මේ කතාව මම ගොඩනොගත්තා නම් තවමත් යටගියාවක්

‘ප්‍රාණ’ හැදූ අධ්‍යක්ෂ සංජය නිර්මාල්
නොවැම්බර් 10, 2022

 

අහිංසක මිනිස්සු 700ක් මරන්න අණ කළ මිනිසා හොඳයිද?

මම ප්‍රතිචාර ගැන හිතන්නේ නැහැ

ප්‍රවීණ අධ්‍යක්ෂ සංජය නිර්මාල්ගේ නවතම චිත්‍රපටය ප්‍රාණ එහෙමත් නැත්නම් සීඩ්ස් චිත්‍රපටය දින තිහ පසුකරමින් සාර්ථකව තිරගතවනවා. සංජය නිර්මාණය කළ පෙර නිර්මාණවලට වඩා ප්‍රාණ වෙනස් හැඩයක් ගන්නවා. මේ වෙනස ගැන වගේම චිත්‍රපටය ගැන කතා කරන්න සරසවිය අපි සංජය නිර්මාල්ව සම්බන්ධ කර ගත්තෙමු.

ඕනෑම නිර්මාණයක් කරන්න ඒකට නිමිත්තක් හෝ අදහසක් තිබෙන්න ඕන. ප්‍රාණ නිර්මාණය කරන්න ඒ අදහස එන්නේ කොහොමද?

පාස්කු ප්‍රහාරය සිදුවෙන්නේ මගේ ඇස් මානයේ. ඒ ම්ලේච්ඡ ප්‍රහාරය මාව කම්පනයට පත් කළා. අධ්‍යාපන සුදුසුකම් අතින් ඉහළින්ම සිටින අන්තවාදි කණ්ඩායමක් කිසිම සාධාරණ හේතුවක් නැතිව පල්ලියට වදින්න ගිය අහිංසක මිනිස්සු මරාගෙන මැරෙනවා. මේ රටේ තියෙන සංස්කෘතිය, ආගම්, සාමය රකින ආයතන, නීතිය මේ හැමදේම තියෙද්දියි මේ මිනිස්සු මෙහෙම කරන්නේ. බලය වෙනුවෙන් අන්තවාදය භාවිත කරනවා. පසුව කිසිදු සාධාරණයක් හෝ විසදුමක් නොමැතිව මේ ප්‍රශ්නය යට යනවා. ඇත්තටම මරාගෙන මැරෙන්න මේ අයට ඔවුනොවුන්ගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

පාස්කු ප්‍රහාරයද මේ ප්‍රාණ කියන්නේ?

නැහැ. පාස්කු ප්‍රහාරයේ කම්පනයෙන් මම සහ කසුන් පුස්සැල්ල එකතුවී පිටපතක් රචනා කළත් මට එය කරගන්න ලැබුණේ නැහැ. ඒ වගේම මම මේ ගැන නවකතාවක් ලිව්වා. ඔය අතරවාරයේදීයි මට මන්නාරම් සංහාරය පිළිබඳ අහන්න ලැබෙන්නේ. පාස්කු ප්‍රහාරයේ මේ වින්දිතයන්ගේ මානසිකත්වය හදන්නට ඒ අයව එක්ක යනවා මන්නාරම් සොහොන් ගෙය පෙන්වන්න ප්‍රසාද් පියතුමා ඇතුළු පිරිසක්. මේ ගැන මට දැනගන්න ලැබුණම මම බැලුවා ඒ මොකද්ද කියලා. ඒ වගේම මේ ගැන හොයන්න ගද්දි මේ පිළිබඳ නිවැරදි තොරතුරක් සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් ලියවී තිබුණේ නැහැ. මේ තරම් මිනිස්සු මැරුවානම් ඒ ගැන ඇයිද පත පොතේ ලියැවී නැත්තේ කියන කුතුහලයයි ඒ සඟවා තිබූ යටගියාව සොයා යන්නට මුල්වුණේ.

 

මෙය මේ රටේ ඉතිහාසයේ එක් සංදිස්ථානයක්. එහෙනම් මෙය නිර්මිතයක් නොවිය යුතුයි. ඔබට සිතූ සිතූ පරිදි පිටපත රචනා කරන්නට නොහැකියි. ඒ වෙනුවෙන් ප්‍රත්‍යක්ෂ කරගත් තොරතුරු තිබිය යුතුයි. පත පොතේ මෙය ලියැවී නැතිනම් කොහෙන්ද ඔබ මේ යටගියාව දැනගත්තේ?

