මම ප්‍රශ්න නැති අධ්‍යක්ෂවරයෙක්

-කබඩි අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද-
අප්‍රේල් 22, 2021

 

සෙනාලි - අමිල රඟපෑවේ ජීවිත අවදානම් එක්ක

 

නළු සිහිනය අධ්‍යක්ෂණයෙන් ඉවර වුණා

 

චිත්‍රපටයට අකැමැති නම් නොබලා ඉන්න

 

චිත්‍රපටි පෙන්නන්න සිනමාශාලා නැති වුණත් ඒකට මට විසඳුම් තියෙනවා

 

ඒ අය මට මඩගහන්නේ ඉරිසියාවට

 

වාණිජ චිත්‍රපටි හදන තරුණ අධ්‍යක්ෂවරු මේ සිනමාවට ඕනේ

 

මගේ ඊළඟ වැඩේ ""Red"

 උන්මාද චිත්‍රා කතාවෙන් චිත්‍රපටයක් කරනවා

 

 

උලත් එකයි පිලත් එකයි, කොළඹ සන්නිය, ගෝරි, සේද මාවතේ යන සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ තරුණ සිනමාකරුවෙකි හර්ෂ උඩකන්ද. මේ දිනවල තිරගත වන "කබඩි" චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේද ඔහුය. ඉතා කෙටි කාලයක් තුළ චිත්‍රපට වැඩි ගණනක් නිර්මාණය කළ තරුණ අධ්‍යක්ෂවරයෙක් වන හර්ෂ සමඟ ඔහුගේ නවතම චිත්‍රපට ගැන සහ ලාංකේය සිනමාව ගැන අපි මෙසේ කතාබහ කළෙමු.

 

"කබඩි" ප්‍රේක්ෂකයන්ට කොයිවගේ අත්දැකීමක් දෙන සිනමාපටයක් වෙයිද?

කබඩි කියන්නේ ප්‍රේක්ෂකයින්ට හොඳට විඳීන්න පුළුවන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තුළ ආදරය හාස්‍ය කුතුහලය තියෙනවා. මේක පවුල් පසුබිම ගැන වැඩිපුර කතා කරන පදනමක් සහිත චිත්‍රපටයක්. මම හිතනවා "කබඩි" තුළින් පවුලේ සැමට පවුලේ රසවිඳීය හැකි අපූරු සිනමා අත්දැකීම ප්‍රේක්ෂකයින්ට ලබාගත හැකි කියලා.

 

මේ වන විට චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. කොරෝනා වසංගතය නිසා සිනමා කර්මාන්තය බිඳ වැටුණා. මුළු ලෝකේම ඒ ගැටලුවට මුහුණ දෙනවා. චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න පටන්ගත්ත මුල දවසේ සිට සෑම සිනමාශාලාවකම ඉතා සාර්ථකව තිරගත වෙනවා. කොරෝනා සමයේදී ප්‍රේක්ෂකයන් අතින් ගිලිහී ගිය සිනමාව කබඩි හරහා නැවත රසවිඳීන බව ප්‍රතිචාරවලින් වැටහෙනවා. දිවයින පුරා සිනමාශාලා හැටකට ආසන්න ප්‍රමාණයකදී චිත්‍රපටි ඉතා සාර්ථකව තිරගත වෙනවා.

 

"කබඩි" සිනමාපටය කියන්නේ දකුණු ඉන්දියානු සිනමාපටයක අනුවර්තනයක්. එවැනි චිත්‍රපටයක් නැවත හදන එක අභියොගයක් වුණේ නැද්ද?

