වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළ ඇරඹුණේ මගේ අදහසකින්

පුරකයකු ලෙස මෙරට ශ්‍රව්‍ය මාධ්‍යයේ ජනප්‍රිය චරිතයක් වී ඇති ඔහු මෙරට රාජ්‍ය සම්මාන උලෙළක නිර්මාතෘවරයා ද වේ. ශ්‍රව්‍ය මාධ්‍යයේ නිර්මාණකරුවන් ඇගැයීම සඳහා රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළක අඩුපාඩුව වගකිවයුත්තන්ට පෙන්වා දෙන ඔහු එම සම්මාන උලෙළ ආරම්භයට යෝජනාවක් එක්කරලන්නේ රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි සේවාවන්හි සේවයේ නියුතු සහෝදර නිර්මාණ කරුවන් වෙනුවෙනි. තමන්ගේ අදහසක් අනුව මල්ඵල ගැන්වෙන ඔහුගේ යෝජනාව නිසාවෙන් බිහිවන රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළේදීම වසරේ විශිෂ්ටතම සන්නිවේදකයා ලෙසින් සම්මානයට පාත්‍රවන්නට ඔහුට හැකිවන්නේ කිසිදා නොසිතූ මොහොතකය. 2022 වසරේ විශිෂ්ටතම සන්නිවේදකයාට හිමි රාජ්‍ය සම්මානයට හිමිකම් කියන ඔහු නමින් අනුරාධ රෝහණ කපුකොටුවයි.
රන්ගිරි ශි‍්‍ර ලංකා ගුවන් විදුලි සේවයේ වැඩසටහන් කළමනාකරු ලෙසින් කටයුතු කරන අනුරාධ 2014, 2015 වසරවල විශිෂ්ටතම ගුවන් විදුලි සංගීත වැඩසටහනට හිමි රාජ්‍ය සම්මානය. මධුරසාංජලී, බක් මී විල්ලුව වැඩසටහන් සඳහා හිමිකරගත් අතර 2019 වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන ලෙස තිත්ත වූණත් ඇත්ත වැඩසටහන සඳහා ද රාජ්‍ය සම්මානය හිමි කරගනු ලැබීය. ඊට අමතරව 2017 වසරේ රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළේ විශිෂ්ටතම සාකච්ඡාමය වැඩසටහනට හිමි කුසලතා සහතිකය ද ලබාගත් අතර රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළ සඳහා 2014 වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි සංගීතමය වැඩසටහන 2015 විශිෂ්ටතම සන්නිවේදකයා හා 2017 විශිෂ්ටතම වාර්තා වැඩසටහන, 2019 විශිෂ්ටතම වැඩසටහන් නිෂ්පාදක. 2022 විශිෂ්ටතම ගවේෂණාත්මක වැඩසසටහන, 2022 විශිෂ්ටතම සම්මුඛ සාකච්ඡා වැඩසටහන සඳහා නිර්දේශිත නාමා වලියට ඇතුළත් විය. කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ අනුරාධ නිවේදන කලාවට පෙම් කරන්නට පටන් ගනුයේ උසස් පෙළ ශිෂ්‍යයකුව සිටිනා අවිධියේදීය. විද්‍යාලයේ මහසෙන් නිවාසය නියෝජනය කළ අනුරාධට එක් වසරකදී පැවති නිවාසාන්තර ක්‍රීඩා උත්සවයකදී. නිවාස සඳහා ලකුණු දීමට සංවිධානය කොට තිබු කථික තරඟයක් සඳහා කථිකයකු ලෙස ඉදිරිපත් වන්නට සිදුවුයේ නිවාසය වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් වීමට සිටි සිසුවා නොපැමිණීම නිසාවෙනි. කිසියම් හෝ අයකු ඉදිරිපත් වුවහොත් තරඟයෙන් දිනුවත් නැතත් ඉදිරිපත්වීම වෙනුවෙන් නිවාසයට එක් ලකුණක් ලබාදීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබු නිසාවෙන් වෙනත් අයකු ඒ සඳහා නොවුහෙයින් අනුරාධ මහසෙන් නිවාසය වෙනුවෙන් ඉදිරිපත් විය. විද්‍යාලයේ ප්‍රධාන ශාලවේ සංවිධානය කොට තිබු කථික තරඟය සඳහා ඔහු ඉදිරිපත් වූයේ ද අනෙකුත් ළමයින්ගේ අදහස් ප්‍රකාශනයේ අවසානයේ තමන්ට කතා කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලීමක් ද කරමිනි. තරඟයට ඉදිරිපත් වු අනෙකුත් තරඟකරුවන් තරඟයට එක්ව සිට අදහස් ප්‍රකාශ කරනා ආකාරය විමසිලිමත්ව බලා සිටි අනුරාධ තුළ ජයග්‍රහණයක් අත්කර ගැනීමේ අධිෂ්ඨානයෙන් තරඟවැදී පළමු ස්ථානය දිනාගනු ලැබීය. එතැන් පටන් ඔහු විද්‍යාලයේ විවාද කණ්ඩායමේ සාමාජිකයෙක් විය. පසුව එම කණ්ඩායමේ නායකයා බවට ද පත්විය. විද්‍යාලය නියෝජනය කරමින් කථික තරඟ ජයග්‍රහණ අත්කරගනිමින් විද්‍යාලයට කිර්තියක් රැගෙන ආ අනුරාධ විදයාලයේ සෑම උත්සව කටයුත්තකදීම පෙරමුණ ගනු ලැබුවේ නිවේදන කාර්යට එක්වෙමිනි. කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමාව හා ජනසන්නිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමාව හදාරා ඇති අනුරාධ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය පිළිබඳ ජනමාධ්‍යපති උපාධිය මේ වන විට හදාරමින් සිටි.