මූලශ්‍ර නොමැතිවීම මයි මට ඒ ගැන වැඩි වශයෙන් සොයා බලන්න හේතු වුණු කාරණය වන්නේත්. අදටත් වැඩිම කතෝලික ජනගහනයක් ඉන්නේ මන්නාරමේ. මේ ගැන සොයා බලද්දි මට තේරුණා යම්කිසි දෙයක් පැලවී හැදි වැඩී තිබෙන බව. එයත් එක්ක මම මේ ගැන සොයන්න ගත්තම ස්පාඤ්ඤ ලේඛන, ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලේඛනවල මේ සංහාරය පිළිබඳ කතාව තිබුණත් සිංහල සහ දෙමළ ලේඛන හොයාගන්න නැහැ. මේ අවුරුදු පන්සියයකට කලින් සිදු වුණු මෙවැනි සංහාරයක් පිළිබඳ නොලියවීමම ගැටලුවක් නෙවේද?

මේ අඩු කුලේ දෙමළ මිනිස්සුන්ගේ කතාව මේ අය ගන්නේ නැහැ. ඒ නොගන්නේ මන්ද එහෙම ගත්තානම් උසස් කුලේ දෙමළ මිනිසුන්ට සිදු වෙනවා මේ අය ප්‍රාණ පරිත්‍යාගීන් බවට පත කරලා ඒ අය වන්දනා කරන්න. ඒ නිසා දෙමළ සමාජය මෙය ගන්නේ නැහැ. අනෙක් අතට සිංහල සමාජය මෙය ගන්නෙත් නැහැ සිංහල සමාජය ඇතුළේ මේ අඩුකුලේ මිනිසුන්ගේ වටිනාකම දැනෙන්න පටන් අරන් ඒක වෙනම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා. ඔය කියන කාරනා නිසා මේ කතාව යටගිහින්. මේ කතාව මම ගොඩට නොගත්තානම් මෙය තවමත් යටගියාවක්ව තිබෙනවා. දේශපාලනය මැදිහත් වූ හැම තැනම සත්‍ය මේ විදිහට යට ගැසි තිබෙනවා. එය ඉතිහාසයෙත් වර්‍තමානයෙත් එසේමයි.

 

අතපත ගෑමකින් පමණක් ඉතිහාසය දැනගන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් නොදැන මෙවැනි නිර්මාණයක් කරන්නත් බැහැ. මෙය මිනිස් සංහාරයක් පිළිබඳ ඉතාම සංවේදී කතාවක්. ඔබට ලැබුණු තොරතුරු සනාථ කරගෙනයි ඔබ මේ නිර්මාණය කළ යුත්තේ. මොන පදනමකින්ද මේ කරුණු සනාථ කරගත්තේ?

ඔය යුගයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් හුවමාරු වූ ලිපි තිබෙනවා. විශේෂයෙන්ම ෆ්‍රැන්සිස් ක්ෂේවියර්ගේ. ඔහුගේ ගෝලයෙකුයි ඔහු ලංකාවට එවන්නේ. ඔහුගේ පැමිණීමෙන් පසුවයි මේ සිද්ධිය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම ෆ්‍රැන්සිස් ක්ෂේවියර් ඒ වෙලාවේ ලියූ ලිපිවල මේ කතාව තිබෙනවා. ස්පාඤ්ඤ හා පෘතුගීසි භාෂාවලින් ලියැවුණු ලියැකියවිලිවල මේ සම්බන්ධ කතාව තිබෙනවා. ලංකාවේ සමූහ මිනිවලක් හම්බෙලා තිබෙනවා. ඒ සමූහ මිනීවලේ ඇටසැකිලිවල කාලය පන්සියයකට එහා පැත්තේ කියලා කාබන් පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තිබෙනවා. පාරම්පරික කටින් කට ආ සම්ප්‍රදායක මේ කතාව තිබෙනවා. ඒ අයගේ ජනශ්‍රැතියේ කූත්තු කියන නාට්‍ය තුළ ප්‍රධානම නාට්‍යයක් මේ මන්නාරම් මිනිස් සංහාරය පිළිබඳ කතාව. ජන සංස්කෘතිය තුළ මේ කතාව තිබෙනවා. ඒ ඔක්කොම එක්ක මේක සංකිළි ප්‍රහර්ෂයට නංවන්න උත්සහ කරන්නාවූ දෙමළ ඉතිහාසය තුළ නොලියවී තිබෙනවා. කතෝලික සභාවෙන් ඇසුවත් වතිකානුව ප්‍රමුඛ මේ සියල්ලෝම කියන උත්තරය පිළිබඳ අධ්‍යයනය කර බැලුවා. මේ සියලු කරුණු කාරණා ගෙන බලද්දි මේ කතාව ඓතිහාසික ඇත්තක් කියලා පේනවා.

