මට බණින්නේ සියයට එකක් විතරයි

‘ජංගි හොරා’ චිත්‍රපටයේ අභියෝගාත්මක චරිත නිරූපණයක යෙ‍ෙදන බුද්ධි රන්දෙණිය
ජනවාරි 27, 2022

 

ආචාර්ය සෝමරත්න දිසානායකගේ ජංගි හොරා දිගු කලකට පසු රාත්‍රී 9.30 දර්ශනය මෙරට සිනමාශාලාවල ආරම්භ කළ චිත්‍රපටයයි. එහි එක් ආන්දෝලනාත්මක චරිතයක් වූයේ කරුණාගේ චරිතයයි. මෙම චරිතය නිරූපණය කරනු ලබන්නේ බුද්ධි රන්දෙණිය විසිනි.

 

බුද්ධි මේ දවස්වල කලාකටයුතුවල තොරතුරු කොහොමද?

චනික පෙරේරාගේ යක්ක නාද ටෙලි නාට්‍යයේ ෂුටින් කරනවා තිස්සමහාරාම ප්‍රදේශයේ. මේ නිර්මාණයේ සුද්දි කියන චරිතය තමයි මම කරන්නේ. කුල හීන සමාජයක කාන්තාවක් තමන්ගේ දරුවන් ඉහළ සමාජ තලයන්ට ඔසවා තබන්න ගන්න උත්සාහයක් තමයි මම කරන සුද්දි නැමැති කුලහීන කාන්තාව තුළින් එළියට ගෙනෙන්නේ.

ඒ වගේම මම රඟ පෑ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ පියාඹන මුනිස්සම් ටෙලි නාට්‍යය මේ දවස්වල සිරස නාලිකාවෙන් විකාශය වෙනවා. එහි යශෝධාට රඟපාන්නේ මම. මේ චරිතය නම් ටිකක් සටකපට චරිතයක්. මේ චරිතයට ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර නම් එච්චර හොඳ නෑ. මගේ සටකපටකම් නම් පේ‍්‍රක්ෂකයෝ අනුමත කරන්නේ නැති බවයි. මට ලැබෙන ප්‍රතිචාරවලින් හැඟෙන්නේ.

සිනමාවට ඔබේ දායකත්වය කොයි ආකාරයෙන් ද සිද්ධ වුණේ?

මගේ මුල්ම සිනමා රංගනය සෝමරත්න දිසානායකයන්ගේ ජංගි හොරා. එහි කරුණා මම. ඊට පස්සේ මම දායක වුණේ සෝමරත්න දිසානායකගේම සරිගම චිත්‍රපටයට එහි කන්‍යා සොයුරියක් ලෙස රඟපෑවා. ඉන්පසු පාලිත පෙරේරාගේ තාල චිත්‍රපටයේ ගැමි කාන්තාවකට රඟපෑවා. දැනට අවසානයට රඟපාල තියෙන්නේ රොහාන් පෙරේරාගේ සීගිරි චිත්‍රපටය. ‘සීගිරි’ ඉදිරියේ දී තිරගත වෙන්න තියෙනවා. සරිගම තාල මේ වන විට තිරගත වෙලා ඉවරයි. මේ දවස් වල මම මුලින්ම රඟපෑ ජංගි හොරා චිත්‍රපටය තිරගත වෙමින් තියෙනවා.

 

ජංගි හොරා සිනමා කෘතියේ කරුණා වූ ඔබ බුද්ධි රන්දෙණිය ලෙසින් කරුණා දකින්නේ කොයි ආකාරයෙන් ද?