නිවේදයකු වීමේ සිහිනය සැබෑවක් බවට පත් කරගන්නට ඔබ මොන වගේ ක්‍රමවේදයක්ද අනුගමනය කරන්නේ?
පාසලේ විවාද කණ්ඩායම තුළ කටයුතු කිරීම වගේම පාසලේ නිවේදන කටයුතු කිරිම තුළ මට ලොකු ආශාවක් ඇතිවුණා. නිවේදකයෙක් ලෙස ගමනක් යන්න තියනවා නම් ගොඩාක් හොඳයි කියලා. මට මතක හැටියට 2000 වසරේ තුරුණු ශක්ති දෙවන අදියර පටන් ගත්ත කාලයේ මමත් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අයදුම් පතක් ඉදිරිපත් කළා. තුරුණු ශක්ති සඳහා තරඟ කරුවන් දහසක් අතුරින් මහනුවර දිස්ත්‍රික්කයෙන් නිවේදන අංශයේ හොඳම දොළොස් දෙනා අතරට මාවත් තේරුණා. ඔය වකවානුවේ ජාතික රූපවාහිනියෙන් මෙය සජීවීව විකාශය කළා. මට මෙහිදී දිස්ත්‍රික්ක මට්ටමින් පළාත් මට්ටම නියෝජනය කරන්න අවස්ථාව උදා වුණා. හැබැයි මට ජාතික තලය නියෝජනය කරන්න ලැබුණේ නෑ. ඒ වෙනකොට මට ලොකු ප්‍රතිචාරයක් සමාජයෙන් වුණත් ලැබිල තිබුණා. මටත් හිතුණා සන්නිවේදකයෙක් ලෙස ලොකු ගමනක් මට යන්න පුළුවන් කියලා 2004 වසරේදී විතර මට දැනගන්න ලැබුණා.
ගුවන් විදුලි සංස්ථාවට සහන නිවේදකයන් බඳවා ගන්න යනවා කියලා. මමත් ඒ සඳහා ඉල්ලුම් කළා. අයදුම්පත් පන්දහසකින් තෝරාගත් විසිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමට මාවත් තෝරාගෙන තිබුණා. සම්මුඛ පරීක්ෂණ කිහිපයකින් පසු මට අවස්ථාව උදා වුණා. කොළඹ ගුවන් විදුලි අභ්‍යාස ආයතනයේ පුහුණුවක් ලැබීමට ඒ පුහුණුව අවසානයේ අපේ කණ්ඩායමේ සිටිය සාමාජිකයන් පදිංචි පළාත් දිස්ත්‍රික් අනුව අපිව වර්ග කිරීමක් කර ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවාවන්ට අනුයුක්ත කළා. මම නුවර ප්‍රදේශයේ පදිංචි නිසා මාව කඳුරට සේවයට අනුයුක්ත කළා 2005 වසරේ සහන නිවේදකයෙක් ලෙස.
ගුවන් විදුලියේ සහන නිවේදකයෙක් වශයෙන් කටයුතු කරන ඔබ රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය හා එක්වන්නේ කොහොමද?