 

මෙහෙම තොරතුරු දැනගෙන ඒක තමයි මගේ ඊළඟ චිත්‍රපටය කියන තැනට එන්න කොතැනද ඔබට තදින්ම ඇල්ලුණු සිද්ධිය?

ඒ තුළ මම දැනගත්තා 1644 සිද්ධියේ නමක්වත් නැහැ කියලා. නමුත් එලිසානෝ කියලා නමක් මෙහි තිබෙනවා. 1660 කතාවේ සිද්ධියක් තිබෙනවා නැව් නඩයක් එනවා ලංකාව අල්ලගන්න. මේ සිද්ධිය හේතුවක් කරගෙන. එහිදි පෘතුගීසි නරුමකම,සංකිළිගේ නරුමකම, කුලවාදයේ නරුමකම, අන්තවාදයේ නරුමකම, ඒ නරුමකම් සියල්ලටම කිසිදෙයන් නොදන්න නියැදියක් වුණු අහිංසක මිනිස්සු, නූගත් මිනිස්සු මේකට වන්දි ගෙවනවා. ඒ නරුමකම මැද ආලෝකවත් මිනිසුන් කිහිප දෙනෙකුගේ ජීවිත කතාවත් මේ නිර්මාණයෙන් පෙන්වනවා. අපි මුකුත් කරලා නැතිව පාන් කෑල්ලක් කන්න බැරි තරමට අසරණවෙලා. කාගෙවත් බල අරගලයක් හමුවේ අහිංසක මිනිස්සු හැමදාම ජීවිතයෙන් වන්දි ගෙව්වා. ඒ මැද්දේ මිනිස්සු හිටියා සත්‍යවෙනුවෙන් පිනී සිටි.

 

හින්දු භක්තිකයන්ගේ වන්දනාවට ගෞරවයට පාත්‍ර වූ අදටත් ඔවුන් වදින පුදන සංකිළි රජතුමාගේ චරිතය ඔබ මේ නිර්මාණය හරහා ඉතාම පහළ තැනකට ගෙනයනවා? ඔබ මේ කළ දෙයින් හින්දුන්ගේ කෝපය දළුලා වැඩෙන්නත් පුළුවන්?

හින්දු භක්තිකයෙක් තමයි මේ චරිතය කරන්නේ. රුධිරය තිබෙන මිනිස්සු කැනඩාව වගේ රටවල. ඔවුන් අදටත් කියනවා අපි ඒ කාලේ හිටියානම් අපිත් සංකිළි කරපු දේම කරන්නේ කියලා. අහිංසක මිනිස්සු හත්සියයක් මරන්න අණ කළ මිනිහා හොඳයිද?

 

 ඔබ මේ නිර්මාණයේ ප්‍රධාන චරිත සඳහා යොදාගන්නේ ක්ෂේත්‍රයේ දෙමළ නළු නිළියන්. එය කළේ නිර්මාණයෙන් පසු අතපිහද ගන්නද? නැත්නම් වැඩේ පහසුවටද?

වැඩේ පහසුවට වගේම වැඩේ සත්‍යවාදී බව රකින්න. කවුද ඉන්නේ සිංහල සමාජයේ හොඳීන් දෙමළ හැසිරවිය හැකි නළු නිළියන් මේ සඳහා ගන්න. එක පැත්තකින් ඒ සාහසිකත්වය පෙන්වනවා සේම අනෙක් අතට මානුෂීයත්වයද මේ තුළින් පෙන්වනවා. මේ දෙගොල්ලෝම කියන්නේ එකම දහමක් ගැන. එකම සත්‍යයක් ගැන කියන සංකිළි රජුගේ ලේළිය ගෙන බලන්න. ඇය මියයන්නේ සත්‍යවෙනුවෙන්. මනුස්සකම වෙනුවෙන්. මෙච්චර සාහසික රජෙක්ට වදිනවා මේ අහිංසක මිනිස්සු. අදටත් වදිනවා. ඒක ගලවගන්න ඕන නැද්ද? සිංහල නළු නිළියෝ අරන් දෙමළ ඇක්සන්ට් එකක් හදාගෙන හෝ ඉංග්‍රීසි ඇක්සන්ට් එකක් හදාගෙන මේ චරිත නිරූපණය කළා නම් ඒ චරිතවල විශ්වසනීයත්වයට මොකද වෙන්නේ?