ජීවත් වෙන්න සමාජ අරගලයක යෙදෙන ගැහැනියක් තමයි කරුණා. මම කොහෙත්ම කැමැති නෑ ඇය සටකපට ගැහැනියක් ලෙස හඳුන්වනවට මම කරුණාව පිටපතේ දැක්කේ මානව දායාව තියෙන ගෑනු කෙනෙක්. කිසිම වෙලාවක තමන්ගේ ස්වාමියාව හූරගෙන කන්න හදන කෙනෙක් නොවෙයි, පුුළුවන් තරම් අවට සමාජයෙන් ස්වාමියාව පරෙස්සම් කරල තියාගන්න හදන කෙනෙක් ඇය. ඒ මනුස්සකම් තුළ එයා පොඩි අල්ලසක් අරගෙන ආර්ථිකමය වාසියක් ගන්නවා. ඒක වුණත් මුදලක් හැටියට ගත්තත් ලොකු ගාණක් නොවෙයි. ධනවත් සහෝදරයා තමන්ගේ මල්ලිගේ අසනීපය සුවකරන්නේ නෑ. මල්ලිගේ දේපළවලට තියෙන තණ්හාවට. එහෙම කාලයක් කරුණා තමන්ගේ ස්වාමියාව රැක ගන්න තමන්ගේ පියයුර අල්ලන්න දෙන එක, තමන්ගේ යට කලිසම තියාගන්න දෙන එක තුළ තියෙන්නේ ස්වාමියා එලියෙන් ගුටි කන එක වලක්වන්න, සමාජ අපවාදයෙන් ගලවා ගන්න, කරුණා තමන්ගේ ආධිපත්‍ය තුළ ස්වාමියාව රැක ගන්න තම ස්වාමියාගේ මානසික ව්‍යාධිය සමාජයට නොපෙන්වා සිටින්න කරුණා දරන මේ උත්සාහය තමන් ගේ ස්වාමි දුව නයනිටත් වසන් කරමින් සෑම් සර්ව ආරක්ෂා කරන්න තරම් කරුණා උත්සාහ ගන්නවා. මනුස්සකම නැත්තම් කරුණා තුළ, කවදාවත් ඇය මේ වගේ දෙයක් කරන්නේ නෑ. ඇය දන්නවා හොඳාකාරවම සෑම් සර්ට අවශ්‍ය දේත් සෑම් සර්ගෙන් ඇයට මොනයම් විදියකින් හෝ ලිංගික අතවරයක් වෙන්නෙත් නෑ කියන දේත්. සෑම් සර්ගේ අවශ්‍යතාවය ඇය හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා තමයි සෑම් සර්ට පවා කරුණා සැරවැර කරන්නෙත්, තනය දෙන්න ඩිමාන්ඩ් එකක් කරන්නෙත්.

 

ඔබ සෝමරත්න දිසානායක කියන සිනමාකරුවා හඳුනාගෙන තිබුණ ද ඔහුගේ ජංගි හොරා සිනමා පටයට දායක වෙන්න පෙරාතුව?

ගොඩ කාලෙකට ඉස්සෙල්ලා, මම නමවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්න පාසල් ශිෂ්‍යාවක්ව ඉන්න කාලෙ තමයි සරෝජා චිත්‍රපටය නැරඹුවේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව ඉගෙන ගන්න ශිෂ්‍යාවක්ව ඉන්න අවධියෙත් මම සෝමරත්නයන්ගේ නිර්මාණ රසවින්දා. පෞද්ගලිකව සෝමරත්න කියන සිනමාවේදියාට වඩා සෝමරත්න කියන කවියාට අදටත් මම හරි ආදරෙයි. සරෝජා චිත්‍රපටයේ අවසානයේ කවි පෙළට පන්සලේ බෝමලුවේ ගීතයට .... ඔහුගේ ගී පදවැල්වල නිර්මාණ ඇතුළේ මම දකිනවා හරියට මනුස්සකම. මිනිස්සුන්ට අමතක වෙලා යන ගොඩක් දේවල් මතක් කරල දෙන සුන්දර පුද්ගලයෙක් විධියට මම සෝමරත්න කියන නිර්මාණකරුවාව දකිනවා. කොච්චර ද කියනවා නම් මම ඔහුගේ සරෝජා චිත්‍රපටය විතරක් හතර පස් වතාවක් බැලුවා. ඒ සිනමාකරුවාට ඒ ගීත රචකයාට ඒ පිටපත් රචකයාට මම කොච්චර ආදරේ ද කියල මට දැනෙන්නේ ඔහුගේ නිර්මාණත් එක්ක.