2005 සිට 2007 දක්වා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයෙක් ලෙස මම කටයුතු කරමින් ඉන්නා අවධියේ කඳුරට සේවයේ එවක පාලක වශයෙන් හිටිය කරුණාතිලක මහතා මට කිව්වා රන්ගිරි ශ්‍රී ලංකා නමින් ගුවන් විදුලි සේවයක් පටන් ගන්න යනවා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ සඳහා ඉල්ලුම් කරල බලන්න කියලා. මමත් ඒ බඳවා ගන්නා නිවේදකයන් සඳහා ඉල්ලුම් කළා. 2007 වසරේ පටන් ගත්ත රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ පළමු කණ්ඩායමට මාවත් ඇතුළත් වුණා. විසි දෙනෙකුගෙන් පමණ සමන්විත වූ එම කණ්ඩායමේ නිවේදකයෙක් ලෙස මට වැඩ කිරීමේ අවකාශය ලැබුණා. මේ වෙනකොට මම මෙහි අඛණ්ඩව වසර 15ක් සේවය කරල තියෙනවා. ආරම්භ කළ දවසේ පටන් වසර පහක් තුළ මම ප්‍රධාන නිවේදකයා දක්වා ගමනක් ආවා. ඊට පස්සේ මගේ හැකියාවන් පිළිබඳ පැහැදුණු පාලන අධිකාරිය මාව වැඩසටහන් කළමනාකරු හැටියට පත් කළා. රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ එතැන් පටන් මේ දක්වා මම රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් කළමනාකරු.
කඳුරට සේවයේ ළමා ගුවන් විදුලියේ නිවේදකයෙක් ලෙසත් ඔබ කටයුතු කළා නේද?
පාසල් යන කාලයේ උසස් පෙළ ශිෂ්‍යයෙක්ව ඉන්නා අවධියේ මම කඳුරට සේවයේ ළමා නිවේදකයෙක් ලෙස සම්බන්ධ වී කටයුතු කළා.
වැඩසටහන් කළමනාකරු තනතුර සමඟ නිවේදන කාර්යෙන් ඔබ අද බැහැර වෙලා ද?
නෑ. රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නායක හිමි මට පවසා සිටියා. ඔබව වැඩසටහන් කළමනාකරු හැටියට පත් කරනවා කියලා. මම ඒ වෙලාවේ නායක හිිමියන්ගෙන් ඉල්ලීමක් කළා මම ඒ තනතුර සතුටින් භාර ගන්නම් හැබැයි මම නිවේදකයෙක් හැටියට මේ වනතුරු කරගෙන ආ වැඩසටහන් ටික ඒ ආකාරයෙන් කරන්න ඉඩ දෙන්න කියල ඒ සඳහා මට නායක හිමියන්ගෙන් අවසර ලැබුණා.
රන්ගිරි ශ්‍රී ලංකා ශ්‍රව්‍ය මාධ්‍ය තුළ වෙනසක් කළ ඔබේ දායකත්වය එක් වූ වැඩසටහන් මොනවාද?
බක් මී විල්ලුව (සිංහල චිත්‍රපට ගීත) මධු රසාංජලී (හින්දි ගීත) අමරණීය මතක සුවඳ (ග්‍රැමෆෝන ගීත) ශනිදා සංවාදය (විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් සමඟ) මම වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ තවත් වැඩසටහන් කීපයක්ම ආරම්භ කළා. ගී මිණි ආර ( ගීත රසාස්වාද) තිත්ත වුණත් ඇත්ත (සමාජ අසාධාරණකම්) රන්දියවර (කෘෂි කාර්මික) සැන්දෑ ගං දෑල නිවේදකයකුගේ නිර්මාණශිලීත්වය එක් වූ) රිදී උල්පත් (ජාතික ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබුවන් හා කෙරෙන) වැඩසටහන් වල අදටත් මම සන්නිවේදකයෙක් ලෙස කටයුතු කරනවා.
ගුවන් විදුලි වැඩසටහන්වල නාමයන් එහෙමත් ඔබේ නිර්මාණයන් ද?
රංගිරි ශ්‍රී ලංකා ආරම්භ කරන කාලයේ වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නන්ද සේනලියන පටබැදි, ලාල් ආනන්ද අබේධීර මහත්වරු මම වැඩසටහන් කළමනාකරු වෙන්න කලින් තිබුණ වැඩසටහන් සඳහා නම් යෝජනා කළා. ඊට පස්සේ සියලු වැඩසටහන්වල නාමයන් මගේ නිර්මාණ.
පසුකාලීනව නිවේදකයකු වෙන්න ඔබට පවුලෙන් බලපෑමක් එල්ල කළාද?
කොහෙත්ම නෑ. දෙමාපියන්ගේ නිහතමානී අවංක ආශිර්වාදය ලැබුණා. කිසිම බලපෑමක් කළේ නෑ. මගේ දක්ෂතාවය එක්ක ආපු ගමනක් මට තියෙන්නේ මගේ ගමන ගැන දැකල නිහතමානී සතුටක් මගේ දෙමාපියන් බුක්ති වින්ඳා කියන දේ මට දැනුණා. පවුලේ කවුරුවත් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නෑ.