 

ආගම මුල් කරගත් දේශපාලනයට ඔබ මේ නිර්මාණය ඔස්සේ වැරෙන් පහරක් එල්ලකරනවා?

මම මේ තුළ පෘතුගීසින්ගේ දේශපාලනය විවේචනය කරනවා. ඒ වගේම සංකිළි රජුගේ දේශපාලනය විවේචනය කරනවා. ඒ දෙන්නම එක ගොඩේ. බලය වෙනුවෙන් දේශ සීමා වෙනුවෙන් තණ්හාවෙන් උදමවුණු බලයෙන් උමතු වුණු පිරිසක්. මේ ඔක්කොම එකයි. මේ අයගේ සැලසුම වෙන්නේ දේශපාලනික වශයෙන් බලය අල්ලා ගැනීමට ආගම දඩමීමා කර ගැනීම. මම මෙතැනදි කාවවත් හොඳ කරලාවත් කාවවත් නරක් කරලාවත් නැහැ.

 

මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ සංකිළි රජු එහෙමත් නැත්නම් දර්ශන් ධර්මරාජ් ගැන කතා කරන්නම ඕන?

දර්ශන්ගේ මරණය මේ චිත්‍රපටයේ කතාවට හොඳම උදාහරණයක්. ඒ කියන්නේ දර්ශන්ගේ මරණය අපතේ ගිය මරණයක් නොවේ. මට දර්ශන්ගේ බිරිඳ මුණ ගැසුණා. ඇය කොළඹ ඇවිත්. කොළඹ දැන් ඔවුන්ට ඉන්න ගෙයක් තිබෙනවා. දරුවට හොඳ පාසලක් හම්බෙලා. බිරිඳට කොළඹ පාසලකට මාරු වීමක් ලැබිලා. ඔවුන් කොළඹ පදිංචියට ඇවිත්. ඒ මරණය දරුවට බිරිඳට ආශිර්වාද කරන්න පටන් අරන්. දර්ශන්ගේ වියොවෙන් පසුව ඔවුන්ට උදව් ලැබෙන්න පටන් අරන්. මේ ලෝකේ වෙනෙ හැම දේම වෙන්නේ හොඳටනම් අපිට ඒ එකක්වත් නවත්වන්න බැරිනම් වෙන දේ කොයිතරම් වාසනාවන්ත විදිහට වෙනවද කියන එකයි අපි බලන්න ඕන. මේ මරණය නිස්සාර වෙනවා මීට මාස හතරකට කලින් වුණානම්. මරණය නිස්සාර වෙනවා එන අවුරුද්දේ එය වුණානම්. දර්ශන්ගේ මරණය චිත්‍රපටයට ආලෝකයක් වෙමින් දර්ශන්ට චිත්‍රපටය ආලෝකයක් වෙමින් ඒ කාරණා දෙක තුළ නරුම රජෙකුගේ චරිතය රඟ පෑ දර්ශන් සදාතනික ප්‍රතිරූපයක් ලෙස අපි අපි අතර පවතින්න පටන්ගෙන තිබෙනවා. මේ දේ හරි පිළිවෙළට වෙලා තිබෙනවා. අවංක චේතනාවෙන් අධ්‍යාත්මය හොයන මිනිසුන් මරන්න නොහැකිය කියන කතාව මේ නිර්මාණයේ තිබෙනවා. එයට උදාහරණයක් දර්ශන්ගේ මරණය.

 

ඔබ තෝරාගෙන තිබෙන මේ විදේශීය නළුවන් ඉතාම විශිෂ්ට අන්දමින් ඒ ඒ චරිත නිරූපණය කරනවා. ඔවුන්ට පෙර සිටම යම් අවබෝධයක් තිබුණද මේ කතාව ගැන? මේ අය එක්ක තිබුණ සහ සම්බන්ධය කොහොමද?