 

කුඩා කල පටන් සෝමරත්න කියන කලාකරුවාගේ නිර්මාණවලට පෙම්බඳින ඔබ කොහොමද ඔහුගේ සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන් එක්වන්නේ?

දමින්ද මඩවල නමැති සහය අධ්‍යක්ෂවරයා තමයි මාව සෝමරත්න දිසානායකයන්ට හඳුන්වල දෙන්නේ. මම ඔහුව කලින් හඳුනාගෙන තිබුණා අපේ රංගන වැඩමුළුවලදී. ඔහු මට කිව්වා සෝමරත්නයන්ගේ අලුත් චිත්‍රපටයකට නළු නිළියෝ හොයනවා. ඔයත් කැමැති නම් ඔඩිෂන් එකට එන්න කියලා. මම ඒ කීමට සෝමරත්න මහත්තයා හමුවෙන්න ගියා. ඔඩිෂන් එකට සහභාගි වුණා. පිටපතේ දෙබස් කීපයක් කියන්න කිව්වා. හැබැයි මේ චරිතයට වැඩිහිටි පෙනුමක් තියෙන කෙනෙක්ව තමයි මම හෙව්වේ. ඒත් මම කැමතියි මෙයා එක්ක වැඩ කරන්න කියලා ඔහු කීවා. ඊට පස්සේ රේණුකා බාලසුරිය මහත්මිය මාව ළඟින් වාඩි කරගෙන මේ චරිතය මෙහෙමයි. ඒක ෂූට් කරන්නේ මෙහෙමයි කියලා මට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. මේ වගේ චරිතයක් කිරීම තුළ මගේ ගෞරවයට හානියක් වෙයිද මොන මොන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි ද සෙට් එකට ගිහිල්ලා යම් විධියකින් මම මේ චරිතය කරලා සමාජයේ කොහොම ජීවත් වෙන්න පුළුවන් වෙයි ද කියන දහසක් ප්‍රශ්න මගේ හිතට ආවා. නමුත් ඔවුන් හා කතා කිරීම තුළ මගේ ගෑනුකමට හානියක් වෙයි. මගේ ගෞරවයට හානියක් වෙයි කියලා මට හිතුණේ නෑ. මම ඒ නිසාම පිටපත ගෙදර ගෙනත් හොඳින් කියවල මගේ කැමැත්ත දුන්නා.

 

මේ වගේ චරිතයක් කරන්න යනකොට ඔබේ ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?

සෝමරත්න දිසානායක මහත්තයාගේ චිත්‍රපටයක රඟපාන්න යනවා කියලා ගෙදරට කිව්වහම ගෙදරින් නම් කිසිම විරෝධයක් එල්ල වුණේ නෑ. හැබැයි මම චරිතය ගැන නම් එහෙම ලොකුවට කිව්වේ නෑ. කොයි දෙමව්පියෝ වුණත් කැමැති නැනේ තමන්ගේ දරුවා නුසුදුසු දෙයක් කරනවාට. ගෙදරින් අවසරය ලැබුණේ මම චරිතය ගැන කොලේ වහලා ගෙදරට කිව්ව දේට, සමහරවිට ඇත්තම කිව්වා නම් මට ජංගි හොරා නැතිවෙන්නත් තිබුණා.

 

කරුණා ප්‍රතිනිර්මාණයේදී ඔබ ජංගි හොරා දර්ශන තලයේදී මොනවගේ අත්දැකීමක් ද ලැබුවේ?