පුරකයෙක් වීම ගැන අනුරාධට අද මොකද හිතෙන්නේ?
සතුටක් තියෙන්නේ මම සාමාන්‍යයෙන් අලුත් දේ හොයන්න කැමති අලුත් දෙයක් කරන්න කැමැත්තෙන් හිටිය කෙනෙක්. සන්නිවේදකයෙක් ලෙස අද වෙන කොට කටයුතු කිරීම තුළ මට ඒ දේ කරන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා. සන්නිවේදකයෙක් වු දා පටන් මම කියවනවා හොයනවා වගේම නිර්මාණශීලී දෙයක් කරන්න හැම වෙලාවෙම උත්සාහ ගත්ත කෙනෙක්. වැඩසටහනේ වුණත් මම වෙනත් නිවේදකයකුට වඩා වෙනස් ආකාරයක දෙයක් තමයි කරන්න බලන්නේ ඒ මට ඕන පෙරළිය මගේ සිතැඟි පරිදි කරන්න මට රන්ගිරි ශී‍්‍ර ලංකා ගුවන් විදුලිය ඉඩකඩ සලසා දුන්නා. මිනිස්සු හඳුනා ගෙන විද්වතුන් කලාකරුවන් හඳුනාගෙන ඒ අය හරහා සමාජයට වැඩදායී දෙයක් ගුවන් විදුලිය හරහා දෙන්න මට අද පුළුවන් වෙලා තියෙනවා. අදටත් මම සන්නිවේදකයෙක් ලෙස පැය දහයක් විතර සමාජයට වැඩ කරනවා. ඒ වටපිටාව මට රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍ය කාර්ය මණ්ඩලය නොමසුරුව ලබා දීලා තියෙනවා.
ඔබේ මාධ්‍ය මෙහෙවරේ දිරිය ශක්තිය කවුද?
මා මේ ක්ෂේත්‍රයේ හඳුනාගත් විද්වතුන් කලාකරුවන් ඔවුන් මට ලබාදුන් සුවිශේෂී දායකත්වය රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි නියෝජ්‍ය අධ්‍යක්ෂ පූජ්‍ය ආචාර්ය දාහියගම ආනන්ද හිමි ඇතුළු කාර්ය මණ්ඩලයේ දිරිය ශක්තිය මම විශේෂයෙන් සිහිපත් කරනවා. දවසේ පැය දාසයක් පමණ රාජකාරියේ නියැළෙමින් නිරවුල් මනසකින් ඒ භාරධුර කාර්්‍යයයේ නියැළෙන්නට මට ඉඩහරසර ලබාදෙන්නේ මගේ බිරිය හන්සෝපමා වගේම මගේ දියණිය ලෙහන්සා ඇතුළු මගේ දෙමාපියෝ සහෝදරයෝ.
ඔබේ මාධ්‍ය කලාවේ අභියෝග ලෙස දකින්නේ?
ජාතික ගුවන් විදුලියක් ලෙස රන්ගිරි ශ්‍රී ලංකා පටන් ගත්තේ දඹුල්ලේ ඉඳල අපි රට මැද ඉඳලා තමයි මේ කාර්ය කළේ. මෙතෙක් ජාතික ගුවන් විදුලියක් තිබුණේ රටේ අගනගරයේ ප්‍රාදේශීය නාළිකා විතරයි තියෙන්නේ කොළඹින් පිට රට මැද ඉඳලා කොහොමද ජාතික ගුවන් විදුලියක් කරන්නේ කියන අභියෝගය තමයි අපේ නායක හිමියන්ට තිබුණේ. ටික කාලයක් යනකොට අපි යහපත් දෙයක් කරනවා කියන පණිවිඩය නිසා අපට ඒ කටයුත්ත පහසු වුණා. අද ඒ අභියෝගය අපි ජය අරන් තියෙනවා. මුල් කාලයේ අපේ වැඩසටහන්වලට ආරාධනා කළත් කොළඹින් විද්වතුන් කලාකාරයෝ එන එකත් අදි මදි කලා දුරබැහැර නිසා අද ඒ තත්ත්වය වෙනස් කලාකාරයෝ මාස ගාණක් ඉඳලා වැඩසටහන් වලට දින වෙන්කරගෙන ඉවරයි. අද අපි කරන ශනිදා සංවාදයට දින ඉල්ලල අවශ්‍ය අයම කතා කරනවා. අද වුණත් යහපත් දේ කිරීම තුළ අපි රට මැද වුණත් අභියෝග ජයග්‍රහණය කරල තියෙනවා. වැඩසටහන්වල යම් කිසි අගයක් දැක්ක නිසා. ඒවායේ තියන ගුණාත්මකභාවය ගුවන් විදුලි කලාව කියන දේ තුළ අපි කටයුතු කරන නිසා සම්පත් දායකත්වයේ හිඟයකින් තොරව අපි මේ වන කොට හොඳ ගමනක් ඇවිත් තියෙනවා. ඉදිරියටත් හොඳ ගමනක් යනවා.
