සංස්ථාවෙන් අපට සහයෝගය ලැබුණේ නෑ

නිම්හිම් අධ්‍යක්ෂ මිචෙල් ෆොන්සේකා
දෙසැම්බර් 30, 2021

 

මෙරට තුළ චිත්‍රපටයක් නිර්මාණය කිරීම පහසු නමුත් එය තිරගත කරන්නට නම් පහසු නැති බව සිනමා අධ්‍යක්ෂවරු නිතර පවසති. එමෙන්ම චිත්‍රපටය තිරගත කරද්දී මුහුණ දෙන්නට සිදුවන අභියෝගයද බොහෝ බව ඊළඟට ඔවුන් දක්වන අදහසයි. සිනමා අධ්‍යක්ෂ මිචෙල් ෆොන්සේකා සමග කළ මේ කතාබහේදී ඔහු වැඩිපුරම සඳහන් කළේද එයයි. මේ දිනවල ඔහුගේ චිත්‍රපටයක් තිරගත වේ. එය නිම්හිම්ය. නිම්හිම් මිචෙල් ෆොන්සේකාගේ දෙවැනි සිනමා නිර්මාණය වන අතර ඔහු මීට ප්‍රථම සුපිරි අන්දරේ චිත්‍රපටය තිරයට ගෙන ආවේය.

 

චිත්‍රපටයක් තිරගත කරන්නට පටන්ගත් මොහොතේ පටන් අධ්‍යක්ෂවරු මුහුණ දෙන්නට සිදුවන ගැටලු කිහිපයක් තියෙනවා. ඔබත් ඊට මුහුණ දුන්නා?

මම හිතනවා අපි වගේ පොඩි නිර්මාණකරුවන් හැමෝටම ඒ තත්ත්වයට මුහුණ දෙන්නට වෙනවා ඇති කියලා. මම මේ චිත්‍රපටය නිර්මාණය කළේ අවුරුදු පහකට පමණ පෙර. සාමාන්‍යයෙන් චිත්‍රපටයක වැඩ නිමකරලා තිරගත කරන්න අවුරුද්දක් හමාරක් ගතවෙනවා. මේ චිත්‍රපටියත් අපි එහෙම ෂෙඩුල් කරලා තිබුණෙ. නමුත් කොවිඩ් වසංගතය නිසා දෙවතාවක්ම චිත්‍රපටය පෙන්නන්න නොහැකිව කල්ගියා. අවසානයේදී පසුගිය මැයි මාසයේ දහතුන් වැනිදා තමයි පෙන්වන්නට අපි සැලසුම් කර තිබුණේ. ඒ කාලයේදී නැවතත් රට වැහැව්වා. පසුව අපිට දෙසැම්බර් 09 දින ලැබුණා. මේ රිලීස් කළේ එහෙම ලැබුණ දිනේයේදී.

 

නමුත් ඔබට පෙර චිත්‍රපට කිහිපයක්ම ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තා?

ඇත්තටම අපගේ නිර්මාණකරුවන් එකිනෙකා සන්නිවේදනය කර නොගන්නා හින්දමදෝ මන්දා එහෙම වුණේ කියලත් මට හිතෙනවා. මම දන්න විදියට එක්තරා චිත්‍රපටයක් තිරගත කරන්න දින ලැබුණේ එහි වැඩ කටයුතු නිමා නොකර තියෙද්දි. අන්තිමේට අපිට වුණේ ඒ චිත්‍රපට අතරින් අපේ චිත්‍රපටය රිලීස් කළා වගේ වැඩක්. ඇත්තම කිව්වොත් මටයි ඔය හැමෝටම කලින් දින දුන්නෙ. එහෙම ලැබෙද්දි කිසිම චිත්‍රපටයක් රිලීස් වෙන්න තිබුණේ නැහැ. නමුත් එක දිගට චිත්‍රපට පෙන්නන්න පටන්ගත් නිසා අපි වගේ පුංචි නිර්මාණකරුවන්ට බලවත් අසාධාරණයක් වුණා.

 

මා දන්නා පරිදි ඔබ චිත්‍රපටය මුදාහරින්නට සැලසුම් කොට තිබුණේ ජාතික චිත්‍රපට සංස්ථාව සතු මණ්ඩලයේ. ඒක එහෙම නොවුණේ ඇයි?

ඇත්තම කිව්වොත් ඔබ කිව්වා වගේ ඒ මණ්ඩලයේ තමයි චිත්‍රපටය මුදාහරින්න අපි මුල ඉඳලම හිතාගෙන හිටියේ. මොකද මගේ කලින් චිත්‍රපටය සුපිරි අන්දරේ තිරගත වුණෙත් චිත්‍රපට සංස්ථා මණ්ඩලයේ. එකත් එක්ක මට හිතුණා මගේ දෙවැනි චිත්‍රපටයත් ඒකටම දෙන්න. නමුත් හිතපු තරම් මෙවර අපිට සහයෝගය ලැබුණේ නෑ. කියන්න කනගාටුයි, අපි චිත්‍රපටයක් කරන්නේ බොහොම වෙහෙස මහන්සි වෙලා. නිෂ්පාදකවරයෙක් මේ සඳහා මුදල් යොදවන්නේ යම්කිසි බලාපොරොත්තුවක් මත. අපගේ සිතුම් පැතුම් සියල්ලම සුනුවිසුනුවී ගෙන යනවා අපිට චිත්‍රපටිය මුදාහරින වෙලාවේදී කිසියම් හෝ සහයෝගයක් නැත්නම්. අන්න ඒ ඒ දේ අපිට ලැබුනේ නැහැ. ඒ නිසා මම තීරණය කළා සංස්ථා මණ්ඩලයෙ නැතුව එම්.පී.අයි.මණ්ඩලයෙ චිත්‍රපටය තිරගත කරන්න.

