කවුරුවත් දන්නේ නෑ ප්‍රදර්ශනය වන සිනමා ශාලා මම දන්නෙත් නෑ

බෙනට් රත්නායක
ජනවාරි 6, 2022

තම කුලුඳුල් සිනමා නිර්මාණය වන අස්වැසුම චිත්‍රපටය සඳහා සරසවිය සම්මානය දිනාගත් බෙනට් රත්නායක සිය සිනමා දිවියේ විසි වසර සපුරද්දී ඔහුගේ පස්වැනි සිනමා කෘතිය තිරගත කළේය. එය මේ දිනවල ප්‍රදර්ශනය වන ' කවුරුවත් දන්නේ නෑ' චිත්‍රපටයයි. සුළඟ, නෙලා සහ ඉර හඳ යට ඔහුගේ අනෙක් සිනමා කෘති වේ. කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු සිනමා ශාලා වෙත යළි ප්‍රේක්ෂකයන් ඇද ගැනීමට ' කවුරුවත් දන්නේ නෑ' සමත් වේද? අපේ සිනමාවේ ඉදිරිය කෙසේ විය යුතුද? බෙනට් රත්නායක සිනමා අධ්‍යක්ෂවරයා සරසවියට දැක්වූ අදහස් මෙසේ ය.

කවුරුවත් දන්නේ නෑ වැනි නමක් ඔබේ පස්වැනි චිත්‍රපටයට යොදා ගැනීම ගැන කියලම කතාව පටන්ගමු?

මගේ චිත්‍රපටය දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. ඇත්තටම අපි මේ රටේ පසුගිය අවුරුදු 20-30 පුරා සිදු වුණු දේශපාලනික වෙනස්කම්, ඒවායේ මිහිරි, අමිහිරි අත්දැකීම් වින්ද අය. හුඟාක් දෙනා කතා කරන විට අසාධාරණයට විරුද්ධයි, අයුක්තියට එරෙහියි, අවනීතියට විරුද්ධයි, ඥාති සංග්‍රහයට අකැමැතියි, දූෂණයට වංචාවට විරුද්ධයි, පරිසර හානියට, මත්ද්‍රව්‍යවලට විරුද්ධයි. හැමෝටම ඕනෙ හොඳ රටක් හදන්න. ඒත් ඒ හැම දේම දැක දැකත් බහුතරය කරන්නේ නොදැක්කා සේ, නොදන්නා සේ අහක බලාගෙන ඉන්නවා හරියට ඒ කිසි දෙයක් කවුරුවත් දන්නේ නෑ වගේ. ඒ නිසයි මම මේ චිත්‍රපටය Nobody knows  කවුරුවත් දන්නේ නෑ කියලා නම් කළේ.

මෙයට පාදක වුණෙත් ඒ සංකල්පයම විය යුතුයි?

මම චිත්‍රපට ගොඩක් හැදුව කෙනෙක් නෙවයිනෙ. අවුරුදු 20ක සිනමා ජීවිතේ මේ මගේ පස්වැනි චිත්‍රපටය. මගේ පළමු චිත්‍රපටය - අස්වැසුම ප්‍රදර්ශනය වෙලා පසුගිය දෙසැම්බර් 28 වැනිදාට වසර විස්සක් වනවා. මම වෘත්තීයමය සිනමාකරුවෙකු නොවන නිසා විවේකයක් ලැබුණු විට පමණයි චිත්‍රපටයක් කළේ. නිර්මාණ කරුවකු විදිහට මම හැම විටම උත්සාහ කළේ ඒ මොහොතේ මට හිතෙන දේ නිර්මාණය කරන්න. අස්වැසුම චිත්‍රපටයෙන් මම කතා කළේ තෘෂ්ණාව සහ බෞද්ධ දර්ශනය පිළිබඳ. සුළඟ චිත්‍රපටයෙන් සමාජයේ තල හතරක සිටින ස්ත්‍රීන් හතරදෙනෙකු ජීවිතය සහ ආදරය දකින ආකාරය ගැන කතා කළා. ඉර හඳ යට කරද්දි යුද්ධය සහ ජනවාර්ගික ගැටුම් නිසා අපි බොහෝ පීඩාවට පත්ව සිටියෙ. යුද්ධයේ අත්දැකීම් නිසා මට ඇති වුණු කම්පනය පිළිබඳවයි මම ඒ චිත්‍රපටය කළේ.