ගුවන් විදුලි සංස්ථාව තුළ ඔබේ ගමන තව කාලයක් පැමිණියා නම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද?
මම ගුවන් විදුලියේ හිටිය වසර දෙක තුන තුළ ගොඩක් අත්දැකීම් එකතු කරගත්ත. ෂිෆ්ට් එකක් තිබුණෙ නැතත් ගෙවීමක් තිබුණේ නැතත් මම ගුවන් විදුලියට ගිහින් වැඩසටහන් කරන අය එක්ක එකතු වෙලා අත්දැකීම් උපරීමයෙන් ලබාගත්තා. මට සාර්ථක සන්නිවේදකයෙක් වෙන්න මේ අත්දැකීම් ගොඩාක් බලපෑවා. කෙටි කාලයක් තුළ වුණත් මට කනගාටුවක් නෑ හොඳ තැනකින් හොඳ අඩිතාලමක් ගත්තා. ගුවන් විදුලිය වගේම ස්වාභාවික කලාව ආරක්ෂා කරමින් ගුවන් විදුලි කලාවට මෙහෙවරක් කරන රන්ගිරි ශී‍්‍ර ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න ලැබීම ගැන තියෙන්නේ සතුටක්.
රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළක ආරම්භයට අදහස එක්වන්නේ ඔබෙන් නේද?
රාජ්‍ය හා පෞද්ගලික මට්ටමින් සම්මාන උලෙළක් තිබුණේ රූපවාහිනී මාධ්‍යයට ගුවන් විදුලියට එහෙම සම්මාන උලෙළක් තිබුණේ නෑ. මේ නිසා දවසක් අපේ ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකට පැමිණි එවක සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂක අනුෂා ගෝකුල මහත්මියට මම කිව්වා මැඩම් ලංකාවේ රාජ්‍ය මට්ටමේ ගුවන් විදුලි සම්මාන උළෙලක් නෑ. මැඩම්ට පුළුවන් නම් ලංකාවේ ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළක් ආරම්භ කරන්න. මැඩම් ඒක ඔළුවට අරන් ඊළඟ අවුරුද්දේ ඒක පාර්ලිමේන්තුවට දාල අනුමත කරගෙන රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළක් හැදුවා. මගේ යෝජනාවක් අනුව තමයි රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළ ආරම්භ වන්නේ. ගුවන් විදුලියේ වැඩකරන බොහෝ දෙනෙකුට ඇගැයීමක් ලැබුණා. මේ සම්මාන උලෙළ විතරයි ගුවන් විදුලිය වෙනුවෙන් තියෙන්නේ. අදටත් ඒ තියන රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළ ආරම්භ කරන්න අදහස ලබාදීම ගැන මට මා ගැන තියෙන්නේ හදපිරි සතුටක්. ක්ෂේත්‍රයේ වැඩකරන කෙනෙක් හැටියට.
ඔබේ අදහසක් අනුව ආරම්භ කෙරෙන රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළේ දී ඔබත් ඇගැයීමට ලක්වෙනවා. රාජ්‍ය සම්මානයෙන්.
මගේ හීනයක් තිබුණා. කවදා හරි හොඳම නිවේදකයා ලෙස රාජ්‍ය සම්මානය ගන්න. මම අවස්ථා හතරකදී ගුවන් විදුලි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. 2022 වසරේ ලංකාවේ විශිෂ්ටතම සන්නිවේදකයාට හිමි රාජ්‍ය සම්මානය දිනාගන්න මම භාග්‍යවන්ත වුණා. අවස්ථා හයකදී රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළේ නිර්දේශ වීම් අතරට එක්වුණා.
ඔබ වැඩසටහන් පුරකයෙක් ලෙස කටයුතු කරන්න උත්සාහ ගන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය තුළ පමණයි. ඇයි දෘශ්‍ය මාධ්‍යයට ප්‍රවිශිෂ්ට නොවන්නේ?