මෙහි මුල් කෘතිය "ඔක්කඩු" චිත්‍රපටය. එහි නැවත රීමේක් එකක් කළා "ගිල්ලි" කියලා. මේ චිත්‍රපටය භාෂා හයකින් මේ වනවිට හැදිලා තියෙනවා. සිනමාවට රූපය සහ භාෂාව ගොඩක් වැදගත්. අපි කැමතියි අපේ භාෂාවෙන් අපේ අය රඟපාන චිත්‍රපටයක් නරඹන්න. ලංකාවේ මෑත කාලයේ අතිශය ජනාදරයට ලක් වෙච්ච වාර්තාගත චිත්‍රපට වන ධර්මයුද්ධය, ප්‍රවේගය, මායා වගේ චිත්‍රපට සියල්ලම අනුවර්තන චිත්‍රපටි. සිනමා ඉතිහාසය බැලුවොත් මේ වෙනකන් ඉන්දියානු ආභාසය සහිත සිනමාපට බහුතරයක් හැදිලා තියෙනවා. ඒ නිසා මට මේ චිත්‍රපටය අභියෝගයක් වුණේ නැහැ. මම මීට කලින් "ගෝරි" කියලා තවත් දකුණ ඉන්දියානු චිත්‍රපටයක් අනුවර්තනය කරලා හැදුවා. ඒ නිසා මේ දිනවල ලැබෙන ප්‍රතිචාර එක්ක ඒ උත්සාහය සාර්ථකයි කියලා මම හිතනවා. සිනමා ප්‍රේක්ෂකයන් සිනමාපටයක් බලන්නේ වින්දනය බලාපොරොත්තුවෙන්. ඒ වින්දනය හොඳට තියෙන සිනමාපටයක් විදිහට ඔක්කඩු චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. එවැනි චිත්‍රපටයක අනුවර්තනය සාර්ථකයි කියලා මම හිතනවා.

 

චිත්‍රපටයේ රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය ගැන කිව්වොත්?

චිත්‍රපටයේ ප්‍රධාන චරිත කරපු රංගන ශිල්පීන් දෙපළ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අමිල කරුණානායක සහ සෙනාලි ෆොන්සේකා. ඒක අමිලගේ රංගන ජීවිතයේත් විශේෂ සංධිස්ථානයක් වෙයි. අමිල සිනමාවේ වීරයෙක්ගේ චරිතයක් කරන පළමු වතාව මේක. සෙනාලි ෆොන්සේකා වාණිජ ධාරාවේ චිත්‍රපටයක් කරන පළමු අවස්ථාව මේක. මේ දෙදෙනාගේ සහයෝගය චිත්‍රපටය පුරාවටම මට ලැබුණා. ඉන්දියාවේ මේ චිත්‍රපටය හැදෙනකොට ඒ රටේ තියෙන පහසුකම් එක්ක ඉතාමත්ම ලේසියෙන් පසුතල සමඟ රංගන ශිල්පීන් චිත්‍රපටයේ රඟපානවා. නමුත් ලංකාවේ මේ චිත්‍රපටය හදනකොට මගේ රංගන ශිල්පීන් දෙපළට එහෙම පහසුකම් තිබුණේ නැහැ. සමහර අවස්ථාවලදී ජීවිත අවදානම් පවා අරගෙන තුවාල කරගෙන රඟපාන්න ඔවුන්ට සිද්ධ වුණා. මේ චිත්‍රපටය එක දර්ශනයක් තියෙනවා ප්‍රදීපාගාරයක උඩ ඉඳලා පනින දර්ශනයක්. සෙනාලි ඒ අවදානම අරගෙන අඩි ගාණක් උඩ ඉදන් පැන්නා. ඒ දෙපළට විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනේ ඕනේ ඒ වගේම ශ්‍රියන්ත මෙන්ඩිස් අයියා, දමිතා අබේරත්න අක්කා, චිත්‍රපටයේ දුෂ්ටයාට රඟපාපු දර්ශන ධර්මරාජ් මතක් කරන්න ඕනේ. දාහකට අධික ප්‍රමාණයක් මේ චිත්‍රපටයේ රඟපෑවා. පොඩි චරිතයක් පවා කරපු අය මේ චිත්‍රපටය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරා. සමහරුන්ට කරන්න තිබුණේ පිට්ටනියේ ඉඳගෙන අප්පුඩි ගහන්න. ගිනි ගහන දවල් කට්ට අව්වේ දවසක් දෙකක් ඒ කැපකිරීම ඔවුන්ට කරන්න සිද්ධ වුණා. එය පොඩි චරිතය හරි කරපු කැපකිරීම මේ නිර්මාණය සාර්ථක කරගන්න අපිට ලොකු උදවුවක් වුණා.