මගේ වෘත්තීමයභාවය අතිශයින්ම ආරක්ෂා වූ දර්ශන තලයක් තමයි මම ඇත්දැක්කේ. සියලු දෙනාම කණ්ඩායම් හැඟීමෙන් පුදුම සහෝදර බැඳීමකින් එකාමෙන් කටයුතු කළා. මම හැම තිස්සේම කියන දෙයක් තමයි, පිරිමි ඉන්නේ ලෝකේ අරගල කරන්න. ගැහැනු ඉන්නේ ලෝකේ මට සිලිටුව වෙනස් කරන්න කියලා. රේණුකා බාලසුරිය මහත්මිය තුළ මම පුදුම මනුස්සකමක් දැක්ක. ඒ තුළ අපි බැදුණු බැඳීම. සල්ලිවලට මිල කරන්න බෑ. අපි සියලු දෙනා අතර බැදුණු ඒ විශ්වසනීයත්වයේ බැඳීම මොනම අයුරකින්වත් පළුදුවෙන්නේ නෑ.

 

ජංගි හොරා සිනමාකරු ඔබව ඔහුගේ කෘතිය සඳහා යොදා ගැනීමේදී ඔබට කරුණා වෙන්න මොන ආකාරයේ මෙහෙවීමක් ද සිද්ධ කළේ?

මම මනස සහ කය කියන දේ අවබෝධ කරගත් කෙනෙක්. විෂයයක් ලෙස මම මමෝවිද්‍යාව හදරාපු කෙනෙක් විදියට මේ පිටපතේ චරිතය ගැන මනා අවබෝධයෙන් තමයි මම සෙට් එකට ගියේ. රඟපෑමේ දී ඔහු කවදාවත් අධ්‍යක්ෂවරයා ලෙස අපිව කොටු කළේ නෑ. මෙන්න මේ චරිතය මේ අයුරින් කළොත් හොඳයි කියලා තමයි අපිට කිව්වේ. අපි කරල බලමු ඇරෙන්න අපිව තලා පෙලා කවදාවත් රංගනය ඉල්ලුවේ නෑ. සෝමරත්නයන්ට කෙනෙක්ගේ රංගනය උකහා ගැනීමේ මානුෂිකභාවයක් තිබුණා. නිර්මාණශිලීව පීඩනයට පත් නොකර බොහොම මානසික නිදහසක් ලබාදෙමින් නිර්මාණශීලි වපසරියක් අපිට හදාදෙමින් අපිව ඔප මට්ටම් කර කර මගේ පළමු සිනමා අත්දැකීම මාත් සමඟ හිටිය අනෙක් චරිත සමඟ බැලන්ස් කරමින් මාව මැටි පිඩක් ලෙස භාවිත කරමින් අවශ්‍ය සිනමාරූපී බව මා හරහා කරුණා තුළින් ලබා ගන්න සෝමරත්න කියන සිනමාකරුවා උත්සුක වුණා.

 

තමන්ගේ ගෙදරටත් වසන් කරලා මේ වගේ චරිතයක් රඟපෑ පසු අද චිත්‍රපටය තිරගත වීමේදී කොයි ආකාරයෙන් ද එයට මුණ දෙන්නේ?

මම නාට්‍ය හා රංගකලාව හදාරපු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඒ වගේම මනෝවිද්‍යාව පිළිබඳ උපදේශකවරියක්. ඒ පිළිබඳ අධ්‍යාපනයක් ලබලා තිබුණ කෙනෙක් මම. ලිංගිකත්වය පිළිබඳ මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන අය ගැන සමාජය එලිපිට කතා නොකරුවත් මම ඔවුන් හා මගේ වෘත්තිය මට්ටමින් කටයුතු කිරිම තුළ හොඳ අවබෝධයක් ලබාගෙන තිබුණා. ඔය චරිතය මට ලැබෙන කාලය වන විට මම විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ඉන්න අවධිය. මම තුළ වුණාත් ලොකු උණක් තියන කාලයක්. ඕනේ දෙයක් ආවත් මට පුළුවන් මුණ දෙන්න. මම බය නැහැ. කවුරු මොනවා කිව්වත් කියලා. මගේ තන දැකලා තියෙන්නේ දෙන්නයි කියලා. මම දන්නවා ඒත් එය කොච්චර කිව්වත් සමාජය පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මම චිත්‍රපටය කරද්දිත් කරල ගෙදර ආවහමත් මගේ පෞද්ගලික ජීවිතයට බලපෑමක් ඇති නොවෙන්න මම වාරණයක් ඇතුව කටයුතු කරන්නත් වග බලා ගත්තා.

