දේ නාට්‍ය කියන තැනින් ගත්ත ගමන් නාට්‍යෝචිත සියල්ල තිබෙන්න පුළුවන්. සින්දු පහයි ෆයිට් තුනයි වෙන්නත් පුළුවන්. ඩ්‍රාමා එකක නැති දේ මොනවාද? එනිසා අපට පුළුවන් නම් වාණිජ වශයෙන් සාර්ථක පැත්තකට යන්න කවදා හරි එතකොට තමයි මම කියන්නේ කලාත්මක පැත්ත ඉතුරු කරගමු කියලා. සිනමාව කියන්නේ මුතුමාලයක්. එහි සෑම මුතු ඇටයක්ම දාමය රඳවගන්න වටිනවා. ජාති, කුල, කණ්ඩායම්, ගැහැනු පිරිමි වශයෙන් බෙදෙනවා වගේ මෙයත් බෙදන්න හොඳ නෑ. මෙය දේදුණු වර්ණ චිත්‍රපටයක්. එහි ඔබේ වර්ණයත් දැවටී තිබෙන්න පුළුවන්. මම අසමාන පියාපත් සහිත කුරුල්ලන් සරන අහසකට කැමැතියි. විවිධ මල් සහිත මල්වත්තකට මම කැමැතියි. එය ලස්සනයි.
රංගන ශිල්පියා අධ්‍යක්ෂගේ මැටි පිඩ නම් මාර්තු 15 වෙද්දි කුලුඳුල් සිනමා පටයේ මැටිපිඩ සහ අඹන්නා ලෙස කටයුතු කරන්නේ කොහොමද?
මිනිහෙක් පියවරක් තිබ්බෙ නැත්නම් කවදාවත් ඒ ගමන යන්නේ නෑ. ලෝකෙ අභියෝග බාර නොගන්නා අය මිනිස්සු නෙවෙයි. ආශ්වාස ප්‍රශ්වාස විතරක් කරන කෙනෙක් මිනිහෙක් කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒකා ආශ්වාසය නැති වෙච්ච ගමන් මැරිලා යනවා. මම විශ්වාසය තබන්නේ මගේ කණ්ඩායම ගැන. තනි මිනිහෙක්ට නම් එය කරගෙන යන්න බැරි වෙයි. හැබැයි මම තනි මිනිහෙක් නෙවෙයි. පළපුරුදු, අත්දැකීම් සහිත පිරිසක් ඉන්නවා. ඒ අයත් එක්ක දෙයියනේ කියලා නම් නෙවෙයි, මිනිසුන් ගැන විශ්වාසයෙන් මාසයක් තුළ මෙය නිම කරන්න පුළුවන් වෙයි කියලා හොඳටම විශ්වාසය තිබෙනවා. ඒක හොඳ පොසිටිව් වයිබ් එකක්. මොකද මගේ ජීවිතේ කාර්යබහුලම කාලේ මම කළ වැඩ කොටසත් එක්ක දැන් මට මේ වෙනුවෙන් කැප වෙන්න බෑ කීවොත් ඒක බොරුවක්.
මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණයේ වර්ග දෙකක් තිබෙනවා. එක්කෙනෙක් නිර්මාණාත්මක පැත්තෙ. අනෙක් කෙනා සැපයීම් පැත්තෙ. මේ චිත්‍රපටයේ රඟපෑම් අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. කැමරා අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. මේ ඔක්කොම එකතු කරගත්තාම තමයි සමස්තය කරන්න පුළුවන් වන්නේ. මම මේ කතාවේ ප්‍රබන්ධය කළ කෙනා ලෙස වගේම මගේ කලාපයේ කතාවක් නිසා මෙය මම ඔවුන්ගේ හැඩය, වර්ණය, හැසිරීම දන්නවා. කාටහරි යමක් කරලා පෙන්වන්න පුළුවන් වුණාට එය පැය තුනක් අඛණ්ඩව කරන්නේ කොහොමද යන්නෙදි තමයි ශිල්පීන්ගේ දක්ෂතාව වැදගත් වන්නෙ. අපි ඒ සියලු දෙනා සමඟ පුහුණුවීම් කරලා තිබෙනවා. පිටපත සාකච්ඡා කරලා තිබෙනවා. එ නිසා දර්ශනතලයට ගිහින් මැටි පිඩ හැඩ කරන තත්ත්වයේ නෙවෙයි දැන් අපි ඉන්නේ. අභ්‍යාසය සහ පුහුණුව තමයි එයට වචනය. සමහරු බැලේ පුහුණු කරනවා. යෝග පුහුණු කරනවා. රූපය වෙනස් කරනවා. ඒ සියල්ලට පහසුවක් මට මේ තැප්‍රොබේන් එක තිබීමෙන් ලැබෙනවා.