 

කබඩි චිත්‍රපටිය පිටපත ලියන්නෙත් ඔබ?

ඔව්. මේ චිත්‍රපටයේ කතාව ඉන්දියාගේ කේ. ගුණරත්නම් කියන අධ්‍යක්ෂවරයාට අයිතියි. මේ කතාව ඔහුගේ. කතාව සිංහලයට පරිවර්තනය කළේ මම. අධ්‍යක්ෂවරයා ම මේ තිර පිටපත ලියන එක ඒ සිනමා නිර්මාණයට ලොකු පහසුවක් කියලා මම හිතනවා. පිටපත ලියද්දි මැවෙන දර්ශන ඒ ආකාරයෙන්ම අපිට රූගත කරන්න පුළුවන්. මේ කතාව හැම පවුල් සංස්ථාවක් තුළම තියෙන ඛේදවාචකයේ බොහොම ගැඹුරින් කතා කරන චිත්‍රපටයක් මේක. පිටපත සිංහලයට පරිවර්තනය කරද්දි තමයි මට තේරුණේ තේරුණේ ඉන්දියාවේ නිර්මාණකරුවන් තිරනාටකයකට කොයි තරම් මහන්සි වෙනවද කියලා.

 

හර්ෂ සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ කොහොමද?

ඒක අහම්බයක්. මම ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා අධ්‍යක්ෂණය පිළිබඳව පාඨමාලාවක් කළා. ඒක අහම්බෙන් වෙච්ච දෙයක් මම එන්නෙ රංගනයට තියෙන ආසාවට රංගන වැඩමුළුවකට. ඒ වෙනකොට වැඩමුළුවට ගන්න ඕන ප්‍රමාණය අරගෙන ඉවරයි. මට එතැනදී තෝරගන්න ඉතුරු වෙන්නේ සිනමා අධ්‍යක්ෂණ පාඨමාලාව. මම ඒ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ පසුව සතියක් ඉන්දියාවේ රංගනය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වුණා. මේ කාලයේදී හඳපාන කියලා ටෙලිනාට්‍යයකට රංගන ශිල්පීන් හොයනවා කියලා ආරංචියක් එනවා. මම යන්නේ මගේ යාළුවන් දෙදෙනෙක් එක්ක. මගේ යාළුවො දෙන්නට රඟපාන්න හම්බ වෙනවා මට හම්බෙන්නෙ දෙවැනි සහාය අධ්‍යක්ෂ තනතුර. ඉන්පසුව මම සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට විස්සක විතර වැඩ කරලා තියෙනවා.

 

හර්ෂ උඩකන්ද ෆිල්ම්වල කොපි රීමේක් කරනවා කියලා චෝදනාවක් තියෙනවා.