 

මේ තත්ත්වය මත චිත්‍රපටිය සඳහා හිතපු තරම් චිත්‍රපට ශාලා සංඛ්‍යාවක් ලැබුණේ නැහැ නේද?

අපිට දින ලැබුණම චිත්‍රපට ශාලා 35ක් විතර දෙන්නම් කියල තමයි පොරොන්දු වුණේ. වෙනත් චිත්‍රපට මට පෙර තිරගත කරන්නට පටන් ගත් නිසා ඉතා අවම මට්ටමේ ශාලා කිහිපයක් තමයි මට ලැබුණේ. කියන්න කනගාටුයි එය සංඛ්‍යාවක් ලෙස පැවසුවොත් ශාලා අටයි. කොළඹ ප්‍රදේශයේ එක චිත්‍රපට ශාලාවක්වත් නිම්හිම් චිත්‍රපටය පෙන්වන්නේ නැහැ. ඒක තමයි මට සිදුවුණු බලවත් අසාධාරණය. බලපුළුවන්කාරකම් තියෙන පුද්ගලයෝ ශාලා වැඩි ප්‍රමාණයක් එයලගෙ චිත්‍රපටය පෙන්න ගන්නවා. නමුත් අපිට අන්තිමේදී ලැබුණු දෙයක් නැහැ

 

චිත්‍රපට පෙන්වන්න ක්‍රමවේදයක් ඇත්නම් මේ වෙලාවේ ඔබට යෝජනා කරන්න පුළුවන්?

මේකට මහා ලොකු ක්‍රමවේදයක් ඕන නැහැ. ඉස්සර රීල්වලින් අප චිත්‍රපට කරන කාලේ එක චිත්‍රපටයක් හොඳට ප්‍රදර්ශනය වුණායින් අනතුරුව තමයි අනිත් චිත්‍රපට මුදාහරින්නට කටයුතු කළේ. ඒ සමගිය ඇත්තටම දැන් නැහැ. එක දිගට එක දිගට එක දිගට චිත්‍රපට පෝලිමේ එනවා. එකක්වත් හරියට මිනිස්සුන්ට නරඹන්න විදිහකුත් නෑ. මං හිතන්නේ මේ වෙලාවේ නිර්මාණකරුවො මානුෂීය විදිහට සිතන්නට ඕනේ. චිත්‍රපටියක් තිරගත වෙලා ඊට පස්සෙ තව චිත්‍රපටියක් දාන්න ඕනේ. එක තමයි ඉතින් එන හොඳම ක්‍රමවේදය.

 

නිම්හිම් චිත්‍රපටය නිර්මාණය කරන්නට අඩිතාලම වැටුණේ කොහොමද?

ඇත්තටම මම නිර්මාණය කරන්න හිටියේ මේ චිත්‍රපටය නෙවෙයි. මම වෙන තිරපිටපතක් ළග තියාගෙන වෙනම චිත්‍රපටයක් කරන්න හිටියෙ. නමුත් ගයාන් ගුණවර්ධන කියන නිෂ්පාදකවරයා මට දවසක් කෝල් කරල කිව්වා sanam theri kasam  කියන චිත්‍රපටය එයා නැරඹුවා එක ඉතාම ලස්සන චිත්‍රපටියක් ඒ වගේ එකෙක් අනුවර්තනය කර සිංහල චිත්‍රපටයක් නිර්මාණය කරමු කියලා. ඉතින් ඒ කතාව ඔස්සේ තමයි මේ නිම්හිම් චිත්‍රපටිය නිර්මාණය වන්නේ. ඒක ලංකාවට ගැළපෙන විදිහට අපි යම් යම් තැන් වෙනස් කළා. ගයාන්ගේ ඒ ආරාධනාව මත තමයි නිම්හිම් චිත්‍රපටය නිර්මාණය වන්න මග පෑදෙන්නේ.

 

මේ වෙනවිට නිම්හිම් චිත්‍රපටය තිරගත වෙනවා. නමුත් ඔබ කිව්වා වගේ යම් යම් අභියෝග බාධක තිබෙනවා. ඒ මත නිෂ්පාදක නිෂ්පාදකවරුන් ඔබට මොනවද කියන්නේ.

මේ වෙලාවේ ඔවුන්ට තියෙන තත්ත්වය ගැන මනා අවබෝධයක් තියෙනවා? අප හිතන්නේ ඉදිරියේදී වෙනස් ක්‍රමෝපායන් භාවිත කරමින් මේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න. ඒක තවත් සරලව කිව්වොත් එහෙම චිත්‍රපටි ශාලා දිනකට හෝ දෙකකට අපි සල්ලි දීලා වෙන්කරගෙන එතැන අපි චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න සැලසුම් කරනවා. ඉස්සරහට එහෙමවත් මේ චිත්‍රපටය මිනිසුන් අතරට යවන්න තමයි හිතාගෙන ඉන්නෙ.

 

සේයාරුව - තිලක් පෙරේරා