 

මේ දවස්වල කරුණාට කොහොමද සමාජ ප්‍රතිචාර? ගෙදර අයත් චිත්‍රපටය බැලුවාද?

ගෙදර අයත් විශේෂයෙන් අම්මත් තාත්තාත් චිත්‍රපටය බලලා ඇවිත් දොස් කිව්වා. දැන්නම් ඒක සමනය වෙලා. අම්මා නම් ගෙට ගොඩ වුණ ගමන් කිව්වේ ඔය කරලා තියෙන්නේ රඟපාන්න ගිහින් දැන් විසුමක් වෙන එකක් නෑ කියලා. දැන් බලන්න, ජංගි හොරා බලන්න මුලින්ම යන පේ‍්‍රක්ෂකයෙක් සමහරවිට යන්න පුළුවන් දිල්හානි ජංගිය ගලවලා දෙන එක බලන්න, බුද්ධි රන්දෙණිය තනය දෙන එක බලන්න. ඒත් යන පේ‍්‍රක්ෂකයා පේ‍්‍රක්ෂකගාරයෙන් එලියට එන්නේ හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් විධියට. මගේ අම්මායි තාත්තායි චිත්‍රපට ලෝලීන්. ඒ දෙන්න මේ තත්ත්වය ඉක්මනින් අවබෝධ කරගත්තා. දැන් වුණත් ඒ දෙන්නට කවුරු හරි වටින් පිටින් මොනවා හරි කිව්වාම බලන්න මේ මෙහෙම කියනවානේ කියල දෝස් මුරේ දානවා. සමාජයෙන් හැමතිස්සේම ගල්මුල් කියන දේ එනවා. ඒ ගල්මුල් ගහන අයගේ ලෝකය අපිට වෙනස් කරන්න බෑ. අද සමාජ මාධ්‍යජාලාවල වුණත් චිත්‍රපටයේ මගේ රංගනයට 99%ක්ම තියෙන්නේ හොඳ ප්‍රතිචාර 1%ක් විතර තියෙනවා නොහොඹිනා ලෙස බැනලා. මම දකින්නේ අනික් පැත්තට ගත්තොත් ඒ මනුස්සයොත් මේ වගේ මානසික ව්‍යාධින්ගෙන් පෙළෙන අය වෙන්න පුළුවන්. මම ඒ කිසිම ප්‍රතිචාරයකට ආගිව් කරන්න යන්නේ නෑ. ඒ තමයි මනුස්ස ස්වභාවය. ඒ වගේ ප්‍රතිචාර ගල්මුල් මට එනවා කියලා දැනගෙන තමයි මම මේ චරිතය රඟපාන්න ගියේ. මේ වගේ අයගේ මානසික රෝගී බව සුව කරන්න මට මනෝ උපදේශනයෙන් තවත් දෙයක් කරන්න පුළුවන් නම් මම ඒ දේ වුණාත් කරන්න ලෑස්තියි. හුඟාක් අය අහන්නෙම මේ ඔයාම ද තන පෙන්වන්නේ කියලා. මම කියන්නේ තමන්ගේ තන පෙන්නුවා නම් පෙන්නුව කියන්නේ නැතුව මම පිට පෙන්නුවේ, අධ්‍යක්ෂවරයා වෙන කෙනෙක්ගේ එකක් එතැනට දාලා කියලා හෙණ ඉල්ලුවට වැඩක් නෑ. ගිවිසුම අත්සන් කරන්නේ, තන පෙන්නන්න ද පිට පෙන්නද කියලා කලින්ම කිව්වොත් නිර්මාණයට කරන අසාධාරණයත් වැළකෙනවා. පස්සේ නිර්මාණකරුවට දෙස් දොවොල් තියන එකත් වැළ කෙනවා.