මම අදටත් හිතනවා මම රූපවාහිනියට මදි කියලා. අපේ රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ පවා මට ආරාධනා ලැබුණා. රූපවාහිනි නාළිකාවේ පුරකයෙක් ලෙස වැඩකරන්න. මට පුංචි බයක් තියෙනවා රූපවාහිනි මාධ්‍ය කලාව ඇතුළේ වැඩකරන්න තව මට ඉගෙන ගන්න ඕනෙ කියලා. කරන්න පුළුවන් වෙයි ගුවන් විදුලියට වඩා වෙනස් රූපවාහිනී කලාව. ඒ සාමුහික කලාව මට තවම ජයගන්න බැහැයි කියන සිතුවිල්ල මා ළඟ තියෙනවා. ජනපි‍්‍රය සංකල්පය හඹා ගියොත් මම ලබා තිබෙන මේ ජයග්‍රාහී ගමනට මම ඉක්මන් වුණොත් ගොමපැල්ලමක් එක්වෙයි.
අනාගතේ රූපවාහිනි මාධ්‍ය කලාවට එන්න ඔබේ අදහසක් නැද්ද?
තවම නෑ. ගුවන් විදුලියට තමයි ආදරය කරන්නේ. රූපවාහිනි භූමිකාවට මම තව මදි යම් අවබෝධයක් තියෙනවා ලොකුවට හැදැරීමක් කරල නෑ.
පුරා වසර පහළොවක් පුරකයෙක් ලෙස ගුවන් විදුලියෙන් ශ්‍රාවකයන් අතරට ආ ඔබ රූපවාහිනි මාධ්‍යයට බියක් දක්වනවා. ඒත් අද බිහිවන පුරකයකු ගේ එකම ප්‍රාර්ථනය රූපවාහිනි මාධ්‍ය නොවන්නේද?
ගුවන් විදුලි හා රූපවාහිනී කියන්නේ මාධ්‍ය දෙකක්. මේක අධ්‍යයනයකින් එන කෙනෙක්ට විතරයි මේකේ සාර්ථක ගමනක් යන්න පුළුවන්. මම කියන්නේ ගුවන් විදුලි නිවේදකයෙක් වෙලා ඉඳලා රූපවාහිනියට ගියත් රූපවාහිනියේ ඉඳලා ගුවන් විදුලියට ආවත් අධ්‍යයනයක් නොමැතිනම් ඔහු හෝ ඇය අසාර්ථක වෙනවා. අද හුඟාක් අය ළඟ වගකීම කියන දේ නෑ. ජනපි‍්‍රයත්වය ගිරාපෝතක වචන හබය තිබුණාට ක්ෂේත්‍ර දෙකේ ගමන දෙයාකාරයක්. මම අවුරුදු පහළවක් ගුවන් විදුලි මාධ්‍යයේ හිටිය කියල මට හැගෙනවා නම් රූපවාහිනි මාධ්‍යයට මම තාම සුදුසු නෑ. මම වැඩසටහනක් කළත් පෙර සුදානමක් ඇතුවයි ඒ දේ කරන්නේ. අද වාණිජ පරමාර්ථ මත ඇති වෙන ගුවන් විදුලි රූපවාහිනි මාධ්‍ය තුළ වැඩකරන නිවේදක නිවේදිකාවනුත් තමන්ගේ වගකීම මොකක්ද කියන දේ හැරි හැටි අවබෝධ කරගෙන තියනවාද කියන දේ ඒවා නරඹන අහනකොට අපිටත් හිතෙනවා.
අනුරාධ විශිෂ්ඨතම සන්නිවේදකයා වීම ගැන මොකද හිතෙන්නේ?
මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. මම නිර්මාණශිලීව යමක් කළ නිසා ලැබුණු දෙයක් ඒ සම්මානය. මේක මට කටු ඔටුන්නක් නොවෙයි. සන්නිවේදකයෙක් ලෙස මගේ ජීවිතයේ මට ලැබුණු ආලෝකයක් ලෙසයි මම මෙය දකින්නේ. මගේ ආයතනයට ඒක ආලෝකයක් මට වගකීමක් ලැබෙනවා. ඔබට තව යම් දෙයක් කළ හැකියි කළ යුතුයි කියන එක. යහපත් දේ ඉටුකිරීම වෙනුවෙන් තව තවත් පන්නරයක් ලබා ගෙන ඉස්සරහට යන එක තමයි මගේ එකම අධිෂ්ඨානය. මේ සම්මාන මට ලැබෙන්නේ විනිශ්චය මණ්ඩලයක තීරණයකින් එකෙන්ම කියන්නේ නෑ. මට වැඩිය වැඩ්ඩෙක් තවත් නෑ කියල හොඳ සන්නිවේදකය වුණත් අනිත් සම්මානයක් ගත්තොත් ඒක සාපේක්ෂයි. තව කෙනෙකුට ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන්. සම්මාන උලෙළේ නීතිරීති අනුව මම හොඳම නිවේදකයා වෙනවා. එකෙන් කියන්නේ නෑ. මම සියලු දෙයින් අංග සම්පුර්ණයි කියලා මට අදටත් ඉගෙන ගන්න තියෙනවා හෙටත් ඉගෙන ගන්න තියෙනවා. අපිට වඩා හොඳට වැඩසටහන් කරන්න අය ඉන්න පුළුවන්. යහපත් දෙයක් හෙටත් කිරීමයි මගේ බලාපොරොත්තුව මම යන ගමනෙ එක ඇගැයිමක් පමණයි හොඳම නිවේදක සම්මානය ඒක ලැබුණ කියල මගේ ගමන මෙතැනින් නතර වෙන්නේ නෑ.