ඒ මිනිස්සු මේ පොළොවෙන්මයි මට හමුවුණේ. අවුරුදු නවයක් ට්‍රේ හික්ස් ලංකාවේ ඉදලා. ඔහු ඔහුගේ රටේ වගේම වෙනත් රටවලත් නිර්මාණවලට දායකවන, රංගනය පිළිබඳ මනා හැදෑරීමක් ඇති සහ රංගනය උගන්වන හඬ කැවීම් කොනටම දන්න ඒ ගැන හැදෑරූ කෙනෙක්. මට ජීවිතේ මුණ ගැසුණු හොඳම නළුවා ඔහු. ඔහු ඔහුගේ රටට යන්න මාස කිහිපයකට කලින් මට ඔහුව මුණගැසෙන්නේ. මම අවංකව ලොකු වීර්යයක් ගත්තා මේ චිත්‍රපටය සඳහා වන නළි නිළියන් හරියට තෝරාගන්න.

 

ඔබේ නිර්මාණයෙ කැමරා අධ්‍යක්ෂවරයා ගැන නම් ඔබ සමඟ කතා කළ යුතුමයි. ඔහු ඔබ සමඟ ඉතාම ලස්සනට මේ චිත්‍රපටය වෙනමම තැනකට අරගෙනවිත් තිබෙනවා?

ඒ අපි අතර තිබුණ ගැළපීම. මේක හරියට විවාහ බන්ධනයක් වගේ වැඩක්. සංස්කාරකවරයා හා තිබෙන සම්බන්ධයත් එහෙමයි. මට ඕන රූපරාමුව මට කැමරාව යොදාගෙන කරන්න පුළුවන් වුණත් මේකට ඕන මට අවශ්‍ය දේ හරියටම අල්ලලා දෙන්න පුළුවන් විදිහේ ශිල්පියෙක්. ඒකට ඔහුට මාව සියයට සියයක් තේරෙන්න ඕන. මට එයාව තේරෙන්නත් ඕන. මොකද වචනයෙන් කියන්න පුළුවන් සීමාවෙන් ඔබ්බට අදහස තේරුම් අරගන්න පුළුවන් කෙනෙක් විය යුතුයි කැමරා ශිල්පියා. ප්‍රාණ කැමරා අධ්‍යක්ෂ ඇඩම්ස් මාව ඉතාම හොඳීන් තේරුම් ගත් කෙනෙක්. අපි දෙන්නගේ භාෂාව ගැළපෙනවා. අපි දෙන්නගේ සහසම්බන්ධය හරියටම ගැළපෙනවා. නිර්මාණයකදි තාක්ෂණික ශිල්පීන් සියලු දෙනාගේම අන්‍යෝන්‍ය ගැළපීමයි ඒ නිර්මාණය උසස් තත්වයට අරගෙන යන්නේ.

 

මේ නිර්මාණය සඳහා කතෝලික පූජකවරුන්ගේ සහ කතෝලික බලඇණියෙන් හොඳ දායකත්වයක් ලැබිලා තිබෙනවා ඔබට?

ලිස්බන්වල රජතුමාට නැව් තිබුණ නිසා ඔවු පාප් වහන්සේගෙන් මිෂනාරි ව්‍යාපෘතියේ බලය ගන්නවා. ඔහු ආගම ව්‍යාප්ත කිරීමේ අධිකාරි බලය පැනලා ගන්නවා. එය ගන්නේ ඔහුට මේ මුහිණ දාගෙන රටවලට කඩාවදින්න පුළුවන් නිසා. මිෂනාරි ව්‍යාපෘතිය පෘතුගීසින්ට උඟුලක්. එය හොඳ වෙළඳ උපායමාර්ගයක්. කඩුවයි බයිබලයයි අතර තිබෙන කතාවෙන් කතෝලිකයෝ ශුද්ද විය යුතු නැතිද?

කතෝලික සභාව මෙයට මැදිහත් වෙන්නේ මේ කතාව ඔවුන්ට අදාළ නිසා. සංවේදිතාව කුළුගන්වන ආකාරයේ කතාවක් මේ චිත්‍රපටය තුළ නොවෙන්න පල්ලියේ ලොකු දායකත්වයක් මේ සඳහා ලැබෙන්නේ නැහැ. ඒ ඇරෙන්න පල්ලියෙන් මේකට සල්ලි දීලාවත් මේක පල්ලියේ ව්‍යාපෘතියක්වත් නොවෙයි. මේ චිත්‍රපටය තුළින් කිසිවෙකුට අගතියක් නොවෙනවා කියන සෙන්සර් සෙටිෆිකෙට් එක චිත්‍රපට සංස්ථාවෙන් දීලා තිබෙනවා.