 

ජංගි හොරා සයිකොලොජි වර්ක්ෂොප් එකක් කියලත් කියනවා නේද?

වෙන්න පුළුවන්. මගේ තනේ බලන්න කියලා සිනමා ශාලාව ඇතුළට යන පේ‍්‍රක්ෂකයා එයින් එළියට එන්නේ වෙනස් පුද්ගලයෙක් විධියට. අපේ සමාජයේ අපි විවෘතව කතා නොකරන ඒත් සමාජය තුළ විශාල වශයෙන් තියෙන සමාජ ප්‍රශ්නයක් මේ. රෝගී තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයෙක් ගැන, ඔහුව එයින් මුදවා ගන්න හදන උත්සාහය ගැන මුළු මහත් සමාජය දැනුම්වත් කරන නිර්මාණයක් විධියට මම මේ සිනමා කෘතිය දකිනවා. මගේ පෞද්ගලික මතය නම් අපේ රටේ අවුරුදු 18ට වැඩි හැම ළමයෙකුට පෙන්විය යුතු චිත්‍රපටයක් මේක. මම කියන්නේ ලිංගිකත්වය කියන දේ අපි විවෘතව කතා කළ යුතු මාතෘකාවක්. එහෙම වුණොත් සමහර විට අපේ රටේ තියෙන දික් කසාදය බොහෝදුරට වළකාගන්න පුළුවන් වෙයි. චිත්‍රපටය බලපු බොහෝ අම්මලා තාත්තලා අද තමන්ගේ දරුවන් පෙළෙන රෝගී තත්ත්වයන් ගැන කතා කරන්න අපේ උපදේශනයන් වෙත යොමු වෙන බවක් දකින්න තියෙනවා. සමාජයේ කවුරුත් මෙතෙක් කතා නොකරපු ඒත් සමාජයේ පවතින මාතෘකාවක් පිළිබඳ සෝමරත්න දිසානායක කියන සිනමාකරුවා සමාජ යහපත වෙනුවෙන් සිනමාරූපීයව සමාජය අවධි කිරීම ගැන මම ඔහුට ස්තූති වන්ත වෙනවා, එහි රඟ පෑ නිළියක් ලෙස නොව එවැනි ගැටලු සඳහා මමෝවිද්‍යාත්මකව උපදෙස් ලබා දෙන කෙනෙක් හැටියට.

 

අපේ සමාජය සංස්කෘතික බලපෑම් මත කොටුවෙලා ඉන්න යුගයක ඔබේ රඟපෑම් සඳහා ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක් ද?