2022 දි හොඳම නිවේදකයා වූ ඔබ 2023 දීත් හොඳම නිවේදකයා වීමේ අභිලාෂයක් ඔබ තුළ තියනවාද?
මට සම්මාන බලාගෙන වැඩසටහන් කරපු කෙනෙකුත් නොවෙයි. එහෙම කරන්නේත් නෑ. මම කරපු වැඩසටහන් අවුරුදු දහය පහළොව අඛණ්ඩව පවත්වාගෙන යන වැඩසටහන් මගේ සන්නිවේදකයා කියන භූමිකාව තුළ යහපත් දෙයක් අලුත් දෙයක් කිරීම තමයි මගේ අභිලාශය. මාව 2015 දී හොඳම සන්නිවේදකයාට නිර්දේශ වුණා. සම්මානය නොලැබුණත් ඊටපස්සේ වසර ගණනාවක් ගිහින් තමයි 2022 දී හොඳම නිවේදකයා ලෙස සම්මාන ලැබුවේ. අපි කරන දේ ඉහළින් කළොත් සම්මාන අපි පස්සෙන් හොයගෙන එයි. හොඳ වැඩසටහන් වලට හොඳ ඉදිරිපත් කිරීම් වලට ශ්‍රාවකයෝ ඕනෙ තරම් සම්මාන දෙයි ඇහුම්කම් දීමෙන්.
දෘශ්‍ය මාධ්‍යයේ දකින්නට නොමැති ශ්‍රව්‍ය මාධ්‍යයේ හඬ ඔස්සේ ශ්‍රාවකයන් අතරට එන ඔබව අද ශ්‍රාවකයෝ අනුරාධ රෝහණ කපුකොලුව කියල හඬෙන් හඳුනාගන්න තත්ත්වයට අද පත් වෙලා ද?
මගේ හ¾ඩත් එක්ක ශ්‍රාවක බැඳියාවක් තියෙනවා. නිහතමානීව ආඩම්බරයෙන් දෙයක් කියන්න ඕනේ. මට අනන්‍ය වූ හඬක් මම හදාගෙන තියෙනවා. මට අනන්‍ය වූ සන්නිවේදන භූමිකාවක් ගොඩනගාගෙන තියෙනවා. නිර්මාණශීලි වැඩසටහන් ඉදිරිපත් කිරීම, වචන භාවිතය ඒ මට අනන්‍ය වූ කලාව මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් කලාකරුවන් විද්වතුන් මට ඒ දේ කියල තියෙනවා. ඒක කොපියක් නොවෙයි. රූපෙන් දන්නේ නැති වුණාට හඬෙන් දන්නවා රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අනුරාධව.
ඔබේ නිර්මාණශීලි ගමනේ ආභාසය සටහන් චරිත තියනවාද?
පේ‍්‍රමකීර්ති ද අල්විස් මට හමුවෙලා නෑ. කතා කරල නෑ. නමුත් මම ඔහුගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳ අධ්‍යයනය කරල තියෙනවා. ඔහුගේ පුතා පුර්ණ පේ‍්‍රමකීර්ති අල්විස් වරක් ගුවන් විදුලි වැඩසටහනකට ඇවිත් ඔහුගේ පියාගේ අඩි පාරේ යන කෙනෙක් විධියට මට ඇගයීමක් පවා කළා. මම පේ‍්‍රමකීර්ති කියන චරිතය අධ්‍යයනය කරල තියෙනවා මිසක් අනුකරණය කරලා නෑ. අපේ සන්නිවේදකයන් අතරින් ප්‍රවීණ ද ආධුනික ද කියලා නෑ හොඳ දෙයක් තිබුණොත් මම ඒ අය තුළින් හොඳ අධ්‍යයනයක් කර දෙයක් ලබාගන්න පසුබට වන්නේ නෑ. යහපත් දේ කිරීම තුළ ලැබෙන සතුට තරම් වෙනත් සතුටක් නැති තරම්. සමහර අවුරුදුවල මට සම්මානයක් නැතිවුණත් අනිත් අයට ලැබෙන සම්මාන ගැන සතුටුවෙන එකම පුද්ගලයා මම වෙන්න පුළුවන්. මොකද මගේ අදහසක් නිසා නේද මේ අයට මේ සම්මාන ලැබෙන්නේ කියාල ඒ නිහතමානී සතුට මොනතරම් සදාතනිකද.
රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් කළමණාකරු ලෙස රටට යමක් කළා කියල ඔබට සතුටු විය හැකිද?
වානිජ පරමාර්ථය මුල්කොටසත් ගුවන් විදුලියක් නොවෙයි. අපි කරන්නේ. අපේ තේමාපාඨය යහපත් මාධ්‍ය සංස්කෘතියක පෙර ගමන් කරු ජාතික ගුවන් විදුලියක් ලෙස ගුවන් විදුලි මාධ්‍ය කලාව තුළ අපි ඉහළින් ඉන්නවා. තෙරුවන් සරණයි ආයුබෝවන් කියන වචන දෙක ලංකාවේ ගුවන් විදුලි කලාවේ ආමන්ත්‍රණයට හඳුන්වා දුන්නේ අපේ ගුවන් විදුලිය. ගීතයක් ප්‍රචාරය වුණත් එහි ගායකයා පද රචකයා සංගීතඥයා ගැන අපි එදා ඉඳලා අද වනතෙක් කියනවා. භාෂාව පැත්තෙන් ගුවන් විදුලි කලාවේ බස හැසිරවීම පිළිබඳ අපි සැලකිලිමත්, වෙළෙඳ දැන්වීම් විකාශයේදී වස විස මස් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නෑ. එක අපේ නායක හාමුදුරුවන්ගේ නියමයක්. වාණිජ අතින් අපි යම් ආකාරයක පසුගාමී බවකින් කටයුතු කළත් වැඩසටහන්වල ගුණාත්මකභාවය අතින් යහපත් ගුවන් විදුලි කලාව තුළ අපි ඉහළින් වැජඹෙන එක ගැන අපිට තියෙන්නේ සතුටක්.
ඔබ නියෝජනය කරන ගුවන් විදුලියට අනෙකුත් පුරකයන් ගැනීමේදීත් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු වල දීත් ඔබේ දායකත්වය කොයි ආකාරයෙන් ද?
අපේ ගුවන් විදුලියට කිිසියම් හෝ අයකු බඳවා ගන්නේ රන්ගිරි ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ පාඨමාලාව හැදෑරූ අය අතුරින්. ඒ නිසා අපේ ගමනට ඒක ලොකු පහසුවක් අපි හිතන පතන දේ අපේ අරමුණු මේ හැම දෙයක් පිළිබඳවම ඒ අය දැනුම්වත් පිටින් කෙනෙක් ගත්තත් අපේ කම ගැන පුහුණුවක් දීල තමයි අපි ඒ අය බඳවා ගන්නේ.
ඔබ හිතනවාද අද වෙනකොට ගුවන් විදුලිය හා බැදුණු විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවා කියලා?
ඔව්. රූපවාහිනිය සමාජ මාධ්‍ය ජාලා තිබුණට අදටත් ගුවන් විදුලිය අහන විශාල පිරිසක් ඉන්නවා. ගුවන් විදුලි මාධ්‍යයට මීට වඩා රාජ්‍ය මැදිහත් වීමක් ලැබිල මේ මාධ්‍යය මෙහෙය වන අයට නිවැරැදි මඟ පෙන්වීමක් ලබාදීමේ වැඩපිළිවෙළක් රජය හරහා ගොඩනැගෙනවා නම් මීට වඩා ගුණාත්මක ගුවන් විදුලි කලාවක් අපිට ජනතාවට දායාද කරන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා. රේටින් කියන වචනය අරන් අද ජනපි‍්‍රය නාමය සල්ලිවලට ගන්න තැනක වැජඹෙන ගුවන් විදුලි කලාවක් තියන අපේ රටේ රාජ්‍ය මැදිහත් වීමක් ඇතුව ගුණාත්මක ගුවන් විදුලි කලාවක් අප රට තුළ ස්ථාපිත කරන්න අවශ්‍ය කාලය දැන් උදාවෙලා කියලයි මට හැඟෙන්නේ.
සේයාරූ - නිශ්ශංක විජේරත්න