නෙලා නිර්මාණය කළේ බොහෝ දෙනා ආදරය සත්‍යයක් ද පිවිතුරු ආදරයක් තිබිය හැකිද වැනි දේ විමසන නිසා, මිනිසුන් ළඟ පිවිතුරු ආදරයක් තිබිය හැකි බවට ස්පාඤ්ඤ ජාතික නවකතාකරුවකු වන බෙනිටෝ පෙරොස් ගල්ද්‍රේස් ලියූ මරිය නෙලා කතාව ඇසුරින්. නිහඬව සිටි කාලයෙන් පසු 2019 දී චිත්‍රපටයක් හදන්න හිතුණාම මගේ මුල් රැකියාව වන ගුරු වෘත්තිය සහ ඉන් පසු රාජ්‍ය සේවයේ ලද අත්දැකීම් නිසා සාමාන්‍ය පුරවැසියකු ලෙස මා ලද කම්පනය සිනමාවට නඟන්න හිතුවා. මම ඉතාම අවංක, සරල, රට දියුණු කට යුතු යැයි සිතූ දේශපාලනඥයන් දුටුවා. අද වන විට ඒ ක්‍රමවේදය මුදල් සහ බලය මත සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. ඒ සමඟ අපි විඳී අමිහිරි අත්දැකීම් ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන්න හිතුවේ ඒ නිසයි.

 

සති දෙකක් ගෙවෙද්දී ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

අති පෞද්ගලික අන්තවාදී දේශපාලන මතවාද තිබෙන අයගෙ ප්‍රතිචාර මට වැඩක් නැහැනේ. මොකද ඒ අය මේ චිත්‍රපටයට අකමැති වෙන්නත් පුළුවන්. ඒ වගේම දූෂණ වංචා වැනි දේට කැමැති අයත් මෙයට අකැමැති වෙන්න පුළුවන්. ඒත් සමස්තයක් වශයෙන් ගත්තාම චිත්‍රපටය නැරඹූ අති බහුතරයක් චිත්‍රපටයට ආදරෙයි. ඔවුන් මට ස්තූති කළා කාලෙකින් චිත්‍රපටයක් බලන්න ශාලාවට ගිහින් සතුටින් එළියට එන්න අවස්ථාව සලසා දුන්නා කියලා. පැය 2යි මිනිත්තු 8 ඔවුන් චිත්‍රපටය සමඟ රඳවා ගන්න සමත් වූ බව සමහරු මට දුරකථන ඇමතුම් පවා ලබා දී කීවා. ඒ කට වචනයෙන් ලැබෙන ප්‍රචාරය තමයි චිත්‍රපටයකට වඩාත් වැදගත් වන්නේ ජනතාව ආකර්ෂණය කරගන්න.

 

මේ වන විට ශාලා කීයක පමණ එය ප්‍රදර්ශනය කෙරනවාද?

ඒවා තමයි කනගාටුම කරුණු. චිත්‍රපටය තිරගත වන ශාලා ගණනවත් මම හරියට දන්නෙ නෑ. ප්‍රධාන චිත්‍රපට ශාලා 17ක විතර තිබෙනවා. එහෙත් ඒ සියල්ලේම මට දර්ශන වාර තුන ලැබෙන්නෙ නැහැ. අපි ඉස්සර චිත්‍රපටයක් ප්‍රදර්ශනයට මුදා හැරියාම දර්ශන වාර තුනක් ලැබුණා. දැන් එහෙම නෑ. ඊ සිනමා ශාලා කිහිපයකුත් තිබෙනවා. ඒත් ඒවාත් ක්‍රමවේදයකට චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නෙ නෑ. සිනමා ශාලා නිශ්චිත කාල සටහනකට අනුව ප්‍රදර්ශනය නොකිරීම සිනමාකරුවාටත්, ප්‍රේක්ෂකයාටත් දැඩි ලෙස බලපානවා. ඉස්සර නම් අප දන්නවා අදාළ සිනමා ශාලාවේ අදාළ චිත්‍රපටය අහවල් වෙලාවට පෙන්වනවා කියලා. අද එහෙම නෑ. ඒ පීඩාවට සිනමාකරුවකු ලෙස මම ලක් වෙලා ඉන්නෙ. එය අනාගත සිනමාකරුවන්ට සිදු නොවේවා කියලයි ප්‍රාර්ථනා කරන්නේ.

 

එසේ නොවන්න නම් ඔබ යෝජනා කරන විසඳුම් මොනවාද?