 

මේ නිර්මාණය තුළ ඔබ ඉතාම සාහසිහ විදිහට පෙන්වන ම්ලේච්ඡත්වය මතුකර පෙන්වනවා?

අද අපිට ඇස්පනාපිට ඊට වඩා ම්ලේච්ඡත්වයක් දකින්න වෙලා නැද්ද? දරුවෝ වෙඩි තියලා මරනවා. සීයලා දරුවෝ දූෂණය කරනවා, බෙල්ල කපලා පොලීසියට අරන් යනවිට, ඇස් පනාපිට පෙනෙන ම්ලේච්ඡත්වය දෙස අපි බලාගෙන ඉන්නවානේ. මිනිසුන් හත්සියයක මරණයක කතාවක් මෙය. මීට වඩා තනුක කරලා පෙන්වන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. මේක බලන්න බැරි තරම් සංවේදී ජනතාවක් ඉන්නවාද මේ රටේ? අපි ටයර් උඩ මිනිස්සු පිච්චෙනවා දැක්ක මිනිස්සු. යුද්ධයේ අමු අමුවෙන් මිනිස්සු මරනවා දැක්ක මිනිස්සු මැච් එකක ස්කෝර් එක බලනවා වගේ මැරුණු සංඛ්‍යාව අහලා සතුටු වුණු මිනිස්සු අපි. මං හිතන්නේ නෑ මේක බලන්න බැරි තරම් ම්ලේච්ඡත්වයක් මේ තුළ තිබෙනවා කියලා ඊට වඩා දේවල් අපි දැකලා තිබෙන නිසා. මනුස්සයෙක් විදිහට මට දැනෙන දේ ඒ විදිහට මම දෙන්න එපැයි බලන්න.

 

ප්‍රාණ සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම බලන්න පුළුවන්?

ඔව්. ඔබට වඩාත්ම දැනෙන භාෂාවෙන් චිත්‍රපටය බලන්න පුළුවන්.

 

ඔබ මේ චිත්‍රපටය ප්‍රවර්ධනය සඳහා පල්ලිය මූලික කරගෙන තිබෙනවා?

ඔව්. චිත්‍රපටයකට කටවුට් හතළිහක් පනහක් ගහගන්න නිකම් ඉඩක් ලැබෙනවා කියන්නේ එය හොඳ නැද්ද? මම කියන්නේ ඔය කටවුට් ටික ඔහොමම තියලා කදිර දිව්‍යරාජයත් ඕකෙම ගහන්න කියලා පුළුවන්නම්. ඔය කටවුට් තිබෙන හැම තැනින්ම ලක්ෂ දහයයි විස්සයි තිහයි අපෙන් ඉල්ලන්නේ. ලක්ෂ තිහක් හම්බ කරන්න අපි කී පාරක් චිත්‍රපටය දුවවන්න ඕනද?

 

කොහොමද ලැබුණු ප්‍රතිචාර?

හැම කණ්ඩායමක්ම තමන්ට අන්තවාදි වුණු චෝදනාවක්නේ කරන්නේ. මෙය චිත්‍රපටක්. මේ මිනිස්සුන්ව මම නොවෙයි මැරුවේ. මම කතා කරන්නේ ඒ හත්සියයක් ජීවිතවලට වුණු සංතෑසිය ගැනයි. ඒක මම කළා. එන ප්‍රතිචාරය හොඳ වුණත් එන ප්‍රතිචාරය නරක වුණත් දෙකම අන්තවාදියි. මම හොඳ ප්‍රතිචාරයෙන් ආස්වාදයට පමිණිලා ඒක ඇඳගත්තොත් නරක ප්‍රතිචාරයෙන් කඩා වැටෙනවා. ඒ නිසා මම ප්‍රතිචාර ගැන හිතන්නේ නෑ. බලපෑමකුත් මට තවම ආවේ නෑ.

 

 

[email protected]

සේයාරුව - නිශ්ශංක විජේරත්න