ඒ කතාවට තැප්‍රොබේනය පුරා හඳුන් කූරූ දල්වාගෙන දුම් කබලද රැගෙන යන වයෝවෘද්ධ සේවකයාගේ රූපය මැනවින් ගැලපී ගියේය.
ඔබ පොඩි කාලේ සිට රඟපාන්න තිබුණ ආසාව මෙයින් ඉටු කරගන්නවා?
එකට තව දෙයක් තිබෙනවා. ඔනෙම කලාවක් කළොත් අපට පොඩි රාමුවක් හමුවෙනවා. මම සාහිත්‍ය කරද්දි රූප, වර්ණ, ශබ්ද භාවිත කරලා නෑ. හැබැයි සිනමාවෙදි මේ සියල්ල එකතු වෙන නිසා සිනමාකරුවකු වීම යන්නෙහි සියලු කලාවන්ගේ යම් අග්‍රස්ථානයක් තිබෙනවා. ඒ නිසා තමයි මට එය හීනයක් වන්නෙ. මම අවුරුදු පනස් අටට හුඟක් ගෝල් ගහපු මිනිහෙක්. ඒ සමහර ඒවායේ පොඩි සිහින ගතියක් තිබෙන්නත් පුළුවන්. සින්දු ලියලා තිබෙනවා, චූටි චූටි රඟපෑම් කරලා තිබෙනවා, නවකතා ලියලා තිබෙනවා. ඒ සමස්තය ගත්තාම සිනමා කෘතිය තමයි අග්‍රඵලය. ඒ නිසා සිනමාවක් කිරීම කියන්නේ චූඩා මාණික්‍යයක් අත්පත් කර ගැනීමක් වගේ කලා ක්ෂේත්‍රයේ. එය ස්පර්ශ කිරීමේම ලස්සනක් තිබෙනවා.
ඔබ ආභාසයට ගන්න යම් අධ්‍යක්ෂවරයකු ඉන්නවාද?
කෙටිම පිළිතුර නෑ. මුලදි අපේ කණ්ඩායමත් එක්කත් විසංවාද ඇති වුණා මේ ක්‍රමය ගැන. පසුව ඔවුනුත් එයට හුරු වුණා. ලෝකයේ එක එක චිත්‍රපට කරන්නේ එක එක ක්‍රමයට. මම මුලින්ම නාට්‍යයක රඟපාන්නේ අටේ පන්තියෙදි. මම උසස් පෙළ ශිෂ්‍යයෙක් ලෙස ඉද්දි යෞවන සම්මාන ලැබෙනවා. තර්ස්ටන් විද්‍යාලයේදි කළ ඒ ‘තුන්වැනි පන්තිය‘ නාට්‍යයේ මහේන්ද්‍ර පෙරෙරා, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී රඟපාන්නෙ. ඔවුන්ව අධ්‍යක්ෂණය කරන්නේ මම. එනිසා අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් පුහුණුවක් නෑ කියන්න බෑ. අදත් මගේ චිත්‍රපටයට මහේන්ද්‍ර උදවු කරනවා. ඉතින් මම මොකටද බය වෙන්නේ.
සරසවි දියණියෝ මගේ නවකතාවෙන් චිත්‍රපටයක් කරද්දි එහි කැමරා අධ්‍යක්ෂ සුමින්ද වීරසිංහ. ඔහු මට මුලින්ම දර්ශනයක් රූපගත කරන්න දීලා කියනවා ‘කොල්ලො දන්නවාද ඔයා වගේ විශ්වවිද්‍යාලේ තරුණයකුට තියා ලංකාවේ තරු නළු නිළියකටවත් මේ ලෙන්ස් එකෙන් අපි බලන්න දෙන්නේ නෑ‘ කියලා. ඒ වගේම මම අධ්‍යක්ෂවරයා නොවුණට බන්දුල පද්මකුමාර මාව ළඟ තියා ගත්තා සමහර දේවල් හරිද කියලා දැනගන්න. ඉතින් සිනමා කෘතියක් කියන්නේ ටීම්වර්ක් එකක්. එහි ගෞරවය හොඳ නම කණ්ඩායමටම ලැබෙන්න ඕනෙ.