චිත්‍රපටයක් මුදාහරින විට නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුයි එය සිනමා ශාලාවලට බෙදී යන්නේ කොයි ආකාරයෙන් ද, දර්ශන වේලාවන් මොනවාද ආදිය පිළිබඳව. මේ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් වී හෝ නැත්නම් ස්වාධීන නියාමන මණ්ඩලයක් ස්ථාපනය කර හෝ හැමෝටම සාධාරණ අයුරින් එය ක්‍රියාත්මක විය යුතුයි.

 

ඒත් සමහර චිත්‍රපට සඳහා අවශ්‍ය ශාලා ගණන ලැබෙනවා ?

මට එය කතාකරන්න කැමති නැහැ. මේ ප්‍රදර්ශන ක්‍රමයේ ඇති අක්‍රමවත්බව නිසා, 2001 වසරේ පටන්ගත් පෞද්ගලික සමාගම් විසින් චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදය ආදිය නිසා ක්‍රමක්‍රමයෙන් සුනුවිසුනු වී ගිය විධිමත් බව බොහෝ සිනමාකරුවන්ට බලපානවා. ඔය විශාල රජකතාවක් හරි, ළමා කතාවක් හරි කරන අයට මෙය බලපාන්නෙ නැතුව ඇති. අනෙක් හැම සිනමාකරුවකුටම එය බලපාන නිසා මම දැඩිව පෙනී සිටිනවා අපේ දේශීය සිනමාව ආරක්ෂා කර ගන්න නම් ස්වාධීන නියාමන මණ්ඩලයකින් නියාමනය වන ක්‍රමවේදයක් අවශ්‍යයි කියන මතය වෙනුවෙන්.

 

මේ වන විට සිංහල චිත්‍රපට කීපයක් ප්‍රදර්ශනය වනවා. ඒ ගැන මොකද හිතන්නේ?

කමක් නෑ. මිනිසුන්ට තෝරා ගැනීමක් තිබෙනවානෙ එතකොට. ඒත් සිනමා ශාලා හිමියන් හෝ සිනමාව බේරගන්න ඉන්න වීරයන් වත් කතා කරන්නෙ නෑ ඉංග්‍රීසි, දෙමළ සහ හින්දි චිත්‍රපට 23 පමණ මේ මොහොතේ ප්‍රදර්ශනය වන එක ගැන.

 

එයට හේතුව ඒ චිත්‍රපටවලට සෙනඟ ඉඳීම නෙවෙයිද? ශාලා හිමියන් බලාපොරොත්තු වන ආදායම් ඒ චිත්‍රපටවලින් ලැබෙනවා?

පිටරටින් හාල් ගෙනත් රුපියල් පහට විකුණන්න පුළුවන් කියලා අපේ සම්පූර්ණ කෘෂිකර්මය ම විනාශ කරන්නත් බැහැනෙ අපට නේද? මම පිළිගන්නවා ස්පයිඩර් මෑන් වගේ චිත්‍රපට ඩොලර් මිලියන 400ක් විතර වියදම් කර හදන නිසාත් ඒවා චරිත විදිහට ලොව පුරා ජනප්‍රිය වී තිබෙන නිසාත් බොහෝදෙනාගෙ මනසට කා වැදී ඇති නිසා සිනමාවට කැමැති අය එය නරඹන්න එන බව. මම දකින අනෙක් දුර්වලතාවක් තමයි අපේ තරුණ පරපුර හිතනවා ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන එක හරි ලොකුකමක්ය කියලා. ඒ අයත් අපේ චිත්‍රපට බලන්න ඕනෙ. අපි තරුණ කාලෙ විදේශීය වගේම දේශීය චිත්‍රපට බැලුව නිසානෙ අද අපට සිනමාකරුවකු හෝ වෙන්න ලැබුණේ. වර්තමානයේ අන්තර්ජාතික පාසල්වලට යන අය හිතනවා අපි වෙනම සමාජ තලයක පිරිසක්, අපි සිංහල චිත්‍රපට බලන්නෙ නෑ කියලා. එය තවදුරටත් අපේ කණ්ඩායම්වලටත් විහිදී යනවා. එය වැරැද්දක්. ඒ නිසා මම ආරාධනා කරනවා මේ පිරිසක් අපේ චිත්‍රපට බලන්න. සියල්ලම නෙවෙයි යම් වැදගත්කමක් ඇති ඒවා පමණක් නරඹන්න. ඒවායේත් සිත් ඇදගන්නා සුලු දේවල්, තමන්ගේ සිතුම් පැතුම්වලට, දැක්මට බලපෑමක් ඇති කරන්න පුළුවන් දේ ඇති බව ඒ අයට වැටහෙයි.