ලංකාවේ අවුරුද්දකට චිත්‍රපට විසිපහක් තිහක් තිරගත වෙනවා. ඒ අතරින් අවුරුද්දකට චිත්‍රපට දෙකක් හෝ තුනක් විතර රීමේක් එනවා ඇති. ඒක චෝදනා කරන්න දෙයක් නෙමෙයි. චිත්‍රපටයට අකැමැති නම් නොබලා ඉන්න පුළුවන්. අපි කාටවත් චිත්‍රපටිය බලන්න කියලා බල කරලා. මම අවුරුද්දකට චිත්‍රපට එකක් හෝ දෙකක් තිරගත කරපු අධ්‍යක්ෂවරයෙක්. නොකඩවා එක දිගට චිත්‍රපට තිරගත කරපු එකම අධ්‍යක්ෂවරයාත් මම තමයි. මට චෝදනා කර කර ඉන්න කිසිම කෙනෙක්ට අයිතියකුත් නැහැ. මම කරන්නෙ මට අවශ්‍ය දේ. මගේ නිර්මාණ හොඳ නැතිනම් වෙන චිත්‍රපට බලන්න පුළුවන්. අනිත් චිත්‍රපටි බලන්නෙත් නැතුව මම චිත්‍රපටයක් කළාම විතරක් හැම තැනම කිය කිය යනවා මේක කොපියක් කියලා. චෝදනා කරන අයට මට කියන්න තියෙන්නේ ඉතුරු චිත්‍රපටි විසි නවය බලන්න මගේ එක නොබලා කියලා.

 

සිනමා කර්මාන්තය තුළ තරුණ සිනමාකරුවෙක්ට තියෙන අභියෝග මොනවාද?

තරුණ සිනමාකරුවන්ට මම හිතන විදියට අභියෝග නැහැ. තරුණ සිනමාකරුවෝ කියන්ට හොඳ ජවයක් තියෙන පුද්ගලයන්ට. ඔවුන්ට අභියෝග තියෙන්න විදිහක් නැහැ. ඕන දෙයකට ඕන බාධාකට අපිට මුහුණ දෙන්න පුළුවන්. මට නම් කියන්න තරම් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඕනම තැනක ඕනම වැඩක් කරද්දි ප්‍රශ්න එනවා. ඒවාට පිළියම් යොදා ගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. අපි ප්‍රශ්න ගැන කතා කළා, චෝදනා කළා කියලා ඒකට අපිට කිසි කෙනෙක්ගෙන් පිළිතුරු ලැබෙන්නේ අපිමයි පිළිතුරු හොයා ගන්නත් ඕන. මම ප්‍රශ්න, ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. උදාහරණයක් විදිහට පෝස්ටර් ටික ගහද්දි වෑන් එකේ ටයර් එක හුළං ගියොත් ටයර් එක මාරු කරගන්න පෝස්ටරය ගහන්න ඕනේ. මම සාමාන්‍යයෙන් ප්‍රශ්න ගැන කතා කරන්න කැමති නැහැ. මම ප්‍රශ්න ගැන හිතන්නේ නැති කෙනෙක්. මගේ ගේම් එක මම ගහනවා. ලංකාවේ චිත්‍රපටි පෙන්නන්න සිනමාශාලා නැති වුණත් ඒකට මට විසඳුම් තියෙනවා.

 

සිනමාවේ ස්වර්ණමය යුගය දැන් නැහැ කියලා චෝදනාවක් තියෙනවා. තරුණ සිනමාකරුවෙක් හැටියට ඔබට ඒ චෝදනාවට පිළිතුරක් ඇති?

අපි චිත්‍රපටි හදන්න ගත්තෙ ලංකාවේ සිනමාව කඩා වැටුණ වකවානුවක. අපේ දෙමාපියන්ගේ කාලේ සිනමාව මාර තැනක තිබුණා, අපි විසිල් ගහලා සිනමාව බැලුවේ කියලා එයාලා කියනවා. මිනිස්සු එන්නෙ නෑ තාක්ෂණික වෙලා මානුෂීයත්වය නැතිවෙලා ගිහිල්ලා. මේ කඩා වැටීමට මූලිකම හේතුව ඒක. මගේ චිත්‍රපටය එනවා කියලා කිව්වාම කීදෙනෙක් මට මඩ ගහනවාද?

 

ඇයි ඔබට මඩ ගහන්නේ?