කුණු රසය හොයන කෙනාට කොච්චර ප්‍රණීත රසයක් ලැබුණත් වැඩක් නෑ. හොයන්නේම කුණු රසය. සමහරුන්ට ගැනියෙක්ගේ යට සායේ රේන්දය පේන්න බෑ. ඊට පස්සේ හොයනවා පෑන්ටියේ රේන්දය ගැන එකෙන් නවතින්නේ නෑ. ඊට පස්සේ හොයනවා ඒ ඇඳුමෙන් වැහිල තියෙන අවයවය. ඔන්න වැඩි දෙනෙක්ගේ ඇත්ත මානසිකත්වය දැන් බලන්න මම ජංගි හොරා සිනමා කෘතියේ කරුණාට රඟපෑමක් කළා ඒක රඟපෑමක් විතරයි. ඒක මගේ සැබෑ ජීවිතය නොවෙයි. චිත්‍රපටය බලපු බොහෝ පිරිසක් මට කතා කරලා කියනවා ඔයා හොඳට රඟපානවා කියලා. මම කරුණා හැටියට කොච්චර සීන් කළාද එළවළු කැපුුවා, මල්වලට පෝර ද වතුර ද දැම්මා. ඒ මොනවත් නෑ ඒත් අර සීන් එකේ මගේ තන පෙන්නුව එක තමයි මේ අය අගය කරන්නේ. මගේ සමස්ත රඟපෑම ගැන කතාවක් නෑ. මට වැරදුණ තැනක් හදාගන්න සමස්ත රංගනයේ අඩුපාඩු කිසිවක් ගැන කියන්නේ නෑ. කියන්නෙම මගේ තන ගැන විතරයි. සමාජයේ 10% විතර නිර්දය විධියට කරන්නේ තන පෙන්වීම විවේචනය කරනවා. මාකටින්වලට සෝමරත්න චිත්‍රපටය කළා කියලා ඔහුට ගරහනවා. මෙච්චර හොඳ චිත්‍රපටයක මම රඟපෑව කියලා හොඳක් කියන එක වෙනුවට තනේ එල්ලිලා පහර ගහනවා. ඒක මට කායිකව ලැබිල තියෙන දෙයක් චිත්‍රපටය තිරගත වුණාට පස්සේ මිනිස්සු ගොඩදෙනෙක් මනසින් එය එල්ලගෙන. ඒකද විය යුත්තේ? නිර්මාණයට මම දායක වුණා පමණයි. මම හිතුවේ නෑ කවුරුවත් මගේ අගපසඟ මනසින් එල්ලන් ඉදියි කියලා. මෙතන තියෙන්නේ විනයක් නැතිකම. අම්මාගේ තන විතරයි ගරුත්වයක් තියෙන තන අනෙක් ගෑනුන්ගේ තනයට ගරුත්වයක් ඕනෙ නෑ. ගෑනු අගපසඟ කෙළි බඩු නෙවෙයි.

 

ඉදිරියේදීත් ඔබට මෙවැනි දර්ශනයක් සඳහා නිර්මාණකරුවන් ආරාධනා කළොත්?

මම ඒ ප්‍රශ්නයට ඔව් කියන්නේත් නෑ. බෑ කියන්නේත් නෑ. හා කියන්නෙත් නෑ. පිටපත තමයි මට වැදගත්. පිටපතේ චරිතය මාකටින් නම් මම භාර ගන්නේ නෑ. මට හිතුණොත් ඒක කලා කෘතියට අවශ්‍ය දෙයක් කියලා විතරයි මම බාර ගන්නේ. මගේ නිරුවත මාකටින් පොයින්ට් එකක් කරගත්තොත් මගේ ගෑනුකම සිල්ලර කාසියක් වෙනවා. ඒ විතරක් නොවෙයි. සමස්ත ගෑනු වර්ගයටම ඒක අවලාදයක් වෙන්න පුලුවන්.

*බුද්ධි රන්දෙණිය ගේ රංගනය හා ඒ ගැන ඇගේ කතාබහ අවසන අපට සෙන් බෞද්ධ කතාවක් සිහිපත් විය. මහලු හා තරුණ භික්ෂූන් වහන්සේ දෙනමක් ගමනක් යන අතරමඟ ගඟක් තරණය කළ යුතු විය. ගඟ තරණයට බියේ සිටි එක් යුවතියක් කර ඔසවා ගත් තරුණ භික්ෂු වහන්සේ ඇය ගඟෙන් එතෙර කර තමන්ගේ ගමන ගියහ. මහලු භික්ෂුව එය දැක නොරොක් විය. බොහෝ දුරක් ගිය පසු මහලු භික්ෂුව කතා කළේය. ස්ථිවිර අර කළ වැඩේ නරකයි. කියමින් තරුණ භික්ෂුවට දොස් පැවැරුවේය. තරුණ භික්ෂුව සන්සුන්ව පැවසුවේ අනේ හාමුදුරුවනේ මම ඒ ළමයාව එතැන අතඇරල ආවේ. ඔබ වහන්සේ තවමත් ඇය කර තියන් ඇවිල්ලානේ.

බුද්ධි රන්දෙණියගේ රංගනය පිළිබඳව අවිචාරාත්මකව සිතන්නන්ට දිය හැකි පිළිතුර එය විය යුතුය.

 

 

සේයාරුව - නිශ්ශංක විජේරත්න