 

ඔබේ චිත්‍රපටවල චරිතවලට ඔබේ දරුවන් යොදාගැනීම සම්බන්ධයෙන් සමහරු විවේචන එල්ල කරනවා?

මගෙ දරුවන් විතරක් නෙවෙයි මගේ නෑයන් පවා ගොඩ දෙනෙක් මගෙ චිත්‍රපටවල රඟපානවා. උදාර විතරයි මේ චිත්‍රපටයේ රඟපාන්නෙ. ඔහු චරිතය ඉතාම විශිෂ්ට අයුරින් නිරූපණය කරනවා. ඇත්තෙන්ම මට අනෙක් අයගෙ විවේචන අදාළව නැහැ. නිර්මාණකරුවකු ලෙස මම බලන්නෙ ගෙදර උදවුවට ඉන්න කෙනා හෝ චරිතයට ගැළපෙනවා නම් යොදාගන්නයි. මේ චිත්‍රපටයෙත් මම අඳුනන අය විස්සක් පමණ රඟපානවා. ඕවා විහිළු කතා. මිනිස්සු බලන්න ඕනෙ සිනමා කෘතිය විතරයි. ලෝකයේ ඕනෑ තරම් මේ වගේ දේවල් වනවා. එනිසා එය සිනමාවට අවශ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මම නිතරම උත්සාහ කරන්නේ මගේ කෘතියට උපරිම සාධාරණයක් කළ හැකි ශිල්පීන් යොදා ගැනීමටයි. එහිදී ඔවුන්ගේ නෑදෑකම් මම බලන්නෙ නෑ.

 

ඔබ කවුරුවත් දන්නේ නෑ චිත්‍රපටයෙන් උත්සාහ කළේ අපට නැති වුණු සිනමාවේ වීරයා යළි ගොඩනඟන්නද?

ඒක මම දන්නෙ නෑ. මම උත්සාහ කළේ පොලිස් නිලධාරියෙක් අවංකව තමන්ගෙ රාජකාරිය කරද්දි ඔහු මුහුණ දෙන ගැටලු, ඔහුගේ පවුල් ජීවිතයට ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය ඉදිරිපත් කරන්න. එහිදී වීරයෙක් නිර්මාණය වුණා නම් මම හරිම කැමැතියි.

 

සිනමාවෙන් අපේ ප්‍රේක්ෂකයා ඈත් වන්නට හේතුව ලෙස ඔබ සිතන්නේ?

කෙනෙක් වියදම් කරලා චිත්‍රපටයක් බලන්නේ යම් තෘප්තියක් ලබන්න. එය නැති වෙද්දි රසිකයා ශාලාවෙන් ඈත් වෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයා ඇදබැඳ ගන්නා, ඔහුට හැඟීමක් ඇති වන චිත්‍රපට නිර්මාණය වෙන්න ඕනේ. ලෝකෙ ප්‍රධාන පෙළේ චිත්‍රපට උලෙළවලින් සම්මාන ගන්න චිත්‍රපට ජනතාවටත් ආකර්ෂණය වනවා. ඒත් එක්කෙනාගෙ පෞද්ගලික සිහින තිබෙනවානෙ. මගේ චිත්‍රපටයත් විවිධ සම්මාන උලෙළවල සම්මාන ලබා තිබෙනවා. ඒත් එය දේශීය ප්‍රේක්ෂකයා රඳවා ගන්නෙ නැත්නම් වැඩක් නැහැනේ. මම තරුණ නිර්මාණකරුවන් ගෙන් බලාපොරොත්තු වන්නෙ සම්මානත් ගන්න ගමන් අපේ ප්‍රේක්ෂකයන්ටත් දැනෙන ඔවුන් ආකර්ෂණය කරන චිත්‍රපට හැදීමයි.

 

ඔබේ ඉදිරි බලාපෙරොත්තු?

මම දැඩි කම්පනයට පත් වුණා මේ චිත්‍රපටය නිසා. මට කළ හැකි සියලුම බාධා කළා.

මගේ නම් කිසිම බලාපොරොත්තුවක් නෑ මේ රටේ ආයෙ චිත්‍රපටයක් කරන්න. මම දන්නෙ නෑ ඉදිරියේදී මම ආයෙ චිත්‍රපට කරයිද කියලා. සමහර විට මම සම්පූර්ණයෙන්ම මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්නත් ඉඩ තිබෙනවා.

 

සේයා රූ - නිශ්ශංක විජේරත්න