එය පැහැදිලි ඉරිසියාවට. කුහකකමට. අපේ මවුපියන් අපිට උගන්වලා තියෙන්නේ කාටවත් කිසිම දෙයක් කියන්න එපා පවු සිද්ධ වෙනවා. ඒ කියන කරන නරක දේවල් අපිට නැවත කැරකිලා එනවා කියලා. දැන් පරම්පරාව එහෙම නැහැ. ඔවුන් සිනමාපට බලන්නෙත් නැහැ. තරුණ පරම්පරාව සිනමාව බලන්නේ නැහැ. එහෙම නොබලා අපි වැඩක් කළොත් ඒක විවේචනය කරන්න මඩ ගහන්න නම් ඕන තරම් අය ඉන්නවා.

 

සිනමාවේ මේ මොහොතේ පවතින අර්බුදය මොකක්ද?

ලොකුම අර්බුදය තමයි අපේ සිනමාවට තරුණයෝ නැහැ. තරුණයෝ එනවා. එන අය ඉතාම අඩු පිරිවැයකින් කාටවත් නොතේරෙන සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් හදලා සම්මානයක් දෙකක් අරගෙන පැත්තකට වෙනවා. තරුණ නිර්මාණකරුවෝ සම්භාව්‍ය චිත්‍රපට හැදුවම මාධ්‍යයත් උස්සනවා මෙන්න මෙයාලා තමයි සිනමාකරුවෝ කියලා. මාධ්‍යයත් සම්මාන දීලා එයාලාව අගය කරනවා. අවසානයේ වෙන්නේ ප්‍රේක්ෂකයා ඉල්ලන සිනමාව නැති වෙන එක. අද මගේ වයසේ එක සිනමාකරුවෙක්වත් නැහැ. වාණිජ චිත්‍රපටි හදන්න පුළුවන් තරුණ අධ්‍යක්ෂවරු මේ සිනමාවට ඕනේ. තරුණ පරම්පරාව හරිම යාවත්කාලීනයි. ඔවුන්ට ලෝක සිනමාවේ තියෙන නව ප්‍රවණතා එක්ක තරග කරන්න පුළුවන්. වයසක අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටි හැදුවාම ඔහු ආදරේ දකින්නේ ඔහුගේ වයසට සාපේක්ෂව. ඔහුගේ තරුණ කාලයට සාපේක්ෂව. එතකොට එවැනි නිර්මාණ අසාර්ථකයි. මෙතන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ තරුණ පරපුර වාණිජ ධාරාවේ චිත්‍රපටි හදන්නේ නැති එක. ඒකට මාධ්‍ය වගකියන්න ඕනේ. සම්මාන උලෙළවල් වගකියන්නත් ඕනේ.

 

ඔබ මේ කරන්නේ චෝදනාවක්ද?

ඔව්. මගේ පළමු වැනි චිත්‍රපටය "උලත් එකයි පිලත් එකයි" තිරගත වුණේ 2016දී. ඒ වසරේ තරුණ අධ්‍යක්ෂවරු හතර දෙනෙක් චිත්‍රපටි හැදුවා. ඒ අතරින් මම විතරයි බයිස්කෝප් ධාරාවට අයිති චිත්‍රපටි හදපු එකම අධ්‍යක්ෂවරයා. අනිත් හතර දෙනා සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපට හදපු අධ්‍යක්ෂවරු. ඒ අවුරුද්දේ පැවැති සම්මාන උලෙළවලදී මතු බලාපොරොත්තු තබාගත හැකි අධ්‍යක්ෂවරයාට සම්මාන ලැබුණේ අර සම්භාව්‍ය චිත්‍රපටි හදපු අයට. මතු බලාපොරොත්තු තබාගත හැකි අධ්‍යක්ෂවරයා කියලා සම්මාන දෙන්නෙ ඔවුන් තව චිත්‍රපටි කරයි කියලා ලොකු බලාපොරොත්තුවක් සමඟ. නමුත් ඔබ විශ්වාස කරන්න අද වෙනකන් ඒ එක අධ්‍යක්ෂවරයෙක්වත් චිත්‍රපටි හදලා නෑ මම මේ වන විට චිත්‍රපට හයක් හදලා තියෙනවා. හයම තිරගත කරලත් තියෙනවා. එතකොට මතු බලාපොරොත්තු තියාගන්න පුළුවන් ඔවුන් ගැනද මං ගැනද?