රංගනය ගැන ඔබ ආදර්ශයට ගන්න ශිල්පියෙක් ඉන්නවාද?
නැ.
මේ ඔබේ කතාව නිසා අමුතුවෙන් රඟපාන්න දෙයක් නැද්ද?
නෑ අරුණි මේක ඔබේ කතාව වෙන්නත් පුළුවන්. ඇත්තටම මගේ කතාව කියලා කාටවත් කියන්න පුළුවන් කතාවක් නෑ. මගේ කතාවේ මගේ වයසත් එක්ක ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පිරිසක් සම්බන්ධයි. මට මගේ කතාවක් නෑ ඒ මිනිසුන් නැත්නම්. මගේ කතා හැම එකකටම විශාල පිරිසක්, ගම, විශ්වවිද්‍යාලය, අපේ සිංහල පන්තිය, මගේ ප්‍රේම සබඳතා, විවාහය, දරුවන් දේශපාලනය, දේශපාලන නායකයන් සහ මම කාලයක් එල්ටීටීයට සම්බන්ධයි කියූ දේවලුත් සම්බන්ධයි. කවුරුහරි හිතයි එතකොට මූ මාර එකෙක්නෙ කියලා. ඔවු. ඒ නිසා තමයි ඒක ඔබේත් කතාව වන්නේ.
මේ යුගය මිනිසුන් ෆේස්බුක් ආදිය සමඟ තමන්ගේ ලෝකෙක තනි වන කාලයක්. ඒත් ඔබ කතා කරන්නේ සාමූහිකත්වය ගැන?
ඒකට හේතුව මේ සමාජ මාධ්‍ය සමඟ අපි තනිවම තනි බබල් එකක හිරවෙනවා වගේම ගෝලීය බුබුලක් තුළත් හිර වෙනවා. අපට කුතුහලයක් තිබෙනවා එය කලාවෙන් දකින්න. ඒ කියන්නේ මගේ බබල් එක කොහොමද ඔබේ බබල් එක සමඟ සංයෝග වන්නෙ කියලා. එය තමයි කලාව ලෙස වර්තමානයේ එන්නේ. ඇත්ත කතාව මම ඉන්නේ මගේ බබල් එකක තමයි. ඒත් ඒ සංස්කෘතිය දේශපාලනය ආදිය යූටියුබය වැනි දේ ඔස්සේ මම හැමවෙලේම කියනවා. එය බලන අයත් තමන්ගේ බුබුලක් හදා ගන්නවා. මේ සයිබර් එකෙන් අපට මිදෙන්න බෑ. තංගමලේ තොණ්ඩත් ඉන්නවා බණ්ඩත් ඉන්නවා. මේ ඔක්කොම දිහා බලාගෙන ඇඩිසන් බංගලාවත් තිබෙනවා. වැලිමඩ සානුවත් තිබෙනවා. මෙය ලංකාවේ නොසැලකිල්ලට භාජනය වූ සංචාරක ගම්මානයක්. එහි බොහෝ වෙනස්කම් සිදුවෙලා තිබෙනවා. මගේ කතාවක් තිබෙන්න පුළුවන් උපන්ගමන්ම කියුබිකල් එකක සිරකර හැදුවොත්. හැබැයි ඒකාට ඒ කතාව කියන්න භාෂාවක් නෑ. සංස්කෘතියක් නෑ. බොහෝ දේවල් නෑ. ඒ නිසා මගේ කතාව හැම තිස්සෙම හැදෙන්නේ ඒ කෙනා සමාජය සමඟ ගැටුණු ප්‍රමාණයත් එක්ක. ඒ නිසා කවදාවත් ඒ මිනිසා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියා මනින්න එපා. ඒ සංකීර්ණ මිනිහා ධර්ම චක්‍රය වගේ. ලාභ අලාභ නින්දා ප්‍රශංසා සහිතව ජීවිතය ගෙවන්නේ. ඒ නිසා මගේ කතාව තුළ ලක්ෂ සංඛ්‍යාත ගහකොළ, සතා සීපාවා සහ මිනිස් සමාජයක් ඉන්නවා. ඒ මිනිස් සමූහයම තමයි මෙහි ප්‍රේක්ෂාගාරය.
සේයාරූ - නිශ්ශංක විජේරත්න