 

හර්ෂට රංගනයට ආරාධනා එන්නේ නැද්ද ?

ආරාධනා එනවා. පෝරිසාදයා චිත්‍රපටයේ මම වෙනුවෙන්ම චරිතයක් ලියලා තිබුණා. මම ඒ චරිතය රඟපෑවා. මේ දවස්වල සුගත් සමරකෝන් මහත්මයා ත්‍රෛලෝකපත්‍රම් කියලා චිත්‍රපටයක් කරන්න යනවා. ඒකේ මොහොමඩ් කියලා මුස්ලිම් තරුණයෙක්ගේ චරිතයක් මම රඟපානවා. මේ වසරේ ජූලි මාසේ එහි රූපගත කිරීම් ආරම්භ කරනවා. ඒ චිත්‍රපටයේ චරිත කීපයයි තියෙන්නේ. එයිනුත් මගේ චරිතය ප්‍රධාන චරිතයක් ඒක.

 

පෞද්ගලික තොරතුරු ගැන කිව්වොත්?

මම පවුලේ එකම ළමයා. මගේ මවුපියෝ කලාවට සම්බන්ධ නැහැ. තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක්. මගේ ගම රත්නපුරේ. මම විවාහකයි. මගේ බිරිඳ උපේක්ෂා උඩකන්ද.

 

හර්ෂගේ ඊළඟ සිනමා සිහිනය මොකක්ද?

මම ඇත්තටම ඉතිහාස කතාවක් කරන්න කැමතියි. ලංකාවෙ තියෙන සාම්ප්‍රදායික ඉතිහාස කතාවක් නෙමෙයි. තාක්ෂණය පාවිච්චි කරලා ටිකක් වෙනස් විදිහක චිත්‍රපටයක් කරන්න කැමතියි. ඒක කොයි කාලේ කොයි මොහොතේ කරයිද කියලා කියන්න බැහැ. නමුත් පෙර සූදානම් කෙරීගෙන යනවා. මම හිතාගෙන ඉන්නේ උන්මාද චිත්‍රා කතාව කරන්න. දැනටමත් තිරනාටකය රචනා කරලා ඉවරයි. ඒ වැඩේ වෙනසක් කරන්න පුළුවන් චිත්‍රපටයක් වෙයි කියලා මම හිතනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?

මම මගේ ඊළඟ චිත්‍රපටයට ලෑස්ති වෙනවා. ඒකේ නම "Red". අනූජ් රණසිංහ එක්ක එකතු වෙලා චිත්‍රපටය හදන්නේ. අනූජ් එක්ක මම කලින් "සේද මාවතේ" චිත්‍රපටය හැදුවා. ඒක කොරෝනා වසංගතය එක්ක හරියට තිරගත කරගන්න ලැබුණේ නැහැ. Red චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු දැන් කරගෙන යනවා. මැයි මාසේ අන්තිම එහි රූගත කිරීම් ආරම්භ කරනවා. ලෝකේ නාකොලොප්සීස් කියලා ලෙඩක් තියෙනවා. ඒ ලෙඩේ හැදුණාම අධික දුක, අධික සතුට, අධික පීඩනය දරාගන්න බැහැ ක්ෂණිකව නින්ද යනවා. සාමාන්‍යයෙන් දසදහසකින් එක් අයෙකුට ඒ රෝගය වැලදෙනවා. ඒ රෝගියෙක් පදනම් කරගෙන තමයි එහි තිරනාටකය හැදෙන්නේ.